බුද්ධා බාර්, ක්‍රිස්තු බාර් සහ අල්ලා බාර් – ඇහෙනකොට ජුවල් ඇයි ?

බල්ලා !!!!!

කවුරුහරි ඔය වචනය ඇහුනම අමනාප වෙනවද ?
සමහරෙකුගෙ උත්තරය “ඔව්” වෙනකොට තවත් සමහරකගෙ උත්තරය “නෑ”.
ඇයි මේ එකම ප්‍රශ්ණයට උත්තර දෙකක් ?
උත්තර දෙකම නිවැරදි ද ? උත්තර දෙකම වැරදි ද ? එහෙම නැත්නම් එකක් හරි අනික වැරදි ද ?

නෑ…. උත්තර දෙකම හරි !!!

එහෙම වෙන්නෙ ප්රශ්ණය යොමුවෙන්නා “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව. එහෙම නැත්නම් වචනය යොමුවූ පාර්ශවය අනුව. එකම පුද්ගලයාගෙන් අවස්ථාවන් දෙකකදී කලින් වතාවෙ අහපු එකම ප්‍රශ්ණයට නැවතත් ඇසුවොත් ලැබෙන පිළිතුරත් එකක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙත් ඒ පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව.

දැන් අපි මේක පොඩ්ඩක් කරුණු කාරණා ඇතුව කියවල බලමු,

බල්ලාට “බල්ලා” කියල කිව්වට කිසිම ගැටළුවක් නෑ. කිසිම කෙනෙක් විරුද්ධ වන්නෙත් නෑ, බල්ලා ඒකට කැමතිද නැද්ද කියල දැනගන්න අපිට ක්‍රමයක් නැති උනත්, අපිට “මනුස්සයා” කිව්වම අමනාපයක් ඇති නොවෙනව වගේ බල්ලත් අමනාප වෙන එකක් නෑ කියල හිතන්න පුළුවනි. නමුත් මොනයම්ම මොහොතක හරි මනුස්සයෙක්ට “බල්ලා” කිව්වොත්…. අන්න එතන ප්‍රශ්ණයක් !!

ඇයි ඒ ?

බල්ලා තමන්ට “බල්ලා” කියපු කෙනාට බුරාගෙන නොපැන්නට මන්නුස්සයාට බල්ලා කිව්වම ලැබෙන ප්‍රතිඵලය වෙනස්. එකම වචනයට පාර්ශවයන් දෙකකි ප්‍රතිචාර දෙකක්.
මනුස්සයෙක්ට ඒ වචනය ආරෝපනය උනාම එතන තියෙන්නෙ නින්දා සහගත බවක්. බරක් ඇති වචනයක්. සිව්පාවෙක් නොවන බව දැන දැනම මනුස්සයෙක් බව දැන දැනම ඒ තැනැත්තාට “බල්ලා” කියල ආමන්ත්රණය ලොකු බරක් තියන වචනයක්.

බල්ලාට “බල්ලා” කියද්දි නොතිබිච්ච “බරක්” මනුස්සයාට “බල්ලා” කියද්දි ඇතිවුනේ කොහොමද ? ඒක කොහෙන් ආපු බරක්ද ?

බල්ලාට “බල්ලා” කියනකොට ඒ වචනයෙ අපිට කෙලින්ම නොදැනුනත් බල්ලාගේ ගතිගුණ මෙය යැයි සමාජ සම්මතයන් පොදියක් ගැබ් වෙලා තියනව. ඒ ගතිගුණ බල්ලාට ආවේණික නිසා අපිට ඒ පිළිබඳව විශේෂ හැඟීමක් නෑ. ඒක හරියට පොල් ගහක පොල් හැදීම අරුමයක් නොවෙනව වගේ.

ඒත් කිසියම් වෙලාවක මනුස්සයෙකුට “බල්ලා” කිව්ව ගමන් අන්න අර වචනය පිටිපස්සෙ හැගිලා තිබුන බල්ලාට උරුම වෙච්ච “බලු ගතිගුණ” සේරම ටික එලියට එනව. ඊට පස්සෙ ඒ දේවල් සේරම ටික අර මනුස්සයාට ආරෝපණය කරල තමයි නවතින්නෙ.

මේ ආරෝපණය සිද්ධවෙන්න කලින් අපි බල්ලා පහත් සතෙක් හැටියට මැනගන්නව. හැබැයි ඒ මැනගැනීමෙන් පස්සෙ ඒ මානයන් “මනුස්සයා” එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. සංසන්දනය කරන්න බෑ. ඒ සමානත්වයක් නැති දේවල් එකිනෙකට සංසන්දනය කරන්න බැරි නිසා. බස් එකයි ලොරියයි යම් යම් පැතිවලින් සංසන්දනය කරන්න පුළුවන්, ගඟයි මූදයි සංසන්දනය කරන්න පුළුවන්. ඒත් “බල්ලයි” “මනුස්සයයි” සංසන්දනය කරන්න බෑ. නමුත් ආරෝපණයක් කරන්න පුළුවන්.

එතනදි වෙන්නෙ බල්ලාගේ “බලු ගති” “මනුස්සයාට” ආරෝපනය කරල මනුස්සයාට ස්වභාවිකවම උරුම වෙලා තියන ගති ලක්ෂණ යටපත් කරල දැමීම. එතනදි මනුස්සයා ගැන පහත් හැඟීමක් ඇතිවෙනව.

ජීවිතයේ තියන භෞතික දේ ගැන සිතීම හරිම ලේසියි, ඒත් එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල භෞතිකව ස්පර්ෂකරල බලන්න බැරි දෙයක් ගැන කතාකරනකොට, හිතන කොට ඒ දේ තේරුම් යන්නෙ පුද්ගල බද්ධ කාරණාවක් හැටියට.

මම “සතුටින්” කිව්වම ඒ සතුටේ ප්‍රතිඵලයක් විදියට ඇතිවුන සිනාවක් දකින්න පුළුවන් උනාට කිසිම වෙලාවක “සතුට” දකින්න බෑ. මගේ සතුට මම තේරුම් ගන්නා විදියට නෙමෙයි තවකෙනෙක් තේරුම් ගන්නෙ. ඔහු එය දකින්නේ ඔහු සතුට නිර්වචනය කරන විදියට. සමහර විට ඔහු සිතන සතුට නොවෙන්න පුළුවන් මම ඒ මොහොතේ අත් විඳින්නෙ.

එතනින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ල අපි ගනිමු මිනිස්සුන්ගෙ නමක්

ධර්මදාස !!

ඔතන පැහැදිලිවම පේන තේරුම තමයි “ධර්මයේ දාසයා” කියන එක, දාසයා කියන්න එක ආයෙ අමුතුවෙන් මෙතන තේරුම් කරන්න උවමනාවක් නෑ. ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට ලිපිය දිග වෙන එක විතරයි. “දාසයා” කියන එක විවිධ භාෂා වලින් ලිව්වත්, කිව්වත් ඒකෙන් ඇඟවෙන්නෙ එකම දෙයක් !

නමුත් “ධර්ම” කියන කොටස ඊට හාත්පසින්ම වෙනස්, එක එක පුද්ගලයා “ධර්ම” දකින්නෙ තම තමන්ගෙ දැක්මට අනුව. එතනදි ඉස්ලාම් භක්තිකයාගෙ ධර්මය කිතුනුවාගේ ධර්මයට වඩා වෙනස් [යම් යම් පැතිවලින්, ඒ දෙකේම මූලාරම්භය පේගන් බවට තියන තර්ක පසෙක ලා සැලකීමේදී]. බෞද්ධයාගේත් එසේමයි. එතකොට “ධර්ම” කියන්නෙ එකිනෙකට වෙනස් අර්ථයක් ඇති දෙයක්.

“ධර්ම” කියන සිංහල අකුරු තුනෙන් ඇඟවෙන දේ, දැක්වෙන දේ නමක් විදියට භාවිතා වෙන්නෙ සිංහලයන් අතරේ විතරක් වෙන්න ඕනෙ. එතකොට සිංහලයන් බහුතරයක් බෞද්ධයන් වීම තුල [නමට හෝ !] සමාජ සම්මතයෙන් “ධර්ම” කියන නම සිංහල බෞද්ධ කියා හඳුන්වාගන්නා සමාජ කොටසට අයිතියි. “ධර්මදාස” කියන නම නාමික බෞද්ධයෙකුට යෙදුවා කියල කිසිම කෙනෙක් අමනාප වෙන්නෙ නෑ. මොකද කිසිම කෙනෙක් ඒ මනුස්සයාගෙ “බෞද්ධ” කම මනින්න යන්නෙ නැති නිසා.

ඒක නිසා තමයි “ධර්මෙ” චන්ඩියෙක් වීමත් “ධර්මදාස” ලෝක හොරෙක් වීමත් “සුධර්මා” ගණිකාවක් වීමත් ලොකු සමාජ කතිකාවතක් දක්වා දුර නොයන්නෙ. කොටින්ම කිව්වොත් අර කලින් කියාපු “බල්ලා” තරමට “ධර්ම” නමක් විදියට බර නෑ මනුස්සයන් හා ගලප්පන්න යෑමේදී.

ඒත් ඊලඟට ගන්න යන වචනෙ සෑහෙන්න බරක් ඇති එකක් !

සිද්ධාර්ථ !!

නමේ තේරුම “අර්ථයක් සිද්ධකරන්නා” යන්න උනත් බෞද්ධාගමිගකයන්ට ඒක ඊට වඩා බරක් ඇති වචනයක්. පරම්පරා ගනනාවක් තිස්සේ බරක් පැටවුන වචනයක්. ඒක නිසා දෙමව්පියන් “සිද්ධාර්ථ” කියන්නෙ නමක් විතරක් උනාට තමන්ගෙ ළමයට ඒ නම තියන්න හිතන්නෙ නැත්තෙ. කිසිවෙක් එහෙම කරන්න එපා කියල නීතියක් නොදැම්මට එහෙම කරන එක හොඳ නෑ කියන සමාජ ඇඟවීමක් තියනව.

අල්ලා !!! ජේසුස් !!!! ඒ දෙකක් එහෙම්මම වෙන්න ඕනෙ මට හිතෙන විදියට.

දැන් අන්තිම වචනය.

සිද්ධාර්ථ බුදු උනා !! බුද්ධා !!!

සිද්ධාර්ථ කියන වචනෙට වඩා බොහොම වෙනස් වචනයක් තමයි ඒක. බුද්ධ කියන්නේ මොනවගේ කෙනෙක්දැයි කියන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ යෙමෙක් බුද්ධ කියන්නේ මේන්න මේ වගේ තත්වයකයටය කියල ලියල තියන දෙයක් ඒ ආකාරයෙන්ම පිලි අරගෙන පුනරුච්චාරණය කරනව ඇරෙන්න. භෞතිකව හිතුවොත් විවිධාකාරයේ මීට පෙර දැකපු පිළිම, සිතුවම් පෙලක් මැවිලා නැතිවෙලා යනවා වගේ පෙනෙයි, නමුත් ඒවා අතරෙනුත් මේ තමයි බුද්ධ කියල පැහැදිලිව තෝරල බේරල ගන්න එකක් නැතිවෙයි.

බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් නොවී පුද්ගලයෙක් පත්වුනා යැයි කියන තත්වයක් නිසා ඊට ලඟාවූ කෙනෙකුට හැරෙන්න බුද්ධ කියන වචනය තේරුම් ගන්න බෑ, නමුත් අපි භාවිතා කරනව පැටවුණු බර වැඩි කමටම තේරුමක් නොදැන. ඒ වචනය වෙනුවෙන් පෙනී සිටිනව ඒ වචනයෙක් ඇඟවෙන්නේ කුමක්දැයි නොදැන, ඒ චරිතය ආශ්‍රය කරගෙන විවිධ නිර්මාණ කරනව මොකක්ද කියල නොදැන. කළුවර කාමරයක ඇති අඳුර අතින් අල්ලන්න හදනව වගේ.

ස්තූතිය : ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම් වෙත !

Advertisements

26 Responses to බුද්ධා බාර්, ක්‍රිස්තු බාර් සහ අල්ලා බාර් – ඇහෙනකොට ජුවල් ඇයි ?

  1. සිද්ධාර්ථ් ගෞතම් යන නම් දෙකම උතුරු ඉන්දියාවෙ බහුලව තවමත් පාවිච්චි වෙන නම් දෙකක්.
    බුද්ධ කියන වචනයෙ තේරුම තේරුම් ගන්න පුලුවන් නවම් මල්ලි.. මේ ටික නම් ඉංග්‍රීසියෙනුයි ..
    During Lord Buddha’s time one Brahmin man happens to see the extraordinary look of lord Buddha and asks him whether he was a god, a super natural being , Brahma a devil or a human being. Lord Buddha answers as follows.
    abhinneyiyan abhingnathan bhawethabbancha bhaawithan.pahaathabban paheenancha thasmaa buddhosmi brahmana.. (SUTTA NIPATA)

    ‘Understood are the things to be understood,
    Cultivated are the things to be cultivated,
    Eradicated are the things to be eradicated,
    Therefore Brahmin, I am the Buddha.’

    යො ධම්මං පස්සති සො මං පස්සති.. කියල බුදුහාමුදුරුවො කිවුවෙ.. යමෙක් ධර්මය දකීද හේ මා දකී. අන්න ඒ විදිහට ධර්මය තුලින් දකින්නකො..

    කැමතියි

    • නවම් says:

      //සිද්ධාර්ථ් ගෞතම් යන නම් දෙකම උතුරු ඉන්දියාවෙ බහුලව තවමත් පාවිච්චි වෙන නම් දෙකක්// ඔව් මම හින්දි ‍ෆිල්ම් එකකත් දැක්ක එහෙම නමක් තියනව, නළුව අමිතාබ්.

      එහේ එහෙම උනාට මෙහේ එහෙම නැත්තෙ එහෙට වඩා මෙහේ ඒ නම බර වැඩි නිසා වෙන්න ඇති.

      //යමෙක් ධර්මය දකීද හේ මා දකී//

      සරත් අයියෙ, අපි ඉන්නෙ ධර්මය දැකලද ? එතනයි ප්‍රශ්ණය තියෙන්නෙ. එහෙම නොදැක අපි “බුද්ධ” කියන වචනයට දෙන අර්ථකතන කොච්චර දුරට නිවැරදිද කියන එකයි මම අහන්නෙ.

      මම මගේ පොඩි එකාට කිව්වොත් “පුතේ කඟවේනා කියල සතෙක් ඉන්නව ඌ මෙන්න මේ වගේ” කියල සමහර විට පිළිගනීවි. ඒ විස්වාසය මත මිසක් හැබෑවටම දැකල නෙමෙයි. මම පුතාට එහෙම සතෙක් ගැන කිව්වෙ මමදැකලත් නෙමෙයි කථාන්තර කාරයො කියාපුව අහල.

      ඒත් මගෙ හිතේ කඟවේනා මෙන්න මෙහෙම සතෙක් වෙන්න ඇතිය කියන රුපයක් තියනවනෙ. ඌ අශ්වයෙක් වගේ, සුදුපාටයි, උගෙ නළලෙ තියන අන හරියට මූදු වෙරළෙ ඉඳහිටක හම්බුවෙන කැරකිලා ඉහලට නැගිච්ච බෙලික‍ටුවක් වගේ.

      සමහර විට මට ඒ කතාව කියාපු මනුස්සයගෙ හිතේ ඉන්න ඇත්තෙ ඔයිට වඩා වෙනස් එකෙක්.

      හැබයි මට හොඳටම විස්වාසයි මගෙ කතාව අහල පුතා හිතේ ඇඳගන්නෙ වෙනස්ම සතෙක් කියල. අශ්ව පෙනුම ගැන කොහොම වෙතත් අර බෙලි ක‍ටුව වගේ අන ගැන නම්.

      කැමතියි

      • නවම් says:

        //ධර්මේන්ද්‍ර කියන නම් ඉන්දියානුවෝ භාවිතා කරනවා, මම හිතන්නෙ ධර්ම කියන්නෙ අපි අදහස් කරන එකම තමයි.//

        මම හිතන්නෙ නෑ.. ඉන්දියානුව [හින්දු / බෞද්ධ] දකින “ධර්මය” ලකාවෙ අපි අද දකින “ධර්මය” යි දෙකම එකක් කියල. නමුත් ඡායාමාත්‍ර සමාන කමක් ඇතිවෙන්න පුළුවන්.

        //සිද්ධාර්ථ කියන නමින් වස් වදී කියලා අපි හිතුවට ඉන්දියාවේ දි ඒක තවත් නමක් විතරයි අලුත උපන් බිළි‍ඳෙකුට දාන//

        ඒක තමයි හෙන්රි අයියෙ මම කියන්න හදන්නෙ, ඉන්දියාවෙදි බර පැටවුණු වචනයක් නොවුනට ලංකාවෙදි ඕක හාත්පසින්ම වෙනස්. ඔය තියරියම තමයි “බුද්ධා බාර්” නමෙත් තියෙන්නෙ. ඕකෙ අයිතිකාර උන්නැහේට තවත් එක නමක් විතරයි වෙලඳවටිනාකමක් තියන. ඒත් ලංකාවෙ “සිංහල බෞද්ධයාට” එහෙම නෙවෙයි.

        කැමතියි

      • මේකයි නවම්.. බුදුහාමුදුරුවො ජීවත්වෙලා හිටි කාලෙත් උන්වහන්සෙ නොදැක්ක අය පන්සල වටේටත් හිටියා. ඉතින් දැන් එහෙම නූනා නම් තමයි පුදුම. මම නම් බුදු දහම ඉගෙන ගන්න කෙනෙක්.. ඉතින් ඉගෙන ගන්න හැම දෙයක් තුලින්ම මම දකිනවා දන බිම ගසා නලල බිම තබා නොව ඊටත් වඩා පොලව යටට ගිහින් වැඳිය යුතු උතුම් මනුශ්යයෙක් බුද්ධිමතෙක් .. ගුරුවරයෙක්..
        තම තම නැණ පමණින් දැනගතයුතු කියල කියන්නෙ ඒකනෙ.. එක එක්කෙනා තමුන්ගෙ බුද්ධි මට්ටම් අනුවයි දැනගන්නෙ දහමත් බුදු හිමිත්..
        කෝටි ගනනක් වන්දනා මාන කරන ආගම් කර්තෘවරයෙකුට හෝ ආගමකට අපහාස වෙන අයුරින් ඒ නම භාවිතාකිරීම අශිශ්ඨ වැඩක් කියල මම හිතන්නෙ. ඒවාට එරෙහිව නීති තිබිය යුතුයි.

        කැමතියි

  2. ධර්මේන්ද්‍ර කියන නම් ඉන්දියානුවෝ භාවිතා කරනවා, මම හිතන්නෙ ධර්ම කියන්නෙ අපි අදහස් කරන එකම තමයි.

    සිද්ධාර්ථ කියන නමින් වස් වදී කියලා අපි හිතුවට ඉන්දියාවේ දි ඒක තවත් නමක් විතරයි අලුත උපන් බිළි‍ඳෙකුට දාන. සිද්ධාර්ථ ගැල්වනයිස් පයිප්ප හිටවපු වහලක් යට මම ඉඳලා තියෙනවා.

    ජීසස් කියන නම තියෙන මිනිස්සු ඉන්නවා අදත්.

    නමුත් මේ කිව්ව එකක්වත් උඹේ තර්කය බිඳ දමන්න කිව්ව ඒවා නෙවෙයි.

    උඹට තාම පොත් ටික දීලා දාන්න බැරි වෙලා වගේ. පෙට්ටියකට දාලා වහපං බං. 😀

    කැමතියි

  3. තිසර says:

    දැන් ‘අම්මා’ කියන්නේ පුද්ගලයෙක් නොවේ තත්වයක්නේ. පිරිමියෙකුට අම්මා කෙනෙක් වෙන්න බැරි හින්දා, අම්මා යන්නෙන් ඇඟවෙන්නෙ මොකද්ද කියල එක තේරුම් ගන්න බැරිද?

    අපි බුද්ධත්වයට පත් වෙලා නැති උනාට, බුද්ධත්වය කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්ය කියන අදහස අපේ හිතේ තියනවා. සිදුහත් කුමාරයා බුදු උනේ කොහොමද කියලා අපි කියවලා තියනවා, බුදු කෙනෙක් දේශනා කරපු බණ අහනවා, කරපු දේ කියවලා තියනවා. බුද්ධත්වය පරිපූර්ණව තේරුම් ගන්න බැරි උනාට, සාධාරණ අදහසක් ගන්න පුළුවන්.

    100% මේ යැ‍යි කියන්න බැරි නිසාම යම් කිසි පිළිගත් රාමු ඇතුලේ ඒ ගැන වාද විවාද තියනවා. ඒ නිසාම ඒ ගැන විවිධ මතවාද කලාකෘති බිහිවෙනවා. ඒක අඳුරේ අතපත ගෑමක් කියලා මම හිතන්නෙ නෑ. යමක සැබෑ ස්වරූපය හරියටම නොදැනීම ඒ ගැන විවිධ අර්ථකතන, නිර්මාණ කරන්න හොඳ හේතුවක්

    කැමතියි

    • නවම් says:

      අම්මා කියන්නෙ දරුවෙක් ලබාපු ඕනම ගෑණුකෙනක්ට කියල කෙනෙක් තර්ක කරන අතරේ දම වදාපු දරුවා මරන අම්මා අම්මෙක් නෙමෙයි සුම්මෙක් කියල කියන අයත් ඉන්නව. ඒක භෞතිකයි. [මේ තර්කයෙ ගේන්නෙ බුද්ධ කියන එකට සමගාමීව නම්, බුද්ධ කියන්නෙ භෞතිකයට එහා ගිය දෙයක්]

      තිසර අම්මා ගැන කතා කරනකොට මම ඒ කතාව තේරුම් ගන්නෙ මගේ අම්මා තුලින්. එතනදි මම තිසරගෙ අම්මා ගැන තේරුම් ගැනීමක් නෙමෙයි සිද්දවෙන්නෙ. තිසර කියනවනම් තිසරගේ අම්මා කරුණාවන්තයි කියල මම ඒ දේ තේරුම් ගන්නෙ කරුණාව ගැන මට තියන අත්දැකීම අනුව. අම්මා ලස්සනයි කිව්වම මම ඒ ලස්සන දකින්නෙ මගේ හිතේ “ලස්සන කියන්නේ මෙන්න මේ දේ” කියල ගොඩ නඟාහෙන ඉන්න කාරනා තුලින්.

      //බුද්ධත්වය කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්ය කියන අදහස අපේ හිතේ තියනවා//

      නෑ… ඒක බුද්ධත්වය ගැන අවබෝධයක් නෙමෙයි බුදූහාමුදුරුවෝ මෙන්න්න මේ වගේය කියල රූපය හා කඟතාවයක් නෙමෙයිද ? නෙමයි නම් තිසරට පුළුවන්ද බුද්ධත්වය මෙන්න මේ වගේ දෙයක් කියල ආසන්න වශයෙන් පැහැදිලි කරන්න ? කෙකෙන් බුද්ධත්වය කියන්නේ මෙන්න මේකටය කියල කිව්වොත් තිසරට තේරුම් ගන්න පුළුවන්ද ? [අපි යම් වචනයක් අවබෝධ කරගන්නෙ ඒ වචන වලට අපේ හිතේ තියන හදුනාගැනීම් ආශ්‍රයෙන්]

      කැමතියි

  4. ravi says:

    මොකෝ බොල කමෙන්ට් මොඩරේෂන් දාල තියෙන්නෙ?…තොගෙ හත් මුතු පරම්පරාවටම දෙස් තිව්වය කවුරු හරි ගොබිලෙක් අමු තිත්ත කතාවෙං?….හෙහ්, හෙහ්, මට පුදුම එහෙම වෙච්ච එක නෙවෙයි එහෙම වෙන්න මෙච්චර පරක්කු උන එක…

    කැමතියි

  5. සුදත් says:

    අපේ රටේ බුද්ධසිරි අරක්කු බොයි. අරක්කු විකුණයි. ඒතකොට බුද්ධසිරිගෙ අරක්කු තැබෑරුම බුද්ධ බාර් නෙවෙයි.

    බුදුහාමුදුරුවො කිව්වෙ නාමං නාම පඤ්ඤත්තිමත්තං කියලයි.
    අපි බුදුහාමුදුරුවන්ට වඩා බුද්ධිමත්, සිල්වත්, බලවත් සිංහලයොනෙ.

    කැමතියි

  6. ravi says:

    / එතනදි වෙන්නෙ බල්ලාගේ “බලු ගති” “මනුස්සයාට” ආරෝපනය කරල මනුස්සයාට ස්වභාවිකවම උරුම වෙලා තියන ගති ලක්ෂණ යටපත් කරල දැමීම. එතනදි මනුස්සයා ගැන පහත් හැඟීමක් ඇතිවෙනව. /

    මේ ඊයෙ පෙරෙයිද මට හම්බ උන පොඩි ආරංචියක්. ඔන්න ඔය කොහෙද රටක කරපු පර්යේසනයක ප්‍රතිපල. බල්ලෙකුට ඇතුල් කරල Brain Imaging Micro Chip එකක්. ඒකෙං හොයාගෙන තියනව බල්ලො බලු වැඩක් කලාම උං එකාට එකා බැනගන්නෙ ” යකෝ මිනිහෙක් වගෙ හැසිරෙන්ඩ එපා බං ” කියලලු…” තෝ නං මහ මිනිහෙක් ” එහෙමත් කියනවලු..පස්සෙ ඒ පර්යේසනේ ප්‍රතිපල එළි දරව් කරල නෑ කරපු එවුන්ටත් බලු බැණුං අහන්ට වෙයි කියල උං බයවෙලා…

    / ඒක නිසා දෙමව්පියන් “සිද්ධාර්ථ” කියන්නෙ නමක් විතරක් උනාට තමන්ගෙ ළමයට ඒ නම තියන්න හිතන්නෙ නැත්තෙ /

    නං දානකොට බොහොම පරිස්සං වෙන්ට ඕන තමයි. දැං විජය කුමාරණතුංගගෙ දුවට දැම්මෙ යශෝධරා කියලනෙ. ඒ සීන් එක නිසා විජයට වස් වැදුන කියලත් ඒ දවස්වල කතාවක් පැතිරුනා රට පුරා.

    යශෝධරා කියල කලාතුරකින් හරි නම් තිබ්බට මහාමායා කියල කාටවත් නම් තියන්නෙ නැත්තෙ මොකෝ? සුද්දෝදන කියල නම් පොරවල් ඉන්නව. හැබැයි ඒ උප්පැන්නෙ තියන නම නම් නෙවෙයි..

    / බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් නොවී පුද්ගලයෙක් පත්වුනා යැයි කියන තත්වයක් නිසා ඊට ලඟාවූ කෙනෙකුට හැරෙන්න බුද්ධ කියන වචනය තේරුම් ගන්න බෑ, නමුත් අපි භාවිතා කරනව පැටවුණු බර වැඩි කමටම තේරුමක් නොදැන. ඒ වචනය වෙනුවෙන් පෙනී සිටිනව ඒ වචනයෙක් ඇඟවෙන්නේ කුමක්දැයි නොදැන, ඒ චරිතය ආශ්‍රය කරගෙන විවිධ නිර්මාණ කරනව මොකක්ද කියල නොදැන. කළුවර කාමරයක ඇති අඳුර අතින් අල්ලන්න හදනව වගේ /

    ” ස්වාමීනී. මඳක් සමාවුව මැන. එහෙත් ඔබ වහන්සේ නමින් අවන්හලක් පවත්වාගෙන යාම ඔබ වහන්සේට කරනා නිගරුවෙක් නොවේද? ඉන් ඔබ වහන්සේට අපහාසයක් නොවන්නේද?… ”

    රජතුමෝ දෑඟිලි බැඳගත්වනම විමසූවෝ හිස නමා ආචාර දක්වමිනි.

    ” ඒ කෙසේද මහරජ…මා නමින් අවන් හලක් පවාගෙන යාම මට අගරුවක් වන්නේ කෙසේද?…අඳ බාල පුරුෂයින් කිහිප දෙනෙක් එකතුව එසේ කල පමණින් මාගේ කීර්තිය පළුදු වේ හෝ එසේත් නැත්නම් ධර්මය කිලිටි වේ යයි උපකල්පනය කල හැක්කේ ඊටද වඩා අඳ බාල පුද්ගලයෙකුටමය. එසේම මගේ ධර්මයට කිසි දිනෙක ආරක්ෂක සේවාවක්ද අවශ්‍ය නොවේ.ධර්මය විසින්මැ ධර්මය රැමෙනු ඇති. ධර්මයෙහි හැසිරෙන්නා ද ධර්මය විසින්මැ රැකෙනු ඇති. මාගේ ධර්මයට තමන් විසින්මැ රැකෙනු නොහැකිවැ ආරක්ෂක සේනාවක පිහිට අවශ්‍ය වන්නේ යම් දිනකද එදින එකෙනෙහිම ධර්මයෙහි වලංගුතාවය, ධර්මයෙහි සදාතනික භාවය, ධර්මයෙහි සර්වකාලීන බව අහෝසි වෙයි.එකල්හි මාගේ ධර්මයද නැසී යන්නාහ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව මවිසින් වදාල බව මතක තබා ගනු මැනව. මාගේ ධර්මයද ඒ සංස්කාර ධර්මයන්ටම අයිති වන්නාහ. මාගේ ධර්මය අහෝසි වීමට නියමිත කල් එලඹිකල කිසිවෙකුට කිසිදු ආරක්ෂක සේනාවකට ඒ වැලැක්විය නොහැක. ”

    බුදු රජානන් වහන්සේ මෙසේ පවසා කෝසල රජුන්ගේ බිය දුරුකොට ඔහු සිත් සැනසවූ වග මෙසේ දත යුත්තේය.

    / ඒත් මගෙ හිතේ කඟවේනා මෙන්න මෙහෙම සතෙක් වෙන්න ඇතිය කියන රුපයක් තියනවනෙ. /

    අම්මප ඇත්තම ඇත්ත මලේ…ඔන්න උඹට කිව්වම මොකද දැං මේ වැඩි කාලයක් නෑ ඔන්න..අවුරුදු තුනකට ඉහතය කියමු…නවම් පෙරහැර කිව්වම මයෙ හිතේ ඇඳෙන්නෙ ඔන්න සුදු ඇඳගත්තු උපසක උපාසිකාවො බෝම සංවර තාලෙට තෙල් මල් අරගෙන සාදු සාදු කිය කිය හෙමිහිට යනව. අලි ඇත්තුත් එහෙමයි. හෙමිහිට අඩි තිය තිය යනව වටපිටවත් නොබල.

    ඒත් උඹට කියන්ට දැං නවම් පෙරහැර කිව්වම මයෙ හිතේ එක පාරට මැවෙන්නෙ ඔන්න ඇස් රතුවෙච්චි කොණ්ඩෙ අවුල් වෙච්චි යක්කු වගෙ කලු මිනිස්සු කට්ටියක් යටි ගිරියෙං හූ තිය තිය පාර පුරා අඩව් අල්ලනව.අලි පිස්සු හැදුන වගෙ කැරකි කැරකි නටනව. ඒ අතරෙ එක එකාට හොඬ වැලෙං දීගන්නව දේයි දේයි ගාල.

    මොකෝ බොලේ එහෙම උනේ කියලයි මම මේ ආස පොලෝ ගැටලන්ට කම්පනා කොරන්නෙ?…උඹටවත් මොකවත් ඒ ගැන හිතෙන්නෙ නැත කොල්ලො?

    / හැබයි මට හොඳටම විස්වාසයි මගෙ කතාව අහල පුතා හිතේ ඇඳගන්නෙ වෙනස්ම සතෙක් කියල. අශ්ව පෙනුම ගැන කොහොම වෙතත් අර බෙලි ක‍ටුව වගේ අන ගැන නම්. /

    නුගේගොඩ සුපර් මාර්කට් එක ගාව හන්දියෙ දැං කාලෙකට ඉස්සරවෙල තිබ්බ මතකෙයි නවමො වීදිය බණ්ඩාරගෙ පිළිමයක්? උන්දැ කඩු පතේකුත් උරුක් කරගෙන ඉන්නව අස්සයෙක්ගෙ පිටේ නැඟල……

    ඔතනිං යන ගමං මයෙ යාලුවෙක් මිනිහගෙ පොඩි එකාට ඕක පෙන්නල කිව්වළු ” අන්න පුතේ අර තමයි වීදිය බණ්ඩාර ” කියල. කොල්ල ටිකක් වෙලා පිළිමෙ දිහා බලා ඉඳල ඇහුවලු ” කවුද තාත්තෙ අර වීදිය බණ්ඩාරහෙ පිට උඩ නැඟල ඉන්නෙ? ” කියල…ඔය සීන් එකෙං පස්සෙය කියනව ඔතනිං ඒ පිළිමෙ අයිං කලේ…

    කැමතියි

  7. abeetha says:

    මේකට උත්තර දෙන්න ඕන ලිපියකින්මයි… කමෙන්ට් එක දිග වැඩියි…

    කැමතියි

  8. Gold fish says:

    මටත් කියන්න දේවල් තියෙනවා… ම්… බලමු ඉස්සරහට..

    කැමතියි

  9. Alchemiya says:

    පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා
    සිල් අරං ඇවිත් සීලවතී මකුණො මරණවා.
    නවම් ඇවිත් නවම් මහේ පිස්සු කෙළිනවා
    නිකං ඉන්න බැරුව අපිත් කමෙන්ට් දෙනවා….

    කැමතියි

  10. arunishapiro says:

    මෙක්සිකන් අය අතර ජේසුලා, හේසු කියන්නෙ, ගොඩක් ඉන්නවා, ඔවුන් බහුතරය කතොලික.

    කැමතියි

  11. පඬිතුමා says:

    චූටි මැනිකෙට තරහ ගියාම උඹට කතා කරන්නෙ මොකක් කියලද?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: