මම කවුද ?


අල්ලපු ගෙදර මනුස්සයට මම අසල්වැසියා

අල්ලපු ගමේ මනුස්සයට මම එහා ගමේ එකා

අල්ලපු ටවුමෙ එකාට මම එහා ටවුමේ එකා

කොළඹ එකාට මම ගාල්ලේ එකා

ඉන්දියාවේ එකාට මම ලංකාවේ එකා

යුරෝපයේ එකාට මම ආසියාවේ එකා

අඟහරු ලෝකයේ එකාට මම පෘථිවියේ එකා

හැබෑවටම මම කොහෙද ? මම කවුද ?

Advertisements

සංස්කෘතික ඝාතන …..

ඇය සිය දිවි හානි කරගත්තාය…..

මියගියාට පසු සියල්ල හමාරයැයි අත පිසදාගත නොහැක. ඒ ඇයගේ මරණයට සමාජය වගකිවයුතු හෙයිනි…..

නැත !

සමාජය යනුවෙන් කියූ සැනින් මෙය පොදු කාරණාවක් වී ටොන් එක මෛක්‍රො ග්‍රැම් වී දියවී යයි. එහෙයින් මෙහි වගකීම ඔබේය !.

මන්ද යත් සමාජය සැදුම්වන්නේ මගෙන්, ඔබෙන්, ඔබෙන් සහ ඔබෙන් හෙයිනි. එහෙයින් ඔබ කරනා සෑම ක්‍රියාවකම දාම ප්‍රතික්‍රියාව අනෙකා ඔස්සේ චක්‍රීයව මුළුමහත් පරිසරය පුරාම ගමන් කරයි. ගමන් කර ඉන් නොනැවතී පසුපසින් පැමින නොසිතූ මොහොතක ඔබ සහ මම ගොදුරු කරගනී.

මෙම චක්‍රය අතිශය සංකීර්ණ අතිශය දුරක් ආවරණයකර නැවත පැමිණ ඇතිහෙයින් වේදනාව දැනුන පසු අන්ද මන්දවීම හැර වෙන යමක් කල්පනා නොවේ.

සංස්කෘතියද සමාජයේම නිර්මාණයකි. එහෙයින් සමාජය නිර්මාණය කල අප ම සංස්කෘතිය නිර්මාණය කිරීමේ වගකීමද දැරිය යුතුය, එහි වගකීම අන් කිසිවෙකුට පැවරිය නොහැක සියල්ල ඔබගේ ය, සියල්ල මගේය.

එනමුත් මේ සංස්කෘතිය පෞද්ගලිකව ඔබට සහ මට අවශ්‍ය නැත !!

සෑම විටම එය අවශ්‍යවන්නේ අනෙකාට ය.

ඔබ සහ මම අනෙකාට ඇති බිය හේතුකොට ගෙන මෙම පෞද්ගලිකව අනවශ්‍ය දෙයක්වූ සංස්කෘතිය ඔබට සහ මට අවශ්‍ය දෙයක්බවට පත්කරගෙන ඇත. පලමු මහා විහිළුව ඇත්තේ එතන ය.

ඔබ ඔබට හැර අනෙකුත් සියලු දෙයටම බියෙන් වෙසෙන්නෙකි. කොටින්ම මම ඔබටත් ඔබ මටත් බියෙන් පසුවන්නෙමු එහෙයින් අනෙකාට අවැසි යැයි ඔබ සිතන එනමුත් ඔබට අවැසිනොවන යමෙකට ඔබ ස්වයං නතුවීමකට ලක් වී ඇත.

දෙවන මහා විහිළුව නම් ඔබ නොදැන සිටියද අනෙකාටද එය අවශ්‍ය නොවීමයි. අවසනාවකට එය කෙතරම් විහිළු සහගත වුනත් ඒ පිළිබඳව කල්පනාකොට හැඬීමට මිසක් සිනහාවීමට ඔබට සහ මට හැකියාවක් නොමැත. අවශ්‍යනම් එය තෙවැනි මහා විහිළුව ලෙස සැලකීමයද හැක.

එනයින් ගත් කල,

ඔවුන් සියල්ලන්ගේම ක්‍රියා කලාපයනට ඔබ සහ මම වගහිවයුතු ය. කරළියේ රඟනාවුන්ට පමණක් දබර ඇඟිල්ල දිගුකර නිහඬවීමට ඔබට සහ මට සදාචාරාත්මක අයිත්යක් නැත ඒ ඔවුන් රඟදක්වන්නේ ඔබ සහ මම ලියාදුන් තිර පිටපත හෙයිනි.

එකිනෙකාට ඇඟිළි දිගුකොට තම මනස්තාපයන් තාවකාලිකව සංසිඳවා ගැනීම පසෙක ලා තමන් තුලට ම නැඹුරු වී සිතීමට කාලයයි. නො එසේනම් හෙට දින කරලියෙ ශෝකාන්තය රඟදක්වන්නේ ඔබගේ සහ මගේ දරුවන් නොවීමට කිසිඳු හේතුවක් නොමැත.

එසේ වූ දින මම ඔබට වෙඩි තබා මටද වෙඩිතබා ගනිමි. එපමනක් නොව ඔබද එසේ කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.

නමුත් ඊට පෙර ඔබට සහ මට කාලයක් ඉතිරිවී ඇත, ඒ අන් යමක් සඳහා නොව ඔබේ සහ මගේ දරුවන් වෙනුවෙන් අලුතින් තිරපිටපත් ලිවීමට ය.

මුට්ටිය

මුට්ටිය

ආපස්ස බැලීම හා ප්‍රතිරූප සමඟ අවසානයේ මංගල යෝජනා .|. ඊලඟ කෑල්ල තවත් රසවත් ද ?

ආපස්ස බැලීම.

බොහොම කාලයක් බ්ලොග් නොලියා හරිහමං විදියට නොකියවා උන්න. උවමනාවෙන් නෙමෙයි ඔහේ දවසින් දවස පස්සට ගියා. හරියට ගින්දරෙන් ඇතට ගිහිල්ල හීතල ගුහවක ගුලිවෙලා ඉන්නව වගේ.

ඒ හීතල මහා කම්මැලි කමක් ගෙනාව ආයෙම ගින්දර හොයාගෙන යන්න නොහිතෙන තරම්.

ඔහොම කම්මැලි කමේ ගුහාවෙ මුල්ලක ගුලිවෙලා ඉන්නකොට කවදාවත්ම නොගියපු ගුහාවෙ අඳුරු දෝනාව දිහාවෙන් එකපාරටම මතූවුනා මහා සද්දයක්.

හීතලට ගල් වෙලා තිබිච්ච ලේ ආයෙම දියවෙන්න පටන් ගත්තෙ කන් පෙතිවලින්, ඊට පස්සෙ මූණ දිගේ පහලට ඇවිල්ල බෙල්ලත් පහු කරන් ඩිංග ඩිංග විශේෂ අවශේෂ තැන් පහුකරගෙන අන්තිමට කකුලේ සුළැඟිලි දෙකට ආව ගමන් සුරුස් ගාල පහු නොබලා ආයෙම විළුඹ පස්සෙ වදින්න දිව්ව දීවිල්ල නැවතුනේ මෙන්න මෙතනින්.

ප්‍රතිරූප.

ප්‍රති + රූප.

රූපයේ විරුද්ධය, එහෙමත් නැත්නම් අනිත් පැත්ත, අනිකා දකින පැත්ත වගේ අර්ථයකින් වෙන්න ඇති ඔය වචනෙ හැදෙන්නා ඇත්තෙ. වැරදි නම් භාශා විශාරදයෝ කමත්වා.

ප්‍රතිරූපයක් කියන වචනයේ සරළ අර්ථය යමෙක් හෝ යමක් ගැන එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කොට්ඨාශයක ඇති මතය, ඔහු හෝ ඇය “මෙන්න මෙහෙමයි” කියල ඇති කරගෙන ඉන්න මතය.

ඔය මතය ඇතිවෙන්න “මම” කරන කියන දේවල් සහ මහේ වටිනා කම් පාදක කරගෙන. ඔය වටිනාකම් දීල තියෙනෙ සමාජය විසින් උනාට කාලානුරූපීව ඒක පෞද්ගලිකයක් බවට පත්වෙනව. එතන ඉඳන් “මම” හඳුන්වන්නේ සහ හඳුනාගන්නේ ඒ වටිනාකම් හරහා. “මම” කැමතියි ඒ වටිනාකම් රාමුව ඇතුලේ ‍රැ‍ඳෙන්න. මොකද ඒක “මම” යන්න වඩාත් තහවුරු වෙන්න දැඩිලෙස උපකාරී වන කරුණක්.

ඉතිං කොයියම්ම මොහොතක හරි ඒ ප්‍රතිරූපයට පාරක් වැදුනොත්, එහෙම නැත්නම් පාරක් වදින්න යනව කියල දැනුනොත් අපි හැමෝම විවිධාකාරයේ ප්‍රයත්න දරනව ඒක වෙනස් නොවී පවත්වාගන්න. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනව. සමහරවිට ඒ පෙනී නැඟීම බොහොම දරුණු වෙන අවස්ථාත් තියනව.

ඔන්න ඔය ප්‍රතිරූප ‍රැකීමේ උත්සාහයක් තමයි මීට කලකට ඉස්සෙල්ල බාලචන්ද්‍රන් ගැන බ්ලොග් අවකාශයේ කමෙන්ට්ස් හරහා ඇති වුනෙත්.

යමෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරනව. ඔන්න ඒ මතය හරහා අනෙක් අය මතධාරියාව විවේචනය කරන්න ගන්නව. අන්න එතනදි මතධාරියා නැඟීසිටිනව තමන් පෙර දැරූ මතය සාධාරණීයකරණය කරන්න. එතනදීම අනිච්ඡ්චානුගවම සිද්ධවෙන්නේ මතධාරියා තමන් පෙර දැරූ මතයෙන් ඇඟවෙන්නේ “තමා ය” කියල ඇඟවීමක් අරගැනීම. ඊලඟට තමා දැරූ මතය නිවැරදි වෙන්නේ මෙන්න මේ කාරණා මතය කියල ඔප්පුකරන්න යෑම.

එතනදි ඔහුට හිතෙන්නෙ නෑ අනිත් අය මොනව හිතුවත් කමක් නෑ කියන තීරණයේ ඉන්න. ඔහු වලිකන්නෙ තව කීපදෙනෙකුගේ හිත්වල හරි තමන් පෙර දැරූ මතය නිවැරදිය කියල චිත්‍රයක් ඇති කරන්න. එතන වක්‍රාර්ථය තමන් නිවැරදිය කියල ඔප්පු කිරීමක්.

මංගල යෝජනා

ඕං එහෙනං මෙන්න ප්‍රතිරූප ‍රැකීමේ ආදීනව…

මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නව මෙන්න මේ ප්‍රතිරූප විනසවෙනවට බොහෝම බය. මේ මිත්‍රය ප්‍රේමවන්තයෙක් !

උන් දෙන්නගෙ පැණි වරකෙට මාස දෙක තුනකට සැරයක් හෙණයක් දෙකක් පහත්වෙනවමයි. ඒ හෙණ ගෙඩි නිවන්නෙ ඉතිං නෙළුම් කොලේ පිටෙන් තමා [දන්නෝ දනිති.. හෙහ් හෙහ් හෙහ්] ඔයි අර කලකට කලින් මම ලිව්ව “මෙන්න මෙහෙමයි පවුල් කන්නේ” ලියන්න හේතුපාදක උනෙත් ඔය හෙණගෙඩියක් නිවාගන්න නෙළුම් කොලේට රිංගාපු වෙලාවක තමයි.

මේ ගැණුළමය ඉතිං ඉන්නවට ඉන්නව. ඉස්සෙල්ලම පත්වීම අම්පාරට. මගේ මිත්තරය කොළඹ. අනේ ඉතිං මූ මාසෙකට වතාවක් විතර මංගච්චනව එහේ. ගිහිල්ල අම්පාරෙ ටවුමෙ කඩේකිං දෙන්නත් එක්ක මක්කාහරි කොටාබාල මූණට මූණ බලගෙන ඉඳල ආයෙම එනව තට්ට තනියම පැය ගානක් කොළඹ. පොඩි කාලයක් නෙමෙයි ඇවුරුදු හතරක් එකදිගට. අඳෝ සංසාරේ…… !

ඊට හපං මේ ගෑණුළමයගෙ අනිත් වැඩ. මෙලෝ මළදානයක් තේරෙන්නෙ නෑ. එහෙම නැත්නම් තේරුනත් නොතේරුනා වගේ ඉඳල මී හරක් ප්‍රශ්ණ අහනව. මගේ සගය කියන විදියට බල්ලෙක් අර්ධකවාකාරෙට මළපහ කරල තිබුනොත් “ඇයි අනේ මේක රවුමට තියෙන්නෙ ?” කියල අහන ජාතියෙ එකියක්. හෙහ් හෙහ්. අනික්ව හිතාගන්න ඇහැකි නෙව.

අනේ ඉතිං සත්‍ය ප්‍රේම බෘංගරාජයෙක් වෙච්චි මගේ මිත්‍රයා සියල්ල ඉවසා වදාරා ඉන්නව එසේ මෙසේ වැදෑරීමක් නෙමෙයි අට අවුරුද්දක්ම. අම්මප වෙන එකෙක්නං පිපිරිලා මැරිල ගිහිල්ල මෙලහකට. මූ වැයිං ඉන්නව.

ඔයිට හපං වැඩ තියනව…

මේ ගැණුළමයගෙ මල්ලිගෙ යාළුවෙන් දැන් අවුරුදු හය හතක් තිස්සෙ උන්නෙ ගෙදර පැලපදියං වෙලා. ඌ දුම්මල ගහලවත් එලෝගන්න බැරිලු. දීගතල දෙන වයසක කෙල්ලෙක් ඉන්න ගෙදරක පිට එකෙක් නවත්තං ඉන්නෙ අහවල් එකෙකටද කියල ඇහැව්ව්ම ඉතිං කියන්නෙ “අනේ ඒ අපේ මල්ලිගෙ යාළුවෙක් අයියෝ” කියල.

ඔයි ගෑණු ළමයගෙ අම්මගෙ යාළුවොත් බොහොමයක් පුරුස පාර්සවේ කියලත් පොඩි කුණුකුණුවක් තියනව.

සේරම මෙතන නොලිව්වට හිතාගන්න ඇහැකි නෙව පොසිබිලිටීස්……

අනේ ඔයි අට මඟල් අස්සෙ මේ අසරණය අර ගෑණුදැරිවි කැන්දන් යන්නයි සූජානම.

මං උගෙන් එකයි ඇහැව්වෙ.

කරුණු කාරණා ඔහොම නං උඹට හිතෙන්නෙ නැත ඕක හරියන මඟුලක් නෙවෙයිය කියල බං ?

මේං හම්බුවෙච්චි උත්තරේ…

කොහොමෙයි බං නවත්තන්නෙ, අට අවුරුද්දක්මනෙ, අනික මං එහේ මෙහේ ගියා වටේ පිටේ මිනිස්සුත් දන්නවනෙ බං. ඉතිං කොහොමෙයි දැං නවත්තන්නෙ ?

අනේ ඔන්න මගේ මිත්තරයා හිතන හැටි. කියාපු එකම හේතුවකවත් තිබුනෙ නෑ “මම එයාට ආදරෙයි / මට එයාව ඕනෙ” කියන වචන ටික.

වටේ පිටේ මිනිස්සුන්ට බයේ අසරණයා ජීවිතේම උගස් කරන්න හදන්නෙ.

ඒකත් එක්තරා විදියක ප්‍රතිරූප ‍රැකීමක් තමා. මගේ මිත්‍රයාගෙ බයයි අසල්වැසියො එයා ගැන ඇතිකරගෙන ඉන්න ප්‍රතිරූපය විනාශකරල දාන්න. ඒක නිසා මිනිහා අකමැත්තෙන් වුනත් විවහයට සූදානම් වෙනවා.

හපෝ මේ මනුස්සයා අර කෙල්ලත් එක්ක හැම තැනම රවුම් ගහල රවුම් ගහල අන්තිමට අතෑරියා. මහ කැත මිනිහෙක්..

ඔන්න ඔහොම අසල්වැසියෝ තමන්ගැන හිතයි කියල බයට මේ යෝධයා දුවන කෝච්චියට බෙල්ල තියන්නයි හදන්නෙ.

++++++++++++++++++++++++++++++++++++++++++

හදිස්සියෙම ගියසුමානෙ දවසක මට කෝල් එකක් එනව මෙගේ මිතත්‍රයගෙන්.

මංචං… අද හවස මොකෝ කරන්නෙ ?

මම දන්නව මේ එන්නෙ මොකාටද කියල. මොකද මේක තමයි කාලෙක ඉඳල සිද්ධවෙන වැඩ පිළිවෙල.

හරි හතට පුරුදුතැනට වරෙන් මචං.

+++++++++++++++++++++++++++++++++++++++++++

මොකෝ මේ හදිසියෙ.. අවසාන බෝජන සංග්‍රහයද වෙඩිමට කලින් හෙහ් හෙහ් ?

මොන වෙඩින්ද බං.. ඒව හබක් !!!

මොක ??

ඉවරයි බං. දැං පුදුම නිදහසක් දැන්නෙ ….

මැයි තුන්වෙනිදට නැකැත් හදල, හෝටල් බුක් කරල, ගෲප් එකටම ඇඳුම් මහල, අන්දවන අය බුක් කරල ස්ටූඩියෝ බුක් කරල, වෙඩින් කාර් බුක් කරල, හනිමූන් යන්න අලි ලඟටම එන හෝටලයක් බුක් කරල තියෙද්දිත් මෙන්න මේකා කියනව ඒක අහවරයි කියල.

චෑහ් , තුහ් තුක්….

මාව කොච්චර හොල්මං උනාද කියල කියනව නම් හැඩැල්ලෙක් කියල හපල තියෙන්නෙ පැත්තකින් තියාල තිබිච්ච දෙහි පෙත්තක් !!

ඉවසල ඉවසල බැරිම තැන තවත් ඉවසල ගියා ශාක්‍යා එකට ඇඩ්වාන්ස් එකක් දෙන්න බං, ඒ දීල එන ගමං අරකිට කෝල් එකක් ආපි අර ගෙදර ඉන්න මල්ලිගෙ යාළුවගෙන් ‍ෆිල්ම් එකක් බලන්න යන්න.

එතනින් පස්සෙ බොහෝම කතා උනත් ඒව මෙතන ලියන එක හරි නෑ.

අවසානයේ හිතට ආපු ආවේගය අර ප්‍රතිරූප විනාසයට තිබිච්ච බය යටපත් කරල දාල.

දැන් ඔන්න මංගල දැන්වීම :

පහතරට බොදු ගොවි 1982, මොර‍ටුව සරසවි උපාධිධාරී පරිගණක ඉංජිනේරු, නවීන මෝටර් රථයක් හා නිවාස හිමි කඩවසම් මිතුරාට සිහින් සිරු‍රැති, විනෝදකාමී, බළු බෙට්ටේ ඇද නොසොයන හැබෑවටම තරුණ තරුණියක් සොයයි. දැවැදි අනශ්‍යයි. ඒ වෙනුවට ඇයට පූර්ණ ලෙස පෙර සූදානම් මංගලෝත්සවයක් හිමි වේ. සැ. යු: මැයි තුන්වනදා පෙරවරු දහයයි විසිඅටට යෙදනෙ සුභ මොහොතින් අතිනතගැනීමට ඇයි සූදානම් විය යුතුය.

ප.ලි: මට ගොඩක් දේවල් බ්ලොග් අවකාශයේ අතපහුවෙලා.. හයියෝ..ආයෙම කාලයක් යයි වගේ…මම එනකල් හිටපියෝ…

බුද්ධා බාර්, ක්‍රිස්තු බාර් සහ අල්ලා බාර් – ඇහෙනකොට ජුවල් ඇයි ?

බල්ලා !!!!!

කවුරුහරි ඔය වචනය ඇහුනම අමනාප වෙනවද ?
සමහරෙකුගෙ උත්තරය “ඔව්” වෙනකොට තවත් සමහරකගෙ උත්තරය “නෑ”.
ඇයි මේ එකම ප්‍රශ්ණයට උත්තර දෙකක් ?
උත්තර දෙකම නිවැරදි ද ? උත්තර දෙකම වැරදි ද ? එහෙම නැත්නම් එකක් හරි අනික වැරදි ද ?

නෑ…. උත්තර දෙකම හරි !!!

එහෙම වෙන්නෙ ප්රශ්ණය යොමුවෙන්නා “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව. එහෙම නැත්නම් වචනය යොමුවූ පාර්ශවය අනුව. එකම පුද්ගලයාගෙන් අවස්ථාවන් දෙකකදී කලින් වතාවෙ අහපු එකම ප්‍රශ්ණයට නැවතත් ඇසුවොත් ලැබෙන පිළිතුරත් එකක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙත් ඒ පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව.

දැන් අපි මේක පොඩ්ඩක් කරුණු කාරණා ඇතුව කියවල බලමු,

බල්ලාට “බල්ලා” කියල කිව්වට කිසිම ගැටළුවක් නෑ. කිසිම කෙනෙක් විරුද්ධ වන්නෙත් නෑ, බල්ලා ඒකට කැමතිද නැද්ද කියල දැනගන්න අපිට ක්‍රමයක් නැති උනත්, අපිට “මනුස්සයා” කිව්වම අමනාපයක් ඇති නොවෙනව වගේ බල්ලත් අමනාප වෙන එකක් නෑ කියල හිතන්න පුළුවනි. නමුත් මොනයම්ම මොහොතක හරි මනුස්සයෙක්ට “බල්ලා” කිව්වොත්…. අන්න එතන ප්‍රශ්ණයක් !!

ඇයි ඒ ?

බල්ලා තමන්ට “බල්ලා” කියපු කෙනාට බුරාගෙන නොපැන්නට මන්නුස්සයාට බල්ලා කිව්වම ලැබෙන ප්‍රතිඵලය වෙනස්. එකම වචනයට පාර්ශවයන් දෙකකි ප්‍රතිචාර දෙකක්.
මනුස්සයෙක්ට ඒ වචනය ආරෝපනය උනාම එතන තියෙන්නෙ නින්දා සහගත බවක්. බරක් ඇති වචනයක්. සිව්පාවෙක් නොවන බව දැන දැනම මනුස්සයෙක් බව දැන දැනම ඒ තැනැත්තාට “බල්ලා” කියල ආමන්ත්රණය ලොකු බරක් තියන වචනයක්.

බල්ලාට “බල්ලා” කියද්දි නොතිබිච්ච “බරක්” මනුස්සයාට “බල්ලා” කියද්දි ඇතිවුනේ කොහොමද ? ඒක කොහෙන් ආපු බරක්ද ?

බල්ලාට “බල්ලා” කියනකොට ඒ වචනයෙ අපිට කෙලින්ම නොදැනුනත් බල්ලාගේ ගතිගුණ මෙය යැයි සමාජ සම්මතයන් පොදියක් ගැබ් වෙලා තියනව. ඒ ගතිගුණ බල්ලාට ආවේණික නිසා අපිට ඒ පිළිබඳව විශේෂ හැඟීමක් නෑ. ඒක හරියට පොල් ගහක පොල් හැදීම අරුමයක් නොවෙනව වගේ.

ඒත් කිසියම් වෙලාවක මනුස්සයෙකුට “බල්ලා” කිව්ව ගමන් අන්න අර වචනය පිටිපස්සෙ හැගිලා තිබුන බල්ලාට උරුම වෙච්ච “බලු ගතිගුණ” සේරම ටික එලියට එනව. ඊට පස්සෙ ඒ දේවල් සේරම ටික අර මනුස්සයාට ආරෝපණය කරල තමයි නවතින්නෙ.

මේ ආරෝපණය සිද්ධවෙන්න කලින් අපි බල්ලා පහත් සතෙක් හැටියට මැනගන්නව. හැබැයි ඒ මැනගැනීමෙන් පස්සෙ ඒ මානයන් “මනුස්සයා” එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. සංසන්දනය කරන්න බෑ. ඒ සමානත්වයක් නැති දේවල් එකිනෙකට සංසන්දනය කරන්න බැරි නිසා. බස් එකයි ලොරියයි යම් යම් පැතිවලින් සංසන්දනය කරන්න පුළුවන්, ගඟයි මූදයි සංසන්දනය කරන්න පුළුවන්. ඒත් “බල්ලයි” “මනුස්සයයි” සංසන්දනය කරන්න බෑ. නමුත් ආරෝපණයක් කරන්න පුළුවන්.

එතනදි වෙන්නෙ බල්ලාගේ “බලු ගති” “මනුස්සයාට” ආරෝපනය කරල මනුස්සයාට ස්වභාවිකවම උරුම වෙලා තියන ගති ලක්ෂණ යටපත් කරල දැමීම. එතනදි මනුස්සයා ගැන පහත් හැඟීමක් ඇතිවෙනව.

ජීවිතයේ තියන භෞතික දේ ගැන සිතීම හරිම ලේසියි, ඒත් එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල භෞතිකව ස්පර්ෂකරල බලන්න බැරි දෙයක් ගැන කතාකරනකොට, හිතන කොට ඒ දේ තේරුම් යන්නෙ පුද්ගල බද්ධ කාරණාවක් හැටියට.

මම “සතුටින්” කිව්වම ඒ සතුටේ ප්‍රතිඵලයක් විදියට ඇතිවුන සිනාවක් දකින්න පුළුවන් උනාට කිසිම වෙලාවක “සතුට” දකින්න බෑ. මගේ සතුට මම තේරුම් ගන්නා විදියට නෙමෙයි තවකෙනෙක් තේරුම් ගන්නෙ. ඔහු එය දකින්නේ ඔහු සතුට නිර්වචනය කරන විදියට. සමහර විට ඔහු සිතන සතුට නොවෙන්න පුළුවන් මම ඒ මොහොතේ අත් විඳින්නෙ.

එතනින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ල අපි ගනිමු මිනිස්සුන්ගෙ නමක්

ධර්මදාස !!

ඔතන පැහැදිලිවම පේන තේරුම තමයි “ධර්මයේ දාසයා” කියන එක, දාසයා කියන්න එක ආයෙ අමුතුවෙන් මෙතන තේරුම් කරන්න උවමනාවක් නෑ. ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට ලිපිය දිග වෙන එක විතරයි. “දාසයා” කියන එක විවිධ භාෂා වලින් ලිව්වත්, කිව්වත් ඒකෙන් ඇඟවෙන්නෙ එකම දෙයක් !

නමුත් “ධර්ම” කියන කොටස ඊට හාත්පසින්ම වෙනස්, එක එක පුද්ගලයා “ධර්ම” දකින්නෙ තම තමන්ගෙ දැක්මට අනුව. එතනදි ඉස්ලාම් භක්තිකයාගෙ ධර්මය කිතුනුවාගේ ධර්මයට වඩා වෙනස් [යම් යම් පැතිවලින්, ඒ දෙකේම මූලාරම්භය පේගන් බවට තියන තර්ක පසෙක ලා සැලකීමේදී]. බෞද්ධයාගේත් එසේමයි. එතකොට “ධර්ම” කියන්නෙ එකිනෙකට වෙනස් අර්ථයක් ඇති දෙයක්.

“ධර්ම” කියන සිංහල අකුරු තුනෙන් ඇඟවෙන දේ, දැක්වෙන දේ නමක් විදියට භාවිතා වෙන්නෙ සිංහලයන් අතරේ විතරක් වෙන්න ඕනෙ. එතකොට සිංහලයන් බහුතරයක් බෞද්ධයන් වීම තුල [නමට හෝ !] සමාජ සම්මතයෙන් “ධර්ම” කියන නම සිංහල බෞද්ධ කියා හඳුන්වාගන්නා සමාජ කොටසට අයිතියි. “ධර්මදාස” කියන නම නාමික බෞද්ධයෙකුට යෙදුවා කියල කිසිම කෙනෙක් අමනාප වෙන්නෙ නෑ. මොකද කිසිම කෙනෙක් ඒ මනුස්සයාගෙ “බෞද්ධ” කම මනින්න යන්නෙ නැති නිසා.

ඒක නිසා තමයි “ධර්මෙ” චන්ඩියෙක් වීමත් “ධර්මදාස” ලෝක හොරෙක් වීමත් “සුධර්මා” ගණිකාවක් වීමත් ලොකු සමාජ කතිකාවතක් දක්වා දුර නොයන්නෙ. කොටින්ම කිව්වොත් අර කලින් කියාපු “බල්ලා” තරමට “ධර්ම” නමක් විදියට බර නෑ මනුස්සයන් හා ගලප්පන්න යෑමේදී.

ඒත් ඊලඟට ගන්න යන වචනෙ සෑහෙන්න බරක් ඇති එකක් !

සිද්ධාර්ථ !!

නමේ තේරුම “අර්ථයක් සිද්ධකරන්නා” යන්න උනත් බෞද්ධාගමිගකයන්ට ඒක ඊට වඩා බරක් ඇති වචනයක්. පරම්පරා ගනනාවක් තිස්සේ බරක් පැටවුන වචනයක්. ඒක නිසා දෙමව්පියන් “සිද්ධාර්ථ” කියන්නෙ නමක් විතරක් උනාට තමන්ගෙ ළමයට ඒ නම තියන්න හිතන්නෙ නැත්තෙ. කිසිවෙක් එහෙම කරන්න එපා කියල නීතියක් නොදැම්මට එහෙම කරන එක හොඳ නෑ කියන සමාජ ඇඟවීමක් තියනව.

අල්ලා !!! ජේසුස් !!!! ඒ දෙකක් එහෙම්මම වෙන්න ඕනෙ මට හිතෙන විදියට.

දැන් අන්තිම වචනය.

සිද්ධාර්ථ බුදු උනා !! බුද්ධා !!!

සිද්ධාර්ථ කියන වචනෙට වඩා බොහොම වෙනස් වචනයක් තමයි ඒක. බුද්ධ කියන්නේ මොනවගේ කෙනෙක්දැයි කියන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ යෙමෙක් බුද්ධ කියන්නේ මේන්න මේ වගේ තත්වයකයටය කියල ලියල තියන දෙයක් ඒ ආකාරයෙන්ම පිලි අරගෙන පුනරුච්චාරණය කරනව ඇරෙන්න. භෞතිකව හිතුවොත් විවිධාකාරයේ මීට පෙර දැකපු පිළිම, සිතුවම් පෙලක් මැවිලා නැතිවෙලා යනවා වගේ පෙනෙයි, නමුත් ඒවා අතරෙනුත් මේ තමයි බුද්ධ කියල පැහැදිලිව තෝරල බේරල ගන්න එකක් නැතිවෙයි.

බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් නොවී පුද්ගලයෙක් පත්වුනා යැයි කියන තත්වයක් නිසා ඊට ලඟාවූ කෙනෙකුට හැරෙන්න බුද්ධ කියන වචනය තේරුම් ගන්න බෑ, නමුත් අපි භාවිතා කරනව පැටවුණු බර වැඩි කමටම තේරුමක් නොදැන. ඒ වචනය වෙනුවෙන් පෙනී සිටිනව ඒ වචනයෙක් ඇඟවෙන්නේ කුමක්දැයි නොදැන, ඒ චරිතය ආශ්‍රය කරගෙන විවිධ නිර්මාණ කරනව මොකක්ද කියල නොදැන. කළුවර කාමරයක ඇති අඳුර අතින් අල්ලන්න හදනව වගේ.

ස්තූතිය : ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම් වෙත !

තොරතුරක් අවශ්‍යයි !!!

මගේ පොත් එකතුවෙන් කොටසක් පුස්තකාලයකට පරිත්‍යාග කරන්නයි හිතාගෙන ඉන්නෙ. ඒක පාසලකට එහෙමත් නැත්නම් යම් පොදු ආයතනයකට වෙන්න ඕන කියල තමයි මට හිතුනෙ. එහෙම තැනක් ගැන හෝඩුවාවක් දන්නවද ?

රත්තරන් දම්වැල්

දම්වැල යමක් ස්ථීර ලෙස, ගැලවී නොයන ලෙස, බැඳ තැබීම සඳහා පාවිච්චි කරනු ලබන්නකි. පුරාණ කාලවලදී දාසයන් බැඳ තැබීම සඳහා යකඩ දම්වැල් පාවිච්චි කා තිබේ. අද අප මෙහිදී ටිකක් විමසා බැලෙමට අදහස් කරන්නේ මනුෂ්‍යයාගේ ශරීරය බැඳ තබන ලද එවැනි දම්වැල් නොවේ. සාමාන්‍යයෙන් යකඩයෙන් සාදනු ලබන ඒ දම්වැලෙන් පවා මිදීම පහසු නොවූව ද ඒවායින් මිදී නිදහස් වීමා මනුෂයාට යම් තරමකට හෝ පුළුවන් කමක් තිබේ. එවැනි දම්වැල් වලට වඩා බොහෝසෙයින් ශක්තිසම්පන්න වූ තවත් දම්වැල් සමූහයක්ම මනුෂ්‍යයාට ඇත්තේය. ඒවා මානසික දම්වැල් වෙති. එම මානසික දම්වැල් අතරෙහි යකඩ දම්වැල් පමණක් නොව රත්තර දම්වැල්ද වෙයි. රත්තරන් දම්වැලෙහි එක්තරා නම්බුකාර වටිනාකමක් තිබේ. එහෙයින් එය කඩා ඉවට දැමීමට ඕනෑකමක් එයින් බඳිනු ලැබූ තැනැත්තාට ක්‍රමයෙන් නැතිවී යාමටද ඉඩ ඇත. අප කාගේත් පාහේ නිදහසට බාධාවක් වී තිබෙන දම්වැල් කිහිපයක් ගැන දැන් කෙටියෙන් විමසා බලමු.

ඔබේ තරහ කාරයෙක් ඇතැයි සිතමු. ඔහු දකින විට ඔබ තුල ඇතිවන්නේ තරහකි. එසේත් නැත්නම් අප්‍රසන්න හැඟීමකි. ඔහු ගැන මතක් වන විට ද එවැනිම හැඟීමක් ඇති කරයි. දකින වාර ගනනටත් වඩා මතක් වන වාර ගනන වැඩිය. ඔහු මතක නැති කර දමන්නට උත්සාහ කරන තරමටම මතක් වීම වැඩිවෙයි. ඔබ අකමැතිවුවද ඔහු ඔබගේ සිතෙන් ඉඒත්කර දැමීම අතිශයින්ම අපහසුය. ඔබත් ඔහුත් දම්වැලකින් බැඳී ඇත. ඒ දම්වැල යකඩ දම්වැලකි. එය ලස්සන නැත. අමිහිරි පෙනුමෙන් යුක්තය. කිසිවෙකු ඒ යකඩ දම්වැල ගැන ප්‍රසංසා නොකරයි. එහෙයින් ඒ දම්වැලෙන් මිදෙන්නට, ඒ දම්වැල කඩා දමන්නට, එයින් බැඳී සිටින තැනැත්තාට සිතෙන්නට පුළුවන.

කෙනෙකු කෙරහි ඔබ ඇල්මෙන් සිටිනවා යයි සිතමු. දෙදෙනා අතර ගැටීමක් නැත. ඔහුගේ ආශ්‍රය, දැක්ම, මතක් වීම, මිහිරි ය. අනික් අතට ඔහුගේ ආශ්‍රය නැතිවී යාම අමිහිරිය. දුක් සහිතය. වෙන වචන වලින් කියනවා නම් ඒ ඇල්ම ඔහු කෙරහි බැඳ තබන දම් වැලකි. එහෙත් එය යකඩ දම්වැලක් නොව රත්තරන් දම්වැලකි.

වෛරයත් ඇල්මත් යන දෙනම දම්වැල් ය. දෙකම සෑදී තිබෙන්නේ ශක්තිසම්පන්න ලෝහ වලින් ය. දෙකෙන්ම සිදුවන කර්යය එකක් ය. එනම් නිදහස නැත්වීම ය. වෙනසකට තිබෙන්නේ එකක් අප්‍රිය වීමත් අනික ප්‍රිය වීමත් ය. වෛරයට් ඇල්මත් අතරෙහි වන තවත් දෙයක් ඇත. ඒ නම් රාගයයි.

රාගය යකඩ සහ රත්තරන් යන ලෝහ දෙකේම මිශ්‍රණයෙන් සෑදුනක් සේ පෙනේ. රාගය වෛරය මෙන් අතිශය ආත්මාර්ථකාමී ය. ඒ සමඟම ඇල්මෙහි ඇති සතුට වැනි ආස්වාදයක් ද රාගයෙහි ඇත්තේය.

තවත් ඇති වෙනසක් නම් වෛරය සහ ඇල්ම තනිකරම මානසික වන අතර රාගය මානසික වින්දනයෙන් සහ ශාරීරික වින්දනයෙන් යන දෙකෙන්ම යුක්ත වීම ය. රාගයෙහි ඇති යකඩ දම්වල් බව එහිම ඇති රත්තරන් දම්වැල් බවෙන් බොහෝවිට වැසීයන බැවින් මෙම දම්වැල අතිශයින්ම සංකීර්ණය. එහෙයින් එයින් මිදෙන්නද අතිශයින්ම අපහසු ය. ඇතැම් ආගම්වල මෙය දේවත්ව ලක්ෂණයක් වශයෙන් සැලකීමද තවත් සමහරක් ආගම්වල රගයෙන් ලැබෙන සැපය විඳීම පින් කොට ලැබිය යුත්තක් සේ සැලකීම ද මෙහි ඇති බන්ධන ස්වභාවය තව දුරටත් ස්ථාවර වීමට හේතුවක් වී තිබේ. දැලට හසුවී එයින් මිදෙන මත්සයෙකු සේ මෙයින් ඉතාම ටික දෙනෙකු පමණක් නිදහස ලබන්නේ එම හේතුවෙන් ය.

මනුශ්‍යයා තුළ පවත්නා ඕනෑම ප්‍රතිපක්ෂ ගුණ දෙකක් ගත් විට එයින් එකක් මනුෂ්‍යයා බැඳ තබනා දම්වැලකි. අනික මනුෂ්‍යයා බැඳ තබනා රත්තරන් දම්වැලකි.

මසුරුකම සහ මසුරුකම නැතිකරන්නට දන් දීම ක්‍රෝදය සහ ක්‍රෝදය දුරුකිරීමට මෛත්‍රී වැඩීම, අහංකාරකම සහ පුරුදුකරගත් නිහතමානී භාවය, භය සහ සිතින් මවාගත් ධෛර්යය, බොරුකීම සහ උත්සාහයෙන් ඇත්ත කීම මේවා ප්‍රතිපක්ෂ ගති ගුණ වලින් කිහිපයකි. මේ ආදී සියල්ලම “පව්” සහ “පින්” යන දෙකෙහි මූලික වශයෙන් ඇතුලත් කිරීමට පුළුවන. “පව” මනුෂ්‍යයා බැඳ තබනා යකඩ දම්වැල ය. “පින” මනුෂ්‍යයා බැඳ තබනා රත්තරන් දම්වැලය ය.

පව සහ පින යනු සාපේක්ෂ වචන වේ. මෙය “පව” යැයි මුළු ලොවම පිලිගත් පවක් වත් මෙය පින යැයි මුළු ලොවම පිලිගත් “පිනක්” වත් නැත. එක රට නරක්ක් වශයෙන් පිලිගත් දෙයක් තවත් රටක හොඳ යැයි පිළිගෙන තිබීමට බැරි නැත. එසේම එක ආගමක “පින” තවහ් ආගමක “පව” වන්නට පුළුවන.

පව සහ පින යන දෙකෙහි සාපේක්ෂතාවය කවරක් වුවද එක කැරුණක් පැහැදිලිය. එනම් මනුෂයෙකු “පව්” කරන්නේත් එම පව් වලින් වැලකීම වූ “පින්” කරන්නේත් “තමා” මුල් කරගෙන බවය. “තමා” තෘප්තිමත් වීම සඳහා බවය.

“තමා” යනු තිබෙන වස්තුවක් වත් පුද්ගලයෙක්වත් නොවේ. එය මතක් වීම් සමූහයක් මත ගොඩනැඟුනු විශ්වාස මාත්‍රයකි, දෘෂ්ථි මාත්‍රයකි. එහෙත් එම දෘෂ්ථිය පුද්ගලයෙකුගේ ස්වරූපයෙන් ක්‍රියා කරයි. “තමා” යන්න ආරක්ෂා කිරීමට උවමනා වන සෑම දෙයක්ම ඒ කෘතීම පුද්ගලයාගෙන් සිදුවෙයි. තමාටම සැප සම්පත් ලනාගැනීමේ රුචිය වන මසුරුකම ඒ කෘතීම පුද්ගලයාගේ පැවැත්මට රුකුලකි. කෙනෙකු මසුරුවන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රයෝජනය සඳහාය. එහෙත් පුද්ගලයා සංඥා මාත්‍රයක් බැව් මොහොතකට හෝ පෙනුනාට පසු මසුරු වීමේ තේරුමක් වත් උවමනාවක් වත් නැතිවී යයි. එහෙයින් මසුරුකම නැතිකරන්නට අමුතුවෙන් දන් දීමක් ඔහුට උවමනා වන්නේ නැත. එහෙයින් මසුරු කම නැමති යකඩ දම්වැලත් මසුරුකම නැතිකිරීමට කරනා දන්දීම නැමති රත්තරන් දම්වැලත් එකවිටම ඔහුගෙන් තුරන්වී යනවා ඇත. ඊට පසු ඔහු යමක් අනුනට දෙන්නේ පින ලබාගැනීමටවත් මසුරු කම නැතිකර ගැනීමේ උපායක් වශයෙන් නොව ඒ මේ මොහොතෙහි දී තමා විසින් අවශ්‍යයෙන් කළ යුතුව තිබෙනා ක්‍රියාවක් වශයෙන් ය.

ක්‍රෝධය සහ ක්‍රෝධය දුරු කිරීමට මෛත්‍රිය වැඩීම සම්බන්ධයෙන් සිදුවන්නේ ද මෙවැන්නක් ම ය.

ක්‍රෝධය වශයෙන් මතුවී එන්නේ තමාට අහිතකර බාහිර හේතුවක් ඒ “තමා” සමඟ ගැ‍ටුණු විටය. “තමා” ආරක්ෂා කර ගැනීම සඳහා එක්කෝ ඒ ක්‍රෝධය යුක්තිසහගත කර ගනියි. එසේත් නැත්නම් ඒ ක්‍රෝධය දුරු කර ගැනීමට උත්සාහවත් වෙයි. මෛත්‍රිය වැඩීම ඒ සඳහා කෙරෙනා එක උත්සාහයකි. ක්‍රෝදය වරදක් නැතැයි සලකා යුක්ති සහගත කිරීමත් නරක යැයි සලකා එය නැතිකර ගැනීමට මෛත්‍රිය වැඩීමත් යන දෙකමැක විදියේ දම්වැල් ය. “තමා” යනු කවරේදැයි මොහොතකටෙ හෝ දු‍ටුවිට මේ ප්‍රතිපක්ෂ ගුණ දෙකම අභාවයට යන්නේ ය. ඊට පසු ඉතිරිවන්නේ ක්‍රෝධයෙන්වත් ක්‍රෝධය නැති කරන්නට ගන්නා උපක්‍රමයකින් වත් නොකැළඹුණු, නොකිළිටි වුණු මෛත්‍රිය යැයි කීමට පුළුවන.

යකඩ හෝ වේවා රත්තරන් හෝ වේවා දම්වැල බන්ධනයක් මිස ආභරණයක් නොවේ.

මේ දම්වැල් දෙවර්ගයටම හේතුව “තමා” යන ‍රැවටිල්ලය. එම ‍රැවටිල්ල ‍රැවටිල්ලක් වශයෙන් පෙනුණු විට “යකඩ” දම්වැල් ද “රත්තරන්” දම්වැල්ද එකම විට කැඩී යනවා ඇත. එයින් නිදහස් වූ මිනිසා “පව්” කරන්නේ වත් “පින්” කරන්නේ වත් නැත. ඔහු කරන්නේ ඒ ඒ මොහොතට සුදුසු වන “ක්‍රියා” පමණ ය.

සිතිවිලි කාණ්ඩ 07-
රත්තරන් දම්වැල් – ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්

%d bloggers like this: