කුණු කවි

පැම්පස් පෑඩ් සමඟින් කොන්ඩම් ගැට දා
මල්ලේ මැදට වෙන්නට ලා පැක් කරලා
විසි කල කාලෙ අවසානයි අහක බලා
කුණුගොඩ නැතිය දැන් ඒතැනින් අස්කරලා

ටික ටික එකතුකරලා මුලු සතියෙ කුණු
ඔබලා තදින් කට බැඳලා හොඳින් මලූ
වට පිට බලා තබලා මුල ලයිට් කණූ
ගියොතින් බඩු හරිය කරටම වැටෙයි නඩූ

එහෙයින්,

අල පොතු ළූණු පොතු අලිගැටපේර පොතු
බ‍ටු පොතු හෙරළි පොතු සහ තියඹරා පොතු
ඉන්නල පොතු සමඟ ඉඳහිට කොහිල පොතු
මොන විදියකට හෝ තම්බා කෑම යුතූ

තවද,

බෙලික‍ටු නෙරලු ක‍ටු සහ තව දිවුල් ක‍ටු
පොල්කුඩු සමඟ අරගෙන කොස් ගෙඩියෙ කටූ
ගලගා දියෙන් හෝ ඇඹුලෙන් මාළු කටූ
බැරි බැරි ගානෙ හෝ ගිලලා දැමිය යුතූ

Advertisements

ආපස්ස බැලීම හා ප්‍රතිරූප සමඟ අවසානයේ මංගල යෝජනා .|. ඊලඟ කෑල්ල තවත් රසවත් ද ?

ආපස්ස බැලීම.

බොහොම කාලයක් බ්ලොග් නොලියා හරිහමං විදියට නොකියවා උන්න. උවමනාවෙන් නෙමෙයි ඔහේ දවසින් දවස පස්සට ගියා. හරියට ගින්දරෙන් ඇතට ගිහිල්ල හීතල ගුහවක ගුලිවෙලා ඉන්නව වගේ.

ඒ හීතල මහා කම්මැලි කමක් ගෙනාව ආයෙම ගින්දර හොයාගෙන යන්න නොහිතෙන තරම්.

ඔහොම කම්මැලි කමේ ගුහාවෙ මුල්ලක ගුලිවෙලා ඉන්නකොට කවදාවත්ම නොගියපු ගුහාවෙ අඳුරු දෝනාව දිහාවෙන් එකපාරටම මතූවුනා මහා සද්දයක්.

හීතලට ගල් වෙලා තිබිච්ච ලේ ආයෙම දියවෙන්න පටන් ගත්තෙ කන් පෙතිවලින්, ඊට පස්සෙ මූණ දිගේ පහලට ඇවිල්ල බෙල්ලත් පහු කරන් ඩිංග ඩිංග විශේෂ අවශේෂ තැන් පහුකරගෙන අන්තිමට කකුලේ සුළැඟිලි දෙකට ආව ගමන් සුරුස් ගාල පහු නොබලා ආයෙම විළුඹ පස්සෙ වදින්න දිව්ව දීවිල්ල නැවතුනේ මෙන්න මෙතනින්.

ප්‍රතිරූප.

ප්‍රති + රූප.

රූපයේ විරුද්ධය, එහෙමත් නැත්නම් අනිත් පැත්ත, අනිකා දකින පැත්ත වගේ අර්ථයකින් වෙන්න ඇති ඔය වචනෙ හැදෙන්නා ඇත්තෙ. වැරදි නම් භාශා විශාරදයෝ කමත්වා.

ප්‍රතිරූපයක් කියන වචනයේ සරළ අර්ථය යමෙක් හෝ යමක් ගැන එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කොට්ඨාශයක ඇති මතය, ඔහු හෝ ඇය “මෙන්න මෙහෙමයි” කියල ඇති කරගෙන ඉන්න මතය.

ඔය මතය ඇතිවෙන්න “මම” කරන කියන දේවල් සහ මහේ වටිනා කම් පාදක කරගෙන. ඔය වටිනාකම් දීල තියෙනෙ සමාජය විසින් උනාට කාලානුරූපීව ඒක පෞද්ගලිකයක් බවට පත්වෙනව. එතන ඉඳන් “මම” හඳුන්වන්නේ සහ හඳුනාගන්නේ ඒ වටිනාකම් හරහා. “මම” කැමතියි ඒ වටිනාකම් රාමුව ඇතුලේ ‍රැ‍ඳෙන්න. මොකද ඒක “මම” යන්න වඩාත් තහවුරු වෙන්න දැඩිලෙස උපකාරී වන කරුණක්.

ඉතිං කොයියම්ම මොහොතක හරි ඒ ප්‍රතිරූපයට පාරක් වැදුනොත්, එහෙම නැත්නම් පාරක් වදින්න යනව කියල දැනුනොත් අපි හැමෝම විවිධාකාරයේ ප්‍රයත්න දරනව ඒක වෙනස් නොවී පවත්වාගන්න. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනව. සමහරවිට ඒ පෙනී නැඟීම බොහොම දරුණු වෙන අවස්ථාත් තියනව.

ඔන්න ඔය ප්‍රතිරූප ‍රැකීමේ උත්සාහයක් තමයි මීට කලකට ඉස්සෙල්ල බාලචන්ද්‍රන් ගැන බ්ලොග් අවකාශයේ කමෙන්ට්ස් හරහා ඇති වුනෙත්.

යමෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරනව. ඔන්න ඒ මතය හරහා අනෙක් අය මතධාරියාව විවේචනය කරන්න ගන්නව. අන්න එතනදි මතධාරියා නැඟීසිටිනව තමන් පෙර දැරූ මතය සාධාරණීයකරණය කරන්න. එතනදීම අනිච්ඡ්චානුගවම සිද්ධවෙන්නේ මතධාරියා තමන් පෙර දැරූ මතයෙන් ඇඟවෙන්නේ “තමා ය” කියල ඇඟවීමක් අරගැනීම. ඊලඟට තමා දැරූ මතය නිවැරදි වෙන්නේ මෙන්න මේ කාරණා මතය කියල ඔප්පුකරන්න යෑම.

එතනදි ඔහුට හිතෙන්නෙ නෑ අනිත් අය මොනව හිතුවත් කමක් නෑ කියන තීරණයේ ඉන්න. ඔහු වලිකන්නෙ තව කීපදෙනෙකුගේ හිත්වල හරි තමන් පෙර දැරූ මතය නිවැරදිය කියල චිත්‍රයක් ඇති කරන්න. එතන වක්‍රාර්ථය තමන් නිවැරදිය කියල ඔප්පු කිරීමක්.

මංගල යෝජනා

ඕං එහෙනං මෙන්න ප්‍රතිරූප ‍රැකීමේ ආදීනව…

මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නව මෙන්න මේ ප්‍රතිරූප විනසවෙනවට බොහෝම බය. මේ මිත්‍රය ප්‍රේමවන්තයෙක් !

උන් දෙන්නගෙ පැණි වරකෙට මාස දෙක තුනකට සැරයක් හෙණයක් දෙකක් පහත්වෙනවමයි. ඒ හෙණ ගෙඩි නිවන්නෙ ඉතිං නෙළුම් කොලේ පිටෙන් තමා [දන්නෝ දනිති.. හෙහ් හෙහ් හෙහ්] ඔයි අර කලකට කලින් මම ලිව්ව “මෙන්න මෙහෙමයි පවුල් කන්නේ” ලියන්න හේතුපාදක උනෙත් ඔය හෙණගෙඩියක් නිවාගන්න නෙළුම් කොලේට රිංගාපු වෙලාවක තමයි.

මේ ගැණුළමය ඉතිං ඉන්නවට ඉන්නව. ඉස්සෙල්ලම පත්වීම අම්පාරට. මගේ මිත්තරය කොළඹ. අනේ ඉතිං මූ මාසෙකට වතාවක් විතර මංගච්චනව එහේ. ගිහිල්ල අම්පාරෙ ටවුමෙ කඩේකිං දෙන්නත් එක්ක මක්කාහරි කොටාබාල මූණට මූණ බලගෙන ඉඳල ආයෙම එනව තට්ට තනියම පැය ගානක් කොළඹ. පොඩි කාලයක් නෙමෙයි ඇවුරුදු හතරක් එකදිගට. අඳෝ සංසාරේ…… !

ඊට හපං මේ ගෑණුළමයගෙ අනිත් වැඩ. මෙලෝ මළදානයක් තේරෙන්නෙ නෑ. එහෙම නැත්නම් තේරුනත් නොතේරුනා වගේ ඉඳල මී හරක් ප්‍රශ්ණ අහනව. මගේ සගය කියන විදියට බල්ලෙක් අර්ධකවාකාරෙට මළපහ කරල තිබුනොත් “ඇයි අනේ මේක රවුමට තියෙන්නෙ ?” කියල අහන ජාතියෙ එකියක්. හෙහ් හෙහ්. අනික්ව හිතාගන්න ඇහැකි නෙව.

අනේ ඉතිං සත්‍ය ප්‍රේම බෘංගරාජයෙක් වෙච්චි මගේ මිත්‍රයා සියල්ල ඉවසා වදාරා ඉන්නව එසේ මෙසේ වැදෑරීමක් නෙමෙයි අට අවුරුද්දක්ම. අම්මප වෙන එකෙක්නං පිපිරිලා මැරිල ගිහිල්ල මෙලහකට. මූ වැයිං ඉන්නව.

ඔයිට හපං වැඩ තියනව…

මේ ගැණුළමයගෙ මල්ලිගෙ යාළුවෙන් දැන් අවුරුදු හය හතක් තිස්සෙ උන්නෙ ගෙදර පැලපදියං වෙලා. ඌ දුම්මල ගහලවත් එලෝගන්න බැරිලු. දීගතල දෙන වයසක කෙල්ලෙක් ඉන්න ගෙදරක පිට එකෙක් නවත්තං ඉන්නෙ අහවල් එකෙකටද කියල ඇහැව්ව්ම ඉතිං කියන්නෙ “අනේ ඒ අපේ මල්ලිගෙ යාළුවෙක් අයියෝ” කියල.

ඔයි ගෑණු ළමයගෙ අම්මගෙ යාළුවොත් බොහොමයක් පුරුස පාර්සවේ කියලත් පොඩි කුණුකුණුවක් තියනව.

සේරම මෙතන නොලිව්වට හිතාගන්න ඇහැකි නෙව පොසිබිලිටීස්……

අනේ ඔයි අට මඟල් අස්සෙ මේ අසරණය අර ගෑණුදැරිවි කැන්දන් යන්නයි සූජානම.

මං උගෙන් එකයි ඇහැව්වෙ.

කරුණු කාරණා ඔහොම නං උඹට හිතෙන්නෙ නැත ඕක හරියන මඟුලක් නෙවෙයිය කියල බං ?

මේං හම්බුවෙච්චි උත්තරේ…

කොහොමෙයි බං නවත්තන්නෙ, අට අවුරුද්දක්මනෙ, අනික මං එහේ මෙහේ ගියා වටේ පිටේ මිනිස්සුත් දන්නවනෙ බං. ඉතිං කොහොමෙයි දැං නවත්තන්නෙ ?

අනේ ඔන්න මගේ මිත්තරයා හිතන හැටි. කියාපු එකම හේතුවකවත් තිබුනෙ නෑ “මම එයාට ආදරෙයි / මට එයාව ඕනෙ” කියන වචන ටික.

වටේ පිටේ මිනිස්සුන්ට බයේ අසරණයා ජීවිතේම උගස් කරන්න හදන්නෙ.

ඒකත් එක්තරා විදියක ප්‍රතිරූප ‍රැකීමක් තමා. මගේ මිත්‍රයාගෙ බයයි අසල්වැසියො එයා ගැන ඇතිකරගෙන ඉන්න ප්‍රතිරූපය විනාශකරල දාන්න. ඒක නිසා මිනිහා අකමැත්තෙන් වුනත් විවහයට සූදානම් වෙනවා.

හපෝ මේ මනුස්සයා අර කෙල්ලත් එක්ක හැම තැනම රවුම් ගහල රවුම් ගහල අන්තිමට අතෑරියා. මහ කැත මිනිහෙක්..

ඔන්න ඔහොම අසල්වැසියෝ තමන්ගැන හිතයි කියල බයට මේ යෝධයා දුවන කෝච්චියට බෙල්ල තියන්නයි හදන්නෙ.

++++++++++++++++++++++++++++++++++++++++++

හදිස්සියෙම ගියසුමානෙ දවසක මට කෝල් එකක් එනව මෙගේ මිතත්‍රයගෙන්.

මංචං… අද හවස මොකෝ කරන්නෙ ?

මම දන්නව මේ එන්නෙ මොකාටද කියල. මොකද මේක තමයි කාලෙක ඉඳල සිද්ධවෙන වැඩ පිළිවෙල.

හරි හතට පුරුදුතැනට වරෙන් මචං.

+++++++++++++++++++++++++++++++++++++++++++

මොකෝ මේ හදිසියෙ.. අවසාන බෝජන සංග්‍රහයද වෙඩිමට කලින් හෙහ් හෙහ් ?

මොන වෙඩින්ද බං.. ඒව හබක් !!!

මොක ??

ඉවරයි බං. දැං පුදුම නිදහසක් දැන්නෙ ….

මැයි තුන්වෙනිදට නැකැත් හදල, හෝටල් බුක් කරල, ගෲප් එකටම ඇඳුම් මහල, අන්දවන අය බුක් කරල ස්ටූඩියෝ බුක් කරල, වෙඩින් කාර් බුක් කරල, හනිමූන් යන්න අලි ලඟටම එන හෝටලයක් බුක් කරල තියෙද්දිත් මෙන්න මේකා කියනව ඒක අහවරයි කියල.

චෑහ් , තුහ් තුක්….

මාව කොච්චර හොල්මං උනාද කියල කියනව නම් හැඩැල්ලෙක් කියල හපල තියෙන්නෙ පැත්තකින් තියාල තිබිච්ච දෙහි පෙත්තක් !!

ඉවසල ඉවසල බැරිම තැන තවත් ඉවසල ගියා ශාක්‍යා එකට ඇඩ්වාන්ස් එකක් දෙන්න බං, ඒ දීල එන ගමං අරකිට කෝල් එකක් ආපි අර ගෙදර ඉන්න මල්ලිගෙ යාළුවගෙන් ‍ෆිල්ම් එකක් බලන්න යන්න.

එතනින් පස්සෙ බොහෝම කතා උනත් ඒව මෙතන ලියන එක හරි නෑ.

අවසානයේ හිතට ආපු ආවේගය අර ප්‍රතිරූප විනාසයට තිබිච්ච බය යටපත් කරල දාල.

දැන් ඔන්න මංගල දැන්වීම :

පහතරට බොදු ගොවි 1982, මොර‍ටුව සරසවි උපාධිධාරී පරිගණක ඉංජිනේරු, නවීන මෝටර් රථයක් හා නිවාස හිමි කඩවසම් මිතුරාට සිහින් සිරු‍රැති, විනෝදකාමී, බළු බෙට්ටේ ඇද නොසොයන හැබෑවටම තරුණ තරුණියක් සොයයි. දැවැදි අනශ්‍යයි. ඒ වෙනුවට ඇයට පූර්ණ ලෙස පෙර සූදානම් මංගලෝත්සවයක් හිමි වේ. සැ. යු: මැයි තුන්වනදා පෙරවරු දහයයි විසිඅටට යෙදනෙ සුභ මොහොතින් අතිනතගැනීමට ඇයි සූදානම් විය යුතුය.

ප.ලි: මට ගොඩක් දේවල් බ්ලොග් අවකාශයේ අතපහුවෙලා.. හයියෝ..ආයෙම කාලයක් යයි වගේ…මම එනකල් හිටපියෝ…

දීර්ඝ කාලීනව මතුවූ ගැටළු සමූහයක ඛේදනීය අවසන් ප්‍රතිඵලයේ තීරණය ඔබ අතේ.

ඔව්… මාතෘකාව වගේම තමා මේ පෝස්ට් එකේ අන්තර්ගතයත් බොහොම බැරෑරුම්. ඒක නිසා මේක රුක් සටහන්, වගු, පයි චාට්, බාර් චාට් එහෙම ඇඳල, පස්සෙන් පහු මාතය මධන්‍යය, අහුන්‍යය එහෙම හොයාගෙන විශ්ලේෂනය කරන්ට ඕනෑ මනෝවිශ්ලේෂන මෙව්වා එකක්. ඒත් එහෙම උනොත් මේකත් අර කාලෙකට ඉස්සර මනෝවිකාරෙන් වගේ ලියවිච්ච අබ්ලික් එව්ව වගේ එකක් වෙන්න බැරි නැති හන්ද සරලව සුගමව ලාලිත්‍ය බාසාවෙන් බුලට් ෆෝම් එකෙන් ලියන්නම්කො.

හැබැයි කියවන දනන්ගේ සුභ සිද්ධිය තකා මම මනෝවිද්‍යාව මෙතනට ගාවගන්න යන්නෙ නැති හන්ද අන්තිමට මේක මෙහම උනේ මොකෝ කියල නොතේරී යන්න ඉඩ තියනව. එහෙම උනොත් කියන්ටෝනැ තව පෝස්ට් එකක් ලියල දාන්න.

හරි.. ආරළු බූරළු නැතුව මෙන්න කතාව.

සිද්ධි අංක එක:

අදින් වසර තුනකට පමණ පෙර දළදා මාළිගාව පසෙකින් ඇති මල් කඩ පේලිය අසල.

අපි මෙතනින් මල් වට්ටි දෙකක් ගමුද ?

අනේ මෙතනින් නෙමෙයි අපි ඇතුලෙන් ගමු අර මී මැස්සො වහන වට්ටි වලින්.

මේ දුවයි පුතයි මල් ගන්නෙ නැද්ද ?

නෑ ආච්චිඅම්මෙ මෙයට අර මීමැස්සො ඉන්න වට්ටියක් ගන්න ඕනෙයි කියනවනෙ.

ආ එහෙනං අයිය මෙතනින් ගන්න නංගි අතනින් ගන්න.. මල් ආච්චි කියාපි.

ඒක කියාපු සකසුරුවම් කමටද කොහෙද අර මී මැසි මල් වට්ටි ගන්න ඕනෙයි කියපු කෙනත් ඒ ආච්චිගෙන්ම මල් ගත්ත.

ඒ විතරක්නම් මදෑ. ටික දුරක් ගිහිල්ල “හරි ශෝක් අනේ.. ඒ ආච්චි අපි දෙන්නට අයියයි නංගියි කිව්වනේ” කියලත් කියාපි.

සිද්ධි අංක දෙක:

මේකෙ කාල වකවානුව කියනවම, මීට අවුරුදු දෙක හමාරකට විතර උඩදි පෝරුවෙන් බැහැල එනකොට

හරිම අපූරුයි. හරියට අයියයි නංගියි වගේ.. අනේ වාසනාවන්.. ඒ අපේ ගිංතොට ආච්චි !

අනේ ඉතිං එදත් මූනෙ මල් පිපිල තියනව ගොඩක් දෙනා දැකල තිබුන.

සිද්ධි අංක තුන:

කාල වකවානුව. මීට අවුරුදු එකහමාරකට විතර කලින්. ස්ථානය ඉස්පිරිතාලයක්

හානේ.. මිස්ට මල්ලිල දෙන්නෙක් ඉන්නව කියල දැනගෙන හිටියෙ නෑ නෙ.

මුකුත් නොකියා හිනා උනාම ඒ මනුස්සය ආයෙම මෙහෙමත් කියාපි.

පොඩි මල්ලි නම් නිතරම මෙහෙ එනවනෙ. ඒත් මේ මල්ලි නම් දැකල නෑ. ලොකු මල්ලිද මිස් ?

ඒ පාරත් මිස් හිනා උනා විතරයි, ඒත් අර කලින් වගේ හිනාවක් නම් නෙමෙයි.

සිද්ධි අංක හතර:

අදට මාස දෙකකට විතර උඩදි එක්තරා රෝහලක ශල්‍යාගරයක් තුලදී.

මොකද උනේ.. ?

පඩිපෙලකින් වැ‍ටුනනෙ ඩොක්ටර්.

හ්ම්ම්.. මෙතනටයි මෙතනටයි මැහුම් දාන්න වෙයි වගේ.

හොඳවෙලාවට අක්කත් අද ඩියුටි නේද ?

හිකි හිකි හික් හී හී හිහ්..

මොකද ?

මේ එයාගෙ මල්ලි නෙමෙයි ඩොක්ටර්. හස්බන්ඩ් !!

ඌප්ස්.. අයිම් වෙරි සොරි මිස්.

එදා හවස නම් ගෙදර ගියාට පස්සෙ තුවාල කාරයාගෙ තත්වය ශෝචනීයයි !!!

…………………………………………………..

ඉවරයි කියලද හිතන්නෙ ?

උක්ත සඳහන් කරන්නට යෙදුනා වූ අතිශය ගැඹුරු සිද්ධි මාලාව ඉතාමත් සූක්ෂණව විශ්ලේෂණයෙන් අනතුරුව ඒ මහතා සිදු කරගැනීමය යන මහා විනාසය දැක ගැනීමට පහලට යන්න..

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

ඒ අසරණ මහතාට කුමක් නම් ගැලපේද ?

ඒ අසරණ මහතාට කුමක් නම් ගැලපේද ? තීරණය ඔබ අතේ.

බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං…….


ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…

කාගෙද බං….

ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.

එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.

උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?

මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය

මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.

ඉතිං…. ?

එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.

ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?

ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.

එහෙනං… ?

කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.

ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?

උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.

නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.

ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.

ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.

සර්.. මොනවද ගේන්නෙ ?

අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.

අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.

එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?

ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.

ඒ කිව්වෙ ?

හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.

උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.

මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.

උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.

හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..

ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?

හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.

ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..

ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං

උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…

හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?

නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.

පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..

ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….

මචං.. උඹ බීෆ් කනව නේද ?

අවුලක් නෑ..

එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..

හරි සර්..

ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?

අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.

උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?

උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?

තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !!

පින්තූරෙ ගත්තේ : http://www.old-picture.com

ප්‍රේමණීය හිඩැස

මොහොතකට පෙර ඔවුන් හුන් තැන මෙය යැයි කියන්නට මෙන් සීරුවට ඇතිරූ ඇඳ ඇතිරිල්ලේ පොඩි වී හැකිළුණු තැනට ඔබ්බෙන් ගලවා දැමූ මුතු ඇට පොටකි. ඇඳ රෙද්දෙහි වර්ණයටම සමාන යැයි කිවහැකි එය බැලූ බැල්මට නොපෙනුනත් කණ්නාඩිමේසයට මඳක් ඉහලින් ඇති සෑන්ඩ් ස්ටෝන් බිත්තියේ සවි කර ඇති බිත්ති ලාම්පුවෙන් නික්මුන මන්දාලෝකය ඇති කල සෙවනැල්ල එය උළුප්පා පෙන්නීය. කාමරයේ අනෙක්පස ඇති පු‍ටුවක ඇන්දක් මත දැමූ ස්ටෝන්ස් සාරිය මත වැ‍ටුණු විදුලි එළිය පංකාවේ සුළඟ විසින් වරින් වර කාමරය පුරා විසුරවා දැමුයේ මොහොතකට පෙර රාගී සුසුමින් කැළඹීගිය වා තලයේ දරාගැනීමට නොහැකි වත්මන් නිශ්චලභාවය බිඳින්නට මෙනි.

කවීෂ හිඳගෙන හුන් තැනින් නොනැඟිටම අත මානයේ තිබූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය. රාත්‍රී අටටත් කිට්‍ටුය. ඈ නානකාමරයට ගොස් පැයකට ආසන්නය. ඔහු සෝෆාවෙන් නැඟිට බැල්කනියේ විසල් ජනේල විවෘත කර දැමුයේ පරිසරයේ අඳුරට කාමරයට එන්න ඉඩ හරිමිනි. නමුත් ජනේලයෙන් එලියට ආ කාමරයේ වූ ආලෝකය අඳුර හා සටන් වැද මඳ දුරක් ඈතට පලවා හැරියේ ඔහු බලාපොරොත්තු නොවූ පරිදිය.

ජනෙල් පළු දෙක මැදින් පැමිණ අඳුර මරා දැමූ ආලෝක ඉර දිගේ සීරුවට ඉදිරියට ගොස් බැල්කනියේ සීතල යකඩ වැට අල්ලාගත් ඔහු ජනේලයෙන් එපිට ඇති ඉමක් නොපෙනෙන මහ සයුරේ ඇතින් පාවෙන ආලෝක ගුලි දිහා බලා සිටියේ මින් පෙර නොදැකි දසුනක් මෙන් ය. අඳුරු මුහුදේ ඈත ක්ෂිතිජයේ ඇති කුඩා එළි පේලි ඉඳහිට නොපෙනී යන්නේද අහසේ තරු මෙන්ය. මඳ වෙලාවක් ඒ දෙස බලා සිටි ඔහුට අහස හා මුහුද තනි යායක්ව පෙනුනේ බොඳ වී ගිය දෙනෙතට හසුවීමට තරම් ක්ෂිතිජ මායිමේ දැල්වෙනා එළි දීප්තිමත් නොවූ නිසාවෙනි.

කවීෂ…

එක්වරම පි‍ටුපසින් නැඟි හඬින් ගැස්සී කල්පනා දැහැනින් මිදුනු ඔහු සීතල යකඩ වැට අත්නොහැරම උරහිසට උඩින් හිස හරවා පි‍ටුපස බැලීය.

වර්ෂා….

මොහොතකට පෙර නොදු‍ටු සුන්දරත්වයක් තෙත් හිසකෙසින් යුතු ඈගෙන් නික්මේ. පපු මත්තට හැඳ උන් ලා ක්‍රීම් පැහැති නානකාමර තුවායෙන් නිරාවරණය වූ ඈගේ දඟයුග මෙතෙක් සීතලේ බැල්කනියට වී හුන් ඔහුගේ ගත සිත යලි උණුසුම් කරන්නට විය.

ඔයා ඉස්සර හිටියට වඩා හැඩවෙලා……

කෝමල බැල්මක් හෙලා රතුවූ මුහුණින් ඈ බිම බලා සිනාසුනාය.

පුදුම හමුවීමක් නේද ? ….. මෝටර් රියෙන් බසිනාවිට නැවතූ තැනින් ඔහු නැවතත් කථාව පටන්ගත්තේය.

හ්ම්….

මම දැනගන හිටියෙ නෑනෙ දේවින්ද ඔයාගෙත් යාළුවෙක් කියල….. එක අතකට නොදැන හිටිය එකත් හොඳයි, ඔයා එනව කියල මම දැනගෙන හිටියනම් සමහර විට මං නොඑන්නත් ඉඩ තිබුන.

ඇයි ඒ… ඔයා මාව දකින්න ඒ තරම්ම අකමැත්තකින්ද හිටියෙ ?

නෑ… මං කැමැත්තෙන් හිටියෙ. ඒත් ඔයා අකමැතිවෙයි කියල මම හිතුවෙ.

ඔයාටනම් ඉස්සර වගේම පිස්සු… හී හී….

ඇගෙ සිනහව තවමත් පෙර මෙන්ම චමත්කාරය. හිනැහෙන විට පුංචි වෙන ඇස්වලටත් වලගැහෙනා වම් කම්මුලටත් පෙම් බැඳි අතීතය ඔහුට සිහි විය.

වර්ෂා….

ම්..

ඇයි අපිට අපේම වෙලා ඉන්න බැරි උනේ…..

එන්න. අපි මෙතනින් වාඩිවෙලා කතාකරමු..

ඈ ඔහුගේ අතින් ඇද බැල්කනියේ පසෙක තිබූ කාමරයෙන් පෙරී එන ලා එළියට මඳක් නිරාවරණය වී ඇති දිගු සීතල යකඩ බංකුව මත වාඩි වූවාය.

ඔයා ඇඳුමක් දාගන්නෙ නැද්ද?

කමක් නෑ මෙහෙම හොඳයි.

නෑ ඉන්න.. මම ඕවර්කෝට් එක ගෙනැත් දෙන්නම්. නැත්නම් මේ සීතල මුහුදු සුළඟට ඔයා ලෙඩවෙයි. එහම උනොත් ආයෙ අනිද්දට ආපහු ෆ්ලයි කරන්න අමාරුවෙයි.

කාමරයට ගිය ඔහු ඇඳවිට්ටමේ දමා තිබූ ඕවර් කෝට් එක ‍රැගෙන විත් බැල්කනිය අසල හිටගෙන කාමරයට පි‍ටුපා මුහුද වෙත නෙත් යොමා සිටි ඈගේ උර මතින් දමා ඉන වටා දෑත් යවමින් තම තුරුළට ගෙන ඇගේ දකුණු උරහිස මත තම නිකට රඳවාගත්තේ අපමණ සෙහෙනෙහසිනි. ක්ෂණයකින් සිදුවූ දෙයින් ඈ නොසන්සුන් වුවද ඒ මින් තුන්වසරකට පමණ අපමණ ලොබ බැඳි සුපුරුදු උණුසුම ඔහු හා ඈ අතර තිබූ ඇඳුම විණිවිදින තුරු පමණි.

වර්ෂා… ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් ඇගේ සවනට මිමිණුවේය.

ම්ම්.. … ඔහුගේ ගැඹුරු, හැඟුම් බර හඬ ඈ සවනත වැටෙත්ම මැකී ගිය හිරිගඬු වැටිය නැවතත් ගෙල පුරා පැතිර ගියේය.

ඔයා ඇයි මාව දාල ගියේ …. ?

කවීෂ…

ම්..

ඒ ප්‍රශ්ණය එච්චරටම සාධාරණ නෑ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?

මංද.

කවීෂ… අපි අපිට නැති උනේ ඇයි කියන එකට උත්තර හොයන්නෙ නැතුව ඉඳිමුද ?

ඇයි ඒ…. ?

එන්නකො.. අපි වාඩිවෙමු අතනින්, දැන් නම් මගෙ කකුල් දෙකත් රිදෙනව.

යමු…

ඇයි ඔයා ඔතන වාඩි උනේ.. වෙනද වගේ මගෙ උකුලෙ ඔළුව තියාගෙන ඉන්න අකමැතියිද ?

අකමැත්තකට නෙමෙයි වර්ෂා… අවුරුදු තුනක් තිස්සෙ පිච්චිලා යාන්තම් නිවීගෙන ආපු මගෙ හිත ආයෙම අවුලවාගන්න මට බෑ.

ඔයා හරිම අසාධාරණයි කවීෂ. ඇයි ඔයා අමතක කරන්නෙ ඒ වගේම කාලයක් මමත් ගතකලා කියන එක?

වර්ෂා.. අපි ආයෙම මේ රණ්ඩුවෙනවද ?

හි හී…. ඔව් නේද…?

ඉස්සර වගේමයි අපි තාමත්.

නෑ කවීෂ.. ඉස්සර අපි රණ්ඩුවෙනකොට තේරෙන්නෙ නෑ රණ්ඩුවෙනව කියල.

හ්ම්.. ඒකත් ඇත්ත තමා.

මට ආරංචි උණා ඔයාගෙ අම්ම නැතිවුණා කියල. ඒත් මම ගියපු අලුතම නිසා නිවාඩු ගන්න බැරි උනා හොස්පිට්ල් එකෙන්, අනික කන්ට්‍රැක්ට් එකේ විදියට වැකේෂන් යන්න පුළුවන් අවුරුද්දෙ අන්තිමට විතරයිනෙ.

ඒකට කමක් නෑ වර්ෂා. අම්මා ඔයාට සලකපු විදියට මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ ඔයා ඒවි කියල. අනික ඔයා ආවානම් නෑදෑයොන්ගෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නත් තුබුන. හැමෝම ඔයා එක්ක තරහෙන් හිටියෙ ඒ කාලෙ.

ඔයත් ?

කොච්චර රණ්ඩු උනත් එදා ඔයා සේරම දාල යයි කියල මමවත් හිතුවෙ නෑනෙ.

ඒත් මම ඇහුව එකට ඔයා උත්තරයක් දුන්නෙ නෑ නෙ

මොකක්ද?

ඔයත් මාත් එක්ක තරහෙන්ද කවීෂ හිටියෙ ?

ඒක තරහක්ම කියල කියන්න බෑ වර්ෂා. ඒක මහා සංකීර්ණ හැඟීමක්. මහප්‍රාණ ඔළුවෙ තියාගෙන හිටපු නැදෑසනුහරයක් මැද මහේ හිතට එන ඕනම විකාරයක් කියන්න පුළුවන් ආදරණීය හිතත් අරගන ඔයා ගියාම මාව හිස් වෙලාම ගියා. ඒ හිස්කම පිරවුනේ නෑදෑයො ටික වටවෙලා ඔයාගැන කියාපු වැරදිවලින්. අන්න ඒ පීඩනය හිතින් පිට වුනේ ඔයා ගැන ඇතිවෙච්ච වෛරයක් විදියට. ඒකම තමයි ඔයා කැනඩා යනව කියල දැනගත්තත් වචනයක්වත් කතාකරන්න නොහිතුනේ. ඒත් මමත් ලංකාවෙන් ඇවිල්ල තනියම කාමරේකට කො‍ටුවෙලා ඉන්නකොට තමයි කල්පනා උනේ ඔයාට මාවදාල යන්න පරිසරය හැදුවෙත් මම නේද කියල. මට තිබුන ඔයාවත් අරන් ගමෙන් යන්න ඒ දවස් වලම.

නෑ කවීෂ, එහෙම නොවුන එක හොඳයි

ඒ කියන්නෙ ඔයා කැමතියි මාව දාල යන්න වෙච්ච එක ගැන ?

කැමැත්තටත් වඩා මට උවමනාවක් තිබුන කිව්වොත් හරි ඒ පරිසරයෙන් ඈත්වෙන්න. මම බය උනා හතරවටෙන්ම මට ආපු පීඩනය මාව පොඩි කරල දායි කියල. මම ජීවත්වෙන්න ආස ගෑණියෙක් කවීෂ.

ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ අපි මෙහෙන් යමු කියල, එහෙම කිව්වනම් මම ඔයත් එක්ක එනවනෙ.

මම බලාපොරොත්තු වුනා ඔයා මාව තේරුම් ගනී කියල. අනික මම ඒ දවස් වල මට උන කෙණෙහිළිකම් ඔයාට කියල සාධාරණයක් බලාපොරොත්තු උනා නම් එතන ලොකු විනාසයක් වෙන්න තිබුන. ඊටත් මම එහම කිව්වනම් මායි නෑදැයොනුයි අතරෙ හිරවෙලා ඔයා ප්‍රශ්ණ ගොඩක පැටලෙන්න ඉඩ තිබුන. සමහර වෙලාවට ඒකෙ බරත් මගෙ කරට එන්න තිබුන. ඉතින් එවෙල මට කරන්න තිබුන හොඳම දේ තමයි ප්‍රශ්ණවලින් ඈත්වෙලා යන එක. මට දැන් තේරෙනව මම ඒ ගත්තෙ හොඳ තීරණයක් කියල

ඇයි ඔයා එහෙම හිතන්නෙ ?

මම හැම ප්‍රශ්ණයක්ම දරාගෙන සාම්ප්‍රදායික ගෑණියෙක් වගේ ඔයාත් එක්ක හිටියනම් ඔයාටයි මටයි කිසිම දවසක අපි දෙන්නට උනේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙන්න ඉඩ තිබුන. එහම උනානම් අද වගේ අහම්බෙන් දැක්කත් හිනාවක්වත් නැතුව වෙන් වෙලා යන්න හොඳටෝම ඉඩ තිබුන. ඒත් අද …….. අවුරුදු තුනකට පස්සෙ නිවිහැනහිල්ලෙ කල්පනා කරල නිවිච්ච හිත්වලින් එක කාමරේක බොහෝම සන්තෝසෙන්. ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද මම ගනිපු තීරණය හරි කියල.

ඒත් ඔයාට අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද නිස්කාරනේ දෙතැනක ගෙවිල ගියපු අපි දෙන්නගෙ ජීවිතේ ?

නෑ කවීෂ, අපි දෙන්නගෙ ජීවිතේ නිස්කාරනේ ගෙවිල ගියේ නෑ…. ඒ අවුරුදු තුනේ ඔයයි මමයි තනියම ජීවිතේට මුණදීල යම්තාක් දුරකට හරි යථාර්තය තේරුම් ගත්ත. ඒ වගේම ඔයා මාස්ටර් ඩිග්‍රී එකක් කලා, මම ඇල්බටා හොස්පිට්ල් එකේ ස්ටාෆ් නර්ස් කෙනෙක් උනා. ඉතින් ඔයාට හිතෙනවද ඒ පහුගිය කාලෙ අපරාදෙ කියල.

හ්ම්… වර්ෂා හිතනවද අපිට ආයෙම සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙයි කියල.

ඔයා අහන්නෙ මීට අවුරුදු හතරකට කලින් ප්‍රශ්ණ ඇතිවෙන්න කලින් තත්වය ගැනනම්; ඔව් මම හිතනව පුළුවන් කියල. ඒත් ඔයා අහන්නෙ අදින් පස්සෙ එක වහලක් යට ජීවත්වෙන එක ගැනනම්; අපිට ඒ ගැන ගොඩක් කතාකරන්න තියනව. ඒ වගේම විසඳගන්න දේවල් ගොඩක් තියනව. අනික මේ හැඟීම ගිණි ගත්තු පුළුං ගොඩක් වගේ ඉක්මනට පත්තුවෙලා ඉක්මනටම නිවිල යන එකක් නෙමෙයි කියල කාටද කියන්න පුළුවන්. සමහර වෙලාවට හෙට උදේට ඔයයි මමයි පුරුදු ජීවිත වලට අයෙම ගියාම මේ පුළිඟුව නිමිල යයි. ඒක නිසා මම කැමති නෑ හිත ගොඩක්ම සන්තෝසයෙන් තියන වෙලාවක ජීවිතේගැන ලොකු තීරණ අරගන්න. අපි ජීව්තේට ඉඩදෙමු යන්න ඕන පාර හොයාගන්න. එහෙම හොඳයි නේද කවීෂ ?

පින්තූරය ගත්තේ : පින්තූරය ගත්තේ : http://www.wallchan.com

මගේ පුතා හරි හපනා DHA + බොන්නා

මයේ කොල්ලා දැං කිරි බීමට එච්චර මනාපයක් නැතිය. අවුරුද්දක් වෙනකං අම්මාගේ තනේ එල්ලී සිටි කොල්ලට දැං කිරි වලට වඩා රහ ජාති ලැබේ. ඌ පාං කයි, බත් කයි, ආප්ප කයි, කඩල කයි, මුං කයි, චීස් කයි. ඒත් වැඩි හරියක්ම කන්න කැමති පරිප්පුය. පිය පාර්ශවයෙන් ආරෙට එනවා වෙන්නට ඇත. උගෙ තාත්තාද කන තරමක් කන්නේ පරිප්පු ය. ඒත් අපේ ගෙදර වැඩිප පරිප්පු උයන්න වෙන්නේ නැතිය. ඒ අපි අකමැති නිසා නොව කොලුවාගේ නැනී පද්මා ඇන්ටී නිසාය. ඈට පරිප්පු වහ කදුරු සේය. එහෙයින් උන්දෑ මාසෙකට වතාවක් ගම ගියපසු පරිප්පු උයමු, තෙල් දමමු, තෙම්පරාදු කරමු. ඒ ඊලඟ මාසය වෙනකල් ඉඳ හිටක මිසක් කෑමට නොහැකි වන නිසාය.

කියන්න ආවේ කිරි ගැනය, ලියා ඇත්තේ පරිප්පුය. මේවාට කියන්නේ “යන්නේ කොහේද මල්ලේ පොල් කියාය”. ඉස්කෝලේ යන කාලේ අපි කිව්වේ ඊට තවත් කෑල්ලක් එකතු කරය. ඒ “යන්නේ කොහේද මල්ලේ පොලුයි පොල්ලේ මලුයි” කියාය.

පොල් කීවාම තවත් කතාවක් මතක් විය.

අපි පොල් ගන්නේ දෙමටගොඩ පොලෙනි. ඒ ඉතිං හැන්දෑවටය. පොල් ගන්න හොඳ උදේම යැයි අම්මා කිපදොහක් කීවද අපිට නම් මළාට උදේක පොල් ගන්නට බැරිය. ඒ වෙන කිසිවක් නිසා නොව පොල් අරං ඔ‍ෆිස් යන්න බැරි නිසාය. ඉතිං අපි හැන්දැවේ හත හමාරට විතර වැඩ ඇරී ගෙදර එන ගමන් දෙමටගොඩ පොලට යමු. උදේ එතනින් යනකොට තිබු මහා පොල් ගොඩ බාගෙට බාගයක් අහවර වී ඇත. කරන්නට දෙයක් නැත. උදේ ඉඳං දෙනොදහක් හොල්ලා බලා තේරී ඉතුරු වූ පොල් ගොඩෙන් අපිද කනට කිට්‍ටු කර හොල්ලා යාන්තං දිය අඬන පොල්ගෙඩි ටිකක් කද බැඳගෙන ගෙදර එමු.

දෙමටගොඩිං පොල් අරගෙන බයිසිකලයේ අංගොඩ යනවා කියනේ එලෝ පොල් පේනා වැඩකි. එනමුත් අංගොඩ දිහාවේ පොල්වල ගිණි ගනං ඇහූ විටද එලෝ පොල් පෙනේ. එහෙයින් අපි අඩු මිලට එලෝ පොල් බැලීමට කැමති වෙමු.

එක දොහක තනියම පොල් මල්ලක් බයිසිකලයේ එල්ලං එනකොට කොලොන්නාව යූ.සී පල්ලමේ මල්ල ලිහී දොහ් දොහ් ගා පාර පුරා පොල් ගියේය. සුළු ප‍ටු නැත. පොල් ගෙඩිම දහයකි. කරන්න දෙයක් නැත. බයිසිකයලය පරේ අයිනේ හි‍ටුවා ලැජ්ජ බිම දිගේ යන්නට හැර පාර දෙපැත්තේ කාණුවලින් පොල් ඇහිලුවෙමි.

ඉස්සර නම් අම්මේ මුත්තේ කිව්වත් නොකරන දෙයකි. දැං ඉස්සර කෙලි කරන්නට බැරිය. ඒ වෙන උලව්වක් නිසා නොව දැං බැඳලා නිසාය. එහෙයින් ළූණු බිකත් බඩට යැයි සිතිය යුතුය. නැත්නම් මේ කෙළිය මෙලෝ පුතෙකුට මේ සම්මජාතියේ කරන්නට බැරිය.

ආයෙමත් පීළි පැනලාය. කිසි දවසක තනි පීල්ලක ගමනක් නොතිබුන මට පීලි ගමං බොහොම අමාරුය. ගෙදර උන්දෑ නොඉන්නට මෙලහකටත් පීලි පැන කොහේ හෝ ඇණගෙනය. උන්දෑ නම් පීල්ලේ ගමනට හරි රුසියෙකි.

වැල් වටාරං හොඳටෝම ඇතිය. ආයෙම කිරි කතාවට එමි.

පොඩ්ඩාට මුලදී අම්මාගේ කිරි මදි වී දොස්තරගෙන් අසා ගිණි ගනන් දී අකුරු තුනේ ටිං කල පිටි ජාතියක් ගෙනාවෙමි. ඌ නෙවේය ඒ කටේ තිව්වේ. රෑ දෙගොඩ හරියේ මේකා බෑඟිරි දී අඬයි. බලං ඉන්නට බැරිය. මට පොඩි එකාගේ අම්මා එක්ක කේන්තිය.

දැං ඔහේවත් ඔය පිටි ටිං එක බොනවා යැයි මම කීමි. උන්දෑ ඒ බීවාදැයි මට මතක නැතිය. කොහොම උනත් කීපදොහකින් උන්දෑට හොඳහැටි කිරි එරුනේය. ඒ හොඳ වෙලවටය. නැත්නම් බාගවෙලාවට තාත්තා වෙච්චි මට කිරි එරෙන්න ඉඩ තිබුනේය.

මාස හතක් අටක් යහතින් අම්මාගේ කිරි බිව් කොල්ලාට ආයෙම කිරි මදිවිය. ඊට පසු ආයෙම හරකා සහ ගේට්‍ටුවේ පිටි ටිං එකක් බොහොම සර්දාවෙන් ගෙනාවෙමු.

අ‍ඳොමැයි.

මේකා ඒක කටේ තියන්නේ නැත. ඊට පසු බැරිම තැන මාත් හිච්චි එකා කාලේ බීපු බීපු ලැට්ටෝජං පෙට්ටියක් ගෙනාවෙමු. අගේ ය මේකා ඒක අපූරුවට බොයි. ඒ හරියට ඌ තාත්තාගේ මාසේ පඩිය ගැන දන්නවා වගේය. තාත්තාටම හරියන පුතයෙකි.

පොඩි එකා සනීපෙට ලැට්ටෝජං බොන සඳ උගේ අම්මාට ඌට ඒ වෙනුවට ෆුල් කිරීං මිල්ක් පවුඩර් දෙන්න ඕනෑ විය. මුල්ම වතාවේ ඉස්තරං පිටි ටිං වලින් පටන් අරං අහවර වූ හැටි මතක තිබු නිසා මෙවර වන් ප්ලස් වලින් පටන් ගත්තෙමු.

පුදුමයකි මේකා මේ වතාවේ ලාබ දේවල්වලට අකමැති හැඩකි. කටේ තිව්වේ නැත. ඊට පස්සේ “ෆයිව් ෆයිව් ටෙං” හා “පූසං සිංහයන් කරනා” මගාර්ඝ පිටි පැකට්‍ටුව ගෙනාවෙමු. දවසකට දෙවරක් පොඩි එකා ඒකනං බොයි. බොනවා විතරක් නම් මදෑය ඒකා ඒ වෙළඳ දැන්වීමේ සද්දේ ඇහුනොත් කොහේ හිටියත් දිවවිත් කට බලියාගෙන ටී.වී එක බලයි.

කිරි කතාව එතනින් අහවරය.

දැං අපි බලාන ඉන්නේ පොඩි එකා “ෆයිව් ෆයිව් ටෙං” කියා අල්ලපු ගෙදර පූසා සිංහයෙක් කරනා තුරුය.

පසු සටහන: අර පොඩි එකා නොබිව් වන් ප්ලස් එක උදේට උදේට දීල ගෙදර උන්දෑ මට දී ඇත. දැං මටත් මොළේ එහෙම පෑදීගෙන එනවා වගේ දැනේ.

පස්සේ ලියමි : ඊයේ පෙරේදා කෙහෙල්කො‍ටුවට වෙච්චි අලකලංචිය හන්ද ඇ‍ඟේ ලේ වතුර වී ඇතිය. දන්නා පිංවතෙක් මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් පඩංගුව අ‍ටුවෙන් බාගන්නා හැටි මුල සිට සරළව කියනවානම් අගේයැ.

පින්තූරෙ මෙතනින් : http://www.panoramio.com/photo/37722539

දැං අවුරුදු දෙකයි – උන්න හැටියට මලා මදැයි චූටිමැණිකෙ.

හැතැප්ම දෙකකට වැඩිය දුර නැති ඉස්කෝල දෙකක අවුරුදු දහතුනක්ම ඉඳල, ඒ මදිවට බද්දෙගෙ, ටිල්නියගෙ, ඩකා ගෙ පන්තිවල නූලෙ වාඩිවෙලා ඉරට්ටෙ ලිය ලිය අවුරුදු දෙකක්ම කට්ට කාල, තවත් අවුරුදු දෙකක් ඇන්.ටී. ඇස් එකේ තාප්පෙ එහා පැත්තෙයි මෙහා පැත්තෙයි ඉඳල, මදි පාඩුවට තවත් අවුරුදු දෙකක් එක ලඟ තියෙන නෝනාවාට්‍ටුවෙයි වැලිකඩයිත් ඉඳල අන්තිමට පත්තර පි‍ටුවක් හන්ද නෙව අපි දෙන්න එක වහලක් යටට උනේ.

කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක චූටිමැණිකෙ නේද?

අම්මප එක අතකට ඒ කාලෙ හම්බ උනානං මෙච්චර දුරක් නේන්නත් තිබුන නේද? ඒ කාලෙ මොනව කියල තේරෙන වයසක් ද. අනික අර ඔහෙගෙයි මගෙයි ඕ-ලෙවල් කාලෙ ගත්තු අයි.ඩී පින්තූර දෙකේ හැටියට කීයටවත් ලඟින් තියන්න ඇහැක් දෙන්නෙක්ය.

ඊටත් ඉතිං වැරදිලාවත් මයෙ හිත ගිහිල්ල පස්සෙං ආවනං ඔයැයිගෙ ඉස්සර කොල්ල මට අම්බානක ගහල මදි පාඩුවට ගෙදර ගිහිල්ලත් කන්න ඔතල දෙයි නෙව. එහම හිතෙන කොටනං මගෙ පූරුවෙ පිනකට තමයි ඇහැ ගැහුනෙ නැත්තෙ. වැරදිලාවත් එහෙම උනානං බලන්න තිබුන ර‍ඟේ.

යකාගෙ හැටියටයි විමානෙ කිව්ව වගේ අපි දෙන්න තකට තක, මට ඩෝං යන තරමට ඔහේ කට පියං ඉන්න එක නං පූරුවෙ වාසනාවක්ම තමයි, නැත්නං අපි දෙන්න කා කොටාගෙන කොහෙං අහවර වෙයිද කියල දෙයියො තමයි දන්නෙ.

කට කෑවත් කියන්න තියනදේ කියන්න එපැයි. ඔහෙගෙ ගොඩ හොද්ද මේ අවුරුදු දෙකට ලුණු මිරිස්, ඇඹුල් එහෙම ගානට වැටිල පදං වෙලා ආපු හැටියට තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ. එදාට අපි දාමු පාටියක් හොඳේ.

තාම ඇවිල්ල තියෙන්නෙ යාන්තං අවුරුදු දෙකයි. තව කොච්චාර යන්න තියනවද කියල මතක් වෙනකොටත් සරුවාංගෙම හීතල වෙලා යනව සන්තෝසෙට.

ඔහෙට හිතාගන්න ඇහැක චූටි මැණිකෙ තව අවුරුදු තිස් පහක් හතලිහක් ගියාම අපි දෙන්න කොහොම ඉඳියිද කියල. මට නං හිතෙන්න අපේ කොළු පැටිය රට ගියාම අපි දෙන්න තනිවෙයි ය කියල. පැන්සොං ගියපු නර්ස් නෝන කෙනෙකුයි මැනේජර් මහත්තයෙකුයි ඉස්තෝප්පුව කෙලවරේ යකඩ බංකුවෙ වාඩිවෙලා ලැප්-ටොප් එකත් පැත්තකින් තියාගෙන ඉස්කයිප්පුවෙන් කොල්ලත් එක්ක දොඩන රූපයක් මයෙ හිතට ආව මේක ලියන වෙලාවෙ.

සමහර වෙලාවට අපෙ කොළුව අපිදෙන්නත් අරං යයි නේද? අපි ඌව බලාගත්තු විදියට ඌ අපිවත් බලාගනියි නේද ? කවුරු කාට කියන්න ඇහැක්ද ඕව, ඒත් ඉතිං කවුරු ආව ගියත් ඔහේ මාත් එක්ක නොවැ ඒ මදෑ.

ඒ වෙනකොට මයෙ තට්ටෙ පෑදිලා තියෙයි, දතුත් හැලිල තියෙයි, අතපයත් වලංගු නැතිවෙලා ඇසුත් නොපෙනී යයිද මංද, ඒත් මොනව වෙනස් උනත් අද වගේම එදාටත් මේ පීනස් ලෙඩේනං අඩුවක් නැතුව තියෙයි නේ. කරුමේ කරුමේ !

මොකෝ හිනාවෙන්නෙ, ඔහේටත් ඒ ආනිසංසෙම තමයි, මොකෝ වයසට යන්නෙ මං විතරෙයි. ඔහෙගෙත් දත් හැලිල හම ‍රැලි වැටිල මයෙ ගානටම එයි. ඊටත් වැඩි වෙයිද කියන්න බෑ. ඒක හන්ද දැන්ම ඉඳල එක එක කිරීං ජාති උලල පරිස්සං වෙන්ට හොඳා, එහෙම හැඩට උන්නොත් කාටෙයි ආඩම්බර. තට්ට නාකියෙක් ලමිස්සියෙක් බැඳල කියල මයෙ නාකි යාළුවොයි අහල පහල ඉන්න එවුනුයි ඉරිසියාවෙ පැලෙයි නේද එතකොට. උන්ට හොඳම වැඩේ. ඉරිසියාකාර හැත්ත.

ඒ මොනව උනත් තාමත් ඉස්සර වගේම බැරි උනත් ඉඳල හිටල ඔයි උකුලෙ තියං ඔළුව අතගාන එකනං අමතක වෙන එකක් නෑ නෙව. හැබැයි අතගාල අහවර වෙලා නාකි කෝලං කියල මයෙ තට්ටෙට ටොක්කක් අනිනව එහෙම නෙවෙයි හොඳේ….. නාකි උනත් මං ඔහේ එක්ක නැතුව වෙන කවුරු එක්ක කෝලං කරන්නෙයි චූටිමැණිකෙ.

%d bloggers like this: