මං මැරිලා !!

අද වෙනකොට මං මැරිල දවස් තුනයි. ඒ කියන්නෙ මේක ලියල තියෙන්නෙ අදට දවස් තුනකට කලින්. ආයෙම කිව්වොත් මේක පිළුණු වෙච්ච ආරංචියක්. දවස් තුනකට කලින් මැරිච්ච එකෙක් ගැන ආයෙම කියවන්න මොකටද කියල හිතෙනවත් ඇති. ඒත් කැමති නැද්ද මං මැරුනේ කොහොමද කියල දැන ගන්න. මැරුනේ ඇයි කියල දැනගන්න ?

මේක කිසිම පිළිවෙලක් ඇති කතාවක් නෙමෙයි. කවදාවත්ම පිළිවෙලක් නොතිබුන මගේ ජීවිතේ ගැන කියන්න තියන කතාවත් කොයිම විදියටකටවත් පිළිවෙලක් ඇති එකක් වෙන්න බෑ නෙ. එහෙම උනේ මම අපිළිවෙලට ආසකරපු නිසා නෙමෙයි. පිළිවෙලට අකමැති වුන නිසා. පිළිවෙලට ඉන්න අකමැති වෙච්ච මට අපිළිවෙලට ඉන්න සිද්දවීමේ වැ‍රැද්ද මගෙද ?

මං දන්නෙ නෑ.. මට ඒ ගැන හිතල දැන් වැඩක් නෑ. ඒත් තවම පණපිටින් ඉන්න ඔහෙලට ඕනෙනම් පුළුවන් මගේ ජීවිතේ කපල කොටල, කැමති විදියට සංස්කරණය කරල කැමති කැමති විදියෙ රාමු වලට දාල ලොකෙ නැති තියරි වලට ආදේශකරල බලන්න ඇයි මං මළේ කියල. ඒත් මටනං ඒවයෙන් වැඩක් නෑ.

මට මැරෙන්න හිතුන ආසන්නම හේතුව උනේ මට ලෙඩක් තිබිච්ච එක !!

මම දන්නව මාත් එක්ක එක එක ගුබ්බෑයම්වල පැයට දෙකට ඇලවෙච්ච ගෑණු, පිරිමි [පිරිමි ? ඔව් මං ඒ ගැන පස්සෙ කියන්නම්] මේක කියෙව්වට පස්සෙ මට අම්ම මෝ නැතුව බනින්න පටන්ගන්නව කියල. ඒත් මට කරන්න දෙයක් නෑ. මම දැනගෙන හිටියෙ නෑ මට අසනීපයක් තියනව කියල. සමහර වෙලාවට මම දැනගෙන උන්නත් උඹලත් එක්ක නොඉන්න තරම් ඒක හේතුවක් නොවෙන්නත් තිබුන. මොකද මම කාටවත් ආදරය කලේ නෑ. මහලොකු සමාජ වගකීමක් තිබුනෙ නෑ. කොටින්ම මම කිසිම කෙනෙක් තඹේකට මායිම් කලේ නෑ.

හැදුනෙ කාගෙන්ද, කොහොමද කියන එක මම හරියටම දැනගෙන නො උන්නට යාම්තට වගේ හිතෙනව ඒක හැදුනෙ ධර්මසිරි ගෙන් කියල. ඒක හරි අප්‍රසන්න කාලයක්. යන එන මං නැතුව උන්න මට ඉහට වහලක් දුන්නෙ ධර්මසිරි අයිය. මට බෑ කියන්න බැරුව ගියා. ඊටත් මගෙ හිතෙත් ධර්මසිරි අයියගෙ මයිල් පිරිච්ච පපුවට මොකක්දෝ ආසාවක් තිබුන.

අන්තිම කාලෙ මං ගතකලේ කොළඹ උනාට මගෙ ගම මෙහෙන් හැතැප්ම සීයකට එකසීය පණහකට එහා මහා ශුෂ්ක පලාතක්. ගමෙන් මම එන්නෙ එහේ ඉන්න බැරිමකොට. ගමේ උන් මට මූණට නොකිව්වත් මං නැති තැන කිව්වෙ තනියා කියල. පොඩි පංතිවලදි නම් කොල්ලො මට කිව්වෙ තනි ඇටයා කියල.

තනි වෘෂණ කෝෂයක් එක්ක ජීවත් වෙනවට වඩා අතක් හරි පයක් එහෙමත් නැත්නම් ඇහැක් හරි නැතුව ජීවත් වෙන එක වාසනාවක් කියල මට ඒ කාලෙ හිතුනෙ ගමේ එක එකාගෙ වචන වලටත් වඩා ගාමන්ට් රස්සාවට බිබිලෙ ඉඳං ආපු චිත්‍රාංගනීගෙ වෙනස් වීම දරාගන්න අමාරුවෙච්ච දවසෙ…

මෙහෙම ඔක්කොම එකගොඩේ අච්චාරුව වගේ කිව්වම තේරෙන්නෙ නැතිවෙයි. ඒක හන්ද මම “තනියා” කතාවෙ ඉඳල  පිළිවෙලට කියන්නම්.

උප්පත්තියෙන්ම මම පුස්සෙක් නෙමෙයි, ඒත් පොඩි අමුත්තක් දැනිච්ච අම්ම කක්කානං බාප්පත් එක්ක මාව නෝනා වාට්‍ටුවට එක්කගෙන ඇවිල්ල තියෙන්නෙ වලගහකුඹුරෙ පෙරේරා මහත්තයගෙ කීමට. පරීක්ෂණ එහෙම කරල බලල ඇඟ ඇතුලෙ හිරවෙලා තිමිච්ච අනිත් එක එලියට ගන්න ඔපරේෂන් එක කරාපු දොස්තර ගෙ අත් වැ‍රැද්දකින් ඒකෙ නහරෙ කැපිල. ඒත් අම්මට කියල තියෙන්නෙ උප්පත්ති හැටියක් කියල තමයි. ඒත් පස්සෙන් පහු කංකානං බාප්ප තමයි මට විස්තරේ කිව්වෙ.

එදා ඉඳල මගෙ හිතේ කාටද කියන්න බැරි වෛරයක් පැසව පැසව තිබුන. සමහර වෙලාවට ඒ වෛරයම අනුකම්පාවක් වෙලා මගේ කන් දෙකේ ඉඳල කකුල් දෙක වෙනකං හීනි විදුලියක් වගේ ගලාහෙන ගියා.

ඔයිටත් සැහෙන්න කාලෙකට පස්සෙ තමයි ගාමන්ට් රස්සාවට චිත්‍රාංගනී අපේ ගමට ආවෙ. ඒකි මහ හැඩයක් ඇති එකියක් නෙමෙයි. ඒත් මගෙ හිත ගියා. සමහර විට ඒ මං ඒකිගෙ පෝලියෝ කකුලට අනුකම්පා කරපු නිසා වෙන්න ඇති. හැමදාකම වගේ වැඩ ඇරිල මං චිත්‍රාංගනීව  බන්ට් එකෙන් එගොඩ කරල ඒකි යන දිහාව බලං හිටියෙ අනේ ඒකිත් මං වගේම එකියක් නේද කියන හැඟීමෙන්.

ඒත් ඒකිට එහෙම හැඟීමක් මං ගැන තිබුනෙ නෑ කියල තේරුනේ මොකක්ද මංද ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ගිය දවසෙ. ටික වෙලාවකට පස්සෙ එකපාරටම ගැස්සිල වගේ අත අහකට ගත්ත චිත්‍රාංගනී ඉන්ටවල් එකෙන් පස්සෙ කරේ හීං සැරේ ලේන්සුව විකාගෙන ඉකිගහපු එක. ඒ ඒකි ගැන උපන් දුකට !!!!

ඔයිට සතියකට පස්සෙ මං ගම්පහ එන්නෙ කුකුල් කො‍ටුවක් බලාගන්න කෙනෙක් ඉල්ලල දාපු පත්තර දැන්වීමට. ඒ රස්සාවක් ඕනවටම නෙමෙයි. දන්න කාලෙම ඉඳල හිටිය පළාත, මිනිස්සු එපා වෙච්ච හන්ද. මං හිතුව එහෙම හරි අළුත් ජීවිතයක් පටන්ගන්න පුළුවන් වෙයි කියල. ඒත් මම එනකොට ඒ රස්සාවට වෙන මනුස්සයෙක් අරගෙන.

එදා රෑ ගම්පහ බස්ටෑන්ඩ් එකේදි තමයි ධර්මසිරි අයිය හම්බු උනේ. එයා තනිකඩය හන්ද මගේ විස්තර අහල මාවත් නවත්තගත්ත කඩේ පිටිපස්සෙ කෑල්ලෙ. පිටිපස්සෙ කැල්ල කිව්වට ඒක බාග පියස්සකින් වැහිච්ච අගුවක් වගේ වහින දවස් වලට පින්න ගහන. ධර්මසිරිගෙ අගුවෙ නිදාගත්තු මුල් කාලෙ හරිම වේදනාකාරී උනත් පහුවෙනකොට මං ඉබේටම වගේ ඒකට හුරු උනා. සමහර විට ඒක එහෙම උනේ කැමත්තකටත් වඩා යන එන මඟක් නොතිබිච්ච මට කරාපු උදව්වට ප්‍රතිඋපකාරයක් හැටියට වෙන්න ඇති.

පස්සෙ දවසක ධර්මසිරිගෙ අක්කගෙ කෙල්ලත් එක්ක ගල්කිස්සෙ ගිහිල්ල ආව වග කාගෙන් හරි ආරංචිවෙලා අගුවෙන් එලෝනකන්ම මම හිතුවෙ හැමදාටම එතන ඉන්න ඇහැක්වෙයි කියල. ඒ මට වෙන කොහේවත් ගිහිල්ල තනියම ජීවත් වෙන්න උවමනාවක් නොතිබුන නිසා.

මේ අහිමිවීම් ප්‍රතික්ෂේප වීම් දරාගන්න බැරිම තැන මං පිංවත්තෙන් කෝච්චියට පැන්නෙ ගේට්‍ටුකාරයා බෙරිහන්දෙද්දිමයි.

ඔව් මං දන්නව මේ කතාව තවමත් අසම්පූර්ණයි කියල. ජීවිතේම අසම්පූර්ණ වෙච්ච මට මේ කතාව විතරක් සම්පූර්ණ කරන්න කිසිම ඕනෑකමක් නෑ.

Advertisements

28 Responses to මං මැරිලා !!

  1. කාලෙකට පස්සේ සුපිරිම කතාවකින්
    මේ ඔහොම පැනලා බේරෙන්න බෑ අවසන් නොවුන කතාවක බාගයක් කියලා

    අඩෝ අහුවෙන්න එපා හරිය…

    කැමතියි

  2. නාකියා says:

    අපි ඉස්කෝලෙ යන කාලෙදි දෙගොල්ලක් ගහ ගත්තා. දවස් ගානක් වලිය ඇදි ඇදී ගිහින් අන්තිමට නතර වුනේ අපේ එකෙක් අනෙක් ඉස්කෝලේ එකෙකුට බිම දාගෙන ගහද්දි වැදුන පයින් පාරක් නිසා ඒ කොල්ලගේ එක “ඇටයක්” අයින් කරන්න වුනායිනුත් පස්සේ.2002 මාතලේ වුන සිද්දියක් ඒක.මට එක පාරටම ඌව මතක් වුනා.

    හැබැයි දන්න තරමින් තනි ඇටෙන් කියලා නෑ වැඩ දාන්න පුළුවන්ළු.

    කතාවනම් සුපිරි නවමෝ… හැබැයි ඉක්මන් වැඩි ගතියකුත් තියෙනවා වගේ.

    කැමතියි

  3. කම්මල says:

    අපි ඊයෙත් කතා උනා නවම්ට මොකද වෙලා තියෙන්නෙ කියල. මේ මැරිලනෙ ඉදල තියෙන්නෙ

    කැමතියි

  4. මැරුනට කම්ක නැහැ මේක දිගට ලියන්න.

    ඔය Undesended Testes පිළිබඳ මා ලියා ඇති අර ගම්මිරිස් පිබීම කතාවේදි.

    ලස්සන කතාව දිගට ලියන්න.

    කැමතියි

  5. desertfrog says:

    කතාව ඉක්මනින් කියනව…ඒත් දුක හිත්වලට ගලනව කියවගෙන යද්දි…ලියපු වේගයටම කියෙව්වාම හරි….
    ත‍ව ගොඩක් තියෙනව වගේ දැනෙනවා..ඉතිරි ටිකත් ලියන්න…හොඳ, දුක හිතෙන කතාවක්….

    කැමතියි

  6. දුකා says:

    අප්පච්චියේ . . . අපූරුවට ලියලා තියෙන හැටි . .

    මෙතන මැරෙන්න හේතුව තනි ඇටේද නැති නම් ලෙඩේද?

    මට හිතෙන්නේ ලෙඩේ කියලයි. .

    කැමතියි

  7. රාජ් says:

    කලකට පස්ෙස්. ඉතිරි ටිකත් ලියපං විගහට.

    කැමතියි

  8. abeetha says:

    අපරාදේ මම හිතුවේ උඹ මැරිලමයි කියලා.. පට්ට බිසී උනත් උඹේ පෝස්ට් එකකට කමෙන්ට් නොදා කොහොමද?

    මේවා සුරංගනා කථා නෙවෙයි බන්… ඇත්ත ජීවිත කථා….

    කැමතියි

  9. රංගි says:

    අද උදේ පහට විතර ඊයේ රෑ කාපු මිරිස් කරලේ සැරට ඇහැරිලා ඉන්නකොට ෆෝන් එකට ආව ඊමේල් එක ක්ලික් වුනේ ඉබේටම. මෙන්න නවම්. ඒත් එක්කම මැරිලා කතාවක්. මේ කාලයක් බ්ලොග් ලියපු නවම් මැරිලා වගේ කතාවක් මේල් එකෙන් කියවුනේ. බ්ලොග් එක කියවන්න කලින් තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් වලින් මම මැරෙන්නේ අද. එතකොට බෙහෙත් බීලත් නෑ. අම්මෝ නවමෝ ආයේ නම් ඔහොම ටොපික් දාන්න එපෝ. අර උදේ පාන්දරට ඔහොම එකෙක් දෙකෙක් මැරුනා කිව්වොත් අපේ ෆියුස් එකයි කලින්ම යන්නේ.
    ( ඒ වෙනකොට පෝස්ට් එක කියවලා තිබ්බේ නෑ)

    කැමතියි

  10. arunishapiro says:

    //ජීවිතේම අසම්පූර්ණ වෙච්ච මට මේ කතාව විතරක් සම්පූර්ණ කරන්න කිසිම ඕනෑකමක් නෑ.// 😀

    කැමතියි

  11. විමුක්ති says:

    උඹ තමයි දවසකටවත් අයිය බං,,
    මදෑ,බ්ලොගක් තියෙන වග මතක තිබිච්ච එක…

    කැමතියි

  12. පූසා says:

    හරිම කලබලෙන් ලිව්ව ගතියක් දැනෙන්නේ මැරෙන්න හදිස්සි නිසා වෙන්ටැ! සිරා කතාව!

    කැමතියි

  13. Gold fish says:

    කාලෙකට පස්සේ ඔලුව වද්දගෙන කොහෙද මන්දා… 😀

    කැමතියි

  14. AKM says:

    කලබලෙන් ලියලා තියෙන්නේ. ඒත් එකෙත් අමුතු ගතියක් තියෙනවා. ප්‍රතික්ෂේප වීමමද නැත්නම් ලෙඩේද මරණයට හේතුව?

    අදමයි මේ පැත්තේ ආවේ. හැබැයි නමනම් හොඳට අහලා තියෙනවා.

    ජයවේවා!

    කැමතියි

  15. සොසී says:

    කළකින් ඇවිත් දොඩම් බෝතලයක්ම ගෙනත්
    ඉතින් කාටෙයි මං අහන්නේ පාඩු………

    ලිවිල්ල ඉතින් ආයෙත් දෙකක් නැහැ සුපිරියි………………

    කැමතියි

  16. ඩිලාන් says:

    සුවර්මද මැරුනා කියලා..කාලෙකින් බ්ලොග් මතක් වෙලා නේද

    කැමතියි

  17. අයියෝ….. අදයි මං මේ පැත්තට ආවේ….. මෙන්න එනකොටම මෙයා මැරිලා…..

    කැමතියි

  18. මැදක් හරියට කියවන් එද්දි කුණුහබ්බ දෙක තුනක් මතක් උනා අයියට කියන්න
    කියවන වේගේ පොඩ්ඩක් වැඩ් කරලා කථාව කියන්නේ පිස්සෙක් කියලා හිතා ගත්තම එච්චර අවුලක් නැතුව ඉතුරු ටික කියෝගත්තා
    සුපිරි එක ගැනනමි කියන්න ඕනී නෑනේ

    කැමතියි

  19. පෝස්ට් එකක් දානකල් මම හිතාගෙන හිටියෙ උඹත් මැරිලා කියලා අයියෙ.

    කැමතියි

  20. උඹ නැවත ප්‍රවිශ්ඨ වෙලා තියෙන්නෙ ඩයිනමයිට් කතාවකින්. දැන් මේ පාර ආයෙ නින්දට යනවද, නැතිනම් දිගටම ලියනවද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    කැමතියි

  21. නිර්නාමික says:

    welcome back.. very busy and have no time for any blogging till end December.

    කැමතියි

  22. නිර්නාමික says:

    welcome back.. very busy and have no time for any blogging till end December.(Sarath Lankapriya)

    කැමතියි

  23. malmi says:

    මේ තරම් කාලයක් ඇවිත් නැත්තේ එහෙනම් ඇටේ කේස් එකක් නිසා. දෙයියෝ සාක්කි. සුදු මැණික පවු අප්පා!!!!

    කැමතියි

  24. Ravi says:

    ඉඳල ඉඳල ඔන්න කිව්වා කතාවක්. අනේ අම්මපා උඹ වගේ දසයෙක් හැබෑටම !!!

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: