මාළු කොඩිතුවක්කුයි කුරක්කන් තලපයි

සුදු අක්කේ රෑට තලප කනවැයි?

කියල සෑහෙන කාලෙකට පස්සෙ තිලේඅම්ම ඇහුවෙ වැඩ ඇරිල ගෙදර ආපු අපේ අම්මගෙන්.

ඒ වෙලාවෙ මට ගියපු සන්තෝසෙ. මං මහම පෙරේතයි තලප ගිලින්න. ඒ වග දැනං උන්නු තිලේ අම්ම කුස්සි ඉස්තෝපු කෑල්ලෙ සන්තෝසෙන් උඩපනින මාව අම්මට ඇහෙං පෙන්නුව.

මට මොකෝ තලප හම්බවෙනවනං ඕනෙ එකක් කියල ඒපාර වැල් ඇඳට පැනල උඩ පනිනව. මයෙ බරට ඇඳ වැල් කිරි කිරි ගානව. ඒකෙ සද්දෙට  ඉස්තෝපු කෑල්ලෙ මුල්ලෙ වී ගෝනි අස්සෙ පැටව් ගහපු කිරි පූසිත් එළියට ඇවිල්ල පුදුමෙන් වගේ මං දිහා බලං ඉන්නව. එයැයිට පැටව් අමතකයි වගේ මගෙ විගඩං වලට.

ඔය වගේම සන්තෝසයක් ආව මතකයි ඉස් ඉස්සෙල්ලම මෙහේ බලුබ් එකක් පත්තුවෙච්ච දොහේත්. එදත් මේ වැල් ඇඳ කැඩෙන්න උඩපැන්න.

ඔයි මොකෝ කරන්නෙ. කඩල දාන්න හදනවැයි ඇඳ?

ආච්චි උළුවස්සට හේතුවෙලා ඉඳං අහනව. එයැයිගෙ පිටිපස්සෙන් බහින ඉරේ එලියෙ තද කොමටද කොහෙද මූනෙ තියෙන්නෙ හිනාවක්ද කේන්තියක්ද  කියල බලාහන්න බෑ. කොහොම උනත් මං නැවැත්තුව. නැත්නං හීං ඉරට පාරක් වදිනවනෙව පස්සට.

මං විගඩං නවත්තපු හන්දද කොහේද කිරි පූසි මහ කම්මැලි ඈනුමක් ඇරල ආපහු ගෝනි ගොඩ පැත්තට හැරිල වී පුරෝපු පෝර උරේක නියපොතු මදින්න තියාගත්ත.

චිප් පූසි චිප්……

ආච්චි එයැයිට බැනල එලවගත්ත. හොඳ වැඩේ, අච්චර ගෝනි තියෙද්දි මක්කටෙයි පෝර උරේම නියපොතු මැද්දෙ. ඉරුන නම් මොකෝ අපි එපැයි අස්කරන්න. එයැයි පැත්ත පළාතෙ එනවැයි කියලය. ආවත් ඉතිං වී බොන්න ආපු මැස්සෙක් අල්ලන්න කුරුමාණං අල්ලනව විතරෙනෙ.

පුතේ, චූටිඅම්මත් එක්ක පීල්ලගහ වත්තෙ දෙණියට ගිහිං ගහල දළු ඩිංගිත්තක් කඩං එන්න.

ඔන්න තවත් මං ආසම වැඩක්. අනික යන්නෙත්  කිව්වෙ චූටිඅම්ම එක්ක. එයැයි හරිම ජොලි පුංචිඅම්ම. අනිත් ඈයො වාගේ නෙමෙයි. මං මක්ක කරත් ඇස් උඩ තියං කැගහන්නෙ නෑ, එයත් එනව මිසක් මගෙ නාඩගං වලට.

යං කියල චූටිඅම්ම මගේ අතිං අල්ලගන්නව. ඊට පස්සෙ පිළිකන්න පැත්තෙන් කරාබුගස් මණ්ඩිය දිගේ ගිහිල්ල බේබි ආච්චිලගෙ වත්තෙන් පාරට බහිනව. ඒක තමයි තියෙන ලඟම පාර. නැත්නං හරි දුර. බේබි ආච්චි දැක්කොත් “රුප්පෙ පුතේ කොහේද මේ යන්නෙ ?” කියල අහනවමයි. එයැයිටත් ඕන නැති කෙහෙල් ගෙඩියක් නෑ. ඒත් ඉතිං අද වැඩකට නෙව යන්නෙ, වෙනද වගේ කම්මැලි කමට ඔහේ ඇවිදිනව නෙවෙයිනෙ. ඇහුවොත් කියනව අද රෑට තලපෙයි කන්නෙ කියල.

ම්ම්ම්…… එයැයිටත් ඕන වෙයිද දන්නෙ නෑ. ඒත් ඉතිං කන වෙලාවට ආවොත් සීය මහසෝනට උනත් එන්නෙයි කියල බෙදල දෙනවනෙව. ඉතිං බෙබි ආච්චි ආවොත් එයැයිගෙ තලප ගුලිය දෙන්නෙයි කියනො.

පීල්ලගහ වත්ත වෙලේ, හින්නි මාමලගෙ ගෙවල් පැත්තෙ කණ්ඩිය පල්ලෙහා වතුර පාරෙ තමයි වෙල් ගහල ගාල තියෙන්නෙ. චූටි අම්මයි මායි වතුරෙ බැහැල තර‍ඟෙට ගහල ගොබ ගලවන්නෙ. රෑට තලප කන්න විගහට යන්න තියෙන හන්ද මිසක් වෙන දවසක නං ගහල ගොට්ටකට මාළුවෙක් අල්ලං ඇවිල්ල වෙලේ ලිඳට දානවමයි. ඒත් අද ඕව කරන්න ගිහිං ආනම හදන්න පරක්කු උනොත්…

හා රුප්පෙ පුතේ…. අද තලප හදන්න වගේ…..

ඒපාර කවුද? සද්දෙ ආපු දිහා බැළුව. හා හින්නි මාම නෙව.

ඕ…. අපි අද තලප හදනො. ඔහෙත් එනවැයි.

අනේ පුතේ අද පන්සලේ පිරිත්මණ්ඩප්පෙ ගහනවනෙව. මං මේ එහේ යන්නෙයි කියල.

අඩ්ඩඩ්ඩා… අන්න ඊලඟට මං ආසම වැඩේ. හින්නි මාම කපන මල්කොළ දිගාරින එක. එයැයි ගාව නියන් මිටියක්ම තියෙනව එක එක හැඩේ මල් කපන්න. එක සීරුවට කොල නවල කපනව එක එක අතට හිල්. දිගාරිනකං හිතාගන්න බෑ එයැයි කැපුවෙ මොන මෝස්තරේද කියල. හරිම හැඩයි. ගොඩක් වෙලාවට එයැයි කපන සේරෝම දිගාරින්න කලිං මට නින්දගිහිල්ල. ආපහු උදේ වෙනකොට මෙන්න මාලිගාවක් වගේ හැඩ මණ්ඩප්පයක් තියෙනව. ඊට පස්සෙ තවත් වරුවක් විතර යනො ඉතුරු සුකුරුත්තං වැඩ අහවර වෙන්න. රෑට වටේට පොල් තෙල් පහන් පත්තුකරල මැද පැට්ටෝල් මැස් එක තියල ගත්තම දිවියලෝකෙත් මේවගේ වෙන්න ඇති කියල හිතෙනො.

හා එහෙනං අපි හෙට එන්නං ඔහේගෙ මණ්ඩප්පෙ බලන්න. දැං අපි යනෝ. අම්ම බලං ඇති.

එහෙම කියල ආපහු ආපු පාරෙන්ම ගෙදර එනෝ. ඉර බැහැපු හන්ද කරාබුගස් මණ්ඩියෙන් විගහට යන්න ඕන, නැත්නං සූ ගාල ඉන්න මදුරුවො කනව.

මෙච්චර වෙලා පුතණ්ඩියයි පුංචිඅම්මයි මක්කයි කලේ. ගහල වැව්වයි දළු කඩං එන්න මෙච්චර වෙලා ගීයේ ?

ආච්චි ඔහොම්ම මයි. එයැයිට තේරෙන්න නැද්ද මංද. මග දිගට කී දෙනෙක් එක්ක කතාකරන්න වෙනවැයි.

අන්න හින්නි මාම හෙට පිරිත් අහන්න එන්නෙයි කිව්ව ඔහේට, කියාගෙන මං වෙල් ගහල දළු මිටියත් අරං රිංගනව කුස්සියට.

අම්මෝ පුසුඹ. දර ලිපේ ගොජ ගොජ ගගා පැහෙනව මාළු හොද්දක්. මට ඉන්නම බෑ. මං එබෙනව ලිපට. ඒපාර හුමාලෙ වදිනවව මූනටම. මාළු ඔලු හතරකුයි තව කෑලියි හුමාලෙ අස්සෙන් යන්තං පේනව.

තිලේඅම්මේ කොඩිතුවක්කුත් දැම්මයි මෙකට.

ඕව් හතරක්ම ඇති. සීය කියලම ඉල්ලං ඇවිල තිබුන අපේ ගෙදර කොඩිතුවක්කු කන්න පෙරේත කොල්ලෙක් ඉන්නවැයි කියල.

මං කොඩිතුවක්කු කියන්නෙ මාළුවගෙ පීකුදු වලට. ඒක හරියට කාලතුවක්කුවක් උඩ බලං ඉන්නව වගේ. මට ඒකට කියන්නෙ කොඩිතුවක්කුයි කියල කියල දුන්නෙ තිලේඅම්ම වෙන්න ඕන. එයැයිට හරි අපූරු දේවල් තමයි හිතෙන්නෙ.

මට ඇසුත් ඕනෙ… මගෙන් තවත් ඉල්ලීමක්. මාළුවගෙ කොඩිතුවක්කුව ඇරුනම ඇස් වලට තමයි මං ආසම. හයිය ඇස් වික වික ඉන්න ඇහැකි ගොඩක් වෙලා. මාළු කන හැමදාම මගෙ පිඟානෙ පැත්තක අන්තිමට කන්න ඉතුරුකරගන්නව කොඩිතුවක්කුයි ඇසුයි.

මං මාළු හොද්දට ඇහැ ගහං ඉන්න වෙලාවෙ අම්මයි ආච්ච්යි වෙල් ගහල දළු ආනමයි, තලපයි හදල එවරයි. ඔන්න ඇතුල්පොතක දුං දම දම තියෙනව තද දුඹුරුපාට තලප ගුලි. තවත් බලං ඉන්නෙ අහවල් දේකටෙයි.

එන්න කන්නෝ………. මං බෙරිහං දෙනව.

කාටෙයි ඔය ආවඩන්නෙ. දැං මුළු ගමම එයි මෙතන සද්දෙට. ආයෙමත් ආච්චි.  බයවෙලාද කොහෙද එයැයිගෙ තලප ගුලියත් දෙන්න වෙයි කියල.

අඩියෙ සපත්තු මල් තියෙන බොකු‍ටු එනැමල් පිඟානට මං දාගන්නව දුං දම දම තියෙන තලප ගුලියකුයි මාළු බොර හොද්දයි. ආනම බෙදන්නෙ අම්ම තමයි. මොකෝ මං ආස නෑ ඒකට වැඩිය. ඒත් ඉතිං අම්මගෙන් බේරෙන්න ඇහැකිය. පුංචියට කඩාගෙන ගුලි කරගත්තු තලප ගුලියක් අස්සෙ ගහල මාළු හොද්දෙ දවටගත්තම ගත්තම ගහල දළු ආනමත් ගිලගන්න ඇහැකි. ඔය තලපෙ විකන්න එහෙම ඔට්‍ටු නෑ. විකුවොත් කට පුරාම ඇලිල මහ විනාසයක් තමයි වෙන්නෙ. ඔන්න ඔහොම  ගුලි කරකර අර ලොකු ගුලියකට මං වැඩේ දෙනව බුරිය උල් වෙනකන්ම. ඊලඟට නැහැමින් බෙදාගත්තු මාළු හොද්දෙ දියවෙලා තියෙන තලපත් එක සුරුස් ගාල එක උගුරට ඇදල දානව. ආයෙ ඉතිං ඇඟිල්ලක්වත් ගහන්න නෑ මගෙ බඩේ ඉඩක්.

මේක කියවලනං තලප හදන්න බෑ, මං මාළු හොද්දෙ අරුමෙ බල බල ඉන්න සුනංගුවට අම්ම තලප හදල අහවරයි නෙව. ඕනෙ නං මේ විදියට කන්න ඇහැකි. හදාගන්න කැමතිකෙනෙක් ඉන්නවනං මේන්න මේ කමු බොමු එකෙනුයි අරුණි අක්කගෙනුයි අහල බලන්නකො.

Advertisements

පැළ පොල් මද නං ආයෙ මොනවද

තිලේ අම්මේ….. උදේ ආච්චිත් එක්ක නාං එනකොට මං දැක්ක පැල පොලයක් තියෙනව පල්ලෙහා. අරං එන්නෙයි.

කොහේද පුතේ..

අර කහලගොඩට පල්ලෙහා ජම්බු යට.

ඉන්න මාත් එන්නං, තනියම යන්න එපා ගොරොක් ගහ මුල කඩ් ගුලක් තිවුන.

ඔහේ ඕන්නෑ. මං ගේන්නං.

එහෙනං පරිස්සමෙං. ලිං බක්කියෙ මාළු අල්ලන්න යනව එහෙම නෙවෙයි හො‍ඳෙයි ?

නාන ලිඳ තියෙන්නෙ වෙල් මට්ටමට හන්ද ලිඳේ වතුර හැමතිස්සෙම උතුරල යනව. වෙලේ ඉන්න මාළු සමහර වෙලාවට ලිඳේ වතුරබහින කානුව දිගේ උඩහට පීනගෙන ඇවිල්ල ලිං බක්කියෙ ගල් අස්සෙ කැරකි කැරකි ඉන්නව. නාන්න ලිඳට ගියාම මං පොල්ක‍ටු වලින් මාලු අල්ලනව ලිඳට දාන්න කියල. ඒත් ආච්චිත් එක්ක ඔය සෙල්ලං කරන්න බෑ.

කෝ ඇහුනද?

හරීඊඊඊ…….

වචනෙ පිට උනා විතරයි මං කහලගොඩයි නන්නං ගහයි අතරෙන් තියෙන ලිඳට යන මැටි පාර දීගේ දුවනව නෙමෙයි ඉගිල්ලෙනව පල්ලෙහාට. ඒ වෙලාවට වෙනද ඔය පාරෙ යද්දි ඇනෙන ගල් ඇනෙන්නෙත් නෑ. ගොරක ගහේ මං එනකං බලං ඉන්න යකා ඇත්තෙත් නෑ.

බ්‍රා……..ස්…..  කියල මං පැල පොලේ ගාව බ්‍රේක් ගහනව. මොන…….. පල්ලමේ දුවං ආපු වේගෙට නවතින්නෙ වෙරළුගහත් පහුකරල.

කී…..ක්     කී….ක්    කී…ක් ගගා ජම්බුගහ ගාවට රිවස් කරනව. එතකොට හරියට හීංකිතර මාමගෙ කාර් එක වගේ.

යාන්තං ගොබේ ආපු පැළ පොලේ අත්දෙකින්ම උස්සල ගත්ත. හීනියට මුල් දෙක තුනකුත් ඇදිල. ඒත් හිතාපු තරං පැළවෙලා නෑ. මේකෙ මදේ තාම පුංචි ඇති. තව ඩිංගක් විතර ගොබේ ඇදිල තිබුනනං නියම ගාන. ඒත් තවත් කල් බලං ඉන්න ඇහැකි කාටෙයි. තව තියෙන්න ඇරියොත් හින්නි මාමලැහ සමීරය හීං සැරේ අරං යයි.

තිලේ අම්මේ මෙන්න ගෙනාවෝ…………. ලෙලි ගහල දෙනවැයි?

තිලේ අම්ම පොල් ඔයන කිතුල් උලේ ගහල පොලේ ඔයනකං මං කුස්සියෙ පඩිය උඩ ඇණ තියං බලං ඉන්නව. ඒයැයි මට පස්ස හරෝගෙන නෙ ඔයන්නෙ. මට බයේ බෑ හයියෙන් උලේ ගහල ගෙඩිය ලෙලි ගහන්න කලිංම බි‍ඳෙයිද කියල. එහෙම උනොත් පැළමදේ චප්ප වෙලා යාවි.

ඔයල ඉවරෙයි….?

මට බලං ඉන්න බෑ. පඩියෙ යන නයි කූඹි වැලෙන් ආපු එකෙක්ද කොහේද මගෙ පස්සත් කනව. ඒ මදිවට තැන්නෙ ගෙදර බල්ලත් ඇවිල්ල බලං ඉන්නව කණ්ඩි ගැට්ට උඩ වාඩිවෙලා.

ඔහේ මොකෝ බලං ඉන්නෙ, පැළමද කන්නෙයි. දුප් යන්න.. මං කුස්සි පඩියට උඩහින් ඊයෙ හවහ වැල ගෙඩියක් කාල එකතුකරල තිබුන කොස් ඇටයක් අරං බල්ලට ගැහුව. යන පාටක් නෑ. ඌටත් පැළ මද කෑල්ලෙක් දෙන්න වෙනව දැන් නං. කිව්වම අහල දුවපිය යන්න. මං තව කොස් ඇටේකින් ගැහුව.

ඔය මක්ක කරනවැයි, කොස් ඇට ටික වීසිකරන්නෙ ?

හපෝ ආච්චිත් ඇවිල්ල. දැං දීපල්ලකො එයැයිටත් බාගයක්. තනියෙම පොල් ඔයාගන්න ඇහැක් කාලයක් උනාමනං පල්ලෙහා තියං කාල එනව මිසක් ගේන්නෙ නෑ ගේ හරියකට.

පුතේ…. මහ පිහිය ගේන්න.

ඇති යාන්තං ඔයල ඉවරයි වගේ. මං දූවල යනව කුස්සියට. දවල්ට උයල අහවර උනාම ජනෙල් සේරම වහන හන්ද කුස්සියම කරුවලයි. ඇරල තිබුනොත් ඉතිං හොර පූසි උස්සං දුවනව උම්බකලඩ කෑල්ලක් හරි කරෝල කූරියෙක් හරි.

ඩිංග වෙලාවක් යනකොට කරුවලට ඇහැ හුරු උනාම පේනව මහපිහිය බෝතල් රාක්කෙ යටම කෑල්ලෙ තියෙනව. මගෙ අම්මේ ඒකෙ බර.

ආ..

හෙමිං ගහන්න හොඳේ..  අර තඩි පිහියෙන් ගැහුවම පැළ මදේ කුඩුවෙලා යාවි. එහෙම තැලිච්ච ඒව කාල වැඩක් තියෙනවයි.

තිලේ අම්ම මං දිහා බලල මහම මහ පැළමද පෙරේතයෙක් කියන්න වහේ හිනාවක් දාල සීරුවට එකපාරෙන් දාං…. ගාල බින්ද පොලේ.

මගෙ අම්මේ… මේ තියෙන්නෙ කිරිම කිරි පාටට ගෑණු බෑය පැත්තෙ පැළමදේ. ආසාවෙ බෑ… පුංචියි කියල හිතං උන්නට පුංචිම නෑ.

ඊට පස්සෙ හීනි උලක් තියෙන පිහියක් අරං ගෑණු පොල්කට්ටෙ හිලෙන් එළියට මතුවෙලා තියෙන පැළමදේ මුල් කපල ඒ පිහි තුඩෙන්ම ඉතුරු කෑල්ල ඇතුලට තල්ලු කරනව. එහෙම නැතුව පැළමදේ ගෙඩිය පිටින්ම පොල් බෑයෙන් හලවගන්න බෑ නෙව.

අර ලොවි සම්බල්, ජූල් සම්බල්, පොල් බඩ වගේ මේකනං බෙදාගෙන කන්න හිතෙන්නෙන නෑ. ඒත් ඉතිං මොන හිතකින්ද පුංචි අම්මලට නොදී කන්නෙ. මොකෝ එයාල මට නොදී මක්කාවත් කාල තියෙයි.

මට හම්බුවෙන පැළමද බාගෙ කන්න මං දුවං යනව ඉස්සරහ රඹුටං ගහේ බැඳපු ඔන්චිල්ලාවට. ඒකෙ දාපු ගෝනි පඩංගු බොක්කෙ වාඩිවෙලා නීවිහැනහිල්ලෙ කන්න තමයි මං ආස. පුළුං වගේ, කටට දැනෙන්නෙ නෑ හැපෙනව. අර ගොබේ ආපු පැත්තෙ තියෙන කොහු ගතිය තියෙන කෑල්ලනං මට විනාඩි දහයක් විතර වික වික ඉන්න ඇහැකි. හරිම කිරි රහයි.

ආච්චිලගෙ ගෙදරදි ඔහොම ඉඳල හිටල පැල පොලයක් හම්බ උණාට, කොප්පරා වේලන, හේනෙගෙදර ඇඩ්ඩිං මාමලයි අහ පොල් ඔයන දවසක ගියානං ඇති තරං පැළමද. එහේ එක එක සයිස් එකෙන් තියෙනව. ටීක් බෝල සයිස් එකේ ඉඳල ලොවි ගෙඩි, ඩොංග ගෙඩි, මැංගුස් ගෙඩි, ජූල් ගෙඩි තරං වෙනකන් තියෙනව. හැබැයි රහම ටීක් බෝල සයිස් එකේ ඉඳල මැංගුස් තරං ඒව තමයි. ලොකු වෙන්න ලොකු වෙන්න රහ අඩුයි. පුළුං ගතිය වැඩී, දිය රහයි.

පොල් ඔයන තැනින්ම වාඩි වෙලා ඇඩ්ඩිං මාම සුද්දකර කර බේසමට දාන ඒවයෙන් රහම ඒව ‍තෝරං බුරිය උල්වෙනකං කාල තාව ඔතල දෙනතරමක් අරං එනව මං.

එදා ඉඳං අද වෙනකං මං තවමත් පෙරේතයි පැළමද වලට. ඒත් මේ කොළඹ හිතුන හිතුන වෙලාවට කන්න පැළමද හොයාගන්න නෑ. දවසක් ඇතුල්කෝට්ටෙ පල්ලිය ඉස්සරහ මනුස්සයෙක් ෂොපින් බෑග් වල දාල පැළමද විකුනනව දැකල බයිසිකලේ නවත්තල ගිහින් බැළුව. ජූල් ගෙඩි විතර විසාල දිය පැළමද පහක් දාපු බෑග් එකක් රුපියල් සීයයි කිව්ව. ඒත් කමක් නෑ කියල මං ඇහුව පොඩි පැළමද නැද්ද කියල.

පොඩිව රහ නෑ මහත්තයො. ඒක හන්ද ලොකුව විතරයි මං විකුනන්නෙ කිව්ව.

අනේ මං බෙසම් ගනං පුංචි කාලෙ කාපු පැළමද…………..

පොල් බඩ සහ අහිමි වෙච්ච ගම

මේකත් තවත් කෑමක් තමයි. ඒත් මම මීට කලින් ලියාපු ලොවි සම්බෝල කතාව කියවලා උන්ට දීල කෑවෙ නෑ කියල මාළුවයි, අභියයි අනුෂ්කයයි තර්ජනේ දැම්ම හින්ද දෙතුන්පාරක්ම හිතන්න උනා මේක ලියන්න කලින්. මොකෝ අර රංගගෙ යාලුවො කෙල්ල ඉස්සුව වගේ මාවත් ඉස්සුවොත් බඩුම තමයිනෙ.

මාළුව නං කෝල් එකක් දීලම නාහෙන් ඇඬුව. මිනිහගෙ කටට ඒ වෙනකොටත් කෙළ උනනව. වචන සෑහෙන්න පැටළුනා ඕං. කොච්චර ටැපලුනාද කිව්වොත් “කෝට්ට පරංගියේ” ගියෙත් උන්දැගෙ මාලිගාව ඉස්සරහින් කිව්වෙ. තව තව රජ කතා සෑහෙන්න කිව්ව, අයිත් ඉතිං එව්ව මෙතන කිව්වොත් උන්දැ රෙද්දක් ඇඳං පාරෙ ගිහිල්ල හමාරයි.

ඒත් ඉතිං උන්ගෙ කරුමෙට ලොවි කන්න නැති උනාට  මං මක්ක කරන්නෙයි !. ඔන්න ඔහේ ලියල දානව මේකත්.

ඉස්සර මං ඔය හක්මන දිහාවෙ අපේ ආච්චිලගෙ ගෙදර ඉඳිද්දි හරි අපූරු ජාති කෑම තමයි කෑවෙ පුංචි අම්මල රොත්තත් එක්ක. එයැයිල තමයි ඔය විච්චූරණ ජාති හදන්නෙ. ඒ කාලෙ ලොකු පුංචි ඇරෙන්න අනිත් එක්කෙනෙක්වත් බැඳල නොහිටපු හන්ද ඔයි දේවල් කරන්න ඇති පදං වෙලාව ඒ කට්ටියට. ඔයිං දෙකක් මං කලිං කිව්ව. නොදන්න කට්ටිය ජූල් සම්බල් මෙතනින් කියවන්න, ලොවි සම්බල් මෙතනින් කියවන්න. හදන හැටිත් කියල තියෙනෙ හන්ද කැමති කට්ටියට හදාගන්නත් ඇහැකි.

අද කියන්න යන කෑම ජාතියනං හදාගන්න දෙයක් නෑ, හැබැයි හැමතිස්සෙම කන්න ලැබෙන්නෙනං නෑ. ඕක ඉතිං කෑමක් කියලම කන්න ගියොත් මහ විනාසයක් වෙන්නෙ. අනික ඕකට දැං ආණ්ඩුවෙන් තහනම් කරල තියන හන්ද කන්න ගියොත් හිරේ විලංගුවෙත් වැටෙන්න බැරි නෑ.

කෑමෙ නම නං ඉතිං “පොල්බඩ”

දැං ඉතිං බලයි නවම් මාවත ලියන්නෙ අලියෙක්ද කියල. නෑ නෑ කලබල වෙන්න දෙයක් නෑ. මං අලියෙක් නෙමේ ඕං.

ඉස්සර ආච්චිලගෙ ඉඩං වල හරි අහල පහල ඉඩමක හරි පොල් ගහක් කපනව කිව්වොත් මං ඔය කාගෙ හරි අතක එල්ලිලා යනවමයි එතනට. පහල ගෙදර පුංචිමාම තමයි ගමේම ගස්වලට වගකියන්නෙ.  අත් පොරවයි, මහ පොරවයි කඹ රෝලයි අරං යනවනං ඉතිං මට ගෙදර ඉන්න බෑ. මං ඉතිං කෑගහනව පුංචි මාමේ…. පොල් ගහක්දෝ……? පොල්නං ඉතිං හරි, මං ඉගිල්ලෙනව… අනිත් ගස් වගේ නෙමෙයි පොල්ගහක් කපනකොට හරි හරි වාසි තියෙනව. කලටි, කුරුම්බ, වෑවර, ලුණු ගොබලු, ඊලඟට මං ආසම පොල් බඩ.

වෙනදනං ඔය කුරුම්බ, වෑවර වලට මං මහ පෙරේතයි, හැබැයි පොල් ගහක් කපන දවස් වලටනං මං ඔය ගහ කපන්න කලින් බිමට වලු පිටින් කපල දාන වෑවර ගෙඩියකට වැඩිය වග කියන්නෙ නෑ. ඇයි ඉතිං තව ඩිංග වෙලාවකින් පොල්ගහේ කරටිය බිමනෙ.

දඩ බඩාං……. හුරා…. පොල්ගහ බිමෝ………

ඊටපස්සෙ පහලගෙදර පුංචිමාම අත් පොරව අරං එහව කරටිය පාහින්න, කඳ කුට්ටිකරන්න කලිං කරටිය කපල අහක් කරනව, නැත්නං පොල් කඳ පෙරලනව බොරු, ඇයි කරටිය සුවල්ප බරක් යැ. බෙල්ල කපන්නැහෙ කපල අහක් කරාට පස්සෙ අපිට ඕන එකක් කරගන්න ඉඩ ඇරල මහ පොරවෙන් කඳ දෙකුට්ටි කරනව. එහෙම දීල ගියාට හිච්චි අපිට ඇහැක අර මහ විසාල කරටිය පලන්න. එහෙමයි කියල බලං ඉන්න තරං ඉවසිල්ලක් කොයින්ද අපිට. අපේ කොලු නඩේ ඉන්න ලොකුම එකා අර පැත්තක තියෙන අත් පොරව අරං පොල්පිති පාහිනව. මෙක වැඩි වෙලාවක් කරන්න හම්බවෙන්නෙ නෑ. පුංචිමාම මේ නාඩගම බලං ඉන්න බැරුව ඇවිල්ල කරටිය දෙබෑකරල දෙනව.

ඊට පස්සෙ ඕං අපිට මඟුල් වගේ.

අර කරටිය වටේ තිබිච්ච මෝරපු පොල් පිති අහක් කරාට පස්සෙ මෙන්න සුදු පාට ලා පොල් පිති, පොල් කොළ, පොල් මල්, කොළපු, හනසු සේරම දිලිහී දිලිහී තියෙනව. ලා පොල් මලේ හිච්චි හිච්චි ගෙඩිත් තියනව, ඒවනං ඉතිං කන්න බෑ. කහට රහයි ඒත් වෙනද ලෙලි ගහල, මහ පිහියෙන් ගහල බිඳල කන පොල් ගෙඩි පිටිං කජු කනව වගේ කනකොට අමුතු ගතියකුත් ඇඟට එන. අච්චර රහ බඩ තියෙද්දි මක්කටෙයි කහ කඩ කෑලි කන්නෙ කියල ඒව අතින්ම අඹරල කඩල දාල, ඔය මෝරපු පොල්පිති කෑලි එහෙම අයිං කරල පාදගන්නව අපේ නිධානෙ, ලා කරටිය

බුදු අම්මේ ඒවයෙ රහ, හරිම කිරි රහයි, හරිම සුවඳයි. මටනං දැනුත් සුවඳ දැනෙනෙව වහේ. ඒ වයෙනුත් මං වැඩියෙම ආස ලාම ලා පොල් කොළ වලටයි, කිරි පාට කොළපුවත් එක්ක තියෙන පොල් මල් වලටයි තමයි. ඒව හරිම මෘදුයි, හැබැයි කෑවට පස්සෙ දත් ටිකනං පොල් කොළපු පුච්චපු අඟුරු වලින් මදින්නම වෙනව, නැත්නං ගන දෙයක් නෑ, කහට පිපෙනව බලං ඉඳිද්දි. හිච්චි කාලෙ කවුද පස්සෙන් පැන්නුවෙ නැත්නං දත් මදින්නෙ, ආච්චි තමයි ඉතිං එයැයිගෙ අත්දෙකිං මාව හෙල්ලෙන්න බැරි විදියට ඇඟට හිර කරං දබර ඇඟිල්ලට කුඩුකරපු අඟුරු අරං බරස් බරස් කියල බලෙන්ම මද්දවන්නෙ. මගෙ දාංගලේට වීදුරුමහත් තුවාලවෙනව එතකොටනං. මක්ක උනත් ගොරක පාටට තිබුන දත්ටික ආපහු මුතුකැට කරල තමයි ආච්චි මාව අතාරින්නෙ.

ඊට සෑහෙන කාලෙකට පස්සෙ ලොකු මහත් වෙලා ගං ගොඩවල් අතෑරල මෙහේ කොළඹ ගාල් උනාට තාමත් පොල් බඩයක් කන්න තියෙන ආසාවනං නැතිවෙලා නෑ. ඒත් දැං ගං වලත් ඉස්සර වගේ ඔව්ව නැතුව ඇති. පුංචි අම්මලත් කසාද බැඳල එහේට මෙහේට වෙලා. පහල ගෙදර පුංචිමාමත් දැං ගස් කපන්න කොන්ත්‍රාත් අරං චේන් සෝ එකෙන්. පහුගිය සැරේ ගමේ ගියාම මං දැක්ක ලෑන්ඩ්මාස්ටරේක ලී මෝලකුත් පටවං යනව. මං හිතන්නෙ එයැයි මාව දැක්කෙ නෑ. නැත්නං ඉස්සර එයැයිගෙ පස්සෙං වැටිල පොල් බඩකන්න දුවපු මං අඳුරගන්න බැරිවෙයියැ.

ඉඳල හිටල ආච්චිගෙයි, සීයගෙයි දානෙකට ගමට ගියත් මට ආපහු ගමත් එක්ක පෑහෙන්න බෑ වගේ. රුප්පෙ පුතේ කියල කතාකරපු, හීං මාම, වඩනම්බි මාම, හින්නි මාම,  හේනෙ ගෙදර නැන්ද, දැ කතාකරනෙ මහත්තය කියල. එතකොට මං ගමට අයිති නෑ කියලයි මට හිතෙන්නෙ. අපි ගමෙං ආපු හන්ද කොළඹින් පිලිගන්නෙ නෑ. ගම දාල කොළඹ ආව හන්ද ආපහු ගමන් පිලිගන්නෙත් නෑ. අපි හරියට ගන්ධබ්බයො වගේ පාවෙවී ඉන්නව.

ලොවි සම්බෝල සහ පුංච් අම්මලා


ඔන්න  අර මගෙ කලින් ලියපු ජූල් පෝස්ට් එක ලියද්දි වගේම කෙළ උනන්න පටංගත්ත මෙක ලියන්න පටන්ගන්නත් කලින් ම. ලොවි කියන්නෙ සෑහෙන්න ඇඹුල් පළතුරක් නෙ.

ඉස්සර අපේ අච්ච්ලගෙ ගෙදර, දැං නං අපි කියන්නෙ තිලේ අම්මලගෙ ගෙදර කියල.  තිලේ අම්ම කියන්නෙ ඔය මං කලින් කියල තියෙන පොලිස් පුංචිටම තමයි. එයැයිගෙ ඇත්ත නම ඒක නෙමෙයි ගෙදරට කිව්ව නම, ඒ උනාට දැං හැමෝම කතාකරනෙ තිලේ කියල. මං ඉස්සර ඉඳලම අම්මගෙ නංගිලට කතා කලේ එයාලට අනිත් අය කියන නමේ අගට අම්ම කියන කෑල්ලත් එකතුකරල. තිලේ අම්ම, කාන්ති අම්ම, චූටි අම්ම තමයි ඔය කට්ටිය. අම්මගෙ ලොකුම නංගිට විතරමයි මම පුංචි කිව්වෙ. ඒකත් කිව්වෙ “ලොකු පුංචි” කියල. ඉස්සර එහෙම කියල කියන හැම වෙලාවකම මට මැවිල පෙනුනෙ ස්ප්‍රීන් එකක් ඇදිල ලොකුවෙලා ආපහු පුංචි වෙනව.

කතාවෙන් කතාව මාතෘකාවෙන් පිට පැන්න. ඕන්න ආපහු ලොවි ගහේ මං.

ඔය ලොවි ගහේ ගෙඩි හැදුනම බලන්න හැඩයි, හරියට රතුපාට, ලා රෝස පාට පුංචි බල්බ් දාල වගේ. මං නම් කන්න ආස තද රතු පාට ගෙඩිවලට වැඩිය කුණුලේ පාට [මෙරූන්] ගෙඩි තමයි. ඒ වගෙ ඇඹුල අඩුයි. මෙලෙකයි. මං නම් ලුණු කැටයක් එක්ක මිසක් ලොවි කාල නෑ ලුණු කැටයක් හොයාගන්නම නැති වෙලාවක ඇරෙන්න. අවුරුදු විස්සකට විතර කලින් ලුණු කුඩු තිබුනෙ නෑ මගෙ හිතේ. තිබුනත් අපි උන්න හක්මන දිහාවෙනං තිබුනෙ නෑ.

ආච්චි ඔය ලුණු කැට දාල තිබුනෙ කළුම කළුපාට ලොකු පොල් කට්ටක වතුරත් එක්ක, වැඩිපුර ලුණු ටික තිබුනෙ දුම උඩ දුං වැදිච්ච මුට්ටියක. ඒක වහල තිබුනෙත් දුං ගැහිලම කලු වෙච්ච පොල් කට්ටකින්. අත ලඟම ඇඹුරුංගල කිට්‍ටුවෙන් තිබුන පොල්කට්ටෙ ලුණු මට හරිගියේම නෑ. මං නං ලොවි කන්න ගත්තෙම අර දුමේ තිබුන මුට්ටියෙන්. පොල් කට්ටෙ තිබුන ලුණු කැට වතුරට හේදිලාම හැම වෙලාවෙම තිබුනෙ රවුං වෙලා. මගේ ලොවි කෑමේ මෙහෙයුමට ඕනෙ කලේ තියුණු උල් තියෙන ලුණු කැටමයි.

මොකටද දන්නවද මට අර උල් තියෙනෙ ලුණුම ඕන උනේ. මං හරියට ආස කලා අර කුණුලේ පාට ලොවි එක අතක අල්ලෙ තියල අනිත් අතේ අල්ලෙන් බොහොම යාන්තමින් රෝල් කරල මෘදු කරල ලුණු කැටේ උල පැත්තෙන් ඇතුලට යනකන්ම අනින්න. එහෙම ඇනල ඩින්ගක් වෙලා තියල තිව්වම ලොවි ගෙඩිය ඇතුලෙ අර ලුණු කැටෙ රහ විහිදෙනව යන්තමින්. ඊටපස්සෙ හක්කෙ තියල එකපාරටම හපනව අර ලුණු කැටේත් එක්කම ලොවි ගෙඩිය. එතකොට වැඩිය ඇඹුල් රහ දැනෙන්නෙ නෑ.

දැන් තමයි මාතෘකාවට  එන්නෙ. – ලොවි සම්බෝල සෑදීම. මෙන්නෙ මේව තමයි ඕන කරන්නෙ.

01. අර කලින් කිව්ව වගේ මෙරූන් පාට ලොවි ගන්න පුලුවන් නම් මරු.
02. ඊලහඟට ගම්මිරිස් ඇට ටිකක් [ජූල් සම්බල් හදදි වගේ කොච්චි නං ගන්න එපා]
03. ලුණු [සම්බෝලෙටනං කැට උනත් කුඩු උනත් එකයි]
04. ඇඹුරුං ගලක්
05. මැටි, වීදුරු හරි ප්ලාස්ටික් භාජනයක් [ලෝහ භාජන ගන්න එපා ඇඹුල් වලට ලෝහ ඛාදනය වෙනව කියල අපේ ඇල්කෙමිය කියයි]

ලොවි ගෙඩි ටික හොඳට හෝදල නැටි එහෙම අයින් කරල තෙත බේරගන්න, ඊටපස්සෙ ගම්මිරිසුයි, ලුණුයි හොඳට අඹරගන්න ගලේ දාල. දැන් ඒ ටික අර මැටි හරි වීදුරු හරි ප්ලාස්ටික් හරි භාජනයට දාක පැත්තකින් තියන්න. ඊටත් පස්සෙ ලොවි ගෙඩි දෙක දෙක වගේ ගල උඩින් තියල මහ හයියෙන් නැතුව දෙතුන් පාරක් අත්ගලෙන් හෙමින් තලාගන්න. මතක තියාගන්න ලොවි අර ජූල් සම්බල් හැදුව වගේ අඹරනව එහෙම නෙමෙයි.  ගෙඩි දෙක දෙක වගේ දාන්න කිව්වෙ ගොඩක් දෑම්මොත් සමහර විට තලන්නත් කලින් ගලෙන් බිමට රෝල් වෙන්න පුළුවන්. අනික ලොවි තලන කොට එලියට එන ඉස්මගතිය අහක යන්න බැරිනෑ. අමතක නොකර ඒකත් අර භාජනයට දාගන්න. දැන් ඔක්කොම තලල ඉවරනං, ගලේ තියෙන සුන් බුන් ඔක්කොමත් අර භාජනයට දාගෙන ඇඟිලි වලින් අතගාන්න හොඳට ලුනු ගම්මිරිස් ලොවිත් එක්ක සීසන් වෙන්න.

ඔන්න දැං කන වෙලාව. මෙ වෙනකොට ලොවි සම්බෝල හදල විනඩි දහයක් විතර ගිහිල්ල හින්ද ඉස්ම ටිකක් වැඩිපුර එකතුවෙලා. ඕක හදනකොට නං ගොඩක් වෙලාවට කුස්සියෙ ඉන්නෙ මමයි චූටි අම්මයි විතරයි, මෙන්නෙ ඒකටත් එක්ක කනකොට තිලේ අම්මත් කොහේහරි ඉඳල එනව. කාන්ති අම්මනං වැඩිය මේව කන්න ආවෙ නෑ මගෙ මතකෙ හැටියට.එයාගෙ ඉතිං හරි ඉස්ටැයිල් ඒ දවස් වල ඉඳලම, ඒ අනික් කට්ටියට වැඩිය එයා සුදු හන්ද වෙන්න ඇති කියල තමයි මං හිතං උන්නෙ.

අපි තුන්දෙනා ගෙදර ඉස්සරහ ලොකු උස පඩියෙ වාඩි වෙලා ඉස්සරහ මිදුලට කකුල් දාල එහෙම හරි බරි ගැහෙනව. භාජනේ ගොඩක් වෙලාවට තියෙන්නෙ චූටි අම්මගෙ ලඟ. අපි ඉතින් දෙපැත්තෙන් ඉඳං අත දම දම කනව. රහ වැඩිවෙන්න අර ඉස්ම වල පොඟවගන්නත් අමතක කරන්නෙ නෑ. කතාවක් බහක් නෑ අපි තුන්දෙනා. මෝල වගේ කාගෙන කාගෙන යනව. කන එක නැවැත්තුවොත් තමයි කටදැවිල්ල දැනෙන්නෙ. ඉතිං අපි පලවෙනි අදියර නවත්තන්නෙ අන්තිම රොඩ්ඩත් බඩට ගියාට පස්සෙ තමයි.

ඊට පස්සෙ තමයි ජොලිම වැඩේ තියෙන්නෙ. මං කලිං කිව්වනෙ අර ලොවි සම්බෝලෙ ඉස්ම හැදෙනව කියල. ඕක රතුපාරයි, කලුපාට ගම්මිරිස් කෑලි පාවෙනව. අඩියෙ ඉඳල හිටල අතට අහු නොවිච්ච ලොවි රොඩුයි ලොවි ඇටයි තියෙනව. ඔන්න ඔය අමා පානයත් බෙදා හදාගෙන බීල තමයි ලොවි සම්බෝල කෑම හරියටම අහවර කරන්නෙ.

හෙනම හෙන සැරයි ඕක ගම්මිරිස් වැඩි වෙච්ච දවස් වලට. මං නං කට දැවිල්ල උහුලගන්නම බැරි උනොත් ගේ වටෙත් දුවනව. ඩිංග වෙල්ලාවකින් කට දැවිල්ල අඩු උනාට පහු වෙනකොට එනව අපූරු බඩ දැවිල්ලක්. ගම්මිරිස් මිසක් කොච්චි දාන්න එපා කියල ඉස්සෙල්ලම කිව්වෙ ඒකයි.

හැබැයි මක්ක උනත් ලොවි සම්බෝලෙ අමෘතෙ පරාදයි !

දොළ දුක් කෑම

ජූල් සම්බෝල.

ඔන්න ඉතිං මගෙ කටට කෙළ උනනව.  මේක ලියල ඉවරවෙනකන් හි‍ටු……

ඕනකරන ජාති:

01. ජූල් ගෙඩියක්:

ජූල් ගෙඩියක් කිව්වට ඔය වැඩේට ඕනම ගෙඩියක් ගන්න බෑ. මෙන්නෙ මේව තමයි ඔය ගෙඩියෙ ස්පෙසි‍ෆිකේෂන්ස්.

ගහෙන් කඩාපු එකක් වෙන්න ඕන, පැහිල වැටෙන ගෙඩි ඔට්‍ටු නෑ. කහට වැඩි හොඳටම අමුවත් ඔට්‍ටු නෑ.

දැං ඉතිං ඔය දකුණු පලාතෙ හරි, උතුරු මැද හරි නොවෙන කට්ටිය මක්කැයි කරන්නෙ. මොකෝ අනික් පලාත්වල ඔය ශුෂ්ක කළාපයෙ හැදෙන ජූල් ගස් අහම්බෙකින් මිසක් හැදෙන එකක්යැ.

කොළඹ ඉන්න කට්ටියට ඔත්තුවක් දෙන්නං.

ඔය වැල්ලවත්ත මාර්කැට්‍ටුවෙ තියනව, තව බො‍රැල්ලෙ එළවලු තට්‍ටු තියන හරියෙ සමහර දවස්වලට ආච්චි කෙනෙක් විකුනනව, අනිත් තැන තමයි නුගේගොඩ ඉස්ටේසම ලඟ. ඔය නුගේගොඩ නං වරදින්නෙ බොහොම කලාතුරකින් තමයි.

කඩෙං ගන්නවහං හොඳට බලල ගන්න ඕන, සමහර හෙඩිවල පොත්ත ඩිංගක් නියපොත්තෙං හීරුවම කොළ පාට මතු උනාට නැට්ට කඩාපු තැන පරන පාටයි, එහෙම වෙන්නෙ පැහෙන්න කලිං කඩාපුවයි තමයි.

හරි ඔය මදෑ. හරි ගෙඩියක් ‍තෝරගත්ත කියමුකො. මෙන්න මෙව තමයි ඕන කරන අනිත් ජාති.

02. ලුණු [සාමාන්‍ය ප්‍රමානයේ ගෙඩියකට ලුනු කැට නං තේ හැන්දක්, කුඩු නං තුං කාලක් විතර]

03. කොච්චි කරල් පහක් විතර [කොච්චිත් ඔය මම කියපු තැං වල තියනව ඕන පදං]

කොච්චි හොයාගන්නම නැත්නං ගම්මිරිස් ගන්න, අමු මිරිස් නං කිට්‍ටුකරන්න එපා. රසය හොඳටම වෙනස් වෙනව. හැබයි කොච්චිම හොයාගන්න බලන්න. කොච්චිවල රසයයි, සුවඳයි හරිම සුවිශේෂයි.

04. හිරමනයක්

05. ඇඹුරුම් ගලක් [ෆුඩ් ප්‍රොසෙසර්ස්, බ්ලෙන්ඩර් එහෙම හරියන එකක් නෑ, නියම රහ ගන්න ඇඹුරුම් ගලක් ඕනෙමයි]

ඕන ජාති හරිනං පටංගම්මු වැඩේ.

ඔය ‍තෝරගත්තු ජූල් ගෙඩිය හෝදල පිහිදාල ගන්න. පිහියක් අරං කට්ට පොඩි නොකර දෙකට පලාගන්න.

පොල් බිඳිනව වගේ මහ පිහියෙ මොට්ට පැත්තෙං එහෙම ගහනව නෙවෙයි. එහෙම උනොත් කට්ට පොඩිවෙයි. කට්ට පරිස්සං කරගන්න. කට්ටෙං පස්සෙ පොඩි වැඩක් තියනව.

දැං පොල් ගානව වගේ හීනියට පලාගත්තු ජූල් බෑ දෙක කට්ටටම ගාගන්න. ඊලඟට අර කොච්චි කරල් පහයි ලුණුයි තෙත නැති ඇඹුරුම් ගලේ දාල හොඳට හීනි වෙන්කං අඹරගන්න. කොච්ච්යි, ලුණුයි ඇඹරෙන කොට බොහොම හොඳ සුවඳක් එන්න ඕන දැං.

ඊලඟට ඔය ගලටම හීනියට ගාගනිපු ජූල් පොඩ්ඩ පොඩ්ඩ දාල හොඳට හීනිවෙනකං අඹරගන්න හරියට පොල් සම්බෝල අඹරනව වගේ. ඔක්කොම ඇඹරුවම ගලේතියෙද්දිම ආපහු හොඳට ඇඟිලි වලින් අනාගන්න. පොල් සම්බෝල වගෙ විසිරිලා නෙමෙයි එකට තලපෙයක් වගේ පොඩ්ඩක් එකට ඇලිල තමයි මේක තියෙන්නෙ.

ඊලඟට ඩිංහක් විතර දබර ඇඟිල්ලට අරගෙන දිවේ තියල ලුණු, මිරිස් බලල අඩුපාඩු හදාගන්න ඕන. සැරනං මදි වෙන්න බෑ. එක ගෙඩියකට ඔය දාපු කොච්චි හොඳටම ඇති. අනික කොච්චි රහ දැනෙන්නෙ කාගෙන යනකොට තමයි.

ඕං හදල අහවරයි !

දැං අර පරිස්සං කරපු ජූල් ක‍ටුදෙක ගන්න, අරං ගලේ තියන ජූල් සම්බෝල පුරවගන්න. ඔක්කොම ඔය ක‍ටු දෙකට දාන්න බැරිනං අතිං තදකරල පුරවගන්න.

දැං ඔය පුරවගත්තු ක‍ටු දෙක පැත්තකිං තියල, ඇඹරුම් ගල හෝදල කුස්සිය එහෙම අස් කරල, තවත් ඔය සම්බෝලෙ කන අය කට්ටිය ඉන්නවනං එක බෑයක් ඒ පැත්තටත් දීල, අනිත් බෑයත් අරං බොහොම නිස්කලංක තැනකට යන්න. වත්තෙ කෙලවරක තියන ගහක්, වතුර පාරක්, වගේ නිදහස් තැනක් නං ඔය සම්බෝලෙ මාරම රහයි. එහෙම නැත්නං සති අන්තයෙ පත්තරේ බලනගමනුත් අගෙයි.

ඕකෙ නම සම්බල් උනාට අනිත් සම්බෝල වගේ වෙන දේවල් එක්ක නෙමෙයි කන්නෙ, නිකංමයි මේක කන්නෙ.

කනව කිව්වට මෙක හපන්න නරකයි, මහපට ඇඟිල්ලටයි, දබර ඇඟිල්ලටයි  පොඩ්ඩ පොඩ්ඩ අරං දිවේ තියල උඩුතල්ලට දිවෙං තද කරල හෙමීට ගිලිල්ල ඕන.

සේරම කාල ඉවර උනාම තවත් වැඩක් තියනව.

මතකද මම ඉස්සෙල්ල කිව්ව ජූල් සම්බෝල කට්ටට පුරවල හොඳට තද කරන්න කියල, ඔහොම තද කරාට පස්සෙ ඔය සම්බෝලෙ තියන ඉස්ම ගතිය හිරමනේට නොගෑවී ඉතුරු උන ජූල් වලට උරාගන්නව.

දැං ඔය හිස් කට්ට අත්දෙකට මැදිකරල අල්ලෙන් පොඩි කෑලි වලට කඩල දත් වලිං ලෑටි ගාල කන්නත් ඕන. ජූල් සම්බල් කතාවෙ ඔතන තමයි මම ආසම තැන.

දිව්‍යලෝක රහයි ඒ ඩිංග.

ප/ලි :
ඕක ඉස්සර හදන්නෙම අපෙ පොලිස් පුංචියි චූටි පුංචියි තමයි, ඕක හදනකොට අපේ ආච්චි කියන්නෙ අදත් පටංගත්තද දොලදුක් කෑම හදන්න කියල.

ඒක හන්ද මමත් ඉතිං බලං උන්න චූට්මැණිකෙටත් හදල දෙන්න, අනේ එයාට  ඕක කන්න ආසාවක් ආවෙ නෑ නෙව. එයා කෑවෙම වෙරළුයි නෙල්ලියි 🙂

එහෙමයි කියල මට නොකා ඉන්න ඇහැක. මම තනියම හදං කෑව. එතකොට අම්ම කිව්වෙ මූටනෙ දොළ හැදිල තියෙන්න කියල.

මම සැලුනෙ නෑ….

%d bloggers like this: