එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය

එක්ස්ක්‍යුස් මී …

මට ඉස්සරහින් ග්‍රීන් ඇපල් ජූස් කඩේ පෝලිමේ ඉඳපු වියත් දෙකේ සාය කොටයක් ඇඳල ඉඳික‍ටු දෙකක් වගේ හීනි අඩි තියස සපත්තු දෙකක් දාපු එක්සෙකටිව් ලූක් එකක් තිබුන ගෑණු ළමයගෙ කනට කිට්‍ටු කරල කඩුවෙන්ම කෙ‍ටුවෙ මේ නවම් මාවතේ ඉන්න ගෑණුන්ගෙ හැටි දන්න නිසා.

ඔව් ඔව්.. මුන් මහ අමුතුම එව්වො ජාතියක්. ඕං නිකමට හිතමුකො මං ඔය වෙලාවෙ සිංහලෙන් කතා කලා කියල. [ඔය එක්ස්ක්‍යුස් මී කියන එකට සිංහලෙන් කියන්නෙ “මේ.. නංගී කියල නේද ?] එහෙමනං ඉතිං තත්වය ශෝචනීයයි ! නිකං ඔළුව ගස්සල හැරිල බලන්නෙ හිඟන්නෙක් මේ ජූස් බාර් එකක අහවල් දෙයක් කරනවද කියල වගේ. තව යාළුවොත් එක්ක හෙම උන්නොත් කට කපාපු නෝන්ඩි හිනාවක් ලැබෙන්නත්, වැරදිලාවත් කොල්ල ඒ අහල පහලක හිටියොත් දවා අළුවෙලා යන බැල්මක් වැටෙන්නත් බැරි නෑ.

ටිකක් විතර බර කරල කනටම කිට්‍ටුකරල කොටාපු කඩු පාරෙන් ඔලුව හරවල බලාපි පෝනිටේල් එකත් ලතාවකට ගස්සලම.

හරියට හරි.. මේ දුල්මිණී තමා.. ඔය තියෙන්නෙ දකුණු ඇහිබැමට උඩින් තියන පුංචි උපන්ලපෙත්.

යර්ස් … ?

මොකක්ද මංදා මහ අමුතු විදියට ඇස් දෙකත් පුංචි කරල ඒ මදිවට නළලත් ‍රැලි කරල මගෙන් අහපි.

ඔයාට මාව අඳුරන්න පුළුවන්ද ?  [හරි හරි.. කඩුවෙන් කොටල පොටක් පාදගත්තම හෙළුවෙන් වනාගෙන වනාගෙන යන්න ඇහැකි, අනික මේ මම දන්න කියන ළමයෙක්]

හ්ම්…. අමාරුයි !!!

හුටා ! දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද ?

ඔයා ගාල්ලෙ නේද ?

ඔව්…. ?

ඔයා ලියනගේ මිස් ගෙ ක්ලාස් ආව නේද ?

ඔව් ඔව්.. ඔයත් ආවද ?

මේකි කොටියම කාපිය….. ඇයි හත් ඉලව්වෙ මං මේකි හන්ද හොම්බ කට කඩා ගත්ත. වස විළිලැජ්ජා වින්ද.. ඒ සේරම අමතකයි එහෙනං ඈ…..

ම්ම් …….. ආනේ මේ නවම් නේද ?

අප්පා ඇති යාන්තං මතක් උනා…..

පොඩි මතකයක් තිබුන. හරියටම මතක් උනේ ලියනගේ මිස්ගෙ ක්ලාස් ආව කිව්වමනෙ. කොහොම අමතක වෙන්නද අප්පා ඔයා එදා බෙල්ල කඩාගන්න හදාපු හැටියට !!

ෂ්…… කෑගහන්න එපා මනුස්සයො !!! වටේ පිටේ මිනිස්සු ඉන්නව.

හි හී හී….

——————————————————————————————–

හරි හරි.. කෙළ හලාගෙන හිටියට එතනින් එහාට අපි දෙන්න අතරෙ වෙච්ච කතාවෙන් තමුන්ලට වැඩක් නෑ…. 😉 ඒක නිසා දැනගන්න ඕනෙම නම් අර බෙල්ල කඩාගත්ත සිද්ධිය කියන්නම්. අහගන්නවලා…

——————————————————————————————–

මේ කියන්නෙ ඉස්කෝලෙ එකොලහ වසරෙ තුන්වෙනි වාරෙ විතර.

ඔය කාලෙ කියන්නෙ මහ අමුතු ආසාවන් එන කාලයක්නෙ. මට තිබුනෙ බයිසිකල් උණක්. එහෙමයි කිව්වට සන්තකේටම තිබුනෙ ඊට අවුරුදු පහකට විතර ඉස්සෙල්ල අරගෙන දීපු ඊස්ටන් ස්පෝට් බයිසිකලේ විතරයි. ඕකට තමයි මම දාපු සෙල්ලං ඔක්කොම කලේ.

මාසෙකට සැරයක් විතර ඕක මස් කරල ග්‍රීස් තෙල් එහෙම ගාල බෝල මාරුකරන ඒව එහම කරල බ්‍රේක් කේබල් ඔයිල් කරල ෆුල් සර්විස් එකක් දීල ගන්නව. සමහර දවස් වලට ඇණ මුරිච්චි දෙක තුනක් වැඩිපුරත් ඉතිරුවෙනව. ඒව ඉතිං ඊලඟ සැරේ ගලවල හයි කරද්දි සමහර විට හයි කරගන්න තැන් අහුවෙනව. එහෙම නැත්නං මගෙ අඬු බඬු දාපු පෙට්ටියෙ මුල්ලකට වෙලා ඔහේ තියෙනව.

මේ ගලවල හයිකිරිල්ලට හරියටම ගැලපෙන ආයුධ නැති නිසා ගොඩක් වෙලවට ලොකු යතුරු අස්සට පැතලි ඉස්කුරුප්පු නියනෙ තලේ එහෙම ඔබල හරියන සයිස් එකට පොඩි පොඩි එහෙමෙහෙ කිරීම් කරල තමයි සමහර ඇණ ගලවන්නෙ. පැඩ්ල් එක බයිසිකලේට හයිවෙන තැන තියන ලොකු කප් එක ගලවන්න නං ඒකෙ තියන කට්ට වලට ඉස්කුරුප්පු නියනක් තියල මිට්යෙන් ගහන්නම ඕනෙ. නැත්නං ඒක ගලවන්න බෑ. ඒ දවස් වල හන්දියෙ බයිසිකල් සාප්පුවෙ පැටි අයිය වැඩ කරන දිහා බලාගෙන ඉඳල තමයි ඒක අල්ල අගත්තෙ.

කොහොම හරි මේ නියමිත ආයුධ නැතුව කරන බාස් වැඩෙන් සමහර ඇණ වල ඔළුව ගෙවිල ගිහිල්ල ගලව ගන්නත් කොහොමහරි කරල ගලවපුව ආයෙම හයි කරගන්නත් බැරිවෙන වෙලාවල් අනන්තයි. එහෙම උනාම අන්තිමට සරණෙට එන්නෙ මහ විසාල කටර් අඬුවක්. ඒකෙ මැද තියන කට්ට රවුමට දාල දෑත බදල කැරකෙව්වම හරි. ඒකත් මහ කාලයක් කරන්න බෑ. අටපට්ටං ඇණ ඔළුව රවුං වෙනවනෙ. වැරදිලාවත් පිට පොට ගියොත් එහෙම ඇනේ පොට කැපෙනවනෙ. ඊට පස්සෙ ඉතිං අම්මට නාහෙන් අඬල කීයක් හරි ඉල්ලගෙන අලුත් ඇණයක් මුරිච්චියක් දාගෙන තමයි වැඩේ අහවර වෙන්නෙ.

මෙච්චර විස්තරයක් කියාගෙන ආවෙ මට ඒ සංගෙදිය උනේ කොහොමද කියන්න.

ඔන්න ඒ සෝචනීය දවසට එළි උනා. අතුරු ආන්තරාවක් නැතුව ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර එහෙම ආව සනීපෙට. තුන හමාරට යන්න ඕනෙ කිතුලම්පිටියෙ ලියනගේ මිස්ලයි ගෙදරට, එහෙ තමයි අපෙ ඉංගිරිස් පන්තිය. ස්කූල් බස් එකේ ඉස්කෝලෙ ගියාට අපි කොල්ලො ඔක්කොමල වගේ පන්ති යන්නෙ බයිසිකලෙන්. ඒක හරි ජොලි ගනමන, අතර මඟදි බීම පැකට් බොන එක තමයි ජොලිම වැඩේ, ඩොංග වාරෙට ඉතිං ඒව. ඉඳල හිටල පන්ති ඇරිල එන ගමන් ගලගෙඩිය පැත්තෙන් ඇවිල්ල තම්බි කඩෙන් ආප්ප කන්නත් අමතක කරන්නෙ නෑ. ඒකට ඉතිං සතියක දෙකක පොකට් මනී ඉතුරු කරගන්න ඕන නිසා ඒ ගනම නම් ඉතිං මාසෙකට දෙපාරක් නැත්නං තුන් පාරක් තමයි.

මේ පන්ති යන ගමනට හිරිඹුර හන්දියෙන් මට එකතුවෙනව කරාපිටියෙ ඉඳල එන විරාජ්, ඊට පස්සෙ කහදූවවත්තෙ බ‍ටුවන්තුඩාව පාරෙන් ලසන්ත, රිචර්ඩ් පතිරණ මහත්තයෙගෙ ගෙවල් ලඟින් එනව පුබුදු, කිතුලම්පිටියෙ ඉස්කොලෙ ගාවින් අපේ කාණ්ඩෙට එකතුවෙනව පැතුම්.

ඔන්න අපි සැට් එකම දැන් පන්තිය බලා පාගනව.

මේ මචං, උඹ මොකෝ කියන්නෙ මං දුල්මිණීගෙන් අහන්නද නැත්නං උඹ අහනවද ?

අඩේ උඹ අහන්න එපා බං. මං අහන්නංකො

හරියෙන්නෙ නෑ නෙ බං. උඹ දැං කී දවසක ඉඳලද ඕකිගෙන් අහනව කියල කියන්නෙ. කෝ ඇහුවද ?

ඔව් බං.. මූ අහන්නෙ නෑ උඹට අහන්නත් නෑ.. අන්තිමට අර මහින්දෙ කළුව ඕකි දාගනියි.

පිස්සුද බං, මම අද අහනව ෂුවර්.

හරි.. උඹට අද විතරයි චාන්ස් එක දෙන්නෙ. අද ඇහුවෙ නැත්නං උඹට ආයෙ චාන්ස් නෑ හරි .. ?

ඒයි නවමා, ඔන්න ඒකි හැරෙන පාර ගාව ඉන්නව, අහනවනං දැං අහපං.

කිව්වත් වගේ මේ ඉන්නෙ දුල්මිණී ක්ලාස් එකට හැරෙන පාර ලඟ. මෙච්චර වෙලා නවං ආව කොන්දත් කෙලින් කරල හැන්ඩ්ල් එකට අත් දෙකේම බර දීල ගත්ත පුරුස ධෛර්යය. අද නම් අහන එක අහනවමයි !!!

ක්‍රාස්….ක්‍රාස්..

දහ්.. ක්ර්ර්ස්…

ජබුං.. ග්ල්බ් ග්ල්බ් ග්ල්බ්…

අඩෝ.. නවම්.. නැගිටහං මචං මඩ වලෙන්.

හ්ම්ම්ම් හ්.. ආහ්……

මචං මුගෙ මූනෙන් ලේ එනව නේද ?

අප්පට සිරි. නහයත් කැඩිලද කොහෙද.. ඒ මදිවට නිකටත් පැලිල නේද … ?

නිලංකාර වෙලා තිබ්බට වටේ පිටේ උන් කතා කරනව් ඇහෙනව…

මං ඇස් ඇරල බැළුව.

ඔළු ගොඩක් මාව වටකරගෙන. ඒ අස්සෙන් යාන්තමය අහස පේනව.

මචං මචං.. උඹට මොකෝ බං උනේ….

ඒයි බං මුගෙ බයිසිකලේ හැන්ඩ්ල් එකත් ගැලවිලා බං මේ බලහංකො.. මාර වැටිල්ලක් නෙ මූ වැ‍ටුනෙ..

හ්මෙ.. ම්ම්…..

මං පිටිපස්සට අත ගහල නැගිට්ට. ඈතින් තවමත් අර පන්තියට හැරෙන පාර ලඟ දුල්මිණී අනිත් ගෑණු ළමයි ගොඩත් එක්ක මං දිහා බලාගෙන ඉන්නව.

එච්චරයි මට මතක !!!

ආයෙම ඇස් ඇරෙනකොට මං හිටියෙ කලේගාන හන්දියෙ ඩිස්පැන්සරියෙ රෙක්සින් ඇඳ උඩ !!!!

Advertisements

67 Responses to එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය

  1. Amila says:

    ආ ඕකට වෙන්ට ඇති “(කෙල්ල )වැටෙනවා” කියන්නේ,
    ඈ බන් අයියේ දුක හිතිලවත් සෙට් වුනේ නැද්ද?

    කැමතියි

  2. Lokka says:

    අහ්, නවම්ටත් හරිගියා !!

    දැන් කන්නේ බොන්නේ එකෙන් ඇ ! ඔහොම ගියොත් නිහාල් ගේ කඩේට මොකද වෙන්නේ !

    අපිත් ඉන්නේ නවම් මාවතේ ! මම හිතන්නනේ අපි දවසක හම්බ වෙයි !

    කැමතියි

  3. ඒ කාලේ ඉඳලම මූ එක එක ඒවා කඩාගෙන නේ.. මට පෙන්නේ ඕක ලෙඩක් ද කොහෙද? බයිසිකල් එකේ කෙල්ලෝ බලන්න යන එක නියම වැඩේ.. ඉස්සර මමත් ගිහින් කෙල්ලගේ තාත්තගේ කඩෙන් මොකක් හරි පොඩි බඩ්ඩක් අරගෙන ගේ දිහා බලල එනවා.. හිකිස්…

    කැමතියි

    • නවම් says:

      කඩේ කිව්වමයි මතක් උනේ.. අපි දවසක් ක්ලාස් ඇරිල [මේ වෙන ඉංග්‍රීසි පන්තියක්] මේ වගේම බයිසිකල් වලින් එනකොට සෙට් එකේ එකෙක් ට්‍රයි කරන ගෑණුළමයගෙ තාත්තගෙ කඩේට ගියා. ගිහිල්ල මුකුත් ඉල්ලන්නෙ නැතුව බෙල්ල කරකව කරකව ගේ දිහා බලනව ගෑණු ළමය පේන්න ඉන්නවද කියල.

      වැඩේ නෝන්ඩි වෙන්න යනව වගේ දැනිච්ච නිසා ඌට කෙල්ල බලාගනිපුදෙන් කියල අපි මුදලාලි තාත්තගෙන් ඇහුව මෙහෙම

      අංකල් මස්කට් තියනවද ?

      මස්කට් නෑ.

      එහෙනං ටොපි පහක් දෙන්නකො

      කවුන්ටරේ ටොපි බෝතල් දිහා බල බල මුදලාලි කියාපි “ටොපිත් නෑ” කියල 😀

      කැමතියි

  4. Gold fish says:

    පරන එව්වා වැඩක් නෑ… අලුත් දුල්මිණි මක්කෙයි කිව්වේ….? 😀

    කැමතියි

  5. “රිචර්ඩ් පතිරණ මහත්තයෙගෙ ගෙවල් ලඟින් එනව පුබුදු”– පුබුදු චතුරංග ගැනද අයියා මේ කියන්නේ??????මෑන්ස්ලයි ගෙවලුත් ඔතනමනේ,අනික එක ඉස්කෝලෙනේ.අයියලයි පංති වලද??????

    කැමතියි

  6. Weni says:

    ඕකට තමයි කියන්නෙ අපි යන්ඩ ගියොත් පුවක් ගහේ දෙබලක්ය කියාලා…

    කැමතියි

  7. malmi says:

    මට හිතෙන්නෙම ඕකත් අර කිව්ව හෙලුව වනන්න ගිහින් වෙච්ච වැඩක් වගෙයි. නරකම නෑ

    කැමතියි

  8. බලං ගියාම අපි දෙන්නම ලියලා තියෙන්න එකම සබ්ජෙක්ට් එක ගැනනෙ. අනේ එහෙම කාලයක්!!! 🙂

    අර ‘ඩොංග’ කිව්වෙ ‘ටොකු ගෙඩි’ වෙන්නැති නේද නවම්? අර දිග නට්ටක තියෙන ටොකු අනින්න පුලුවන් ගෙඩිය???

    බයිසිකලේ පෙම්සැරියට පාවිච්චි කරපු නැති එකෙක් නෑනෙ බලං යනකොට. අපෙත් බයිසිකල් වල චේන් පනින තරමක් පනින්නෙ, හුළං බහින තරමක් බහින්නෙ, කෙල්ලංගෙ ගෙවල් ලඟ බං.

    උඹ භාවිතා කරලා තියෙන මගෙ ප්‍රියතම යෙදුම් මෙන්න.

    1.ඔය එක්ස්ක්‍යුස් මී කියන එකට සිංහලෙන් කියන්නෙ “මේ.. නංගී කියල නේද ?
    2.කඩුවෙන් කොටල පොටක් පාදගත්තම හෙළුවෙන් වනාගෙන වනාගෙන යන්න ඇහැකි
    3.ඒව ඉතිං ඊලඟ සැරේ ගලවල හයි කරද්දි සමහර විට හයි කරගන්න තැන් අහුවෙනව. එහෙම නැත්නං මගෙ අඬු බඬු දාපු පෙට්ටියෙ මුල්ලකට වෙලා ඔහේ තියෙනව. (මේක අපි කාටත් වෙන දෙයක්)
    4.ඔන්න ඒ සෝචනීය දවසට එළි උනා.

    මේවයෙ නිර්මාණශීලිත්වයනම් උපරිමයි. ලොකූ දෙයක් උඹ ආයෙම කියවන්න පුලුවන් ඒව ලියන්න පටං ගත්ත එක. අර මේසෙ උඩ තිබ්බ පොත ආපහු දීලා දාහං, නැත්නං මට දියං.

    කැමතියි

    • නවම් says:

      නෑ නෑ.. ඩොංගා කියන්නෙ කන ජාතියක්. ඉදුනම හරියට ටෙනිස්බෝලයක් වගේ, පාටයි හැඩයයි. ඇතුල නම් මැංගුස් වගේ. මහා විසාල ඉරන්න ඇහැක් සයිස් ගස් හැදෙන්නෙ.

      අර කිව්ව ටොකු ගහක් නං අපේ ඉස්කෝලෙත් තිබුන, හය යත වසරෙ ඉන්නකොට උදේ ඉස්කෝලෙ ආවගමන් දුවන්නෙ ටොම්බ සයිස් ගෙඩියක් අහුලගන්න. ඊට පස්සෙ ඉතිං නැට්ටෙන් අල්ලල වනල දෙනව කොල්ලන්ගෙ ඔළුවට ටොං !!!! ගාල.

      පොත ගැන නං කියන්න තියෙන්නේ මෙච්චරය, ඒවා දෙන්න නෙමෙයිට සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව දෙකක්ම ගත්තේ. අනිත් ඒවයෙත් කලෙක්ටර්ස් එඩිෂන් එනකල්ය ඉන්නේ.

      කැමතියි

  9. දුකා says:

    හෆොයි ඉන් පස්සේ ඉතින් රෙද්දක් ඇඳන් ගිහින් ඒ කෙල්ලගෙන් අහන්නද . . . හික්z

    මේ උඹ බ්ලොග් එකේ ලින්ක් එකක් ඒ කෙල්ලට යවමුද?

    කැමතියි

  10. කෙල්ලො නිසා කොල්ලො විඳින දුකක්..පවු දෙයියෙන් 😛

    කැමතියි

  11. bindi says:

    ..නවම්ට ඉස්පිරිතාලත් එක්ක පුදුම සම්බන්ධයක්නේ අප්පා තියෙන්නේ . මේ වර්ඩ් ප්‍රෙස් වලට විතරයි මට කමෙන්ට් කරන්න පුළුවන් . බ්ලොග්ස්පොට්ලව තහනම් කරලා මගේ බ්ලොග් එකටවත් මට ලියන්න බැහැ. වර්ඩ්ප්‍රෙස් එකක් පටන් ගත්ත . එකෙනුත් සහයෝගයක් නැහැ . අහෝ දුකකි

    කැමතියි

  12. Sammani says:

    හපෝ පොඩි කාලෙ එක කොල්ලෙක් ඔහොම අපි ක්ලාස් ගිහින් එන පෙරමග බයිසිකලෙන් වැඩ කිඩ දාන්න ගිහින් හතර හන්දි නොකැඩී අනූනමයෙන් බේරුණා… පව් අහිංසකයා :පී ,, අපි කෙල්ලො ටික හක හක ගාල හිනා වෙනකොට ඌ නැගිටගන්න බැරුව පාරෙම මුනින්තලා වෙලා හිටියා, පස්සෙ කොලු රෑනක් ඇවිත් උස්සන් ගියා …

    කැමතියි

  13. පුරුස ධෛර්යය ඇරගෙන පහුවෙනි සතියෙදි අනිත් එකා ඇහුවද දන්නෙ නෑ නේද. කොහොම වුනත් අහන්න කලින් වැටුන එක හොඳයි. අහල වැටුනනම් තත්වය ඕකට වඩා බරපතල වෙන්න ඉඩ තිබ්බා.

    කැමතියි

  14. ඩිලාන් says:

    හික්ස් මමත් ඔහොම වැටිලා තියනවා මූනත් තහඩුව ගන්න දෙයක් නැතුවම,,අනේ එතන උන්නු කෙල්ලෙක්ගේ ලේන්සුවකින් මගේ මූනේ ලේ පිහුවෙත්

    කැමතියි

  15. පූසා says:

    ඇඩෙනවා…. මේ වගේ බොක්කටම වදින ලව් ස්ටෝරියක් කියෙව්වමයි මං! 😀

    කැමතියි

  16. Haree says:

    මටත් ඕකම වෙලා තියෙනවනෙ අයියෙ.. හැබැයි බයිසිකලේ ගැලවිලා නෙමෙයි.. මට සපෝටර් එකට ගිය එකෙක්ගෙම බයිසිකලේක වැදිලා………….. කෙල්ලගෙ කකුල් දෙක පාමුල මම දොයි..

    කැමතියි

  17. ඒ දවස් වල මේ වගේ දෙයක් වෙනවා කියන්නේ ආයි විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැරිව යනවා නේන්නං! ඊට පස්සේ උන් වෙන එහෙකට හිනා උනත් අපිට තේරෙන්නේ අපිට හිනා වෙනවා කියල නේ! 😀

    කැමතියි

  18. දැන් ඔය නවම් මාවත් පැත්තේ ගැණු ළමයි එක්ක කදේ දාගෙන ඉන්න කතා ලියන බ්ලොග් එක චුටි මැණිකේ කියවන්නේ එහෙම නැද්ද ? යන්තම් අතපය හතර ගොඩ දාගෙන කෙලින් හිටගත්තා විතරයි නේද ?

    කැමතියි

  19. ඒ කාලෙත් කෙල්ලෝ නිසා චාටර් කාපු කොල්ලෙක් නෙව !!!
    දා ගත්තේ නැද්ද දුල්මිණිව ඒ කාලේ ???
    ඒක නෙමේ මට පස්නේ. කොල්ලෙක්ව එහෙම නම් බොලාට අමතකත් වෙලා තියෙයි. ඒත් ගෑල්ලමයෙක් නිසා නමත්තෙක්ක මතකයි නෙහ් !!!! 🙂

    කැමතියි

  20. රාජ් says:

    කීමට කිසිවක් නොමැත. කොල්ලාට පව්ය. “පලිගැනීමට” අදහසක් නැතුවැති.

    කැමතියි

  21. මොනා උනත් හොම්බ කඩාගෙන හරි නවම් අයියා ආපහු පරන පුරුදු කතා ලියන්න පටන් අරන්. අම්මපා මම නම් එන එකත් නවත්තලා හිටියෙ අර ඔලුව අන්ජබජල් වෙන පෝස්ට් දාන්න පටන් ගත්තු නිසා.

    අයියට කියන්ඩ අයියා මම ඒ ලෙවල් වලට කුරුනෑගල ක්ලාස් යන කාලෙ බස් එකේ ලස්සන කොල්ලෙක් යනවා. අපි ඉතින් මුලු ගැන්සියම ඌ දිහා අනිමිසලෝචනය කරගෙන තමා යන්නෙ. මම ඒ දවස් වල ටියුට් දාගෙන යන්නෙ අර ට්‍රාන්ස්පේරන්ට්ද මොකද්ද ටික් එකක් දාලා වහන ෆයිල් එකක. මූ දිහා බලාගෙන බස් එකෙන් බැස්සා විතරයි කකුල නුහුරට තියලා මම වැටෙන්න ගිහිල්ලා මගෙ ෆයිල් එක පියාඹගෙන ගිහිල්ලා අර කොල්ලාගෙ දෙපා මුල වැටුණා. ටියුට් වලින් බුමුතුරුණක් මැවුණා මහ පාරෙ. ලැජ්ජාව පසෙකලා මම ටියුට් ටික එකතු කරගෙන පසු නොබලා ගියා. ආයෙ මම නෙමෙයි ඌ ඉන්න බස් එකක වත් ගියේ.

    කැමතියි

  22. සයිකල් පාගද්දි තියන තවත් හොඳම සොමියක් තමයි හිටගෙන කඳු පාගද්දි බල්ලො පනින එක. *ට දෙක උගුරට ඇවිල්ල නවතින්නෙ

    කැමතියි

  23. ක්‍රාස්….ක්‍රාස්..
    දහ්.. ක්ර්ර්ස්…
    ජබුං.. ග්ල්බ් ග්ල්බ් ග්ල්බ්…

    සවුන්ඩ් මික්සින් නම් උපරිමයි නවමෝ !!! හපෝයි විලිලැජ්ජයි, සංතෝසයි !!!

    කැමතියි

  24. මදැයි පුරුෂ ධහිරිය අරගෙන අහන්න ගියා 😀

    කැමතියි

  25. ඉස්සර ගෙවල් වලට ටිකක් එහා හොල්ට් එකකින් බහින කෙල්ලෙක් බලන්න පන්ති ඇරෙන වෙලාවට හුටාර් එක පාගනවා දවසක් පරක්කු වෙලා හදිස්සියට ගිහින් නවත්තලා තියන බස් එකකට වැරදි පැත්තෙන් ඉස්සර කලා නෙව බස් එකේ දොර ගාවටම යනකොට බස්එක ඇතුලේ ඉදන් දඩෝං ගාලා බයිසිකලේ ඉස්සරහට දැමිමේ නැතැ මොනවද ගොනියක් හුටාර් එක ගොනිය බදාගෙන මම සයිඩ් කන්නාඩියේ එල්ලිලා කරුමේ කියන්නේ බලන්න යන්න හිටපු කෙල්ල ඇවිල්ලා තියෙන්නේත් ඒ බස් එකේමයි චාටර් ලෝකයයි

    කැමතියි

  26. Ananga says:

    අඩොව්ව්ව්ව්… දුල්මිණීට ටෝක් දාන්න ගිහින් මගේ යකා අවුස්සගන්න එපා හරිය..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: