ආදරණීය රිදුම – 04


තිළිණි හමු උනාට පස්සෙ ගෙවුන බොහෝමයක් දවස්වල වගේ එදා හැන්දෑවෙත් මම ඈගෙන් සමු අරන් ක්වාටස් එකට ආවෙ බොහෝම සැහැල්ලුවකින්. හරියට අවුරුදු දහ අටේ විස්සෙ කොල්ලෙක් වගේ ප්‍රීතියෙන් පිම්බිච්ච හදවතකුත් එක්ක.

එකමත් එක කාලෙකට කලින් මගේ හිතෙන් ගිලිහිලා ගියපු සැහැල්ලුව නැවත ගෙන එන්න, දුක්ඛ දෝමනස්සයන් බොහෝමයක් දුරු කරල ප්‍රීතියෙන් පුරවල දාන්න ඈ එක්ක ගතකරන එක මොහොතකට පුළුවන්. මම ඒ සුවයට ඇබ්බැහිවෙලා කිව්වොත් හරි.

සමහර සවස් වලට ඇයට මාව මුනගැහෙන්න එන්න වෙන්නෙ නෑ. ඈට මට වගේ නෙමෙයි මිතුරු මිතුරියන් බොහොමයි. ඇගේ සේවා ආයතනයේ විතරක් නෙමෙයි ඉන් පිටත උනත් ඈට බොහෝමයක් මිතුරන් හිටිය.

එක අතකට ඒ වගේ ප්‍රීතිය ඉහවහා ගියපු ක්‍රියාශීලී පුංචි ජීවියෙකුට මිතුරන් ගොඩක් ඉඳීම කොහෙත්තම පුදුමයට කාරණාවක් නෙවෙයි.

තිළිණි නොදැක ගතවෙන සතියක් හිතට ගේන්නෙ ලොකු බරක්, ඒ වගේ දවස් වලටනම් ඇය මෙච්චර ප්‍රීතිමත් නොවුනා නම් හොඳයි කියලත් හිතුන.

එහෙම උනා නම් ඈට මාත් එක්ක ගතකරන්න වැඩිපුර කාලයක් ඉතුරුකර ගන්න තිබුන. ප්‍රීතිමත් සැන්දෑවන් ගොඩක් ඇයත් එක්ක ගතකරන්න තිබුන.

 ඒත් එදා ඈගෙන් සමු අරන් එනකොට තිබිච්ච ප්‍රීතිය ඒ සුවදායිබව තිබුනෙ මගෙ ජංගමයට ඇමතුමක් එන කල් විතරයි.

දුරකතනය අතට අරගෙන මොහොතක් ඒ දැල්වෙන තිරය දිහා බලාගෙන ඉඳල ආන්සර් කලා අන්තිමට.

ආදිත්‍ය…..

අනුරාධාගෙ චෝදනාත්මක හැඬුම්බර කටහඬ මාව නොසන්සුන් කලා. ඈට උත්තර දෙන්න කලින් මම තවත් මොහොතක් කල්පනා කලා, ඒ ඈ කතා නොකලයුතුම මොහොතක්. ඒත් එදත් අනිත් හැමදාකම වගේ කතා නොකලයුතුම මොහොතක ඈ කතා කරනව.

ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ… ?

මගේ නිහඬතාවට ටික මොහොතක් ඉවසාගෙන හිටපු ඈ ඇහුව.

ඇත්තටම මට ඒ වෙලාවෙ දෙන්න සාධාරණ උත්තරයක් තිබුනෙ නෑ අනුරාධා ගෙ හිත නොරිද්දා. මට ඕනෙ වුනේ මුකුත් නොකියා නිහඬව ඉන්න.

මට ඕනෙ උනේ නෑ ඒ හිත රිද්දන්න කොහෙත්තම. ඒත් ප්‍රශ්ණයකට පස්සෙ උත්තරයක් නැතිකම ඇතිකරන නිහඬබව  අනුරාධා නොසන්සුන් කරන දෙයක් කියල මම හොඳාකාරවම දන්නව.

නෑ අනුරාධා.. මම මේ ඩිනර් එක ගන්න හැදුවෙ…

මම ඔහේ කටට ආවක් කිව්ව.

හානේ.. එහෙම නම් මම ආයෙ පස්සෙ කතාකරන්නම්.

ඈ එහෙම කිව්වත් ස්වරයේ තිබුනෙ හරියට “හා ඒකත් එහෙමද” කියන්න වගේ දෙයක්. ඒක නිසා අවිනිශ්චිත සංවදයක් කල් දාල හිතෙන් පිච්චි පිච්චී ඉන්න අකමැතිහන්දම මම,

නෑ අනුරාධා.. මම තව පොඩ්ඩකින් කන්නම්, ඔයාගෙ දවසෙ වැඩ ටික ඉවරයිද ?

කියල අහල සංවාදය පටන්ගත්ත..

ඔව්.. මගේ වැඩ නම් ඉවරයි, ඔයාගෙ වැඩනම් තවම ඉවර නෑනෙ ?

ඈගෙ ඒ ප්‍රශ්ණය ආයෙ මගේ පපුව ඇවිළුවා. ඉස්සර ඉඳලම අනුරාධා වහෙන් ඔරෝ කතාවලට හරිම දක්ෂයි, ඒ කරල පැත්තකට වෙලා මම දතකට පූට්ටුකරන් ඉන්න දිහා උපහාසයෙන් බලාගෙන ඉන්නෙ නපුරැ රැජිනක් වගේ. ඒ හොඳටම ඇති මාව පුච්චන්න.

හෙහ් හෙහ් හෙහ්.. ඔව් මම තවම ඩිනර් එකවත් ගත්තෙ නෑනෙ. ඊට පස්සෙ ඔෆිස් එකේ පොඩි වැඩක් කරන්නත් තියනව.

මම මගේ කිසිම තේරුමක් නැති කෘතීම හිනාව ඉස්සරහට දාල කිව්වෙ ඒ අවස්ථාවෙ ඇතිවෙච්ච අපහසුතාවයෙන් මිදෙන්න.

අනේ ඉතිං අපිට බෑනෙ ඔහොම ලස්සනට හිනාවෙන්න.

ඈ තවත් හීයක් හදවතේ ගැඹුරුම තැනකට ඉලක්ක අල්ලලා විද්ද.

ගෑණුන්ට මොකද මංද කියන්න කියන දෙයක් එක සැරේටම කියල දාන්න බැරි ඩිංග ඩිංග කොනිත්තන්නෙ නැතුව. කොහොම උනත් අනුරාධාට මොනව නැතත් ඒ හැකියාව නම් උපරිමේටම පිහිටල තියන වග කලින් වතාවල් වගේම දැනුත් ඔප්පුකරනව.

මොකක්ද අනුරාධා ඔයා ඔය නොකියා කියන්නෙ…. බැරිම තැන මම කෝච්චියට බෙල්ල තිව්වෙ එක පාරටම අහවර වෙනවනම් ඒකත් එකක් කියල හිතල.

මොනව නොකියා කියන්නද ආදිත්‍ය. හිතේ හොර තියං ඉන්නකොට හොඳකට අහන දෙයක් උනත් දැනෙන්නෙ රුයිතෙට තමා.

ඈ  මගෙ හුස්ම හිරකරනව.

විකාර කියවන්නෙ නැතුව කියන්න දෙයක් තියනවනම් එක පාරකට කියන්න.

කවුද තිළිණි කියන්නෙ ?

ආදරණීය රිදුම – 02


තිළිණි ඇයි මට සමීප උනේ කියල මට තවම පැහැදිළි නෑ.

මෙන්න මේ හේතුවය කියල එකක් පෙන්නන්න හැදුවම තව වෙන හේතුවක් මතුවෙනව, ඒ වෙලාවට කලින් එක නෙමේය පස්සෙ මතුවෙච්ච එකය කියල පිළිගන්න හැදුවම මෙච්චර වෙලා නොතිබිච්ච තවත් හේතුවක් තුන්වෙනි එක විදියට මතුවෙනව, ඒකට පස්සෙන් හතර, පහ, හය විදියට එකක් පස්සෙ එකක් විදියට හේතු පෝලිමක්ම ඇවිල්ල මාව එහෙම්පිටින්ම අවුල් කරල දානව.

ඒවෙලාවට ආයෙම අර කලින් ආව වේදනාව මහා බරකුත් එක්ක ඇවිල්ල හිතේ වාඩිවෙනව. ඊට පස්සෙ ඒක පපුවෙ ඉඳල පටන් අරගෙන ටික ටික බෙල්ල පහුකරන් නිකට, කම්මුල්, කන් පහුකරන් ඔළුව ඇතුලට වැදිල තෙරපිලා තෙරපිලා සිතුවිළි ඔක්කොම හිස්කබලෙන් එලියට තල්ලුකරනව කෙස් ගහේ ඉඳල කකියන ඔලුවෙ කැක්කුමකුත් එක්ක.

කොච්චර වේදනාවක් දැනුනත් කිසිම විදියකින් ඒ සිතුවිළි මතුවෙන එක නවත්තන්න ක්‍රමයක් තිබුනෙ නෑ.

නවත්තන්න උවමනාවකුත් එන්නෙ නෑ. ඒක තමයි මම ජීවත්වෙනවා කියල දැනෙන එකම මොහොත. ඒක නිසා කොච්චර පීඩාවක් උනත් මමත් ආසයි ජීවත්වෙනවා කියල දැනෙනවට.

තිළිණි එහෙමටම හැඩ රුවක් තියන කෙල්ලෙක් නෙමෙයි හිත ඇදිල ගියාට, මගෙ ජීවිතේ ඊට වඩා හැඩ නැවතුම් පොළවල් කීයක් නම් පහුකරන් ආවද. අන්තිමට නැවතිච්ච අනුරාධා ඒ අතරෙන් කෙනෙක්.

තිළිණි අනුරාධා එක්ක හැරෙන්නවත් පුළුවන් කෙනෙක් නෙමෙයි, කොටින්ම අනුරාධා මහා කන්දක් නම් තිළිණි පොඩි තෙත පස් කැටියක්. ඒත් අනුරාධා රිදුමක් වෙලා හිටපු මට තිළිණිගෙ ඒ
පුංචිකම කොහොමත් ගැටළුවක් උනේ නෑ.

අල් ෆරිස් එකේ දොලොස්වෙනි තට්ටුවෙ අවුරුද්දක් තිස්සෙ හිරවෙලා හිටපු මට තිළිණි හම්බුවෙන්නෙ හරිම අහම්බයකින්.

වෙනදා වගේම ඩියුටි ඕෆ් වෙලා ටැක්සියක් එනකල් ලොබි එකේ ඉඳපු මම කනට හුරුපුරුදු වචන ඇහෙන දිහාව බැලුවෙ ඉබේටම වගේ. මට පිටුපාල තියන ෆෝන් බූත් එකේ ඇතුලෙන් ඒ හඬ ඇහෙන්නෙ. උවමනාවටත් වැඩියෙන් හයියෙන් කරන කතාව අහන් ඉන්න මම ඉඳපු තැනින් තවත් අඩි කීපයක් පස්සට උනා.

එතනටත් ටැක්සි නවත්තන තැන හොඳට පේනව. ඒක නිසා කමක් නෑ, ටක්සියක් ආවොත් ඉක්මනට යන්න පුළුවන්, අනික මම මේ අහන් ඉන්නෙ අපේ කෙනෙක්ගෙ කතාවක්නෙ, විදේශිකයො ගොඩක් මැද මගේ ඒ කැත කෑදර සන්වන්දීම එහෙම සාධාරණීයකරනය කරගත්ත.

විනාඩි පහකට විතර පස්සෙ බූත් එකේ දොර ඇරගෙන බොහොම සාමාන්‍ය පෙනුමක් තියන ගෑණු ළමයෙක් එළියට ආව.

ඈ ඇඳල හිටියෙ වැළි පාටට ලඟින් යන දුඹුරු පාට ලිනන් කලිසමක්, ඒකටම ගැලපෙන පර්ල් පාට දිග ටොප් එක දනිස්සට පොඩ්ඩක් විතර උඩට වෙනකල් වහගෙන. වම් උරේ එල්ලිලා ඉන්න අහිකුණ්ඨික මල්ලෙ බරට ඇඳුමෙ කර වැඩිපුරත් එක්ක පහලට ඇදිල.

මම විගහට ඇස් අහකට ගත්ත. නැත්නම් ඈ මම නරක මිනිහෙක් විදියට තීරණය කරන්න හොඳටෝම ඉඩ තිබුන

ඔයා ලංකාවෙද ?

කිසිසේත්ම නොහිතපු විදියට මගේ කට ඉස්සර උනා. එයා පුදුම වෙන්න කලින් මම ම මගේ වචන ගැන පුදුම උනා. තත්පර කීපයක් ගියා උනේ මොකක්ද කියල තේරුම් ගන්න.

ඔව් නෙ.. ඔයත් ලංකාවෙද ?

යාත්‍රිකව වගේ කියවිච්ච ඒ දෙබස්වලින් පස්සෙ තවත් පොඩ්ඩක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටපු අපි දෙන්නගෙ හිනාව එක සැරේම පුපුරල ගියේ ඒක කොච්චර මෝඩ සංවාදයක්ද කියල කියන්න වගේ.

ඊට විනාඩි පහලොවකට විතර පස්සෙ අපි දෙන්න හිටියෙ කොෆී බීන් එකේ රෙඩ් වෙල්වට් දෙකක් කකා.

මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් එකේ නැති ගොඩක් කේක් වර්ග වලින් පිරිච්ච කැබින් එකෙන් රෙඩ් වෙල්වට් තෝර ගන්න අපි දෙන්න ඔට්ටු ඇල්ලුවෙ හරියට අවුරුදු ගානක් දැන අඳුරගෙන හිටිය දෙන්නෙක් වගේ.

එදායින් පස්සෙ හැම සති අන්තයකම අපි දෙන්නගෙ සුපුරුදු මීටින් පොයින්ට් එක උනේ කොෆී බීන් එක. සමහර දවස් වල පැයක් හමාරකට පස්සෙ පරිසරය ඒකාකාරී උනාම අපි දෙන්න යනව කොෆී ෂොප් එකේ එලියෙ ස්මාරකයක් වගේ තියල තියන වොක්ස් වැගන් එකට එහා පැත්තෙ තියන සන් ෂේඩ් එක යටට.

එක දෙයක් කියල නෑ, අපිව පහුකරන් යන ගැහැණියකගෙ පර්ෆියුම් සුවඳෙ ඉඳල හඳ, තරු වෙනකල් කතා කරනව.

තිළිණි කියන්නෙ පුදුමයන් ගොඩකගෙන් පිරිච්ච කෙල්ලෙක්, නිතරම ප්‍රීතියෙන් උතුරන, කුතුහලය ඉහවහා ගියපු අපූරු ජීවිතයක්. ඈ ගේ ඒ ප්‍රීතිමත් කම නොනවතින උනන්දුව, නිතරම අවධානයෙන්, කුතුහලයෙන් ඉන්න ගතිය මම මීට කලින් දැකල තියෙන්නෙ ජර්මන් ශෙපර්ඩ්ස්ලගෙන් විතරයි කියල කිව්වොත් ඒක ඈට කරන අපහාසයක් වෙන එකක් නෑ කොහෙත්තම.

ගෙදර ඉන්න වෙලාවටත් මගේ ප්‍රියතම මොහොතවල් ගතවෙන්නෙ නිතරම කන් උස්සගෙන ප්‍රීතියෙන් ඉන්න ටෙඩී ලඟ. ඌට තියෙන්නෙ බොහොම තියුණු අවධානයක්, මං ඩිංගක් හයියෙන් හුස්මක් හෙලුවත් බිම තියාගෙන ඉන්න නිකට විගහට උස්සල තෙත ඇස්වලින් මගේ දිහා බලාගෙන ඉන්නෙ හරියට ඇයි කියල අහන්න වගේ.

සමහර වෙලාවට මම ඌත් එක්ක ඔහේ කතා කරනව.. එකම දේ කී සැරයක් කිව්වත් නොනැසෙන උනන්දුවකින් අහන් ඉන්න ඌට පුලුවන්. ලංකාව දාල එන්න කිට්ටුව කැටයම් කපාපු හීතල වීදුරුවට අමතරව මට ඇහුම්කන් දුන්න එකම ජීවියා ඌ.

තිළිණිත් ඒ වගේමයි ඈට ඕනෑම කම්මැලි මාතෘකාවක් හරි අපූරු උනන්දුවකින් හූ මිටි තිය තියා අහන් ඉන්න පුලුවන්.  ඒ හැකියාව හරිම සුන්දරයි. සමහර විටක ඒක මවාගත්තු උනන්දුවක්ද කියලත් නොහිතුනා නෙවෙයි, ඒත් ඒක ගැන අහල ඈට අපහාසයක් කරන්න මට කිසිම වෙලාවක හිතුනෙ නෑ.

මම ඒ මොහොත ආස්වදනය කලා ……….

ආදරණීය රිදුම – 01


මගේ ඔලුව ඇදුම් කනව තිළිණි ලංකවට ආවා කියල දැනගත්ත වෙලාවෙ ඉඳල.

මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට එයි කියල, ඒ ආවත් මෙහෙම මට කලින් නොකියාම එයි කියල……..

වීදුරුවෙ හීතල තොල් දෙකටම දැනෙන්න තද කරගෙන මම මිමිනුවෙ රහසින් වගේ.

ඔයා ලංකාවට ගියාම පිළිගන්න එයා එයි නේද එයාපෝට් එකට …. ම්ම්…… ඒත් කවදා හරි මම යනදාට කවුද මාව පිලිගන්න එන්නෙ….. ?

එනකොට ආවා වගේම කාත් කවුරුවත් නැතුව එදාටත් මම යයි නේ ?

ක්වීන් ආලියා එකේ තඩි හත්තක් යටට වෙලා ලගේජ් වලට බර දීල හිටපු මගේ වම් උරහිසේ ඔලුව තියාගෙනෙ ඈ එහෙම කියනකොට ඉස්සරහට තියපු කකුල ආපසට ගන්න කී සැරයක් නම් හිතුනද.

හරියටම මෙන්න මේකයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න බැරි හේතුවක් ඒක වැලැක්වුව.

අන්ත දෙකෙන් මොකක් තෝරාගන්නද කියල හිතාගන්න බැරි වෙලාවල හිරවෙන රික්තකයේ මම එවෙලෙ හිරවෙලා ඉන්න ඇත්තෙ. කවුරු හරි මට මෙන්නෙ මෙහෙම කරපන් කියල අණක් දෙනවනම් කොච්චර හොඳද කියල හිතෙන තරමටම හිත මහා පීඩනයකින් පිරිල තිබුනෙ.

ඒත් මට කවුරුවත් එහෙම කිව්වෙ නෑ.

මටම මගේ තීරණවලට වගකියන්න වෙනවට කොහොමත් බය මම ඉස්සර වගේම මගේ හිතට හිතන්න නොදී අයිස් කන්දක් කරගත්ත.

වෙන කෙනෙක් කියන ඔනෙම දෙයක් පිළිගන්න තරමටම මම හිස් වෙලා තිබුනෙ, ඒ කෙනා තිළිණිද අනුරාධා ද කියල ගැටළුවක් තිබුනෙ නෑ.

මොහොතක හිතුන තිළිණි එයාගෙ දිළිසෙන ඇස්වලින් බලල අනේ යන්න එපා කියයි කියල, ඒ මොහොතෙම ආයෙම හිතුන අනුරාධගෙන් කෝල් එකක් එයි කියල.

අන්තයන් දෙකක දෝලනය වෙන හිතක් ගේන්නෙ පුදුම වේදනාවක්. කවුරුහරි මේ වේදනාව සමනය කරවනව නම්……

පපුව ඇතුලෙන් පටන්ගන්න ගුලියක් ටිකෙන් ටික ලොකු වෙලා ඇවිත් උගුරෙන් පිටවෙන්න තෙරපෙනව.

ඒක දරාගන්න බැරි තරමේ වේදනාවක් !

ඔලුව පුපුරන්න තරම් වේදනාවක් !

නෑ තිළිණි, කවුරු නැතත් මම එන්නම් එදාට ඔයාව ගන්න එයාපෝට් එකට !!!

නියොන් එලියට දිළිසෙන කඳුළු පිරුන දුඹුරු ඇස් දිහා බලාගෙනෙ මම කිව්වෙ ඉල ඈට තෙරපගෙන එලියට පනින්න හදන හදවතේ වෙදනාව තිළිණිට දැනෙයි කියල බයට අමාරුවෙන් හිරකරගෙන.

ඒත් ෆයිනල් කෝල් එක දුන්නට පස්සෙ උරහිසේ තියගෙන හිටපු ඔළුව මගෙ පපුවට තියල අත් දෙකෙන් මාව තදින් බදාගත්තට පස්සෙනම් ඈට ඇහෙන්න ඇති මගෙ පපුව දෙදරවාගෙන හමන කුණාටුවෙ සද්දෙ.

දිළිසි දිළිසි තිබුන ඇස් දෙකෙන් එක පාරටම කම්මුල් තෙමාගනෙ රූටගෙන වැටුනු කඳුළු මගේ ඩෙසට් බූට් එක උඩට වැටිල ඒකටම වියැකිලා යන හැටි මම බලාගෙන හිටියෙ ආයෙම ඔළුව උස්සල ඒ දුඹුරු පාට ඇස් දිහා බලන්න බැරි කමට.

ඒ කඳුළු වගේම මගේ මතකයත් දියවෙලා සැඟවෙලා යනවනම් කොච්චර හොඳද කියල කී සැරයක් නම් මට හිතුනද…. .

ඒත් මතකයන් කියන නපුරු පුංචි කුරුමිණියො අපිත් එක්ක ජීවිතකාලෙ පුරාවටම යන යන තැන ඇවිල්ල සැරින් සැරේ උන්ගෙ පුංචි අඬු වලින් හිතේ සියුම්ම තැන් පාරනව.

එච්චර වේදනාත්මක සමුගැනීමකින් මාසයක් යන්නත් කලින් ඇයි ඔයා මට නොකියම ආවෙ තිළිණි ? එදා මට විතරයිද දුක හිතුනෙ ?

හීතලෙන් ගල් වෙලා මගේ ඉස්සරහ තියන වීදුරුවෙන් මම ඇහුවෙ උත්තරයක් බලාගෙන කියල මම කිව්වොත් මම පිස්සෙක් කියල කියයි. ඒත් මේ කතාව අහුවොත් මාව වරදවා වටහා නොගනී කියල හිතන්න බැරි කිසිම කෙනෙක් නැතිකොට හීතල වීදුරුවක් උනත් හොඳ අහන් ඉන්නෙක්.

ඇත්තටම මට ඕනෙ වෙලා තිබුනෙ වක්කරන වතුර කලගෙඩියම උරාගෙන මුකුත් නොවුනා වගේ බලාගෙන ඉන්න මහ පොළොවක් වගේ මනුස්සයෙක්.

එහෙම කෙනෙක් නැති වෙලාවට වීදුරුවක් උනත් හොඳ මිත්‍රයෙක්. ආයෙ කටක් ඇරල වචනයක්වත් කිසිම කෙනෙකුට නොකියයි කියල විස්වාස කරන්න පුලුවන් මිත්‍රයෙක්.

තනිකඩව ගතකරපු කාලයට සම වෙන්න වගේ විවාහ ජීවිතයක් මාත් එක්ක පහු කරපු අනුරාධාටත් මගෙ කතාව තේරුම් ගන්න බැරිවෙච්ච කොට වෙන මනුස්සයෙක් මගේ හිත තේරුම්ගනී කියල හිතන එකත් විහිළුවක්.

ඒත් …..

සංස්කෘතික ඝාතන …..

ඇය සිය දිවි හානි කරගත්තාය…..

මියගියාට පසු සියල්ල හමාරයැයි අත පිසදාගත නොහැක. ඒ ඇයගේ මරණයට සමාජය වගකිවයුතු හෙයිනි…..

නැත !

සමාජය යනුවෙන් කියූ සැනින් මෙය පොදු කාරණාවක් වී ටොන් එක මෛක්‍රො ග්‍රැම් වී දියවී යයි. එහෙයින් මෙහි වගකීම ඔබේය !.

මන්ද යත් සමාජය සැදුම්වන්නේ මගෙන්, ඔබෙන්, ඔබෙන් සහ ඔබෙන් හෙයිනි. එහෙයින් ඔබ කරනා සෑම ක්‍රියාවකම දාම ප්‍රතික්‍රියාව අනෙකා ඔස්සේ චක්‍රීයව මුළුමහත් පරිසරය පුරාම ගමන් කරයි. ගමන් කර ඉන් නොනැවතී පසුපසින් පැමින නොසිතූ මොහොතක ඔබ සහ මම ගොදුරු කරගනී.

මෙම චක්‍රය අතිශය සංකීර්ණ අතිශය දුරක් ආවරණයකර නැවත පැමිණ ඇතිහෙයින් වේදනාව දැනුන පසු අන්ද මන්දවීම හැර වෙන යමක් කල්පනා නොවේ.

සංස්කෘතියද සමාජයේම නිර්මාණයකි. එහෙයින් සමාජය නිර්මාණය කල අප ම සංස්කෘතිය නිර්මාණය කිරීමේ වගකීමද දැරිය යුතුය, එහි වගකීම අන් කිසිවෙකුට පැවරිය නොහැක සියල්ල ඔබගේ ය, සියල්ල මගේය.

එනමුත් මේ සංස්කෘතිය පෞද්ගලිකව ඔබට සහ මට අවශ්‍ය නැත !!

සෑම විටම එය අවශ්‍යවන්නේ අනෙකාට ය.

ඔබ සහ මම අනෙකාට ඇති බිය හේතුකොට ගෙන මෙම පෞද්ගලිකව අනවශ්‍ය දෙයක්වූ සංස්කෘතිය ඔබට සහ මට අවශ්‍ය දෙයක්බවට පත්කරගෙන ඇත. පලමු මහා විහිළුව ඇත්තේ එතන ය.

ඔබ ඔබට හැර අනෙකුත් සියලු දෙයටම බියෙන් වෙසෙන්නෙකි. කොටින්ම මම ඔබටත් ඔබ මටත් බියෙන් පසුවන්නෙමු එහෙයින් අනෙකාට අවැසි යැයි ඔබ සිතන එනමුත් ඔබට අවැසිනොවන යමෙකට ඔබ ස්වයං නතුවීමකට ලක් වී ඇත.

දෙවන මහා විහිළුව නම් ඔබ නොදැන සිටියද අනෙකාටද එය අවශ්‍ය නොවීමයි. අවසනාවකට එය කෙතරම් විහිළු සහගත වුනත් ඒ පිළිබඳව කල්පනාකොට හැඬීමට මිසක් සිනහාවීමට ඔබට සහ මට හැකියාවක් නොමැත. අවශ්‍යනම් එය තෙවැනි මහා විහිළුව ලෙස සැලකීමයද හැක.

එනයින් ගත් කල,

ඔවුන් සියල්ලන්ගේම ක්‍රියා කලාපයනට ඔබ සහ මම වගහිවයුතු ය. කරළියේ රඟනාවුන්ට පමණක් දබර ඇඟිල්ල දිගුකර නිහඬවීමට ඔබට සහ මට සදාචාරාත්මක අයිත්යක් නැත ඒ ඔවුන් රඟදක්වන්නේ ඔබ සහ මම ලියාදුන් තිර පිටපත හෙයිනි.

එකිනෙකාට ඇඟිළි දිගුකොට තම මනස්තාපයන් තාවකාලිකව සංසිඳවා ගැනීම පසෙක ලා තමන් තුලට ම නැඹුරු වී සිතීමට කාලයයි. නො එසේනම් හෙට දින කරලියෙ ශෝකාන්තය රඟදක්වන්නේ ඔබගේ සහ මගේ දරුවන් නොවීමට කිසිඳු හේතුවක් නොමැත.

එසේ වූ දින මම ඔබට වෙඩි තබා මටද වෙඩිතබා ගනිමි. එපමනක් නොව ඔබද එසේ කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.

නමුත් ඊට පෙර ඔබට සහ මට කාලයක් ඉතිරිවී ඇත, ඒ අන් යමක් සඳහා නොව ඔබේ සහ මගේ දරුවන් වෙනුවෙන් අලුතින් තිරපිටපත් ලිවීමට ය.

එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය

එක්ස්ක්‍යුස් මී …

මට ඉස්සරහින් ග්‍රීන් ඇපල් ජූස් කඩේ පෝලිමේ ඉඳපු වියත් දෙකේ සාය කොටයක් ඇඳල ඉඳික‍ටු දෙකක් වගේ හීනි අඩි තියස සපත්තු දෙකක් දාපු එක්සෙකටිව් ලූක් එකක් තිබුන ගෑණු ළමයගෙ කනට කිට්‍ටු කරල කඩුවෙන්ම කෙ‍ටුවෙ මේ නවම් මාවතේ ඉන්න ගෑණුන්ගෙ හැටි දන්න නිසා.

ඔව් ඔව්.. මුන් මහ අමුතුම එව්වො ජාතියක්. ඕං නිකමට හිතමුකො මං ඔය වෙලාවෙ සිංහලෙන් කතා කලා කියල. [ඔය එක්ස්ක්‍යුස් මී කියන එකට සිංහලෙන් කියන්නෙ “මේ.. නංගී කියල නේද ?] එහෙමනං ඉතිං තත්වය ශෝචනීයයි ! නිකං ඔළුව ගස්සල හැරිල බලන්නෙ හිඟන්නෙක් මේ ජූස් බාර් එකක අහවල් දෙයක් කරනවද කියල වගේ. තව යාළුවොත් එක්ක හෙම උන්නොත් කට කපාපු නෝන්ඩි හිනාවක් ලැබෙන්නත්, වැරදිලාවත් කොල්ල ඒ අහල පහලක හිටියොත් දවා අළුවෙලා යන බැල්මක් වැටෙන්නත් බැරි නෑ.

ටිකක් විතර බර කරල කනටම කිට්‍ටුකරල කොටාපු කඩු පාරෙන් ඔලුව හරවල බලාපි පෝනිටේල් එකත් ලතාවකට ගස්සලම.

හරියට හරි.. මේ දුල්මිණී තමා.. ඔය තියෙන්නෙ දකුණු ඇහිබැමට උඩින් තියන පුංචි උපන්ලපෙත්.

යර්ස් … ?

මොකක්ද මංදා මහ අමුතු විදියට ඇස් දෙකත් පුංචි කරල ඒ මදිවට නළලත් ‍රැලි කරල මගෙන් අහපි.

ඔයාට මාව අඳුරන්න පුළුවන්ද ?  [හරි හරි.. කඩුවෙන් කොටල පොටක් පාදගත්තම හෙළුවෙන් වනාගෙන වනාගෙන යන්න ඇහැකි, අනික මේ මම දන්න කියන ළමයෙක්]

හ්ම්…. අමාරුයි !!!

හුටා ! දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද ?

ඔයා ගාල්ලෙ නේද ?

ඔව්…. ?

ඔයා ලියනගේ මිස් ගෙ ක්ලාස් ආව නේද ?

ඔව් ඔව්.. ඔයත් ආවද ?

මේකි කොටියම කාපිය….. ඇයි හත් ඉලව්වෙ මං මේකි හන්ද හොම්බ කට කඩා ගත්ත. වස විළිලැජ්ජා වින්ද.. ඒ සේරම අමතකයි එහෙනං ඈ…..

ම්ම් …….. ආනේ මේ නවම් නේද ?

අප්පා ඇති යාන්තං මතක් උනා…..

පොඩි මතකයක් තිබුන. හරියටම මතක් උනේ ලියනගේ මිස්ගෙ ක්ලාස් ආව කිව්වමනෙ. කොහොම අමතක වෙන්නද අප්පා ඔයා එදා බෙල්ල කඩාගන්න හදාපු හැටියට !!

ෂ්…… කෑගහන්න එපා මනුස්සයො !!! වටේ පිටේ මිනිස්සු ඉන්නව.

හි හී හී….

——————————————————————————————–

හරි හරි.. කෙළ හලාගෙන හිටියට එතනින් එහාට අපි දෙන්න අතරෙ වෙච්ච කතාවෙන් තමුන්ලට වැඩක් නෑ…. 😉 ඒක නිසා දැනගන්න ඕනෙම නම් අර බෙල්ල කඩාගත්ත සිද්ධිය කියන්නම්. අහගන්නවලා…

——————————————————————————————–

මේ කියන්නෙ ඉස්කෝලෙ එකොලහ වසරෙ තුන්වෙනි වාරෙ විතර.

ඔය කාලෙ කියන්නෙ මහ අමුතු ආසාවන් එන කාලයක්නෙ. මට තිබුනෙ බයිසිකල් උණක්. එහෙමයි කිව්වට සන්තකේටම තිබුනෙ ඊට අවුරුදු පහකට විතර ඉස්සෙල්ල අරගෙන දීපු ඊස්ටන් ස්පෝට් බයිසිකලේ විතරයි. ඕකට තමයි මම දාපු සෙල්ලං ඔක්කොම කලේ.

මාසෙකට සැරයක් විතර ඕක මස් කරල ග්‍රීස් තෙල් එහෙම ගාල බෝල මාරුකරන ඒව එහම කරල බ්‍රේක් කේබල් ඔයිල් කරල ෆුල් සර්විස් එකක් දීල ගන්නව. සමහර දවස් වලට ඇණ මුරිච්චි දෙක තුනක් වැඩිපුරත් ඉතිරුවෙනව. ඒව ඉතිං ඊලඟ සැරේ ගලවල හයි කරද්දි සමහර විට හයි කරගන්න තැන් අහුවෙනව. එහෙම නැත්නං මගෙ අඬු බඬු දාපු පෙට්ටියෙ මුල්ලකට වෙලා ඔහේ තියෙනව.

මේ ගලවල හයිකිරිල්ලට හරියටම ගැලපෙන ආයුධ නැති නිසා ගොඩක් වෙලවට ලොකු යතුරු අස්සට පැතලි ඉස්කුරුප්පු නියනෙ තලේ එහෙම ඔබල හරියන සයිස් එකට පොඩි පොඩි එහෙමෙහෙ කිරීම් කරල තමයි සමහර ඇණ ගලවන්නෙ. පැඩ්ල් එක බයිසිකලේට හයිවෙන තැන තියන ලොකු කප් එක ගලවන්න නං ඒකෙ තියන කට්ට වලට ඉස්කුරුප්පු නියනක් තියල මිට්යෙන් ගහන්නම ඕනෙ. නැත්නං ඒක ගලවන්න බෑ. ඒ දවස් වල හන්දියෙ බයිසිකල් සාප්පුවෙ පැටි අයිය වැඩ කරන දිහා බලාගෙන ඉඳල තමයි ඒක අල්ල අගත්තෙ.

කොහොම හරි මේ නියමිත ආයුධ නැතුව කරන බාස් වැඩෙන් සමහර ඇණ වල ඔළුව ගෙවිල ගිහිල්ල ගලව ගන්නත් කොහොමහරි කරල ගලවපුව ආයෙම හයි කරගන්නත් බැරිවෙන වෙලාවල් අනන්තයි. එහෙම උනාම අන්තිමට සරණෙට එන්නෙ මහ විසාල කටර් අඬුවක්. ඒකෙ මැද තියන කට්ට රවුමට දාල දෑත බදල කැරකෙව්වම හරි. ඒකත් මහ කාලයක් කරන්න බෑ. අටපට්ටං ඇණ ඔළුව රවුං වෙනවනෙ. වැරදිලාවත් පිට පොට ගියොත් එහෙම ඇනේ පොට කැපෙනවනෙ. ඊට පස්සෙ ඉතිං අම්මට නාහෙන් අඬල කීයක් හරි ඉල්ලගෙන අලුත් ඇණයක් මුරිච්චියක් දාගෙන තමයි වැඩේ අහවර වෙන්නෙ.

මෙච්චර විස්තරයක් කියාගෙන ආවෙ මට ඒ සංගෙදිය උනේ කොහොමද කියන්න.

ඔන්න ඒ සෝචනීය දවසට එළි උනා. අතුරු ආන්තරාවක් නැතුව ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර එහෙම ආව සනීපෙට. තුන හමාරට යන්න ඕනෙ කිතුලම්පිටියෙ ලියනගේ මිස්ලයි ගෙදරට, එහෙ තමයි අපෙ ඉංගිරිස් පන්තිය. ස්කූල් බස් එකේ ඉස්කෝලෙ ගියාට අපි කොල්ලො ඔක්කොමල වගේ පන්ති යන්නෙ බයිසිකලෙන්. ඒක හරි ජොලි ගනමන, අතර මඟදි බීම පැකට් බොන එක තමයි ජොලිම වැඩේ, ඩොංග වාරෙට ඉතිං ඒව. ඉඳල හිටල පන්ති ඇරිල එන ගමන් ගලගෙඩිය පැත්තෙන් ඇවිල්ල තම්බි කඩෙන් ආප්ප කන්නත් අමතක කරන්නෙ නෑ. ඒකට ඉතිං සතියක දෙකක පොකට් මනී ඉතුරු කරගන්න ඕන නිසා ඒ ගනම නම් ඉතිං මාසෙකට දෙපාරක් නැත්නං තුන් පාරක් තමයි.

මේ පන්ති යන ගමනට හිරිඹුර හන්දියෙන් මට එකතුවෙනව කරාපිටියෙ ඉඳල එන විරාජ්, ඊට පස්සෙ කහදූවවත්තෙ බ‍ටුවන්තුඩාව පාරෙන් ලසන්ත, රිචර්ඩ් පතිරණ මහත්තයෙගෙ ගෙවල් ලඟින් එනව පුබුදු, කිතුලම්පිටියෙ ඉස්කොලෙ ගාවින් අපේ කාණ්ඩෙට එකතුවෙනව පැතුම්.

ඔන්න අපි සැට් එකම දැන් පන්තිය බලා පාගනව.

මේ මචං, උඹ මොකෝ කියන්නෙ මං දුල්මිණීගෙන් අහන්නද නැත්නං උඹ අහනවද ?

අඩේ උඹ අහන්න එපා බං. මං අහන්නංකො

හරියෙන්නෙ නෑ නෙ බං. උඹ දැං කී දවසක ඉඳලද ඕකිගෙන් අහනව කියල කියන්නෙ. කෝ ඇහුවද ?

ඔව් බං.. මූ අහන්නෙ නෑ උඹට අහන්නත් නෑ.. අන්තිමට අර මහින්දෙ කළුව ඕකි දාගනියි.

පිස්සුද බං, මම අද අහනව ෂුවර්.

හරි.. උඹට අද විතරයි චාන්ස් එක දෙන්නෙ. අද ඇහුවෙ නැත්නං උඹට ආයෙ චාන්ස් නෑ හරි .. ?

ඒයි නවමා, ඔන්න ඒකි හැරෙන පාර ගාව ඉන්නව, අහනවනං දැං අහපං.

කිව්වත් වගේ මේ ඉන්නෙ දුල්මිණී ක්ලාස් එකට හැරෙන පාර ලඟ. මෙච්චර වෙලා නවං ආව කොන්දත් කෙලින් කරල හැන්ඩ්ල් එකට අත් දෙකේම බර දීල ගත්ත පුරුස ධෛර්යය. අද නම් අහන එක අහනවමයි !!!

ක්‍රාස්….ක්‍රාස්..

දහ්.. ක්ර්ර්ස්…

ජබුං.. ග්ල්බ් ග්ල්බ් ග්ල්බ්…

අඩෝ.. නවම්.. නැගිටහං මචං මඩ වලෙන්.

හ්ම්ම්ම් හ්.. ආහ්……

මචං මුගෙ මූනෙන් ලේ එනව නේද ?

අප්පට සිරි. නහයත් කැඩිලද කොහෙද.. ඒ මදිවට නිකටත් පැලිල නේද … ?

නිලංකාර වෙලා තිබ්බට වටේ පිටේ උන් කතා කරනව් ඇහෙනව…

මං ඇස් ඇරල බැළුව.

ඔළු ගොඩක් මාව වටකරගෙන. ඒ අස්සෙන් යාන්තමය අහස පේනව.

මචං මචං.. උඹට මොකෝ බං උනේ….

ඒයි බං මුගෙ බයිසිකලේ හැන්ඩ්ල් එකත් ගැලවිලා බං මේ බලහංකො.. මාර වැටිල්ලක් නෙ මූ වැ‍ටුනෙ..

හ්මෙ.. ම්ම්…..

මං පිටිපස්සට අත ගහල නැගිට්ට. ඈතින් තවමත් අර පන්තියට හැරෙන පාර ලඟ දුල්මිණී අනිත් ගෑණු ළමයි ගොඩත් එක්ක මං දිහා බලාගෙන ඉන්නව.

එච්චරයි මට මතක !!!

ආයෙම ඇස් ඇරෙනකොට මං හිටියෙ කලේගාන හන්දියෙ ඩිස්පැන්සරියෙ රෙක්සින් ඇඳ උඩ !!!!

දැන් පෙන්නනවා – කැලයක් මැද ආදරය හෙළුවෙන් – අධ්‍යක්ෂනය : ලූලා නැති වලේ කණයා

මචං, මට හිතෙන්නෙ නිර්ධා උඹට කැමතියි කියල.

ගඟ අයිනෙ වැටිල තිබිච්ච කුඹුක් කොටේ උඩ වාඩිවෙච්ච ප්‍රියන්ත කකුල් දෙක වතුරට දනගමන් කිව්වෙ අමුතු හිනාවකුත් එක්ක.

උඹ කොහොමද දන්නෙ ?

ඇයි බං උඹට තේරුනේ නැද්ද කෑම්ප් එකට ආව වෙලාවෙ ඉඳල ඒකි උඹෙ පස්සෙමයි කියල.

මම දැක්කෙ නෑ බං, අනික මම මේ ගමන ආවෙ වනාන්තරය රසවිඳින්න මිසක් කෙල්ලෙක්ගෙ හිත් කියවන්නෙ නෙමෙයිනෙ.

ඒත් මචං උඹෙ පරමාර්ථ මොකක් උනත් නිර්ධා උඹට කැමතියි කියන ෆැක්ට් එක වෙනස් වෙන්නෙ නෑනෙ, අනික උඹ දන්නවනෙ නිර්ධා කියන්නෙ මොනවගේ කේස් එකක්ද කියල, ඒක නිසා පොඩි හරි කැමත්තක් පෙන්නන වෙලාවෙ අඩියක් ඉස්සරහට තියපං

උඹ ඔතනදි නිර්ධාගෙ කැමැත්ත කියල අදහස් කලේ මොකක්ද ? මාත් එක්ක එකට ඉන්න ආසාවක් ද ? එහෙමත් නැත්නං හැන්දෑවක වඩයක් කාල ප්ලේන්ටියක් බොන්න තියන ආසාව වගේ දෙයක් ද?

උඹ නං මහ නුහුගුණ කාරයෙක්. කෙල්ලෙක්ගෙ හිත ගැන කතාකරන්න වඩයක් උදාහරනෙකට අරගෙන හරියනවද බං ?

මොකක් උදාහරනෙට ගත්තත් ඒකෙන් අවශ්‍ය පැහැදිලිකිරීම එනවනං අවුලක් නෑනෙ මචං.

උඹ ඉතිං ඇස් පනාපිටම පේන්න තියන දෙයක් උනත් පිළිගන්න කැමති එකෙක් නෙවෙයිනෙ. අනේ මංද උඹට මොන කෙහෙල් මලක්ද වෙලාතියෙන්නෙ කියල, ඇයි බං උඹටත් අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය විදියට හිතල සරළව ආදරය කරන්න බැරි.

ඒපාර උඹ කැමැත්ත “ආදරයක්” කරගත්තද? මොකක්ද බං ආදරේ කියන්නෙ ?

ඔය ඉතිං… මනුස්සයො…….. ආදරේ කියන්නෙ ගෑණියෙක්, පිරිමියෙක් එකට එකතුකරවන ආකර්ෂණයට, බැඳීමට.

ආදරේ කියන්නෙ බැඳීමට, ආකර්ෂණයට නං අහවල් දෙයකටද බං ඒ දෙකට එහෙම්මම පවතින්න ඉඩහරින්නෙ නැතුව ආදරේ කියන වචනෙත් ඔබ්බල තියෙන්නෙ?

මං එහෙම කිව්වට ආදරේ වචන දෙකකට සීමා කරන්න බෑ මචං, ඒක හරිම සංකීර්ණ හැඟීමක්.

කෙහෙල් මල් සංකීර්ණෙ…. උඹලම තමයි ඒකට ඕනෙ නැති බරක් එල්ලල මෙලෝ සතෙකුට තේරුං ගන්න බැරි දෙයක් කරල තියෙන්නෙ. ඊට පස්සෙ ඔන්න බොලා ආදරේ පූජණීයයි කියල සින්දු එහෙම ලියල ඒක මත්තෙම නහින්න හදනව. තේරුං ගන්න බැරි දේවල්වලට පූජනීයත්වයක් ආරූඩකරන එක ඉස්සර කාලෙ ඉඳලම මිනිස්සුන්ගෙ හැටියක් මචං.

හා.. එතකොට උඹ කියාපන් ආදරේ කියන්නෙ මොකක්ද කියල. කේන්තියෙන් වගේ නැඟිට්ට ප්‍රියන්ත සිගරට් එකක් පත්තුකරන් ගඟ දිහා බලාගෙන ඇහුව.

මුකුත් නෑ …. !

ඒ කියන්නෙ උඹත් ආදරේ මොකක්ද කියල කියන්න දන්නෙ නෑ… ?

ඒක නෙමෙයි මම කිව්වෙ, ආදරේ කියල කිසිම දෙයක් නෑ කියල.

මොන පිස්සෙක්ද……. ඔප්පුකරහං එහෙනං.

නැති දෙකක් නෑ කියල ඔප්පුකරන්න තරං මං පිස්සෙක් නෙමෙයි මචං.

එතකොට ආදරේ විස්වාසකරන මංද පිස්ස ? එහෙනං ඉතිං උඹ ඇරෙන්න මේ ලෝකෙ ඉන්න හැම එකාටම-එකීටම පිස්සු වෙන්න ඕනෙ. මං හරිද ?

උඹ හරිත් නෑ වැරදිත් නෑ, මොකද නැති දෙයක් විස්වාසකරන හැමෝගෙම ලඟ පිස්සෙක් කියල කියන්න තරම් පිස්සුවක් නැති හන්ද. සමහර අය ලඟ ඕක වැඩිපුරත් තවත් සමහර් අය ලඟ අඩුවෙනුත් තියනව මචං.

එතකොට උඹ කියන්නෙ ආදරය කියල දෙයක් නෑ කියලද?

මම කැමතියි පිළිගන්න ආදරය කියල දෙයක් නෑ කියල. හැබැයි උඹ එහෙම දෙයක් පිළිගන්නවට, විස්වාස කරනවට මගෙ අකමැත්තකුත් නෑ.

මොන කෙහෙල්මලක් කියනවද කියල මටනම් තේරෙන්නෙ නෑ, කෙලින්ම කියහං මිනිස්සු එකිනෙකා එක්ක බැ‍ඳෙන්නෙ ආදරය නිසා නෙමෙයි කියල ?

එහෙම එකක් නෑ බං. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නව එහෙම එකෙක් තියනව කියල.

එතකොට උඹ කියන්නෙ ආදරය කියන්නෙ මිනිස්සු විසින් හදාගනිපු දෙයක්ය හැබැවටම එහෙම දෙයක් නැතිය කියලද?

ඔව්, කාලයක් එක්ක ගොඩනැගිච්ච ආගමික, සමාජීය සංකල්ප නිසා සීමා මායිම් පැනවුන රමණට එක්ස්කියුස් එකක් විදියට මිනිස්සුම හදාගනිපු දෙයක් තමයි ආදරය. ආදරය ඉස්සරහට දාගෙන ඔය දේ කලාම ගල් ගහන අය අඩුයි කියල උඹට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මචං. මතක තියාගනින් මේක සියවස් ගනනාවක් තිස්සෙ තව අතුරු කාරනා මහා ගොඩක් එක්ක ඇතිවෙච්ච දෙයක්.

අවශ්‍ය දෙයකට සීමා මායිම් ඇතිවෙනකොට ඒකට යම්කිසි මිලක් නියම වෙනව. ඔන්න ඔතනදි තමයි අර ආදරේ කියන සංකල්පීය මුදල මතුවෙන්නෙ..

උඹ කියනව අරක ආව, මේක ආව කියල, ඕව කොහෙන්ද බං එන්නෙ ?

ඒකට මම වඩාත්ම කැමති උත්තරය දෙන්නම්. මේක මම හොයාගනිපු දෙයක් නෙමෙයි ඒත් මට පිළිගන්න පුළුවන් උත්තරයක්.

මොකක්ද?

ජාන !

ජාන…… ? ඒ මොන විකාරයක්ද , ජානවලට හිතන්න පුළුවන්ද ඔය එක එක උලව් තියරි ගේන්න ?

ඒකට ඕව්, නෑ, බෑ වගේ උත්තරයක් දෙන්න බෑ මචං.

ජාන තමයි මනුස්සය මෙන්න මෙහෙම වෙන්න ඕනෙ, පාට මේකයි, උස මේකයි, ලිංගය මේකයි වගේ හැම ඩීටේල් එකක්ම තීරණය කරන්නෙ. ජාන තමයි කෝර් එක. ජාන වලට ඕනෙ නිතරම පැතිරෙන්න, හරිටට කම්පියුටර් වෛරස් එකක් වගේ. උඹයි මමයි කියල වෙන්කරල අඳුරගන්න උදව් වෙන වෙසල් එකක් විතරයි බොඩි එක. රියල් ඩ්‍රිවන් ෆැක්ටර් එක ජාන.

ජාන කැමති නෑ බාධකවලට, ඒක නිසා හැම තිස්සෙම විවිධ උපක්‍රම හොයාගන්නව ඒව මඟ ඇරල යන්න. ඒක නිසා තමයි මනුස්සයට විවිධ දක්ෂතා ඇවිල්ල තියන්නෙ. ඒ හැම දක්ෂතාවයකම මූලික පරමාර්ථය ජීවයේ පැවැත්ම තහවුරු කරගැනීම. ඔන්න ඔය තියරි එක තමයි මනුස්සයට නිදහසේ සමාජීය වාරණ වලින් කට්ටිපැනල නිදහසේ සෙක්ස් කරගන යන්න “ආදර”ලයිසන් එක දෙන්නෙ.

එතකොට ඔය කෙල්ලෙක්, කොල්ලෙක් දැක්කම හිතන්ව කියන්නෙ “මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා, සංසාරෙ පුරාවට පතාගෙන ආව කෙනා” වගේ දේවල් ?

හෙහ් හෙහ්.. ඒ මචං වඩාත් උචිත ජාන අතරෙ ඇතිවෙන ආකර්ෂණය, හරියට කාන්දම් දෙකක් අතරෙ ඇතිවෙන ආකර්ෂණය වගේ. එහෙම නැතුව ඕක කොටන්න බඹෙක් ඕනෙ නෑ. ඔතන තියෙන්නෙ පොඩි ආගමික – සංස්කෘතික මික්ස් එකක් මචං. ඔන්න ඕක තේරුංගන්න බැරිවෙච්ච කොහේ හරි ඉඳපු සාහිත්‍යකාරයෙක් ගොතාපු කෙබරෙකට අහුවෙලා ඉන්නෙ. අනික මචං ඔය පෙරුම්පුරන සංකල්පය ආවෙත් ආගමික සාහිත්‍යක් හරහානෙ. එහෙම නැතුව ගෑණියෙක්ටයි ම්නිහෙක්ටයි එකට ඉන්න පෙරුම් පුරන්න ඕනෙද, මොකෝ ඔය එකට ඉන්න උන් සේරම පෙරුම් පුරපු උන්ද?

ඔය මෙලෝ සතෙකුට තේරුංගන්න බැරි සාහිත්‍ය ටෝක් සේරම ගෙනාවෙ සෙක්ස් කැතයි කියල හිතපු මිනිහ තමයි බං. ලස්සනට පාට කලාම වේලිච්ච බලුබෙට්ටක් උනත් සල්ලි දීල අරං යන මිනිස්සු ඉන්න සමාජයක ඕක ලේසියෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි.

උඹ ඕව වෙන කාටවත් කියන්න එපා, අල්ලං ගොහිං දායි අංගොඩ. එතකොට නිර්ධා උඹෙ පස්සෙන් එන එකෙයි මේ උඹෙ කෙහෙල්මල් තියරියයි අතරෙ තියන සම්භන්දෙ මොකක්ද?

දැම්මම පිස්ස කිව්වොත් කතාවෙ ඉතුරු ටික ඇහුඅම උඹට කියන්න දෙයක් නැතිවෙයි, ඒක නිසා පොඩ්ඩක් ඉවසල ඉඳිං නිර්ධට ඇප්ලයි වෙන්නෙ කොහමද කියල කියනකං.

හොඳට බලපන් ට්‍රිප් එක ආපු උන්ගැන කල්පනා කරල. ආපු එකොලොස් දෙනා අතරෙන් නිර්ධායි මායි විතරයි තනිකඩ උන්ට ඉන්නෙ.

ඇයි මිනිහො එතකොට මං ?

උඹට ඉන්නෙ කෙල්ලො දෙතුන්දෙනෙක් විතර.. අමතකද ?

ඒ එකෙක්වත් සීරියස් කරන ඒව නෙමෙයිනෙ බං, අනික උන් එකෙක්වත් මෙතන නෑ නෙ.

හරි. මම තව ටික වෙලාවකින් ඒකට උත්තර දෙන්නම්, දැන් අහපන්කො මම කියන්න හදන දේ.

නිර්ධා කියන්නෙ මාත් එක්ක අවුරුදු දෙකක් විතර එකට ක්ලාස් ආපු කෙල්ලක්. ඒ කාලය පුරාවටම මාත් එක්ක වචන දෙක තුනකට වඩා කතානොකරපු කෙනා උඹ අද කියනව මට කැමතීයි වගෙයි කියල. ඒක උඹ මට කියන්නෙ මේ කැලේ මැද කෑම්ප් එකට ආවට පස්සෙ. මට හොඳටම ෂුවර් උඹට මීට කලින්, ඒ කියන්නෙ කොළඹ ඉන්න කාලෙ එහෙම දෙයක් තේරුනේ නෑ, ඒ වගේම නිර්ධාට එහෙම අවශ්‍යතාවයකුත් ඇතිවෙලා තිබුනෙ නෑ කියල.

දැං උඹ මොකක්ද කියන්න හදන්නෙ … ?

අහගෙන ඉඳපන්කො. එතකොට තේරෙයි.

මම කියාගෙන ආවෙ සිවිලයිස් සොසයිටි එකේදි කිසිම උනන්දුවක් නොපෙන්නූ නිර්ධා එකපාරටම මේ කෑම්ප් එකේදි මම ගැන උනන්දු උනා කියලනෙ. උඹ දන්නවද ඇයි කියල ?

කියපන්කො බලන්න ?

ඉස්සෙල්ලම බලපන් නිර්ධා කියන්නෙ කවුද කියල, ඒකි හොඳ බර අත්තක්, පෙනුමෙත් කිසිම වැ‍රැද්දක් නෑ, ඉගනගන්න දක්ෂයි. කොටින්ම ඒකිට කොල්ලෙක් හොයාගන්න කිසිම කම්පිටිෂන් එකක් නෑ.  ඉතිං ඒකිට කිසිම කලබලයක් ඇත්තෙ නෑ කොල්ලෙක් හොයාගන්න, ඇති තරම් කාලය ගන්නව වැඩිපුරම හොඳ දේ පික් කරගන්න.

දැන් බලපන් අපි දැන් ඉන්නෙ කොහෙද කියල, සිංහරාජෙ ෆොරස්ට් කෑම්ප් එකක, ග‍ඟෙන් එගොඩ, හැතැප්ම දෙකක පයින් යන දුරෙන් මෙහා වාහනයක් නෑ මෙ ග‍ඟෙන් එගොඩ යන්න තියන බැරල් බෝට්‍ටුව ඇරෙන්න. සත්තු සර්පයො ඉන්න පුළුවන්, ඕනෙම වෙලවක අණතුරක් වෙන්න ඉඩකඩ වැඩියි.

ඉතිං ?

ඉතිං කියන්නෙ මචං, මේ කැලේ මැදදි නිර්ධට ආරක්ෂාව ඕනෙ, ‍රැකවරණය ඕනෙ. ඒ පෙළඹවීම කරන්නෙ නිර්ධාගෙ ජාන, සියවස් ගනනාවක් තිස්සෙ වර්ධනය වෙවී ආපු පැවැත්ම ‍රැකගන්න වලිකන ජාන. ඒක ලබාගන්න තියෙන්නෙ උඹෙන් හරි මගෙන් හරි එහෙමත් නැත්නම් අපේ ගයිඩ්ගෙන් හරි තමයි. මොකද මේ ගමන ආපු අනිත් උන් ඔක්කොම කපල්ස්.

ඒක තමයි මං කියන්නෙ, උඹේ තියරිය හරි නම් ඇයි ඒකි මට නැතුව උඹට ඇහැ දාන්නෙ?

උඹ කලින් කිව්වනෙ කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක සීරියස් නොවෙන රිලේෂන්ශිප් තියනව කියල.

ඔව් ඉතිං ?

නිර්ධාගෙ ජාන එයාව පොළඹවන්නෙ යන්න පුළුවන් හොඳම තේරීමට යන්න. උඹත් එක්ක ඒකිගෙ පැවැත්ම ස්ථාවර නෑ. එහෙම කෙනෙක් එක්ක නව ජානපරම්පරාවක් ආරම්භ කලොත් ඒවායේ පැවැත්ම පිළිබඳව ගැටළුවක් මතුවෙනව. ඒක නිසා නිර්ධා උඹට සමීප වෙන්නෙ නෑ. ඒ වගේම තමයි නිර්ධා ගයිඩ්ව නොදන්න නිසා ඌට සමීපවෙන්නෙත් නෑ. එතකොට ඉබේම නිර්ධාගෙ ජාන නිර්ධාව පොළඹවනව වඩාත්ම රිලයබල් ඔප්ෂන් එක ‍තෝරගන්න.

ඒ කියන්නෙ උඹ තමයි මෙතන නිර්ධට ඉන්න ගැලපෙනම එකා ?

ඔව්, මේ පරිසර සාධකත් එක්ක මාව ‍තෝරාගන්න තමයි නිර්ධාගෙ ජාන ඒකිව පොළඹවන්නෙ. හැබැයි සමහරවිට ඒ පෙළඹවීම තාවකාලික එකක් වෙන්නත් පුළුවන්, ආරක්ෂාවක් ලබාගන්න විතරක්ම වෙන්නත් පුළුවන්. ආයෙම කොළඹ ගියාම ඒකි කලින් හිටිය වගේම මාව නොදන්න ගානට ඉන්නත් ඉඩ තියනව. ඉතිං මං ඕකට ආදරේ කියල ටොම්පචයක් ඇප්ලයි කරගත්තොත් මට මොකක්වෙයි කියලද උඹ හිතන්නෙ ? පපුව පැලිල මැරිල යන්නත් බැරි නෑ.

මචං.. ඔන්න නිර්ධා මේ පැත්තට එනව.

අපි මේ කතාව දැනට නවත්තමු. ඇහුනොත් හොඳ නෑනෙ.

හෙහ් හෙහ්.. ඇයි කෝ උඹෙ මෙච්චර වෙලා කියාපු පඬි ටෝක්, මොකෝ උඹෙ ජාන කිව්වද කටපියාගෙන හි‍ටු කියල ?

ඒව කියන්න බෑ මස්සිනා…. අතට ආපු චාන්ස් එකට පයිං ගහල තව කොච්චර කාලය හූල්ලන්න වෙයිද කියල කවුද දන්නෙ. අනික මගේ ජානත් කැමති නැතෑ තව කාලයක් පවතින වැඩක් කරන්න. ඊටත් මචං කොයි පඬියත් ඔය මං පොර සින්දුව කිව්වට හැබෑජීවිතේදි ජානෙට යටයි නෙ.

හෙහ් හෙහ්…

ප.ලි : කොහොමයි මගෙ ලව් තියරිය. මහදැනමුත්ත පරාදයි !!! හැබැයි වැරදිලාවත් ලූලෙක් මේ පැත්තට ආවොත් “කණයට” දෙයි දුවන්න නේද ? හෙහ් හෙහ්.. ඒත් කමක් නෑ දෙනවනං ආයෙ දෙන්න ඕන හොඳම එකෙන් හරිය ?

පින්තූරය ගත්තේ : http://knowyourmeme.com/photos

බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං…….


ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…

කාගෙද බං….

ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.

එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.

උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?

මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය

මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.

ඉතිං…. ?

එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.

ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?

ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.

එහෙනං… ?

කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.

ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?

උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.

නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.

ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.

ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.

සර්.. මොනවද ගේන්නෙ ?

අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.

අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.

එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?

ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.

ඒ කිව්වෙ ?

හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.

උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.

මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.

උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.

හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..

ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?

හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.

ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..

ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං

උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…

හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?

නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.

පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..

ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….

මචං.. උඹ බීෆ් කනව නේද ?

අවුලක් නෑ..

එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..

හරි සර්..

ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?

අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.

උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?

උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?

තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !!

පින්තූරෙ ගත්තේ : http://www.old-picture.com

ප්‍රේමණීය හිඩැස

මොහොතකට පෙර ඔවුන් හුන් තැන මෙය යැයි කියන්නට මෙන් සීරුවට ඇතිරූ ඇඳ ඇතිරිල්ලේ පොඩි වී හැකිළුණු තැනට ඔබ්බෙන් ගලවා දැමූ මුතු ඇට පොටකි. ඇඳ රෙද්දෙහි වර්ණයටම සමාන යැයි කිවහැකි එය බැලූ බැල්මට නොපෙනුනත් කණ්නාඩිමේසයට මඳක් ඉහලින් ඇති සෑන්ඩ් ස්ටෝන් බිත්තියේ සවි කර ඇති බිත්ති ලාම්පුවෙන් නික්මුන මන්දාලෝකය ඇති කල සෙවනැල්ල එය උළුප්පා පෙන්නීය. කාමරයේ අනෙක්පස ඇති පු‍ටුවක ඇන්දක් මත දැමූ ස්ටෝන්ස් සාරිය මත වැ‍ටුණු විදුලි එළිය පංකාවේ සුළඟ විසින් වරින් වර කාමරය පුරා විසුරවා දැමුයේ මොහොතකට පෙර රාගී සුසුමින් කැළඹීගිය වා තලයේ දරාගැනීමට නොහැකි වත්මන් නිශ්චලභාවය බිඳින්නට මෙනි.

කවීෂ හිඳගෙන හුන් තැනින් නොනැඟිටම අත මානයේ තිබූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය. රාත්‍රී අටටත් කිට්‍ටුය. ඈ නානකාමරයට ගොස් පැයකට ආසන්නය. ඔහු සෝෆාවෙන් නැඟිට බැල්කනියේ විසල් ජනේල විවෘත කර දැමුයේ පරිසරයේ අඳුරට කාමරයට එන්න ඉඩ හරිමිනි. නමුත් ජනේලයෙන් එලියට ආ කාමරයේ වූ ආලෝකය අඳුර හා සටන් වැද මඳ දුරක් ඈතට පලවා හැරියේ ඔහු බලාපොරොත්තු නොවූ පරිදිය.

ජනෙල් පළු දෙක මැදින් පැමිණ අඳුර මරා දැමූ ආලෝක ඉර දිගේ සීරුවට ඉදිරියට ගොස් බැල්කනියේ සීතල යකඩ වැට අල්ලාගත් ඔහු ජනේලයෙන් එපිට ඇති ඉමක් නොපෙනෙන මහ සයුරේ ඇතින් පාවෙන ආලෝක ගුලි දිහා බලා සිටියේ මින් පෙර නොදැකි දසුනක් මෙන් ය. අඳුරු මුහුදේ ඈත ක්ෂිතිජයේ ඇති කුඩා එළි පේලි ඉඳහිට නොපෙනී යන්නේද අහසේ තරු මෙන්ය. මඳ වෙලාවක් ඒ දෙස බලා සිටි ඔහුට අහස හා මුහුද තනි යායක්ව පෙනුනේ බොඳ වී ගිය දෙනෙතට හසුවීමට තරම් ක්ෂිතිජ මායිමේ දැල්වෙනා එළි දීප්තිමත් නොවූ නිසාවෙනි.

කවීෂ…

එක්වරම පි‍ටුපසින් නැඟි හඬින් ගැස්සී කල්පනා දැහැනින් මිදුනු ඔහු සීතල යකඩ වැට අත්නොහැරම උරහිසට උඩින් හිස හරවා පි‍ටුපස බැලීය.

වර්ෂා….

මොහොතකට පෙර නොදු‍ටු සුන්දරත්වයක් තෙත් හිසකෙසින් යුතු ඈගෙන් නික්මේ. පපු මත්තට හැඳ උන් ලා ක්‍රීම් පැහැති නානකාමර තුවායෙන් නිරාවරණය වූ ඈගේ දඟයුග මෙතෙක් සීතලේ බැල්කනියට වී හුන් ඔහුගේ ගත සිත යලි උණුසුම් කරන්නට විය.

ඔයා ඉස්සර හිටියට වඩා හැඩවෙලා……

කෝමල බැල්මක් හෙලා රතුවූ මුහුණින් ඈ බිම බලා සිනාසුනාය.

පුදුම හමුවීමක් නේද ? ….. මෝටර් රියෙන් බසිනාවිට නැවතූ තැනින් ඔහු නැවතත් කථාව පටන්ගත්තේය.

හ්ම්….

මම දැනගන හිටියෙ නෑනෙ දේවින්ද ඔයාගෙත් යාළුවෙක් කියල….. එක අතකට නොදැන හිටිය එකත් හොඳයි, ඔයා එනව කියල මම දැනගෙන හිටියනම් සමහර විට මං නොඑන්නත් ඉඩ තිබුන.

ඇයි ඒ… ඔයා මාව දකින්න ඒ තරම්ම අකමැත්තකින්ද හිටියෙ ?

නෑ… මං කැමැත්තෙන් හිටියෙ. ඒත් ඔයා අකමැතිවෙයි කියල මම හිතුවෙ.

ඔයාටනම් ඉස්සර වගේම පිස්සු… හී හී….

ඇගෙ සිනහව තවමත් පෙර මෙන්ම චමත්කාරය. හිනැහෙන විට පුංචි වෙන ඇස්වලටත් වලගැහෙනා වම් කම්මුලටත් පෙම් බැඳි අතීතය ඔහුට සිහි විය.

වර්ෂා….

ම්..

ඇයි අපිට අපේම වෙලා ඉන්න බැරි උනේ…..

එන්න. අපි මෙතනින් වාඩිවෙලා කතාකරමු..

ඈ ඔහුගේ අතින් ඇද බැල්කනියේ පසෙක තිබූ කාමරයෙන් පෙරී එන ලා එළියට මඳක් නිරාවරණය වී ඇති දිගු සීතල යකඩ බංකුව මත වාඩි වූවාය.

ඔයා ඇඳුමක් දාගන්නෙ නැද්ද?

කමක් නෑ මෙහෙම හොඳයි.

නෑ ඉන්න.. මම ඕවර්කෝට් එක ගෙනැත් දෙන්නම්. නැත්නම් මේ සීතල මුහුදු සුළඟට ඔයා ලෙඩවෙයි. එහම උනොත් ආයෙ අනිද්දට ආපහු ෆ්ලයි කරන්න අමාරුවෙයි.

කාමරයට ගිය ඔහු ඇඳවිට්ටමේ දමා තිබූ ඕවර් කෝට් එක ‍රැගෙන විත් බැල්කනිය අසල හිටගෙන කාමරයට පි‍ටුපා මුහුද වෙත නෙත් යොමා සිටි ඈගේ උර මතින් දමා ඉන වටා දෑත් යවමින් තම තුරුළට ගෙන ඇගේ දකුණු උරහිස මත තම නිකට රඳවාගත්තේ අපමණ සෙහෙනෙහසිනි. ක්ෂණයකින් සිදුවූ දෙයින් ඈ නොසන්සුන් වුවද ඒ මින් තුන්වසරකට පමණ අපමණ ලොබ බැඳි සුපුරුදු උණුසුම ඔහු හා ඈ අතර තිබූ ඇඳුම විණිවිදින තුරු පමණි.

වර්ෂා… ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් ඇගේ සවනට මිමිණුවේය.

ම්ම්.. … ඔහුගේ ගැඹුරු, හැඟුම් බර හඬ ඈ සවනත වැටෙත්ම මැකී ගිය හිරිගඬු වැටිය නැවතත් ගෙල පුරා පැතිර ගියේය.

ඔයා ඇයි මාව දාල ගියේ …. ?

කවීෂ…

ම්..

ඒ ප්‍රශ්ණය එච්චරටම සාධාරණ නෑ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?

මංද.

කවීෂ… අපි අපිට නැති උනේ ඇයි කියන එකට උත්තර හොයන්නෙ නැතුව ඉඳිමුද ?

ඇයි ඒ…. ?

එන්නකො.. අපි වාඩිවෙමු අතනින්, දැන් නම් මගෙ කකුල් දෙකත් රිදෙනව.

යමු…

ඇයි ඔයා ඔතන වාඩි උනේ.. වෙනද වගේ මගෙ උකුලෙ ඔළුව තියාගෙන ඉන්න අකමැතියිද ?

අකමැත්තකට නෙමෙයි වර්ෂා… අවුරුදු තුනක් තිස්සෙ පිච්චිලා යාන්තම් නිවීගෙන ආපු මගෙ හිත ආයෙම අවුලවාගන්න මට බෑ.

ඔයා හරිම අසාධාරණයි කවීෂ. ඇයි ඔයා අමතක කරන්නෙ ඒ වගේම කාලයක් මමත් ගතකලා කියන එක?

වර්ෂා.. අපි ආයෙම මේ රණ්ඩුවෙනවද ?

හි හී…. ඔව් නේද…?

ඉස්සර වගේමයි අපි තාමත්.

නෑ කවීෂ.. ඉස්සර අපි රණ්ඩුවෙනකොට තේරෙන්නෙ නෑ රණ්ඩුවෙනව කියල.

හ්ම්.. ඒකත් ඇත්ත තමා.

මට ආරංචි උණා ඔයාගෙ අම්ම නැතිවුණා කියල. ඒත් මම ගියපු අලුතම නිසා නිවාඩු ගන්න බැරි උනා හොස්පිට්ල් එකෙන්, අනික කන්ට්‍රැක්ට් එකේ විදියට වැකේෂන් යන්න පුළුවන් අවුරුද්දෙ අන්තිමට විතරයිනෙ.

ඒකට කමක් නෑ වර්ෂා. අම්මා ඔයාට සලකපු විදියට මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ ඔයා ඒවි කියල. අනික ඔයා ආවානම් නෑදෑයොන්ගෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නත් තුබුන. හැමෝම ඔයා එක්ක තරහෙන් හිටියෙ ඒ කාලෙ.

ඔයත් ?

කොච්චර රණ්ඩු උනත් එදා ඔයා සේරම දාල යයි කියල මමවත් හිතුවෙ නෑනෙ.

ඒත් මම ඇහුව එකට ඔයා උත්තරයක් දුන්නෙ නෑ නෙ

මොකක්ද?

ඔයත් මාත් එක්ක තරහෙන්ද කවීෂ හිටියෙ ?

ඒක තරහක්ම කියල කියන්න බෑ වර්ෂා. ඒක මහා සංකීර්ණ හැඟීමක්. මහප්‍රාණ ඔළුවෙ තියාගෙන හිටපු නැදෑසනුහරයක් මැද මහේ හිතට එන ඕනම විකාරයක් කියන්න පුළුවන් ආදරණීය හිතත් අරගන ඔයා ගියාම මාව හිස් වෙලාම ගියා. ඒ හිස්කම පිරවුනේ නෑදෑයො ටික වටවෙලා ඔයාගැන කියාපු වැරදිවලින්. අන්න ඒ පීඩනය හිතින් පිට වුනේ ඔයා ගැන ඇතිවෙච්ච වෛරයක් විදියට. ඒකම තමයි ඔයා කැනඩා යනව කියල දැනගත්තත් වචනයක්වත් කතාකරන්න නොහිතුනේ. ඒත් මමත් ලංකාවෙන් ඇවිල්ල තනියම කාමරේකට කො‍ටුවෙලා ඉන්නකොට තමයි කල්පනා උනේ ඔයාට මාවදාල යන්න පරිසරය හැදුවෙත් මම නේද කියල. මට තිබුන ඔයාවත් අරන් ගමෙන් යන්න ඒ දවස් වලම.

නෑ කවීෂ, එහෙම නොවුන එක හොඳයි

ඒ කියන්නෙ ඔයා කැමතියි මාව දාල යන්න වෙච්ච එක ගැන ?

කැමැත්තටත් වඩා මට උවමනාවක් තිබුන කිව්වොත් හරි ඒ පරිසරයෙන් ඈත්වෙන්න. මම බය උනා හතරවටෙන්ම මට ආපු පීඩනය මාව පොඩි කරල දායි කියල. මම ජීවත්වෙන්න ආස ගෑණියෙක් කවීෂ.

ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ අපි මෙහෙන් යමු කියල, එහෙම කිව්වනම් මම ඔයත් එක්ක එනවනෙ.

මම බලාපොරොත්තු වුනා ඔයා මාව තේරුම් ගනී කියල. අනික මම ඒ දවස් වල මට උන කෙණෙහිළිකම් ඔයාට කියල සාධාරණයක් බලාපොරොත්තු උනා නම් එතන ලොකු විනාසයක් වෙන්න තිබුන. ඊටත් මම එහම කිව්වනම් මායි නෑදැයොනුයි අතරෙ හිරවෙලා ඔයා ප්‍රශ්ණ ගොඩක පැටලෙන්න ඉඩ තිබුන. සමහර වෙලාවට ඒකෙ බරත් මගෙ කරට එන්න තිබුන. ඉතින් එවෙල මට කරන්න තිබුන හොඳම දේ තමයි ප්‍රශ්ණවලින් ඈත්වෙලා යන එක. මට දැන් තේරෙනව මම ඒ ගත්තෙ හොඳ තීරණයක් කියල

ඇයි ඔයා එහෙම හිතන්නෙ ?

මම හැම ප්‍රශ්ණයක්ම දරාගෙන සාම්ප්‍රදායික ගෑණියෙක් වගේ ඔයාත් එක්ක හිටියනම් ඔයාටයි මටයි කිසිම දවසක අපි දෙන්නට උනේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙන්න ඉඩ තිබුන. එහම උනානම් අද වගේ අහම්බෙන් දැක්කත් හිනාවක්වත් නැතුව වෙන් වෙලා යන්න හොඳටෝම ඉඩ තිබුන. ඒත් අද …….. අවුරුදු තුනකට පස්සෙ නිවිහැනහිල්ලෙ කල්පනා කරල නිවිච්ච හිත්වලින් එක කාමරේක බොහෝම සන්තෝසෙන්. ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද මම ගනිපු තීරණය හරි කියල.

ඒත් ඔයාට අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද නිස්කාරනේ දෙතැනක ගෙවිල ගියපු අපි දෙන්නගෙ ජීවිතේ ?

නෑ කවීෂ, අපි දෙන්නගෙ ජීවිතේ නිස්කාරනේ ගෙවිල ගියේ නෑ…. ඒ අවුරුදු තුනේ ඔයයි මමයි තනියම ජීවිතේට මුණදීල යම්තාක් දුරකට හරි යථාර්තය තේරුම් ගත්ත. ඒ වගේම ඔයා මාස්ටර් ඩිග්‍රී එකක් කලා, මම ඇල්බටා හොස්පිට්ල් එකේ ස්ටාෆ් නර්ස් කෙනෙක් උනා. ඉතින් ඔයාට හිතෙනවද ඒ පහුගිය කාලෙ අපරාදෙ කියල.

හ්ම්… වර්ෂා හිතනවද අපිට ආයෙම සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙයි කියල.

ඔයා අහන්නෙ මීට අවුරුදු හතරකට කලින් ප්‍රශ්ණ ඇතිවෙන්න කලින් තත්වය ගැනනම්; ඔව් මම හිතනව පුළුවන් කියල. ඒත් ඔයා අහන්නෙ අදින් පස්සෙ එක වහලක් යට ජීවත්වෙන එක ගැනනම්; අපිට ඒ ගැන ගොඩක් කතාකරන්න තියනව. ඒ වගේම විසඳගන්න දේවල් ගොඩක් තියනව. අනික මේ හැඟීම ගිණි ගත්තු පුළුං ගොඩක් වගේ ඉක්මනට පත්තුවෙලා ඉක්මනටම නිවිල යන එකක් නෙමෙයි කියල කාටද කියන්න පුළුවන්. සමහර වෙලාවට හෙට උදේට ඔයයි මමයි පුරුදු ජීවිත වලට අයෙම ගියාම මේ පුළිඟුව නිමිල යයි. ඒක නිසා මම කැමති නෑ හිත ගොඩක්ම සන්තෝසයෙන් තියන වෙලාවක ජීවිතේගැන ලොකු තීරණ අරගන්න. අපි ජීව්තේට ඉඩදෙමු යන්න ඕන පාර හොයාගන්න. එහෙම හොඳයි නේද කවීෂ ?

පින්තූරය ගත්තේ : පින්තූරය ගත්තේ : http://www.wallchan.com

උපන්දින කේක් ගෙඩියේ විගඩම

ඇන්ටී අනේ තව කට්ලස් එකක්…..

ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එල්ලිලා.

ඇන්ටී පපඩං තියෙයි ? තා පරිප්පු ඩිංගක්….. අනේ මට මාළු කෑල්ලක්….

ඔය වගේ දේවල් අඩු වැඩි විදියට හැම අවුරුද්දකම ඇහෙන්න මගෙ උපන්දිනේ දවසෙ හැන්දෑවට ගාල්ලෙ ගුණරතන ළමා නිවාසෙදි.

උපන්දිනේකට කිසිම දවසක පාටි දාන්න පුරුද්දක් නොතිබිච්ච අම්මයි තාත්තයි මගෙ එකම එක උපන්දිනයකටවත් කේක් ගෙඩියක් කැපුවෙ නෑ. පන්තියෙ අනිත් ළමයි තම තමන්ගෙ උපන්දිනේ දවසෙ පන්තියටම කේක් ගේනකොට මං මගෙ උපන්දිනේ දවසෙ හිස් අතින් ඉස්කෝලෙ යන්නෙ කිසිම දුකකින් නෙවෙයි. ඊට පස්සෙ එළඹෙන හැන්දෑව ගැන මතක්වෙලා හිත පිරිච්ච සන්තෝසයකින්.

එදාට මම ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට අහල පහල ගෙවල්වල කීපදෙනෙක් එක්ක අපේ අම්ම රාජකාරි පටන් අරගෙන, මුළු කුස්සියම පුසුඹයි.

හැන්දෑවෙ පහට විතර පටන් ගන්න කෑම පාර්සල් බැඳිල්ල තුන් හතරදෙනෙකුගෙ උදව්වෙන් හවස හය විතර වෙනකොට යාන්තං අහවරයි. ඊට පස්සෙ කුස්සියෙ පෝරණුවට උඩින් තියන කොන්ක්‍රීට් කෑල්ලෙන් බාල සෝදල වේලෙන්න තියාපු ප්ලාස්ටික් භාජන වලට ආයෙම අඩුපාඩු බෙදන්න කියල එළවළු, මාළු, පපඩම්, කට්ලට් මහ ගොඩක් පුරෝගන්නව. ඕං එතනින් කුස්සියෙ රාජකාරි අහවරයි.

ඊට පස්සෙ තාත්ත හීන් සැරේ පරණ වැගන් කාර් එකට පෙට්ටිවල අඩුක් කරාපු කෑම පාර්සල්, ප්ලාස්ටික් බකට් එහෙම පටවගන්නව. මමයි කියල මහ වැඩක් නොකලත් හැම එකකටම සම්මාදං වෙන්නෙ හරිම සන්තෝසෙන්.

හැන්දෑවෙ හය හමාරට විතර අපි ඔන්න ළමා නිවාසෙට යනව. අපි යනකොට පුංචි පුංචි කොළුපැටව් තාප්පෙ ගාව ඉඳලම පෝලිං ගැහිල ඉන්නව හරිම සන්තෝස මූණු වලින්. වාහනේ උන් ටිකව පහුහරන් ඉස්සරහටම යනකොට එක පෝලිමට දුවගෙන එනව. ඊට පස්සෙ වාහනන් බාන කෑම ඔක්කෝම එයාල කෑම කන ශාලාවට අරගෙන යන්නත් උදව් වෙනව.

ඊට පස්සෙ අපිත් එක්කම ඒ පොඩි උන් රොත්ත එනව බුදුන් වඳින්න. උන් මහා හයියෙන් ගාථා කියනව අපි කියනවටත් වඩා හයියෙන්. ඊලඟට විනාඩි දෙකක් භාවනා කරන්න ඕනෙ. විහාරගෙයි මල් මල් ටයිල් උඩ එරමිනිය ගොතාගෙන වාඩිවෙන පොඩි උන්ට ඒ විනාඩි දෙක කල්පයක් වගේ. දාන ශාලාවෙ ඉඳල හුලඟ එක්කං එන පුසුඹ උන්ගෙ නැහැයවල් කොණිති ගහනව ඇති. බැරිම උනාම එකෙක් දෙන්නෙක් හොරාට ඇහැක් විතරක් ඇරලත් බලනව.

ඊටපස්සෙ හැමෝම යනව දාන ශාලාවට. අපිටත් කලිං දුවල ගියපු කොලු පැටව් ටික අපි එතනට යනකොට පිඟන් කෝප්ප එහෙම අරගෙන වාඩිවෙලා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්නව. උන්ට හරිම සන්තෝසයි. හිනා කටවල් ගොඩයි.

කෑම කාල බඩ පිරිච්ච සන්තෝසෙට ඒ පුංචි එවුන් ඊටපස්සෙ අපිට අහං ඉන්න සින්දු කියනව. ඒක හරිම ලස්සන, සංවේදී මොහොතක්.

මුලින්ම පොඩි උන් ටික කෑම කාපු ලොකු මේස බිත්තිය අයිනෙ එක පිට එක ගොඩගහනව වාඩෙවෙලා උන්න බංකු එහෙම්මම තියෙන්න ඇරල. ඊට පස්සෙ වාඩිවෙන බංකු එකකට එකක් හේත්තුවෙන විදියට ලොකු රවුමක් හැදෙන විදියට තියල රවුමෙ ඇතුල් පැත්තට කකුල් දාල හැමෝම වාඩිවෙනව. අපිත් ඒ අය අතරෙන් වාඩි උනාම රවුම ගානට හිර වෙලා.

ඊට පස්සෙ සින්දු කියන්න පුළුවන් පොඩිඋන් ඒ රවුමෙ මැදට ගිහිල්ල සින්දු කියනව, නටන්න පුළුවන් කොලු පැටව් නටනව. හරිම අපූරුයි. ඒත් පපුව කඩාවැටෙන තරං දුකයි. උන් එකෙක්වත් අඬන්නෙ නෑ. ඒත් උන් අසරණයි. ඒ අසරණ කම හංගං සින්දු කියල, නටල අත්පුඩි හගනකොට උන් තරමට අසරණ නැති අපි කිසිම කෙනෙක්ට නාඬා ඉන්න බෑ.

මට අද වගේ මතකයි එක කොලු පැටියෙක් වචන පටලව පටලව මෙන්න මේ සින්දුව කිව්ව.

අම්මාවරුනේ අම්මාවරුනේ
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.

මං බලාගෙන අපේ අම්ම මූණ හංගාගෙන අඬනව. ඒ සින්දුව කිව්ව පොඩි එකා ඒ වෙනකොටත් හිනාවෙච්ච ගමන් මයි.

ටික ටික රෑ වෙනව. දැං පොඩි පැටට් ටිකට නිදිමතයි. එකා දෙන්නට ඈනුම් යනව. ඒ කියන්න අපිට ආයෙම ලබන අවුරුද්ද වෙනකං උන් ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ල.

අපි යන්න නැගිට්ටම උන් එක පොදියට වැටිල අම්මටයි තාත්තටයි දණ ගහල වඳිනව. ඒ හරියට තමන්ගෙම ගෙදරක අම්ම තාත්තගෙ උණුසුම විඳල නොතිබුණු උන්ට පැය කීපයකට හරි අම්ම තාත්ත උනාට පිං කියන්න වගේ.

එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.

ප.ලි : අද මගේ උපන්දිනේ නෙවෙයි, ඒවගේම උපන්දිනේට පෝස්ට් එකක් ලියන්නත් හිතෙන එකක් නෑ. [කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ]

කසාද බඳින්නද යන්නෙ

ඇයි කසාද බඳින්නෙ? ප්‍රේමයේ ඵල නෙලන්නද ? ලෝකාපවාදයෙන් බේරිලා අහවල් වැඩේ කරන්නද ? වටේ පිටේ ඉන්න අය කියන නිසාද? එහෙමත් නැත්නං වයසට ගිහිල්ල තනිවෙනවට බයේද?

මං නං අඩු වැඩි විදියට ඔය හේතු කිහිපයි ලියන්න කියන්න නොතේරෙන හේතු කිහිපයකුයි නිසා. කොයි කොහොම උනත් මං දැං බැඳලා. ඒක එතනින් අහවරයි. එතනින් පස්සෙ තමයි හොඳ සෙල්ලං තියෙන්නෙ.

ඒව ගැන නෙමෙයි මේ ලියන්න යන්නෙ. ඊට කලින් හිතන්න ඕන දේවල් කිහිපයක් ගැන….

බඳින්න නම් ඉන්නෙ, ඊට කලින් හොඳට හිතල බලන්න කවුද බඳින්න යන්නෙ කියල. මම දැක්ක කොහේ හරි බ්ලොග් පෝස්ට් එකක තියනව “හදිස්සියේ විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසු තැවේ” වගේ අදහසක්. මට හිතෙන විදියටනම් ඒක හරි.

මම විවාහ උනේ ප්‍රේම සම්භන්දකම් හතරකට [පහකට …. ?] පස්සෙ. ඒවායින් එකක් නම් පොරොන්දම් බලල නැකැත් තීරණය කරන තැනටම දුරදිග ගියා. ඒත් පහුවදා උදේ බෑ කියල හිතිල සභා තොමෝ සතුටින් නොවුනත් විසිර ගියා. අනිත් ඒවත් එච්චර දුර දිග නොගියට එක්කෝ මට බෑ කියල හිතිච්ච නැත්නම් අනිත් පාර්ශවයට බෑ කියල හිතිච්චා.

මම හිතන්නෙ එදා කොච්චර අමාරුවෙන් හරි බෑ කියල කියාපු නිසා අද හිතේ සන්තෝසය ඉතුරු වෙලා කියල. ඒක නිසා හිත සීයට සීයක් එකඟතාවයකට එනකන් විවාහයට “හා” කියන්න එපා.

බොහෝමයක් වෙලාවට ඔබ සහ මම යමෙකු හා ප්‍රේමයෙන් බැ‍ඳෙන්නේ හැබෑවටම ඔවුන්ව දැකල නෙමෙයි. සමහර විට ඒ බැඳීමට මූලික වෙන්නෙ, ලස්සන පා යුගලක්, ලස්සන හිසකෙස් කළඹක්, ලස්සන උල් වූ නහයක්, හා තව තවත් අනන්ත වූ පුද්ගල බද්ධ භෞතික ස්පර්ශක කාරනා.

ආරම්භයකට එය එතරම් වරදක් නොවෙන්නෙ ලංකාවෙ අපිට විරුද්ධ ලිංගිකයන් යම්තාක් දුරකට ෆැන්ටසියක් නිසා. ඒත් දීර්ඝ කාලීන බැඳීමකට යන්නේනම් ඔබ එම මානයන්ගෙන් ඔබ්බට යා යුතුයි. මොකද ඔබට ලස්සන පා යුගලක්, නාසයක් එක්ක විතරක්ම පවුල් කන්න බැරි නිසා.

ඔබ ප්‍රේමයෙන් ගතකරන කාලයේ කොයියම් ම මොහොතක හෝ සිතුනොත් යම් දෙගිඩියාවක්, වහාම නවතින්න ! සිතන්න ! සාකඡාකරන්න ! ඇතැම්විට එය නොසලකා හැරිය හැකි තරම් දෙයක් වෙන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා වැවි බැම්මට පුංචි සිදුරත් දීර්ඝකාලීනව බලපානව. ඒ මදිවට වැවෙන් පෝෂණය ලබන අයටත් මහා විනාසයක් ගෙනදෙනව.

එහම හිතනකොට ඔබට හිතුනොත් මේ සම්භන්දයෙ කෙළවර තියෙන්නෙ නොසතුටක් කියල, ඔබ මොකක් කරාවිද ?

ඔබ කුමක් කරයිද කියල කියන්න මම නොදන්නවට මම දන්නව මම ඒ වගේ වෙලාවට මොකක්ද කලේ කියල. දෙනෝදාහක් එපා කියද්දි, “ඔයා නැති වුනොත් මම මැරෙනව” කියද්දි සමාදානයෙන් මම පැත්තකට උනා. බොහොම අමාරුයි, බොහෝම වේදනායි, බොහෝම කේන්තියි. ඒත් ඒ ටික කලකට විතරයි. අවුරුදු පනහක හැටක සතුට වෙනුවෙන් අවුරුද්දක දුකක් නොසලකා හරින්න පුළුවන්. දැන් හැමෝම සතුටින් !

ඇතැම් විටක ඔබට සම්භන්ධයක් නවත්වන්න උවමනාවක් ආවත්, යාළුවො, දෙමාපියො, නෑදෑයො මොනවා කියයිද කියල බයේ ඒ තීරණය ගන්න පසුබට වෙනව. මට එක සම්භන්ධයක් නවත්වන්න ඕන වෙච්ච වෙලාවක යාළුවෙලා උන්නු ගෑණුළමයගෙ පුංචිඅම්මගෙ දුව මාත් එක්ක තරහ වෙයි කියල ඒ තීරණය කල් දැම්ම. තවත් වෙලාවක යාළුවො බනීවි කියලත් කල් දැම්ම. එදා ඒ කාරණා බොහොම ලොකුවට දැක්කට අද වෙනකොට ඒ දේවල් ළූණු පොත්තක් තරම් වත් වැදගත් නැති කාරනා.

ඒක නිසා හැම විටම තමන්ගේ හිතට ඇහුම් කන් දෙන්න පුරුදුවෙන්න. ජීවිතයේ බොහෝම බරපතල කාරණා ගැන තීන්දු තීරණ ගනිද්දි අද ගැන නෙමෙයි, අනාගතයය ගැනත් හිතන්න. හැම කෙනෙක්ටම සවන්දෙන්න. ඊටපස්සෙ ඇනලයිස් කරල බලන්න. එන රිසල්ට් එකට අවංකව මූණ දෙන්න.

විවාහ උනාට පස්සෙ මොනවද වෙන්නෙ ?

කිසිම වෙනසක් වෙන්නෙ නෑ. හැමදෙයක්ම සාමාන්‍ය විදියට ගතවෙනව අමතර වගකීම් රාශියකුත් එක්ක. ඔබ විවාහවෙන්නෙ කානිවල් එකකට ඇතුළුවෙන හැඟීමෙන් නම් ඔබ ගේට්‍ටුවෙන් ඇතුළුවූ වහාම බලාපොරොත්තු කඩකර ගන්නව.

විවාහය මිනිස්සු වෙනස් කරන්නෙනම් නෑ කොහෙත්තම. ඇතැම් විට ඔබ විවාහ වෙලානම්. ඔබට හිතෙනවනම් අනෙකා විවාගයෙන් පස්සෙ වෙනස් කියල, ඔබ ඒ වෙනකල් මුළාවක ඉඳල තියෙන්නෙ. අනෙකාගේ සැබෑව ඔබ දකින්න උත්සාහ කරල නෑ. එහෙමත් නැත්නම් ඉඳ හිටක දැක්කත් “පස්සෙ ඕව හරියයි” කියල හිත රවට්ටගෙන.

ආයෙමත් කියනව, මිනිස්සු වෙනස් කරන්න බෑ. එහෙමත් නැත්නම් හරිම අමාරුයි. හැබැයි අවංකවම ඔවුනට වෙනස් වෙන්න උවමනාවක් තියනවනම් පුළුවන්. ඒ උවමනාව ඇතිවෙන්නෙ තමන් දැන් දරන ස්ථාවරය වැරදියි කියල තේරුම් ගනිපු කෙනෙක් තුල විතරයි. හැම අතකින්ම තමන්ගේ ක්‍රියාවන් සර්ව සාධාර්ණයි කියල හිතන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට තමන්ගෙ ස්ථාවරය වැරදියි කියල පිළිගන්න තියන ඉඩකඩ හැන මටනම් තියෙන්නෙ ලොකු සැකයක්.

ඒ වගේම අමත කරන්න එපා විවාහයට පෙර ප්‍රේමයෙන් ගතකරන කාලයේ අනෙකා ඔබට පෙන්වන්නෙ සැබෑවම නොවෙයි කියලත්.[මේක ස්වාභාවිකවම ඇතිවන්නක් මිසක් අනිකා මුලා කරන්න හිතාගෙන සිද්ධවෙන දෙයක් නෙමෙයි මගේ දැනුමෙ හැටියටනම්] ඔබ සෑම විටම මනස විවෘතව විචක්ෂණශීලීව පවත්වාගෙන යන්න ඕනෙ ඉඳ හිටක හමන හුලඟකට මෑත්වෙන තිරයෙන් පි‍ටුපස හිඳිනා අනෙකාව දකින්න. ඔබ ප්‍රේමයේදි අනෙකාට අවංක නම් පෙරළා ඔබවෙත අවංකත්වය එයි. ඔබේ හිතේ සතුට පවතියි. ඔබ කොතැනද අනෙකාව මුලා කරන්නෙ, එතනයි ඔබ ‍රැවටෙන්නට පටන්ගන්නේ ඔබේම බොරුවෙන් මුලාවූ අනෙකාට.

විවාහයට පෙර සිදුවන ප්‍රේමය අත්පත් කරගැනීම හා පවත්වා ගැනීමේ උත්සාහය විවාහයෙන් පස්සෙ ඉබේටම හීන වෙලා යන්නෙ “ඔබ මගේ, මම ඔයාගේ අපි දෙන්න දැන් එක්කෙනෙක්” කියන සමාජය විසින් බලෙන් ප්‍රේමවන්තයන්ගෙ කරමත පටවපු තඩි බොරුවට යටවෙලා. පුද්ගලයන් දෙදෙනෙක් කිසිම වෙලාවක එක්කෙනෙක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක්.

ඔබ පිලිගන්න සූදානම් නම් ඔබ හා අනෙකා දෙදෙනෙක්, ඔබ දෙදෙනාගේ අවශ්‍යතාවයන් දෙවිදියක්, සතු‍ටු වෙන්නෙ වෙනස් ක්‍රම වලින්. හිතන්නෙ පතන්නෙ හිත් දෙකෙකින්. ජීවන පුරුදු දෙවිදියක්. කොටින්ම ඔබ දෙදෙනා එක වහලක් යට ජීවත්වෙන පුද්ගලයන් දෙදෙනෙක් කියල, එතන ඉඳල ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ සතුටින්, සමාදානයෙන්, අදරයෙන්, ඉවසීමෙන් පිරිලයනව. එහෙම නැතුව අපි දෙන්නා දැන් එක්කෙනෙක් කියල හිතනවනම් ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ පිරිල යන්නෙ පසුතැවිල්ල, කේන්තිය, වෛරය වගේ භින්නාත්මක ආකල්ප වලින්.

හැම දෙයක්ම මුලදී සැක කරන්න, විමසන්න, අවබෝධයෙන් පිරික්සන්න. පිළිතුරු දැනගන්න, සැකය සමනය කරන්න. ඉන් අනතුරුව මිසක් විශ්වාසයේ පදනම අතුරන්න එපා. පදනම ශක්තිමත් නම් ඔබට ඔබේ විවාහ ජීවිතට බොහෝම උසට ගොඩනඟන්න හැකි වෙයි. මොකද සාර්ථක ජීවිතයක් කියන්නෙ ගොඩනැගිල්ලක්, වෘක්ෂයක් වගේ සිරස් අතට මිසක් වැලක් වගේ තිරස් අතට ගමන් නොකරන්නක් නිසා.

මම කියන්නෙ නෑ ඔබටත් මේ ලියල තියන දේවල්ම කරන්නය කියල. ඔබ කැමතිනම් පිලිගන්නත් අකමැතිනම් පිලිනොගන්නත් පූර්ණ අයිතිය ඔබ සතුයි. මොකද ඔබේ ජීවිතයට වගකියන්නෙ ඔබම මිසක් මම හෝ ඔබේ අනෙකා හෝ වෙනයම් කිසිවෙක්වත් නොවෙන නිසා.

පින්තූරය ගත්තේ http://9gag.com

%d bloggers like this: