හොඳම කොන්දොස්තර සමඟ මැණික, වස්තුව, පැටියා ඇතුළු තවත් කතා
ජූනි 14, 2012 ප්‍රතිචාර 34
මෙන්න අර කලින් පෝස්ට් එකේ අන්තිමටම කියනව කියාපු හොඳම කොන්දොස්තරගෙ කතාව
මම ඉස්සෙල්ල කිව්වනෙ අපි ගියා කියල අමන්දොළුව – බේස්ලයින් පාරෙ නීතක්කලගෙ බෝඩිමට. අන්න එදා ඉඳල හැමදාම උදේට අපි මේ අනර්ඝ මගී ප්‍රවාගන සේවයේ තමයි යන්නෙ එන්නෙ. අපි යන එන වෙලාවල් වෙන්නෙ උදේ හයයි තිහයි හතත් අතරෙයි ආයෙම හැන්දෑවෙ හතයි අටයි අතරෙ වගේ තමා. මතක හැටියට ඒ පාරෙ බස් වැඩ කලෙත් ඒ වගේ වෙලාවල් වල විතරයි වගේ. ඒ අතරෙ ඕන නම් පැයකට එකක් එහෙ මෙහෙ යන්න ඇති.
බස් විතරක් නෙමෙයි ඔය පාරෙ තියන කඩවලුත් ඇරෙන්නෙ ඔය ඩියුටි ඕෆ් වෙන වෙලාවල් වලට විතරයි. දවාලට ලෑලි දාල වහල තියෙන්නෙ. කොටින්ම දවල් කාලෙට ඔය පාර හරියට අර කව්බෝයි පිචෑර්වල තියන පාළුවට ගියපු දූවිලි පිරිච්ච ටවුමක පාරක් වගේ. ගිණි කාස්ටක අව්වෙ ඇවිස්සෙන දුවිලි හුළඟින් ඒ ගතිය තවත් වැඩි වෙනව.
හැබැයි උදේ හතට විතර හරි හැන්දෑවෙ හතරෙන් පස්සෙ හරි ගියානම් හිතාගන්න බැරිවෙනව මේ ඊයෙ දවාලෙ දැක්කෙ මේ පාර ද කියල ඒ තරමටම වෙනස්. ඇඳුම් කඩවල්, කෑම කඩවල් ඇරල කෙල්ලො කොල්ලො පිරිල. වැඩට යන ගමන් කොල්ලො එහෙම ඒ දුවනගිරි කඩවල් ඉස්සරහට වෙලා තේ යාර දානකල් බලාගෙන ඉන්නව.
තව තැනක කීපදෙනෙක් ප්ලේන්ටියයි සිගරට් එකයි අතේ තියාගෙන ලොකු කතාවක්. ඒ අස්සෙ ඉන්නව ලොකු ලොකු ජපන් බයිසිකල් තියාගත්තු ආම් කට් ඇඳපු අයියලත්. ඒ ඉන්නෙ ඉතිං තම තමන්ගෙ ගෑණු ළමයි මුනගැහිල එදා වේලට කීයක් හරි හොයාගන්න.
මොකක් ?
ඕව් එදාවේල හොයගන්න ! කොන්දොස්තරගෙ කතාව පැත්තක තියල ඒ ගැන කියල ඉන්නම්.
ඔය පැත්තෙ ඉන්නව සමහර එවුන් උපන්තේකට රස්සාවක් නොකරපු, ඒත් රස්සාවක් කරන උන්ටත් වඩා ජැන්ඩිපහට ජීවත් වෙන. උන්ගෙ ආදායම් මාර්ගය උන් යාළුවෙලා ඉන්න කෙල්ලො. කෙල්ලො කියල බහුවචනෙන් කිව්වෙ ඇත්තටම එතන “බහු” සීන් එකක් තියන නිසා. එක කොල්ලෙක්ට අඩුම තරමෙ කෙල්ලො තුන් දෙනෙක්වත් ඉන්නව. මුලින්ම අපි හිටපු ගෑණු බෝඩිමෙ අල්ලපු වැටෙත් හිටිය එහෙම එකෙක්.
මට හොඳටම මතකයි අපි මුලින්ම ගෑණු බෝඩිමට ගිහිල්ල සති දෙකකින් වගේ තමයි වැලන්ටයින්ස් ඩේ එක ආවෙ. ඒ සති දෙකට අල්ලපු වැටේ භෘංගය අපිත් එක්ක ෆිට් උනේ දුං දාන්න උගෙන් ලයිටරේ ඉල්ලලමයි. ඌ බැළුවොත් ඇත්නං තඩි බයිසිකලේ අරං බෝඩිම ඉස්සරහ පාරෙ එහීට යනව මෙහාට යනව. අපි ලයිටරේ ඉල්ලන සුනංගුවෙන් මිනිහ ඒක දෙන්නෙ බෝඩිම ගාව බයිසිකලේ නවත්තන්න ඒක හොඳ හේතුවක් නිසා වෙන්න ඇති. [අහන්න එපා ඉතිං ඇයි අපිට ලයිටරයක් තියාගන්න බැරි උනේ කියල. මේක උනේ ඉඳල හිටල විතරයි, ඒ ටික දවසට තමයි මේකව ෆිට් උනේ]
එක දවසක් උදේ අපි වැඩට යනකොට අපේ පස්සෙන් පන්නගෙන ආපු බුවා, මචංලා මෙන්න මේක උඹලට කියල දුන්නෙ නැද්ද විසාල චොක්ලට් පෙටියක්. ගාල්ලෙදි නං ඒ සයිස් පෙට්ටියක් දැකලම තිබුනෙ නෑ. අම්මේ ඒකෙ විසාල. ඒ මදිවට ප්ලාස්ටික් නැට්ට තියන රෙදි වලින් හදාපු රතු රෝසමලකුත්. ඒකෙ පෙති වල වතුර බින්දු වගේ මුතු ඇටද කොහේදත් අලවල තිබුන. [ඔය මල ගෑණු බෝඩිමේ කාමරේ දොරේ ගහල තිබුන කාලයක් යනකල්ම]
කොල්ලොන්ට කොල්ලෙක්ගෙන් චොකලට් !!!!
අපේ භිරන්ත වෙලා තිබිච්ච මූණු දැකලද කොහෙද බුවා කියාපි, ඕක මට දැන් හම්බු උනේ බං. උඹල ඕක කාපල්ල කියල.
එතකොට අයියට ?
හපොයි බං මට හවසට තව දෙකක් එන්න තියනව. ඔයාකාර චොකලට් කන්නෙ ඇකැක් කාටෙයි කියල බරාස් ගාල හරවං ගියා.
පස්සෙ දැනගත්තු විදියට ඒක මෙහේ සාමාන්‍ය දෙයක්.
ඔන්න ආයෙම කොන්දොස්තර කතාවට,
නීතක්කලගෙ බෝඩිමේ ඉඳල මුලින්ම වැඩට යන දවස. උදේ හය හමාරට විතර ගියා හන්දියට. එතනින් තමයි බස් ඇවරිවත්තට යන්න පටන්ගෙන්නෙ. උදේම හන්දද කොහෙද අපි යනකොට දෙතුන් දෙනයි හිටියෙ. ඒත් කෙල්ලො. අපි උන්ව පහුකරගෙන ගිහිල්ල පිටිපස්සෙම සීට් එකේ දොර පැත්තෙ මුල්ලෙ වාඩි උනා. එකා දෙන්න ඇවිල්ල බස් එක පිරෙනව. වැඩේ කියන්නෙ බස් එකේ සීට් ඔක්කොම වගේ පිරුනත් පිරිමි පරාණ දෙකකට කියල ඉන්නෙ නාලකයයි මායි ඉතරමයි. ඒ ඉන්නෙත් පෙම් මුළු දෙකෙන් එකක.
හිතාගන්නවලකො කෙල්ලො විතරක් පිරිච්ච බස් එකක පෙම් මුල්ලෙ ඉන්න කොල්ලො දෙන්නෙක්ගෙ ඛේදනීය තත්වය !!!
හොඳ වෙලාවට ඊලඟ විනාඩියෙ බස් එක යන්න පටන් ගත්තෙ. ජනේලෙ කපාගෙන එන හුලං පාරත් එක්ක අපේ ඛේදනීය තත්වයත් ගහගෙන ගියා වගේ.
තව පොඩ්ඩෙන් අමතක වෙනව කියන්න, මේ අර තනි දොරේ පාං බාග වගේ රෝසා බස්. මළකඩ ගොඩ. ඒවයෙ හැම තැනින්ම සද්ද එනව හෝන් එකෙන් ඇරෙන්න. සමහර ඒවයෙ ඇතුලට අව්වත් වැටෙනව වහලෙන්.
ඊලඟ හෝල්ට් එකෙන් දුවගෙන ඇවිල්ල දොරේ එල්ලිච්ච එකෙක් “හා හරේ යාං” කිව්ව. බැලින්නං ඒ අපේ කතානායක කොන්දොස්තර. බස් එක හෝල්ට් එකක්ම ඇවිල්ල තියෙන්නෙ කොන්දොස්තර නැතුව.
“හා කෝ බලන්න මගෙ චූටි පැටව් ටික සල්ලි ගන්න බලන්න”
තාලෙට ඇදල පැදල කියපු කොන්දොස්තර ඉස්සරහ ඉඳල සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ.
මූණ පුරාම තඩි කුරුලෑ වලව තියන කළුම කළු කොන්දොස්තර අර ගෑණු ළමයි ලඟට ගිහිල්ල එහෙම කියනකොට මගෙ නං බඩ දඟලන්න පටන්ගත්ත.
“අනේ මයෙ මැණිකෙ කෝ මාරු රුපියලක් දෙන්න රත්තරං”
අනේ ඉතිං අර කෙල්ලත් පර්ස් එක කූරු ගාල රුපියලක් කොහොමහරි හොයල දෙනව මුකුළු හිනාවකුත් එක්ක.
ඔන්න බස් එක නවත්තනව හෝල්ට් වල, ඒ හැම තැනකම ඇහෙන්නෙ මෙන්න මෙහෙම වචන තමයි,
“කෝ මයෙ වස්තුව ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න”
“මයෙ අම්ම පෝඩ්ඩක් අනිත් පැත්ත හැරුනොත් තව එක්කෙනෙක්ට ඇතුලට යන්න පුළුවන්”
“කෝ මේ ඔය මැද ඉන්න බට්ටි, පොඩ්ඩක් එහාට වෙන්න රං”
“අනේ සුදු මැණිකෙ ඔන්න ඔය පඩියත් උඩට නඟින්නකො, නැත්නං මං බිම”
හෙහ් කොහොමද වචන සැට් එක, ආයෙ මෙහෙම කිව්වම පස්සට වෙලා, හරස් වෙලා, පැත්ත පෙරෙළිලා, ඇඹරිලා, නැමිල ඉඩ දෙන්න හිතෙන්නෙ නැත්තෙ කාටද නේද ?
කොන්දොස්තරගෙ වචනෙ බලේ බලන්න ඕන නම් ඇවරිවත්තෙන් බස් එක නැවැත්තුවම බහින සෙනඟ කන්දරාව දකින්න ඕනෙ. 138 රූට් එකේ දොර දෙකේ බස් එකක ලෝඩ් කරන තරමටම සෙනඟ.
සැ.යු :
ඔය වෙලාවට ඔය බස් වලට නඟින්නේ වෙළඳ කලාපයේ වැඩකරනා අය පමණක්ය ඒ අයගෙනුත් සීයට හැත්තපහකටත් වඩා ගෑණු ළමයින් ය. එහෙයින් ජැක්සන්ලා මෙහි ඇත්තේම නැති ගානය. ඒත් කොන්දොස්තර අයියා නං හත් අට වංගියක්ම බස් එක ඇතුලේ එහාට මෙහාට යයි ය !!