එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය

එක්ස්ක්‍යුස් මී …

මට ඉස්සරහින් ග්‍රීන් ඇපල් ජූස් කඩේ පෝලිමේ ඉඳපු වියත් දෙකේ සාය කොටයක් ඇඳල ඉඳික‍ටු දෙකක් වගේ හීනි අඩි තියස සපත්තු දෙකක් දාපු එක්සෙකටිව් ලූක් එකක් තිබුන ගෑණු ළමයගෙ කනට කිට්‍ටු කරල කඩුවෙන්ම කෙ‍ටුවෙ මේ නවම් මාවතේ ඉන්න ගෑණුන්ගෙ හැටි දන්න නිසා.

ඔව් ඔව්.. මුන් මහ අමුතුම එව්වො ජාතියක්. ඕං නිකමට හිතමුකො මං ඔය වෙලාවෙ සිංහලෙන් කතා කලා කියල. [ඔය එක්ස්ක්‍යුස් මී කියන එකට සිංහලෙන් කියන්නෙ “මේ.. නංගී කියල නේද ?] එහෙමනං ඉතිං තත්වය ශෝචනීයයි ! නිකං ඔළුව ගස්සල හැරිල බලන්නෙ හිඟන්නෙක් මේ ජූස් බාර් එකක අහවල් දෙයක් කරනවද කියල වගේ. තව යාළුවොත් එක්ක හෙම උන්නොත් කට කපාපු නෝන්ඩි හිනාවක් ලැබෙන්නත්, වැරදිලාවත් කොල්ල ඒ අහල පහලක හිටියොත් දවා අළුවෙලා යන බැල්මක් වැටෙන්නත් බැරි නෑ.

ටිකක් විතර බර කරල කනටම කිට්‍ටුකරල කොටාපු කඩු පාරෙන් ඔලුව හරවල බලාපි පෝනිටේල් එකත් ලතාවකට ගස්සලම.

හරියට හරි.. මේ දුල්මිණී තමා.. ඔය තියෙන්නෙ දකුණු ඇහිබැමට උඩින් තියන පුංචි උපන්ලපෙත්.

යර්ස් … ?

මොකක්ද මංදා මහ අමුතු විදියට ඇස් දෙකත් පුංචි කරල ඒ මදිවට නළලත් ‍රැලි කරල මගෙන් අහපි.

ඔයාට මාව අඳුරන්න පුළුවන්ද ?  [හරි හරි.. කඩුවෙන් කොටල පොටක් පාදගත්තම හෙළුවෙන් වනාගෙන වනාගෙන යන්න ඇහැකි, අනික මේ මම දන්න කියන ළමයෙක්]

හ්ම්…. අමාරුයි !!!

හුටා ! දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද ?

ඔයා ගාල්ලෙ නේද ?

ඔව්…. ?

ඔයා ලියනගේ මිස් ගෙ ක්ලාස් ආව නේද ?

ඔව් ඔව්.. ඔයත් ආවද ?

මේකි කොටියම කාපිය….. ඇයි හත් ඉලව්වෙ මං මේකි හන්ද හොම්බ කට කඩා ගත්ත. වස විළිලැජ්ජා වින්ද.. ඒ සේරම අමතකයි එහෙනං ඈ…..

ම්ම් …….. ආනේ මේ නවම් නේද ?

අප්පා ඇති යාන්තං මතක් උනා…..

පොඩි මතකයක් තිබුන. හරියටම මතක් උනේ ලියනගේ මිස්ගෙ ක්ලාස් ආව කිව්වමනෙ. කොහොම අමතක වෙන්නද අප්පා ඔයා එදා බෙල්ල කඩාගන්න හදාපු හැටියට !!

ෂ්…… කෑගහන්න එපා මනුස්සයො !!! වටේ පිටේ මිනිස්සු ඉන්නව.

හි හී හී….

——————————————————————————————–

හරි හරි.. කෙළ හලාගෙන හිටියට එතනින් එහාට අපි දෙන්න අතරෙ වෙච්ච කතාවෙන් තමුන්ලට වැඩක් නෑ…. 😉 ඒක නිසා දැනගන්න ඕනෙම නම් අර බෙල්ල කඩාගත්ත සිද්ධිය කියන්නම්. අහගන්නවලා…

——————————————————————————————–

මේ කියන්නෙ ඉස්කෝලෙ එකොලහ වසරෙ තුන්වෙනි වාරෙ විතර.

ඔය කාලෙ කියන්නෙ මහ අමුතු ආසාවන් එන කාලයක්නෙ. මට තිබුනෙ බයිසිකල් උණක්. එහෙමයි කිව්වට සන්තකේටම තිබුනෙ ඊට අවුරුදු පහකට විතර ඉස්සෙල්ල අරගෙන දීපු ඊස්ටන් ස්පෝට් බයිසිකලේ විතරයි. ඕකට තමයි මම දාපු සෙල්ලං ඔක්කොම කලේ.

මාසෙකට සැරයක් විතර ඕක මස් කරල ග්‍රීස් තෙල් එහෙම ගාල බෝල මාරුකරන ඒව එහම කරල බ්‍රේක් කේබල් ඔයිල් කරල ෆුල් සර්විස් එකක් දීල ගන්නව. සමහර දවස් වලට ඇණ මුරිච්චි දෙක තුනක් වැඩිපුරත් ඉතිරුවෙනව. ඒව ඉතිං ඊලඟ සැරේ ගලවල හයි කරද්දි සමහර විට හයි කරගන්න තැන් අහුවෙනව. එහෙම නැත්නං මගෙ අඬු බඬු දාපු පෙට්ටියෙ මුල්ලකට වෙලා ඔහේ තියෙනව.

මේ ගලවල හයිකිරිල්ලට හරියටම ගැලපෙන ආයුධ නැති නිසා ගොඩක් වෙලවට ලොකු යතුරු අස්සට පැතලි ඉස්කුරුප්පු නියනෙ තලේ එහෙම ඔබල හරියන සයිස් එකට පොඩි පොඩි එහෙමෙහෙ කිරීම් කරල තමයි සමහර ඇණ ගලවන්නෙ. පැඩ්ල් එක බයිසිකලේට හයිවෙන තැන තියන ලොකු කප් එක ගලවන්න නං ඒකෙ තියන කට්ට වලට ඉස්කුරුප්පු නියනක් තියල මිට්යෙන් ගහන්නම ඕනෙ. නැත්නං ඒක ගලවන්න බෑ. ඒ දවස් වල හන්දියෙ බයිසිකල් සාප්පුවෙ පැටි අයිය වැඩ කරන දිහා බලාගෙන ඉඳල තමයි ඒක අල්ල අගත්තෙ.

කොහොම හරි මේ නියමිත ආයුධ නැතුව කරන බාස් වැඩෙන් සමහර ඇණ වල ඔළුව ගෙවිල ගිහිල්ල ගලව ගන්නත් කොහොමහරි කරල ගලවපුව ආයෙම හයි කරගන්නත් බැරිවෙන වෙලාවල් අනන්තයි. එහෙම උනාම අන්තිමට සරණෙට එන්නෙ මහ විසාල කටර් අඬුවක්. ඒකෙ මැද තියන කට්ට රවුමට දාල දෑත බදල කැරකෙව්වම හරි. ඒකත් මහ කාලයක් කරන්න බෑ. අටපට්ටං ඇණ ඔළුව රවුං වෙනවනෙ. වැරදිලාවත් පිට පොට ගියොත් එහෙම ඇනේ පොට කැපෙනවනෙ. ඊට පස්සෙ ඉතිං අම්මට නාහෙන් අඬල කීයක් හරි ඉල්ලගෙන අලුත් ඇණයක් මුරිච්චියක් දාගෙන තමයි වැඩේ අහවර වෙන්නෙ.

මෙච්චර විස්තරයක් කියාගෙන ආවෙ මට ඒ සංගෙදිය උනේ කොහොමද කියන්න.

ඔන්න ඒ සෝචනීය දවසට එළි උනා. අතුරු ආන්තරාවක් නැතුව ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර එහෙම ආව සනීපෙට. තුන හමාරට යන්න ඕනෙ කිතුලම්පිටියෙ ලියනගේ මිස්ලයි ගෙදරට, එහෙ තමයි අපෙ ඉංගිරිස් පන්තිය. ස්කූල් බස් එකේ ඉස්කෝලෙ ගියාට අපි කොල්ලො ඔක්කොමල වගේ පන්ති යන්නෙ බයිසිකලෙන්. ඒක හරි ජොලි ගනමන, අතර මඟදි බීම පැකට් බොන එක තමයි ජොලිම වැඩේ, ඩොංග වාරෙට ඉතිං ඒව. ඉඳල හිටල පන්ති ඇරිල එන ගමන් ගලගෙඩිය පැත්තෙන් ඇවිල්ල තම්බි කඩෙන් ආප්ප කන්නත් අමතක කරන්නෙ නෑ. ඒකට ඉතිං සතියක දෙකක පොකට් මනී ඉතුරු කරගන්න ඕන නිසා ඒ ගනම නම් ඉතිං මාසෙකට දෙපාරක් නැත්නං තුන් පාරක් තමයි.

මේ පන්ති යන ගමනට හිරිඹුර හන්දියෙන් මට එකතුවෙනව කරාපිටියෙ ඉඳල එන විරාජ්, ඊට පස්සෙ කහදූවවත්තෙ බ‍ටුවන්තුඩාව පාරෙන් ලසන්ත, රිචර්ඩ් පතිරණ මහත්තයෙගෙ ගෙවල් ලඟින් එනව පුබුදු, කිතුලම්පිටියෙ ඉස්කොලෙ ගාවින් අපේ කාණ්ඩෙට එකතුවෙනව පැතුම්.

ඔන්න අපි සැට් එකම දැන් පන්තිය බලා පාගනව.

මේ මචං, උඹ මොකෝ කියන්නෙ මං දුල්මිණීගෙන් අහන්නද නැත්නං උඹ අහනවද ?

අඩේ උඹ අහන්න එපා බං. මං අහන්නංකො

හරියෙන්නෙ නෑ නෙ බං. උඹ දැං කී දවසක ඉඳලද ඕකිගෙන් අහනව කියල කියන්නෙ. කෝ ඇහුවද ?

ඔව් බං.. මූ අහන්නෙ නෑ උඹට අහන්නත් නෑ.. අන්තිමට අර මහින්දෙ කළුව ඕකි දාගනියි.

පිස්සුද බං, මම අද අහනව ෂුවර්.

හරි.. උඹට අද විතරයි චාන්ස් එක දෙන්නෙ. අද ඇහුවෙ නැත්නං උඹට ආයෙ චාන්ස් නෑ හරි .. ?

ඒයි නවමා, ඔන්න ඒකි හැරෙන පාර ගාව ඉන්නව, අහනවනං දැං අහපං.

කිව්වත් වගේ මේ ඉන්නෙ දුල්මිණී ක්ලාස් එකට හැරෙන පාර ලඟ. මෙච්චර වෙලා නවං ආව කොන්දත් කෙලින් කරල හැන්ඩ්ල් එකට අත් දෙකේම බර දීල ගත්ත පුරුස ධෛර්යය. අද නම් අහන එක අහනවමයි !!!

ක්‍රාස්….ක්‍රාස්..

දහ්.. ක්ර්ර්ස්…

ජබුං.. ග්ල්බ් ග්ල්බ් ග්ල්බ්…

අඩෝ.. නවම්.. නැගිටහං මචං මඩ වලෙන්.

හ්ම්ම්ම් හ්.. ආහ්……

මචං මුගෙ මූනෙන් ලේ එනව නේද ?

අප්පට සිරි. නහයත් කැඩිලද කොහෙද.. ඒ මදිවට නිකටත් පැලිල නේද … ?

නිලංකාර වෙලා තිබ්බට වටේ පිටේ උන් කතා කරනව් ඇහෙනව…

මං ඇස් ඇරල බැළුව.

ඔළු ගොඩක් මාව වටකරගෙන. ඒ අස්සෙන් යාන්තමය අහස පේනව.

මචං මචං.. උඹට මොකෝ බං උනේ….

ඒයි බං මුගෙ බයිසිකලේ හැන්ඩ්ල් එකත් ගැලවිලා බං මේ බලහංකො.. මාර වැටිල්ලක් නෙ මූ වැ‍ටුනෙ..

හ්මෙ.. ම්ම්…..

මං පිටිපස්සට අත ගහල නැගිට්ට. ඈතින් තවමත් අර පන්තියට හැරෙන පාර ලඟ දුල්මිණී අනිත් ගෑණු ළමයි ගොඩත් එක්ක මං දිහා බලාගෙන ඉන්නව.

එච්චරයි මට මතක !!!

ආයෙම ඇස් ඇරෙනකොට මං හිටියෙ කලේගාන හන්දියෙ ඩිස්පැන්සරියෙ රෙක්සින් ඇඳ උඩ !!!!

වයි දිස් කරදර කරදර මට වැඩි වී

බොහොම කාලෙකට පස්සෙ ඕං ආයෙම බැස්ස වෙලට හැබැයි ඒ ට්‍රැක්ටර් වලින් හාපු කුඹුරු නගුලෙන් හානකොට දැනෙන්නෙවත් නැතිවග නොදැන නෙමෙයි. ඒත් ඉතිං මක්කටෙයි නඟුල් දණ්ඩයි පෝරු ලෑල්ලයි වේ බඩ වෙන්න අරින්නෙ. හෙහ් හෙහ්… [දැං ඉතිං කාටද නඟුල් තියෙන්නෙ කාටද ට්‍රැක්ටර් තියෙන්නෙ කියල මගෙන් අහන්න එපා හරිය]

පහු ගිය ටික දොහේ පොඩි පොඩි ඇබැද්දි මහ ගොඩක් අස්සෙ බොහොම අමාරුවෙන් තමයි ඉහ ගහගෙන උන්නෙ. බොරු කියන්නෙ මක්කටෙයි ආයිබෝං ඉඳල හිටල වී බොන්න එන මැස්සෙක් දෙන්නක් එලවන්න මිසක් ආයෙ අම්මෙ මුත්තෙ කිව්වත් වෙල දිහා හක්කලං කොරන්න ඇඟ පතට වාරුවක් තිබුනෙම නෑ. ඒ විතරක් නං මදෑ කිසිම පිරියක්වත් නැතිවෙච්චි කොට !

මෙව්ව ඉතිං කියන්නත් මක්කද වගේ. ඒත් ඉතිං ඔහේල අපි දන්න අඳුරන එවුන් වෙච්චිකොට වහංගු කොරං ඉන්නෙ කෝමෙයි. එක එකාගෙ කනිං කොනිං ආරංචි වෙනවට වැඩිය නරකෙයි මං ම කියලදාන එක. ඊටත් ඕව කටිං කට යනකොට අර කපුටො හත්දෙනෙක් වමනෙ කොරාපු ගමයට වෙච්චිදේටත් එහා ගිය කතාවක් හැදෙන්නත් බැරිනෑ නොවැ. එහෙමට පුතයො තමයි මේ යායෙ ඉන්නෙ. මොකෝ මං අමුතුවෙන් කියන්න ඕනෙය ඒකෙ රඟ. හෙහ් හෙහ්…

කියනව කියල හිතාගත්තෙට ආයෙ මට හිතාගන්න බෑ මක්කා කියනවඩ මක්කා නොකියනවද කියල. ඒත් ඔන්න ඔහේ හො‍ඳෙයි කියල හිතන ඒව දෙකක් තුනක් කියල දාන්නං.

ඉස් ඉස්සෙල්ලම කියල උනේ අයිබෝං ගෙවල් පාරෙ ඉඳල මහපාරට බක්කිය දානකොටම කොහේද මංද ඉඳල ආපු තදියං කාරයෙක් මාවත් පෙරලාගෙන ගියපු එක තමයි. ඒකෙන් වං අතේ ඇටේ තැලිල දෙදොහක් විතර අත බෙල්ලෙ එල්ලං උන්න. කන්න ගියාම නං හිතෙනව දෙයියනේ හොඳවෙලාවට මයෙ දකුණු අතට මක්කාවත් නොවුනෙ කියල. ඒත් අහව වැඩේ කොරල අහවර උනාම තමයි ඒකෙ ර‍ඟේ තේරෙන්නෙ. කොහොමිං කොහොම හරි ඒ දස වද විඳගෙන දෙතුං දොහක් ගියයි කියමුකො. ඊට පස්සෙ වෙච්චි ඇබැද්දියෙ නෙව ඇබැද්දිය.

ගෙදර උන්දැ ලෙඩ ඇඳට වැටිච්චි !! අ‍ඳොමැයි හිතාගන්න ඇහැකි නෙව මගෙ සෝචනීය තත්තෙ. අම්මප ඒ සතිය තමයි සතිය. මහ ගෙදරට දක්කනව ආයෙම අපේ ගෙදර එනව. හිච්චි එකා එහෙං බෑඟිරි දෙනව මහගෙ ගෙ කිරි ඉල්ලල, උන්දැට කෙලින් කටිං ඉන්න පණ නෑ. හපෝ ! බැරිම තැන අප්පොච්චි ඇවිල්ල අපි තුන්දෙනාම කුදලගෙන ගියා එහේ. ඕං එතකොටයි ඩිංගිත්තක් හරි හුස්මක් කටක් ගත්තෙ. ඒ කොරලත් ඉතිං නිවනක් නෑ. මහගෙව අරං එක එක පරීක්සොන වලට දුවනව ඉවරයක් නෑ. ඒ උලව් අස්සෙ දෙවනියට ගියපු දොස්තර කියාපි ඉස්සෙල්ල උන්දැ දීල තියන බෙහෙත්වලින්ය මේ අසනීපෙ මෙච්චර ඔඩුදුවල තියෙන්නෙ කියල. කාල වරෙන්කො !! හොඳම වැඩේය කියන්නෙ පලවෙනි වංගියෙ බෙහෙත් වඩිය දුන්නෙ මහගෙලැයි ඉස්පිරිතාලෙ ඉන්න ලොකුම මහත්තයෙක් වෙච්චි එක නෙව. මට අනේ අනිච්චේ කියල හිතුන ආයිබෝං.

හාමිනේ යාංතං පණගහල එනකොට ඔන්න හිච්ච් එකාට අසනීප වෙච්චි ! ඒක කොච්චරවත් අම්ම ගාවට දුවන එකමනෙ වැඩේ. අම්ම ලෙඩවෙලාය කිව්වට ඌට තේරෙන එකක් යැ. කිරිබොන්නමයි දුවන්නෙ. එතනිං උස්සං යනකොට බෑඟිරිදීල අඬන්නෙ. අම්මගෙ අසනීපෙමයි කියල දොස්තර කිව්වෙ. ඒත් දෙයියංගෙ පිහිටෙන් බෙහෙත් වඩි දෙකක් බොනකොට හිච්චි එකානං සනීප උනා. ඒත් පරිස්සං කරගන්නෙයි කිව්ව එලියට පහලියට එක්ක නොයා.

ඔයිං මෙයිං මහගෙයි පැටියයි සනීප උනයි කියමුකො. ඊලඟට අපලෙ ආවෙ මයෙ කරත්තෙට නෙව. මං දන්නෙ නැතුව දොහක් ඒක නවත්තල තියෙන්නෙ ගංසබාවෙන් හාරල බාගෙට වහපු වලක් උඩ නෙව. උං යස අගේට තාර එහෙම දාල තියෙන්නෙ වල ගොඩකොරාපු පස් නොතලා. අනේ මං පැය දෙක තුනකට පස්සෙ යනකොට යස අගේට එක රෝදයක් ගිලාබැහැල වල ඇතුලට. බෝං ලීය ඇදවෙලා, තව තව තැලුං හීරුං ගොඩයි. ඕං ඉතිං ඒක විංකල්බාස්ට බාරදීල දෙදොහක් විතර බස් එකෙන් තමයි කඩපිලට එහම ගියේ.

ඊටත් පස්සෙ මේ ගිය හෙනහුරාද තාඩිංගෙන් මායි පොඩි එකයි නෑ. ඇල්ලුව නෙව පඩිපෙලකින් පල්ලෙහට මහ විසාල අඩව්වක් !!. මහ වැස්සෙ මගහෙත් ගෙදර නැති අල්ලපනල්ලෙ පොඩි එකාවත් වඩාගෙන අනිත් අතෙන් තඩි කුඩයකුත් ඉහලගෙන බැස්ස ගෙදර එලියෙන් තියන පඩිපෙල. හරියටම බාගයක් දුර බහිනව විතරයි මතක. ඊලඟ තප්පරේ මායි පොඩි එකයි පඩිපෙල පල්ලෙ දබොහ් ගාල පතබෑවුනා. දෙයියංගෙ පිහිටයි පොඩි එකාට හීරුං තුවාලයක්වත් නෑ. ඌ මගෙ ඇඟ උඩ. වැටෙනකොට මං ඌව අත් දෙකන්ම බදාගන්න ඇති මයෙ හිතේ. ඒත් මට…. !!

වං අතේ වැලමිටි ඇටේ ලඟ අඟල් දෙකක් විතර පැලිල. ඉන ලඟත් තව අඟලක විතර පැල්මක්. වං ඇළපතේ මහා විසාල තැලුං පාරක්. බුදුඅම්මෝ ! මට කලන්තෙ.

පහල ගෙදර අක්ක විජගට පොඩි එකාව අතට ගත්තෙ. මං ආයෙම උඩ තට්‍ටුවට බඩගාල ඇහැක් විදියට අත පය වෙලාගෙන කරත්තෙන්ම ගියා හාමිනේලැයි ඉස්පිරිතාලෙට. ඔහෙලට කියන්න මං ගියා විතරයි දඩිබිඩි ගාල දොස්තර මහත්තෙක් ඇවිල්ල හය හත්පොලක්ම මැහුව. ඇස් රේ පොටෝ එහමත් ගත්ත. තව බොන්නෙයි කියල හතිකුඩු දියකොරාපු වීදුරුවකුත් දුන්න. ඒකනං ඉතිං අර මහන වෙලාවෙ මං කලන්තෙ දාපු හන්ද වෙන්ඩැ.

දැං නං ඉතිං ඇවිදගන්න, වැඩක් පලක් කරකියාගන්න එහෙම ඇහැකි. ඒක හංද ඕං අද රස්සාවටත් ආව. ඒත් තාම නිදාගන්න ඇහැක්කෙ දකුණු ඇලේට විතරයි. වං පැත්තෙ මහපුව කපනකං ඒපැත්තට බර දෙන්න එපැයි කියලනෙ කිව්වෙ.

ප.ලි : මේ අසනීප කාරය මෝල්ටඩ් මිල්ක්, දොඩං වලට එහෙම මනාපයි ඕං. මක්කාවත් නැත්නං මාරමයි‍ටුත් අගුණයක් නැතිවෙයි මගෙ හිතේ.

ප.ප.ලි: මේක කෙ‍ටුවෙ තනි අතෙන්. ඒක හන්ද රහ කොර කොර ලියන්න නං බැරි උනා.

ප්‍රේමණීය හිඩැස

මොහොතකට පෙර ඔවුන් හුන් තැන මෙය යැයි කියන්නට මෙන් සීරුවට ඇතිරූ ඇඳ ඇතිරිල්ලේ පොඩි වී හැකිළුණු තැනට ඔබ්බෙන් ගලවා දැමූ මුතු ඇට පොටකි. ඇඳ රෙද්දෙහි වර්ණයටම සමාන යැයි කිවහැකි එය බැලූ බැල්මට නොපෙනුනත් කණ්නාඩිමේසයට මඳක් ඉහලින් ඇති සෑන්ඩ් ස්ටෝන් බිත්තියේ සවි කර ඇති බිත්ති ලාම්පුවෙන් නික්මුන මන්දාලෝකය ඇති කල සෙවනැල්ල එය උළුප්පා පෙන්නීය. කාමරයේ අනෙක්පස ඇති පු‍ටුවක ඇන්දක් මත දැමූ ස්ටෝන්ස් සාරිය මත වැ‍ටුණු විදුලි එළිය පංකාවේ සුළඟ විසින් වරින් වර කාමරය පුරා විසුරවා දැමුයේ මොහොතකට පෙර රාගී සුසුමින් කැළඹීගිය වා තලයේ දරාගැනීමට නොහැකි වත්මන් නිශ්චලභාවය බිඳින්නට මෙනි.

කවීෂ හිඳගෙන හුන් තැනින් නොනැඟිටම අත මානයේ තිබූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය. රාත්‍රී අටටත් කිට්‍ටුය. ඈ නානකාමරයට ගොස් පැයකට ආසන්නය. ඔහු සෝෆාවෙන් නැඟිට බැල්කනියේ විසල් ජනේල විවෘත කර දැමුයේ පරිසරයේ අඳුරට කාමරයට එන්න ඉඩ හරිමිනි. නමුත් ජනේලයෙන් එලියට ආ කාමරයේ වූ ආලෝකය අඳුර හා සටන් වැද මඳ දුරක් ඈතට පලවා හැරියේ ඔහු බලාපොරොත්තු නොවූ පරිදිය.

ජනෙල් පළු දෙක මැදින් පැමිණ අඳුර මරා දැමූ ආලෝක ඉර දිගේ සීරුවට ඉදිරියට ගොස් බැල්කනියේ සීතල යකඩ වැට අල්ලාගත් ඔහු ජනේලයෙන් එපිට ඇති ඉමක් නොපෙනෙන මහ සයුරේ ඇතින් පාවෙන ආලෝක ගුලි දිහා බලා සිටියේ මින් පෙර නොදැකි දසුනක් මෙන් ය. අඳුරු මුහුදේ ඈත ක්ෂිතිජයේ ඇති කුඩා එළි පේලි ඉඳහිට නොපෙනී යන්නේද අහසේ තරු මෙන්ය. මඳ වෙලාවක් ඒ දෙස බලා සිටි ඔහුට අහස හා මුහුද තනි යායක්ව පෙනුනේ බොඳ වී ගිය දෙනෙතට හසුවීමට තරම් ක්ෂිතිජ මායිමේ දැල්වෙනා එළි දීප්තිමත් නොවූ නිසාවෙනි.

කවීෂ…

එක්වරම පි‍ටුපසින් නැඟි හඬින් ගැස්සී කල්පනා දැහැනින් මිදුනු ඔහු සීතල යකඩ වැට අත්නොහැරම උරහිසට උඩින් හිස හරවා පි‍ටුපස බැලීය.

වර්ෂා….

මොහොතකට පෙර නොදු‍ටු සුන්දරත්වයක් තෙත් හිසකෙසින් යුතු ඈගෙන් නික්මේ. පපු මත්තට හැඳ උන් ලා ක්‍රීම් පැහැති නානකාමර තුවායෙන් නිරාවරණය වූ ඈගේ දඟයුග මෙතෙක් සීතලේ බැල්කනියට වී හුන් ඔහුගේ ගත සිත යලි උණුසුම් කරන්නට විය.

ඔයා ඉස්සර හිටියට වඩා හැඩවෙලා……

කෝමල බැල්මක් හෙලා රතුවූ මුහුණින් ඈ බිම බලා සිනාසුනාය.

පුදුම හමුවීමක් නේද ? ….. මෝටර් රියෙන් බසිනාවිට නැවතූ තැනින් ඔහු නැවතත් කථාව පටන්ගත්තේය.

හ්ම්….

මම දැනගන හිටියෙ නෑනෙ දේවින්ද ඔයාගෙත් යාළුවෙක් කියල….. එක අතකට නොදැන හිටිය එකත් හොඳයි, ඔයා එනව කියල මම දැනගෙන හිටියනම් සමහර විට මං නොඑන්නත් ඉඩ තිබුන.

ඇයි ඒ… ඔයා මාව දකින්න ඒ තරම්ම අකමැත්තකින්ද හිටියෙ ?

නෑ… මං කැමැත්තෙන් හිටියෙ. ඒත් ඔයා අකමැතිවෙයි කියල මම හිතුවෙ.

ඔයාටනම් ඉස්සර වගේම පිස්සු… හී හී….

ඇගෙ සිනහව තවමත් පෙර මෙන්ම චමත්කාරය. හිනැහෙන විට පුංචි වෙන ඇස්වලටත් වලගැහෙනා වම් කම්මුලටත් පෙම් බැඳි අතීතය ඔහුට සිහි විය.

වර්ෂා….

ම්..

ඇයි අපිට අපේම වෙලා ඉන්න බැරි උනේ…..

එන්න. අපි මෙතනින් වාඩිවෙලා කතාකරමු..

ඈ ඔහුගේ අතින් ඇද බැල්කනියේ පසෙක තිබූ කාමරයෙන් පෙරී එන ලා එළියට මඳක් නිරාවරණය වී ඇති දිගු සීතල යකඩ බංකුව මත වාඩි වූවාය.

ඔයා ඇඳුමක් දාගන්නෙ නැද්ද?

කමක් නෑ මෙහෙම හොඳයි.

නෑ ඉන්න.. මම ඕවර්කෝට් එක ගෙනැත් දෙන්නම්. නැත්නම් මේ සීතල මුහුදු සුළඟට ඔයා ලෙඩවෙයි. එහම උනොත් ආයෙ අනිද්දට ආපහු ෆ්ලයි කරන්න අමාරුවෙයි.

කාමරයට ගිය ඔහු ඇඳවිට්ටමේ දමා තිබූ ඕවර් කෝට් එක ‍රැගෙන විත් බැල්කනිය අසල හිටගෙන කාමරයට පි‍ටුපා මුහුද වෙත නෙත් යොමා සිටි ඈගේ උර මතින් දමා ඉන වටා දෑත් යවමින් තම තුරුළට ගෙන ඇගේ දකුණු උරහිස මත තම නිකට රඳවාගත්තේ අපමණ සෙහෙනෙහසිනි. ක්ෂණයකින් සිදුවූ දෙයින් ඈ නොසන්සුන් වුවද ඒ මින් තුන්වසරකට පමණ අපමණ ලොබ බැඳි සුපුරුදු උණුසුම ඔහු හා ඈ අතර තිබූ ඇඳුම විණිවිදින තුරු පමණි.

වර්ෂා… ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් ඇගේ සවනට මිමිණුවේය.

ම්ම්.. … ඔහුගේ ගැඹුරු, හැඟුම් බර හඬ ඈ සවනත වැටෙත්ම මැකී ගිය හිරිගඬු වැටිය නැවතත් ගෙල පුරා පැතිර ගියේය.

ඔයා ඇයි මාව දාල ගියේ …. ?

කවීෂ…

ම්..

ඒ ප්‍රශ්ණය එච්චරටම සාධාරණ නෑ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?

මංද.

කවීෂ… අපි අපිට නැති උනේ ඇයි කියන එකට උත්තර හොයන්නෙ නැතුව ඉඳිමුද ?

ඇයි ඒ…. ?

එන්නකො.. අපි වාඩිවෙමු අතනින්, දැන් නම් මගෙ කකුල් දෙකත් රිදෙනව.

යමු…

ඇයි ඔයා ඔතන වාඩි උනේ.. වෙනද වගේ මගෙ උකුලෙ ඔළුව තියාගෙන ඉන්න අකමැතියිද ?

අකමැත්තකට නෙමෙයි වර්ෂා… අවුරුදු තුනක් තිස්සෙ පිච්චිලා යාන්තම් නිවීගෙන ආපු මගෙ හිත ආයෙම අවුලවාගන්න මට බෑ.

ඔයා හරිම අසාධාරණයි කවීෂ. ඇයි ඔයා අමතක කරන්නෙ ඒ වගේම කාලයක් මමත් ගතකලා කියන එක?

වර්ෂා.. අපි ආයෙම මේ රණ්ඩුවෙනවද ?

හි හී…. ඔව් නේද…?

ඉස්සර වගේමයි අපි තාමත්.

නෑ කවීෂ.. ඉස්සර අපි රණ්ඩුවෙනකොට තේරෙන්නෙ නෑ රණ්ඩුවෙනව කියල.

හ්ම්.. ඒකත් ඇත්ත තමා.

මට ආරංචි උණා ඔයාගෙ අම්ම නැතිවුණා කියල. ඒත් මම ගියපු අලුතම නිසා නිවාඩු ගන්න බැරි උනා හොස්පිට්ල් එකෙන්, අනික කන්ට්‍රැක්ට් එකේ විදියට වැකේෂන් යන්න පුළුවන් අවුරුද්දෙ අන්තිමට විතරයිනෙ.

ඒකට කමක් නෑ වර්ෂා. අම්මා ඔයාට සලකපු විදියට මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ ඔයා ඒවි කියල. අනික ඔයා ආවානම් නෑදෑයොන්ගෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නත් තුබුන. හැමෝම ඔයා එක්ක තරහෙන් හිටියෙ ඒ කාලෙ.

ඔයත් ?

කොච්චර රණ්ඩු උනත් එදා ඔයා සේරම දාල යයි කියල මමවත් හිතුවෙ නෑනෙ.

ඒත් මම ඇහුව එකට ඔයා උත්තරයක් දුන්නෙ නෑ නෙ

මොකක්ද?

ඔයත් මාත් එක්ක තරහෙන්ද කවීෂ හිටියෙ ?

ඒක තරහක්ම කියල කියන්න බෑ වර්ෂා. ඒක මහා සංකීර්ණ හැඟීමක්. මහප්‍රාණ ඔළුවෙ තියාගෙන හිටපු නැදෑසනුහරයක් මැද මහේ හිතට එන ඕනම විකාරයක් කියන්න පුළුවන් ආදරණීය හිතත් අරගන ඔයා ගියාම මාව හිස් වෙලාම ගියා. ඒ හිස්කම පිරවුනේ නෑදෑයො ටික වටවෙලා ඔයාගැන කියාපු වැරදිවලින්. අන්න ඒ පීඩනය හිතින් පිට වුනේ ඔයා ගැන ඇතිවෙච්ච වෛරයක් විදියට. ඒකම තමයි ඔයා කැනඩා යනව කියල දැනගත්තත් වචනයක්වත් කතාකරන්න නොහිතුනේ. ඒත් මමත් ලංකාවෙන් ඇවිල්ල තනියම කාමරේකට කො‍ටුවෙලා ඉන්නකොට තමයි කල්පනා උනේ ඔයාට මාවදාල යන්න පරිසරය හැදුවෙත් මම නේද කියල. මට තිබුන ඔයාවත් අරන් ගමෙන් යන්න ඒ දවස් වලම.

නෑ කවීෂ, එහෙම නොවුන එක හොඳයි

ඒ කියන්නෙ ඔයා කැමතියි මාව දාල යන්න වෙච්ච එක ගැන ?

කැමැත්තටත් වඩා මට උවමනාවක් තිබුන කිව්වොත් හරි ඒ පරිසරයෙන් ඈත්වෙන්න. මම බය උනා හතරවටෙන්ම මට ආපු පීඩනය මාව පොඩි කරල දායි කියල. මම ජීවත්වෙන්න ආස ගෑණියෙක් කවීෂ.

ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ අපි මෙහෙන් යමු කියල, එහෙම කිව්වනම් මම ඔයත් එක්ක එනවනෙ.

මම බලාපොරොත්තු වුනා ඔයා මාව තේරුම් ගනී කියල. අනික මම ඒ දවස් වල මට උන කෙණෙහිළිකම් ඔයාට කියල සාධාරණයක් බලාපොරොත්තු උනා නම් එතන ලොකු විනාසයක් වෙන්න තිබුන. ඊටත් මම එහම කිව්වනම් මායි නෑදැයොනුයි අතරෙ හිරවෙලා ඔයා ප්‍රශ්ණ ගොඩක පැටලෙන්න ඉඩ තිබුන. සමහර වෙලාවට ඒකෙ බරත් මගෙ කරට එන්න තිබුන. ඉතින් එවෙල මට කරන්න තිබුන හොඳම දේ තමයි ප්‍රශ්ණවලින් ඈත්වෙලා යන එක. මට දැන් තේරෙනව මම ඒ ගත්තෙ හොඳ තීරණයක් කියල

ඇයි ඔයා එහෙම හිතන්නෙ ?

මම හැම ප්‍රශ්ණයක්ම දරාගෙන සාම්ප්‍රදායික ගෑණියෙක් වගේ ඔයාත් එක්ක හිටියනම් ඔයාටයි මටයි කිසිම දවසක අපි දෙන්නට උනේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙන්න ඉඩ තිබුන. එහම උනානම් අද වගේ අහම්බෙන් දැක්කත් හිනාවක්වත් නැතුව වෙන් වෙලා යන්න හොඳටෝම ඉඩ තිබුන. ඒත් අද …….. අවුරුදු තුනකට පස්සෙ නිවිහැනහිල්ලෙ කල්පනා කරල නිවිච්ච හිත්වලින් එක කාමරේක බොහෝම සන්තෝසෙන්. ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද මම ගනිපු තීරණය හරි කියල.

ඒත් ඔයාට අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද නිස්කාරනේ දෙතැනක ගෙවිල ගියපු අපි දෙන්නගෙ ජීවිතේ ?

නෑ කවීෂ, අපි දෙන්නගෙ ජීවිතේ නිස්කාරනේ ගෙවිල ගියේ නෑ…. ඒ අවුරුදු තුනේ ඔයයි මමයි තනියම ජීවිතේට මුණදීල යම්තාක් දුරකට හරි යථාර්තය තේරුම් ගත්ත. ඒ වගේම ඔයා මාස්ටර් ඩිග්‍රී එකක් කලා, මම ඇල්බටා හොස්පිට්ල් එකේ ස්ටාෆ් නර්ස් කෙනෙක් උනා. ඉතින් ඔයාට හිතෙනවද ඒ පහුගිය කාලෙ අපරාදෙ කියල.

හ්ම්… වර්ෂා හිතනවද අපිට ආයෙම සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙයි කියල.

ඔයා අහන්නෙ මීට අවුරුදු හතරකට කලින් ප්‍රශ්ණ ඇතිවෙන්න කලින් තත්වය ගැනනම්; ඔව් මම හිතනව පුළුවන් කියල. ඒත් ඔයා අහන්නෙ අදින් පස්සෙ එක වහලක් යට ජීවත්වෙන එක ගැනනම්; අපිට ඒ ගැන ගොඩක් කතාකරන්න තියනව. ඒ වගේම විසඳගන්න දේවල් ගොඩක් තියනව. අනික මේ හැඟීම ගිණි ගත්තු පුළුං ගොඩක් වගේ ඉක්මනට පත්තුවෙලා ඉක්මනටම නිවිල යන එකක් නෙමෙයි කියල කාටද කියන්න පුළුවන්. සමහර වෙලාවට හෙට උදේට ඔයයි මමයි පුරුදු ජීවිත වලට අයෙම ගියාම මේ පුළිඟුව නිමිල යයි. ඒක නිසා මම කැමති නෑ හිත ගොඩක්ම සන්තෝසයෙන් තියන වෙලාවක ජීවිතේගැන ලොකු තීරණ අරගන්න. අපි ජීව්තේට ඉඩදෙමු යන්න ඕන පාර හොයාගන්න. එහෙම හොඳයි නේද කවීෂ ?

පින්තූරය ගත්තේ : පින්තූරය ගත්තේ : http://www.wallchan.com

බේරේ වැව් පතුලේ සැඟවී ගිය ඇගේ ගල

ට්‍රීං…. ට්‍රීං……….

මොන මළ කරදරයක්ද මේක වැඩක් කරන්න දෙන්නෙම නෑ නෙව,

හෙලෝ..

හෙලොව්… [අප්පට සිරි හරිම සුවීට් වොයිස් එකක්…..]

හෙලෝව්.. අයියා මට ඔයාව මීට් වෙන්න ඕනෙ….

බඩුම තමා, ඇයි ඕයි මේ මොන විනාසයක්ද, එක කෙල්ලෙක්ගෙන් ඊයෙ නිදහස් උනා විතරයි මේං තවත් එකක්.. මයෙ සිකුර ඉස්මුදුනටම ගහලද කොහේද.

මීට් වෙන්න නම් පුළුවන්, ඒත් මම ඔයා කවුද කියල දන්නෙ නෑ නෙ?

අනේ ඔයාට මාව අඳුරගන්න බැරි උනාද? මම නිරාෂා, මධූගෙ නංගි.

හුටා ! ඔයි තියෙන්නෙ කරමුලින්ම කෙළවිලා. ඇයි හත්වලාමෙ මේකි මට මයේ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ.

ආ.. ඔයාද මේ, මට වොයිස් එක අඳුරගන්න බැරි උනානෙ. ඉතිං කොහොමද?

කොහොඹත් නික වගේ තමා …. මම ගැන කතා කරන්න නෙමෙයි කෝල් කලේ, අක්කගෙ පොඩි පණිවිඩයකට.

ආයෙ මට කියන්න තවත් මොනවද එයාට ඉතුරුවෙලා තියෙනෙ, ඊයෙ හැන්දාවෙ ඔක්කොම කියල අහවර කලේ එයා..

ඔය ඉතිං…. ඔයාට කේන්ති යනවනෙ පොඩ්ඩ ඇත්නං.

ආයෙ කේන්ති නොයා තියෙයියැ ඊයෙන් පස්සෙ ආයෙ මගෙ මූණ බලන්නෙ නෑ කියල නෙව ගෑණි ගියේ. මාත් ඉතිං අනේ හොඳයි කියල බොහෝම සන්තෝසෙන් පැත්තකට වෙලා උන්නෙ. ඉතිං එහෙව් ගෑණි ඒකිගෙ නඟා අතේ පණිවිඩ එවනකොට මට කියන්නෙ ආයෙ චූන් එකේ ඉන්නෙයි කියලැයි.

ඒවයින් වැඩක් නෑ. මොකක්ද පණිවිඩේ ?

ඒක මෙහෙම කියන්න බෑ අයිය, අපි අද හවසට මීට් වෙමුද?

ම්….. ඒ ගමන මේකි මොකාටද එන්න හදන්නෙ, මම දන්නව මේකිත් මට කැමැත්තෙන් උන්නෙ ඒත් අක්ක හන්ද සද්දෙ වහල හිටිය කියල. දැං ඉතිං අක්ක මාත් එක්ක බ්‍රේක් හන්ද මේකි පොටක් පාදගන්නද හදන්නෙ.

මාත් ඉතිං එපා කියයි එහෙව් හැඩ කෙල්ලෙක් මයෙ පස්සෙන් එන්න පටන්ගත්තොත්. අක්කට වඩා නංගි හරි හැඩයි කියල ඒ දවස් වලත් දකින දකින එකා කිව්ව නෙව.

මොකද ඔයා සද්ද නැත්තෙ, එන්න බෑ ද?

මං දැං එහෙම එකක් කිව්වද?

මං ටක් ගාල ශේප් කරල දැම්ම, නැත්නං මෙච්චර සුවීට් කෙල්ලෙක්ග පරම පිවිතුරු හිත රිද්දල මාව අපාගතවෙන්නත් බැරි නෑ නෙ. එහම උනොත් ආයෙ දෙකක් නෑ අපායෙ කොත්තු තැටියෙ තමයි මට ලගින්න වෙන්නෙ.

එහෙනං…

මේකි තො‍ඳොල් වෙනව.

හරි හරි මං එන්නං. කොතනටද එන්නෙ ඕනෙ?

හ්ම්… අක්ක ඔයා එක්ක යන්න ආසම තැනට යමු.

ඔන්න මට ආයෙම මළ පැනගෙන එන්නෙ. ඇයි හත් ඉලව්වෙ මේකි මේ මොකාටද එන්නෙ. කතා කරන්නෙ හරියට මගෙත් එක්ක අවුරුදු ගානක් යාළුවෙලා උන්න වගේ.

මේ.. මඟුලක් කරන්නෙ නැතිව කියනව තමුසෙට එන්න පුළුවන් තැනක්. මම එන්නම්.

හ්ම්… එහෙනං එන්නකො මැක්ඩොනල්ඩ්ස් එකට.

අහා…. මේකි මයෙ හක්කෙන්ම දතක් ගලවන්නයි හදන්නෙ. මාසෙ අන්තිම, තාම පඩි හම්බු උනෙත් නෑ. බෝඩිමට සල්ලි දෙන්නත් තියෙනව. ඒ උලව් අස්සෙ මේකිත් එක්ක මැක්ඩොනල්ඩ්ස් ගියොත් පඩි හම්බුවෙනකන්ම හක්ක අල්ලං තමයි ඉන්න වෙන්නෙ.

මම තමුසෙගෙ කොල්ලද මැක්ඩොනල්ඩ්ස් එක්කං යන්න. ඕනෙ නං එනව නවලෝකෙ ගාව තියෙන ‍තෝසෙ කඩේට.

ඊයා.. පෙරේතයා.. මට බෑ ඔය ජරා කඩවල්ගානෙ ඇවිදින්න. [කන්න කුඩු නෑ….. ඒත් කටේ තියන නරිවාදම මේකිගෙ….. අහන්න දෙයක් නෑ අක්කගෙම නඟා නෙව]

පෙරේතයා… ? තමුසෙගෙ අක්ක මාව හින්දුවෙ නැත්නං තමුසෙව මැක්ඩොනල්ඩ්ස් එක්කං යන්න තිබුන.

හරි හරි මම හෙට එකට ඕෆ් වෙනව. නවලෝකෙ ගාවට එන්නකො.

හා..

මධූ කියන්නෙ මීට කලින් කීප සැරයක්ම නවම් මාවතේ ලියන්න ගිහින් අසාර්ථක වෙච්ච මගේ පරණ ආදර කතාවක්. ඒ දේවල් කිසිවක් ආයෙම මතක් කරන්න මට කිසිම උවමනාවක් තිබුනෙ නැති උනත් ආයෙම ඒ  ගැන මතක් උනේ මීට දවස් දෙකකට කලින් මධූ පුංචි කෙලිපැටියෙක් වඩාගෙන සැවෝයි එක ලඟින් කාර් එකක නැගල යනව දැක්ක නිසා.

ඉස්සරටත් වැඩිය හැඩයි !

කතාකරන්න උවමනාව ලොකුවටම තිබුනත් අපි මීට අවුරුදු ගානකට කලින් වෙන් වෙච්ච විදිය ආයෙම මතක් වෙද්දි ඒ සිතුවිල්ල එහෙම්මම යටපත් වෙලා ගියා. ඉස්සර වගේම එයා අයෙම දරුණු උනොත්…… [ඒ කාලෙ මධූට ආරූඪ වෙලා තිබුනෙ මම දැකපු දරුණුම හිතක් පපුවක් නැති කෙල්ලක් – ආදරේ අහිමි වෙන්න හදනකොට ගෑණු ළමයි එහෙම වෙනව ඇති]

නිශාරා කියන්නෙ මධූගෙ ලොකු මාමගෙ දුව. ඒත් හැමෝටම කිව්වෙ එයාගෙම නංගි කියල. ඒකෙ වැ‍රැද්දක් නෑ, මොකද අම්ම නැති නිශාරාව අතදරුව කාලෙ ඉඳලම බලාගත්තෙ මධූගෙ අම්ම. නිශාරාගෙ පිච්චෙන ඇස් දෙකයි තුන් හතර පාරක් බැළුවත් ඇති නොවෙන පෙනුමයි මාසයකට සැරයක් වත් ටවුන් එකේ කොහේහරි වලියකට මුල උනා. මධූ නම් කිව්වෙ ඒ ගොඩක් දේවල් නිශාරා උවමනාවෙන්ම ඇති කරපුව කියල.

නිශාරා මධූගෙ නංගි කියල දැනගත්තු කොල්ලන්ගෙන් ඒ කාලෙ මට බේරුමක් නැති උනා ඒකිව යාළුකරල දෙන්න කියල. ඒත් නිශාරා ඒ කාලෙ පස්සෙන් ආපු කිසිම කොල්ලෙක් දනින් උඩට මායිම් කලේ නෑ. රූපෙ නිසා පුදුම ආඩම්බරයකින් උන්නෙ. ඒත් එහෙමයි කියල කිසිම කොල්ලෙක් උත්සාහය ඇතෑරියෙ නෑ.

එක පාරක් කොල්ලො ටිකක් ගාල්ලෙ සංගමිත්තෙ කිට්‍ටුව රොඩ්ඩගෙ ‍කෙමෙස්ට්‍රි ක්ලාස් එක ඉස්සරහදි මේකිව වට කරගෙන වචනයක් ගන්න පුදුම උත්සාහයක් ගත්තෙ. අන්තිමට නිශාරා ඒ කොල්ලට “අනේ මේ ඔයා මගේ පස්සෙන් එන්න කලින් ගෙදර ගිහින් කණ්නාඩියෙන් මූණ බලල එන්න” කියල තිබුන. ඔන්න ඔහොම සිද්ධි අනන්තයි. හරිම හැපනින් කේස් එකක්.

කියාපු විදියටම මම සෙනසුරාදා හවස ගියා නවලෝකෙ ලඟට.

නිශාරා එනව හොස්පිටල් ගේට්‍ටුවෙන්.

අපි යමු බේරෙ පැත්තට. කියල එයා ඉස්සර උනා. අර ෆෝන් එකෙන් කතාකරපු තො‍ඳොල් කතා මුකුත් නෑ.

මාත් ඉතිං කතා නැතුව පාර පැනල ගංගාරාමේ සීමාමාලකය පැත්තට යනව. මට අඩි දෙක තුනක් ඉස්සරහින් ගියපු නිශාරා නෑතුනා වැව අයිනෙ තඩි නුග ගහ යට තියන බස් හෝල්ට් එකේ.

මාත් ලඟටම ගිහිල්ල නැවතුනා.

මොකක්ද පණිවිඩේ ? මම ඇහුව.

මුකුත් නොකියා නිශාරා මගෙ මූණ දිහා බලාගෙන ඉන්නව. නහයෙ අග තෙත් වෙලා, යටි තොල හපාගෙන. අඬන්න ඔන්න මෙන්න වගේ.

ඇයි මේ… ඔයාට අඬන්න මුකුත් මෙතන උනාද?

ඒත් නිශාරා එහෙම්මමයි.

එකපරටම එයා කරේ තිබුන රෙදි මල්ලට අත දැම්මා.

මම අඩියක් පස්සට උනා.. මම දන්නව නිශාරා කොච්චර දරුණුද කියල.

ලඟට එන්න, එයා ඔළුවෙන් කතා කලා. ඇස් දෙකේ කඳුළු පිරිල.

කෝ ඔයාගෙ අත දෙන්න…

මම දකුණත දික් කලා.

බෑග් එකෙන් ගුලිකරල ගත්තු අත මගේ අත උඩින් තිව්වා.

මගෙ අතට දැනෙනව මොකක් හරි දෙයක් එයා මගෙ අල්ල උඩින් තිව්ව කියල. ඒත් නිශාරාගෙ අතට මගෙ අල්ල වැහිල නිසා පේන්නෙ නෑ ඒ මොකක්ද කියල.

මොකක්ද? මම ඇහැව්ව…

ඔයා දන්නව….

කෝ මගෙ අත අතාරින්න මේක මොකක්ද කියල බලන්න.

නිශාරා මගේ ඇස් දෙක දිහා බලාගෙනම එයාගෙ අත අරගෙන මගෙ අත මිටමෙලෙව්ව.

මම දැන් යනව අයියෙ. අක්ක එයාගෙ ෆෝන් නම්බර් එක ඊයෙ මාරු කලා.

එහම කියල නිශාරා ඉස්සරහට ඇවිදගෙන ගියා.

මම එතනම ඉඳන් මිටමෙලවිලා තිබුන අතේ ඇඟිලි දිහෑරියා.

අල්ලට දාපු දාවිය වලින් තෙමිච්ච, වතුර පාරකට මැදිච්ච ජිල් බෝල දෙකක් තරම් රවුම් කළු පාට ගල් කැටයක්.

ඒත් එක්කම මාව දෙදාස් දෙකේ අවුරුද්දෙ අනිතිම කාලයටම ගියා. මම හිටියෙ සිංගරාජෙ මෙදේරිපිටිය පැත්තෙ කඳවුරට ඩිංගක් උඩහින් තියනෙ දිය ඇල්ලක් ලඟ සූස්තියක් එහෙම කටේ ගහං මධූට දෙන්න ලස්සන ගල් කැටයක් ‍තෝර ‍තෝර. මම දැක්ක අද මගේ අල්ලෙ දාඩියට තෙමිච්ච ගල් කැටේ වතුර පාරෙ තියනව. මම ඒක එදා ලේන්සුවෙ ඔතල සාක්කුවෙ දාගත්ත.

මට ඒ මතකයින් ආයෙම ඕනෙ නෑ. ගල් කැටේ ඔළුවට උඩින් ඇ‍ඟේම වීරිය දාල බේරෙ වැවට වීසි කලා

ජබුං !

සද්දෙට වැවේ නිස්කලංකයේ ඔහේ පාවෙවී උන්න පෙලිකන් කුරුල්ලො රෑනක් කලබල වෙලා පියාඹලා ආයෙමත් ඊට ඩිංගක් එහායින් ආයෙම වතුරට පාත් උනා.

මම නිශාරා ගිය පැත්තට විරුද්ධ පැත්තට ඇවිදන් ගියා.

ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ……….

මේ කතාව මට ලියන්න ලොකු උවමනාවක් තිබුනත් පහුගිය මාසෙක තිබුන වාර්ශික දානෙ උණුහුම පහවෙනකන් ඉවසාගෙන හිටිය. ඒ දවස් වලම ලිව්වනම් සමහර විට සමහර අයගෙ හිත් රිදවීම් වැඩි වෙන්න ඉඩ තිබුන.

නෑ නෑ.. මේ කතාව බ්ලොග් ලියන කිසිවෙක් හා සම්බන්ධ එකක් නෙමේ.

මේක අදින් අවුරුදු හතරකට විතර ඉස්සර මම සහ මගේ පාසැල් මිතුරන් හැමෝම වගේ කම්පනයට පත්කරපු සිද්ධියක්.

මේ චරිතයට අපි අන්වර්ථ නාමයක් දෙමු සාගර වීරංසිංහ කියල.

පාසැලේ අ.පො.ස සාමාන්‍ය පෙළ කරද්දි එකටම හිටියත් උසස් පෙළ කරද්දි වෙනස් විෂය ධාරාවන් ‍තෝරාගනිපු නිසා සාගරගෙයි මගෙයි ආශ්‍රය පොඩ්ඩක් විතර දුරස් උනා. ඒත් කොහේදි දැක්කත් “මචං” කියල කතාකරන්න අමතක කලේ නෑ.

උසස් පෙළින් පස්සෙ සාගර අගනුවර ප්‍රසිද්ධ සමාගමක මෙඩි රෙප් කෙනෙක් උනා. මගෙ මතකයෙ හැටියට ඔහු තමයි අපේ උසස් පෙළ කණ්ඩායමෙන් මුලින්ම ‍රැකියාවකට ගියේ. අපි විවිධ වෘතීය පාඨමාලා හදාරන අතරෙ සාගර බොහෝම ආඩම්බරයකින් සති අන්තයේ මෝටර් රථයකින් නිවාඩුවට ගෙදර එනව මට තවමත් මතකයි. සමහර විට ෆුට් බයිසිකල් වලින් ටවුන් එක පුරාම කරක් ගහන අපිට හෝන් නාදයකින් විතරක් ආචාර කරගෙන පියාඹලා ගියේ ඒ වෙනකොට ඔහු කලේ අපිට සාපේක්ෂව ලොකු ‍රැකියාවක් නිසා වෙන්න ඇති.

කාලයක් යනකොය ඉබේම අමතක වෙලා ගියපු සාගර, හදිස්සියේ විවාහවීමේ ආරංචියකුත් එක්ක ආයෙම අපේ මතකයට ආවා. ඒ වෙනකොටත් අපි සමහරක් ක්ලාස් යනව, සමහර අය කැම්පස් යනව. තවත් සමහර අය ක්ලාස් ඇරිල කෙල්ලො එනකන් බස් හෝල්ට් වල කට්ට කනව. කසාදයක් ගැන හීනෙන් මිසක් හිතල නෑ.

කොහොම හරි අපිට ආරංචි වෙනව සාගරගෙ ෆීල්ඩ් ඒරියා එක වෙච්ච නුවර පලාතෙ මිනිහා නැවතිලා ඉඳපු ගෙදර ගෑණු ළමය තමයි මේ විවාහකරගෙන තියෙන්නෙ කියල. තවත් කාලෙකට පස්සෙ ආරංචි වෙනව ඔහුට බලෙන්ම තමයි ගෑණු ළමයගෙ පැත්තෙන්න් මේ විවාහය කරල දීල තියෙන්නෙ කියලත්.

සාගරගෙ තාත්ත අපේ තාත්තත් එක්ක එකම ආයතනයේ ‍රැකියාව කරල පසුව ලෝයර් කෙනෙක් උන කෙනෙක්. ඔහු නගරයේ යම් තරමක ප්‍රසිද්ධ චරිතයක්. ඔහුට මේ සිද්ධිය ලොකු ගැස්මක් ඇතිකරපු දෙයක් නිසාත් ලැජ්ජාව හා කේන්තිය නිසාත් සාගරව පවුලෙන් ඈත්කරල තිබුනෙ. ඒත් සාගරට ඒක එච්චර දෙයක් නොවුනේ ඔහු ‍රැකියාව කලේ  අග නුවර නිසා. ඒත් හදිස්සියේම ඔහුට ආයතනයෙන් ‍රැකියා ස්ථාන මාරුවක් ලැබෙනව වෙනත් පළාතකට. ඒ වෙනකොට සාගර තාත්ත කෙනෙක් වෙන්න ඔන්න මෙන්න. මේ වෙලාවෙ දෙමාපියන් පිහිට නොවුනත් ඔහුගේ ජේෂ්ථ පාසැල් මිතුරෙක් ඉදිරිපත්වෙනව තම නිවසේ ඇනෙක්සියක් ඔවුන් දෙදෙනාට දෙන්න. අපි ඔහුට සමන්ත කියමු.

දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර එනකොට මම සාගර දකිනව අපේ හන්දියේ තියන වලං කඩේට වෙලා සිංහල අවුරුද්දට කිරිඋතුවරන්න හිල් නැති මුට්ටියක් ‍තෝරන්ව. ඊට පොඩ්ඩක් ඉස්සරහ නවත්තපු කාර් එකට හේත්තුවෙලා ඔහුගේ ගැබ්බර බිරිඳ බලාගෙන ඉන්නව. මම ඉස්සර පුරුද්දට “හා මචං කිරි උතුරවන්න වගේ” කියල ඇහැව්වා. මිනිහා මගේ දිහා දමපු අමුතු බැල්ම නතර උනේ මගේ අතේ තිබුන පොත් ටිකේ. ආපහු ඒ ඇස් නතර උනේ කාර් එකට හේත්තු වෙලා ඉඳපු බිරිඳ ලඟ. “

මම යන්නම් මචං…..

ඊට වඩා අඩුත් නෑ වැඩිත් නෑ. හරියටම ඒ වචන ටික ව්තරයි. වලඳත් කඩේම තියල සාගර බිරිඳත් එක්ක පිටත් උනා.. මම උනේ මොකද කියල හිතාගන්න බැරුව  ඈත යන කර් එක දිහා පොඩ්ඩක්වෙලා බලගන ඉඳල ගෙදර ආව.

මට උනා වගේ සිද්ධි කිහිපයක් තවත් යාළුවො කීපදෙනක්ටත් සිදුවෙච්ච සිද්ධි නිසා සාගර “මුල අමතක කරපු එකෙක්” කියල අපි මනුස්සයාව අමතක කරල දැම්ම.

ඔය වෙනකොට සාගර තාත්තා කෙනෙක් වෙලා හිටපු නිසා සාගරගෙ තාත්ත ඔවුන්ගේ නිවසටම තවත් කොටසක් එකතුකරල සාගරටයි බිරින්දටයි දරුවාටයි ඒකෙ ඉඩ දුන්න. ඒත් ඉස්සර තරම් ලෙංගතු කමක් නෑ. හරියට කුලියට ඉන්න වෙනම පවුලක් වගේ තමයි සාගරගෙ පවුල ඒ ගෙදර ජීවත් උනේ. තාත්තගෙන් නැති සොයා බැලීම්, උදව් පදව් සේරටම වගේම යාළුවටත් ලඟින් හිටියෙ මුලින්ම තමන්ගෙ ඇනෙක්ස් එක දීපු සමන්ත.

ඔහු ඒ වෙනකොට මේ පවුලේ ගොඩක් කිට්‍ටු සාමාජිකයෙක් වෙලා හිටියේ. කොච්චර කිට්‍ටුද කියතොත් දෙවෙනි ළමයා ලැබෙන්න ඉන්න බිරිඳට හදිස්සියක් උනොත් ‍රැකියාව කරන ප්‍රදේශයේ දුර බැහැර නිසාම නිතර ගෙදර එන්න වෙනෙ නැති සාගර ඒ රාජකාරියත් බාර දීල තිබුනෙත් සමන්තටමයි.

මේ කාලෙ වෙනකොට මම ‍රැකියාවකට කොළඹ ඇවිල්ල. ඒක නිසා සාගර ගැන අමතක වෙලා තිබුනෙ.

මචං… මට ගමේ යාළුවෙකුගෙන් කෝල් එකක්.

ඇයි මචං?

සාගර බෙල්ලෙ වැල දාගෙන මැරිල මචං.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සමන්ත සාගරගෙ බිරිඳ හොඳට බලාගන්න ලේසියි කියල මිනිහගෙ ගෙදර එක්කෙගන ගිහිල්ල.

හම්බුවෙන්න ඉන්න දෙවෙනි ළමය සාගරගෙ නෙමෙයි ලු.

තමන්ගෙ ජීවිතේ ප්‍රශ්ණ කතාකරන්න, හීතේ තියන ආවේග පිට කරගන්න අම්ම තාත්ත, යාළුවෙක්, නෑදෑයෙක් නැති සාගර උත්තර හොයාගෙන තිබුනෙ ගෙදර කුස්සියෙ බාල්කෙ ගැටගහපු තොණ්ඩුවකින්.

ප/ලි :

මචං සාගර අපි උඹව තනි කලේ නෑ බං. උඹයි අපි හැමෝගෙන්ම ඈත් වෙලා තනියම උඹෙ ලෝකෙ ගොඩනගාගන්න ගියේ. ඒකයි බං උඹේ ලෝකෙ කඩාගෙන වැ‍ටුන වෙලාවෙ උඹ අසරණ උනේ. උඹ කලින් රසාවක් හොයාගත්තු එක, කාර් එකක් ගත්තු එක, කසාදයක් බැන්ද එක, තාත්ත කෙනෙක් වෙච්ච එක නෙමෙයි බං උඹයි අපියි ඈත් කලේ. උඹේ හිතේ තිබිච්ච හීනමානෙ මචං. උඹ අපිත් එක්ක හිටියනං අදටත් අපිට හිනාවෙලා කතාකරන්න තිබුන, මයෙ පොඩි එකාට උඹෙ පොඩි එකා එක්ක සෙල්ලං කරන්න තිබුන. ජීවිතයේ සෑම දෙයකටම සුදුසු කාලයක් තියනව, ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ…..

මේක කියවන ඔයාල හැමෝටම ඇති කාලෙකින් කතා නොකරපු යාළුවො. එයාල කතා නොකලට කමක් නෑ ඉඩක් තියෙන වෙලාවක දුරකතන ඇමතුමක් දීල විස්තර කතාකරන්න.

සමහරවිට ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි !

හෘදසාක්ෂියක් නැති මිනිසා ! [වෛද්‍යවරයෙකි සිත් රෝගී වූ]



මෑත දිනයක මා හට නවලෝක රෝහලට යා හැකිදැයි විමසා දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ මා ගාල්ලේ සිටි කල අසල්වැසි වූ පිළිකාවකින් ජීවිතයේ අවසන් සමය ගෙවනා අම්මා කෙනෙකුට ඇගේ වෛද්‍යවරයා හමුවීමට නොම්මරයක් ගැනීමටය. ඇ ඇගේ ජීවිතයේ අවසාන කාලපරිඡේදය ඉමහත් ශාරීරික මෙන්ම මානසික වේදනාවකින් ගෙවන්නියකි. එහෙයින් එදින උදෑසන කෙතරම් රාජකාරි බහුල වූවද එය අතපසු කිරීමට බැරි ඉල්ලීමකි.

මිස්, මට “ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර්ට ඇපොටින්ට්මම්ට් එකක් ගන්න පුළුවන්ද?

කවදටද?

පුළුවන් තරම් ඉක්මනට, හෙට උනත් කමක් නෑ.

මේ සතියෙ ඉෂූ කරන නොම්මර ඉවරයි. ආයෙම ඩොක්ටර් එන්නෙ දොලොස් වෙනිද.

එහෙනම් මට දොලොස්වෙනිදට ඇපොයින්ට්මන්ට් එකක් දෙන්නකො.

එහෙම බෑ. අද තුන් වෙනිදනෙ. දොලොස්වෙනිදට සතියකට කලින් තමයි ඒ වීක් එකට ඇපොයින්ට්මන්ට් ඉෂූකරන්නෙ.

එහෙමද, එහෙනම් මම ආයෙම එන්නම්.

<><><><><><><><><><><><><>

ලයනල් අංකල්, මම නවලෝකෙට ගියා. ඒත් ඇපොයින්ට්මන්ට් එකක් ගන්න වෙන්නෙ දොලොස්වෙනිදට තමයි. ඊට මෙහා දවස් ඔක්කොම බුක්.

කමක් නෑ පුතා, අම්මගෙ බෙහෙත් තවම තියනවනෙ. එහෙනම් වරද්දන්නෙ නැතුව දොලොස්වෙනිදට නොම්මරයක් ගන්න හොඳද?

හරි අංකල්, මම ගන්නම්.

<><><><><><><><><><><><><>

මම ආයෙම කියාපු දවසෙ ඇපොයින්ට්මන්ට් එක ගන්න ඕනමයි කියල හිතාගෙන ගෙදරින් ආවට අමතක වෙලා ඔ‍ෆිස් එකටම ආව. ඒ ඇවිල්ලත් මතක් උනේ පැය තුනක් විතර ගියාට පස්සෙ. ඒගමන සේරම වැඩ පැත්තක දාල ගියා නවලෝකෙට නොම්මරයක් ගන්න.

මිස්, මට “ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර්ට  ඇපොටින්ට්මම්ට් එකක් ගන්න පුළුවන්ද?

පුළුවන්, නොම්මර විසි හය,ඩොක්ටර් එන්නෙ හවස හතහමාරට. ඇපොයින්ට්මන්ට් එක අට හමාර විතර වෙයි.

කමක් නෑ මිස්. දෙන්න.

තවුසන්ඩ් රුපීස්.

ඕකේ හියර්.

තෑන්ක්ස්

ආයෙම මම ඔ‍ෆිස් එකේ. තව පොඩ්ඩක් විතර වැඩ කරගෙන යනකොට මතක් උනා රෑ අටහමාරට ලෙඩා පෙන්නල ඉවරවෙනකොට අඩුම තරමෙ නමයවත් වෙයි, මේ මිනිස්සුන්ට ගෙදර යන්න බස් නැතිවෙයි නේද කියල.

ඒක නිසා ආයෙමත් නවලෝකෙට ගියා ඊට පස්සෙ දවසකවත් කලින් නොම්මරයක් ගන්න පුළුවන්ද බලන්න. මේ වෙනකොට ඇපොයින්ට්මන්ට් එක දාල පැය හතරක් විතර ගිහිල්ල.

එතනදි ආයෙම කල්පනා වුනා රෑ හත හමාරටනම් දොස්තර නවලෝකෙට එන්නෙ මීට වඩා වේලාසන එන වෙන හොස්පිට්ල් ඇති නේද කියල, ලංකා හොස්පිට්ල් එකටයි, ආසිරි එකටයි කෝල් කරල බැළුව. ආසිරි එනව හවස හතරට. එහමනං මේකෙ ඇපොයින්ට්නම්ට් එක කැන්සල් කරගත්තනම් හරිනෙ.

මිස්. මම මේ අද උදේ දාපු ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කරගන්න ඕන

කවුද ඩොක්ටර්

“ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන ඩොක්ටර්”

සොරි ! ඩොක්ටර් කියල තියෙන්නෙ ඇපොයින්ට්මන්ට් කැන්සල් කරන්න එපා කියල.

හ්ම්…….

එහෙමනං මට මේ රිසිට් එකේ not refundable කියල ලියල දෙනවද?

ඇයි ඒ.. ?

මේක ගාල්ලෙ ලෙඩෙක්ට දාපු ඇපොයින්ට්මන්ට් එකක්. මගේ එකක් නෙමෙයි, දැන් මේකෙන් වැඩක් නෑ

ඇයි ඒ.. ?

ලෙඩා අද දැන් පොඩ්ඩකටකලින් නැති උනා !

මම බොරුවක් කිව්වෙ එහෙම කිව්වමවත් සල්ලි ආපහු දෙයි කියල හිතාගෙන. මොකද මැරිච්ච ලෙඩෙක්ගෙන් සල්ලිගන්න බෑනෙ මනුස්සයෙකුට.

ඒ වුනත් අපිට සල්ලි රිෆන්ඩ් කරන්න බෑ. ඔයාට ඩොක්ටර් මුනගැහෙන්න වෙනව. එතකොට සමහරවිට ඩොක්ටර්ගෙන් ආයෙම සල්ලි ඉල්ලගන්න පුළුවන්.

මට රුපියල් දාහ සෑහෙන්න ලොකු දෙයක් උනත් එතන ඒකට රණ්ඩු වෙනවට  වඩා ඔ‍ෆිස් එකේ මට වැඩ තිබුන නිසා මම ආයෙම මුකුත් නොකියා ආව.

කොහොම උනත් මට දොස්තර ගැන පුදුමහිතුන. ඊටත් වඩා නවලෝකෙන් මට දීපු ප්‍රතිචාරය හරිම අප්‍රසන්නයි. මම සල්ලි බැන්දෙ දොස්තර සහ රෝගීන් අතර අතරමැදියෙක් ලෙස ක්‍රියාකරන රෝහලට. ඇයි එයාලට මුදල් ආපසු දෙන්න බැරි. ඇයි මම ඒක කරන්න දොස්තර මුනගැහෙන්න ඕන. ඊටත් මගේ ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කලානම් වෙන කෙනෙක්ට ඒ වෙලාව දෙන්න ඕන තරම් ඉඩ තිබුන. මොකද එදා ඉඳල සතියකට පස්සෙ තමයි ඇපොයින්ට්මන්ට් ඩේට් එක තිබුනෙ.

එදා හැන්දැවෙ ගෙදර යන්න කලින් ආසිරි හොස්පිට්ල් එකට ගිහිල්ල ආයෙම රුපියල් එක්දාස් පනහක් දීල වේලාසන නොම්මරයකට සල්ලි බැන්ද. දැං මම ගාව එකම ලෙඩා, එකම දවසට, එකම දොස්තරට සල්ලි බැඳපු රිසිට් දෙකයි.

<><><><><><><><><><><><><>

දහවෙනිද ඒ කියන්නෙ ඇපොයින්ට්මන්ට් ඩේට් එකට දවස් දෙකක් තියෙද්දි මට ආසිරි හොස්පිට්ල් එකෙන් කෝල් එකෙක් ආව.

“ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර් දොලොස්වෙනිද දාපු ඇපොයින්ට්මන්ට් ඔක්කොම ඊට කලින් දවසට ෂෙඩියුල් කරල, ඒක නිසා පේෂන්ට් එන්න ඕන දොලොස්වෙනිද නෙමෙයි එකොලොස් වෙනිද.

එහෙමද?

එතකොට වෙලාව. මම එහෙම ඇහුවෙ ආයෙම අර මිනිස්සු ගාලු යන්න ඕන නිසා.

කලින් වෙලාවම තමයි.

ඔ.කේ. තෑන්ක්ස්.

කලින් ලෙඩාට හොල්ලන්න බැරිවෙච්ච ඇපොයින්ට්මන්ට් එක දොස්තර කිසිම වගකීමක් නැතුව වෙනස්කරල. ලෙඩ්ඩු එන්නෙ කොච්චර දුරක ඉඳලද, වේලාසන ඇපොයින්ට්මන්ට් එකක් දාගන්නෙ අනිත් වැඩ රාජකාරි එක්ක ගැ‍ටුමක් ඇතිවෙන එක වලක්වාගන්න නේද, හදිස්සියෙවත් ලෙඩාට ඒ වෙනස්කරපු දවසට එන්න බැරිවුනොත් මොකද කරන්නෙ. ඒ වගේ කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නැතුව දොස්තර දවස වෙනස්කලා.

ඉතිං අර මනුස්සය සේරම වැඩ පැත්තක තියල එකොලොස් වෙනිද එයාගෙ අම්ම එක්ක කොළඹ ආව. මමත් හොස්පිට්ල් එක ලඟට ගියා  සල්ලි බැඳපු රිසිට් එක එයාලට දෙන්න.

එහෙම දීල එන්න හදනකොට මතක් උනේ තවත් සල්ලි බැඳපු රිසිට් එකක් මගේ ලඟ නේද කියල. නවලෝකෙන් කිව්වනෙ දොස්තර මුණගැහිල සල්ලි ආපහු ඉල්ලගන්න පුළුවන් වෙයි කියල. ඒක නිසා අර මනුස්සයට විස්තරේ සේරම පැහැදිලි කරල ඒ රිසිට් එකත් දුන්න දොස්තර එක්ක කතාකරල බලන්න කියල.

ටික වෙලාවකින් අම්මව පෙන්නගෙන ඒ මනුස්සය එලියට ආව. මම ඇහුව මොකද උනේ කියල, මෙන්නෙ මෙහෙමයි කතාව වෙලා තියෙන්නෙ.

ඩොක්ට, මම ගාල්ලෙ නිසා කොළඹ ඉන්නෙ යාළුවෙකුට කියල තමයි ඇපොයින්ට් එක ගහ්තෙ. එයා ඉස්සෙල්ල නවලෝකෙට සල්ලි බැඳල තිබුනෙ හෙටට. ඒත් ඇපොයින්ට්මන්ට් එකේ වෙලාව ‍රැ අට හමාර නිසා ඩොක්ටර් ආසිරි එකට ඊට කලින් එනව කියල ආයෙම සල්ලි බැඳල තිබුන මෙහෙන්. නවලෝකෙන් කිව්ව කලින් ඇපොයින්ට්මන්ට් එකේ සල්ලි ඩොක්ටර් මුනගැහිල ඉල්ලගන්න පුළුවන් කියල. පුළුවන් වෙයිද ඩොක්ටර්?

දෙන්න රිසිට් එක බලන්න.

ආ.. මේකට රිෆන්ඩ් කරන්න බෑ. ඒ සල්ලි දැනටනත් නවලොකෙන් බෑන්ක් කරල ඇති මගෙ එකවුන්ට් එකට. අනික ඇපොයින්ට්මන්ට් එකක් ගන්නකොට පොඩ්ඩක් හොයල බලන්න එපැයි.

එච්චරයි !

අසරණ දෙමාපියන්ද දරුවන්ද?

වැඩිහිටි නිවාසයක ඉන්න, පාරක් අයිනක අම්බලමක, වහල දාපු කඩපිලක එහෙමත් නැත්නං ගරා වැටෙන, දියසෙවෙල කාපු බිත්ති තියෙන ගෙදරකට වෙලා තනියම උයා පිහාගෙන කාල ලෙඩක් දුකක් හැදුනම තැනින් තැන කළු පුස් කාපු තුවායක් ඔළුවෙ පෙරවගෙන හැරමිටියක් ඇන ඇන ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ ඉන්න වයසක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දැක්කොත් අපි හැමෝටම මතක් වෙන්නෙ ඒ අය නොකා නොබී දුක් විඳල ලොකු මහත් කරපු දරුවන්. උන් වෙනුවෙන් අපේ හිත් වල තියෙන්නෙ, කාලකණ්නි දරුවො, පවු කාරයො, අම්මට තාත්තට සලකන්නෙ නැති මුඩුම හැත්ත වගේ අප්‍රසන්න වචන ගැබ් වෙච්ච සිතුවිලි පොදියක්. එහෙම දර්ශණයක් දැකපු වෙලාවට තමන්ගෙ අසල ඉන්න කෙනා අඳුරන්නෙ නැති උනත් එයා එක්ක අර අන්ත අසරණ මිනිස්සුන්ගෙ දරුවන්ට දෙස් තියන්න පටන් ගන්නව. ඔය කාරණාව වෙලාවකට මටත් පොදුයි. මිනිස්සු විදියට එහෙම හිතෙන එක වැ‍රැද්දක් නෙමෙයි.

ඒත් අපි කොයිම මොහොතක හරි ඇයි ඒ මිනිස්සුන්ට එහෙම උනේ කියල හිතල බලල තියෙනවද නිකමටවත්. ඒ හැම මොහොතකම අපි අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන විතරක්ම හිතන්නෙ මිනිස් සිතුවිලි හැමතිස්සෙම වගේ ක්‍රියාත්මක වෙන්න බලන්නෙ හදවත ආශ්‍රය කරගෙන මිසක් බුද්ධිය ආශ්‍රිත කරගෙන නොවෙන නිසා කියලයි මට හිතෙන්නෙ [මෙතන හදවත සහ බුද්ධියේ ආධිපත්‍ය ගැටළුව තියෙනව]

මම දකින විදියට මිනිස්සු අසරණ වෙන්නෙ ඔවුන් අතීතයේ තනි තනි පුද්ගලයන් වශයෙන් යම් යම් අවස්ථාවල ගනිපු වැරදි තීරණ නිසා. ඒ වෙලාවෙ ගන්නා තීරණයේ පසු බලපෑම ඔවුන්ගේ වර්තමානයේ ඉඳල ගොඩක් ඈත තියෙන්නෙ. ඒක නිසාම දකින්න ගොඩක්ම අපහසුයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ටත් නොදැනීම ඔවුන් ඒ දිහාට ඇවිදන් යනව. එදාට අර තීරණයේ පසු බලපෑමට [ප්‍රතිඵලයට] ලක් වෙනව. ඒත් ප්‍රත්‍යයේ හේතුව දුර අතීතයේ සිද්ධවෙච්ච දෙයක් නිසා කිසිම කෙනෙකුට මතක නෑ. ඉතිං ඔවුන් දන්නෙ නෑ ඇයි තමන් අසරණ උනේ කියල.

දාහකුත් එකක් හේතු, මූලය වෙන මේවගේ  ගැටළුවලින් එකක් විතරක් එලියට අරං උදාහරණයක් විදියට ඒකයි ඊට යටින් ප්‍රශ්ණ් තුනකුයි සටහන් කරන්නම්.

චූටි මැණිකෙගෙ ටිකක් දුරින් නෑදෑවෙන සහෝදරියක් අපි දැනට තාවකාලිකව පදිංචිවෙලා ඉන්න ගෙවල් කිට්‍ටුව ඉන්නව. ඒ පවුලට අවුරුදු දෙකක් විතර වෙන පුතෙකුත් ඉන්නව. මේ දරුව බලාගන්න කියල ගමේ ඉඳල අම්මත් ඇවිල්ල ඉන්නව. හැබැයි තාත්ත තට්ට තනියම ගමේ ගෙදරට වෙලා තනියම උයාගෙන පිහාගෙන කාල ඉන්නව. අසනීපයක් හැදුනොත් තනියම ඉස්පිරිතාලෙට යනව. ඔන්න ඔහොමයි ඒ ජීවිත ගතවෙලා යන්නෙ.

මේ ලඟකදි දවසක කට්ටිය සේරම අපේ ගෙදර ආව පුතුපැටිය බලල යන්න. එදා අර අක්කගෙ තාත්තත් ඇවිල්ල උන්න. මම විස්තරේ දැනං උන්න නිසා ඒ තාත්තගෙන් ඇහුව “තාත්ත ඇයි තනියම ගමට වෙලා ඉන්නෙ, අම්මත් මෙහේ නිසා ගමේ ගෙවල් දොරවල් විකුනල දාල මෙහේට වෙලා ඉන්න පුළුවන් නේ” කියල

මම මොකටද කාගෙවත් ගෙදරක ඉන්නෙ, මම හදාගනිපු ගෙවල් දොරවල් තියෙද්දි, මට මහේ වැඩ පල තනියම කරගන්න තාම ඇහැකි.  ඔන්න ඕක තමයි ඒ තාත්ත කිව්වෙ.

මම හොඳටම දන්නව අර අක්කටයි අයියටයි කවදාවත් ආයෙම ගමට යන්න බෑ කියල කරන රස්සවල්වල හැටියට, අනික තව අවුරුදු කීපයකින් පොඩි එකා ඉස්කෝලෙකට දැම්මම ආයෙත් හෙල්ලුම් බොරු.

දැං අර මම උඩින්ම ලියාපු ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ තට්ට තනියම ඉන්න තාත්ත මේ තාත්ත උනානම් කවුද වැරදි,

දරුවොද ?

තාත්තද ?

එහෙමත් නැත්නම් ඒ අයගෙ තීරණද ?

සමහර විටෙක ඒක වැඩිහිටි පරම්පරාව සහ දූදරු පරම්මරාව අතර තියෙන මත ගැ‍ටුම නිසාම ඇති වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ තාත්ත, බෑන කෙනෙක් යටතේ ජීවත් වෙන්න අකමැති ඇති, තමන්ගේ කාලය අවසන් වේගෙන එනව කියල තේරුම් ගිහිල්ල නැතුව ඇති.

මේ ගැන කියවන ඔබ සැමට තම තමන්ගේ මත ඇති. මම කැමතියි ඒ හැම දෙයක්ම අහන්න, කියවන්න. එතකොට මට ඒ දේවල් උදව් වේවි ප්‍රශ්ණයක් දිහා විවිධ පැති වලින් බලන්න, සමහරවිට ඒකම මෙච්චර කල් මම ලෝකය දිහා බලන්න පාවිච්චි කරපු කණ්නාඩි දෙක මාරුකරන්න කාලය් හරි කියල හිතෙන්නත් පුළුවන්. ඒක නිසා ඉඩක් තියෙනවනම් අදහසක් තියල යන්න. [අමතක කරන්න එපා මේක බොහෝම සංවේදී ඉසව්වක්]

paarak ayinaka ambalamaka, wahala dhaapu kadapilaka
%d bloggers like this: