අමතකද මචං උඹට … ? [අමතක වීම වෙලාවකට හරිම කාලකණ්නි දෙයක්]

ඉස්කෝලෙ පොඩි පන්තිවල අපිත් එක්කම ඉඳල ටිකෙන් ටික ලොකු පන්තිවලට යනකොට ඒ කාලෙ හිටපු යාළුවො ඉබේම මඟෑරෙන එක මහ අමුතු දෙයක් නෙවෙයි.

සමහර වෙලාවට එහෙම මඟෑරෙන්නෙ ඒ කාලෙ ඉඳපු බොහොම හොඳ යාළුවො වෙන්න පුළුවන්. අපි කිසිම දවසක දැන ගන්න එකෙක් නෑ ඒ අය කොච්චර දුරකට අනාගතේදි හොඳ යාළුවො වෙන්න පුළුවන් කමක් තිබුන අයද කියල.

ඒ දවස් වල අපේ හිත් ගොඩක් පොඩියි යාළුවො ගොඩක් රඳවාගන්න. ගොඩක් වෙලාවට අපේ යාළුවො පන්තියෙන් පන්තිය වෙනස් වෙනව. ගොඩක් වෙලාවට හොඳම යාළුව වෙන්නෙ අල්ලපු පු‍ටුවෙ වාඩිවෙලා ඉන්න කෙනා. එහමත් නැත්නම් මගේ තරහ කාරයගෙ තරහ කාරයා. සමහර වෙලාවට සුවඳ ගහන මකන කැල්ලක්, එහෙමත් නැත්නම් තුඩවල් මාරුකරන පැන්සලක් තියන කෙනා හොඳම යාළුව වෙනව.

ඒ කාලෙ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙදි හතර පහ වසර වලදි හොඳම යාළුව වෙලා හිටිය කියල මතකයේ තියෙන්නෙ මධූක කියල කළු උස පොහොසත් කොල්ලෙක්.

මම යාළු උනේ මිනිහ ගේන හැම් පෙති මැදිකරපු සැන්ඩ්විච් කන්නයි දෙපැත්ත මාරු කරල ලියන්න පුළුවන් කළුපාට හත‍රැස් පෑනයි නිසාද කොහෙද. ආණ්ඩුවෙ මාස් පඩි ගත්ත අපේ අම්මටයි තාත්තටයි මට හැම් ගිල්ලන්න වත්කමක් කොයින්ද ?

තව උන්න බොහොම ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙකුගෙ පුතෙකුත් අපිත් එක්ක අසිත් කියල. ඒ නම් පහ වසර වෙනකල් විතරයි. ඊට පස්සෙ මිනිහ කොළඹ ඉස්කෝලෙකටද කොහෙද ගියා. අසිත් එක්ක යාළුවෙලා උන්නෙ උගෙ දනිහ ගාවටම දිග නිල්පාට කොට කලිසමේ තිබිච්ච අමුතු පෙනුමටද කොහද.

මේ මෑතක මධුකගෙන් නොම්මරේ ඉල්ලගෙන කතාකරන ගමන් ඔය කලිසමේ විස්තරේ කිව්වම ඌ කට කනේ තියාගෙන හිනාවුනා උඹ මොකටද මයෙ කලිසම පස්සෙ ආවෙ කියල.තව මොනවද මංද අළුගුත්තේරු කතා තුන හතරකුත් කිව්වට පස්සෙ මට බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනව ගෑණු පරාණයක් මහ හයියෙන් හිනාවෙනව. ඒ මොකක්ද කියල ඇහුවම ඌ කියාපි “මචං මම මේ වයිෆ් එක්ක ඩ්‍රයිව් කරනගමන් ස්පීකර් ෆෝන් දාල තියෙන්නෙ” කියල.

උන් දෙන්න වගේම පොඩිකාලෙ එකට ඉඳල අමතක වෙලා ගියපු තවත් අපූරු යාළුවෙක් ආයෙම මූණු පොත නිසා අවුරුදු දහයකට දොලහකට විතර පස්සෙ හොයාගත්ත. අනුෂ්කගෙ [අනුවර්ත නමක්] තිබිච්ච අමුතු වචන නිසා ඒ කාලෙ හරිම ජනප්‍රියයි. මට හොඳට මතකයි මිනිහට “ටොනික් පියන්” කියල කියන්න බෑ. කිව්වෙම “බීම පියන්” කියල.

කතා කරන්නෙත් හරිම අමුතු එකෝ එකෙකුත් එක්ක. මගෙ මතකෙ හැටියට මිනිහ උන්නෙ හොස්ටල් එකේ. හරිම හිත හොඳ, බොරු සෝබන නැති කොල්ලෙක් වෙච්ච ඌ එක්ක යාළුකමක් ගොඩ නැඟුනෙ උගෙ හොඳ හිත නිසා වෙන්න ඕනෙ [මට හරියට මතක නෑ]

ඉස්සර කොච්චර හොඳ යාළුවෙක් උනත් දැං කොහොමද දන්නෙ නැති නිසා මූණු පොතේ මුලින්ම චැට් කරන්න පටන්ගත්තෙ වැඩිය විශ්වාසයක් නැතිව. මොකද ඉස්සර වගේම තාමත් හිත හොඳ ඇති කියල කතාබහ කරපු තුන් හතර දෙනෙක්ම ඒ වෙනකොට බොහොම වෙනස් වෙලා උන්න නිසා මට මේක ගැනත් වැඩිය ෂුවර් එකක් තිබුනෙ නෑ. ඒත් වචනයක් දෙකක් චැට් කරනකොට තමයි තේරුනේ තවමත් ඉන්නෙ ඉස්සර එකාම තමයි කියල.

මූණු පොතේ චැට් එකෙන් පරණ විස්තර, අළුත් විස්තර එහෙම කතා කරල ආයෙම සෙට් වෙමු කියල ටෙලිෆෝන් නොම්මරත් මාරු කරගත්ත. ඊට දෙදොහකට පස්සෙ මට අනුෂ්කට කෝල් එකක් ගන්න හිතිල රිංග් කරල බැලුව. ම්හ්.. නෑ සද්දයක්. ආයෙම ට්‍රයි කලා, ඒත් නෑ රිංග්ස් යනව…… ආන්සර් කරන්නෙ නෑ. මොනවහරි හදිස්සි වැඩක් වෙන්න ඇති කියල පස්සෙ කෝල් කරනව කියල හිතාගෙන නිකා උන්න. ඊලඟ දවසෙත් මිනිහගෙන් නෑ උත්තරයක්.

මොන මඟුලක්ද, දැන් මට යකා නැඟල. මූ මූණු පොතේ චැට් එකෙන් නම් පන දෙන්න වගේ කතාව. ඒත් කෝල් කලාම ආන්සර් කරන්නෙ නෑ. බැරිම තැන මම දැම්ම ටෙක්ස්ට් මැසේජ් එකක් ඌට හොඳටම බැනල, “බීරි වෙලාද යකෝ කෝල් කලාම ආන්සර් කරන්න බැරි” කියල.

මෙන්න ඒ සැනින්ම රිප්ලයි එකෙක් උගෙන්.

“ඇයි මචං උඹට අමතක උනාද මගෙ කන් හරියට ඇහෙන්නෙ නෑනෙ” කියල.

මට මිනිහගෙ ටොනික් පියන් / බීම පියන් කතාව මතකයේ තිබුනට ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්න අකමැති නිසා බෑග් එකටම වෙලා හිටපු හියරින්-ඒඩ් එක අමතක වෙලා.

අමතක වීම් මිනිස්සුන්ගෙ හිත් කොච්චර රිදවනවද………………… මහ කාලකණ්ණි හැඟීමක් කාලයක් යනකන් මගෙ හිතේ තිබුන ඒ සිදුවීම නිසා.

ප.ලි : අද වෙනකොට අනුෂ්කත් මේ නවම් මාවතට එනව. පූර්ණ අනුමැතිය ඇතුව තමයි සටහන පල කලේ.

පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි !

අවුරුදු තුනකට පස්සෙ ගමේ ගියා ගිය සතියෙ. ඇඟට මහා කෙඩෙත්තු ගතියකුයි හිතට මළ කම්මැලිකමකුයි එක්ක ගතවෙලා යන්න ගියපු දෙසැම්බර් මාසෙ අයෙමත් පණ ගහල එන්න ඒ ගමන සෑහෙන්න උදව් උනා.

හැමදාම වැඩ වැඩ කියල ජීවිතේ අවස්ථාවන් මඟෑරීම මහා දරුණු දෙයක්. පිස්සෙක් වෙන්නත් බැරිනෑ. මේ මට වෙන්න ගියා වගේ හෙහ්  හෙහ්…

හක්මණ කියන්නෙ මගෙ ජීවිතේ බොහොම ලස්සන මතක සටහන් ‍රැඳිල තියන තැනක්.

පුංචිකාලෙ කුඹුරුවල පැනල මඩකරියො වෙච්චහැටි,
වඩනම්බි මාමත් එක්ක දවුලට කඩිප්පු හොයන්න ගම පුරාම කරක් ගහපු හැටි,
පැලමද කාපු හැටි,
ලොවි සම්බල් කාල කටදැවිල්ල උහුලගන්න බැරුව පුංචිඅම්මලත් එක්ක ගේ වටේ දුවාපුහැටි.
ජූල් සම්බල් කොටාපු හැටි,
පොල් බඩ කාපු හැටි,

කට පිච්චි පිච්චි ආටිචෝක් කාපු හැටි
ආච්චිගෙන් බැනුම් අහ අහ මල් කපාපු හැටි,
ලිං බක්කියෙ මාලු අල්ලපු හැටි,
තල්ලෙ ඇලි ඇලි කුරක්කන් තලප කාපු හැට,
වල කක්කුස්සියෙ වාඩිවෙලා කකා දාපු හැටි,
දෙවුන්දර පෙරහැර බලන්න ගිය හැටි,

රිලා වලිගයි හොර කුරුල්ලොයි එක්ක පන්සල් ගියපු හැටි
බෙටි ගහේ වැල කාපු හැටි,
හීංකිතර මාමගෙ කපු‍ටු පිහා‍ටු කාර් එකේ පුංචි අම්මලට මනමාලයො බලන්න ගියපු හැටි

මගෙ අම්මේ එහෙමත් කාලයක් !

එහෙමත් කාලයක් හැබෑටම

බහින්නයි කිව්වෙ ලොවි ගහෙන් !!

දොරකඩ ගහෙන් කඩාගනිපු හීනි පේර කෝ‍ටුවත් උරුක් කරගෙන ලොවි ගහේ කොළ වලට බනින ආච්චිගෙ ඔළුගෙඩිය විතරයි මට පේන්නෙ. ගිණි මද්දහනෙ අව්ව හරියටම එයැයිගෙ තෙල් ගාල තදකරල බැඳපු කොණ්ඩෙට වැදිල එහෙ මෙහෙ වීසිවෙනව. හරියට අර ටී වී එකේ හවසට පෙන්නන සින්දුවල කැරකෙන කණ්නාඩි කෑලි අල්ලපු ව්ලිය වීසිවෙන වීදුරු බෝලෙ වගේ. මෙච්චර කාලයක් උන්න මං මෙහෙම විජ්ජාවක් දැකල තිබුනෙ නෑනෙ.

දැං මං එකපාරක් කිව්ව නේද බහින්නෙයි කියල, මට කෝලං කරන්න වෙලාවක් නෑ මෙතන…

ඒ පාරනං ආච්චිට කේන්ති ගිහිල්ලද කොහෙද, නැත්නං මක්කටෙයි අර පේර කෝ‍ටුවෙන් අත මායිමේ තියන ලොවි කොළ වලට ගහන්නෙ.

දැං බැසොත් නං ආයෙ දෙකක් නෑ හොඳවැයිං කෝ‍ටු පාරවල් තුන හතරක් වදිනව පළු නඟින්න.

දෙණියෙ වෙලේ වතුර බිබුලට පැනපු දවසට වඩා අද නං ආච්ච්ට කේන්ති ගිහිල්ල. ඒ කියන්නෙ මෙදා පොටේ පස්ස පැත්තටත් වදිනව.

මට හොඳට මතකයි ඇඩ්ඩිං මාමලයි අහ පැලමද කන්න ගිහිල්ල පොල් උල කකුල උඩ අතෑරගත්ත දවසෙ ලෙඩා කියල බලන්නෙ නැතුව පළු නඟින්න දුන්න පාර. හපෝ ආයෙම නං එහම එකක් කන්න බෑ.

ඩිංග වෙලාවක් නොහොල්මනේ ඉන්නකොට ආච්චිගෙ ගමං වේගෙ එහම යාන්තමට බාල උනා. කෝට්ට වැනිල්ලත් නැවතිලා..

කරදර නොකර බහින්න දරුවො කියන එකක් අහල….

ආ.. ඔය එන්නෙ.. ආච්චිගෙ කේන්තිය නිවීගෙන එන්නෙ.. ඒත් දැන්ම බහින්න නරකයි. තා ඩිංගක් ඉන්න ඕන. එයැයි දන්නව කේන්ති අරං මාත් එක්ක මෙලෝ දෙයක් කරන්න බැහැයිය කියල.

පුතේ.. කෝ බහින්නකො කිව්වම. ඊයෙ සීය ගෙනාපු තල්සූකිරි මුලත් ඇති. යං…

හෙහ් මං අහුවෙයි ඕවට. චූටි අම්මයි මායි ඊයෙ හැන්දෑවෙමයි ඒකට වගකිව්වෙ. ඒත් ඒ වගක් මෙතන කියන්න නරකයි. එහෙම උනොත් ආයෙම පරළවෙන්න බැරි නෑ ආච්චි.

කෝ කෝ මගෙ හොඳ පුතානෙ. බහින්නකො ඔය ගහෙන්, ඔන්න තව වෙලා ඉඳල දිමිගොට්ටක් එහෙම ඇවිස්සුනොත්…….

ආච්චි දන්නෙ නැති උනාට දැනටමත් එක දිමිගොට්ටක් යාන්තමට ඇවිස්සිලා එක එකා මගෙ කකුල දිගේ නඟිනව. දඟලන්නත් බෑ තවත් එවුන් ඇවිස්සෙයි කියන බයට. කලබලේට බහින්නත් බෑ ආච්චිගෙ අතේ තියන කෝ‍ටුව දකිනකොට. ඒකෙන් වැදිච්ච පාරවල් මතක්වෙනකොට දිමියං කෑම සනීපයි කියල මං වගේම චූටි අම්මත් හොඳට දන්නො.

දැන් වෙලාව හොඳයි වගේ මගෙ ඉල්ලීම ඉදිරිපත් කරන්න..

මට ආයෙම මල් කපන්න ඕනෙ, නැත්නං බහින්නෙ නෑ නෑ මයි.

මම පොඩ්ඩක් සද්දෙ දාල ලොවි අතු හොලවල එහෙම කිව්ව.

අනේ පුතේ මල් කැපුවම කැතයිනෙ. ලස්සනටනෙ ගස්වල මල් පිපෙන්නෙ..

හා එහෙනං පුංචිමාම කපන්නෙ, එයැයිට විතරක් හොඳයි ?

අනේ දරුවො ඒ කිතුල් මල් නෙ. අනික ඒව කපන්නෙ පැණි ගන්නනෙ.

ඒ උනාට කමක් නෑ මටත් මල් කපන්න ඕන, මට ඇහැක අර තඩි කිතුල් ගස් බදන්න. ආයෙම අයිලෙ පදින යකා වගේ මහ හයියෙන් ලොවි අතු හොලවල කිව්ව.

පුතේ නටන්න එපා. ඔතන දි !!!

ආච්චිට කියල කට ගන්න හම්බු උනේ නැ මහා දිමි සේනාවක් කඩං වැ‍ටුන මගෙ ඔළුවෙයි කං වලයි අත පයෙයි.

කනව කනව ඉවරයක් නෑ. පිහිදානකොට අහුරු අහුරු අතට අහුවෙන්නෙ.. කාණ්ඩයක් මගෙ මූණ කනව තව කාණ්ඩයක් කං කනව, තව එවුන් තව තව නා නා ප්‍රකාර තැන් කනව.

බුදු අම්මෝ , ඉන්න බැරියෝ. කනවෝ කනවෝ..

සරබරාස්…….. දඩහ් !!!!!

ගහෙන් පෙරලිච්ච මං නතර උනේ තිලේ අම්ම කපල මට්ටන් කරල හදල තිබිච්ච රත්මල් පඳුරු වැට උඩ !!

අම්මෙහ්…. ආහ්…..

මල් පඳුරු අස්සෙ හිරවෙච්ච හිරවිල්ලට හෙල්ලෙන්නවත් බෑ මට.

ඇත ඇත….. මේකගෙ නාහට නාහනකොම තරමට නෙමෙයි. දැං ඉතිං උහාන පලකො කංකානං ගෙදර. මට නං තවත් බෑ මේ සුම්මක්කරේ කොරන්න. ඉන්න දීපංකරේකින් තාත්තණ්ඩිට ඇවිල්ල එක්ක යන්නෙයි කියනො.

ආච්චි මට පලු යන්න බැන බැන උස්සල ගත්ත හිරවෙලා උන්න රත්මල් පඳුරු ගොඩෙන්.

හරි හරි.. ඕකට කෑගහන්න ඕනෙයි. ඔය ළමය ඉන්නෙ යහතිං. ඔහෙටත් කුඩුහම කැඩුනම ඇති ගම දෙවනත් කරන්න. සීයා ඔප්පු මිටිය අස්සෙන් බලන ගමන් කිව්වෙ නිකං ඔලොක්කුවට වගේ.

සීයයි මුණුපුරයි ඕන කෙංගෙඩියක් කරගනන් එකයි, මං නෑ ආයෙ ඇහැක් ඇරල බලන්නෙ දෙකට පැළුනයි කිව්වත්.

හොඳටෝම කේන්ති ගිහිල්ල හිටිය ආච්චි බුරුල් වෙච්චි කොණ්ඩෙ දකුණු අතින් පටලෝල ගැටයක් දාගෙන කුස්සිය පැත්තට යනගමන් කියාගෙන ගියා.

මොකෝ පුතේ අච්චිත් එක්ක ඔට්‍ටුවෙන්න ගස් නැග්ගෙ.

මං ගස් නැග්ගෙ මගෙ උවමනාවට නෙමෙයි. සීයහෙ ඔපීසි කාමරේ තියන අළුත් ගෙයි දිග පඩිය උඩ වාඩිවෙලා තැලුම් අතගාන ගමන් මං කිව්ව.

එහෙනං ?

ආච්චි මං පස්සෙන් එලවන්න ගත්තනෙ සීයෙ. ඒ මදිවට අර හීනි පේර කෝ‍ටුවකුත් අතේ.

හෙහ් හෙහ් හෙහ්.. ගාල හිනවෙච්ච සීය ඔළුව වැනුවෙ හරියට “ඊටපස්සෙ” කියල අහන්න වගේ.

ඉතිං මං සුරුස් ගාල පස් කණ්ඩියට නැඟල එතනින් ලොවි ගහට මාරු උනා.

හ්ම්…. මොකෝ එතකොට ආච්චි එලෝගෙන ආවෙ ?

ආ.. මේ අර එයැයි වවාපු බිං ඕකිඩ් පඳුරුවල හැදෙන මල් කැපුවයි කියලනෙ. මං වැඩිය ගානකට ගන්නෙ නැතුව කිව්ව.

මක් කිව්ව ? අර අහවල් දෙයකටද මල් කපන්න ගියේ ?

පැණි ගන්න.

පැණි කොහෙන්ද ඒවයෙ. පැණි තියෙන්නෙ කිතුල් මල් වල නෙව.

ඉතිං සීයෙ මට ඇහැක අර විසාල කිතුල් ගස් බදන්න. ඒකනෙ මං ඇහැක් විදියට බිම තියන එකක් කැපුවෙ. ආච්චි ඒකත් එපාලු.

හ්ම්ම්.. ඒකත් හැබෑව. පුතාට ඇහැක කිතුල්ගස් බඩගාන්න. හැබැයි ඉතිං එහෙමයි කියල මිදුලෙ වවල තියන මල් සේරොම ටික වනසල දැම්මම හරියන්නෙ නෑ නෙව.

අපි මෙහෙම කරමු. මං පුතාට කපන්න මලක් හොයල තියනං. ඒකට ඩිංගක් වෙලා යනවනෙ. එතකං හොඳ දරුව වගේ චූටි අම්මත් එක්ක ගිහිං ඔය දිමියං කාපු තැන්වල මක්ක හරි ගාගන්නකො.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

දිමියං කාපුවට බෙහෙත් කරන්න ගිහිල්ල වෙච්ච විනම්බෑසිය ලියන්න තවත් පෝස්ට් එකක් ඕන කරන හන්ද ඒ චැප්ටර් එක ස්කිප් කරල පැය හතරක් විතර ඉස්සරහට පනිනව කතාව මෙතන ඉඳං. [ඒ කතාව ටික පස්සෙ වෙලාවක ලියන්නම්]

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ආ.. අන්න හරි. මලක් තියනව හිතේ හැටියට කපන්න ඇහැකි යං.

එහෙම කියපු සීය මගේ අතින් අල්ලං ගියේ පේර ගහ ලඟට.

පේර මල් කපන්න බෑ සීයෙ. ඒව චූටියි, අනික නැට්ටෙන් සු‍ටුස් ගාල ගැලවෙනව ඒව.

පේර මල් නෙමෙයි. ආං අතන බිමට නැවිච්ච අත්තෙ….

අඩේ.. මෙන්න කිතුල් මලක් වගේ එකක් කොළපුවත් එක්කම කහපාටට පේර ගහේ එල්ලෙනව.

ඒ මොකක්ද සීයෙ ඒ, එච්චර විසාල මල් කොහෙද පේර ගහේ.

දුවල ගිහිල්ල බැලින්නං සීය අඩි එකහමාරක් විතර පුවක් මලක් ගෙනැල්ල පේර කඳට තියල ගැටගහල.

එවෙලෙ මට ගියපු සන්තෝසෙ. මං සීය දිහා බලල හිනාවෙච්ච හිනාවිල්ලට තා ඩිංගෙන් කට කනේ ගැවෙනව. හෙහ් හෙහ්.

එදා ඉඳල දෙතුන් දොහක් යනකං මයෙ රාජකාරිය උනේ පහල ගෙදර පුංචි මාම ගස් මුට්ටියත් අරං කිතුල්ගස් බඩගාන ජාමෙට මාත් පොල්කට්ටක් විදල ලණුවකින් ගැටගහල හදාගත්තු මුට්ටි පොඩ්ඩක්ත් අරං අර පේරගහේ පීදිච්ච පුවක්මල කපන එක තමයි සීයගෙ දුණු පිහියෙන්.

මයෙ හිතේ අව්වට වේලිලාම පුවක් මල් කිණිති හැලෙනකන්ම මං මල් කැපුව.

එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය

එක්ස්ක්‍යුස් මී …

මට ඉස්සරහින් ග්‍රීන් ඇපල් ජූස් කඩේ පෝලිමේ ඉඳපු වියත් දෙකේ සාය කොටයක් ඇඳල ඉඳික‍ටු දෙකක් වගේ හීනි අඩි තියස සපත්තු දෙකක් දාපු එක්සෙකටිව් ලූක් එකක් තිබුන ගෑණු ළමයගෙ කනට කිට්‍ටු කරල කඩුවෙන්ම කෙ‍ටුවෙ මේ නවම් මාවතේ ඉන්න ගෑණුන්ගෙ හැටි දන්න නිසා.

ඔව් ඔව්.. මුන් මහ අමුතුම එව්වො ජාතියක්. ඕං නිකමට හිතමුකො මං ඔය වෙලාවෙ සිංහලෙන් කතා කලා කියල. [ඔය එක්ස්ක්‍යුස් මී කියන එකට සිංහලෙන් කියන්නෙ “මේ.. නංගී කියල නේද ?] එහෙමනං ඉතිං තත්වය ශෝචනීයයි ! නිකං ඔළුව ගස්සල හැරිල බලන්නෙ හිඟන්නෙක් මේ ජූස් බාර් එකක අහවල් දෙයක් කරනවද කියල වගේ. තව යාළුවොත් එක්ක හෙම උන්නොත් කට කපාපු නෝන්ඩි හිනාවක් ලැබෙන්නත්, වැරදිලාවත් කොල්ල ඒ අහල පහලක හිටියොත් දවා අළුවෙලා යන බැල්මක් වැටෙන්නත් බැරි නෑ.

ටිකක් විතර බර කරල කනටම කිට්‍ටුකරල කොටාපු කඩු පාරෙන් ඔලුව හරවල බලාපි පෝනිටේල් එකත් ලතාවකට ගස්සලම.

හරියට හරි.. මේ දුල්මිණී තමා.. ඔය තියෙන්නෙ දකුණු ඇහිබැමට උඩින් තියන පුංචි උපන්ලපෙත්.

යර්ස් … ?

මොකක්ද මංදා මහ අමුතු විදියට ඇස් දෙකත් පුංචි කරල ඒ මදිවට නළලත් ‍රැලි කරල මගෙන් අහපි.

ඔයාට මාව අඳුරන්න පුළුවන්ද ?  [හරි හරි.. කඩුවෙන් කොටල පොටක් පාදගත්තම හෙළුවෙන් වනාගෙන වනාගෙන යන්න ඇහැකි, අනික මේ මම දන්න කියන ළමයෙක්]

හ්ම්…. අමාරුයි !!!

හුටා ! දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද ?

ඔයා ගාල්ලෙ නේද ?

ඔව්…. ?

ඔයා ලියනගේ මිස් ගෙ ක්ලාස් ආව නේද ?

ඔව් ඔව්.. ඔයත් ආවද ?

මේකි කොටියම කාපිය….. ඇයි හත් ඉලව්වෙ මං මේකි හන්ද හොම්බ කට කඩා ගත්ත. වස විළිලැජ්ජා වින්ද.. ඒ සේරම අමතකයි එහෙනං ඈ…..

ම්ම් …….. ආනේ මේ නවම් නේද ?

අප්පා ඇති යාන්තං මතක් උනා…..

පොඩි මතකයක් තිබුන. හරියටම මතක් උනේ ලියනගේ මිස්ගෙ ක්ලාස් ආව කිව්වමනෙ. කොහොම අමතක වෙන්නද අප්පා ඔයා එදා බෙල්ල කඩාගන්න හදාපු හැටියට !!

ෂ්…… කෑගහන්න එපා මනුස්සයො !!! වටේ පිටේ මිනිස්සු ඉන්නව.

හි හී හී….

——————————————————————————————–

හරි හරි.. කෙළ හලාගෙන හිටියට එතනින් එහාට අපි දෙන්න අතරෙ වෙච්ච කතාවෙන් තමුන්ලට වැඩක් නෑ…. 😉 ඒක නිසා දැනගන්න ඕනෙම නම් අර බෙල්ල කඩාගත්ත සිද්ධිය කියන්නම්. අහගන්නවලා…

——————————————————————————————–

මේ කියන්නෙ ඉස්කෝලෙ එකොලහ වසරෙ තුන්වෙනි වාරෙ විතර.

ඔය කාලෙ කියන්නෙ මහ අමුතු ආසාවන් එන කාලයක්නෙ. මට තිබුනෙ බයිසිකල් උණක්. එහෙමයි කිව්වට සන්තකේටම තිබුනෙ ඊට අවුරුදු පහකට විතර ඉස්සෙල්ල අරගෙන දීපු ඊස්ටන් ස්පෝට් බයිසිකලේ විතරයි. ඕකට තමයි මම දාපු සෙල්ලං ඔක්කොම කලේ.

මාසෙකට සැරයක් විතර ඕක මස් කරල ග්‍රීස් තෙල් එහෙම ගාල බෝල මාරුකරන ඒව එහම කරල බ්‍රේක් කේබල් ඔයිල් කරල ෆුල් සර්විස් එකක් දීල ගන්නව. සමහර දවස් වලට ඇණ මුරිච්චි දෙක තුනක් වැඩිපුරත් ඉතිරුවෙනව. ඒව ඉතිං ඊලඟ සැරේ ගලවල හයි කරද්දි සමහර විට හයි කරගන්න තැන් අහුවෙනව. එහෙම නැත්නං මගෙ අඬු බඬු දාපු පෙට්ටියෙ මුල්ලකට වෙලා ඔහේ තියෙනව.

මේ ගලවල හයිකිරිල්ලට හරියටම ගැලපෙන ආයුධ නැති නිසා ගොඩක් වෙලවට ලොකු යතුරු අස්සට පැතලි ඉස්කුරුප්පු නියනෙ තලේ එහෙම ඔබල හරියන සයිස් එකට පොඩි පොඩි එහෙමෙහෙ කිරීම් කරල තමයි සමහර ඇණ ගලවන්නෙ. පැඩ්ල් එක බයිසිකලේට හයිවෙන තැන තියන ලොකු කප් එක ගලවන්න නං ඒකෙ තියන කට්ට වලට ඉස්කුරුප්පු නියනක් තියල මිට්යෙන් ගහන්නම ඕනෙ. නැත්නං ඒක ගලවන්න බෑ. ඒ දවස් වල හන්දියෙ බයිසිකල් සාප්පුවෙ පැටි අයිය වැඩ කරන දිහා බලාගෙන ඉඳල තමයි ඒක අල්ල අගත්තෙ.

කොහොම හරි මේ නියමිත ආයුධ නැතුව කරන බාස් වැඩෙන් සමහර ඇණ වල ඔළුව ගෙවිල ගිහිල්ල ගලව ගන්නත් කොහොමහරි කරල ගලවපුව ආයෙම හයි කරගන්නත් බැරිවෙන වෙලාවල් අනන්තයි. එහෙම උනාම අන්තිමට සරණෙට එන්නෙ මහ විසාල කටර් අඬුවක්. ඒකෙ මැද තියන කට්ට රවුමට දාල දෑත බදල කැරකෙව්වම හරි. ඒකත් මහ කාලයක් කරන්න බෑ. අටපට්ටං ඇණ ඔළුව රවුං වෙනවනෙ. වැරදිලාවත් පිට පොට ගියොත් එහෙම ඇනේ පොට කැපෙනවනෙ. ඊට පස්සෙ ඉතිං අම්මට නාහෙන් අඬල කීයක් හරි ඉල්ලගෙන අලුත් ඇණයක් මුරිච්චියක් දාගෙන තමයි වැඩේ අහවර වෙන්නෙ.

මෙච්චර විස්තරයක් කියාගෙන ආවෙ මට ඒ සංගෙදිය උනේ කොහොමද කියන්න.

ඔන්න ඒ සෝචනීය දවසට එළි උනා. අතුරු ආන්තරාවක් නැතුව ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර එහෙම ආව සනීපෙට. තුන හමාරට යන්න ඕනෙ කිතුලම්පිටියෙ ලියනගේ මිස්ලයි ගෙදරට, එහෙ තමයි අපෙ ඉංගිරිස් පන්තිය. ස්කූල් බස් එකේ ඉස්කෝලෙ ගියාට අපි කොල්ලො ඔක්කොමල වගේ පන්ති යන්නෙ බයිසිකලෙන්. ඒක හරි ජොලි ගනමන, අතර මඟදි බීම පැකට් බොන එක තමයි ජොලිම වැඩේ, ඩොංග වාරෙට ඉතිං ඒව. ඉඳල හිටල පන්ති ඇරිල එන ගමන් ගලගෙඩිය පැත්තෙන් ඇවිල්ල තම්බි කඩෙන් ආප්ප කන්නත් අමතක කරන්නෙ නෑ. ඒකට ඉතිං සතියක දෙකක පොකට් මනී ඉතුරු කරගන්න ඕන නිසා ඒ ගනම නම් ඉතිං මාසෙකට දෙපාරක් නැත්නං තුන් පාරක් තමයි.

මේ පන්ති යන ගමනට හිරිඹුර හන්දියෙන් මට එකතුවෙනව කරාපිටියෙ ඉඳල එන විරාජ්, ඊට පස්සෙ කහදූවවත්තෙ බ‍ටුවන්තුඩාව පාරෙන් ලසන්ත, රිචර්ඩ් පතිරණ මහත්තයෙගෙ ගෙවල් ලඟින් එනව පුබුදු, කිතුලම්පිටියෙ ඉස්කොලෙ ගාවින් අපේ කාණ්ඩෙට එකතුවෙනව පැතුම්.

ඔන්න අපි සැට් එකම දැන් පන්තිය බලා පාගනව.

මේ මචං, උඹ මොකෝ කියන්නෙ මං දුල්මිණීගෙන් අහන්නද නැත්නං උඹ අහනවද ?

අඩේ උඹ අහන්න එපා බං. මං අහන්නංකො

හරියෙන්නෙ නෑ නෙ බං. උඹ දැං කී දවසක ඉඳලද ඕකිගෙන් අහනව කියල කියන්නෙ. කෝ ඇහුවද ?

ඔව් බං.. මූ අහන්නෙ නෑ උඹට අහන්නත් නෑ.. අන්තිමට අර මහින්දෙ කළුව ඕකි දාගනියි.

පිස්සුද බං, මම අද අහනව ෂුවර්.

හරි.. උඹට අද විතරයි චාන්ස් එක දෙන්නෙ. අද ඇහුවෙ නැත්නං උඹට ආයෙ චාන්ස් නෑ හරි .. ?

ඒයි නවමා, ඔන්න ඒකි හැරෙන පාර ගාව ඉන්නව, අහනවනං දැං අහපං.

කිව්වත් වගේ මේ ඉන්නෙ දුල්මිණී ක්ලාස් එකට හැරෙන පාර ලඟ. මෙච්චර වෙලා නවං ආව කොන්දත් කෙලින් කරල හැන්ඩ්ල් එකට අත් දෙකේම බර දීල ගත්ත පුරුස ධෛර්යය. අද නම් අහන එක අහනවමයි !!!

ක්‍රාස්….ක්‍රාස්..

දහ්.. ක්ර්ර්ස්…

ජබුං.. ග්ල්බ් ග්ල්බ් ග්ල්බ්…

අඩෝ.. නවම්.. නැගිටහං මචං මඩ වලෙන්.

හ්ම්ම්ම් හ්.. ආහ්……

මචං මුගෙ මූනෙන් ලේ එනව නේද ?

අප්පට සිරි. නහයත් කැඩිලද කොහෙද.. ඒ මදිවට නිකටත් පැලිල නේද … ?

නිලංකාර වෙලා තිබ්බට වටේ පිටේ උන් කතා කරනව් ඇහෙනව…

මං ඇස් ඇරල බැළුව.

ඔළු ගොඩක් මාව වටකරගෙන. ඒ අස්සෙන් යාන්තමය අහස පේනව.

මචං මචං.. උඹට මොකෝ බං උනේ….

ඒයි බං මුගෙ බයිසිකලේ හැන්ඩ්ල් එකත් ගැලවිලා බං මේ බලහංකො.. මාර වැටිල්ලක් නෙ මූ වැ‍ටුනෙ..

හ්මෙ.. ම්ම්…..

මං පිටිපස්සට අත ගහල නැගිට්ට. ඈතින් තවමත් අර පන්තියට හැරෙන පාර ලඟ දුල්මිණී අනිත් ගෑණු ළමයි ගොඩත් එක්ක මං දිහා බලාගෙන ඉන්නව.

එච්චරයි මට මතක !!!

ආයෙම ඇස් ඇරෙනකොට මං හිටියෙ කලේගාන හන්දියෙ ඩිස්පැන්සරියෙ රෙක්සින් ඇඳ උඩ !!!!

ජයවීර මැතිණියගේ හා එම මැතිතුමාගේ ලිංගික අධ්‍යාපන පාඩම – මල් වඩම් අනවශ්‍යයි !!

මචං.. අද පට්ට දවස නේ?

ඒ මොකෝ අද පට්ට ?

ඇයි ගොනෝ අපේ සෞඛ්‍ය මිස් අද අපිට අර පාඩම කරන දවස නෙ.

අප්පටසිරි හැබැමයි.. බලහංකො මට අමතකම වෙලා ගියානෙ.

මටත් එහෙමයි බං.. අද බඩේ අමාරුවෙයි කියල ගෙදර නවතින්න හැදුවෙ. තාත්තගෙ කටේ බලේටමයි ආවෙ.

මේ මචං.. සිරාවටම අපිට අර ඒ ලෙවල් අයියලට පෙන්නනව වගේ පින්තූරත් පෙන්නයිද බං..

අනේ මංද බං.. එහෙමනං සිරාවට තියෙයි නේ… ?

ටාං ටාං ටාං…..

යමං බං පන්තියට අන්න බෙල් එක ගැහුව.

යමල්ල යමල්ල.. උදේ පාන්දරම අද ගණං.

වෙනදට සුරුස් ගාල යන උදේ පීරියඩ් හතර එවර උනේ කල්පයක් විතර ගිහිං. ඒ මදිවට උගන්නපු මෙලෝ මළදානයක් මතක නෑ. කොටින්ම ගානක් වැරදිච්ච වෙලාවෙ සර්ගෙන් වදින පොල් ටොකුවලට වෙනද නං හුජ්ජ පනින්න ආවට අද නං ගානක්වත් නෑ. අම්මප මේ ලිංගෙටකරන්න ඇහැක් වැඩ !

දඩාං…… !

බුදු අම්මෝ….!

මොකාද යකෝ…..

මං මං බං.. මොකෝ මේ කල්පනාව.. යන්නෙ නැතෙයි කැන්ටිම පැත්තෙ.. ?

අමතක උනා බං…. යමං යමං…

අඩෝ මේ… අද බොලා එකෙක්වත් ජයවීර මිස් දැක්කද…. ?

ම්හ්…… නෑ නෙ බං.. මොකෝ ?

මොකෝ කියන්නෙ, අද අර පාඩම නෙ බං.

අප්පටසිරි, මිස් අද නිවාඩුද දන්නෙ නෑ…

නෑ නෑ බං.. මං අද දැක්කෙ උඩ පිටනිය පැත්තෙන් සර් එක්කම එක්කම එනව.

හා.. එහෙමද.. එහෙනං කමක් නෑ. මං මේ බයේ උන්නෙ අද නේවිද කියල බං.

හෙහ්… හෙහ්.. වෙනදට නං බයේ ඉන්නෙ එයි කියල නේ.. උඹල තමයි දවසකටවත් බඩු…. හෙහ් හෙහ්.

අනේ පල නරියො යන්න. අපිට බලන්න බැරිය උඹත් කට ඇරං බලං ඉන්නව අද….

ඒයි කාල බීල ඉවර නං විගහට යමල්ල බං.. ඉන්ටවල් එක ඉවර වෙන්නත් කිට්‍ටුයි.

යමල්ල යමල්ල.

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක සෞඛ්‍ය !!

කොල්ලො ටික සේරම වාඩිවෙලා ඉස්සරහ දොර දිහා ඇස් පිය නොගහ බලං ඉන්නව මිස් එනකං. බෙල් එක ගහල විනාඩි පහක් විතර වෙන්න ආව. ඒත් මිස් නෑ.

මචං.. හරේ …… මිස් එනෝ…..! බැල්කනියෙන් එබිල පහල බලාගෙන උන්න එකෙක් බෙරිහන් දුන්න.

තවත් විනාඩි දෙකකට විතර පස්සෙ ලැසි ගමනින් මිස් එනව. අපිට තියන හදිස්සියෙන් සීයෙන් එකක්වත් නැතිගානට.

ආයුබෝවන් !

ආයූබෝඕවාආන්න්න්න්….

ගුරු පු‍ටුවෙ වාඩිවෙච්ච මිස් ගත්ත රෙකෝඩ් බුක් එක. පෙරළුව පලවෙනි පි‍ටුව.. තව ඩිංගක් ඉඳල දෙවෙනි පි‍ටුවත් පෙරළුව.. ඊලඟට තුන.. හතර.. පහ…..

පොතේ පි‍ටු සීයක් විතර තියනව. විනාඩියට එක ගානෙ පෙරළුවත් විනාඩි හතලිස් පහේ පීරියඩ් එකෙන් ඉතුරුවෙච්ච පැය බාගෙට පෙල්ලන්න පුළුවන් පි‍ටු තිහයි… මේ මොන විනසයක්ද වෙන්න යන්නෙ….

ළමයි.. ඔහොම පොඩ්ඩක් ඉන්න. මේ රෙකෝඩ් බුක් එකේ පොඩි වැ‍රැද්දක් තියනව. මම ස්ටාෆ් රූම් එකට ගිහිල්ල එනකං කෑ ගහන්නෙ නැතුව ඉන්න ඕනෙ හොඳද ?

හුටා ! මේ මොන ගිණිගෙඩියක්ද පාත්වෙන්න යන්නෙ… කලිං පීරියඩ් හතරෙම සර්ල අගේට ලිව්ව පොතේ මේ අහවල් වැ‍රැද්දක්ද එක පාරටම…

එතකොට මිස් අපේ පාඩම….? ඉවසාගෙන ඉන්න බැරිවෙච්ච එකෙක් පේලියෙ කෙළවරේම ඉඳල අහපි !

ඌ දිහා අමුතු හිනාවකුත් එක්ක බැල්මක් දාපු මිස්.. “කලබල වෙන්න ඒපා. මං ඉක්මනට එනව” කියල පොත් මිටියයි හෑන්ඩ් බෑග් එකයි අරං ආව වගේ දහගුණයක් වේගෙන් ගියා….

අඩෝ…. මොකෝ මචං සීන් එක.. අද පාඩම කරන්නෙ නෑ වගේනෙ මිස්….

ඒකනෙ බං. හෙන අපරාදෙනෙ. මං උණත් තියාගෙන බං ආවෙ.

අනේ ඒකනෙ බං. ඉන්ටර්වල් එකට හරියකට කාගන්නවත් බැරි උණා මට.

උඹල මේ රෙද්දක් කතාකරනව, මං ටොයිලට් එක ගාව කොල්ලො පිරිල උන්න නිසා ඉන්ටර්වල් එකේදි චූ කරන්නෙත් නැතුව බං ආවෙ පාඩමට පරක්කුවෙයි කියල, දැං බිළිං ගෙඩිය වගේ …. ඉන්න බෑ……

ෂ්… ෂ්… මචං ජයවීර සර් එනව. දොරගාවට වෙලා හිටිය මොනිටර් පන්තිය සයිලන්ස් කලා.

ආයුබෝවන් ළමයි !

ආයුබෝවන් සර් !

මොකද මේ සද්දෙ කට්ටියගෙ.. හ්ම්.. පොතක් පතක් බලාගන්න බැරිද ගුරුවරයෙක් පන්තියෙ නැති වෙලාවෙ ආ… ?

මීක් සද්දයක් නෑ පන්තියෙන්ම.

හ්ම්.. කමක් නෑ.. මොකක්ද මේ පීරියඩ් එක….

සෞඛ්‍ය සර්…. !

ඉස්සරහම පේලියෙ උන්න එකෙක් කිව්ව.

හ්ම්… ඒක මගේ විෂය නෙමෙයිනෙ. අපි සෞඛ්‍ය මිස් ආයෙන එනකං දැනට විද්‍යාව පාඩමක් කරමු. කෝ ගන්න බලන්න මේ දවස් වල උගන්නන්නෙ කොයි හරියද කියල බලන්න….

පසු සටහන : අපේ විද්‍යා ගුරු ජයවීරයන්ගේ ප්‍රිය ඇඹේණිය වූ ද, අපගේ සෞඛ්‍ය ගුරුවරිය වූද ජයවීර මැතිණිය එදින කාලපරිඡේදය අවසන් වනතුරු අප දෑසට නොගැ‍ටුණු බවද. පසුව වැඩිහිටි සිසුන්ගෙන් දැනගත් පරිදි ඔවුන්ටද මෙම පාඩම යෙදී තිබූ දිනයෙහිද අවාසනාවන්ත ලෙස පන්ති වාර්ථා පොතෙහි යම් කිසි අඩුලුහුඬු කමක් දැක ජයවීර මැතිණිය අතුරුදගන් වී ඇති අතර ජයවීරයානෝ එම හිඩැස බීකරයක් හා පිපෙට්‍ටුවක් ආධාරයෙන් වසා ඇති බවද සංවේගයෙන් පවසා සිටිමි.

ඉඳින් ලත් තැනම ලොප් වූ අපගේ ලිංගික දැනුමට මල් වඩම් අනවශ්‍ය ය !!

පින්තූරෙ ගත්තේ : http://www.divinesecretsofadomesticdiva.com

සරම [අවසානයේ එය ගෑණුන්ට ගිය සේක !]

සරම හරිම අපූරු ඇඳුමකි. එය හරිම සරළය. ගත්තා මැහුවා ඇන්දාය. මං සරමක් ඉස්සරම ඇන්දේ ඉස්කෝලේ තුනේ හෝ හතරේ දී විය යුතුය. ඒ දෙකට කපා අම්මා මසා දුන් තාත්තාගේ පරණ බතික් සරමකි. එදා මට හරිම ඉහල දවසකි. සරම ඇඳං මම ගම පුරාම ගියෙමි.

ඒ කාලේ මගේ යාළු ගෑණු ළමයා ගුණවර්ධන අංකල්ගේ ලොකු දුවය. ඈ දෙකවසරේ ය. ඈට ද සරම පෙන්නන්න ගොස් කුස්සියේ බංකුවේ ඇණ තියාගෙන වාඩිවී “කුමුදු ඔයා මගෙ අළුත් බඩුව දැක්කා දැයි” ඇසීමි. ඈ ද “ආනේ ශෝක්” යැයි කීවාය. ඒත් ගෙදර වැඩකාරී “ගෑණු ළමයි ඉන්න තැන්වල ඔහොමත් වාඩි වෙනවදැයි” අසා මා එලවා ගත්තේය. එකත් එකටම ඈ මගේ මක්කා හෝ ගෑණු ළමුන් නොදැකිය යුතු යමක් දැක ඇත. ඒ මාගේ සරම ගැන ඇති මුල්ම මතකය ය.

එදා ඉඳං සරම මට ය මම සරමට ය. සරම ඇඳං නිදාගැනීමද හරිම සෝක් ය. ඇඳට ගිහිං ඉනෙන් සරම කඩා එය කර මතක් වෙනකං ඇදගෙන පෙරවා ගන්නට පුළුවන් ය. හැබැයි එතකොට දණක් වෙනකං හෙළුවෙන් ය. ඒකටත් විකල්පයක් තිබේ. ඒ තුං කුදේ ගහං කකුල් දෙකද සරම ඇතුළට ගැනීමය. ටික වෙලාවකින් සරම ඇතුලේ බොහොම සුවදායක උණුසුමක් ඇතිවෙනවා ය. ඒ සෙල්ලම නින්ද යනකං විතරය. හිච්චි එකා කාලෙයේඋදේට ඇහැරෙනකොට ඔළුවේ ඉඳං පෙරවාගත් සරම වලල්ලක් වී ඇඳවිට්ටමේ එල්ලෙනෙවා ය. එහෙමත් නැත්නම් ඇඳ පා මුලය. හිච්චි හන්දා කාටවත් ගානක් නැතිය. අනිත් උන්ට ගානක් නැතිනම් මටද ඒකේ වගක් නැතිය.

මගේ වැඩිපුර මනාපයක් තිබුනේ බතික් සරම් වලටය. ඒත් ඒවා ගනං ය. ඒක නිසා මට තිබුනේම පිජාමා සරං ය. අට නමය පන්තිවලට යනකොට නම් සමහර දවස්වල උදේට නැගිටිනකොට පිජාමා සරං ඉබේම සිතියං සමඟ බතික් වී තිබුණි. ඇතැම් විටක ඩයි වැඩිවී ඇඳ රෙදිද බතික් වී තිබුණි. සරං ඇඳං නිදාගත්තාට උදේ නැගිට්ට ගමං ඇ‍ඳෙන් බහින්නට බැරිය. ඒ ටෙන්ට් එක ගසා ඇති නිසාය. හීන් සීරුවේ ටෙන්ට් එක බෑවෙනකන් සිටිය යුතුය. එවන් දිනවල මේකගෙ තියන කම්මැලි කම, ඇහැරිලත් තවම ඇඳේ යැයි ගෙදර කවුරුහරි කණු කුණු ගායි.

මුල්ම කාලේ නින්දට සීමා වූ මගේ සරං කෙටිය පහු පහුවෙනකොට ගෙදරින් එලියටද වැඩියේ ය. ඒ දහම් පාසැලට ය. දහම් පාසැල් සරමට යටින් අඳින්න අම්මා මසා දුන් පාට පාට ලංකට් සැට් එකක්ද තිබුනේය. දාඩිය දමන නිසා මං ඒවා අඳින්න වැඩි මනාපයක් නොපෙන්නුවත් ගෑණු ළමයි ඉස්සරහා සරම කඩං වැ‍ටුනොත් ලැජ්ජ වෙන්න වෙනවා යැයි අම්මා කී නිසා අකමැත්තෙන් වුවද ඇන්දෙමි. ලංකට් නම් මදෑය. අම්මා සුදු පාට ඉණ පටියක්ද ගෙනාවාය. ඒ වැඩි ආරස්සාවටය. දාංගලේට ගියාම මගේ සරම කොහේවත් ය මම කොහේවත් ය. මෑතක නොදන්නා මඟුල් ලියන්න පටං ගත්තු ඩී.කේ ද මගේ දහම් පාසැලේ සරං යාළුවෙක් ය. ඌයි මායි දහම්පාසැලේ අටොල්ලක නැඟී ප්ලේන් සෙල්ලම් කල හැටි හොඳට මතකය. ඌට මතකදැයි අසා දැනගත යුතුය.

සරම ඕනෑම තැනකට ඕනෑම වැඩකට ඔබිනා මල්ටි පර්පස් ඇඳුමක් ය. දුවන්න උවමනා විට යට කෙළවර කණපිට හැරෙන සේ උස්සා ඉනේ ගැටේය ඩිංගිත්තක් විතර පහලට වෙන්න ගැටගසා වලා පොට ගසාගන්නා සේම ගස් නැඟීමේදි සරම ඉහලට උස්සා ඉදිරියෙන් කැටිකොට කකුල් දෙක අස්සෙන් පි‍ටුපසට දමා ඉනට යටකර අමුඩයද ගසා ගත හැකිය. අමුඩය ගැසීම අළුත් පිජාමා සරමෙන් ඩිංගක් විතර අමාරුය. ඒ නිතරම ගැට ලිස්සන්න බලනා නිසාය. ටික කලක් පාවිච්චි කර පරණ වූ කල එයද අමුඩයට කදිමට ගැලපේ.

මුලින්ම පීනන්න පුරුදු වන්නේද තෙත සරමට හුලං බදලා ය. සරම තෙමුණු විට රෙද්දේ සිදුරු එයාර් ටයිට් වී හුලං බදලා අල්ලයි. එවිට මඳ වෙලාවක් දියේ නොගිලී ඉන්නට පුළුවං ය. ඇලේ මාළු අල්ලන්නටද සරමෙන් පුළුවන. ඒ වතුර යටින් සරම බොක්ක ගසා ගෙනගොස් එකපාරටම ඉස්සීමෙනි. හැබැයි පරිස්සං විය යුතුය. බැරිවෙලාවත් හුංගෙක් එහෙම හිටියොත් මල්ලි දෙක වෙන්න අනින්න ඉඩ ඇතිය.

සීයා පාන්දර වත්තේ පුවක් අහුලං දමාගෙන එන්නේද සරං ඔඩොක්කුවේ ය. වවුල්ලු බී බිමට කඩා දමනා පුවක් වල හරියට කහටය. ඒක නිසා සීයාට වෙනම පුවක් සරමක් තිබුනේය. උදේම කරාබුනැටි අහුලන්න යන්නේද ඒ සරම ඇඳගෙනය. කරාබු මණ්ඩියට නං මාත් යන්න හරිම කැමති ය. මා ද හරි හරියට සීයා එක්ක සරං ඔඩොක්කුවට කරාබු අහුලා ගැටේ නොකැඩෙන්න පරිස්සමට අල්ලගෙනැවිත් කුස්සි ඉස්තෝප්පුවේ කෙළවරට සරමේ වළාපොට ලිහමි. සොරොස් ගා දෙපතුල ගාවට කරාබු වැටේ.

අපේ තාත්තා ගෙදරට අඳින්නේ සරං ය, එලියට කලිසං ය. තාත්තාගේ තාත්තා සීයා නං ගෙදරටද එළියටද ඇන්දේ සරමය. ඇතැම් විට එලියට අමුඩයද ඇන්දේය. ඒ ඕවිටට යන විටය. අම්මාද ඉස්සර ගමේ ඉන්නකාලේ ඉඳ හිටක සරං ඇන්දාය. ඒ දිය රෙද්ද හොයා ගන්න බැරි තැන තාත්තාගේ සරමක් ය. අම්මාගේ තාත්තා ද ඇන්දේ සරං ය. මුළෑදෑනි රාජකාරියට යනකොට ‍ටුවිඩ් රෙද්දක් ඇන්දේය. ඒක හරියට ආච්චිගේ චීත්තයක් වාගේ දෙකොණ මූට්‍ටු නොකල රෙද්දක් ය.

ඉස්සර සරං කාරයා ගමේ බයියා උනාට දැං සරං පොෂ් ඇඳුමකි. ඒ පොෂ් සරං ගිණි ගනං ය. ඒවා පාට පාට ය. තව එකක් අල්ලි අල්ලි ය. හනිමූං කොරන්න මාත් එයිං පොෂ් සරං දෙකක් ගත්තේ යන්න උනේ හොඳවැයිං හෝටල් දෙකකට නිසා ය. අපරාදේ කියන්න බැරිය, එදා ඉඳං හැමදාම වාගේ ඇන්දත් තාම ගත්තා වගේ අළුත් පිට පෙණුමට ඇත්තේ ය. ඒ පොෂ් සරංවල හැටිය.

හුටා ! එළියේ රම්පෙට පොරි වෙන්න වහිනවා ය. හාල්පොත වගේ ඇති සරං දෙකම හෝදා වැලේ දැම්මේ උදේය. බඩු හරිය……  දෑං රෑට අඳින්නට එකක් නැතිය !!

ප.ලි : සරං හොයනකොට ගූගලයා දුන්නේ ඔය උඩ තියන ජාතියේ ඒවා ය. එකකට එකක් පරාද නැතිය. හරි ලස්සන සරංය. එකක් ‍තෝරන්න මහ වෙලාවක් ගියේය. බලං යනකොට ලෝකයේ සරං වැඩිපුරම අඳින්නේ ගෑණුය. මුං සම තැන ඉල්ලා අපේ සරමටත් කෙළලා වගේය ! අහෝ !!

එබුවෙ ගේ කතා – ගඳ හො‍ටු 18 +

මගෙ මතකෙ හැටියට එබුවෙ මේ කතාව අපිට කිව්වෙ ඕලෙවල් කාලෙ වෙන්න ඕනෙ. ඒ කිව්වෙත් වෙන කිසිම එකෙක්ට කියන්න එපා කියල දහ අතේ වන්දෝගෙන. මොකද ඒ කාලෙ අපි රහස් සංවිධානයක් හදාගෙන හිටිය “සීක්‍රට් බර්ඩ්ස්” කියල. ඒ නමේ නිර්මාතෘත් එබුවෙම තමා. ඒ සංවිධානෙ එක නීතියක් තමා සතියකට එක ගානෙ තමන්ට වෙච්ච අලකලංචි, විශේෂයෙන්ම වෙන අයට කියන්න බැරි දේවල් කියන එක.

ඒ කියන කථාවෙ රසවත් ගතියෙ තරමට “සීක්‍රට් බර්ඩ්ස්” මෙම්බර්ෂිප් කාඩ් එකේ පිටිපසෙ ලකුණු දානව. මාසෙ අන්තිමට වැඩිපුරම ලකුණු ගන්න එකා තමයි ඊලඟ මාසෙ කන්ඩායමේ නායකය වෙන්නෙ. කණ්ඩායම් නායකය වීම ඒකාලෙ හැටියට බොහොම වාසි දායක තනතුරක්. වරප්‍රසාද හැටියට කණ්ඩායම් නායකයට ඉන්ටර්වල් එකේදි අනිත් සාමාජිකයන්ගෙ කෑම පෙට්ටි වලි කැමතිම එකත් එක්ක තමන්ගෙ එක මාරු කරගන්න පුළුවන් [මේ ප්‍රිවිලේජ් එක නම් වැඩි කාලයක් තිබුනෙ නෑ]. තව අනිත් සාමාජිකයන් එකතුකරපු එඩ්නා චොක්ලට් වලටද කොහෙද දීපු ක්‍රිකටර්ස්ලගෙ ස්ටිකර් ටික සතියකට තියාගන්න පුළුවන්.

ඒ කාලෙ හැටියට මේ නායකත්ව වරප්‍රසාද ඉහටත් උඩින්. ඒක හන්ද හැමෝම වගේ බොහොම උනන්දුවෙන් කිසිම විළිලැජ්ජාවක් නැතුව රෙද්දක් ඇඳං වෙන වෙලාවක කියන්න බැරි තමන්ට වෙච්ච කතා කියනව. සමහර වෙලාවට ටොම් පචත් ඇදල අරිනව. ඒත් වැරදිලාවත් කියාපු කතාව බොරුවක් කියල අහු උනොත් දැඩි දඬුවම්. ඒ කියන්න මාස දෙකක් යනකන් නායකයත්වයට තරඟ කරන්න බෑ. ඒ වගේම තමන් ගේන කෑම් එක විතරමයි කන්නත් පුළුවන්. ඉතිං ඒක බොහොම දැඬි දඬුවමක් වෙච්ච හන්ද කියන කතා වලට අහුනොවෙන්න පොඩ්ඩක් විතර අතින් වැඩිපුර දැම්ම ඇරෙන්න කිසිම කෙනෙක් පට්ටම පල් බොරු කිව්වෙ නෑ.

එදා එබුවෙ කියාපු ඌට සිද්ද වෙච්ච විළි ලැජ්ජා හිතෙන කතාව උගෙ වචන වලින්ම ….

උඹලට කියන්න එදා අපේ පල්ලෙහා කෑල්ලෙ දළු කඩන්න සෝමා ඒකිගෙ දූත් එක්කනෙ ආවෙ අපේ අහ.

අම්මට සිරි ඉතිං [ඒ ඉතිං අපි]

ඒකි පාරෙයි බං [ඒත් ඉතිං අපි තමා]

හිටහල්ලකො කියනකං.. බොලා පනිනවනෙ..

හරි හරි උඹ කියාපන්කො.

ඒකිත් ඉස්සෙල්ලම සෝමත් එක්ක තේ කෑල්ලට වෙලා තමයි හිටියෙ. හීන් පොදක් ආව හන්ද ඒකි ආව පඩි නැඟල අපේ ඉස්තෝප්පුවට.

නෑ… ඉතිං ? [ඒ කවුද කියල දැං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ]

ඒකි හරිම හැඩයි බං. ගවුං කොටේ ගහල පඩිය උඩ කකුල් දෙකත් නවාගෙන වාඩිවෙලා ඉන්නව දැං මට සාලෙ දොර අස්සෙන් පේනව.

මට ඉවසගෙන ඉන්නම බැරි උනා….

ඈ.. ‍තෝ මොකෝ කොලේ ??? [ඒ අපිට ඉවසගන්නම බැරුව]

මං තව විනාඩි පහක් විතර බලාගෙන ඉඳල සීන් එක රෙකෝඩ් කරගෙන ටක් ගාල ගියා කාමරේට.

කාමරේට ගියේ මොකෝ බං කෙල්ල තාම එලියෙ පඩිය උඩ නේද [ඒත් අපි]

යකෝ කාමරෙට ගියේ &^!*?;%)(#%*)@ න්න…..

හෙහ් හෙහ් හොක්කියෝ හූ…. [නරි]

තොපි එක්න බෑ මේක කියන්න.. හිනා වෙනවනං නිකා හි‍ටු !

අනේ නෑ නෑ කියහං බං.. අපි දැං බාගෙට ලකුණු දාගෙන එන්නෙ, එහෙම කියල මෙම්බර්ෂිප් කාඩ් උස්සල පෙන්නුව.

එහෙනං කෑ නොගහ අහපල්ල හරිය…

ඔන්න මචං මට &^!*?;%) කොටම කවුද කාමරේට පැත්තට එනව වගේ ඇහුන. මං ටක්ගාල පු‍ටු ඇන්ද උඩ දාල තිබිච්ච ලේන්සුවක් අරන් &^!*?;%) පිහිදාල #$&^!*?;%) ඇතුලට දාගත්ත විතරයී කාමරේට ආපි.

කඩුද බං ආවෙ කෙල්ලද ? [අපි තමා ඒ පාරත්]

තාත්ත බං !

හුටා.. ඉතිං ?

ආපු ගමං “මං මේ ගෙයි පුරාම හොයනව මෙහෙට දෙනව මගෙ ලේන්සුව” කියල මගේ අතේ තිබිච්ච ^$*(@!>$ පිහිදාපු ලේන්සුව උදුරගත්ත

නෑ….. ඊටපස්සෙ ?

මං ටක් ගාල කිව්ව “තාත්ත මං ඕකෙං හො‍ටු පිහිදැම්ම” කියල

ඉතිං ?

උඹෙ හො‍ටු මට ගානක් නෑ කියල දෙකට නවල සාක්කුවෙ දාගෙන උන්දැ ගියා.

අඩේ පට්ට සීන් එකනෙ. මේකට උඹට ෆුල් ලකුණු දෙන්න ඕනෙ !

පොඩ්ඩක් හිටපල්ල, හොඳම හරිය ඉවර නෑ බං.

යකෝ තවත් තියනවද… ?

නැතුව නැතුව. ඔන්න හැන්දෑවෙ තාත්ත ගෙදර ඇවිල්ල මට කතා කලා..

පුතා….. පුතා…

ඇයි තාත්තෙ…

මෙහෙ එනව….

ඇයි තාත්තෙ.. තමුසෙ මේ ලේන්සුවෙන් පිහිදැම්මෙ මොනවද?

හො‍ටු තාත්තෙ ඇයි ?

තමුසෙගෙ හො‍ටු හරි ගඳයි නෙ.. මීට පස්සෙ එහෙම හො‍ටු හූරන්න ඕනෙ උනොත් ලැට් එකෙට යනව හරිය…… ආයෙ මගෙ ලේන්සුවලින් පිහිදාල අහුවෙන්නෙ නෑ.

පින්තූරෙ ගත්තෙ : http://celluloidlover.tumblr.com/30day

%d bloggers like this: