බුද්ධා බාර්, ක්‍රිස්තු බාර් සහ අල්ලා බාර් – ඇහෙනකොට ජුවල් ඇයි ?

බල්ලා !!!!!

කවුරුහරි ඔය වචනය ඇහුනම අමනාප වෙනවද ?
සමහරෙකුගෙ උත්තරය “ඔව්” වෙනකොට තවත් සමහරකගෙ උත්තරය “නෑ”.
ඇයි මේ එකම ප්‍රශ්ණයට උත්තර දෙකක් ?
උත්තර දෙකම නිවැරදි ද ? උත්තර දෙකම වැරදි ද ? එහෙම නැත්නම් එකක් හරි අනික වැරදි ද ?

නෑ…. උත්තර දෙකම හරි !!!

එහෙම වෙන්නෙ ප්රශ්ණය යොමුවෙන්නා “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව. එහෙම නැත්නම් වචනය යොමුවූ පාර්ශවය අනුව. එකම පුද්ගලයාගෙන් අවස්ථාවන් දෙකකදී කලින් වතාවෙ අහපු එකම ප්‍රශ්ණයට නැවතත් ඇසුවොත් ලැබෙන පිළිතුරත් එකක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙත් ඒ පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව.

දැන් අපි මේක පොඩ්ඩක් කරුණු කාරණා ඇතුව කියවල බලමු,

බල්ලාට “බල්ලා” කියල කිව්වට කිසිම ගැටළුවක් නෑ. කිසිම කෙනෙක් විරුද්ධ වන්නෙත් නෑ, බල්ලා ඒකට කැමතිද නැද්ද කියල දැනගන්න අපිට ක්‍රමයක් නැති උනත්, අපිට “මනුස්සයා” කිව්වම අමනාපයක් ඇති නොවෙනව වගේ බල්ලත් අමනාප වෙන එකක් නෑ කියල හිතන්න පුළුවනි. නමුත් මොනයම්ම මොහොතක හරි මනුස්සයෙක්ට “බල්ලා” කිව්වොත්…. අන්න එතන ප්‍රශ්ණයක් !!

ඇයි ඒ ?

බල්ලා තමන්ට “බල්ලා” කියපු කෙනාට බුරාගෙන නොපැන්නට මන්නුස්සයාට බල්ලා කිව්වම ලැබෙන ප්‍රතිඵලය වෙනස්. එකම වචනයට පාර්ශවයන් දෙකකි ප්‍රතිචාර දෙකක්.
මනුස්සයෙක්ට ඒ වචනය ආරෝපනය උනාම එතන තියෙන්නෙ නින්දා සහගත බවක්. බරක් ඇති වචනයක්. සිව්පාවෙක් නොවන බව දැන දැනම මනුස්සයෙක් බව දැන දැනම ඒ තැනැත්තාට “බල්ලා” කියල ආමන්ත්රණය ලොකු බරක් තියන වචනයක්.

බල්ලාට “බල්ලා” කියද්දි නොතිබිච්ච “බරක්” මනුස්සයාට “බල්ලා” කියද්දි ඇතිවුනේ කොහොමද ? ඒක කොහෙන් ආපු බරක්ද ?

බල්ලාට “බල්ලා” කියනකොට ඒ වචනයෙ අපිට කෙලින්ම නොදැනුනත් බල්ලාගේ ගතිගුණ මෙය යැයි සමාජ සම්මතයන් පොදියක් ගැබ් වෙලා තියනව. ඒ ගතිගුණ බල්ලාට ආවේණික නිසා අපිට ඒ පිළිබඳව විශේෂ හැඟීමක් නෑ. ඒක හරියට පොල් ගහක පොල් හැදීම අරුමයක් නොවෙනව වගේ.

ඒත් කිසියම් වෙලාවක මනුස්සයෙකුට “බල්ලා” කිව්ව ගමන් අන්න අර වචනය පිටිපස්සෙ හැගිලා තිබුන බල්ලාට උරුම වෙච්ච “බලු ගතිගුණ” සේරම ටික එලියට එනව. ඊට පස්සෙ ඒ දේවල් සේරම ටික අර මනුස්සයාට ආරෝපණය කරල තමයි නවතින්නෙ.

මේ ආරෝපණය සිද්ධවෙන්න කලින් අපි බල්ලා පහත් සතෙක් හැටියට මැනගන්නව. හැබැයි ඒ මැනගැනීමෙන් පස්සෙ ඒ මානයන් “මනුස්සයා” එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. සංසන්දනය කරන්න බෑ. ඒ සමානත්වයක් නැති දේවල් එකිනෙකට සංසන්දනය කරන්න බැරි නිසා. බස් එකයි ලොරියයි යම් යම් පැතිවලින් සංසන්දනය කරන්න පුළුවන්, ගඟයි මූදයි සංසන්දනය කරන්න පුළුවන්. ඒත් “බල්ලයි” “මනුස්සයයි” සංසන්දනය කරන්න බෑ. නමුත් ආරෝපණයක් කරන්න පුළුවන්.

එතනදි වෙන්නෙ බල්ලාගේ “බලු ගති” “මනුස්සයාට” ආරෝපනය කරල මනුස්සයාට ස්වභාවිකවම උරුම වෙලා තියන ගති ලක්ෂණ යටපත් කරල දැමීම. එතනදි මනුස්සයා ගැන පහත් හැඟීමක් ඇතිවෙනව.

ජීවිතයේ තියන භෞතික දේ ගැන සිතීම හරිම ලේසියි, ඒත් එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල භෞතිකව ස්පර්ෂකරල බලන්න බැරි දෙයක් ගැන කතාකරනකොට, හිතන කොට ඒ දේ තේරුම් යන්නෙ පුද්ගල බද්ධ කාරණාවක් හැටියට.

මම “සතුටින්” කිව්වම ඒ සතුටේ ප්‍රතිඵලයක් විදියට ඇතිවුන සිනාවක් දකින්න පුළුවන් උනාට කිසිම වෙලාවක “සතුට” දකින්න බෑ. මගේ සතුට මම තේරුම් ගන්නා විදියට නෙමෙයි තවකෙනෙක් තේරුම් ගන්නෙ. ඔහු එය දකින්නේ ඔහු සතුට නිර්වචනය කරන විදියට. සමහර විට ඔහු සිතන සතුට නොවෙන්න පුළුවන් මම ඒ මොහොතේ අත් විඳින්නෙ.

එතනින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ල අපි ගනිමු මිනිස්සුන්ගෙ නමක්

ධර්මදාස !!

ඔතන පැහැදිලිවම පේන තේරුම තමයි “ධර්මයේ දාසයා” කියන එක, දාසයා කියන්න එක ආයෙ අමුතුවෙන් මෙතන තේරුම් කරන්න උවමනාවක් නෑ. ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට ලිපිය දිග වෙන එක විතරයි. “දාසයා” කියන එක විවිධ භාෂා වලින් ලිව්වත්, කිව්වත් ඒකෙන් ඇඟවෙන්නෙ එකම දෙයක් !

නමුත් “ධර්ම” කියන කොටස ඊට හාත්පසින්ම වෙනස්, එක එක පුද්ගලයා “ධර්ම” දකින්නෙ තම තමන්ගෙ දැක්මට අනුව. එතනදි ඉස්ලාම් භක්තිකයාගෙ ධර්මය කිතුනුවාගේ ධර්මයට වඩා වෙනස් [යම් යම් පැතිවලින්, ඒ දෙකේම මූලාරම්භය පේගන් බවට තියන තර්ක පසෙක ලා සැලකීමේදී]. බෞද්ධයාගේත් එසේමයි. එතකොට “ධර්ම” කියන්නෙ එකිනෙකට වෙනස් අර්ථයක් ඇති දෙයක්.

“ධර්ම” කියන සිංහල අකුරු තුනෙන් ඇඟවෙන දේ, දැක්වෙන දේ නමක් විදියට භාවිතා වෙන්නෙ සිංහලයන් අතරේ විතරක් වෙන්න ඕනෙ. එතකොට සිංහලයන් බහුතරයක් බෞද්ධයන් වීම තුල [නමට හෝ !] සමාජ සම්මතයෙන් “ධර්ම” කියන නම සිංහල බෞද්ධ කියා හඳුන්වාගන්නා සමාජ කොටසට අයිතියි. “ධර්මදාස” කියන නම නාමික බෞද්ධයෙකුට යෙදුවා කියල කිසිම කෙනෙක් අමනාප වෙන්නෙ නෑ. මොකද කිසිම කෙනෙක් ඒ මනුස්සයාගෙ “බෞද්ධ” කම මනින්න යන්නෙ නැති නිසා.

ඒක නිසා තමයි “ධර්මෙ” චන්ඩියෙක් වීමත් “ධර්මදාස” ලෝක හොරෙක් වීමත් “සුධර්මා” ගණිකාවක් වීමත් ලොකු සමාජ කතිකාවතක් දක්වා දුර නොයන්නෙ. කොටින්ම කිව්වොත් අර කලින් කියාපු “බල්ලා” තරමට “ධර්ම” නමක් විදියට බර නෑ මනුස්සයන් හා ගලප්පන්න යෑමේදී.

ඒත් ඊලඟට ගන්න යන වචනෙ සෑහෙන්න බරක් ඇති එකක් !

සිද්ධාර්ථ !!

නමේ තේරුම “අර්ථයක් සිද්ධකරන්නා” යන්න උනත් බෞද්ධාගමිගකයන්ට ඒක ඊට වඩා බරක් ඇති වචනයක්. පරම්පරා ගනනාවක් තිස්සේ බරක් පැටවුන වචනයක්. ඒක නිසා දෙමව්පියන් “සිද්ධාර්ථ” කියන්නෙ නමක් විතරක් උනාට තමන්ගෙ ළමයට ඒ නම තියන්න හිතන්නෙ නැත්තෙ. කිසිවෙක් එහෙම කරන්න එපා කියල නීතියක් නොදැම්මට එහෙම කරන එක හොඳ නෑ කියන සමාජ ඇඟවීමක් තියනව.

අල්ලා !!! ජේසුස් !!!! ඒ දෙකක් එහෙම්මම වෙන්න ඕනෙ මට හිතෙන විදියට.

දැන් අන්තිම වචනය.

සිද්ධාර්ථ බුදු උනා !! බුද්ධා !!!

සිද්ධාර්ථ කියන වචනෙට වඩා බොහොම වෙනස් වචනයක් තමයි ඒක. බුද්ධ කියන්නේ මොනවගේ කෙනෙක්දැයි කියන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ යෙමෙක් බුද්ධ කියන්නේ මේන්න මේ වගේ තත්වයකයටය කියල ලියල තියන දෙයක් ඒ ආකාරයෙන්ම පිලි අරගෙන පුනරුච්චාරණය කරනව ඇරෙන්න. භෞතිකව හිතුවොත් විවිධාකාරයේ මීට පෙර දැකපු පිළිම, සිතුවම් පෙලක් මැවිලා නැතිවෙලා යනවා වගේ පෙනෙයි, නමුත් ඒවා අතරෙනුත් මේ තමයි බුද්ධ කියල පැහැදිලිව තෝරල බේරල ගන්න එකක් නැතිවෙයි.

බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් නොවී පුද්ගලයෙක් පත්වුනා යැයි කියන තත්වයක් නිසා ඊට ලඟාවූ කෙනෙකුට හැරෙන්න බුද්ධ කියන වචනය තේරුම් ගන්න බෑ, නමුත් අපි භාවිතා කරනව පැටවුණු බර වැඩි කමටම තේරුමක් නොදැන. ඒ වචනය වෙනුවෙන් පෙනී සිටිනව ඒ වචනයෙක් ඇඟවෙන්නේ කුමක්දැයි නොදැන, ඒ චරිතය ආශ්‍රය කරගෙන විවිධ නිර්මාණ කරනව මොකක්ද කියල නොදැන. කළුවර කාමරයක ඇති අඳුර අතින් අල්ලන්න හදනව වගේ.

ස්තූතිය : ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම් වෙත !

Advertisements

රත්තරන් දම්වැල්

දම්වැල යමක් ස්ථීර ලෙස, ගැලවී නොයන ලෙස, බැඳ තැබීම සඳහා පාවිච්චි කරනු ලබන්නකි. පුරාණ කාලවලදී දාසයන් බැඳ තැබීම සඳහා යකඩ දම්වැල් පාවිච්චි කා තිබේ. අද අප මෙහිදී ටිකක් විමසා බැලෙමට අදහස් කරන්නේ මනුෂ්‍යයාගේ ශරීරය බැඳ තබන ලද එවැනි දම්වැල් නොවේ. සාමාන්‍යයෙන් යකඩයෙන් සාදනු ලබන ඒ දම්වැලෙන් පවා මිදීම පහසු නොවූව ද ඒවායින් මිදී නිදහස් වීමා මනුෂයාට යම් තරමකට හෝ පුළුවන් කමක් තිබේ. එවැනි දම්වැල් වලට වඩා බොහෝසෙයින් ශක්තිසම්පන්න වූ තවත් දම්වැල් සමූහයක්ම මනුෂ්‍යයාට ඇත්තේය. ඒවා මානසික දම්වැල් වෙති. එම මානසික දම්වැල් අතරෙහි යකඩ දම්වැල් පමණක් නොව රත්තර දම්වැල්ද වෙයි. රත්තරන් දම්වැලෙහි එක්තරා නම්බුකාර වටිනාකමක් තිබේ. එහෙයින් එය කඩා ඉවට දැමීමට ඕනෑකමක් එයින් බඳිනු ලැබූ තැනැත්තාට ක්‍රමයෙන් නැතිවී යාමටද ඉඩ ඇත. අප කාගේත් පාහේ නිදහසට බාධාවක් වී තිබෙන දම්වැල් කිහිපයක් ගැන දැන් කෙටියෙන් විමසා බලමු.

ඔබේ තරහ කාරයෙක් ඇතැයි සිතමු. ඔහු දකින විට ඔබ තුල ඇතිවන්නේ තරහකි. එසේත් නැත්නම් අප්‍රසන්න හැඟීමකි. ඔහු ගැන මතක් වන විට ද එවැනිම හැඟීමක් ඇති කරයි. දකින වාර ගනනටත් වඩා මතක් වන වාර ගනන වැඩිය. ඔහු මතක නැති කර දමන්නට උත්සාහ කරන තරමටම මතක් වීම වැඩිවෙයි. ඔබ අකමැතිවුවද ඔහු ඔබගේ සිතෙන් ඉඒත්කර දැමීම අතිශයින්ම අපහසුය. ඔබත් ඔහුත් දම්වැලකින් බැඳී ඇත. ඒ දම්වැල යකඩ දම්වැලකි. එය ලස්සන නැත. අමිහිරි පෙනුමෙන් යුක්තය. කිසිවෙකු ඒ යකඩ දම්වැල ගැන ප්‍රසංසා නොකරයි. එහෙයින් ඒ දම්වැලෙන් මිදෙන්නට, ඒ දම්වැල කඩා දමන්නට, එයින් බැඳී සිටින තැනැත්තාට සිතෙන්නට පුළුවන.

කෙනෙකු කෙරහි ඔබ ඇල්මෙන් සිටිනවා යයි සිතමු. දෙදෙනා අතර ගැටීමක් නැත. ඔහුගේ ආශ්‍රය, දැක්ම, මතක් වීම, මිහිරි ය. අනික් අතට ඔහුගේ ආශ්‍රය නැතිවී යාම අමිහිරිය. දුක් සහිතය. වෙන වචන වලින් කියනවා නම් ඒ ඇල්ම ඔහු කෙරහි බැඳ තබන දම් වැලකි. එහෙත් එය යකඩ දම්වැලක් නොව රත්තරන් දම්වැලකි.

වෛරයත් ඇල්මත් යන දෙනම දම්වැල් ය. දෙකම සෑදී තිබෙන්නේ ශක්තිසම්පන්න ලෝහ වලින් ය. දෙකෙන්ම සිදුවන කර්යය එකක් ය. එනම් නිදහස නැත්වීම ය. වෙනසකට තිබෙන්නේ එකක් අප්‍රිය වීමත් අනික ප්‍රිය වීමත් ය. වෛරයට් ඇල්මත් අතරෙහි වන තවත් දෙයක් ඇත. ඒ නම් රාගයයි.

රාගය යකඩ සහ රත්තරන් යන ලෝහ දෙකේම මිශ්‍රණයෙන් සෑදුනක් සේ පෙනේ. රාගය වෛරය මෙන් අතිශය ආත්මාර්ථකාමී ය. ඒ සමඟම ඇල්මෙහි ඇති සතුට වැනි ආස්වාදයක් ද රාගයෙහි ඇත්තේය.

තවත් ඇති වෙනසක් නම් වෛරය සහ ඇල්ම තනිකරම මානසික වන අතර රාගය මානසික වින්දනයෙන් සහ ශාරීරික වින්දනයෙන් යන දෙකෙන්ම යුක්ත වීම ය. රාගයෙහි ඇති යකඩ දම්වල් බව එහිම ඇති රත්තරන් දම්වැල් බවෙන් බොහෝවිට වැසීයන බැවින් මෙම දම්වැල අතිශයින්ම සංකීර්ණය. එහෙයින් එයින් මිදෙන්නද අතිශයින්ම අපහසු ය. ඇතැම් ආගම්වල මෙය දේවත්ව ලක්ෂණයක් වශයෙන් සැලකීමද තවත් සමහරක් ආගම්වල රගයෙන් ලැබෙන සැපය විඳීම පින් කොට ලැබිය යුත්තක් සේ සැලකීම ද මෙහි ඇති බන්ධන ස්වභාවය තව දුරටත් ස්ථාවර වීමට හේතුවක් වී තිබේ. දැලට හසුවී එයින් මිදෙන මත්සයෙකු සේ මෙයින් ඉතාම ටික දෙනෙකු පමණක් නිදහස ලබන්නේ එම හේතුවෙන් ය.

මනුශ්‍යයා තුළ පවත්නා ඕනෑම ප්‍රතිපක්ෂ ගුණ දෙකක් ගත් විට එයින් එකක් මනුෂ්‍යයා බැඳ තබනා දම්වැලකි. අනික මනුෂ්‍යයා බැඳ තබනා රත්තරන් දම්වැලකි.

මසුරුකම සහ මසුරුකම නැතිකරන්නට දන් දීම ක්‍රෝදය සහ ක්‍රෝදය දුරුකිරීමට මෛත්‍රී වැඩීම, අහංකාරකම සහ පුරුදුකරගත් නිහතමානී භාවය, භය සහ සිතින් මවාගත් ධෛර්යය, බොරුකීම සහ උත්සාහයෙන් ඇත්ත කීම මේවා ප්‍රතිපක්ෂ ගති ගුණ වලින් කිහිපයකි. මේ ආදී සියල්ලම “පව්” සහ “පින්” යන දෙකෙහි මූලික වශයෙන් ඇතුලත් කිරීමට පුළුවන. “පව” මනුෂ්‍යයා බැඳ තබනා යකඩ දම්වැල ය. “පින” මනුෂ්‍යයා බැඳ තබනා රත්තරන් දම්වැලය ය.

පව සහ පින යනු සාපේක්ෂ වචන වේ. මෙය “පව” යැයි මුළු ලොවම පිලිගත් පවක් වත් මෙය පින යැයි මුළු ලොවම පිලිගත් “පිනක්” වත් නැත. එක රට නරක්ක් වශයෙන් පිලිගත් දෙයක් තවත් රටක හොඳ යැයි පිළිගෙන තිබීමට බැරි නැත. එසේම එක ආගමක “පින” තවහ් ආගමක “පව” වන්නට පුළුවන.

පව සහ පින යන දෙකෙහි සාපේක්ෂතාවය කවරක් වුවද එක කැරුණක් පැහැදිලිය. එනම් මනුෂයෙකු “පව්” කරන්නේත් එම පව් වලින් වැලකීම වූ “පින්” කරන්නේත් “තමා” මුල් කරගෙන බවය. “තමා” තෘප්තිමත් වීම සඳහා බවය.

“තමා” යනු තිබෙන වස්තුවක් වත් පුද්ගලයෙක්වත් නොවේ. එය මතක් වීම් සමූහයක් මත ගොඩනැඟුනු විශ්වාස මාත්‍රයකි, දෘෂ්ථි මාත්‍රයකි. එහෙත් එම දෘෂ්ථිය පුද්ගලයෙකුගේ ස්වරූපයෙන් ක්‍රියා කරයි. “තමා” යන්න ආරක්ෂා කිරීමට උවමනා වන සෑම දෙයක්ම ඒ කෘතීම පුද්ගලයාගෙන් සිදුවෙයි. තමාටම සැප සම්පත් ලනාගැනීමේ රුචිය වන මසුරුකම ඒ කෘතීම පුද්ගලයාගේ පැවැත්මට රුකුලකි. කෙනෙකු මසුරුවන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රයෝජනය සඳහාය. එහෙත් පුද්ගලයා සංඥා මාත්‍රයක් බැව් මොහොතකට හෝ පෙනුනාට පසු මසුරු වීමේ තේරුමක් වත් උවමනාවක් වත් නැතිවී යයි. එහෙයින් මසුරුකම නැතිකරන්නට අමුතුවෙන් දන් දීමක් ඔහුට උවමනා වන්නේ නැත. එහෙයින් මසුරු කම නැමති යකඩ දම්වැලත් මසුරුකම නැතිකිරීමට කරනා දන්දීම නැමති රත්තරන් දම්වැලත් එකවිටම ඔහුගෙන් තුරන්වී යනවා ඇත. ඊට පසු ඔහු යමක් අනුනට දෙන්නේ පින ලබාගැනීමටවත් මසුරු කම නැතිකර ගැනීමේ උපායක් වශයෙන් නොව ඒ මේ මොහොතෙහි දී තමා විසින් අවශ්‍යයෙන් කළ යුතුව තිබෙනා ක්‍රියාවක් වශයෙන් ය.

ක්‍රෝධය සහ ක්‍රෝධය දුරු කිරීමට මෛත්‍රිය වැඩීම සම්බන්ධයෙන් සිදුවන්නේ ද මෙවැන්නක් ම ය.

ක්‍රෝධය වශයෙන් මතුවී එන්නේ තමාට අහිතකර බාහිර හේතුවක් ඒ “තමා” සමඟ ගැ‍ටුණු විටය. “තමා” ආරක්ෂා කර ගැනීම සඳහා එක්කෝ ඒ ක්‍රෝධය යුක්තිසහගත කර ගනියි. එසේත් නැත්නම් ඒ ක්‍රෝධය දුරු කර ගැනීමට උත්සාහවත් වෙයි. මෛත්‍රිය වැඩීම ඒ සඳහා කෙරෙනා එක උත්සාහයකි. ක්‍රෝදය වරදක් නැතැයි සලකා යුක්ති සහගත කිරීමත් නරක යැයි සලකා එය නැතිකර ගැනීමට මෛත්‍රිය වැඩීමත් යන දෙකමැක විදියේ දම්වැල් ය. “තමා” යනු කවරේදැයි මොහොතකටෙ හෝ දු‍ටුවිට මේ ප්‍රතිපක්ෂ ගුණ දෙකම අභාවයට යන්නේ ය. ඊට පසු ඉතිරිවන්නේ ක්‍රෝධයෙන්වත් ක්‍රෝධය නැති කරන්නට ගන්නා උපක්‍රමයකින් වත් නොකැළඹුණු, නොකිළිටි වුණු මෛත්‍රිය යැයි කීමට පුළුවන.

යකඩ හෝ වේවා රත්තරන් හෝ වේවා දම්වැල බන්ධනයක් මිස ආභරණයක් නොවේ.

මේ දම්වැල් දෙවර්ගයටම හේතුව “තමා” යන ‍රැවටිල්ලය. එම ‍රැවටිල්ල ‍රැවටිල්ලක් වශයෙන් පෙනුණු විට “යකඩ” දම්වැල් ද “රත්තරන්” දම්වැල්ද එකම විට කැඩී යනවා ඇත. එයින් නිදහස් වූ මිනිසා “පව්” කරන්නේ වත් “පින්” කරන්නේ වත් නැත. ඔහු කරන්නේ ඒ ඒ මොහොතට සුදුසු වන “ක්‍රියා” පමණ ය.

සිතිවිලි කාණ්ඩ 07-
රත්තරන් දම්වැල් – ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්

ගැහැණු මනුස්සයා

ප්‍රතිනිෂ්පාදනයේදී පිරිමියාගේ කාර්ය කොටස බින්දුවක් තරම්. මේ හීනමාන මානසිකය ඉතාම විශාල ගැටළුවක් නිර්මාණය කරල තිබෙනව. පිරිමියා ගැහැණියගේ ත‍ටු කපන්න පටන්ගත්ත. සෑම ආකාරයකින්ම ඇයව සුළු කොට තකන්න, ඇයව හෙලා දකින්න පටන්ගත්ත. [ගැහැණු මනුස්සයා පි:09]

ඔබ දරුවන් දහ දෙනෙකුගේ අම්මා වෙනවා කියල ප්‍රාර්ථනා කරනව. අවසාන වශයෙන් ඔබේ ස්වාමිපුරුෂයා ඔබේ එකොලොස්වෙනි දරුවා උනාදෙන්, ඔබේ සැමියාට මවක් වෙන්න සමත් උනේ නැතිනම් ඔබ සාර්ථක බිරිඳක් වෙන්නෙ නැහැ. මේක හරිම අමුතුයි එහෙත් එහි අතිවිශාල මනෝවිද්‍යාත්මක විදර්ශනාවක් තිබෙනව. මොකද සෑම පිරිමියෙක්ම තම බිරිඳ තුල සිය මව සොයනබවත්, සෑම ගැහැණියක්ම පිරිමියා තුල තම පියා සොයන බවත් මනෝ විද්‍යාව තුලින් කරුණු අනාවරනය කරගෙන තියනව [ගැහැණු මනුස්සයා පි:11]

අද ලෝකයේ ක්‍රියත්මක වෙමින් තිබෙන කාන්තා විමුක්ති ව්‍යාපාර පිරිමියා විසින් නිර්මාණය කල ප්‍රපංචයන්. පුරුෂ නිර්මාණ ප්‍රපංචයන්. ලොව පුරාම සිටින ගැහැණුන්ට ස්වාධීන වීම අවශ්‍යබවට ගැහැණුන් පොළඹවාගැනීමට පිරිමියා උත්සාහ කරනව. පිරිමියා සහ ගැහැණිය අතර සමනාත්මතාවයක් තිබිය යුතුයි කියල පලමුවෙන්ම කතාකරන්න පටන් ගත්තෙ පිරිමියෙක් මිස ගැහැණියෙක් නෙමෙයි. අතීතයේදි ගැහැණිය පිරිසිඳු ජීවියෙක්, දේවදූතිකාවක් යැයි සිතන්න ඔවුන් පොලඹවාගත්තා. පිරිමියා අපිරිසිඳුයි, කොල්ලො කොල්ලොමයි නමුත් ගැහැණු ? පුරුෂයා ඇයව දේවත්වයේ තබා ඔසවනවා; ඒ ඔහු ඇයව පාලනයට යොදන විජ්ජාවක්. ගැහැණිය ඉහල ස්ථානයක සිටීමෙන් හිතන්න ගත්තා තමන් දේවත්වයේ කියල. ඇයට බැහැ මිනිස්සු කරන දේ කරන්න. මොකද එය ඇගේ මමත්වයට එරෙහිව යන නිසා. ඇය තමයි මව, ඇය තමයි දේවත්වය. ඇයට පුරුෂයාට වඩා දේව ගුණයන් තියනව. පිරිමියා කැතයි, අසංවරයි, පිරිමියාට සමාව දියයුතු වෙනව [ගැහැණු මනුස්සයා පි:32]

ඇය කවදාවත් ලිංගික ක්‍රියාවන්ට පක්ෂව සිටියේ නැහැ. එය එයින් දුක් වින්දා. ඒවා දරාගත්තා. ඈ එයට එකඟ වෙන්නේ එය ඇගේ වගකීමක් වුණ නිසා; ගැඹුරු ඇතුලාන්තයේ ඈ සිය සැමියාට වෛරකලා. මොකද ඔහු නිකම් හරියට සතෙක් වගේ නිසා. ගැහැණු බඹසර ‍රැකි සාන්තුවරයන්ට හැමවිටම වන්දනාමාන කරන්නේ කුමන හේතුවක් නිසාද කියලද ඔබ සිතන්නේ ? එහි ඉතාම අභ්‍යන්තර හේතුව, ඔවුන්ගේ බඹසර කමයි පූජනීයත්වය සනාත කරන දෙය. ඇගේ සැමියාට ඒ ආකාරයට ගරු කරන්න ඇයට බැහැ. [ගැහැණු මනුස්සයා පි:50]

මිනිහා විසින් සොයා ගනිපු ඉතාම අප්‍රසන්න ආයතනය තමයි විවාහය. ඒක ස්වාභාවික නැහැ. ඒක සොයාගන්නේ එහිදී ඔබය ගැහැණිය යටත්කරගන්න පුළුවන් නිසා. ඔබ ගැහැණියට සලකමින් සිටියේ ඉඩම් කබැල්ලක් නැත්නම් මුදල් නෝට්‍ටු ටිකකට වගේ. ඔබ ගහැණිය භාණ්ඩයක තත්වයට ඇද දැම්මා. මතක තබාගන්න ඔබ ඕනෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් භාණ්ඩයක තත්වයට ලඝු කලහොත් ඔබවත් ඒ තත්වයටම ලඝු කරනව. ඔබට පු‍ටුවකට කතාකරන්න හැකිනම් ඔබත් පු‍ටුවක් [ගැහැණු මනුස්සයා පි:55]

ලෝකයේ සියළුම ආගම් උපත් පලන ක්‍රම වලට විරුද්ධයි. ඔවුන් පෙත්තට විරුද්ධයි, ගබ්සාවට විරුද්ධයි. එහි අර්ථය වෙන්නෙ ගැහණිය දියටම ජීව විද්‍යාත්මකව වහල් භාවයේ සිටිය යුතුයි යන්නයි. ඇගේ ශක්තිය දිගටම වැය වෙන්නෙ අනුකාරක ජනයා බිහිකරන්නයි. [ගැහැණු මනුස්සයා පි:148]

ඔබ මලක් දෙස බලනවානම් “කොයිතරම් සුන්දරද” කියල කියාවි. ඔබ මිනිහෙක්ගෙ, ගැහැණියකගෙ ලස්සන මුහුණ දිහා බැලුවොත් මිනිස්සු කියාවි “ඒකනම් කෑදරකම” කියල. ඔබ ගසක් ගාවට ගිහින් එතන සිටගෙන මලක් දේසට පුදුමයට පත්වී බලා සිටියහොත් මිනිස්සු හිතාවි ඔබ කවියෙක් නැත්නම් සිතුවම් අඳින්නෙක් කියල. එහෙම නැත්නම් යෝගියෙක් කියල. ඔබ පිරිමියෙක් නැතිනම් ගැහැණියෙක් වෙත ගිහිල්ල දැඩි ගෞරාවයකින්, පූජනීයත්වයක් දක්වමින් එම ගැහැණිය වෙත යොමාගත් ඇස් හොඳින් විවර කරලා ඇයගේ මුහුණේ ලස්සන උරාගනිමින් පසුවුනොත් පොලීසියෙන් ඔබව අල්ලාගෙන යන්න ඉඩ තියනව. එවිට කවුරුත් කියන එකක් නෑ ඔබ කවියෙක්, යෝගියෙක් කියලා [ගැහැණු මනුස්සයා පි: 154]

මම හිතන්නෙ නැහැ එකම මිනිහෙක්වත් ගැබ්ගන්න කැමති වෙයි කියල. කිසිම සැකයක් නැතිව ඔහු සියදිවි නසාගනීවි. ඔහු තට්‍ටු පනහක් උස ගොඩනෙගිල්ලක් උඩ ඉඳල බිමට පනීවි. – ගර්භණීද ? නිකං හිතන්න ඔබේ බඩේ දරුවෙක් ඉන්නවා කියල. ඔබට පිස්සු හැදේවි. එහෙත් දැන් කොහොමද එය පලවාහරින්නෙ. මවක් කොතරම් විශාල දුක් වේදනා තුලින්ද මේ දැවැන්ත පරිත්‍යාගය කරන්නෙ. [ගැහැණු මනුස්සයා පි:184]

පොත : ඕෂෝ සංවාද – ජීවිතයට ඉඩදෙන්න 02 – ගැහැණු මනුස්සයා
පරිවර්තක: ජෝ සෙනවිරත්න
ප්‍රකාශනය : සරසවි
මිල : රු 290.00

රාවනා සොයා හෝටන් තැන්නේ සිදු කල ඇමරිකානු හමුදා මෙහෙයුම.

ලංකාවෙ කාශ්‍යප රජු සිංහලයෙක් වගේම සූර්ය වංශිකයෙක්. ඇත්තටම සිංහලයො කියන්න සූර්ය වංශිකයො කියන එක. හෙලයො කියන ශබ්දයට සමාන අර්ථ පද වන හීලියොස් කියන ලතින් වචනයේ අදහසත් සූර්ය වංශික කියන එක.

මට පොඩි ප්‍රශ්ණයක් තියනව, ඇයි මේ කාශ්‍යප රජ්ජුරුවන්ටම සිංහලයෙක් කිව්වෙ. මුගලන් කුමාරය සිංහලයෙක් නෙමෙයිද ?

ධාතුසේන රජුගෙ බිසෝවරු දෙදෙනෙකුගෙ ළමයි මේ කුමාරවරු දෙදෙනා. මුගලන් දකුණු ඉන්දීය බිසවකගෙ පුතෙකු නිසා තමයි කාශ්‍යපට එරෙහිව මෙහෙයවපු සටනට ලාංකික සිංහලයො උදව් නොකලෙ. ඉතිහාසයෙ පැහැදිලිව තියනව දකුණු ඉන්දියාවට ගිහින් ගෙනා සේනාවක් සමඟයි කාශ්‍යප හා යුද්ධ කලේ කියල. [පි‍ටු අංක හැත්තෑ අට]

“මේජර් ඇන්ඩර්සන් කාටර්’ස් ස්පෙෂල් ඔප් ටීම්, රිපෝට් ඉමීඩියට්ලි ‍ටු ද ඔස්ප්‍රි ” ජේකින් දෙවරක්ම එය ඇමතුම් යොමුවට කියනා අතර ගමනේ යොමුව සඳහන් සටහනේ පිහි‍ටුම වෙත නෙත් හෙලීය. අක්ෂාංශ, දේෂාංශ සටහන තමන් යා යුතු පිහි‍ටුම දැක්වීය. කහ මුහුද කරා යන ගමනේදී ඉන්දියන් සාගරය තරණය කරමින් සිටිනා ඔවුන්ගේ නෞකාව ඔවුන් ගොස් එජතුරු මෙතනම හිඳීවිද යන්න යායුතු පිහි‍ටුම දකිත්ම ජේකින්ගේ හිතට නැඟුණු පැණයයි.

“6/48/N 80 48/E” තමන් යායුතු ඉලක්කය කහ මුහුද න්වන බවනම් ඉතා පැහැදිලිය [පි‍ටු අංක දාහත]

හදිස්සියේම ඇය අසලට වේගයෙන් ඇදී ආ සුදු පැහැති වෑන් රථයක් ඇගේ ඇ‍ඟේ ගෑවී නොගැවී පදික වේදිකාව අසලටම ගෙනැවුත් එකවනම නැවැත්වීය. පැති දොර විවෘත්ත වූ වෑන් රථයේ කළුවර් ඇතුලින් පිතට පැමිණි හැඩි දැඩි අත් පමණක් හිරුණිට දිස් විය. ශක්තිමත් දෑත්වල ග්‍රහනයෙන් ඇයව වෑන් රථය තුලට ඇදීගිය ක්ෂණයකින් වෑන් රථයේ දොර වැසීගියේය [පි‍ටු අංක තිස් තුන]

රාවනා රජුටත් පෙර සිටම භාෂා ශාස්ත්‍ර විද්‍යා අතින්, යන්ත්‍ර මන්ත්‍ර අතින් ඉන්දු-ලංකා ප්‍රදේශ ඉහල තනක් ගෙන තිබූ බව පෙනෙනවා. මෙවැනි පොතක් ලියන්න රාවනා රජුට දැනුම ආවේ වෙනත් ගුරුවරුන්ගෙන්. රාවනා රජුගේ ගුරුවන් වූ ඔහුගේම පියා වූ විශ්ව මුණි, සීයා වූ පුලස්ති හා අගස්තී වැනි සෘෂිවරු මව්පස සීයා වූ සුමාලින් අසුර රජු යන අය රාවනා රජුව දැනුමෙන් පෝෂණය කරන්න ඇති. [පි‍ටු අංක අනූ හත]

උතුරු දිශාවට වගේම ලෝක පාලක වශයෙනුත් යක්ෂයන්ට අධිපති ලෙසත් සැලකෙන්නෙ කුවේර හෙවත් වෛශ්‍රවණයි. වෛදික ග්‍රන්ථ, පුරාණ ග්‍රන්ථ හා හින්දු පුරාවෘත අනුව කුවේර ලංකාවේ කලෙක පාලකව සිටි අතර ඔහුව බලයෙන් නෙරපා රාවණා ලංකාවේ රජ වූ බවයි සඳහන්. [පි‍ටු අංක එකසීය එකොලහ]

කාවන්තිස්ස රජ පරපුර එන්නෙ මාගම රුහුණු පෙළපතින්. එතුමගෙ සීයා මහානාග කුමාරයා අනුරාධපුරයෙන් මාගමට පලා එන්නේ අඹ ගෙඩියකට වස දා ඔහුව නසන්නට තම සහෝදර දේවානම්පියතිස්සගෙ බිසව කල ඝාතන තැතට බය වෙලා. [පි‍ටු අංක එකසීය දාහතර]

ඇත්තටම ආටානාටිය කියන්නෙ බුදුන් දේශිත සූත්‍රයක් නෙමෙයි, බුදුන්ට දේශිත සූත්‍රයක්.

ත්‍රිපිටකයෙ බුදුන් දේශිත ධර්මය මිසක් බුදුන්ට කියූ බණ කොහේද?

බුද්ධ ශාශනයේ භික්ෂු, භික්ෂුණී, උපසක, උපාසිකා යන පිරිසට ඇතිවන අමනුෂ්‍ය උපද්‍රව වලක්වාගනු පිණිස වෛශ්‍රවණ රජු ප්‍රමුඛ සතරවරම් රජවරු විසින් ආටානාටිය නම් නහරයේදී විපස්සී ආදී සත්බුදුවරුන් සහ අටසිසි යක්ෂසේනාධිපතින්ගේ අණ තේජස පිහි‍ටුවා සම්මතව ලියැවුන නිසා ආටානාටිය නම් වූ මේ පිරිත රජගහ නුවර සිටි බුදුන් හමුවට එන මේ රජවරුන් හා සේනාව හමුවේ වෙසමුණි රජතුමා බුදුන් ඉදිරියේ ප්‍රකාශකරනවා. බුදුරදුන් එය පිළිගෙන පසුව එය එලෙසින්ම භික්ෂූන් අමතා වදාළ නිසයි එය බුද්ධ භාශිතය වන්නේ [පි‍ටු අංක එකසීය තිස්පහ]

1938 දී හිට්ලර්ගේ පාලන සමයේ ජර්මන් ගවේශකයින් හයින්රිච් හිම්ලර් ගේ මෙහෙයවීමෙන් මුල්ම පූර්වජ ජාතිකයන් ලෙස ආර්ය අට්ලාන්ටිකයින් සොයා ටිබෙටයට පිටට්කොට හැරුනා.මන්නාරමට ආසන්න මුහුදේ මුදට යටවූ යොදුන් පන්සීයක් පමණ වූ නාග රාජ්‍යයක් ගැන මහාවංශයේ මුල්ම කවි කිහිපයක සඳහන් වෙනවා [පි‍ටු අංක එකසෙය හැට අට]

රාම හා සටන් වදිනකොට රාවනා රාමට වඩා බොහෝ සේ මහලුයි. ඒක හරියට මම අපේ සීයාට කඩු සටනකට අභියෝග කලා වගෙයි. ඒත් ඒ සටනත් රාවනා පරදින්නෙ රාවණාගෙ මර්මස්ථානය විභීෂණ විසින් රාමාට කියාපු නිසයි. තමාගේ කෙනෙකු ද්‍රෝහීවීම නොදන්නා කෙනෙකු සතුරු වනවාට වඩා බරපතල බව කියන්නට තියන ලංකාවේ හොඳම උදාහරණය. [පි‍ටු අංක දෙසීය හය]

හීබෲ බයිබලයේ මෙන්ම නව තෙස්තමේන්තුවෙත් යුදෙව් මෙන්ම ක්‍රිස්තියානු වහරේත් හීබෲ බසින් බිහිවූ ආමේන් යන වදන නිතරම භාවිතා වෙනව. හීබෲ බසින් හි අරුත, සත්තකින්ම, අවශ්‍යයෙන්ම, එසේම වේවා, වැනි අදහසක්. ඉතාම බලවත් වූ එකඟතාවයක් පලකිරීම සඳහා මෙය යොදා ගැනුණා. යුදෙව්වන් ආශිර්වාදය ලැබුම පිණිසත්, පොදු පිළිතුරක් වශයෙන් ඇතැම් තැන්හී සාමූහිකව මෙසේ කීම දැකිය හැකියි. [පි‍ටු අංක එකසීය පනස් අට]

බලන්න කොච්චර බුද්ධාගම ලක්දිව පැතිරුනත් ලාංකික සිංහලයන් බුදුන්ගේ සිරිපතුල වඳින්න කියල නැග්ගට ඉර සේවෙ දැක්කෙ නැත්නං ගමනම සවුත්තුයි. උදෑසන ඉර දැක්ක ගමන් සිරිපතුලට පිටිපස්ස හරවල ඉර දිහාට සාධු කියල වඳිනව. බුදුහාමුදුරුවො සිරිපතුල පිහි‍ටුවල ගිහිල්ලත් සිංහල සුරයන්ගේ සුර්ය වන්දනාව වලක්වගන්න බැරිඋනා. මං හිතන්නෙ ඒක සිංහල ජාන වලටම කාවදිල වගේ. තාමත් සමනල කන්ද මුදුනේ සිංහලයන් හෙවත් සිව්හෙලයන්, හෙළයන් හෙවත් හීලියෝස් හෙවත් සූර්ය වංශිකයන් හිරුට වඳිනව [පි‍ටු අංක දෙසීය පණහ]

මෙහි ලියවුනු ඡේද අතරේ නොලියවුනු ඉතිරි රසවත් සටහන් කියවන්න

පොත : රාවනා මෙහෙයුම
කතෘ : තුසිත රුවන්
ප්‍රකාශනය : සරසවි
මිල : රු.360.00

රාවනා ඇතුලු හෙළ අසුර රාජවංශය පිළිබඳ වැඩිදුර කියවීම්

%d bloggers like this: