දැං අවුරුදු දෙකයි – උන්න හැටියට මලා මදැයි චූටිමැණිකෙ.

හැතැප්ම දෙකකට වැඩිය දුර නැති ඉස්කෝල දෙකක අවුරුදු දහතුනක්ම ඉඳල, ඒ මදිවට බද්දෙගෙ, ටිල්නියගෙ, ඩකා ගෙ පන්තිවල නූලෙ වාඩිවෙලා ඉරට්ටෙ ලිය ලිය අවුරුදු දෙකක්ම කට්ට කාල, තවත් අවුරුදු දෙකක් ඇන්.ටී. ඇස් එකේ තාප්පෙ එහා පැත්තෙයි මෙහා පැත්තෙයි ඉඳල, මදි පාඩුවට තවත් අවුරුදු දෙකක් එක ලඟ තියෙන නෝනාවාට්‍ටුවෙයි වැලිකඩයිත් ඉඳල අන්තිමට පත්තර පි‍ටුවක් හන්ද නෙව අපි දෙන්න එක වහලක් යටට උනේ.

කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක චූටිමැණිකෙ නේද?

අම්මප එක අතකට ඒ කාලෙ හම්බ උනානං මෙච්චර දුරක් නේන්නත් තිබුන නේද? ඒ කාලෙ මොනව කියල තේරෙන වයසක් ද. අනික අර ඔහෙගෙයි මගෙයි ඕ-ලෙවල් කාලෙ ගත්තු අයි.ඩී පින්තූර දෙකේ හැටියට කීයටවත් ලඟින් තියන්න ඇහැක් දෙන්නෙක්ය.

ඊටත් ඉතිං වැරදිලාවත් මයෙ හිත ගිහිල්ල පස්සෙං ආවනං ඔයැයිගෙ ඉස්සර කොල්ල මට අම්බානක ගහල මදි පාඩුවට ගෙදර ගිහිල්ලත් කන්න ඔතල දෙයි නෙව. එහම හිතෙන කොටනං මගෙ පූරුවෙ පිනකට තමයි ඇහැ ගැහුනෙ නැත්තෙ. වැරදිලාවත් එහෙම උනානං බලන්න තිබුන ර‍ඟේ.

යකාගෙ හැටියටයි විමානෙ කිව්ව වගේ අපි දෙන්න තකට තක, මට ඩෝං යන තරමට ඔහේ කට පියං ඉන්න එක නං පූරුවෙ වාසනාවක්ම තමයි, නැත්නං අපි දෙන්න කා කොටාගෙන කොහෙං අහවර වෙයිද කියල දෙයියො තමයි දන්නෙ.

කට කෑවත් කියන්න තියනදේ කියන්න එපැයි. ඔහෙගෙ ගොඩ හොද්ද මේ අවුරුදු දෙකට ලුණු මිරිස්, ඇඹුල් එහෙම ගානට වැටිල පදං වෙලා ආපු හැටියට තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ. එදාට අපි දාමු පාටියක් හොඳේ.

තාම ඇවිල්ල තියෙන්නෙ යාන්තං අවුරුදු දෙකයි. තව කොච්චාර යන්න තියනවද කියල මතක් වෙනකොටත් සරුවාංගෙම හීතල වෙලා යනව සන්තෝසෙට.

ඔහෙට හිතාගන්න ඇහැක චූටි මැණිකෙ තව අවුරුදු තිස් පහක් හතලිහක් ගියාම අපි දෙන්න කොහොම ඉඳියිද කියල. මට නං හිතෙන්න අපේ කොළු පැටිය රට ගියාම අපි දෙන්න තනිවෙයි ය කියල. පැන්සොං ගියපු නර්ස් නෝන කෙනෙකුයි මැනේජර් මහත්තයෙකුයි ඉස්තෝප්පුව කෙලවරේ යකඩ බංකුවෙ වාඩිවෙලා ලැප්-ටොප් එකත් පැත්තකින් තියාගෙන ඉස්කයිප්පුවෙන් කොල්ලත් එක්ක දොඩන රූපයක් මයෙ හිතට ආව මේක ලියන වෙලාවෙ.

සමහර වෙලාවට අපෙ කොළුව අපිදෙන්නත් අරං යයි නේද? අපි ඌව බලාගත්තු විදියට ඌ අපිවත් බලාගනියි නේද ? කවුරු කාට කියන්න ඇහැක්ද ඕව, ඒත් ඉතිං කවුරු ආව ගියත් ඔහේ මාත් එක්ක නොවැ ඒ මදෑ.

ඒ වෙනකොට මයෙ තට්ටෙ පෑදිලා තියෙයි, දතුත් හැලිල තියෙයි, අතපයත් වලංගු නැතිවෙලා ඇසුත් නොපෙනී යයිද මංද, ඒත් මොනව වෙනස් උනත් අද වගේම එදාටත් මේ පීනස් ලෙඩේනං අඩුවක් නැතුව තියෙයි නේ. කරුමේ කරුමේ !

මොකෝ හිනාවෙන්නෙ, ඔහේටත් ඒ ආනිසංසෙම තමයි, මොකෝ වයසට යන්නෙ මං විතරෙයි. ඔහෙගෙත් දත් හැලිල හම ‍රැලි වැටිල මයෙ ගානටම එයි. ඊටත් වැඩි වෙයිද කියන්න බෑ. ඒක හන්ද දැන්ම ඉඳල එක එක කිරීං ජාති උලල පරිස්සං වෙන්ට හොඳා, එහෙම හැඩට උන්නොත් කාටෙයි ආඩම්බර. තට්ට නාකියෙක් ලමිස්සියෙක් බැඳල කියල මයෙ නාකි යාළුවොයි අහල පහල ඉන්න එවුනුයි ඉරිසියාවෙ පැලෙයි නේද එතකොට. උන්ට හොඳම වැඩේ. ඉරිසියාකාර හැත්ත.

ඒ මොනව උනත් තාමත් ඉස්සර වගේම බැරි උනත් ඉඳල හිටල ඔයි උකුලෙ තියං ඔළුව අතගාන එකනං අමතක වෙන එකක් නෑ නෙව. හැබැයි අතගාල අහවර වෙලා නාකි කෝලං කියල මයෙ තට්ටෙට ටොක්කක් අනිනව එහෙම නෙවෙයි හොඳේ….. නාකි උනත් මං ඔහේ එක්ක නැතුව වෙන කවුරු එක්ක කෝලං කරන්නෙයි චූටිමැණිකෙ.

අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

කල්හාරගෙ මේ ලිපිය දැක්කම මම ආයෙමත් අදින් අවුරුදු අටකට විතර කලින් ක‍ටුනායක ගතකරපු කාලයට මතකයෙන් ගියා. ක‍ටුනායක අපනයන සැකසුම් කලාපයේ ‍රැකියාවට ගිහිල්ල කෙල්ලො ගොඩක් මැද ගතකරපු කලය මතුපිටින් බැලුවම හරිම ලස්සනයි වගේ බලන කෙනෙක්ට පෙනෙයි. ඒත් යථාර්තය ඒකම නෙවෙයි. මතුපිටින් පෙනෙන හැම දෙයකම අභ්‍යන්තරය ගොඩක් වෙනස්. හිත රිදෙන තැන් බොහෝමයි.

ඒ අත්දැකීම් වලින් කොටස් තුනකට ලියාපු පහලින් තියන ලිපිවල තිබුනෙ අපි අත්විඳපු හිතට බරක් එකතුකරාපු එක සිද්ධියක් විතරයි.  කැමතිනම් කියවන්න,

01.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
02.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
03.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

මාත් එක්ක ක‍ටුනායක බෝඩිමේ හුණ්ඩු කාමරේ උන්න යාළුවන්ගෙන් එකා දෙන්න මාසයක් හමාරක් අපිත් එක්ක ඉඳල  හෙමිහිට හෙමිහිට කාමරෙන් ගියා. ඒකට හේතු ගොඩක් තිබුනත් ඉඩ කඩ මදිවීම හැම තිස්සෙම ප්‍රධාන හේතුව හැටියට අපි හැමෝම පිලිගත්තා.

එහෙම ගියත් ඒ තුන් හතරදෙනා වැඩි ඈතකට නෙමෙයි ගියේ.

ඒ බෝඩිමේදිම අඳුනගනිපු ගෑණුළමයි එක්ක වෙනමම කාමරවලට !

ලිවින් ‍ටුගෙදර් අහල තිබුනට මේ තමයි මුලින්ම හැබෑවක් කියල දැකපු කාලෙ. උන් එහෙම යනව කිව්වම අපි මුලින්ම බය උනා මුන් මේ මොනව කරන්න හදනවද කියල. ඒත් අපිට අරුමයක් උනාට සීයක් හමාරක් උන්නු ඒ බෝඩිං සංකීර්ණයේ කිසිම කෙනෙකුට ඒක ලොකු දෙයක් උනේ නෑ. කිසිම අවලාදයක්, බැනුමක් නෑ.

ඕනෙම නම් වැඩිම උනොත්, ආ නංගී… හරිගියා එහෙනං ඈ…. කියල උන් එක්කම එච්චර කාලයක් උන්නු කෙල්ලෙක්ම විහිළුවක් කරන්න ඇති.

එදා ඉඳල අපි වගේ උන් උදේට උයන්න කුස්සියට ආවෙ නෑ. කඩෙන් හැන්දැවට ආප්ප, කොත්තු කන්න ආවෙ නෑ.

පොකුණට වැටිච්ච ගල ඇතිකරපු ‍රැලි හෙමිහිට මැකිල ගියා. රොන් මඩ ආයෙම පතුලටම කිඳාබැස්සා. අපි වෙනදා වගේම අමන්දොළුව පාර දිගේ කෙල්ලො පේලියක් පස්සෙන් වැටිල රස්සාවට ගියා. ආයෙම හැන්දෑවෙ බෝඩිමට ගෑ‍ටුව. බොහොම නිස්කලංකයෙන් ඒකාකාරී විඩාබර දවස් ගෙවිලා ගියා.

ඒත් එක දවසක් !

හැන්දෑවෙ අටට විතර අපි බෝඩිමේ කපරාරු නොකරුපු බ්ලොග් ගල් වලින් බැඳපු කොට තාප්ප කෑල්ලකින් තුන් පැත්තක් විතරක් වටවෙච්ච, වහලක් නැති ෂවර් පෝලිමේ නාන අතරෙ අපේ කාමරේ උන්නු සම්පත් දුවගෙන ඇවිල්ල බැනියමක් හෝදන්න තියාගත්ත.

මොකෝ බං මේ… අපි නාන්න කතාකල වෙලාවෙ උඹ ඉහේ ඇම්මයි කියල නිදාගෙන නේද උන්නෙ ?.

……. උත්තරයක් නෑ, ටැප් එක ගාව දණ ඇණගෙන රෙද්ද හෝදනව.

උඹට මොන යකා වැහුනයි මේ හැන්දෑවෙ?

…… ඒත් සද්දයක් නෑ,

මිනිහෝ කියාපන්, මොකද උනේ……

ඒයි ඒයි…. පොඩ්ඩක් එහාට වෙයං බලන්න.. යකෝ මේ ලේ නේද……. !!!

මොකද බං උනේ… කියහංකො….

මොන රෙද්දක්ද බං. මුකුත් උනේ නෑ…..

එහෙනං මේ ලේ…. !!!

උඹලත් ගෑණු වගේනෙ. කට පියං ඉඳහල්ල යකුනේ. මුකුත් උනේ නෑ…

එහෙම කියල ඌ හෝදපු බැනියමත් අරං ආපහු කාමරේට ගියා.

අපි නාගෙන අහවර වෙලා කාමරේට යනකොට මෙන්න මනුස්සය ඉහේ ඉඳං පොරවාගෙන නිදි.

මචං… මම ඇඟට අත තියල කතා කලා.

හ්ම්…..

මචං පාං තියනව කාල නිදාගං..

ම්හ්.. උඹල කාහල්ල, මගෙ ඔළුව රිදෙනව බං…..

උනේ මොකක්ද කියල දැනගන්න අපිට ලොකුවට උවමනාව තිබුනට මිනිහ නිදාගෙන උන්න විදියට අපිට හිතුනෙ නෑ ඇහැරවල ආයෙම ඌට වද දෙන්න. අනික අතක් පයක් කැපිල කියල පේන්නෙත් නැති එකේ උදේටම අහල බලනව කියල හිතාගත්ත.

වෙනද වගේම ස්ටූල් එක මැද අලි පරිප්පු බේසම තියාගෙන වටේට වාඩිවෙලා අපි පාං කෑව.

සැරින් සැරේ ඇඳේ ඉන්න එකාගෙන් හීන් කෙඳිරියක් එනව.

පව් බං ! හැබෑටම මූට මොකද උනේ….?

අයියේ… අයියේ….

කවුද බං මේ වෙලාවෙ.

එකෙක් ගොහින් දොර ඇරිය.

නිලූපා…… එහා කාමරේ ඉන්න කෙල්ලො තුන්දෙනාගෙන් එක්කෙනෙක් !

සම්පත් අයිය ඉන්නවද?

ඉන්නව දැං නිදි ඔළුවෙ කැක්කුමයි කියල. ඇයි නංගි.

නෑ නිකං ඇහුවෙ. මං යන්නං.

නිලූපා සම්පතුත් එක්ක කීප දවසක්ම කතා බහ කරනව අපි හැමෝම දැකල තිබුනත් ඒ ගෑණු ළමය ගැන පොඩි පොඩි කතා වගයක් බෝඩිමේ පැතිරිලා තිබුන නිසා කතා බහට යනවට  අපි  කැමැත්තක් පෙන්නුවෙ නෑ. සම්පතුත් වැඩිය ඒ ළමයව කෙයාර් නොකලෙ ඒ වෙනකොටත් ගමේ ගෑණුළමයෙක් උන්න නිසා.

පහුවෙනිද අපි නැගිටිනකොට මෙන්න අසනීප කාරය නැගිටල ලේස්තිවෙලත් ඉවරයි.

මචන්, දැන් උඹට කොහොමෙයි?

අවුලක් නෑ මචං. දැං හරි.

ඒක නෙමෙයි, අද උඹගෙ ඕෆ් එක නේද, මේ කොහේ යන්නද?

හ්ම්ම්…. ලොකු හුස්මක් අරන් මිනිහ ඇඳ උඩින් වාඩි උනා..

මචං, මම ආයෙම ගමේ යනව.

ගමේ යනව.. ඒ මොකෝ බං.

ඊයෙ රෑ පොඩි අවුලක් උනා මචං.උඹල නාන්න ගිය අතරෙ  නිලූපා කාමරේට ආව. …… ……..  ……..

මොකක් ! ඉතිං…..

****************************************

කවුරුවත් මාව ඇහුවොත් දන්නෙ නෑ කියාපන් මචං. ……. මම ගිහිල්ල ඒකිට කෝල් එකක් දෙන්නම්.

අපි සේරම කතා නැතුව කසාය බීපු ගොළුවො වගේ බලා ඉඳිද්දි සම්පත් ලොකු ට්‍රැවලින් බෑග් දෙක කරේ දෙපැත්තෙ එල්ලගෙන අපිට පි‍ටුපාල එකම එක පාරක් වත් ආපහු නොහැරීම ලා අඳුරෙ පාරෙ ලයිට් කණුවෙ එලියෙන් පේන වැලි පාර දිගේ බෝඩිං වත්තෙන් එලියට ඇවිදගෙන ගියා.

“ඉතිං යකෝ ඒක මහ බලු වැඩක්නෙ”

එහෙම කියල ඌට බනින්න හරි උපදෙසක් හරි දෙන්න අපි කිසිමකෙනෙක් ඉදිරිපත් උනේ නැත්තෙ ඇයි කියල තාමත් මට හිතාගන්න බෑ. සමහර විට සම්පත් “අපේ” කියල හිතෙන්න ඇති. එහෙමත් නැත්නම් නිලූපා ගැන මුලින්ම තිබුන අපැහැදීම වෙන්න ඇති. ඒත් එක්කම ඒක උන්ගෙ ප්‍රශ්ණයක්, අපි දෙන්න හදන විසඳුමෙන් ඇතිවෙන ප්‍රතිඵල විඳින්නෙ අපි නෙමෙයි කියන සිතුවිල්ලත් කොහේ හරි තියෙන්න ඇති කියල යාන්තමට හිතෙනව.

මිනිස්සු එක එක වෙලාවට ජීවිතේ ප්‍රශ්ණ වලදි දක්වන ප්‍රතිචාර හිතාගන්නත් බැරි තරම් පුදුමයි.  !!!

කොහොම උනත් එදා ඉඳල අපි ඒ බෝඩිමෙන් අයින්වෙලා යනකන් නිලූපා අපේ මූණ බලල කතා නොකලත් අනිත් අයත් එක්ක කිසිම වෙනසක් නැතුව හිනාවෙලා උන්නා.

මම මුලින් කිව්ව වගේ ඒ අපි පිටින් දැකපු හිනාවක් විතරක්ම වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඇතුලින් පිචිචී පිච්චි ලෝකෙට පේන්න හිනාවෙච්ච නිලූපාගෙ හිතේ හයිය සම්පත්ට නැතිවෙච්ච එක ගැනනම් කණගා‍ටුවකුත් අප්‍රසන්න කමකුත් මිශ්‍රවෙච්ච හැඟීමක් තවමත් මගේ හිතේ තියනව.

පින්තූරය ගත්තේ මෙන්න මෙතනින් http://193.105.21.101/image?id=7433&hsearch=bamboo+plant

මගේ තනිකමේ ප්‍රීතිය

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූ මිටි ලන උල ලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්න

ගායනට : සුනිල් එදිරිසිංහ
රචනය : කුමාරදාස සපුතන්ත්‍රි

වටේ පිටෙ කොච්චර මිනිස්සු උන්නත් හිතට මහා තනිකමක් දැනෙනෙ වෙලාවල් අනන්තයි. සමහර වෙලාවට ඒ තනිකමෙත් අනන්ත සුවයක්. තනියම ඉපදුනාට තනියම මියගියාට මිනිස්සුන් තනියම බොහෝ කලක් ජීවත්වෙන්න කැමති නෑ. ඒත් සාමූහික විසීමකින් ඇතිවෙන හිත් රිදවීම් ඇතමෙක් තනිකමට සින්නක්කරේටම ලියල දීල. ඇතැම් විටක ඔවුන් ස්වකැමැත්තෙන්ම තනිවෙලා.

සෑම ප්‍රේම කතාවක අවසානයේ ඇතිවෙච්ච තනිකමට, හිස් බවට මාත් බොහෝම ප්‍රිය කලා.

ඒ හැම වෙලාවකම තනියම කාමරේ ඇඳේ බිත්තිය පැත්තෙ විට්ටමට හේත්තුවෙලා දොරට උඩින් බිත්තියෙ අලවල තිබුන සයිමන් ඇන්ඩ් ගාෆන්කල්ගෙ “හෙලෝ ඩාක්නස් මයි ඕල්ඩ් ෆ්‍රෙන්ඩ්” සිංදුවෙ පෝස්ටරේ තිබිච්ච අඳුර අතරෙ බොහොම කැමැත්තෙන් හිරවෙලා උන්නෙ. ඒ සින්දුවට ආසා උනෙත් කේ. කේ. සමන් කුමාර [සර්පයා] ගෙ “පිණි අහුරක් ඉහිරුණා” කියවල. ඒ පොතේ චරිත වටහාගන්න බැරි සාමූහික තනිකමකින් පීඩා විඳිනව.

කොටින්ම කිව්වොත් ප්‍රේමයක් අත්විඳින්නත් කලින්ම මට ඕන වෙලා තිබුනෙ ප්‍රේම වියෝගයක් අත්විඳින්න. ඒක නිසාම ගෑණුළමයෙක් එක්ක යාළුවෙලා මොකක්හරි හේතුවකට එයා මාව දාල ගියාම ඒ තනිකම පාළුව විඳගන්න හැටිත් හිතාගෙන උන්නෙ…

ඒත් ඒ ඉස්කෝලෙ දවස් වල එහම දෙයක් සිද්ද නොවුනත් ඊටපසෙ ඇතිවෙච්ච් ප්‍රේම බිඳවැටීම් නම් බොහොම අපූරුවට වින්දනය කලා. බීල කානු පල්ලේ නොවැටී, තනිකමේ අපූර්වත්වයෙන් පීඩා විඳීම ගැන ආපස්ස හැරිල බලල අදටත් සන්තෝසෙන් මතක් කරන්න පුළුවන්.

ගාල්ලෙ ලයිට් හවුස් එක පාමුල තියන කොන්ක්‍රීට් ලෑල්ල, රෑම්පාට් එකේ කාලතුවක්කු ගේ ඒ කාලෙ තනිකම හොයාගෙන ගියපු තැන්. ඒ තැන්වලට වෙලා හැන්දෑවෙ බහින ඉරට පි‍ටුපාල වාඩිවෙලා දිගට දිගේ තනකොළ බිස්සෙ ඇදිල ගිහිල්ල අඳුරු වෙලායන පරිසරයටම මුහු වෙලා නොපෙනී යන මගේම හෙවනැල්ල දිහා හිස් හිතින් බලාගෙන ඉන්න එකට මම බොහොම ඇලුම් කලා.

තනිකම දුකක් කිව්වට ඒක සම්පූර්ණ ඇත්තක්ම නෙමෙයි. තනිකම දුකක්, ඒත් ඒකෙ රසයකුත් තියනව, හරියට නෙල්ලි වගේ. තනිකම ඇතුලෙ ක්‍රමානුකූලව ගොඩ නැගෙන ස්වයං ආත්මානුකම්පාව වෙලාවක කන්දෙකෙන් පටන් අරන් කකුලෙ සුළැඟිලි වෙනකන් හීනි විදුලියක් වගේ ගමක් කරන අමුතුම හැඟීමක් ! මට හිතෙන්නෙ භාවනානුයෝගීව ඉන්න අයත් ඔවුන්ගේ ආධ්‍යාත්මික චාරිකාවෙ අතරමඟකදි යම් මට්ටමකට විඳින්නෙ තනිකමේ ගුප්ත රසය කියලයි.

පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ…‍උළලේනෝ..

හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ…
උළලේනෝ….‍උළලේනෝ…

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න

විවිධ වයස්කාණ්ඩ වලදි තනිකමට විවිධාකාර සමාජීය අර්ථයන් සැපයෙනව. ඒ කොයිම අවස්ථාවකදිවත් මම හිතන්නෙ නෑ හිතට දැනෙන්නෙ පුර්ණ දුකක් කියල. ජීවිතයේ අවසාන භාගයේ ඇතිවන තනිකම ගැන අත්දැකීමක් නැති වුනත් පහු කරපු අවුරුදු විසි නමෙයේ මතක ඇති අවුරුදු පහලව විස්සෙ තනිකමක් දැනුන කිසිම වෙලාවක ඒක දුකක්ම විතරක් උනේ නෑ. සතුට, ආත්මානුකම්පාව, ශෝකය, වෛරය මුසුවෙච්ච අච්චාරු හැඟීමක් මිසක්. ඒ තනිකමේ වින්දනයට මගෙ හිත බොහෝම ලෝභයි.

ඉස්සර වගේම අදටත්… සමහර විට හෙටත්….. !

පින්තූරෙ ගත්තේ : http://daksheshparmar.blogspot.com/2011/05/

බේරේ වැව් පතුලේ සැඟවී ගිය ඇගේ ගල

ට්‍රීං…. ට්‍රීං……….

මොන මළ කරදරයක්ද මේක වැඩක් කරන්න දෙන්නෙම නෑ නෙව,

හෙලෝ..

හෙලොව්… [අප්පට සිරි හරිම සුවීට් වොයිස් එකක්…..]

හෙලෝව්.. අයියා මට ඔයාව මීට් වෙන්න ඕනෙ….

බඩුම තමා, ඇයි ඕයි මේ මොන විනාසයක්ද, එක කෙල්ලෙක්ගෙන් ඊයෙ නිදහස් උනා විතරයි මේං තවත් එකක්.. මයෙ සිකුර ඉස්මුදුනටම ගහලද කොහේද.

මීට් වෙන්න නම් පුළුවන්, ඒත් මම ඔයා කවුද කියල දන්නෙ නෑ නෙ?

අනේ ඔයාට මාව අඳුරගන්න බැරි උනාද? මම නිරාෂා, මධූගෙ නංගි.

හුටා ! ඔයි තියෙන්නෙ කරමුලින්ම කෙළවිලා. ඇයි හත්වලාමෙ මේකි මට මයේ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ.

ආ.. ඔයාද මේ, මට වොයිස් එක අඳුරගන්න බැරි උනානෙ. ඉතිං කොහොමද?

කොහොඹත් නික වගේ තමා …. මම ගැන කතා කරන්න නෙමෙයි කෝල් කලේ, අක්කගෙ පොඩි පණිවිඩයකට.

ආයෙ මට කියන්න තවත් මොනවද එයාට ඉතුරුවෙලා තියෙනෙ, ඊයෙ හැන්දාවෙ ඔක්කොම කියල අහවර කලේ එයා..

ඔය ඉතිං…. ඔයාට කේන්ති යනවනෙ පොඩ්ඩ ඇත්නං.

ආයෙ කේන්ති නොයා තියෙයියැ ඊයෙන් පස්සෙ ආයෙ මගෙ මූණ බලන්නෙ නෑ කියල නෙව ගෑණි ගියේ. මාත් ඉතිං අනේ හොඳයි කියල බොහෝම සන්තෝසෙන් පැත්තකට වෙලා උන්නෙ. ඉතිං එහෙව් ගෑණි ඒකිගෙ නඟා අතේ පණිවිඩ එවනකොට මට කියන්නෙ ආයෙ චූන් එකේ ඉන්නෙයි කියලැයි.

ඒවයින් වැඩක් නෑ. මොකක්ද පණිවිඩේ ?

ඒක මෙහෙම කියන්න බෑ අයිය, අපි අද හවසට මීට් වෙමුද?

ම්….. ඒ ගමන මේකි මොකාටද එන්න හදන්නෙ, මම දන්නව මේකිත් මට කැමැත්තෙන් උන්නෙ ඒත් අක්ක හන්ද සද්දෙ වහල හිටිය කියල. දැං ඉතිං අක්ක මාත් එක්ක බ්‍රේක් හන්ද මේකි පොටක් පාදගන්නද හදන්නෙ.

මාත් ඉතිං එපා කියයි එහෙව් හැඩ කෙල්ලෙක් මයෙ පස්සෙන් එන්න පටන්ගත්තොත්. අක්කට වඩා නංගි හරි හැඩයි කියල ඒ දවස් වලත් දකින දකින එකා කිව්ව නෙව.

මොකද ඔයා සද්ද නැත්තෙ, එන්න බෑ ද?

මං දැං එහෙම එකක් කිව්වද?

මං ටක් ගාල ශේප් කරල දැම්ම, නැත්නං මෙච්චර සුවීට් කෙල්ලෙක්ග පරම පිවිතුරු හිත රිද්දල මාව අපාගතවෙන්නත් බැරි නෑ නෙ. එහම උනොත් ආයෙ දෙකක් නෑ අපායෙ කොත්තු තැටියෙ තමයි මට ලගින්න වෙන්නෙ.

එහෙනං…

මේකි තො‍ඳොල් වෙනව.

හරි හරි මං එන්නං. කොතනටද එන්නෙ ඕනෙ?

හ්ම්… අක්ක ඔයා එක්ක යන්න ආසම තැනට යමු.

ඔන්න මට ආයෙම මළ පැනගෙන එන්නෙ. ඇයි හත් ඉලව්වෙ මේකි මේ මොකාටද එන්නෙ. කතා කරන්නෙ හරියට මගෙත් එක්ක අවුරුදු ගානක් යාළුවෙලා උන්න වගේ.

මේ.. මඟුලක් කරන්නෙ නැතිව කියනව තමුසෙට එන්න පුළුවන් තැනක්. මම එන්නම්.

හ්ම්… එහෙනං එන්නකො මැක්ඩොනල්ඩ්ස් එකට.

අහා…. මේකි මයෙ හක්කෙන්ම දතක් ගලවන්නයි හදන්නෙ. මාසෙ අන්තිම, තාම පඩි හම්බු උනෙත් නෑ. බෝඩිමට සල්ලි දෙන්නත් තියෙනව. ඒ උලව් අස්සෙ මේකිත් එක්ක මැක්ඩොනල්ඩ්ස් ගියොත් පඩි හම්බුවෙනකන්ම හක්ක අල්ලං තමයි ඉන්න වෙන්නෙ.

මම තමුසෙගෙ කොල්ලද මැක්ඩොනල්ඩ්ස් එක්කං යන්න. ඕනෙ නං එනව නවලෝකෙ ගාව තියෙන ‍තෝසෙ කඩේට.

ඊයා.. පෙරේතයා.. මට බෑ ඔය ජරා කඩවල්ගානෙ ඇවිදින්න. [කන්න කුඩු නෑ….. ඒත් කටේ තියන නරිවාදම මේකිගෙ….. අහන්න දෙයක් නෑ අක්කගෙම නඟා නෙව]

පෙරේතයා… ? තමුසෙගෙ අක්ක මාව හින්දුවෙ නැත්නං තමුසෙව මැක්ඩොනල්ඩ්ස් එක්කං යන්න තිබුන.

හරි හරි මම හෙට එකට ඕෆ් වෙනව. නවලෝකෙ ගාවට එන්නකො.

හා..

මධූ කියන්නෙ මීට කලින් කීප සැරයක්ම නවම් මාවතේ ලියන්න ගිහින් අසාර්ථක වෙච්ච මගේ පරණ ආදර කතාවක්. ඒ දේවල් කිසිවක් ආයෙම මතක් කරන්න මට කිසිම උවමනාවක් තිබුනෙ නැති උනත් ආයෙම ඒ  ගැන මතක් උනේ මීට දවස් දෙකකට කලින් මධූ පුංචි කෙලිපැටියෙක් වඩාගෙන සැවෝයි එක ලඟින් කාර් එකක නැගල යනව දැක්ක නිසා.

ඉස්සරටත් වැඩිය හැඩයි !

කතාකරන්න උවමනාව ලොකුවටම තිබුනත් අපි මීට අවුරුදු ගානකට කලින් වෙන් වෙච්ච විදිය ආයෙම මතක් වෙද්දි ඒ සිතුවිල්ල එහෙම්මම යටපත් වෙලා ගියා. ඉස්සර වගේම එයා අයෙම දරුණු උනොත්…… [ඒ කාලෙ මධූට ආරූඪ වෙලා තිබුනෙ මම දැකපු දරුණුම හිතක් පපුවක් නැති කෙල්ලක් – ආදරේ අහිමි වෙන්න හදනකොට ගෑණු ළමයි එහෙම වෙනව ඇති]

නිශාරා කියන්නෙ මධූගෙ ලොකු මාමගෙ දුව. ඒත් හැමෝටම කිව්වෙ එයාගෙම නංගි කියල. ඒකෙ වැ‍රැද්දක් නෑ, මොකද අම්ම නැති නිශාරාව අතදරුව කාලෙ ඉඳලම බලාගත්තෙ මධූගෙ අම්ම. නිශාරාගෙ පිච්චෙන ඇස් දෙකයි තුන් හතර පාරක් බැළුවත් ඇති නොවෙන පෙනුමයි මාසයකට සැරයක් වත් ටවුන් එකේ කොහේහරි වලියකට මුල උනා. මධූ නම් කිව්වෙ ඒ ගොඩක් දේවල් නිශාරා උවමනාවෙන්ම ඇති කරපුව කියල.

නිශාරා මධූගෙ නංගි කියල දැනගත්තු කොල්ලන්ගෙන් ඒ කාලෙ මට බේරුමක් නැති උනා ඒකිව යාළුකරල දෙන්න කියල. ඒත් නිශාරා ඒ කාලෙ පස්සෙන් ආපු කිසිම කොල්ලෙක් දනින් උඩට මායිම් කලේ නෑ. රූපෙ නිසා පුදුම ආඩම්බරයකින් උන්නෙ. ඒත් එහෙමයි කියල කිසිම කොල්ලෙක් උත්සාහය ඇතෑරියෙ නෑ.

එක පාරක් කොල්ලො ටිකක් ගාල්ලෙ සංගමිත්තෙ කිට්‍ටුව රොඩ්ඩගෙ ‍කෙමෙස්ට්‍රි ක්ලාස් එක ඉස්සරහදි මේකිව වට කරගෙන වචනයක් ගන්න පුදුම උත්සාහයක් ගත්තෙ. අන්තිමට නිශාරා ඒ කොල්ලට “අනේ මේ ඔයා මගේ පස්සෙන් එන්න කලින් ගෙදර ගිහින් කණ්නාඩියෙන් මූණ බලල එන්න” කියල තිබුන. ඔන්න ඔහොම සිද්ධි අනන්තයි. හරිම හැපනින් කේස් එකක්.

කියාපු විදියටම මම සෙනසුරාදා හවස ගියා නවලෝකෙ ලඟට.

නිශාරා එනව හොස්පිටල් ගේට්‍ටුවෙන්.

අපි යමු බේරෙ පැත්තට. කියල එයා ඉස්සර උනා. අර ෆෝන් එකෙන් කතාකරපු තො‍ඳොල් කතා මුකුත් නෑ.

මාත් ඉතිං කතා නැතුව පාර පැනල ගංගාරාමේ සීමාමාලකය පැත්තට යනව. මට අඩි දෙක තුනක් ඉස්සරහින් ගියපු නිශාරා නෑතුනා වැව අයිනෙ තඩි නුග ගහ යට තියන බස් හෝල්ට් එකේ.

මාත් ලඟටම ගිහිල්ල නැවතුනා.

මොකක්ද පණිවිඩේ ? මම ඇහුව.

මුකුත් නොකියා නිශාරා මගෙ මූණ දිහා බලාගෙන ඉන්නව. නහයෙ අග තෙත් වෙලා, යටි තොල හපාගෙන. අඬන්න ඔන්න මෙන්න වගේ.

ඇයි මේ… ඔයාට අඬන්න මුකුත් මෙතන උනාද?

ඒත් නිශාරා එහෙම්මමයි.

එකපරටම එයා කරේ තිබුන රෙදි මල්ලට අත දැම්මා.

මම අඩියක් පස්සට උනා.. මම දන්නව නිශාරා කොච්චර දරුණුද කියල.

ලඟට එන්න, එයා ඔළුවෙන් කතා කලා. ඇස් දෙකේ කඳුළු පිරිල.

කෝ ඔයාගෙ අත දෙන්න…

මම දකුණත දික් කලා.

බෑග් එකෙන් ගුලිකරල ගත්තු අත මගේ අත උඩින් තිව්වා.

මගෙ අතට දැනෙනව මොකක් හරි දෙයක් එයා මගෙ අල්ල උඩින් තිව්ව කියල. ඒත් නිශාරාගෙ අතට මගෙ අල්ල වැහිල නිසා පේන්නෙ නෑ ඒ මොකක්ද කියල.

මොකක්ද? මම ඇහැව්ව…

ඔයා දන්නව….

කෝ මගෙ අත අතාරින්න මේක මොකක්ද කියල බලන්න.

නිශාරා මගේ ඇස් දෙක දිහා බලාගෙනම එයාගෙ අත අරගෙන මගෙ අත මිටමෙලෙව්ව.

මම දැන් යනව අයියෙ. අක්ක එයාගෙ ෆෝන් නම්බර් එක ඊයෙ මාරු කලා.

එහම කියල නිශාරා ඉස්සරහට ඇවිදගෙන ගියා.

මම එතනම ඉඳන් මිටමෙලවිලා තිබුන අතේ ඇඟිලි දිහෑරියා.

අල්ලට දාපු දාවිය වලින් තෙමිච්ච, වතුර පාරකට මැදිච්ච ජිල් බෝල දෙකක් තරම් රවුම් කළු පාට ගල් කැටයක්.

ඒත් එක්කම මාව දෙදාස් දෙකේ අවුරුද්දෙ අනිතිම කාලයටම ගියා. මම හිටියෙ සිංගරාජෙ මෙදේරිපිටිය පැත්තෙ කඳවුරට ඩිංගක් උඩහින් තියනෙ දිය ඇල්ලක් ලඟ සූස්තියක් එහෙම කටේ ගහං මධූට දෙන්න ලස්සන ගල් කැටයක් ‍තෝර ‍තෝර. මම දැක්ක අද මගේ අල්ලෙ දාඩියට තෙමිච්ච ගල් කැටේ වතුර පාරෙ තියනව. මම ඒක එදා ලේන්සුවෙ ඔතල සාක්කුවෙ දාගත්ත.

මට ඒ මතකයින් ආයෙම ඕනෙ නෑ. ගල් කැටේ ඔළුවට උඩින් ඇ‍ඟේම වීරිය දාල බේරෙ වැවට වීසි කලා

ජබුං !

සද්දෙට වැවේ නිස්කලංකයේ ඔහේ පාවෙවී උන්න පෙලිකන් කුරුල්ලො රෑනක් කලබල වෙලා පියාඹලා ආයෙමත් ඊට ඩිංගක් එහායින් ආයෙම වතුරට පාත් උනා.

මම නිශාරා ගිය පැත්තට විරුද්ධ පැත්තට ඇවිදන් ගියා.

අවසාන ප්‍රේමයේ ප්‍රීතිය

පළමු පෙම නුඹ නූනත්
අවසන් පෙම මෙයම යැයි පැවසු දින
නුඹෙන් ගැලූ සිනා ගඟ
මා සිත දෙගොඩ තලා
පළමු පෙම් කැළැල් සෝදා ගිය අපූරුව……

මාර නැකතකට බත් කෑ පුතු පැටියා….

ගෙදර කුස්සිය පැත්තෙ බැල්කනියෙ ගෑවෙන නොගෑවෙන තරමට තාප්පෙ අයිනෙ හැදිල තියෙන අඹ ගහේ ගේ පැත්තට නැමිල තියෙන අත්තෙ කූවුවක් හදාපු නම දන්නෙ නැති කුරුළු ජෝඩුව අපි මේ ගෙදරට එනකොටත් බොහෝම කලබලයෙන් තමයි උන්නෙ. මුලින්ම අපි හිතුවෙ කාලයක් වහල තිබුන මේ උඩ තට්‍ටුවට අපි ආවට බයවෙලා කියල. බැල්කනියෙ කොට තාප්පෙ පලින් පල තිබුන කුරුළු වසුරු පැල්ලම් කිව්වෙකිව්වෙත් ඒ කුරුළු ජෝඩුව එතනට වෙලා හැන්දෑවෙ ඈතින් පේන අවිසාවේල්ල පාරට උඩහින් බහින ඉරේ හැඩ බල බල ඉන්න ඇති කියල.

ඒත් සතියක් විතර ගිහිල්ලත් ඒ දෙන්නගෙ කලබලේ අඩු උනේ නෑ.. කුරුල්ල කොයිවෙලාවකවත් එක තැනක ඉන්න නෑ. ඒ අත්තෙන් මේ අත්තට පැන පැන අඹ ගහේ දිරච්ච පොතු අස්සෙ ඉන්න වේයො අල්ලන එකමයි වැඩේ. ඊට දවස් දෙක තුනකට පස්සෙ උනන්දුවෙන් බලනකොටයි දැක්කෙ ඉඳල හිටල රවුම් කූඩුවෙ පුංචි දොරෙන් පුංචි කුරුළු පැටව් දෙන්නෙක් එබිකම් කරනව.

කුරුලු තාත්තා අච්චර කලබලෙන් අත්තෙන් අත්තට පැන පැන වේයො ඇල්ලුවෙ ඇයි කියල ඒ වෙලාවෙ තමයි මට තේරුනේ.

දැං අපේ පැටියටත් කෑම කවන්න වෙලාවක් බලවගත්තොත් හොඳයි නේද ?

මෙච්චර වෙලා මටත් හොරෙන් කුරුල්ලො බල බල උන්න මගෙ පිටිපස්සෙන් හිටපු චූටිමැණිකෙ ඇහුවා…

හ්ම්….

අනේ.. ඉතිං ඕකට නැකතක්ම ඕනෙයි, ඊටත් අපි පොඩි එකාට බත් තලපෙ කවන්නෙ, අනික ඊයෙ දවාලෙ මම බත් කනකොට සුදු බත් ඇට හතරක් පහක් කැව්වෙ..

ඒ ඩිංග මම හිතුව මිසක් කිව්වෙ නෑ. කිව්වනං ඕං වැහි වලාවක් පාත්වෙන්න හොඳටෝම ඉඩ තිබුන එතනට.

දැං ඉතිං නැකැත් හදවන්නෙ කොහොමෙයි..

අපේ අම්මට බොහෝම විස්වාසවන්ත කේන්දර බලන ගුරුන්නාන්සෙ කෙනක් ඉන්නව උනත් දැං කාලෙක ඉඳල උන්දැට කියල මට නැකැත් හදවන එක නවත්තල දාල ඉන්නෙ මගෙ මොකක්හරි අලුගුත්තේරු කතාවකට. ඉතිං එහෙව් එකේ ආයෙ ඕක අම්මට කියන්න බෑ නෙව.

දැං මොකද කරන්නේ… ඒ…..

ඔහොම කල්පනා කරකර අමාරුවෙ වැටිල ඉන්නකොට අපේ කේන්දර ගුරුන්නාන්සෙ තමයි නෑ බැ නොකියා ඒ උදව්ව කරල දුන්නේ.

ආයිත් මට දෙපාරක් මතක් කරන්න උනේ නෑ හැරෙන තැපෑලෙන් උත්තර ලැබුනා.

ඕං ඒ සුභ නැකතට මගෙයි චූටිමැණිකෙගෙයි පුතු පැටියා බත් කාපු පිංතූර ටිකක්.

ඕං මගෙ හිත ඉස්සෙල්ලම ගියේ පැන්සලට

ඕං මගෙ හිතයි අතයි ඉස්සෙල්ලම ගියේ පැන්සලට.

දෙයියන්ගෙ මල්ලිලු නෙ මේ.

ආච්චි අම්මගෙ කිරිබත් නේද මේ.....

සීයගෙන් තමයි මුල්ම කිරිබත් කට.

අම්මයි තාත්තයි සීයයි ආච්ච්යි මායි

නැන්දයි සීයයි ආච්චියි මායි.

ප/ලි :

මං අද තමයි ඉස් ඉස්සෙල්ලම තාත්තගෙ බ්ලොග් එක කියවන මාමල නැන්දල සීයල ආච්චිල බලන්න ආවෙ.

පේනවනෙ, අච්චර රහ කෑම තියෙද්දි මං මුලින්ම අතට ගත්තෙ පැන්සලක් !

කවදහරි මාත් තාත්ත වගේ බ්ලොග් එකක් ලියනකොට මගෙ අම්මයි තාත්තයි මට කොච්චර ආදරේද කියල ලියල තියන්නම්. එදාට නැන්දල මාමල හැමෝම එන්න ඕන කියවල යන්න.

මීට,
අම්මගෙයි තාත්තගෙයි පුතු පැටියා [ලීනු]

ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ……….

මේ කතාව මට ලියන්න ලොකු උවමනාවක් තිබුනත් පහුගිය මාසෙක තිබුන වාර්ශික දානෙ උණුහුම පහවෙනකන් ඉවසාගෙන හිටිය. ඒ දවස් වලම ලිව්වනම් සමහර විට සමහර අයගෙ හිත් රිදවීම් වැඩි වෙන්න ඉඩ තිබුන.

නෑ නෑ.. මේ කතාව බ්ලොග් ලියන කිසිවෙක් හා සම්බන්ධ එකක් නෙමේ.

මේක අදින් අවුරුදු හතරකට විතර ඉස්සර මම සහ මගේ පාසැල් මිතුරන් හැමෝම වගේ කම්පනයට පත්කරපු සිද්ධියක්.

මේ චරිතයට අපි අන්වර්ථ නාමයක් දෙමු සාගර වීරංසිංහ කියල.

පාසැලේ අ.පො.ස සාමාන්‍ය පෙළ කරද්දි එකටම හිටියත් උසස් පෙළ කරද්දි වෙනස් විෂය ධාරාවන් ‍තෝරාගනිපු නිසා සාගරගෙයි මගෙයි ආශ්‍රය පොඩ්ඩක් විතර දුරස් උනා. ඒත් කොහේදි දැක්කත් “මචං” කියල කතාකරන්න අමතක කලේ නෑ.

උසස් පෙළින් පස්සෙ සාගර අගනුවර ප්‍රසිද්ධ සමාගමක මෙඩි රෙප් කෙනෙක් උනා. මගෙ මතකයෙ හැටියට ඔහු තමයි අපේ උසස් පෙළ කණ්ඩායමෙන් මුලින්ම ‍රැකියාවකට ගියේ. අපි විවිධ වෘතීය පාඨමාලා හදාරන අතරෙ සාගර බොහෝම ආඩම්බරයකින් සති අන්තයේ මෝටර් රථයකින් නිවාඩුවට ගෙදර එනව මට තවමත් මතකයි. සමහර විට ෆුට් බයිසිකල් වලින් ටවුන් එක පුරාම කරක් ගහන අපිට හෝන් නාදයකින් විතරක් ආචාර කරගෙන පියාඹලා ගියේ ඒ වෙනකොට ඔහු කලේ අපිට සාපේක්ෂව ලොකු ‍රැකියාවක් නිසා වෙන්න ඇති.

කාලයක් යනකොය ඉබේම අමතක වෙලා ගියපු සාගර, හදිස්සියේ විවාහවීමේ ආරංචියකුත් එක්ක ආයෙම අපේ මතකයට ආවා. ඒ වෙනකොටත් අපි සමහරක් ක්ලාස් යනව, සමහර අය කැම්පස් යනව. තවත් සමහර අය ක්ලාස් ඇරිල කෙල්ලො එනකන් බස් හෝල්ට් වල කට්ට කනව. කසාදයක් ගැන හීනෙන් මිසක් හිතල නෑ.

කොහොම හරි අපිට ආරංචි වෙනව සාගරගෙ ෆීල්ඩ් ඒරියා එක වෙච්ච නුවර පලාතෙ මිනිහා නැවතිලා ඉඳපු ගෙදර ගෑණු ළමය තමයි මේ විවාහකරගෙන තියෙන්නෙ කියල. තවත් කාලෙකට පස්සෙ ආරංචි වෙනව ඔහුට බලෙන්ම තමයි ගෑණු ළමයගෙ පැත්තෙන්න් මේ විවාහය කරල දීල තියෙන්නෙ කියලත්.

සාගරගෙ තාත්ත අපේ තාත්තත් එක්ක එකම ආයතනයේ ‍රැකියාව කරල පසුව ලෝයර් කෙනෙක් උන කෙනෙක්. ඔහු නගරයේ යම් තරමක ප්‍රසිද්ධ චරිතයක්. ඔහුට මේ සිද්ධිය ලොකු ගැස්මක් ඇතිකරපු දෙයක් නිසාත් ලැජ්ජාව හා කේන්තිය නිසාත් සාගරව පවුලෙන් ඈත්කරල තිබුනෙ. ඒත් සාගරට ඒක එච්චර දෙයක් නොවුනේ ඔහු ‍රැකියාව කලේ  අග නුවර නිසා. ඒත් හදිස්සියේම ඔහුට ආයතනයෙන් ‍රැකියා ස්ථාන මාරුවක් ලැබෙනව වෙනත් පළාතකට. ඒ වෙනකොට සාගර තාත්ත කෙනෙක් වෙන්න ඔන්න මෙන්න. මේ වෙලාවෙ දෙමාපියන් පිහිට නොවුනත් ඔහුගේ ජේෂ්ථ පාසැල් මිතුරෙක් ඉදිරිපත්වෙනව තම නිවසේ ඇනෙක්සියක් ඔවුන් දෙදෙනාට දෙන්න. අපි ඔහුට සමන්ත කියමු.

දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර එනකොට මම සාගර දකිනව අපේ හන්දියේ තියන වලං කඩේට වෙලා සිංහල අවුරුද්දට කිරිඋතුවරන්න හිල් නැති මුට්ටියක් ‍තෝරන්ව. ඊට පොඩ්ඩක් ඉස්සරහ නවත්තපු කාර් එකට හේත්තුවෙලා ඔහුගේ ගැබ්බර බිරිඳ බලාගෙන ඉන්නව. මම ඉස්සර පුරුද්දට “හා මචං කිරි උතුරවන්න වගේ” කියල ඇහැව්වා. මිනිහා මගේ දිහා දමපු අමුතු බැල්ම නතර උනේ මගේ අතේ තිබුන පොත් ටිකේ. ආපහු ඒ ඇස් නතර උනේ කාර් එකට හේත්තු වෙලා ඉඳපු බිරිඳ ලඟ. “

මම යන්නම් මචං…..

ඊට වඩා අඩුත් නෑ වැඩිත් නෑ. හරියටම ඒ වචන ටික ව්තරයි. වලඳත් කඩේම තියල සාගර බිරිඳත් එක්ක පිටත් උනා.. මම උනේ මොකද කියල හිතාගන්න බැරුව  ඈත යන කර් එක දිහා පොඩ්ඩක්වෙලා බලගන ඉඳල ගෙදර ආව.

මට උනා වගේ සිද්ධි කිහිපයක් තවත් යාළුවො කීපදෙනක්ටත් සිදුවෙච්ච සිද්ධි නිසා සාගර “මුල අමතක කරපු එකෙක්” කියල අපි මනුස්සයාව අමතක කරල දැම්ම.

ඔය වෙනකොට සාගර තාත්තා කෙනෙක් වෙලා හිටපු නිසා සාගරගෙ තාත්ත ඔවුන්ගේ නිවසටම තවත් කොටසක් එකතුකරල සාගරටයි බිරින්දටයි දරුවාටයි ඒකෙ ඉඩ දුන්න. ඒත් ඉස්සර තරම් ලෙංගතු කමක් නෑ. හරියට කුලියට ඉන්න වෙනම පවුලක් වගේ තමයි සාගරගෙ පවුල ඒ ගෙදර ජීවත් උනේ. තාත්තගෙන් නැති සොයා බැලීම්, උදව් පදව් සේරටම වගේම යාළුවටත් ලඟින් හිටියෙ මුලින්ම තමන්ගෙ ඇනෙක්ස් එක දීපු සමන්ත.

ඔහු ඒ වෙනකොට මේ පවුලේ ගොඩක් කිට්‍ටු සාමාජිකයෙක් වෙලා හිටියේ. කොච්චර කිට්‍ටුද කියතොත් දෙවෙනි ළමයා ලැබෙන්න ඉන්න බිරිඳට හදිස්සියක් උනොත් ‍රැකියාව කරන ප්‍රදේශයේ දුර බැහැර නිසාම නිතර ගෙදර එන්න වෙනෙ නැති සාගර ඒ රාජකාරියත් බාර දීල තිබුනෙත් සමන්තටමයි.

මේ කාලෙ වෙනකොට මම ‍රැකියාවකට කොළඹ ඇවිල්ල. ඒක නිසා සාගර ගැන අමතක වෙලා තිබුනෙ.

මචං… මට ගමේ යාළුවෙකුගෙන් කෝල් එකක්.

ඇයි මචං?

සාගර බෙල්ලෙ වැල දාගෙන මැරිල මචං.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සමන්ත සාගරගෙ බිරිඳ හොඳට බලාගන්න ලේසියි කියල මිනිහගෙ ගෙදර එක්කෙගන ගිහිල්ල.

හම්බුවෙන්න ඉන්න දෙවෙනි ළමය සාගරගෙ නෙමෙයි ලු.

තමන්ගෙ ජීවිතේ ප්‍රශ්ණ කතාකරන්න, හීතේ තියන ආවේග පිට කරගන්න අම්ම තාත්ත, යාළුවෙක්, නෑදෑයෙක් නැති සාගර උත්තර හොයාගෙන තිබුනෙ ගෙදර කුස්සියෙ බාල්කෙ ගැටගහපු තොණ්ඩුවකින්.

ප/ලි :

මචං සාගර අපි උඹව තනි කලේ නෑ බං. උඹයි අපි හැමෝගෙන්ම ඈත් වෙලා තනියම උඹෙ ලෝකෙ ගොඩනගාගන්න ගියේ. ඒකයි බං උඹේ ලෝකෙ කඩාගෙන වැ‍ටුන වෙලාවෙ උඹ අසරණ උනේ. උඹ කලින් රසාවක් හොයාගත්තු එක, කාර් එකක් ගත්තු එක, කසාදයක් බැන්ද එක, තාත්ත කෙනෙක් වෙච්ච එක නෙමෙයි බං උඹයි අපියි ඈත් කලේ. උඹේ හිතේ තිබිච්ච හීනමානෙ මචං. උඹ අපිත් එක්ක හිටියනං අදටත් අපිට හිනාවෙලා කතාකරන්න තිබුන, මයෙ පොඩි එකාට උඹෙ පොඩි එකා එක්ක සෙල්ලං කරන්න තිබුන. ජීවිතයේ සෑම දෙයකටම සුදුසු කාලයක් තියනව, ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ…..

මේක කියවන ඔයාල හැමෝටම ඇති කාලෙකින් කතා නොකරපු යාළුවො. එයාල කතා නොකලට කමක් නෑ ඉඩක් තියෙන වෙලාවක දුරකතන ඇමතුමක් දීල විස්තර කතාකරන්න.

සමහරවිට ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි !

ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – දෙවන හා අවසාන කොටස

ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – පලමු කොටස

එතැන් සිට ඈ මගේ මිතුරියක් විය……..

මධූ…..

ඈ මා හා සුහදව දෙඩූ පළමු සම වයස් ගැහැණු නොනෑයා ය. එහෙයින්ම මා ඈ කෙරේ ආකර්ශණය විය. ඒ ආකර්ශණයට ආදරය යැයි නම් තැබීමට මා උත්සුක නොවෙමි. ඇතැම් විට එය මුලින්ම සෙල්ලම් බඩුවක් අතට ලැබී උඩ යට කරකවමින් පුදුම වී පසුව පොලොවේ ගසා ඉන් නැ‍ඟෙනා ශබ්දයට අත්පොඩි තැලූ මාගේ පුංචි පුතුපැටියාගේ සිතේ ඇතිවූ සිතුවිල්ලකට සම වන්නට ඇත.

ආදරය….. ඊට අරුත් දෙන්නට මා නොදනිමි. උත්සාහ නොකලෙමි, නොකරන්නෙමි.

ඈ හා අමතර පන්ති අහවර වූ පසු බසයේ නැඟී ගියෙමි. ඈගේ බස් වියදම් දැරීමි. ඉඳ හිටක රටකජු ගොට්ටක්, අයිස් ක්‍රීමයක් රස බැළුවෙමු. එනමුදු අත්වැල් පටලවා නොගත්තෙමු. සිනාසෙන විට වල ගැහෙන කම්මුල් සිප නොගත්තෙමි. ඈ හා කතාකරනට දෙයක් මට නොවීය. ඈ ලඟ නම් අනන්තවත් මාතෘකා තිබිනි, එනමුදු ඈද “අපි” ගැන කතා නොකලාය. වැරදී හෝ ඈ මුවින් එවන් බසක් පිටවූ කල මා ගොළුබෙලි ක‍ටුව තුලට වන්නෙමි.

දිනක් ඈ ඈ ගැන කතා කළාය. නොනවත්වාම කතා කළාය. හඬමින් කතා කළාය.

ඈගේ පියා හා මව තනි කැමැත්තෙන් විවාහ වී ඇත. එහෙයින්ම මා පිය උරුමයන් ඔවුනට අහිමි විය. නෑයන් හැරගොසිනි, නෑයන් හැරගිය හෙයින් නොනෑයනුත් හැරගොසිනි. සියල්ලන්ගෙන්ම තනිවූ ඔවුන් ඈ ලද පසු තම තමන්ගේ ලෝකවල දිවි ගෙවන්නට පුරුදුවී ඇත. මව නැති තැන පියාද පියා නැති තැන මවද ඈ අසල විය. එනමුදු දෙදෙනාම එක වර නැත. ඈ මා දකුණු උරයේ හිස රන්දා හඬාවැටිනි. අහිමිවීම් සියල්ල හමුවේ හිමිවූ එකම වස්තුව ම යැයි පැවසීය

අහස ගුගුරුවා අනෝරා වැසි වැටිනි. වෙනදා වට වැසි වලට අගල් සෑදී බේරුන මඩ තට්‍ටුවම උසුලාගෙන වැසිදිය ගලා ගියේය. මා මෘදු විය. සියුම් විය. ඈට මා හැර අන් සරණක් නැතැයි සිතීමි.

මා ඈ හිස සිම්බෙමි…

ඒ මාගේ ආදරයේ ඇරඹුමයි…… !

ඉන් අනතුරුව ඔබ සැමගේ ආදරයන් මෙන් අපේ ආදර කතාවද ඉදිරියට ගලා ගියේය. ගාළු කො‍ටුව හා ධර්මපාල උද්‍යානය අනෙක් පෙම්වතුන්ගේ රජදහන් වෙද්දී අප දුරගමන් බස් රථවල පසුපස අසුනට සීමා වීමු. ඉන් අප ශිෂ්ඨ පෙම්වතුන් වෙන්නට යත්න දැරුවෙමු. ඒ සෑම ගමනකම ඈ මා උරයේ හිස රන්දා සැහැල්ලු වූවාය. මා සුරත ඈ සුරතේ පැටලී තිබිනි. එවන් මොහොතක ඉඳහිට මා සුලැඟිල්ලේ වවා තිබූ නියපොත්තෙන් ඈ අල්ල කිතිකැවීමි. ඒය ඈ හා මා පමණක්ම දැන හුන් සොඳුරු අවස්ථාවක් විය.

මා ඒ ඇඟෑලුම් කමට ආදරය යැයි පැවසූවද අද එය ආදරයම නොවේයැයි හැ‍ඟේ. එය අනුකම්පාවක් පමණක්ද නොවේ, වඩා නිවැරදිව පවසන්නේනම් එය කුතුහලය, බිය, ත්‍රාසය, ස්පර්ශය, ලිංගිකාකර්ශණය හා තවත් මොනවාදෝ කිහිපයක සංකලනයකි. එහි කැපකිරීමක්, විඳදරාගැනීමක්, සමසුන්ගෙන කරනා සාකඡාවක්, විවෘත වීමක්, බඩගින්නේ හින්ඳ අනෙකාගේ කුස පිරවීමෙන් ලබනා සතුටක්, කොහෙත්ම නොවිනි. මා ඇය ඉදිරියේ හොඳම පිරිමි ළමයා වන්නටත් ඈ මා ඉදිරියේ හොඳම ගෑණුළමයා වන්නටත් පොරයකි තිබුනේ.

දිනක් මා ඈ හා මාතර මූහුදු වෙරළේ ඇවිද ගෙදර පැමිණි පසු නොරුස්නා මුහුනින් යුතුව තාත්තා හැඳුනුම් පාතක ඡායාපිටපතක් මට දික් කලේය. එහි කොටස් තුනකින් යුතු නමක් රෝස පැගැයෙන් හයිලයිට් කර තිබුනි. ඒ ඇගේ හැඳුනුම්පත ය.

මා සටහන් කලේ සිදුවිය යුතුයැයි මා සිතූ අවසානය මිස ආවසානය සිදුවූ අයුරුම නොවේ.සත්‍ය අවසානය මෙයට වඩා බොහෝ දිගුය, ඒ හා සබැඳි බොහෝ අතුරු කතා පවතී. වල දැමූ අතීතය කැණීම හිතූ තරම් පහසු නොමැත. සුව වූ තුවාල නැවතත් තියුණු සැතකින් පෑරීමේදී දැනෙනා වේදනව දරාගත නොහැකි හෙයින් මා මෙතනින් නවතිමි.

ප/ලි : මින් මතු නොතේරෙන පෝස්ට් පලකිරීමේදී පරිස්සම් වෙමි.

ප/ප/ලි : එදා මේ සම්භන්ධව දැරූ අදහසට හාත්පසින්ම විරුද්ධ අදහසක් මා අද දරමි. එදා මා දොස් කී කිසිවෙකුටත් අද  දිනයේ දොස් නොකියමි. සියල්ලම සිදුවිය යුතුව තිබූ හොඳම අයුරින් විසඳී ඇත.

ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – පලමු කොටස

මධූ…..

ඈ මගේ ප්‍රථම ආදරය යැයි සලකා පමණක් මෙතුවක් කල් මා ප්‍රේමයෙන් බැඳුනාවූ ගැහැණු පරාණ සියල්ලෙන්ගෙන්ම මුදුනෙන් තැබිය හැක. ප්‍රේමය අතින් නම් ඈ ‍රැ‍ඳෙන්නේ පා මුලට මඳක් ඉහලිනි. මුදුන් අත්තේ පීදුනු තලමලට, මාගේ අවසාන ප්‍රේමයට අලගු තැබීමටවත් ඈ සමත් නැත. එසේ පවසන්නේ වෙන යමක් පවසා හිස බේරාගෙන ගෙදර යාමට නොහැකි නිසා නොව වෙන යමක් පැවසීමට තරම් මට හිත් නොදෙනා නිසාය.

ඈ මට මුලින්ම තවත් එක් ගැහැණු ළමයෙක් පමණක්ම විය. ඒ මා ගැහැණුන්ට බිය වූ කාලයයි. මේ හේතුව නිසායැයි අද ද පැහැදිළිවම නොතේරෙන යමක් නිසා මම ඔවුනට බිය වීමි. පාසැල් නිමවී හෝ අමතර පන්තියක් නිමවී මා බසයේ ගෙදර යන්නේ ගැහැණු ළමුන් වැඩිපුර නොගැවසෙන රියදුරු අසුනත් ඉදිරි අසුනත් අතරෙහි ඇති ඉඩෙහිය. කොන්දොස්තර මොනවා කියූවත් මා එතනින් හෙල්ලෙන්නේ නැත. එසේ නැතිනම් පෝලිමේ හිඳ හෝ අසුනක ජනේලය පැත්තේ කෙළවරක වාඩිවී ය. අසුනේ ඇති ඉතිරි ඉඩෙහි පිරිමි කෙනෙකු මිස සම වයස් ගැහැණු ළමයෙකු අසුන් ගත් අවස්ථා ඇත්තේ ඉතාමත් මඳ වශයෙනි. ඇතැම් විටක අසුන කරා ඇදෙනා ඔවුන් දු‍ටු විට මාගේ මුහුනේ ඇ‍ඳෙනා විකාර රූපී සිතුවම් විසින් ඔවුන් මවෙතින් පලවා හරින්නට ඇත. කම් නැත, මා සැහැල්ලුවෙන් ගෙදර යමි.

එක් දිනක්, දිනය කවදා දැයි මතක නැත. එහෙත් ඒ අනෝරා වැහි වට දිනයක් බව ඈගේ හැකිලූ කළු කුඩයෙන් මා හිසට වැ‍ටුණු දියබිඳුවල සීතල දැනුදු මට සිහිපත් කරයි. බස් රියේ කවුළුවෙන් බේරෙන දිය වැල් හා පාරේ අනිත් පැත්තේ තෙමී තෙමී යන මිනිසුන් වෙත මාරුවෙන් මාරුවට ඇස් නාභිගත කරමින් බස් රියේ නොතෙමී යන මාගේ දැහැන බිඳූ කුඩ කාරිය දෙස දවා හළුකල හැකි බැල්මක් හෙලීමි. ඈට මා තෙමන වගක් නැත. මා මෙන්ම ඈ ද ජනේලයෙන් එහා දෑස් රඳවා සිටී. මම නැවතත් ඈ දෙස බලමි, ඈ හොඳටම තෙමී ඇත. නිළ ඇඳුමට කළු හෝ සුදු මිස රෝස පැහැති තිසරපට නුසුදුසු වග ඈ නොදන්නා හැඩයි. ඇතැම් විටෙක දැන උන්නත් එක දිගට සතියක් පමණ වසිනා වැස්ස ඈට වෙනත් ‍තෝරාගැනීමකට ඉඩක් නොතබන්නට ඇත. දැන් බසයෙන් එලියේ තෙමෙනා මිනිසුන් ගැන මට වගක් නැත. ඈ ඇතැම් විටෙක පාසැල් ශිෂ්‍යනායිකාවන්ගෙන් හෝ විනයාචාරිණියගෙන් බැනුම් අසන්නට ඇත. පව් !

පව් ?.. මා කෙල්ලන්ට අකමැතිය. ඔවුන් ගුප්තය. තනිවූ විටක ක‍ටුවතුලට වැදෙනා ඉබ්බියන් මෙන් හැසිරෙන ඔවුන් රංචුගැසුන විටෙක නඟනා දෙමලිචි නාදයට මා අකමැතිය. එය මා අපහසුවකට පත්කරයි. එවන් තැනකින් විගසින් පලා යෑමට මට උවමනාවක් නිරායාසයෙන්ම ඇති වේ. එසේ නමුදු මේ මොහොතේ මා සිතුවිළි වෙනස් වී ඇත. අසුනෙන් නැඟිට යාමට හිත් නොදේ. ජනේලයෙන් ඉවත බලා සිටීමට සිත් නොදේ. ඈ දෙසම නැවත නැවතත් බැලීමට සිත් දේ. එනමුත් තෙමුනු නිළ ඇඳුම, රෝස තිසරපට මා ඇදෙස බැලීම වලකයි. මා දමනනය වෙමි.

එතනින් එය අහවර විය, ඉන් සතියකට පසු රූමස්සල කඳු මුදුනේ පැවති ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ වාර්ශික කඳවුරේදී නැවතත් ඈ හමු විය. රෝසපාට….. හ්ම්.. නැවතත් මා දමනය විය යුතුය. එසේ නොමැතිවුවහොත් ෆෝවර්ඩ් රෝල්ස් ලැබිය හැක. දිවා විවේකයේදී ඈ හට මා අසලින් වාඩිවීමට සිදුවිය. මෙය කඳවුරකි, බසයේ මෙන් නැඟිට යාමට නොහැකිය. ගිණි ගහන අව්වේ තනකොල නොමැති පිට්ටනියක රත් වූ බොරළු මත වාඩිවෙන්නට සිදුවූ මා මඳින් මඳ රත් වේ, කන් දෙක අසලින් පටන්ගෙන හිස දක්වා රස්නය පැතිරේ..

අදත් වැස්සොත් නියමයි….

ඇයි රස්නෙයිද?

ඈ මා හා කතා කරයි. දඩිං.. බිඩිං.. දෙමෝලෙන් කොටන සහල් එක මෝල්ගස් පහරෙන් පිටි වී යයි. කට කෑවත් පැවසිය යුතුය, ෆෝවර්ඩ් රෝල් බැරිනම් ඕන උලව්වක්,

නෑ.. අදත් පාට බලාගන්න තිබුන එදා වගේ..

මොන?

මා ඇයට නිධාන කථාව පැවසීමි.

මෝඩයා.. මෝඩයා….. මෝඩයා……..

ඒ මිත්‍රත්වයේ ඇරඹුමයි.

ඇගේ එක මගේ එකට වඩා බෙහෙවින් කෙටි විය.


මම බඩුවක් ඉල්ලුවොත් දෙනවද?

විසල් ඇස් තවත් විසල් කර ඈ හිස වම් අතට බරකොට මා දෙස බලා හිඳී…

කියන්නකො මධූ, දෙනවද?

බාගෙට ඇරුණු වීදුරු ජනේලයෙන් වේහගෙන් කැපී එන සුලඟ ඈ අපහසුවෙන් කීකරු කරගත් කෙස් රොදක් ඇද මූණට දමයි.

මොනවද?

මෙතෙක් මා හා සැහැල්ලුවෙන් තෙපළූ වදන්වල ස්වරය මඳක් තෙත් ස්වභාවටක් ගති.

දෙනවනං විතරයි කියන්නෙ….

ඈ එක් කම්මුලක් පමණක් වල ගැසෙනා සුපුරුදු සිනාවෙන් මුව සරසා ඇස් නටවයි.

එහනං නිකං ඉන්න….

ඈ මුව උල් කර පවසයි.

බැරිම තැන මා ඇස් වලින් මට පවසාගත නොහැකි දෙය පෙන්වමි.

ලැජ්ජාවෙන් රතුවූ මුහිණින් හිස දෙපසට වනා ඈ බැරියයි කියයි.

අනේ… මොකක්ද මධූ…

බෑ අනේ…. මිනිස්සුන්ටත් පේනවනෙ. මට ලැජ්ජයි

පේන්නෙ නෑ අප්පා.. මගෙ බෑග් එකට කවර් වෙලානෙ තියෙන්නෙ.

හ්ම්….. එහෙනං පොඩ්ඩ වෙලාවකට විතරයි හොඳද?

එසේ පැවසූ ඈ සුරතේ තිබූ ලා කහ පැහැති ලේන්සුව හෙමිහිට වමතට ගෙන මා සුරත මත සුරත තබා,

ඉල්ලගත්තේ හැමදාටම නේද? ඇසුවාය.

මමත් ඉතිං ඔවු කීවෙමි.

කරුමෙක මහත, ඇගේ නම මගේ නමට වඩා බෙහෙවින් කෙටි විය !

ප/ලි : දිග නම් සහ කෙටි නම්වල ඛේදවාචකය නැවතත් මතක් කර දුන් නිදහස් සිතුවිල්ලේ රවී අයියා ස්තූතියි

%d bloggers like this: