අග මුල නැති වැල්

වෙනද වගේම සිරිසෝම බයිසිකලේ ගෙයි පිටිපස්සෙ ලෑලි මඩුවෙන් ගත්තෙ සුපුරුදු සැඳෑ රවුම යන්න කියල. බයිසිකල් හැඬල් එක මඩුවෙ ලෑලි බිත්තියෙ වැදිල වේ දළු පදාසයක්ම සරස් ගාල වැ‍ටුන.

‍වෙන දවසක නම් බයිසිකල් රෝදෙන් ඇනල තව වේ දළු ටිකක් කඩල දානව උනාට එදා හිතුනෙ නැත්තෙ මොකද මංද. සමහර වෙලාවට දෙදොහකට කලින් හැදිච්ච උණේ කෙඩෙත්තු ගතියට වෙන්න ඇති.

ඒත් එක්කම මතකයට ආපු සමන්ති සිරිසෝමගෙ කකුල් පණ නැති කරල අකුලල තිබිච්ච බූරුඇඳේ ඇන්ද උඩින් වාඩිකෙරෙව්වෙ දිරච්ච බයිසිකලෙත් ඉස්සරහ පුවක් කණුවට හේත්තුකරගෙනමයි.

‍තෝ මාව නැතිකරා වේසිගෙ පුතා, බලා ගනින් මම තොට කරන දේ…… !!

කලින් දවසෙ හැන්දෑවෙ  ගෙයින් එලියට බහැපු සමන්ති වියරුවෙන් වගේ කෑගහපු හැටි තවමත් සිරිසෝමට ඇහෙනව වගේ.

ගොරකා ලොඬි වගේ වගේ රතුපාට වෙලා ගින්දර පිටවෙන ඇස් දෙක තවමත් ඇස්දෙක පියාගත්තම ආයාසයකින් තොරවම මවාගන්න පුළුවන්.

කොහොමට හිටපු ගෑණියෙක්ද……..

අවුරුදු අටකට කලින් ඉස්කෝලෙ යන අහිංසක කෙල්ල…….. විනාඩි පහක් පරක්කු උනොත් ඇ‍ඟේ දැවටි දැවටි නෝක්කාඩු කියපු එකී……

ඒ අතීතය මතක්වෙලා සිරිසෝමගෙ පපුව හෝස් ගාල ගියා.

මේවට මාත් වැරදියි…. ආදරේ හන්දම සමන්තිට විතරක් වැ‍රැද්ද පටවන්න අකමැතිවෙච්චි සිරිසෝමගෙ හිත කිව්ව.

මොකෝ උඹ !! අද යන්නෙ නැතෙයි අර පරට්ටි බලන්න.. පල පල…. මං තොට හොඳ වැඩක් කරල තියෙන්නෙ…….

වියරුවෙන් වගේ බලාගෙන ඉන්න සමන්ති දිහා යාන්තමට උළුව උස්සල බලාපු සිරිසෝම බයිසිකල් ක‍ටුවත් තල්ලු කරන් ගොළුබෙල්ලො කාල හේබාල ගිය බණ්ඩක්ක පාත්තිය අද්දරින් ගුරුපාරට ගොඩ උනේ රූපක්කලයි ගෙදර යන්න.

ඉඳා.. මේකත් අරං පිළිකන්නට පලයං මල්ලී…

අසෝක වීදුරුවයි ගිණි දැවිල්ලට බැදපු කාරල්ලො කුරියයි අරං කුන්දිරා ගහ යට ඇනතියාගත්තු සිරිසෝම හිස් බැල්මකින් හැල් වෙල්යාය දිහා ඔහේ බලාගෙන හිටියෙ කිසිම දෙයක් ගැන කල්පනාකරන්න උවමනාවක් නැති හන්ද.

සිරී මල්ලි… දැං උඹ මේකට මොකෑ කරන්න හදන්නෙ ?

කණා‍ටු හීං කොච්චි පඳුරු දෙකට  ඩිංගකට එහායින් ඇණතියාගෙන දණිස් දෙක උඩින් අත්දෙක දිගෑරගෙන රූපක්ක අහන්නෙ හැමදාම අහන පුරුද්දට මිසක් උත්තරයක් බලාගෙන නෙමෙයි.

මං දන්නෙ නෑ රූපක්කෙ… දඹදෙණියෙ රාළහාමි කියාපු වැඩේ කරන්නත් හිතෙනව.

වෙනදටත් අහන ප්‍රශ්ණෙට හිනාවෙලා අහක බලාගන්න සිරිසෝම අද එක එල්ලෙ දුන්න උත්තරේට රූප පුදුම උනා.

ඒත් රූපට ඒකට අලගු තියන්න වෙලාවක් නොතියාම අසෝක වීදුරුවෙ අඩිය බලාපු සිරිසෝම කාරල්ලගෙ වලිගෙත් කාගෙනම නැගිට්ටෙ තවමත් පුදුමෙන් වගේ මූණ හදාගෙන ඉන්න රූපක්කට හිස් වීදුරුව දික් කරගෙනමයි.

ඊට පස්සෙ කැහැපොට කඩාදාල කක්කුසිය අයිනෙ නවත්තල තිබිච්ච බයිසිකලෙත් තල්ලුකරගෙනම කොස්ගහ පල්ලමෙන් පාරට ආවෙ දඹදෙණියෙ රාළහාමිලගෙ ගෙදරට යන්න.

සිරිසෝම…. කොහෙද මනුස්සයො අර ලෙඩ ගෑණිවත් ගෙදර දමල ඇවිදින්නෙ ?

රබර් මණ්ඩියෙන් පාරට පැනපු රාළහාමි ඇහුවෙ අතේ තිබිච්ච වක් පිහියෙන් නැමිල බත්කෙණ්ඩ කසන ගමන්.

නෑ ….. මේ…..රාලහාමිලයි අහ යන ගමන්.

බයිසිකලෙන් බාගෙට බහිනගමන් සිරිසෝම කිව්වෙ මුක්කං හඬින්.

හ්ම්.. එහෙනං යමු… රාලහාමි ඉස්සර උනේ සරමෙ පිටිපස්සෙන් අල්ලල දබර ඇඟිල්ලෙ පටලවල කරකවල උස්සගෙන.

උඹ ගෙට පලයං, මං අත පය හෝදගෙන එන්නං.

එහෙම කියාපු රාළහාමි මිදුලෙ වැටිච්ච වවුල් අඹයක් අහුලල ඈතට වීසිකරගෙනම ඉස්ටෝරු කාමර පේලිය අස්සෙන් ලිඳ පැත්තට ගියා.

රාලහාමි නොපෙනී යනකල් බලාගෙන හිටපු සිරිසෝම සැපතිල්ල ගහ යටින් බයිසිකලෙත් නවත්තල හෙමිහිට කකුල් අද්දව අද්දව ඇවිත් රතු සිමෙන්ති කැඩිච්ච ඉස්තෝප්පු පඩියෙ වාඩි උනා.

ඇස් ඉස්සරහට හරියටම පේන රාළහාමිලයි රබර් කෑල්ල සිරිසෝම ආයෙම අතීතයට එක්කගියා.

මට නම් බයයි සිරී… අපේ අම්ම හෙම ආවොත් ?

අම්ම කොහේ එන්නද කෙල්ලෙ, අනික මොන රටේද හැන්දෑවට කිරි කපන්නෙ ?

කිරි කපන්න විතරයැ මෝඩයො අම්ම මේ කන්ද නඟින්නෙ…. රබර් අතු අහුලන්නයි ගො‍ටුකොළ කඩනයි කීවංගියක් නං එනවද…

කමක් නෑ ආපුවාවෙ ….

ආ.. එතකොට ?

එතකොටද.. එතකොටද ….. එතකොට මං දූ පොඩ්ඩව ඉල්ලගන්නව.

හිහ් හිහ්.. ආ මේං කියල දෙයි කියල තමයි බය….

නොදී මොකෝ ?

හීනෙන් තමයි.. අන්න ඊයෙ හවහ රාළහාමි අම්මත් එක්ක කියනව ඇහුන මට වත්තෙ ගනන් තියන්න උගන්නන්න ඕනෙයි කියල.

ඉතිං ?

කිතුල් ?

විහිළු නෙමෙයි. ඔයා කැමතියිද ?

ඇයි ඔයා අකමැතියිද ?

අනේ මංද…

සිරිසෝම බය උනේ සමන්තිගෙ අම්මටත් වඩා රාළහාමි අකමැතිවෙයි කියල. උගන්නන්නත් වියදං කරල තව වත්තෙ ගනං තියන්නත් ඉගැන්නුවොත් රාළහාමි කීයටවත් සමන්ති තමන්ට දෙන්න කැමතිවෙන්නෙ නෑ කියල සිරිසෝම තදින්ම විස්වාස කලා.

උඹට ඕව දැන් නෙමෙයි කල්පනා කරන්න තිබුනෙ.. ඒකිව වහං කරන් යන්න කලින්.

පිටිපස්සෙන් ඇවිල්ල හිටගත්තු රාළහාමි හැම තිස්සෙම කියන වචන පේලිය කියාගෙන ගියා. නිතර දකින කුකුලගෙ කරමලේ සුදුයි කිව්වට මේ වචන පේලිය ඇහෙන වාරයක් වාරයක් පාසා සිරිසෝමගෙ හිත අළුතින් පෑරිලා ඕජස් ගලනව.

රාලහාමි කියනව වගේ දුරදිග කල්පනා කලානම් මේව මෙහෙම සිද්ධවෙන එකක් නෑ කියල සිරිසෝමට එක වෙලාවකට හිතුනත් ගහේ ක‍ටු උල්කරන්න ඕනෙ නෑ කියල ගමේ මිනිස්සු කියපු කතා හැබෑවෙන්න නොදීපු එක ගැන සිරිසෝම සන්තෝස උනා.

ඒත් ඒ සන්තෝසයෙන් කාටවත් වැඩක් උනේ නෑ නේද කියල කල්පනා වෙනකොට සිරිසෝමගෙ ඔළුව පුපුරන්න වගේ වේදනාවක් එනව.

මං දන්නෙ නෑ රාළහාමි. ඒවෙල කරන්න තිබුන එකම දේ තමයි මං ඒ කලේ..

හ්ම්.. ඔය පරණ දේවල් කූරුගාල ගඳගස්සන්නෙ අහවල් දෙයකටෙයි.. දැං කරන්න තියන දෙයක් ගැන බලමු.

රාළහාමි මාතෘකාව වෙනස් කලේ තමනුත් මේවයෙ කෙළවරක ඉන්න හන්දටත් වඩා ඒ කතාව සිරිසෝමගෙන් අහගන්න උනොත් ඉහිලුම් නොදෙයි කියල හිතිච්ච් හන්ද.

දැං උඹ කැමතිද මං කොරාපු යෝජනාවට ?

කැමැත්තක් නැතත් අකමැතිවෙලා තනි මං මක් කොරන්නෙයි රාලහාමි…..

හ්ම් එහෙමනං මං හීංකිතර උන්නැගේට හෙට උදේ ‍රැයින්ම ඒ අහ එන්නෙයි කියන්නං. උඹල විස්සෝප ගන්න කාරි නෑ බං. මෙව්ව මෙහෙම නොකෙරුනොත් පස්සෙන් පහු බොලාටමයි කරදර.

ඉඳා. මෙන්න මෙකත් අරං ගොහිං මක්කාවත් තම්බගෙන කාපල්ල.

රාළහාමි ඉනපටියෙ පොකැට් එක ‍ටුකුස් ගාල ඇරල අත මිට මොලවපු රුපියල් පන්සීයත් අරං බයිසිකලේ නවත්තල තිබිච්ච සැපතිල්ල ගහ ගාවට ආවටත් වඩා හෙමින් කකුල් අද්දව අද්දව ගිය සිරිසෝම මෙච්චර වෙලා නහය අග්ගිස්සෙ එකල මෙකල වෙවී තිබ්ච්ච හො‍ටු දල්ල දෙකට නැවිල සරමෙ කෙළවරෙන් පිහිදාල බයිසිකලෙත් තල්ලුකරං බොරළු පාර කෙළවරේ අඳුරට මුහුවෙලා ගියා.

Advertisements

29 Responses to අග මුල නැති වැල්

  1. ගඳ ගහනවද කියල බලන්නත් එක්ක අර පරණ දේවල් ටිකක් ඇවිස්සුවානම් …

    කැමතියි

  2. කතාව දෙපාරක් කියෙව්වා තේරුම් ගන්න… මොකක් හෝ සිද්ධියක් ගැන කියන්න හදනවා කියලා තේරුනත් ඒ සිද්ධිය ඕනෙම එකක් වෙන්න පුළුවන් වෙන්න ලියලා තියෙනවා… ලිවීම නම් අති විශිෂ්ටයි.කතාව කියවලා ඉවර වුනාට කතාව හිතේ තාම හොල්මං කරනවා…..

    පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්…

    1)සිරිසෝම විවාහකද?? සමන්ති ඔහුගේ බිරිඳද??
    2)සමන්මලි සහ සමන්ති දෙන්නෙක්ද??
    3)රාළහාමි කියන්නේ සමන්මලිගේ තාත්තද??

    වෙලාවකට මෙහෙමත් හිතුනා.සිරිසෝම අවුරුදු ගානකට කලින් කොරගත්තු දෙයක් නිසා සමන්තිව බඳින්න වුනා.ඒ වෙච්චි දේ ගැන සමන්ති දැන් දුකින් ඉන්නවා… ඒ අතරේ රාලහාමිව හම්බුවෙන්න යන සිරිසෝමට අතීත සිද්ධි මැවිලා පේනවා…..

    කතාව එල ඈ…..

    කැමතියි

  3. Amila says:

    කතාව සුපිරියි ඈ,
    පොඩි දේවලුත් අපූරුවට හිතලා තියනවා.
    // බයිසිකල් ක‍ටුවත් තල්ලු කරන් ගොළුබෙල්ලො කාල හේබාල ගිය බණ්ඩක්ක පාත්තිය අද්දරින් ගුරුපාරට ගොඩ උනේ රූපක්කලයි ගෙදර යන්න. //

    තව කොටසක් තියෙයිද?

    කැමතියි

  4. පූසා says:

    පාඨකයාට ප්‍රශ්න සෑහෙන ගානක් ඉතිරි කරපු ලියවිල්ලක් වගේ!
    සමන්තිට මොකක්ද තියෙන අසනීපේ? එයාට පිස්සුද? රාළහාමි කිව්වේ දොස්තර කෙනෙක් ගැනද? දෙවෙනි කොටසකුත් ඇති නේද?

    කැමතියි

  5. සොසී says:

    දෙයියනේ………!!!!!!

    එහෙනම් ඒකත් එහෙමයි …………

    ගහේ කටු උල් කරන්න ඕනි නැති වුනාට. කටුවෙවත් ගහේ වත් නෙමෙයි වරද…. ගහ හැදෙන කොටම කටුව උල් කරන්න බලාන ඉන්න එකාගේ තමා වරද.

    “ ආව දෙන්කො අද ගෙදර…. ඕකා එන්නෙ රාලහාමිලයෙ ගෙදරත් රිංගල තමා.හීංකිතර උන්නැගේ….පුහ්… අනේ යකෝ…. පිරිමි ඔක්කම එකයි. ආවාවෙකෝ ගෙදර අද ආවාවෙකෝ……………“

    සමන්ති කොඳුරනව මට ඇහුනා………..

    කැමතියි

  6. Weni says:

    කතාවෙ මට නැගිච්ච ප්‍රශ්ණවලට මට හරියන උත්තර ටිකත් එක්කම කියවලා ඉවර කලා..ඉවර කලා කීවට ඉවර කලේම නෑ..තාම හිතනවා..

    කැමතියි

  7. අර කිව්වත් වගෙ සම්භාව්‍ය විදියට ලියලා තිබ්බට මටත් උත්තර නැති ප්‍රශ්න ගොඩාක් මතුවුනා. අනිත් යාලුවන්ගෙ කමෙන්ට් බැලුවම සන්තෝශ හිතුන යකෝ උන්ටත් එහෙමනෙ කියලා. ඇත්තට නවමො උමත් දැන් අර වෙනියා වගෙ අපිව යොදාගෙන මනෝ විද්‍යාත්මක පරීක්ෂණ කරනවද?

    කැමතියි

  8. අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ මේයැයි කතාවක් ලියලා.
    කතාවේ බාගයක් කියෙව්වා. ඉතුරු ටික කියවන්ඩ වෙලාව නෑ. හෙට කියවන්නම්. 🙂

    කැමතියි

  9. abeetha says:

    මට නම් දැන් උඹට ගංජා ගහන්න එපා කියලා ඇතිවෙලා බන්….

    කැමතියි

  10. ලිවිල්ල නම් මරු… ඒත් මේකේ නොකියපු දේවල් ගැන කල්පනා කරලා මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ දැන් 😦

    කැමතියි

  11. මාතෘකාව නම් නියමෙට ගැලපෙනවා. අගක් මුලක් නෑ.

    කැමතියි

  12. Sithi says:

    ම්ම්ම්ම්… ටිකක් අමුතු කථාවක්.. 2 වෙනි කොටසකුත් තියද…?

    කැමතියි

  13. mekuwi says:

    දැන් ඉතින් දස අතේ කල්පනා කරපල්ලකෝ මොකක්ද මේ පලහිලව්ව කියල.. නවමුත් පටන් ගත්තද රවී අය්ය වගේ මොලේ උලුක් වෙන කතා ලියන්න..

    කැමතියි

  14. කලුවා මල්ලි says:

    කතාව නම් හොදයි නවම් අය්යේ…..කියෙව්වට මුකුත් තේරෙන්නේ නෑනේ…..නැත් නම් මේකත් සම්බාව්‍ය ගනයේ එකක් ද….???
    (අය්යේ අයේමත් එබුවෙගෙ කතා එහෙම ලිව්වොත් හොදයි නේ…. )

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: