මම කවුද ?


අල්ලපු ගෙදර මනුස්සයට මම අසල්වැසියා

අල්ලපු ගමේ මනුස්සයට මම එහා ගමේ එකා

අල්ලපු ටවුමෙ එකාට මම එහා ටවුමේ එකා

කොළඹ එකාට මම ගාල්ලේ එකා

ඉන්දියාවේ එකාට මම ලංකාවේ එකා

යුරෝපයේ එකාට මම ආසියාවේ එකා

අඟහරු ලෝකයේ එකාට මම පෘථිවියේ එකා

හැබෑවටම මම කොහෙද ? මම කවුද ?

බුද්ධා බාර්, ක්‍රිස්තු බාර් සහ අල්ලා බාර් – ඇහෙනකොට ජුවල් ඇයි ?

බල්ලා !!!!!

කවුරුහරි ඔය වචනය ඇහුනම අමනාප වෙනවද ?
සමහරෙකුගෙ උත්තරය “ඔව්” වෙනකොට තවත් සමහරකගෙ උත්තරය “නෑ”.
ඇයි මේ එකම ප්‍රශ්ණයට උත්තර දෙකක් ?
උත්තර දෙකම නිවැරදි ද ? උත්තර දෙකම වැරදි ද ? එහෙම නැත්නම් එකක් හරි අනික වැරදි ද ?

නෑ…. උත්තර දෙකම හරි !!!

එහෙම වෙන්නෙ ප්රශ්ණය යොමුවෙන්නා “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව. එහෙම නැත්නම් වචනය යොමුවූ පාර්ශවය අනුව. එකම පුද්ගලයාගෙන් අවස්ථාවන් දෙකකදී කලින් වතාවෙ අහපු එකම ප්‍රශ්ණයට නැවතත් ඇසුවොත් ලැබෙන පිළිතුරත් එකක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙත් ඒ පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව.

දැන් අපි මේක පොඩ්ඩක් කරුණු කාරණා ඇතුව කියවල බලමු,

බල්ලාට “බල්ලා” කියල කිව්වට කිසිම ගැටළුවක් නෑ. කිසිම කෙනෙක් විරුද්ධ වන්නෙත් නෑ, බල්ලා ඒකට කැමතිද නැද්ද කියල දැනගන්න අපිට ක්‍රමයක් නැති උනත්, අපිට “මනුස්සයා” කිව්වම අමනාපයක් ඇති නොවෙනව වගේ බල්ලත් අමනාප වෙන එකක් නෑ කියල හිතන්න පුළුවනි. නමුත් මොනයම්ම මොහොතක හරි මනුස්සයෙක්ට “බල්ලා” කිව්වොත්…. අන්න එතන ප්‍රශ්ණයක් !!

ඇයි ඒ ?

බල්ලා තමන්ට “බල්ලා” කියපු කෙනාට බුරාගෙන නොපැන්නට මන්නුස්සයාට බල්ලා කිව්වම ලැබෙන ප්‍රතිඵලය වෙනස්. එකම වචනයට පාර්ශවයන් දෙකකි ප්‍රතිචාර දෙකක්.
මනුස්සයෙක්ට ඒ වචනය ආරෝපනය උනාම එතන තියෙන්නෙ නින්දා සහගත බවක්. බරක් ඇති වචනයක්. සිව්පාවෙක් නොවන බව දැන දැනම මනුස්සයෙක් බව දැන දැනම ඒ තැනැත්තාට “බල්ලා” කියල ආමන්ත්රණය ලොකු බරක් තියන වචනයක්.

බල්ලාට “බල්ලා” කියද්දි නොතිබිච්ච “බරක්” මනුස්සයාට “බල්ලා” කියද්දි ඇතිවුනේ කොහොමද ? ඒක කොහෙන් ආපු බරක්ද ?

බල්ලාට “බල්ලා” කියනකොට ඒ වචනයෙ අපිට කෙලින්ම නොදැනුනත් බල්ලාගේ ගතිගුණ මෙය යැයි සමාජ සම්මතයන් පොදියක් ගැබ් වෙලා තියනව. ඒ ගතිගුණ බල්ලාට ආවේණික නිසා අපිට ඒ පිළිබඳව විශේෂ හැඟීමක් නෑ. ඒක හරියට පොල් ගහක පොල් හැදීම අරුමයක් නොවෙනව වගේ.

ඒත් කිසියම් වෙලාවක මනුස්සයෙකුට “බල්ලා” කිව්ව ගමන් අන්න අර වචනය පිටිපස්සෙ හැගිලා තිබුන බල්ලාට උරුම වෙච්ච “බලු ගතිගුණ” සේරම ටික එලියට එනව. ඊට පස්සෙ ඒ දේවල් සේරම ටික අර මනුස්සයාට ආරෝපණය කරල තමයි නවතින්නෙ.

මේ ආරෝපණය සිද්ධවෙන්න කලින් අපි බල්ලා පහත් සතෙක් හැටියට මැනගන්නව. හැබැයි ඒ මැනගැනීමෙන් පස්සෙ ඒ මානයන් “මනුස්සයා” එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. සංසන්දනය කරන්න බෑ. ඒ සමානත්වයක් නැති දේවල් එකිනෙකට සංසන්දනය කරන්න බැරි නිසා. බස් එකයි ලොරියයි යම් යම් පැතිවලින් සංසන්දනය කරන්න පුළුවන්, ගඟයි මූදයි සංසන්දනය කරන්න පුළුවන්. ඒත් “බල්ලයි” “මනුස්සයයි” සංසන්දනය කරන්න බෑ. නමුත් ආරෝපණයක් කරන්න පුළුවන්.

එතනදි වෙන්නෙ බල්ලාගේ “බලු ගති” “මනුස්සයාට” ආරෝපනය කරල මනුස්සයාට ස්වභාවිකවම උරුම වෙලා තියන ගති ලක්ෂණ යටපත් කරල දැමීම. එතනදි මනුස්සයා ගැන පහත් හැඟීමක් ඇතිවෙනව.

ජීවිතයේ තියන භෞතික දේ ගැන සිතීම හරිම ලේසියි, ඒත් එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල භෞතිකව ස්පර්ෂකරල බලන්න බැරි දෙයක් ගැන කතාකරනකොට, හිතන කොට ඒ දේ තේරුම් යන්නෙ පුද්ගල බද්ධ කාරණාවක් හැටියට.

මම “සතුටින්” කිව්වම ඒ සතුටේ ප්‍රතිඵලයක් විදියට ඇතිවුන සිනාවක් දකින්න පුළුවන් උනාට කිසිම වෙලාවක “සතුට” දකින්න බෑ. මගේ සතුට මම තේරුම් ගන්නා විදියට නෙමෙයි තවකෙනෙක් තේරුම් ගන්නෙ. ඔහු එය දකින්නේ ඔහු සතුට නිර්වචනය කරන විදියට. සමහර විට ඔහු සිතන සතුට නොවෙන්න පුළුවන් මම ඒ මොහොතේ අත් විඳින්නෙ.

එතනින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ල අපි ගනිමු මිනිස්සුන්ගෙ නමක්

ධර්මදාස !!

ඔතන පැහැදිලිවම පේන තේරුම තමයි “ධර්මයේ දාසයා” කියන එක, දාසයා කියන්න එක ආයෙ අමුතුවෙන් මෙතන තේරුම් කරන්න උවමනාවක් නෑ. ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට ලිපිය දිග වෙන එක විතරයි. “දාසයා” කියන එක විවිධ භාෂා වලින් ලිව්වත්, කිව්වත් ඒකෙන් ඇඟවෙන්නෙ එකම දෙයක් !

නමුත් “ධර්ම” කියන කොටස ඊට හාත්පසින්ම වෙනස්, එක එක පුද්ගලයා “ධර්ම” දකින්නෙ තම තමන්ගෙ දැක්මට අනුව. එතනදි ඉස්ලාම් භක්තිකයාගෙ ධර්මය කිතුනුවාගේ ධර්මයට වඩා වෙනස් [යම් යම් පැතිවලින්, ඒ දෙකේම මූලාරම්භය පේගන් බවට තියන තර්ක පසෙක ලා සැලකීමේදී]. බෞද්ධයාගේත් එසේමයි. එතකොට “ධර්ම” කියන්නෙ එකිනෙකට වෙනස් අර්ථයක් ඇති දෙයක්.

“ධර්ම” කියන සිංහල අකුරු තුනෙන් ඇඟවෙන දේ, දැක්වෙන දේ නමක් විදියට භාවිතා වෙන්නෙ සිංහලයන් අතරේ විතරක් වෙන්න ඕනෙ. එතකොට සිංහලයන් බහුතරයක් බෞද්ධයන් වීම තුල [නමට හෝ !] සමාජ සම්මතයෙන් “ධර්ම” කියන නම සිංහල බෞද්ධ කියා හඳුන්වාගන්නා සමාජ කොටසට අයිතියි. “ධර්මදාස” කියන නම නාමික බෞද්ධයෙකුට යෙදුවා කියල කිසිම කෙනෙක් අමනාප වෙන්නෙ නෑ. මොකද කිසිම කෙනෙක් ඒ මනුස්සයාගෙ “බෞද්ධ” කම මනින්න යන්නෙ නැති නිසා.

ඒක නිසා තමයි “ධර්මෙ” චන්ඩියෙක් වීමත් “ධර්මදාස” ලෝක හොරෙක් වීමත් “සුධර්මා” ගණිකාවක් වීමත් ලොකු සමාජ කතිකාවතක් දක්වා දුර නොයන්නෙ. කොටින්ම කිව්වොත් අර කලින් කියාපු “බල්ලා” තරමට “ධර්ම” නමක් විදියට බර නෑ මනුස්සයන් හා ගලප්පන්න යෑමේදී.

ඒත් ඊලඟට ගන්න යන වචනෙ සෑහෙන්න බරක් ඇති එකක් !

සිද්ධාර්ථ !!

නමේ තේරුම “අර්ථයක් සිද්ධකරන්නා” යන්න උනත් බෞද්ධාගමිගකයන්ට ඒක ඊට වඩා බරක් ඇති වචනයක්. පරම්පරා ගනනාවක් තිස්සේ බරක් පැටවුන වචනයක්. ඒක නිසා දෙමව්පියන් “සිද්ධාර්ථ” කියන්නෙ නමක් විතරක් උනාට තමන්ගෙ ළමයට ඒ නම තියන්න හිතන්නෙ නැත්තෙ. කිසිවෙක් එහෙම කරන්න එපා කියල නීතියක් නොදැම්මට එහෙම කරන එක හොඳ නෑ කියන සමාජ ඇඟවීමක් තියනව.

අල්ලා !!! ජේසුස් !!!! ඒ දෙකක් එහෙම්මම වෙන්න ඕනෙ මට හිතෙන විදියට.

දැන් අන්තිම වචනය.

සිද්ධාර්ථ බුදු උනා !! බුද්ධා !!!

සිද්ධාර්ථ කියන වචනෙට වඩා බොහොම වෙනස් වචනයක් තමයි ඒක. බුද්ධ කියන්නේ මොනවගේ කෙනෙක්දැයි කියන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ යෙමෙක් බුද්ධ කියන්නේ මේන්න මේ වගේ තත්වයකයටය කියල ලියල තියන දෙයක් ඒ ආකාරයෙන්ම පිලි අරගෙන පුනරුච්චාරණය කරනව ඇරෙන්න. භෞතිකව හිතුවොත් විවිධාකාරයේ මීට පෙර දැකපු පිළිම, සිතුවම් පෙලක් මැවිලා නැතිවෙලා යනවා වගේ පෙනෙයි, නමුත් ඒවා අතරෙනුත් මේ තමයි බුද්ධ කියල පැහැදිලිව තෝරල බේරල ගන්න එකක් නැතිවෙයි.

බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් නොවී පුද්ගලයෙක් පත්වුනා යැයි කියන තත්වයක් නිසා ඊට ලඟාවූ කෙනෙකුට හැරෙන්න බුද්ධ කියන වචනය තේරුම් ගන්න බෑ, නමුත් අපි භාවිතා කරනව පැටවුණු බර වැඩි කමටම තේරුමක් නොදැන. ඒ වචනය වෙනුවෙන් පෙනී සිටිනව ඒ වචනයෙක් ඇඟවෙන්නේ කුමක්දැයි නොදැන, ඒ චරිතය ආශ්‍රය කරගෙන විවිධ නිර්මාණ කරනව මොකක්ද කියල නොදැන. කළුවර කාමරයක ඇති අඳුර අතින් අල්ලන්න හදනව වගේ.

ස්තූතිය : ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම් වෙත !

මං මැරිලා !!

අද වෙනකොට මං මැරිල දවස් තුනයි. ඒ කියන්නෙ මේක ලියල තියෙන්නෙ අදට දවස් තුනකට කලින්. ආයෙම කිව්වොත් මේක පිළුණු වෙච්ච ආරංචියක්. දවස් තුනකට කලින් මැරිච්ච එකෙක් ගැන ආයෙම කියවන්න මොකටද කියල හිතෙනවත් ඇති. ඒත් කැමති නැද්ද මං මැරුනේ කොහොමද කියල දැන ගන්න. මැරුනේ ඇයි කියල දැනගන්න ?

මේක කිසිම පිළිවෙලක් ඇති කතාවක් නෙමෙයි. කවදාවත්ම පිළිවෙලක් නොතිබුන මගේ ජීවිතේ ගැන කියන්න තියන කතාවත් කොයිම විදියටකටවත් පිළිවෙලක් ඇති එකක් වෙන්න බෑ නෙ. එහෙම උනේ මම අපිළිවෙලට ආසකරපු නිසා නෙමෙයි. පිළිවෙලට අකමැති වුන නිසා. පිළිවෙලට ඉන්න අකමැති වෙච්ච මට අපිළිවෙලට ඉන්න සිද්දවීමේ වැ‍රැද්ද මගෙද ?

මං දන්නෙ නෑ.. මට ඒ ගැන හිතල දැන් වැඩක් නෑ. ඒත් තවම පණපිටින් ඉන්න ඔහෙලට ඕනෙනම් පුළුවන් මගේ ජීවිතේ කපල කොටල, කැමති විදියට සංස්කරණය කරල කැමති කැමති විදියෙ රාමු වලට දාල ලොකෙ නැති තියරි වලට ආදේශකරල බලන්න ඇයි මං මළේ කියල. ඒත් මටනං ඒවයෙන් වැඩක් නෑ.

මට මැරෙන්න හිතුන ආසන්නම හේතුව උනේ මට ලෙඩක් තිබිච්ච එක !!

මම දන්නව මාත් එක්ක එක එක ගුබ්බෑයම්වල පැයට දෙකට ඇලවෙච්ච ගෑණු, පිරිමි [පිරිමි ? ඔව් මං ඒ ගැන පස්සෙ කියන්නම්] මේක කියෙව්වට පස්සෙ මට අම්ම මෝ නැතුව බනින්න පටන්ගන්නව කියල. ඒත් මට කරන්න දෙයක් නෑ. මම දැනගෙන හිටියෙ නෑ මට අසනීපයක් තියනව කියල. සමහර වෙලාවට මම දැනගෙන උන්නත් උඹලත් එක්ක නොඉන්න තරම් ඒක හේතුවක් නොවෙන්නත් තිබුන. මොකද මම කාටවත් ආදරය කලේ නෑ. මහලොකු සමාජ වගකීමක් තිබුනෙ නෑ. කොටින්ම මම කිසිම කෙනෙක් තඹේකට මායිම් කලේ නෑ.

හැදුනෙ කාගෙන්ද, කොහොමද කියන එක මම හරියටම දැනගෙන නො උන්නට යාම්තට වගේ හිතෙනව ඒක හැදුනෙ ධර්මසිරි ගෙන් කියල. ඒක හරි අප්‍රසන්න කාලයක්. යන එන මං නැතුව උන්න මට ඉහට වහලක් දුන්නෙ ධර්මසිරි අයිය. මට බෑ කියන්න බැරුව ගියා. ඊටත් මගෙ හිතෙත් ධර්මසිරි අයියගෙ මයිල් පිරිච්ච පපුවට මොකක්දෝ ආසාවක් තිබුන.

අන්තිම කාලෙ මං ගතකලේ කොළඹ උනාට මගෙ ගම මෙහෙන් හැතැප්ම සීයකට එකසීය පණහකට එහා මහා ශුෂ්ක පලාතක්. ගමෙන් මම එන්නෙ එහේ ඉන්න බැරිමකොට. ගමේ උන් මට මූණට නොකිව්වත් මං නැති තැන කිව්වෙ තනියා කියල. පොඩි පංතිවලදි නම් කොල්ලො මට කිව්වෙ තනි ඇටයා කියල.

තනි වෘෂණ කෝෂයක් එක්ක ජීවත් වෙනවට වඩා අතක් හරි පයක් එහෙමත් නැත්නම් ඇහැක් හරි නැතුව ජීවත් වෙන එක වාසනාවක් කියල මට ඒ කාලෙ හිතුනෙ ගමේ එක එකාගෙ වචන වලටත් වඩා ගාමන්ට් රස්සාවට බිබිලෙ ඉඳං ආපු චිත්‍රාංගනීගෙ වෙනස් වීම දරාගන්න අමාරුවෙච්ච දවසෙ…

මෙහෙම ඔක්කොම එකගොඩේ අච්චාරුව වගේ කිව්වම තේරෙන්නෙ නැතිවෙයි. ඒක හන්ද මම “තනියා” කතාවෙ ඉඳල  පිළිවෙලට කියන්නම්.

උප්පත්තියෙන්ම මම පුස්සෙක් නෙමෙයි, ඒත් පොඩි අමුත්තක් දැනිච්ච අම්ම කක්කානං බාප්පත් එක්ක මාව නෝනා වාට්‍ටුවට එක්කගෙන ඇවිල්ල තියෙන්නෙ වලගහකුඹුරෙ පෙරේරා මහත්තයගෙ කීමට. පරීක්ෂණ එහෙම කරල බලල ඇඟ ඇතුලෙ හිරවෙලා තිමිච්ච අනිත් එක එලියට ගන්න ඔපරේෂන් එක කරාපු දොස්තර ගෙ අත් වැ‍රැද්දකින් ඒකෙ නහරෙ කැපිල. ඒත් අම්මට කියල තියෙන්නෙ උප්පත්ති හැටියක් කියල තමයි. ඒත් පස්සෙන් පහු කංකානං බාප්ප තමයි මට විස්තරේ කිව්වෙ.

එදා ඉඳල මගෙ හිතේ කාටද කියන්න බැරි වෛරයක් පැසව පැසව තිබුන. සමහර වෙලාවට ඒ වෛරයම අනුකම්පාවක් වෙලා මගේ කන් දෙකේ ඉඳල කකුල් දෙක වෙනකං හීනි විදුලියක් වගේ ගලාහෙන ගියා.

ඔයිටත් සැහෙන්න කාලෙකට පස්සෙ තමයි ගාමන්ට් රස්සාවට චිත්‍රාංගනී අපේ ගමට ආවෙ. ඒකි මහ හැඩයක් ඇති එකියක් නෙමෙයි. ඒත් මගෙ හිත ගියා. සමහර විට ඒ මං ඒකිගෙ පෝලියෝ කකුලට අනුකම්පා කරපු නිසා වෙන්න ඇති. හැමදාකම වගේ වැඩ ඇරිල මං චිත්‍රාංගනීව  බන්ට් එකෙන් එගොඩ කරල ඒකි යන දිහාව බලං හිටියෙ අනේ ඒකිත් මං වගේම එකියක් නේද කියන හැඟීමෙන්.

ඒත් ඒකිට එහෙම හැඟීමක් මං ගැන තිබුනෙ නෑ කියල තේරුනේ මොකක්ද මංද ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ගිය දවසෙ. ටික වෙලාවකට පස්සෙ එකපාරටම ගැස්සිල වගේ අත අහකට ගත්ත චිත්‍රාංගනී ඉන්ටවල් එකෙන් පස්සෙ කරේ හීං සැරේ ලේන්සුව විකාගෙන ඉකිගහපු එක. ඒ ඒකි ගැන උපන් දුකට !!!!

ඔයිට සතියකට පස්සෙ මං ගම්පහ එන්නෙ කුකුල් කො‍ටුවක් බලාගන්න කෙනෙක් ඉල්ලල දාපු පත්තර දැන්වීමට. ඒ රස්සාවක් ඕනවටම නෙමෙයි. දන්න කාලෙම ඉඳල හිටිය පළාත, මිනිස්සු එපා වෙච්ච හන්ද. මං හිතුව එහෙම හරි අළුත් ජීවිතයක් පටන්ගන්න පුළුවන් වෙයි කියල. ඒත් මම එනකොට ඒ රස්සාවට වෙන මනුස්සයෙක් අරගෙන.

එදා රෑ ගම්පහ බස්ටෑන්ඩ් එකේදි තමයි ධර්මසිරි අයිය හම්බු උනේ. එයා තනිකඩය හන්ද මගේ විස්තර අහල මාවත් නවත්තගත්ත කඩේ පිටිපස්සෙ කෑල්ලෙ. පිටිපස්සෙ කැල්ල කිව්වට ඒක බාග පියස්සකින් වැහිච්ච අගුවක් වගේ වහින දවස් වලට පින්න ගහන. ධර්මසිරිගෙ අගුවෙ නිදාගත්තු මුල් කාලෙ හරිම වේදනාකාරී උනත් පහුවෙනකොට මං ඉබේටම වගේ ඒකට හුරු උනා. සමහර විට ඒක එහෙම උනේ කැමත්තකටත් වඩා යන එන මඟක් නොතිබිච්ච මට කරාපු උදව්වට ප්‍රතිඋපකාරයක් හැටියට වෙන්න ඇති.

පස්සෙ දවසක ධර්මසිරිගෙ අක්කගෙ කෙල්ලත් එක්ක ගල්කිස්සෙ ගිහිල්ල ආව වග කාගෙන් හරි ආරංචිවෙලා අගුවෙන් එලෝනකන්ම මම හිතුවෙ හැමදාටම එතන ඉන්න ඇහැක්වෙයි කියල. ඒ මට වෙන කොහේවත් ගිහිල්ල තනියම ජීවත් වෙන්න උවමනාවක් නොතිබුන නිසා.

මේ අහිමිවීම් ප්‍රතික්ෂේප වීම් දරාගන්න බැරිම තැන මං පිංවත්තෙන් කෝච්චියට පැන්නෙ ගේට්‍ටුකාරයා බෙරිහන්දෙද්දිමයි.

ඔව් මං දන්නව මේ කතාව තවමත් අසම්පූර්ණයි කියල. ජීවිතේම අසම්පූර්ණ වෙච්ච මට මේ කතාව විතරක් සම්පූර්ණ කරන්න කිසිම ඕනෑකමක් නෑ.

උඹ තමයි දවසකටවත් අයිය බං

ලොකු අයියෙ මොකක්ද බං ඒ කොරාපු නොහොඹිනා වැඩේ උඹ ?

මොන වැඩෙද බණ්ඩො ?

මොන වැඩේද අහන්නෙ, ඇයි ඔය ඩිංගට අමතකද ?

අමතක වෙච්ච කෙහෙල්මලක් නෙමෙයි බං, ඒ ජාතියෙ වැඩ නං කියල කීයක්ද… උඹ ඔය අහන්නෙ අහවල් දෙයක් ගැනද කියල නිච්චි නෑ.

අර මං හන්දියෙ ටියුසොං පංතියක් දාන්න හදාපු වැඩේට පොල්ල දාපු එක !!

හො හෝ.. එහෙම කියන්න එපැයි.. ඒකට එහෙම මං පොල්ල දැම්මෙ නැත්නං ආයෙ මගේ ලොකු අයිය කමටත් ලැජ්ජයිනෙ බං. ඊටත් මං තා ඩිංගිත්ත්තක් සුනංගු උනා නං උඹ සුං.

මං සුං.. හුහ්.. ඒව හඳේ..

කට තිබුන පලියට කැගහන්න එපා බං. උඹ දන්නවනෙ ඔය කට හන්ද බොට වෙච්ච වින්නැහි.

හරි. ඒ කතාව පැත්තක තියමුකො, දැං කියමු බලන්න මොකෝ මං ටියුසන් පංතිය දැම්මම උඹට වෙන නරක ?

පංතියෙන් මට ඇතිවෙන නරකක් නෑ බං හොඳක් මිසක.

එහෙනං අහවල් එකකටද පොල්ල දැම්මෙ ?

පොල්ල දාන්න උනේ උඹ හත්පොලේ ගාගෙන වැඩිපුර හරිය මගේ ඇ‍ඟෙත් ගාන්න එනකොටනෙව ගොනෝ.

මාර බඩුවක්නෙ ලොක්කයියත්. ඇයි ඔහේම නෙ මට කිව්වෙ ලණු ඇදල අත්තිවාරං වලවල් එහෙම කපල මුල්ගල තියන්න සූජානං වෙන්නෙය කියල. එහෙව් උඹ දැං කියනව මං හත්පොලේ ගාගත්තය කියල. මොන අපභ්‍රංස කතාද මේව ඈ..

හෙහ් හෙහ්… මං දැනං උන්න උඹ ඔයි පුරස්නෙ අහන වග. හෙහ් හෙහ්…

ඇයි බං බණ්ඩෝ බොට තේරෙන්නෙ නැත්ද උඹල අනාගන්න තරමටය මට කාගන්න ඇහැක්වෙන්නෙ කියල. ඈ….

මොකක් ?

ඇයි බං උඹල කොරන හැම උලව්වක්ම කෙළවෙන්න යනකොට මම නෙව මැද්දෑවට පැනල යන්තං ගොඩ දාල දෙන්නෙ.

ඉතිං ?

ඉතිං කියන්නෙ.. මං මොන දහ දුරා වැඩේ කොලත් ඒකනෙව ගමේ උන් මට පරස් වචනයක් දොඩන්නෙ නැත්තෙ. උං හිතන්නෙ මං නැත්නං බොලා මේ ගම වනසලාය. මං ඉන්න එක හොඳට යනවය කියල.

අම්මප, මට ඒ හැන හාං කවීසියක් කම්පනාවට නාව හැටි. හෙහ් හෙහ්.. උඹ මට කොන්තරාත්තුව දීල කෙළවගන්න හැටි පැත්තකට වෙලා අපූරුවට බලාගෙන උන්න. හෙහ් හෙහ්, අදහන්න නෙ වටින්නෙ බං උඹ.

ඒක නෙමෙයි බං අයියෙ. හැබෑවටම උඹ මේ ටියුසන් පන්තියට අකමැත්තක් නැද්ද ?

නෑ බං නෑ.. මං එක පාරක් කිව්වෙ?

ඉතිං බං උඹ කොලාපු වැඩෙන් ආයෙ මං කොහොමෙයි රෙද්දක් අඳං අත්තිවාරං කපන්න යන්නෙ ?

හිටිංකො මං කියනකං අලිය නොවී.

උඹ ඉස්සෙල්ලම ආණ්ඩුවෙ ඉස්කෝලෙ වැඩ ටික අවුල් කොරහං. පටං ගනිංකො පින්සිබොල්ගෙන්ම. ඊට පස්සෙ එකා එකා ගුරුවරු මාරුකොරහං. විභාගෙ කාලෙට පස්නපත්තර කඩදහිටික උස්සහං. එහෙම නැත්නං සමාජජ්ජනේ එක අස්සෙ විජ්ජාව එක ගහපන්. ඕන නං උත්තර කොලෙත් ඔයිං එකක් අස්සෙ යවහං.

එහෙම කොරල ?

ඇයි බං එතකොට ළමයින්ටම එපාවෙනවනෙ මේ ඉස්කෝලෙ කෙරුවාව. උං ගෙවල් ඔල ගිහිල්ල කිව්වම ගෙවල් වල උන්ටත් එපා වෙලා ඊලඟ අවුරුද්දෙ ආණ්ඩුවෙ ඉස්කෝලට දාන්න හිතාගෙන උන්න ලමය ඔයි ටියුසොං පංතියකට යවනවනෙ.

ඒටික විතරක් කොරාම ඇතෙයි අය්යෙ ?

ඇතිවෙයි මයෙහිතේ. එහෙම මදිනං ඔය උත්තර පත්තර ඔල ලකුණු කොම්පියුටරේට දාන ඇඩ්ඩිංගෙ කොල්ලට කීයක් හරි අතමිට මොලවල කියහං එහෙං මෙහෙං පොඩ්ඩ පොඩ්ඩ වරද්දන්නෙයි කියල.

ඒ කොරල උඹ මුකුත් නොදන්න ගානට මීක් නොකියා ටික කාලයක් ඉඳල බලහං අයෙම ටියුසොං පංතිය අපූරුවට පටං ගන්න ඇහැක්වෙන හැටි. එදාට එකෙක්වත් උඹට පොලු දාන්න එන එකක් නෑ ?

අයියෙ උඹත්?

මං අහවල් එකකටෙයි බ පොළු දාන්නෙ උඹල හත්පොලේ ගානොගා වැඩේ හීං නූලෙන් ගෙනියනකොට හෙහ් හෙහ්.

අග මුල නැති වැල්

වෙනද වගේම සිරිසෝම බයිසිකලේ ගෙයි පිටිපස්සෙ ලෑලි මඩුවෙන් ගත්තෙ සුපුරුදු සැඳෑ රවුම යන්න කියල. බයිසිකල් හැඬල් එක මඩුවෙ ලෑලි බිත්තියෙ වැදිල වේ දළු පදාසයක්ම සරස් ගාල වැ‍ටුන.

‍වෙන දවසක නම් බයිසිකල් රෝදෙන් ඇනල තව වේ දළු ටිකක් කඩල දානව උනාට එදා හිතුනෙ නැත්තෙ මොකද මංද. සමහර වෙලාවට දෙදොහකට කලින් හැදිච්ච උණේ කෙඩෙත්තු ගතියට වෙන්න ඇති.

ඒත් එක්කම මතකයට ආපු සමන්ති සිරිසෝමගෙ කකුල් පණ නැති කරල අකුලල තිබිච්ච බූරුඇඳේ ඇන්ද උඩින් වාඩිකෙරෙව්වෙ දිරච්ච බයිසිකලෙත් ඉස්සරහ පුවක් කණුවට හේත්තුකරගෙනමයි.

‍තෝ මාව නැතිකරා වේසිගෙ පුතා, බලා ගනින් මම තොට කරන දේ…… !!

කලින් දවසෙ හැන්දෑවෙ  ගෙයින් එලියට බහැපු සමන්ති වියරුවෙන් වගේ කෑගහපු හැටි තවමත් සිරිසෝමට ඇහෙනව වගේ.

ගොරකා ලොඬි වගේ වගේ රතුපාට වෙලා ගින්දර පිටවෙන ඇස් දෙක තවමත් ඇස්දෙක පියාගත්තම ආයාසයකින් තොරවම මවාගන්න පුළුවන්.

කොහොමට හිටපු ගෑණියෙක්ද……..

අවුරුදු අටකට කලින් ඉස්කෝලෙ යන අහිංසක කෙල්ල…….. විනාඩි පහක් පරක්කු උනොත් ඇ‍ඟේ දැවටි දැවටි නෝක්කාඩු කියපු එකී……

ඒ අතීතය මතක්වෙලා සිරිසෝමගෙ පපුව හෝස් ගාල ගියා.

මේවට මාත් වැරදියි…. ආදරේ හන්දම සමන්තිට විතරක් වැ‍රැද්ද පටවන්න අකමැතිවෙච්චි සිරිසෝමගෙ හිත කිව්ව.

මොකෝ උඹ !! අද යන්නෙ නැතෙයි අර පරට්ටි බලන්න.. පල පල…. මං තොට හොඳ වැඩක් කරල තියෙන්නෙ…….

වියරුවෙන් වගේ බලාගෙන ඉන්න සමන්ති දිහා යාන්තමට උළුව උස්සල බලාපු සිරිසෝම බයිසිකල් ක‍ටුවත් තල්ලු කරන් ගොළුබෙල්ලො කාල හේබාල ගිය බණ්ඩක්ක පාත්තිය අද්දරින් ගුරුපාරට ගොඩ උනේ රූපක්කලයි ගෙදර යන්න.

ඉඳා.. මේකත් අරං පිළිකන්නට පලයං මල්ලී…

අසෝක වීදුරුවයි ගිණි දැවිල්ලට බැදපු කාරල්ලො කුරියයි අරං කුන්දිරා ගහ යට ඇනතියාගත්තු සිරිසෝම හිස් බැල්මකින් හැල් වෙල්යාය දිහා ඔහේ බලාගෙන හිටියෙ කිසිම දෙයක් ගැන කල්පනාකරන්න උවමනාවක් නැති හන්ද.

සිරී මල්ලි… දැං උඹ මේකට මොකෑ කරන්න හදන්නෙ ?

කණා‍ටු හීං කොච්චි පඳුරු දෙකට  ඩිංගකට එහායින් ඇණතියාගෙන දණිස් දෙක උඩින් අත්දෙක දිගෑරගෙන රූපක්ක අහන්නෙ හැමදාම අහන පුරුද්දට මිසක් උත්තරයක් බලාගෙන නෙමෙයි.

මං දන්නෙ නෑ රූපක්කෙ… දඹදෙණියෙ රාළහාමි කියාපු වැඩේ කරන්නත් හිතෙනව.

වෙනදටත් අහන ප්‍රශ්ණෙට හිනාවෙලා අහක බලාගන්න සිරිසෝම අද එක එල්ලෙ දුන්න උත්තරේට රූප පුදුම උනා.

ඒත් රූපට ඒකට අලගු තියන්න වෙලාවක් නොතියාම අසෝක වීදුරුවෙ අඩිය බලාපු සිරිසෝම කාරල්ලගෙ වලිගෙත් කාගෙනම නැගිට්ටෙ තවමත් පුදුමෙන් වගේ මූණ හදාගෙන ඉන්න රූපක්කට හිස් වීදුරුව දික් කරගෙනමයි.

ඊට පස්සෙ කැහැපොට කඩාදාල කක්කුසිය අයිනෙ නවත්තල තිබිච්ච බයිසිකලෙත් තල්ලුකරගෙනම කොස්ගහ පල්ලමෙන් පාරට ආවෙ දඹදෙණියෙ රාළහාමිලගෙ ගෙදරට යන්න.

සිරිසෝම…. කොහෙද මනුස්සයො අර ලෙඩ ගෑණිවත් ගෙදර දමල ඇවිදින්නෙ ?

රබර් මණ්ඩියෙන් පාරට පැනපු රාළහාමි ඇහුවෙ අතේ තිබිච්ච වක් පිහියෙන් නැමිල බත්කෙණ්ඩ කසන ගමන්.

නෑ ….. මේ…..රාලහාමිලයි අහ යන ගමන්.

බයිසිකලෙන් බාගෙට බහිනගමන් සිරිසෝම කිව්වෙ මුක්කං හඬින්.

හ්ම්.. එහෙනං යමු… රාලහාමි ඉස්සර උනේ සරමෙ පිටිපස්සෙන් අල්ලල දබර ඇඟිල්ලෙ පටලවල කරකවල උස්සගෙන.

උඹ ගෙට පලයං, මං අත පය හෝදගෙන එන්නං.

එහෙම කියාපු රාළහාමි මිදුලෙ වැටිච්ච වවුල් අඹයක් අහුලල ඈතට වීසිකරගෙනම ඉස්ටෝරු කාමර පේලිය අස්සෙන් ලිඳ පැත්තට ගියා.

රාලහාමි නොපෙනී යනකල් බලාගෙන හිටපු සිරිසෝම සැපතිල්ල ගහ යටින් බයිසිකලෙත් නවත්තල හෙමිහිට කකුල් අද්දව අද්දව ඇවිත් රතු සිමෙන්ති කැඩිච්ච ඉස්තෝප්පු පඩියෙ වාඩි උනා.

ඇස් ඉස්සරහට හරියටම පේන රාළහාමිලයි රබර් කෑල්ල සිරිසෝම ආයෙම අතීතයට එක්කගියා.

මට නම් බයයි සිරී… අපේ අම්ම හෙම ආවොත් ?

අම්ම කොහේ එන්නද කෙල්ලෙ, අනික මොන රටේද හැන්දෑවට කිරි කපන්නෙ ?

කිරි කපන්න විතරයැ මෝඩයො අම්ම මේ කන්ද නඟින්නෙ…. රබර් අතු අහුලන්නයි ගො‍ටුකොළ කඩනයි කීවංගියක් නං එනවද…

කමක් නෑ ආපුවාවෙ ….

ආ.. එතකොට ?

එතකොටද.. එතකොටද ….. එතකොට මං දූ පොඩ්ඩව ඉල්ලගන්නව.

හිහ් හිහ්.. ආ මේං කියල දෙයි කියල තමයි බය….

නොදී මොකෝ ?

හීනෙන් තමයි.. අන්න ඊයෙ හවහ රාළහාමි අම්මත් එක්ක කියනව ඇහුන මට වත්තෙ ගනන් තියන්න උගන්නන්න ඕනෙයි කියල.

ඉතිං ?

කිතුල් ?

විහිළු නෙමෙයි. ඔයා කැමතියිද ?

ඇයි ඔයා අකමැතියිද ?

අනේ මංද…

සිරිසෝම බය උනේ සමන්තිගෙ අම්මටත් වඩා රාළහාමි අකමැතිවෙයි කියල. උගන්නන්නත් වියදං කරල තව වත්තෙ ගනං තියන්නත් ඉගැන්නුවොත් රාළහාමි කීයටවත් සමන්ති තමන්ට දෙන්න කැමතිවෙන්නෙ නෑ කියල සිරිසෝම තදින්ම විස්වාස කලා.

උඹට ඕව දැන් නෙමෙයි කල්පනා කරන්න තිබුනෙ.. ඒකිව වහං කරන් යන්න කලින්.

පිටිපස්සෙන් ඇවිල්ල හිටගත්තු රාළහාමි හැම තිස්සෙම කියන වචන පේලිය කියාගෙන ගියා. නිතර දකින කුකුලගෙ කරමලේ සුදුයි කිව්වට මේ වචන පේලිය ඇහෙන වාරයක් වාරයක් පාසා සිරිසෝමගෙ හිත අළුතින් පෑරිලා ඕජස් ගලනව.

රාලහාමි කියනව වගේ දුරදිග කල්පනා කලානම් මේව මෙහෙම සිද්ධවෙන එකක් නෑ කියල සිරිසෝමට එක වෙලාවකට හිතුනත් ගහේ ක‍ටු උල්කරන්න ඕනෙ නෑ කියල ගමේ මිනිස්සු කියපු කතා හැබෑවෙන්න නොදීපු එක ගැන සිරිසෝම සන්තෝස උනා.

ඒත් ඒ සන්තෝසයෙන් කාටවත් වැඩක් උනේ නෑ නේද කියල කල්පනා වෙනකොට සිරිසෝමගෙ ඔළුව පුපුරන්න වගේ වේදනාවක් එනව.

මං දන්නෙ නෑ රාළහාමි. ඒවෙල කරන්න තිබුන එකම දේ තමයි මං ඒ කලේ..

හ්ම්.. ඔය පරණ දේවල් කූරුගාල ගඳගස්සන්නෙ අහවල් දෙයකටෙයි.. දැං කරන්න තියන දෙයක් ගැන බලමු.

රාළහාමි මාතෘකාව වෙනස් කලේ තමනුත් මේවයෙ කෙළවරක ඉන්න හන්දටත් වඩා ඒ කතාව සිරිසෝමගෙන් අහගන්න උනොත් ඉහිලුම් නොදෙයි කියල හිතිච්ච් හන්ද.

දැං උඹ කැමතිද මං කොරාපු යෝජනාවට ?

කැමැත්තක් නැතත් අකමැතිවෙලා තනි මං මක් කොරන්නෙයි රාලහාමි…..

හ්ම් එහෙමනං මං හීංකිතර උන්නැගේට හෙට උදේ ‍රැයින්ම ඒ අහ එන්නෙයි කියන්නං. උඹල විස්සෝප ගන්න කාරි නෑ බං. මෙව්ව මෙහෙම නොකෙරුනොත් පස්සෙන් පහු බොලාටමයි කරදර.

ඉඳා. මෙන්න මෙකත් අරං ගොහිං මක්කාවත් තම්බගෙන කාපල්ල.

රාළහාමි ඉනපටියෙ පොකැට් එක ‍ටුකුස් ගාල ඇරල අත මිට මොලවපු රුපියල් පන්සීයත් අරං බයිසිකලේ නවත්තල තිබිච්ච සැපතිල්ල ගහ ගාවට ආවටත් වඩා හෙමින් කකුල් අද්දව අද්දව ගිය සිරිසෝම මෙච්චර වෙලා නහය අග්ගිස්සෙ එකල මෙකල වෙවී තිබ්ච්ච හො‍ටු දල්ල දෙකට නැවිල සරමෙ කෙළවරෙන් පිහිදාල බයිසිකලෙත් තල්ලුකරං බොරළු පාර කෙළවරේ අඳුරට මුහුවෙලා ගියා.

සමාජවාදී වාමාංශික දාඩිය ගඳ නෑ පුසුඹයි ඕයි

චික් විතරක්…

ඇයි මොකෝ බං ?

හප්පෝ බං බලහංකො මූගෙ හඩු ගඳ….

එහෙම කියන්න එපා බං, ඔය එන්නෙ දුප්පත් මිනිහගෙ ජීවන සුවඳ

ආච්චිගෙ රෙද්ද.. ඇයි ඕකුන්ට හැන්දෑවට පොල් මුඩ්ඩයි සබං කෑල්ලයි අතට අහුවෙනෙ නැද්ද අතුල්ලක නා ගන්න ?

උඹ නං කියයි, උන්ට ජීවත්වෙන්න කරන්න තියන අරගලයත් එක්ක බැලුවම, නාන එක බොහොම අවශේෂ කාරණාවක් මචං.

අනේ පලයං බං යන්න. උඹෙ වාමාංශික තර්ක හැම රෙද්දටම ඔබන්න හදන්න එපා. එහෙනං හේනෙ කුඹුරෙ නැහිච්ච උඹලයි තාත්තගෙයි අපේ තාත්තයි ඇඳුං වලින් උදේ පාන්දර සැවැන්දරා පුසුඹ ආවෙ කොහොමෙයි ?

ඒ මචං ඉස්සර මිනිස්සු හම්බ කලාට තම තමන්ගෙ වැඩ කටයුතු කරගන්න පොඩි හරි වෙලාවක් තිබුන. දැං එහෙමද, උදේ ඉඳං නැහෙනව මිනිස්සු.

මගෙං මුකුත් අහගන්න එපා උඹ. මුන්ට රස්සාව අහවර වෙලා බෝතලේට සෙට් වෙන්න වෙලාව තියනව, ඒත් නාන්න වෙලාවක් නෑ.. කාලකණ්නි කම මිසක් වෙන මොකක්ද.

වැඩකරන ජනතාවට කාලකණ්නිය කියල කියන්න එපා බං. උන්ට අධ්‍යාපනයක් නෑ, විකුනන්න දෙයක් නෑ. ඉතිං උන් විකුනන්නෙ උන්ගෙ දාඩිය.. දාඩිය කොහොමත් ගඳයි බං.

හොඳට බලහං මුගෙ ශර්ට් එකේ කිහිල්ල දිහා, බලපං කී දොහක දාඩිය තට්‍ටු වේලිච්ච පාරවල් තියනවද කියල. උඹ දැනුත් කියනවද අද වැඩ කරද්දි දාපු දාඩිය කියල ?

ඔව් මිනිහො, ඔය ඒ මනුස්සය දවස් ගානක් වැඩකරද්දි දාපු දාඩිය තමයි…

උඹල මහ පුදුම සත්තුජාතියක් බං. ඇස් පනාපිට පේන්න තියන ඇත්ත පිළිගන්න බැරි තරං බොලා අන්ධයි.

අපිව අන්ධ කෙරෙව්වෙ උඹලගෙ පන්තියෙ එවුන් තමයි මචං.

මගේ පන්තිය.. මොකක්ද ඒ.. කියහං බලන්න.

ධනපති පන්තිය යකෝ…. !

බූරු කතා කියන්න එපා බං. බොලයි තාත්තයි අපේ තාත්තයි අයියයි මල්ලියි.. ‍තෝයි මායි ගියේ එකම ඉස්කෝලෙට.. ඒත් තොට එක විභාගයක් පාස් කරගන්න බැරි උනා.

ඉතිං ?

ඉතිං උඹ ඔය කියන නිර්ධන පන්තියෙ නැවතුනේ ආසාවටද එහෙමත් නැත්නං එක විභාගයක්වත් පාස් වෙන්න බැරිවෙච්ච හන්ද ද?

පලයං මිනිහො යන්න…

හිටපං මං කියල ඉවර නෑ, උඹට මතකද මං කැම්පස් තේරිච්ච දවසෙ එච්චර කාලයක් ගෙදරට වහං කරන් තිබිච්ච මලිතිගෙයි මගෙයි සම්භන්දෙ අපේ තාත්ත්තට කියල මට ගුටි ඇන්නුව.

ඔව්..ඉතිං.. උඹ හිතුවද අඩු කුලේ එකියක් අපේ පරම්පරාවට එකතු වෙනවට ලොකුතාත්ත මනාප වෙයි කියල. ‍තෝ විභාග පාස් උනා නෙමෙයි මහ රජ්ජුරුවො උනත් පරම්පරාව නහන්න දෙන්න බෑ.

ආ.. එහෙනං මට මේකට උත්තර දීපං… එදා උඹට මලිතිගෙ තාත්ත පෙරහැරේ නටනකොට දාපු දාඩිය පුසුඹ හැහුවෙ නැද්ද?

පලයං යන්න ප්‍රතිගාමියා !!

මට ප්‍රශ්ණ ගොඩයි [උත්තර දන්නෙ නැත්නම් ප්‍රශ්ණ අහපු එකා මරන්න ඔට්‍ටු නෑ හරිය]

පහුගිය පෝය දවසෙ අහම්බෙන් වගේ බෞද්ධයා නාලිකාවෙ ප්‍රචාරය උන බණක් අහන්න ලැබුන. ඒකත් චූටිමැණිකෙයි මායි පොඩ්ඩයි අම්මලගෙ ගෙදර ගිය නිසා. දේශනාව කලේ බුද්ධංගල ආනන්ද ස්වාමීන්වහන්සේ. පැවිදි නමින් ගොඩක් දෙනා නොදන්නවට ගිහි නම වෙච්ච උතුරුමැද අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ගොඩක් අය දන්නව ඇති. පහු කාලෙක පුනුරුත්තාපන කොමසාරිස් වෙලත් උන්න.

හෝව් !!

මම බණ කියන්න යනව වත්, යමෙක් වර්ණනා කරන්නවත් යනව නෙමෙයි. කියවන අය නොදන්න දෙයක් දැනගන්න කැමති වෙයි කියල හිතුන නිසයි ඒ විස්තරය කෙරුවෙ.

මම කියන්න ආවෙ මෙන්න මේක,

ඔය බණ අතරතුරේ මෙන්න මේ වගේ අදහසක් කියවුනා.

//ගව ඝාතනය වැලැක්විය යුතුය. අප ඒ සඳහා ආණ්ඩුවට බල කල යුතුය. ආණ්ඩුව ලංකාව තුල ගවඝාතනය නීතියෙන් තහනම් කල යුතුය.! එවිට ඇතමෙක් අසනා “ඇයි ගවයා විතරක්, කුකුළා ?” යන ප්‍රශ්ණ කිසිවෙක් නඟන්නේ නම් ඒ මේ සද්කාර්යයට අකුල් හෙලීම උදෙසා මය.//

ඔය මතය ඒකියන්නෙ සත්ව ඝාතනය, මත් පැන් පානය, හා වෙනත් සදාචාර විරෝධී කටයුතු, අන්‍යාගමීකරනය වගේ දේවල් වැලැක්වීම සඳහා රජය නීති පනවා ඒවා බලාත්මක කලයුතුය යන්න මෑතක බොහෝමයක් ජනප්‍රිය වේගවත් ගමන්ධාරී ස්වාමීන්වහන්සේලා ජනප්‍රිය මාධය හරහා පැවසූ අදහසක්. බැලූ බැල්මට ඒක හොඳ වැඩක් කියල නෙපෙනෙනව නෙමෙයි. මතුපිටින් බැලුවම අගෙයි කියල සාධු ! කියන අය බොහෝමයි. ඒත් ඇත්තටම ඒක එහෙමද ? අගෙයි ද ?

බෞද්ධ හිමිවරුන්ගේ කාර්ය භාරය තමන්ගේ අනුගාමිකයන් යහමඟට ගැනීම, යහම‍ඟෙහි පවත්වාගැනීම කියලයි මම හිතන්නෙ.[ඔය යහ මඟ කියන එක බොහොම ගැටළු සහගත මඟක්, මට ඒගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා ඒ ගැන ලියන්න යන්නෙ නෑ. ඒත් යහමඟ එකිනෙකාට සාපේක්ෂයි කියල නම් මට හිතෙනව] ඕනෙනම් ඔය අදහසම මීට වඩා බරපතල, ඇතැම්විට තේරුමවත් හරියට නොදන්න වචන දාල ආලවට්ටම් කරල කියන්නත් පුළුවන්. එහෙම උනොත් මේකත් තවත් එක බණක් වෙයි කියන මනුස්සයටත් අහන මනුස්සයටත් දෙන්නටම නොතේරෙන.

[හරියට පාලි ගාථා වගේ, ශබ්ධ රසය මිසක් වෙන මෙලෝ දානයක් මටනම් තේරෙන්නෙ නෑ. ඉතිං නොතේරෙන දෙයකින් තවත් ප්‍රත්‍යක්ෂ නොව්ච්ච දෙයක් ‍තෝරගන්න පුළුවන් කියල තියන විශ්වාසය මහ ‍රැවටිල්ලක් නෙමෙයිද?]

ඉතින් මිනිසුන්ගෙ අභන්තරය වෙනස් කරන්න, සිතුම් පැතුම්, විස්වාසයන් වෙනස් කිරීම තුලින් මිනිසුන් “යහමඟට” ගන්න දරන උත්සාහයන් බොහෝමයක් අසාර්ථකයි කියල නොකියා කීමක් නෙමෙයිද තමන් විසින් කලයුතු දේ ආණ්ඩුවක් විසින් කළයුතුය කියල අතහෝදාගැනීම තුල තියෙන්නෙ ?

එතනදි ඇයි දේශකයන් වහන්සේලාට නොහිතෙන්නෙ ශාස්තෲන් වහන්සේ උගන්වා ඇතිපරිදි මේ මේ ක්‍රියා කලොත් අත්වන්නේ මේ ප්‍රතිඵලයයි. එහෙයින් අවබෝධයෙන් රිස්සක් කරව ! කියල දේශනා කරන්න. ඇයි බලහත්කාරයෙන්, ආණ්ඩුබලයෙන්, බාහුබලයෙන් මිනිස්සුන් නිවන්දක්කන්න හදන්නෙ ? ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ? තමන්ගෙ ගොඩ වැඩිකරගෙන අයුතු සමාජ බලයක් ගොඩනඟා ගැනීමක් නෙමෙයි ද?

ධර්ම දේශණා කරන බොහෝමයක් ස්වාමීන්වහන්සේලා [බොහෝමයක් කිව්වේ සියල්ලන්ම එසේ යැයි නොදන්නා නිසා] කරන්නෙ කටපාඩම් කරගනිපු දෙයක් ගිරව් වගේ ඔහේ කියන එක. මොකද ඒ දේශනාව තමන්ට අවබෝධයි නම් ඒ කියන පරිදිම මාර්ගඵලවලට එළැඹිලා තියෙන්නෙ ඕනෙ. ඒත් ඒ අයම කියනව අපි තාමත් පෘතුග්ජනයි කියල. ඉතින් තමන් ප්‍රතක්ෂයෙන් නොදත් දෙයක් තවකෙනෙකුට කියල දෙන එක සධාරණයිද? තවත් අයකුට අවබෝධකරවන්න කලින් තමන් ඒ පිළිබඳව අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ භාවයක් ඇතිකරගැනීම වැදගත් නෙවෙයිද ? බණ කියන තරමට මිනිස්සුන්ට අවබෝධ නොවෙන්නෙ විවිධ අය විවිධාකාරයෙන් කරනා දේශනාවෙ කොතනක හෝ තියන අඩුපාඩුවක්, අමතකවීමක් නිසා වෙන්න ඉඩක් නැතුවද?

ප.ලි : මට මෙහෙම හිතෙන්න මගෙ මොකක්හරි අවුලක් නිසාද? එහෙමත් නැත්නම් තවත් අයට මෙහෙම හිතෙනවද ? ඒ හිතෙන අය ඒ ගැන ඔහේ හිතෙන්න ඇරල නිකන් ඉන්නව මිසක් හිතන්නෙ නැද්ද? හිතුනත් කියන්නෙ නැද්ද ?

හපෝ..නිදහසද ? මටනම් එපා. මෙහෙම හොඳා !!!

මොන කරදරයක්ද ගෑණියෙ මේ…. අම්මප මට නිදහසේ ඉන්න දුන්නෙ නැත්නං යනව ඔළුව හැරිච්ච හැරිච්ච අතේ හරිය.. අයෙ නොකිව්වයි කියන්න එපා. නිවනන් ඇත්තෙම නෑ නෙව. උදේ ඉඳං නැහිල නැහිල ගෙදර එනව ඩිංගක් නිවීහැනහිල්ලෙ ඉන්නෙයි කියල. කොහෙද.. ආ වෙලේ ඉඳල මෙතන නහූතෙට වැඩ. රෙදි හෝදන්නයි, ටයිල් මදින්නයි, මකුළුදැල් කඩන්නයි කක්ක රෙදි හෝදන්නයි. වලං හෝදන්නයි ….

අම්මප වන්දියක් අරං අයින් වෙන්න ඇහැක්නං මං මෙලහකටත් ගිහිල්ල මේ කොම්පැණියෙන්..

හික්….. !!

හික් ? තව එනවද මට කොචෝක් කරන්නත් ඈ. මං හොඳ වැඩියි. හික්…. !! දෙන්න හිතෙනව හැටක් මූණට

ඔයාටමන ඒකෙත් පාඩුව..

මට ?

ඇයි අනේ මූණ නාළු වෙච්ච ගෑණියෙක් එක්ක ඔයාට පුළුවන්ද පාරක බැහැල යන්න.. හිහ් හිහ්……

ඕන වෙලාවක සිරික්කිය දැම්මම හරියයි. අම්මප මටනං බෑ ඕයි මේ වැඩේ කරන්න. මට මීට වඩා නිදහසක් ඕනෙ.

ඔයාට විකාර අනේ. මොකෝ නිදහසක් නැත්තෙ. දැං ඉතිං යුද්දෙත් නෑ නෙ.

අම්මප මට තමුසෙත් එක්ක එන කෙන්තියක් ….

හිහ් හිහ් හී… දැං ඉතිං ඔයාට මොකද කෙරෙන්න ඕනෙ කියන්නකො…

මට නිදහස් වෙන්න ඕනෙ. මං යනෝ නිදහස හොයාගෙන. හොයාගෙන මිසක් ආයෙ මේ ගෙදරට මං නෙමෙයි අඩියක් තියන්නෙ.

අනේ මට බෑ තනියම පොඩි එකත් එක්ක මේ ගෙදර ඉන්න. මාව අම්මලයි ගෙදර ඇරලවල ඕනෙ තැනක ගිහිං එන්න.

මෙච්චර කල් උන්න එකේ එදා දවසත් අමාරුවෙන් ඉවසගෙන ඉඳල පහුවෙනිද උදේම ගෙදර උන්දැයි ළමයි අපේ අම්මලයි ගෙදරට පටෝල මං ගියා නිදහස හොයාගෙන.

අර කොහෙද යන්නෙ ?

නිදහස හොයාගෙන යනවයි කියන්නෙ අම්මෙ…..

තාම හෙනහුරා.. ඇවිද්දෝනව.. ඕව වලක්කන බෑ දුවේ.

නැන්දම්මයි ලේළියි දොරකඩ ඉඳං කතාවෙනව මට යාන්තමට වගේ ඇහිල නෑහිලා ගියා.

***************************************************************

පාරට බැහැල අදට තුන්දොහයි. මුල් දවසෙනං මතකයි නුගේගොඩ. මහරගම, කොට්ටාව, හෝමගම ගොඩගම එහෙම පහුකරගෙන එනව.. ඒත් පස්සෙං පහු නිච්චි නැතුව ගියා කොහේ කොහේද කියල.

හතරවෙනි දොහේ මං නැවතුනේ කොහේ හරි පාළු බස් හෝල්ට් එකක. හැන්දැ වරුවටම එකම බස් එකක්වත් ගියේ නෑ මතක හැටියට. හද්ද පාළු පළාතක්ද කොහෙද, හොරි හැදිච්ච බල්ලෙක් විතරයි ඒ පාරෙ යනව දැක්කෙත්.

මට හරිම නිදහසක් දැනුන ඒ වෙලාවෙ. ඒත් එක්කම බඩගින්නකුත් ආව නොසෑහෙන්න. අතේ ඉතිරිවෙලා තිබුනෙ රුපියල් දෙකයි. ඒකෙන් අහවල් දෙයක් කන්නද. හෙට උදේම මොනව හරි කන්න හොයාගන්නව කියල හිතාගෙන බස් හෝල්ට් එකේ කොට තාප්පෙට පිටදීල ඇස් පියාගත්ත.

දරුවා….

බොහොම ගැඹුරු කටහඬක්…

ක.. කවුද ??

දරුවා, කලබල නොවන්න. මම තමයි තොප මෙතුවක් කල් සෙවූ නිදහස.

ඇති යාන්තං. කොහෙද මෙච්චර කල් උන්නෙ ඔහේ ?

එක තැනක කියල නෑ. මං ඔය කොයි තැනත් ඉන්නව. ඒත් පේන්නෙ එහෙමත් කෙනෙකුට තමයි.

ඇයි ඔහේ ඇඳං ඉන්නෙ සීතාම්බරපටේ ද?

කවට බස් දොඩන්න එපා දරුව.

එහෙමයි. ඉතිං කෝ ඔහේ.. මොකෝ මට නොපෙනෙන්නෙ ?

එහෙම එකපාරටම පෙන්නන්න බෑ. තමුං මාව දකින්න සුදුසුද කියල තීරණය කරන්න ප්‍රශ්ණ තුනක් අහන්න තියනව.

හා.. අහනවකො බලන්න එහෙනං

හොඳයි. සාවධානව අහගන්න පලවෙනි එක.

තමුං මෙච්චර කල් කරගෙන ආව බඩරස්සාව අතාරින්න කැමතියිද ?

ඒ අහවල් දෙයකටද මං රස්සාව අතාරින්නෙ?

හ්ම්…. මං මෙහෙම අහන්නංකො. ඔහේ සතියට කීදොහක් රස්සාවට යන්න ඕනද

හයයි ඇයි ?

ඔහේට ඒ හැමදාම යන්න හිතෙනවද?

නොහිතෙන දවසුත් තියනව.

එතකොට නොයා ඉන්නවද ?

පිස්සුද, එතකොට නෝ පේ නෙ.

ඒ කියන්නෙ ඔහේ අකමැති උනත් යන්න වෙනව. ඊලඟට ඔහේ සතියකට කීදවසක් ලොක්කගෙන් බැණුම් අහනවද ?

ඉඳල හිටල ඉතිං බැනුමක් අහනව.

ඒ මොකෝ ?

රාජකාරි වැ‍රැද්දුවම තමයි ඉතිං.

ඒ කියන්නෙ ඔහේට ඕන ඕන දේවල් එතන කරන්න බැ ?

මුන්නැගේට පයිත්තියංද, අනුංගෙ කොම්පැණියක මට ඕන එන දේවල් කරන්න්න ඇහැක.

හා ඒ කියන්නෙ ඔහේ රස්සාව කරන තැන ඔහෙට රිස්සක් කරන්න බෑ. ඒ කියන්නෙ ඔහේගෙ කැමැත්තටම නෙමෙයි හැම දෙයක්ම. මං හරිය ?

හරි නෙවෙන්නං.

ඒ කියන්නෙ ඔහේගෙ රස්සාවෙ ඔහේට කැමති දෙයක් කරන්න නිදහසක් නෑ. ඉතිං නිදහස ඕන නං ඔය රස්සාව අතාරින්න වෙනව.

මුන්නැගේ මේ මඟුලක් කතාකරනව. මං මේ ටික දොහෙත් ඇනුවල් දාල ඉන්නෙ. රසාවට නොගිහිල්ල කොහොමෙයි, මාස පඩි කාරය වෙච්චි මං කන්නෙ බොන්නෙ කොහොමෙයි. ඒක හරියනෙන්නෙ නෑ.. වෙන විදියක් බලමු.

හ්ම්ම්.. හෙනං දෙවනි ප්‍රශ්ණෙ අහල බලමු.

ඔහේ කැමතිය ගෑණියි ළමයි අතාරින්න ?

මං මොටෝ උං අතාරින්නෙ ?

මං මෙහෙම අහන්නකො ඒකත්.

තමුන් සතියකට කී දොහක් රෑ දෙගොඩහරියෙ ගෙදර යනවද ?

සතියට කී සැරයක්…? විකාරද, ඕනෙ නං මාසෙකට සැරයක් විතර රෑවෙනව.

ඒ මොකෝ හැමදාම රෑවෙලා යන්නෙ නැත්තෙ?

එහෙම ඇහැක මනුස්සයො පවුල් කන්න. කොච්චරනං වැඩ තියනවයි ගෙදර. අනික ළමයෙකුත් ඉන්න එකේ ඌ බලං ඉන්නවන් නෙව මං ගෙදර එනකං. එහෙම එකේ රෑවෙලා යන්නෙ කොහොමෙයි. ඊටත් රෑ වෙලා ගියාම පහුවදා උදේට නැගිටගන්නත් අමාරුවෙනව. ඊට පස්සෙ ඉතිං පහුවදාම මූසලයි.

හෙහ් හෙහ්… ඔය කියවෙන්නෙ….

මක්කයි ?

ඔහේ ගෙදර යන්නෙ කැමත්තෙන්ම නෙවෙයි. යන්න ඕන නිසා. ඔහෙල ඒකට කියන්නෙ යුතුකමෙයි කියල නෙ.

හැබෑටම අයිසෙ මං කැමැත්තෙන් නෙමෙයිද ගෙදර යන්නෙ? මට ඒක මේ අහනකන් කල්පනාවට ආවෙ නෑ නෙව.

යමක් කරන්න ඕනෙයි කියල කිව්වම එතන තියෙන්නෙ බලකිරිල්ල නෙව. කාලාන්තරයක් තිස්සෙ කරගෙන කරගෙන යද්දි තමන්ටම අමතක වෙනව මේ දේ කරන්නෙ කැමැත්තෙන්මද කියල. ඊට පස්සෙ ඉතිං හිතන්නෙ නෑ. ඔහේ කරගෙන යනව. හරියට දවල් දවසෙ තණකොල කාල හැන්දෑවට මඩුවට තනියම යන හරකා වගේ.

විකාරද ? මං කරන්නෙ කැමැත්තෙන්.

හා මං මෙහෙම අහන්නංකො. ඔහේ කැමතිය ළමයට බෙහෙත් විදින්න ඉස්පිරිතාලෙ පෝලිමේ ඉන්න ?

හපෝ මතක් කරන්න එපා. කෑස් බෑස් ගාන පොඩි උන් අස්සෙ ඉන්න ගියාම එපා වෙනව.

ඔහේ කැමතිය හාමිනේ ඇඳුං ‍තෝරනකං කඩවල් වල ගෑණු ඇඳුං රාක්ක අස්සෙ රස්තියාදු වෙන්න?

මතක් කරන්න එපා…..

ඔහේ කැමතිය පොලේ ගිහිල්ල තුංමුණින් දාඩිය දාගෙන බඩු මලු උස්සං එන්න ?

නොකර කොහොමෙයි ?

ඔය……. ! කරන්න ඕන නිසා කරන දේවල් අනන්තයි නේද ? ඉතිං කොහෙද නිදහසක් ?

වලාමේ… ! ඔහෙටනං නුහුගුණේ හොඳටෝම. නිදහස ඕනෙයි කියල මං ගෑණියි ළමයයි කොහේ අතාරින්නෙයි. උන්ට මං නැතුව මොන සරණක්ද, අනික නාකි උනාම තට්ට තනියම ඉන්න.. අපෙ අප්පෝ මටනං බෑ.

ඇයි මනුස්සයො, රස්සාව අතනෑරියත් මං උන්නෙ පවුලයි ළමයිනං සු‍ටුස්ගාල අතාරින්න කැමතිවෙයිය කියල, මීට හතර දොහකට කලිං උන්ව දාල ආව හැටියට.

ඒ ඉතිං ඉඳල හිටල වෙන ඇබැද්දි.. සීරියස් ගන්න නාකයි ඒව.

අනේ උන්නැහේ අපි වෙන අතක් බලමු ඔහේව බලන්න ක්‍රමයක් ඇතිද කියල, මං කියන්නෙ මේ එක එක ඒව අතනෑර ?

මේ.. මගෙන් මුකුත් අහගන්න ලෑස්තිවෙන්න එපා මෙතන. උඩ දාගෙන ආව හැටියටනං මං උන්නෙ සේරම අතාරින්න ඇහැක් වෙයිය කියල. චික් අම්මප හද්ද පාඩුයි මෙච්චර වෙලා කතා කරපු වචන ටිකටත්. කොයි එකත් ඔහොම්මයි. මහ ලොකුවට කට නං තියනව ඔක්කොම අතෑරල නිදහස හොයාගෙන යන්න ඕනෙයි. මේ කොරන දේවල් කිසිම දෙයක ප්‍රතිඵලයක් නැතෙයි කියල. කට විතරයි. තුහ්.. !

මම අද කිව්ව කියල හිතාගන්නව, නිදහස්වෙනව කියන්නෙ මහ බරපතල දෙයක්. තමුන් තමුන්ටම වගකියන්න සූදානම් නැත්නං ඒ ගැන නොහොත ඉන්නව හොඳයි තමන්ගෙ වටේ පිටේ ඉන්න මිනුස්සුන්ටත් පිස්සු නොහදා.

පින්තූරය ගත්තේ : leadershipfreak.wordpress.com

ජාත්‍යාලය වඩවා ජාතික සමඟිය ඇතිකිරීම හෙවත් මම සිංහලයෙක් මම දෙමලෙක් සහ මම පිස්සෙක්

මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව ඔබ සහ මම හොඳාකාරවම දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි. මේ බෙදීම හේතුකොටගෙන අනාදිමත් කාලයක පටන් අප එකිනෙකා මරාගත්තෙමු, මරාගනිමින් සිටිමු, මතුවටද මරාගනිමු !!!

ඉතිං මිනිස්සුන්ට මෙච්චර කෙළියක් වෙනකං තේරුනේ නැද්ද ? මුකුත් කරන්නෙ නැද්ද ?

මොකෝ නොතේරී.. ඔය කියන්නෙ “ලෝක සාමය ඕනෑ” “අන්තර් ආගමින සහජීවනය ඕනෑ” “ජාතීන් අතර සමඟිය ඕනෑ” කියල කතා මහා ගොඩක් එලියට ආවෙ ඒක තේරිච්ච හන්ද නේන්නං.

ඉතිං අනේ එහෙම සංකල්ප ආවකියල මොකක්වත් වෙනස් වෙලා නෑ නෙ. ඔය හි‍ටු කියල ලෝකෙ වටේම උන් මරාගන්නෙ තවමත් ගජරාමෙට.

එහමටමත් නෑ.. ඔය සමහර එවුන් එකතුවෙලාත් ඉන්නෙ සමහර තැන්වල. අපේ රටෙත් ටික කලකට ඉස්සෙල්ල ඔක්කොම එකතුවෙලා ඉන්නව වගේ පෙනුනනෙ චණ්ඩියා මට්‍ටුකරන කල්. හා නැද්ද ?

ඒ….. ඇත්තමයි. එහෙම බැලුවම මිනිස්සු අතරෙ සමඟියක් නැත්තෙම නෑ නේද ?

****************************************************************************************

එක එක ජනකොට්ඨාශ අතර සමඟියක් නැහැ කියල පාරටම කියන්න බෑ. මිනිස්සු එකමුතු වෙනව, සමඟි වෙනව. ඒත් ඒ හැම වෙලාවකම පෞද්ගලික උවමනාවන් උඩ. ආත්මාර්ථය සඳහා. තනි තනිව කරන්න බැරි දේවල් කරගන්න. ඉලක්ක සපුරා ගන්න. ඒ ඉලක්ක සපුරා ගත්තට පස්සෙ ආයෙම උන්නටත් වඩා දරුණු විදියට වෙන්වෙලා යනව සමහර වෙලාවට.

පහිගිය යුධ කාලේ ශ්‍රී ලාංකිකයන් ඔක්කොම වගේ ආගමික, ජාති, භාෂා වශයෙන් ඇති වෙනස්කම් පැත්තකට දාල එකමුතු උනා, නැත්නම් අඩුමගානෙ එහෙම උනා කියල එන්නුවනෙ. තර්ජනය නැතිවෙලා ගියාට පස්සෙ. ඒ එකතුවේමේ හේතුව නැතිවෙලා ගියාට පස්සෙ ආයෙම පොඩි පොඩි ඉරිතැලීම් පටන්ගෙන. සමහර වෙලාවට ඒ ඉරි තැලීම් එකපාරටම බැලුවම සමහර කෙනෙක්ට නොපෙනෙන්න පුළුවන්. ඒත් කල් ගිහිල්ලහරි වැව් බැම්ම පුපුරන්න ඉඩ තියනව.

මේකට පැහැදිලිවම පේන උදාහරණයක් ගනිමු.

ඉන්දියාවේ විවිධ ආගමිකයන් බොහෝමයක් දෙනා එකතුවී බ්‍රිතාන්‍යන්ගෙන් දිනාගත් නිදහස ගෙදර අරං එනකොටම එහේ ගිණි විජ්ජුම්බර. මෙන්න එකට උන්න, මෙච්චර දවසක් එක පතේ කාපු උන් ඒකෙම පහරල එකිනෙකා මරාගන්නව. මරාගගෙන ඉස්සෙල්ලම කුට්ටි දෙකකට රට කැඩුන. ඊටපස්සෙ ඉන්දියාව විදියට ඉතුරුවෙච්ච කොටස තවත් අනු කොටස්, ප්‍රාන්ත වලට කැඩිල වෙන්වෙලා ගියේ භාෂාව, ආගම වගේ කාරණා මූලික කරගෙන. තව ඉස්සරහට තව තවත් කොටස්වලට නොබෙදෙයි කියල කියන්න බෑ.

ආත්මාර්ථයන් මූලික කරගෙන ඇතිවෙන ඕනෑම එකමුතු වීමක අවසානය ඕක තමයි. පොදු සතුරා විනාස උනාම ආයෙම හිටියටාත් වඩා දරුණු විදියට බෙදීමකට ලක් වෙනව.

ඇයි මිනිස්සුන්ට වෙන් වෙන හිතෙන්නෙ කියල කල්පනා කරල බැලුවම පැහැදිලිව පෙනෙන කාරණය තමයි ඔවුන් අනෙකුත් අයගෙන් වෙනස් කියල දරන මතය. මෙම මතය පාදක කරගෙන තමයි අනෙකුත් ප්‍රශ්ණ සියල්ලම පැන නඟින්නෙ.

මොකක්ද මේ වෙනස? කොහොමද අඳුරගෙන්නෙ ?

ශාරීරිකව මිනිස්සුන් නිසිවෙක් වෙනස් නැහැ උස, මිටි සහ වර්ණය හැරෙන්න. ඒ වෙනස සිද්ධ උනේ ලෝකයේ විවිධ දේශගුණික කලාපවල සුළු ජාන වෙනසකින් උපදින අය පරිසරයට වඩාත් අනුගතවී ක්‍රමිකව ඔවුන්ගේ සංඛ්‍යාව බහුතරය වීම හේතුවෙන්.

එසේ නොමැතිව මිනිසාගෙ එකිනෙකාගෙන් වෙනුවූ ජෛව විද්‍යාත්මක වෙනසක් ඇත්තේ නැහැ. අඩුම තරමේ විවිධ වර්ණ විවිධ, ශරීර ප්‍රමාණ හේතුවෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙනස් උප විශේෂයක්ද වෙන්නෙත් නෑ. බල්ලෙකුයි එළුවෙකුයි අතරෙ එකතුවීමකින් පැටව් බෝවෙන්නෙ නෑ, ඒවගේම මීයෙකුයි ලේනෙකුයි අතරෙත් නව පරම්පරාවක් බිහිවෙන්නෙ නෑ. ඒ උන් සත්ව විද්‍යාත්මකව වර්ග දෙකකට අයත් නිසා. නමුත් අප්‍රිකානු පිරිමියෙකු හා ඇස්කිමෝ ගැහැණියකගේ රමණයෙන් පැටියෙක් උපදිනව, ඒකා මනුස්ස පැටියෙකු මිස වෙනයම් මොකෙක්වත් නෙවෙයි.

එසේනම් මේ කියන මිනිසුන් අතරෙහි පවතින වෙනස මොකක්ද ?

කෙනෙක්ගෙ උප්පත්තිය පරීක්ෂාකරල මේකා අයිති අහවල් ආගමට, අහවල් ජාතියට කියල කියන්නෙ පුළුවන් දොස්තර කෙනෙක් ඇත්තෙ නෑ. ඒත් යම් යම් සංකල්ප ඔළුවේ තියාගෙන ඉන්න ඕනම මනුස්සයක්ට කියන්න පුළුවන්. හැබැයි ඒ සංකල්ප ගැන දැනෙනා නොදැනෙනා ඇඟවීමක් මිසක් වෙන දෙයක් ඇත්තෙ නෑ. ඒ සංකල්පයන් ආවේ කොහෙන්ද කියල පැහැදිලිව කියන්න ඔවුනට බෑ. ඒ අය අතට අහුනොවෙන ඇහැට පේන්නෙ නැති, ඒත් තියනව කියල විස්වාස කරන ඇඟවීමක් මූලික කරගෙන මෙන්න මෙයා මේ “ජාතියේ” කියල.

ඉපදිච්ච දවසේ ඉඳල කාලයක් යනකන් කිසිම කෙනෙක් දන්නෙ නෑ තමන් මොන “ජාතියට” අයිති කෙනෙක්ද කියල. ඒ උනාට අවුරුදු හය හතකට පස්සෙ සමාජයෙන් එන ඇඟවීම බාර අරගෙන මම “අහවල් ජාතියේ එකෙක්” කියල මානසික රාමුවක් හදාගන්නව. මනුස්ස දරුවෙක් විදියට ඉපදිච්ච මගෙ පොඩි එකාට මම ඉගැන්නුවෙ නැත්නම් පුතේ උඹ “සිංහලයෙක්” කියල, සමාජයෙන් ඇඟවීමක් ආවෙ නැත්නම් “උඹ සිංහලයෙක්” කියල පොඩි එකාට “දෙමළ යැයි කියාගන්නා” මනුස්සයකුයි උගෙයි අතරෙ වෙනසක්, ඇඟවීමක්, ඇතිවෙන එකක් නෑ. එහම නැත්නම් මගේ පොඩි එකා ඉන්දියාවෙ කෙනෙක්ට හදාවඩා ගන්න දුන්නොත් බංගාලි / සික් / දෙමළ / ජාතිකයෙක් වෙයි, ඇමරිකාවෙ කෙනෙක් හදා වඩාගත්තොත් ඇමරිකානු ජාතිකයෙක් වෙයි. උප්පත්තියෙන්ම ජාතිය වර්ගකිරීමේ ක්‍රමවේදයක් තිබිනනම් එහෙම වෙන්න පුළුවන්ද ?

චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, ආහාරපාන විධි ක්‍රම, ආගම, භාෂාව වගේ අටෝරාසියක් කාරණා ලැබෙන්නෙ ඉපදුනාට පස්සෙ. යමෙක්ට තමන් මෙන්න මේ “ජාතියේ” කියල ඇඟවීමක් එන්නෙ හැදී වැඩෙන සමාජයේ පවතින “ජාතිය” පිළිබඳ මතත් එක්ක.

ලංකාවෙ උපන්න කෙනෙක්ට පැහැදිලිවම කියන්න පුළුවන් වෙන්නෙ තමන් “ලාංකිකයෙක්” කියල විතරයි. ඒක විතරයි හැබෑවටම පවතින “වර්ගකිරීම”. හැබෑවටම නොපවතින “සංකල්පයන්” හැබෑවටම පවතිනවා කියල විස්වාස කරන්නෙ පිස්සො. හැබෑවටම නොපවතින සංකල්පයක් තමන්ට ආදේශකරගෙන මං අහවලා කියල හිතාගෙන ඉන්න අයට “පිස්සො” කියලත් කියනව. මම සිංහලයෙක්, දෙමළෙක් කියලනැති දෙයක් විස්වාසකිරීමත් පිස්සුවක් තමයි.

පොඩිකාලෙ ඉඳල අපිට මිත්‍යාමත මහගොඩක් උගන්නල අහවරයි. ඒකට වගකියන්න ඕනෙ අපේ අධ්‍යාපන ක්‍රමය, ගුරුවරු, දෙමව්පියො, වැඩිහිටියො. ඔවුනට ඒවා ඉගැන්නුවෙ ඊට කලින් පරම්පරාව. හැබැයි ඒ ඉගැන්වීම කලේ කිසිවෙක් ‍රැවටීමේ අදහසකින් නෙමෙයි. ඒක තමයි පරම සත්‍ය කියල විස්වාස කරල. ඒ නිසා මෙතන හරි කවුද, වැරදි කවුද කියන එක මහා සංකීර්ණ දෙයක්.

මිනිස්සු ඇණකොටාගන්නෙ මරාගන්නෙ මේ “ජාතිය” කියන සංකල්පය මත ඉඳගෙන. කවදාහරි මිනිසුන්ට සංසි‍ඳෙන්න ඕනෙ නම් හැබෑවටම නොපවතින එක මානසික රාමුවක් වෙච්ච “ජාතිය” කියන සංකල්පය බැහැර කරන්න වෙයි.

හැබැයි “ජාතිය” කියන සංකල්පය බිඳල දාන එක දැනට ගොඩනඟා ඇති හරපද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනව. ඒකට අකමැති බොහෝදෙනෙක් ඉන්නව. ඒක නිසා මේ කියන්නෙ එක ‍රැයකින් කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒත් අමාරුවෙන් හරි නොකලොත් ලොක විනාසය වලක්වන්න බැරිවෙයි.

ප.ලි : සමාවෙන්න පරණ නවම්ට ආයෙම එන්න තව ටිකක් කල් යයි වගේ. මේ දවස්වල නවම්ගේ “අනෙකා” තමයි දිනල ඉන්නෙ.

මගේ නිදුක්වීම සහ ප්‍රශ්ණයක්

“මම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !”

මෙහි නිදුක යනු කුමක්ද ?

“නිදුක” යනු “අලප්ඩියුසි” වැනි හුදු වචනයකි.  “නිදුක” යන්නෙහි යම් අර්ථයක් ඔබ සතු වූවද “අලප්ඩියුසි” යනු කිමක්දැයි ඔබට නොවැටහේ. ඒ ඔබගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නොව එම වචනය මෙතුවක් කල් ඔබගේ වචන කෝෂයේ නොපැවතුනු නිසාවෙනි. එම “ශබ්ධය” මේ මොහොතෙහි මා විසින් ඇතිකරන ලද්දකි. “අලප්ඩියුසි” යනු මෙය යැයි කිසියම්ම දෙයකය ඈඳා නොමැති නිසාය. අවැසි නම් පාං පිටි බෝලයකට කැරට් අලයක් ඔබා පුච්චා ඒ නම තැබිය හැක. එතැන් පටන් ඔබ “අලප්ඩියුසි” හඳුනයි.

එසේ යමෙකට ඈඳා “නිදුක” යනු මෙය යැයි අපි උගෙන ඇත්තෙමු. ශබ්ධාර්ථයෙන් ගත්කල එහි සරළ අර්ථය “දුකෙන් ඈත්වීම හෝ දුක නැතිකිරීම” ට ආසන්න එකක් විය හැක.

“බල්ලාගෙන් ප්‍රවේසම් වනු”, “දුම්රියෙන් ප්‍රවේසම් වෙනු” යනුවෙන් දැන්වීමක් දු‍ටුකල අපි ප්‍රවේසම් විය යුත්තේ “බල්ලාගෙන්ය”, “දුම්රියෙන්” ය යනුවෙන් අවබෝධයක් ලැබේ. එහි ගැටළුවක් නැත. අප බල්ලා හා දුම්රිය යන ඇඟවුම් පදවලින් අදහස් කරන්නෙ මේවාය යන්න දැන සිටිමු.

එසේම දුකෙන් මිදීමට නම් අප “දුක” යනු කුමක්දැයි අවබෝධයකින් යුක්ත විය යුතුය. මිදෙන්නේ කෙසේදැයි අදහසකින් සිටිය යුතුය.

අතපයක වේදනාව, හිසේ ඇම්ම, පපුවේ කැක්කුම, ආදී රෝග පීඩාවක් දුක විය හැක, එහෙමත් නැත්නම් පෙම්වතා පෙම්වතිය ගේ වෙන්වීයාම දුකකි, දරුවන් වෙන්වීයාම දුකකි, ලබැඳියන් මියයෑම දුකකි, බලාපොරොත්තුවූ වැ‍ටුප් වර්ධක නොලැබීයාම දුකකි, බඩුමිල වැඩිවීම දුකකි, ඉන්ධන මිල වැඩි වීම දුකකි…….. මෙවන් දුක් තව අටෝරාසියකි.

ඕන ඔට්‍ටුවක්, ඔබයි මමයි දන්නේ මෙවන් සිල්ලර දුක් පමණි.

සිල්ලර දුක් ?

ඔව්, මෙය සිල්ලර දුකක් යැයි ගැ‍ඟෙන්නේ සමස්ථ ජීවිතයම දුකක්යැයි අප උගෙන ඇති හෙයිනි. කට පාඩම් කල ගිරවුන් මෙන් “ජීවිතය දුකයි” යනුවෙන් මහ ලොකුවට කීවාට එය එසේමදැයි අප කිසිවෙක් [කිසිවෙක් = මෙය ලියන මම සහ කියවන ඔබ] සොයා නැත. එනමුත් “ජීවිතය දුකක් – එය අප දන්නවා” යැයි අප සිතට ඇඟවීමක් ලබා දී ඇත්තෙමු. එපමණකින්ම සැනසී අප ජීවත්වෙමු.

එතනින් එහාට ගිය “දුකක්” පිළිබඳව වැරදී හෝ අවබෝධයක් ඇති අයෙක් වෙතොත් ඔහු හෝ ඇය මේ බ්ලොග් සටහන කියවන්නේ නැත. එය වගකීමෙන් කිවහැක.

නැවතත් අප “නිදුක් වෙත්වා” වෙත යමු.

එහිදී ඔබ “මා නිදුක් වෙත්වා” යන්නෙන් ප්‍රාර්ථනා කරනුයේ ආසන්නතම දුකෙන් මිදීම විය හැකිය. එහෙමත් නැත්නම් මා කලක් කලාමෙන් මෙලෝ දෙයක් නොසිතා ඔහේ කියන්නං වාලේ හිස් සිතින් “මම නිදුක්වෙත්වා” යැයි කියනවා විය හැක. යම් දුකකින් අත්මිදීම අරභයා එසේ පතන්නේ නම්, එය ඉහත විස්තර කල දුක් ගොන්නෙන් එකක් ව්ය හැක. හුදු ප්‍රාර්ථනවකින්ම පමණක් ඔබට සහ මට සුළු හෝ එවන් දුකකින් මිදිය නොහැක. එම දුකෙන් මිදීමට ක්‍රමයක් සොයාගත යුතුය.

උදාහරණයක් ලෙස ඔබගේ වත්මන් දුක අසනීපයක් නම් ඔබ බෙහෙතක් ගතයුතුය. වෛදවරයෙක් හමුවට යායුතුය. එසේ නොමැතිව බද්ධපර්යංකයෙන් සිට “නිදුක් වේවා – නිදුක් වේවා” යැයි සිතීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්වීමකට ඉඩක් නොමැත. මෙහිදී “සාර්ථක” යනුවෙන් විශේෂණ පදයක් එක් කලේ මිමිනීමකින් එම මොහොතේ අවධානය රෝගයෙන් ඈත්වී මඳ අස්වැසිල්ලක් ලැබීමට ඉඩක් ඇතිවිය හැකි නිසාවෙනි.

එහෙමත් නැත්නම් ඔබේ දුක දරුවාට සුදුසු පාසැලක් සොයාගැනීමට නොහැකිවීම විය හැක. එවිටද ඔබ මුමුණ මුමුණා සිට පලක් නැත. පාසැලක් සොයා ගත යුතුය. එහි ක්‍රමය පිළිබඳ ඔබට ගැටළුවක් නැත. ඔබට අවැසි වී ඇත්තේ දුකින් මිදීමය.

ඔබ සිතැඟි පරිදි යම් යම් දේවල් ඒ ආකාරයෙන් සිදුනොවීමද දුකකි. අශාවන් ඉ‍ටුනොවීමද දුකකි, බලාපොරොත්තු කඩවීමද දුකකි.

එම සිතැඟී, ආශාවන්, බලාපොරොත්තු සැම විටම “හොඳ” යැයි සමාජ සම්මත දෑම වීමේ නියමයක් නැත. සමාජ විරෝධී ආශාවන් හා බලාපොරොත්තුද යමෙකුට තිබිය හැකිය. එවන් දෑ ඉ‍ටුවී දුක නැතිවීමක්ද බලාපොරොත්තුව ?

“මම නිදුක්වෙම්වා” යෙන් නොනැවතී “සියළු සත්වයෝ නිදුක් වේවා” යැයිද පතමු.

සියළු සත්වයෝ දුකින් තොරවෙත්වා යන්න එහි සරළ අර්ථය විය යුතුය. මේ සියළු සත්වයෝ යනු අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, බිරිඳ, සැමියා, ළමුන්, බල්ලන්, පූසන්, හරකුන්, ඌරන්, කුකුලන්, මීයන්, මාළුන් මැස්සන් ඇතුළු මුළුමහත් සත්ව ලෝකයමය. එසේ නොමැතිව “සියළු මිනිස් සත්වයෝ නිදුක්වේවා” යැයි කිසිවෙකු පවසනවා මා අසා නැත.

හුදු මන්ත්‍රයක් ජපකිරීමකින් එහා ගිය සියළු සත්වයන්ගේ නිදුකට හේතුවන කිසියම්ම ක්‍රියාවක් කිරීමට ඔබ පෙළඹේද ?

නිවැසියන්ගේ දුක නැතිකිරීමට ඔබ කුමක්නම් කරයිද? හරකාගේ, බල්ලාගේ හූනාගේ, කුකුලාගේ මරණ දුක නැතිකිරීමට ඔබ කුමක් කරයිද ? මදුරුවාගේ කුසගිණි දුක නැතිකිරීමට ඔබ මතුරනා “සියළුසත්වයෝ නිදුක්වෙත්වා” යන්නෙන් උපකාරයක් කරනවාද ? වරදක් කර හිරේ විලංගුවේ වැටී සිටිනා හිරකරුවාගේ “සිරවී සිටීමේ දුකට” ඔබ කුමක් කරයිද ? හොරකමක් කිරීමට නොහැකිව ළතැවෙන හොරාගේ දුකට ඔබට යමක් කල හැකිද ? සිංහයාගේ කුසගින්නෙන් පසුපස එළවාගෙන යන මුවාගේ මරණ බිය නම් “දුක” සමණය වීමට නම් අභය ලැබිය යුතුය. එවිට සිංහයාගේ කුසගින්න නම් “දුක” ට කුමන ප්‍රතිකර්මයක්ද ?

ඕං මං අද මෛත්‍රී කලා යැයි සිතා පැත්තකටවී එරමිණියාගොතාගෙන ඔබ ඔබ විසින්ම රවටාගැනීමකට ලක්කරමින් අනුන්වද රවටමින් සිටිනවාද ?

%d bloggers like this: