ආපස්ස බැලීම හා ප්‍රතිරූප සමඟ අවසානයේ මංගල යෝජනා .|. ඊලඟ කෑල්ල තවත් රසවත් ද ?

ආපස්ස බැලීම.

බොහොම කාලයක් බ්ලොග් නොලියා හරිහමං විදියට නොකියවා උන්න. උවමනාවෙන් නෙමෙයි ඔහේ දවසින් දවස පස්සට ගියා. හරියට ගින්දරෙන් ඇතට ගිහිල්ල හීතල ගුහවක ගුලිවෙලා ඉන්නව වගේ.

ඒ හීතල මහා කම්මැලි කමක් ගෙනාව ආයෙම ගින්දර හොයාගෙන යන්න නොහිතෙන තරම්.

ඔහොම කම්මැලි කමේ ගුහාවෙ මුල්ලක ගුලිවෙලා ඉන්නකොට කවදාවත්ම නොගියපු ගුහාවෙ අඳුරු දෝනාව දිහාවෙන් එකපාරටම මතූවුනා මහා සද්දයක්.

හීතලට ගල් වෙලා තිබිච්ච ලේ ආයෙම දියවෙන්න පටන් ගත්තෙ කන් පෙතිවලින්, ඊට පස්සෙ මූණ දිගේ පහලට ඇවිල්ල බෙල්ලත් පහු කරන් ඩිංග ඩිංග විශේෂ අවශේෂ තැන් පහුකරගෙන අන්තිමට කකුලේ සුළැඟිලි දෙකට ආව ගමන් සුරුස් ගාල පහු නොබලා ආයෙම විළුඹ පස්සෙ වදින්න දිව්ව දීවිල්ල නැවතුනේ මෙන්න මෙතනින්.

ප්‍රතිරූප.

ප්‍රති + රූප.

රූපයේ විරුද්ධය, එහෙමත් නැත්නම් අනිත් පැත්ත, අනිකා දකින පැත්ත වගේ අර්ථයකින් වෙන්න ඇති ඔය වචනෙ හැදෙන්නා ඇත්තෙ. වැරදි නම් භාශා විශාරදයෝ කමත්වා.

ප්‍රතිරූපයක් කියන වචනයේ සරළ අර්ථය යමෙක් හෝ යමක් ගැන එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කොට්ඨාශයක ඇති මතය, ඔහු හෝ ඇය “මෙන්න මෙහෙමයි” කියල ඇති කරගෙන ඉන්න මතය.

ඔය මතය ඇතිවෙන්න “මම” කරන කියන දේවල් සහ මහේ වටිනා කම් පාදක කරගෙන. ඔය වටිනාකම් දීල තියෙනෙ සමාජය විසින් උනාට කාලානුරූපීව ඒක පෞද්ගලිකයක් බවට පත්වෙනව. එතන ඉඳන් “මම” හඳුන්වන්නේ සහ හඳුනාගන්නේ ඒ වටිනාකම් හරහා. “මම” කැමතියි ඒ වටිනාකම් රාමුව ඇතුලේ ‍රැ‍ඳෙන්න. මොකද ඒක “මම” යන්න වඩාත් තහවුරු වෙන්න දැඩිලෙස උපකාරී වන කරුණක්.

ඉතිං කොයියම්ම මොහොතක හරි ඒ ප්‍රතිරූපයට පාරක් වැදුනොත්, එහෙම නැත්නම් පාරක් වදින්න යනව කියල දැනුනොත් අපි හැමෝම විවිධාකාරයේ ප්‍රයත්න දරනව ඒක වෙනස් නොවී පවත්වාගන්න. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනව. සමහරවිට ඒ පෙනී නැඟීම බොහොම දරුණු වෙන අවස්ථාත් තියනව.

ඔන්න ඔය ප්‍රතිරූප ‍රැකීමේ උත්සාහයක් තමයි මීට කලකට ඉස්සෙල්ල බාලචන්ද්‍රන් ගැන බ්ලොග් අවකාශයේ කමෙන්ට්ස් හරහා ඇති වුනෙත්.

යමෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරනව. ඔන්න ඒ මතය හරහා අනෙක් අය මතධාරියාව විවේචනය කරන්න ගන්නව. අන්න එතනදි මතධාරියා නැඟීසිටිනව තමන් පෙර දැරූ මතය සාධාරණීයකරණය කරන්න. එතනදීම අනිච්ඡ්චානුගවම සිද්ධවෙන්නේ මතධාරියා තමන් පෙර දැරූ මතයෙන් ඇඟවෙන්නේ “තමා ය” කියල ඇඟවීමක් අරගැනීම. ඊලඟට තමා දැරූ මතය නිවැරදි වෙන්නේ මෙන්න මේ කාරණා මතය කියල ඔප්පුකරන්න යෑම.

එතනදි ඔහුට හිතෙන්නෙ නෑ අනිත් අය මොනව හිතුවත් කමක් නෑ කියන තීරණයේ ඉන්න. ඔහු වලිකන්නෙ තව කීපදෙනෙකුගේ හිත්වල හරි තමන් පෙර දැරූ මතය නිවැරදිය කියල චිත්‍රයක් ඇති කරන්න. එතන වක්‍රාර්ථය තමන් නිවැරදිය කියල ඔප්පු කිරීමක්.

මංගල යෝජනා

ඕං එහෙනං මෙන්න ප්‍රතිරූප ‍රැකීමේ ආදීනව…

මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නව මෙන්න මේ ප්‍රතිරූප විනසවෙනවට බොහෝම බය. මේ මිත්‍රය ප්‍රේමවන්තයෙක් !

උන් දෙන්නගෙ පැණි වරකෙට මාස දෙක තුනකට සැරයක් හෙණයක් දෙකක් පහත්වෙනවමයි. ඒ හෙණ ගෙඩි නිවන්නෙ ඉතිං නෙළුම් කොලේ පිටෙන් තමා [දන්නෝ දනිති.. හෙහ් හෙහ් හෙහ්] ඔයි අර කලකට කලින් මම ලිව්ව “මෙන්න මෙහෙමයි පවුල් කන්නේ” ලියන්න හේතුපාදක උනෙත් ඔය හෙණගෙඩියක් නිවාගන්න නෙළුම් කොලේට රිංගාපු වෙලාවක තමයි.

මේ ගැණුළමය ඉතිං ඉන්නවට ඉන්නව. ඉස්සෙල්ලම පත්වීම අම්පාරට. මගේ මිත්තරය කොළඹ. අනේ ඉතිං මූ මාසෙකට වතාවක් විතර මංගච්චනව එහේ. ගිහිල්ල අම්පාරෙ ටවුමෙ කඩේකිං දෙන්නත් එක්ක මක්කාහරි කොටාබාල මූණට මූණ බලගෙන ඉඳල ආයෙම එනව තට්ට තනියම පැය ගානක් කොළඹ. පොඩි කාලයක් නෙමෙයි ඇවුරුදු හතරක් එකදිගට. අඳෝ සංසාරේ…… !

ඊට හපං මේ ගෑණුළමයගෙ අනිත් වැඩ. මෙලෝ මළදානයක් තේරෙන්නෙ නෑ. එහෙම නැත්නම් තේරුනත් නොතේරුනා වගේ ඉඳල මී හරක් ප්‍රශ්ණ අහනව. මගේ සගය කියන විදියට බල්ලෙක් අර්ධකවාකාරෙට මළපහ කරල තිබුනොත් “ඇයි අනේ මේක රවුමට තියෙන්නෙ ?” කියල අහන ජාතියෙ එකියක්. හෙහ් හෙහ්. අනික්ව හිතාගන්න ඇහැකි නෙව.

අනේ ඉතිං සත්‍ය ප්‍රේම බෘංගරාජයෙක් වෙච්චි මගේ මිත්‍රයා සියල්ල ඉවසා වදාරා ඉන්නව එසේ මෙසේ වැදෑරීමක් නෙමෙයි අට අවුරුද්දක්ම. අම්මප වෙන එකෙක්නං පිපිරිලා මැරිල ගිහිල්ල මෙලහකට. මූ වැයිං ඉන්නව.

ඔයිට හපං වැඩ තියනව…

මේ ගැණුළමයගෙ මල්ලිගෙ යාළුවෙන් දැන් අවුරුදු හය හතක් තිස්සෙ උන්නෙ ගෙදර පැලපදියං වෙලා. ඌ දුම්මල ගහලවත් එලෝගන්න බැරිලු. දීගතල දෙන වයසක කෙල්ලෙක් ඉන්න ගෙදරක පිට එකෙක් නවත්තං ඉන්නෙ අහවල් එකෙකටද කියල ඇහැව්ව්ම ඉතිං කියන්නෙ “අනේ ඒ අපේ මල්ලිගෙ යාළුවෙක් අයියෝ” කියල.

ඔයි ගෑණු ළමයගෙ අම්මගෙ යාළුවොත් බොහොමයක් පුරුස පාර්සවේ කියලත් පොඩි කුණුකුණුවක් තියනව.

සේරම මෙතන නොලිව්වට හිතාගන්න ඇහැකි නෙව පොසිබිලිටීස්……

අනේ ඔයි අට මඟල් අස්සෙ මේ අසරණය අර ගෑණුදැරිවි කැන්දන් යන්නයි සූජානම.

මං උගෙන් එකයි ඇහැව්වෙ.

කරුණු කාරණා ඔහොම නං උඹට හිතෙන්නෙ නැත ඕක හරියන මඟුලක් නෙවෙයිය කියල බං ?

මේං හම්බුවෙච්චි උත්තරේ…

කොහොමෙයි බං නවත්තන්නෙ, අට අවුරුද්දක්මනෙ, අනික මං එහේ මෙහේ ගියා වටේ පිටේ මිනිස්සුත් දන්නවනෙ බං. ඉතිං කොහොමෙයි දැං නවත්තන්නෙ ?

අනේ ඔන්න මගේ මිත්තරයා හිතන හැටි. කියාපු එකම හේතුවකවත් තිබුනෙ නෑ “මම එයාට ආදරෙයි / මට එයාව ඕනෙ” කියන වචන ටික.

වටේ පිටේ මිනිස්සුන්ට බයේ අසරණයා ජීවිතේම උගස් කරන්න හදන්නෙ.

ඒකත් එක්තරා විදියක ප්‍රතිරූප ‍රැකීමක් තමා. මගේ මිත්‍රයාගෙ බයයි අසල්වැසියො එයා ගැන ඇතිකරගෙන ඉන්න ප්‍රතිරූපය විනාශකරල දාන්න. ඒක නිසා මිනිහා අකමැත්තෙන් වුනත් විවහයට සූදානම් වෙනවා.

හපෝ මේ මනුස්සයා අර කෙල්ලත් එක්ක හැම තැනම රවුම් ගහල රවුම් ගහල අන්තිමට අතෑරියා. මහ කැත මිනිහෙක්..

ඔන්න ඔහොම අසල්වැසියෝ තමන්ගැන හිතයි කියල බයට මේ යෝධයා දුවන කෝච්චියට බෙල්ල තියන්නයි හදන්නෙ.

++++++++++++++++++++++++++++++++++++++++++

හදිස්සියෙම ගියසුමානෙ දවසක මට කෝල් එකක් එනව මෙගේ මිතත්‍රයගෙන්.

මංචං… අද හවස මොකෝ කරන්නෙ ?

මම දන්නව මේ එන්නෙ මොකාටද කියල. මොකද මේක තමයි කාලෙක ඉඳල සිද්ධවෙන වැඩ පිළිවෙල.

හරි හතට පුරුදුතැනට වරෙන් මචං.

+++++++++++++++++++++++++++++++++++++++++++

මොකෝ මේ හදිසියෙ.. අවසාන බෝජන සංග්‍රහයද වෙඩිමට කලින් හෙහ් හෙහ් ?

මොන වෙඩින්ද බං.. ඒව හබක් !!!

මොක ??

ඉවරයි බං. දැං පුදුම නිදහසක් දැන්නෙ ….

මැයි තුන්වෙනිදට නැකැත් හදල, හෝටල් බුක් කරල, ගෲප් එකටම ඇඳුම් මහල, අන්දවන අය බුක් කරල ස්ටූඩියෝ බුක් කරල, වෙඩින් කාර් බුක් කරල, හනිමූන් යන්න අලි ලඟටම එන හෝටලයක් බුක් කරල තියෙද්දිත් මෙන්න මේකා කියනව ඒක අහවරයි කියල.

චෑහ් , තුහ් තුක්….

මාව කොච්චර හොල්මං උනාද කියල කියනව නම් හැඩැල්ලෙක් කියල හපල තියෙන්නෙ පැත්තකින් තියාල තිබිච්ච දෙහි පෙත්තක් !!

ඉවසල ඉවසල බැරිම තැන තවත් ඉවසල ගියා ශාක්‍යා එකට ඇඩ්වාන්ස් එකක් දෙන්න බං, ඒ දීල එන ගමං අරකිට කෝල් එකක් ආපි අර ගෙදර ඉන්න මල්ලිගෙ යාළුවගෙන් ‍ෆිල්ම් එකක් බලන්න යන්න.

එතනින් පස්සෙ බොහෝම කතා උනත් ඒව මෙතන ලියන එක හරි නෑ.

අවසානයේ හිතට ආපු ආවේගය අර ප්‍රතිරූප විනාසයට තිබිච්ච බය යටපත් කරල දාල.

දැන් ඔන්න මංගල දැන්වීම :

පහතරට බොදු ගොවි 1982, මොර‍ටුව සරසවි උපාධිධාරී පරිගණක ඉංජිනේරු, නවීන මෝටර් රථයක් හා නිවාස හිමි කඩවසම් මිතුරාට සිහින් සිරු‍රැති, විනෝදකාමී, බළු බෙට්ටේ ඇද නොසොයන හැබෑවටම තරුණ තරුණියක් සොයයි. දැවැදි අනශ්‍යයි. ඒ වෙනුවට ඇයට පූර්ණ ලෙස පෙර සූදානම් මංගලෝත්සවයක් හිමි වේ. සැ. යු: මැයි තුන්වනදා පෙරවරු දහයයි විසිඅටට යෙදනෙ සුභ මොහොතින් අතිනතගැනීමට ඇයි සූදානම් විය යුතුය.

ප.ලි: මට ගොඩක් දේවල් බ්ලොග් අවකාශයේ අතපහුවෙලා.. හයියෝ..ආයෙම කාලයක් යයි වගේ…මම එනකල් හිටපියෝ…

Advertisements

19 Responses to ආපස්ස බැලීම හා ප්‍රතිරූප සමඟ අවසානයේ මංගල යෝජනා .|. ඊලඟ කෑල්ල තවත් රසවත් ද ?

  1. වෙන මක්කවත් නෙවෙයි!! උඹ ආපිට ආව එකම මදැයි..එක තැනක දෙතැනක ඇරුණාම කියවන්ඩ හරිහමං යමක් නැතුව මේක අප්පිරිය වෙලා තියෙන්නෙ බං..

    කැමතියි

  2. එකොලොස්වෙනි පැයේ හරි උරචක්‍රමාලෙන් ගැලවුණා මදැයි.. මං ඉතිං ඔය වගේ එවුවට කොරන්න ඕනෙ එක ගැන වෙනම ලිවුවානෙ..
    කොහොමටත් නවම් මලයා මේකෙන් දකින්න ලැබුණ එක ලොකු දෙයක්.. අපි මේ හිත හිත හිටියෙ මොකද සද්දෙ වහලා කියලා. මං එහේ ගිහිං සටහනුත් තිබ්බා මයෙ හිතේ !

    කැමතියි

  3. ඇති යන්තම් ඔහොම හරි බේරුනා.. 😀

    කැමතියි

  4. නවම් අයියා දැක්ක කල්. කතාව ගැන කියනවා නම් යාලුවා ගත්තු තීරණේ හරි. දැන දැනම ජීවිතේ නරකාදියක් කරගන්නෙ නැතුව ඔහොම කරපු එක හොඳයි.

    කැමතියි

  5. ravi says:

    මොක හරි කමක් නෑ ඒ කැඩිච්ච මංගල්ලෙ හින්ද හරි උඹ ආයෙම මොකවත් ලියපු එකත් වටිනව…අර ජනූ කිව්ව වගෙ……හෙහ්, හෙහ්,

    මල්ලි දැං ඔය ඇඩ්වාන්ස් ගෙවපුව ආයෙම දෙන්නෙ නෑ නේද? මෙහෙම ඇරේන්ජ්මන්ට් එකක් දාගන්ට කතා කරහං….

    මාස හයක් ඇතුලත මඟුල ගන්නවයි කියල අත්තිකාරම බලපැවැත්වෙන කාල සීමාව දීර්ඝ කරගන්ට සාකච්ඡා වටයක් තියාපං උඹ මූලික වෙලා…. හෝටල් කාරයොයි, ඇඳුං මහන එවුනුයි, පොටොස් අල්ලන එව්වොයි..වාහන කාරයොයි ඔක්කොම එක දවසක ගෙන්නපං බොලාගෙ ගෙදර…යාලුවටත් එන්ඩෙයි කියාපං.. ඒ කරල තත්වෙ පැහැදිලි කරහං..ෂේප්මන්ට් එකක් දාගන්ට බැරිවෙනේකක් නෑ මයෙ හිතේ..

    ඒත් බැරිම නං පොටෝස් හෝටල් ඒ ටික අල්ල දාපං..අර බුක් කරපු වාහනේ උඹයි චූටි මැණිකෙයි පොඩි එකයි පලයල්ල අලි ළඟටම එන හෝටලේට ආයෙමත් හනිමූං එකක් ගෙවල එන්ට……හෙහ්, හෙහ්,

    කැමතියි

    • නවම් says:

      ඌ හදන්නෙ අර නැකතට වෙනෙ එකියක් බඳින්න බං. හරකෙක් !!! හෙහ් හෙහ්.. බැරි උනොත් ඌ මඟුල කල් ගියා කියල මඟුල ගන්න හෝටලෙයි පිංතූරු කාරයයි කල්දාගන්න හදන්නෙ, හැබැයි අර අන්දවන එකී නං කියන්ව දවස් එහෙ මෙහෙ කොරන්න බෑය කියල. හනිමූන් හෝටලේට නං උඹහැ කිව්ව වැඩේ නරක නෑ බං, ඇනිමල් ලීව් දාල ගියානං සත්තු ටිකක් බලාගෙන එන්න තිබුන. හෙහ් හෙහ්.

      කැමතියි

      • හැබැයි ඉතිං නවමො ඕක පණහට පණහෙ බිස්නස් එකක් නෙව… දැන් ඌ ඒ නැකතටම බඳින්ඩත් හදනව නං තව තියෙන්නෙ සති දෙකයි.. ගෑණියෙක් පිරිමියෙක් කසාද බඳින්ඩ යන්නෙ කියන තැනට අඳුනගන්ඩ සති දෙක මදි කියල මට කියන්ඩ බෑ… ඒ වගේ දේවල් මං අත් විඳල තියෙන හන්ද….. ඒත් ඕක හරිගියොත් එලකිරි වැරදුනොත් ගොරක කිරි කේස් එකක් කියලයි මට නං හිතෙන්නෙ..

        කැමතියි

      • Ravi says:

        ඒයි අන්දන අම්මණ්ඩිගෙ කේස් එකට මෙහෙම කරමු බං..කොහොමද?

        දාමු ලහිපිටේ ඇඩ්ඩෙකක්..කොහොමද?…මෙන්න මෙහෙම…

        ඔබ මැයි තුන්වනදා විවාහ වීමට බලාපොරොත්තු වුවද මෙතෙක් ඇඳුම් අන්දවන්නියක සොයා ගැනීමට නොහැකිව ලතවන්නියක්ද?….ඔබගේ ගැටලුව අපට භාර දෙන්න.

        නවම් සහ පුත්‍රයා.. ( සති දෙකෙන් මනාලියන් සොයා දීමේ සහ විවාහ මංගල්‍යයන් සැලසුම් කිරීමේ පුරෝගාමියෝ )
        නවම් මාවත,
        කොළඹ 02.

        කැමතියි

  6. රාජ් says:

    ඔයිං ගියා මදැයි. උඹ දැක්ක එක ඊටත් වඩා මදැයි.

    කැමතියි

  7. නිර්නාමික says:

    කාෙලකට පස්ෙස අාපු ඒක වටින්ව

    කැමතියි

  8. Gold fish says:

    අයියේ…. නෙළුං කොලේ කියන්නේ?

    කැමතියි

  9. තරූ says:

    නැවත පැමිණීම සතුටක්…. නැවත ලිවීම සතුටක්…

    කැමතියි

  10. සීයා says:

    නෝනා… මගෙ නර්ස් නෝනා… ඔයා රජ කුමරිය ඉස්පිරිතාලේ…

    කැමතියි

  11. අඳුන් දිවියා says:

    හීතලට උඹේ වෙන මොකුත් ගල් උනේ හෙම නැද්ද?

    කැමතියි

  12. පැයගානක් බස් එකේ ඇදලා මාසෙකට වරක් අම්පාරට කෙල්ලව බලන්න එන එකෙක් කියන්නේ දෙයියෙක් බං .. මම නම් අවුරුද්දකට වතාවක් කොළඹ ආවොත් සතියක් යනකම් ඒ ඇඟේ අමාරුව යන්ඩ තිත්ත බේත් බොනවා ..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: