මට මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ, මැනේජරයට දෙකක් අනින්නමයි හිත !

ඉතිං මල්ලි…. කොහොමද..

දිලීප් කතාව පටන්ගත්තෙ වෑන් එකේ පිටිපස්සෙ ඉඳල දෙවෙනි සීට් එකේ හරි බරි ගැහිල වාඩිවෙනගමන්. හැම අවුරුද්දකම වගේ සම වයසෙ නෑදෑ සහෝදරයො එක්ක යන ට්‍රිප් එක දෑවුරුද්දක්ම මඟ හැරුනත් මෙවර කොහොම හරි එන්න පුළුවන් වීමෙ සන්තෝසය ඒ වචන වල ගැබ්වෙලා තිබුන.

දන්නෙ නැද්ද අයියෙ.. ඔන්න ඔහේ ඉන්නව.

මොකෝ මල්ලි නිකං හුලං බැහැල වගේ…. මොකෝ ජානී එක්ක කොක්කක්වද්ද ? හෙහ් හෙහ්..

හපෝ නෑ අයියෙ, ඒව ගානට කරගෙන යනව. ඕං ලබන අවුරුද්දෙ මැයිමාසෙ දිහාට නිවාඩු එහෙම ගන්න බලාගෙන ඉන්න ඕනෙ හරිය..

අප්පද බොල… ඒකත් එහෙමයි එහෙනං… සන්තෝසයි බං…. හැබැයි පු‍තෝ අර ධම්මිකය කොලා වගේ ‍තෝ මට විතරක් එන්නෙයි කියලනං නං කාඩ් එකක් දෙන්නෙ නෑ හරිද… උඹෙ ලිස්ට් එකේ තුන්දෙනෙක්ට ඉඩ තියාගං…

හරි හරි අයියෙ.. උඹයි අක්කයි කොල්ලයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ.. හෙහ් හෙහ්…..

එතකොට මේ හුලං බැහැපු සීන් එක රස්සාවෙ ජල්බරියක් නේද..?

අඩේ.. දිලීප්පයියට දිවැස් තියනවද ?

හෙහ් හෙහ්.. ඕක තේරුං ගන්න දිවැස් මොටෝ බං, ආයෙ උඹල වගේ තනිකඩ කොල්ලන්ට ප්‍රශ්ණෙකට කියල තියෙන්නෙ රස්සාවයි පරස්තාවයි විතරක් වෙච්චිකොට.

දැං මොකෝ අවුල බං…. ?

අඩෝ දිලිප්… මොනාද යකෝ ඔය අනුරාධයත් එක්ක කොරන්නෙ ඈ … උඹට නිශා එක්කං එන්න බැරිවෙච්ච එකේ පාඩුව උගෙන් පිරිමහනනවද … ? පිටිපස්සෙ සීට් එකේ ඉන්න දමයන්ත කෑගහනව.

ඒකත් බැරි නෑ බං.. ඒත් මූ ඇඹරෙනවනෙ හෙට අනිද්ද බඳින්නයි ඉන්නෙ කියල හෙහ් හෙහ්………

හෙහ්.. එහෙමයි කියල උඹ පස්සගහයි.. අපි නොදන්නවැයි උඹෙ වැඩ.. ඉඳා මෙන්න මේක කාපන්… සෑන්ඩ්විච් පාං මල්ලක් ඔළුවට උඩින් අල්ලපු අමිල කිව්ව.

ඉතිං මල්ලි කියාපංකො මොකද කීයල ඔ‍ෆිස් එකේ අවුල ? මල්ලෙන් ගත්තු සීනිසම්බල් පාං පෙත්තක් අනුරාධට දික් කරන ගමන් දිලිප් ආයෙම කතාව පටන්ගත්ත.

මෙන්න මේකයි කියල හරියටම කියන්න දෙයක් නෑ අයියෙ. ඒත් මට නං දැන් එතන වැඩකරන එක එපා වෙලා තියෙන්නෙ. හෙන කැපිලි එතන තියෙන්නෙ.

කැපිලි කිව්වෙ මල්ලි?

ඩිපාට්මන්ට් මැනේජරයට පේන්නෙ මගේ වැරදිමයි. ඌට පොඩි වැ‍රැද්දක් ඇති මාව අල්ලගෙන දිගට හරහට ලෙඩ දානව. අනික උගෙ ෂෝ-කෝස් මේල්ස් වලට රිප්ලයි කරන්න ගියාම කොරවෙලා යනව. ඌ දාන්නෙම මාව හිරවෙලා යන පොයින්ට්ස්මයි.

තව ?

තව කියන්නෙ, දැං මම එතනට ගිහිල්ල අවුරුදු පහකටත් වැඩියි. අයිය දන්නවනෙ කම්පැනි එකක අවුරුදු පහක් කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයිනෙ. සීනියර් කියල සතපහක සැලකිල්ලක් නෑ.. මට පහල ඉන්න එකාටත් සලකන්නෙ මට වගේ. ඉතිං අයියෙ එපාවෙන්නෙ නැද්ද මං අහන්නෙ ?

අවුරුදු එක හමාරකින් ඉන්ක්‍රිමන්ට් එකක් ඇවිල්ල නෑ, ප්‍රමෝෂන් නෑ, ඊටත් මට තරම් පර්සනල් ඉෂූස් තියන එකක්වත් ඔතන වැඩ කරන්නෙ නෑ අයියෙ. අයියම දන්නවනෙ මට ගෙදර ගැන බලන්න ඕන, මල්ලිව ක්ලාස් යවන්න ඕන, අළුත් ගෙදර ෆවුන්ඩේෂන් එකෙන් එහාට යන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බැරි උනා. අනික මැනේජරය මේ දේවල් ගැන හොඳටම දැනගෙන තමයි මේ ලෙඩ ඔක්කොම දාන්නෙත්.

ඊලඟට අනිත් උන්ගෙ වැඩත් මං අදින්න ඕන, උන් එන්නෙම පරක්කුවෙලා.. ඒත් උන්ට කිසිම ඇක්ෂන් එකක් නෑ ඔන්න මං නිවාඩුවක් ගන්න ගියාම දාහක් දේවල් කියනව. ඉතිං අයියම හිතල බලන්න එපා වෙන්නෙ නැද්ද කියල එහෙම තැනක වැඩ කරන්න.

හරි මල්ලි. අපි හිතමුකො ඔය ඔක්කොම හරිය කියල. ඒත් මල්ලී කම්පැණි එකක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් කරන්න කලින් ගොඩක් දේවල් ටොප් මැනේජ්මන්ට් එකට හිතන්න වෙනව. ආයතනයේ ස්ථාවරත්වය, ඊලඟ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, රිස්ක් එක, අපේක්ෂිත වියදම…. ඔන්න ඔය වගේ මහා ගොඩක් දේවල්. හදිස්සි ඉන්ක්‍රිමන්ට් එකක් දීල ඊලඟ අවුරුද්දෙ බිස්නස් එක වහල දානවට වැඩිය නියමිත වෙලාවට ඒ දේවල් කරන්න තමයි ඕනම කම්පැණි එකක් කැමති.

අනික මල්ලි එක රුපියල් දාහක ඉන්ක්‍රිමන්ට් එකකින් උනත් අවුරුද්ද අන්තිම මහා විසාල බිලක් එකතුවෙනව ආයතනයට. මොකද උඹට විතරක් ඒක දුන්නොත් උඹත් එක්ක එක මට්ටමේ ඉන්න අනිත් උන් ඩිසපොයින්ට් වෙනව. එතකොට උන්ගෙ පර්ෆෝමන්ස් බහිනව. ඒක නිසා ගොඩක් වෙලාවට මුළු ආයතනයටම බලපාන පොදු සූත්‍රයක් යටතේ තමයි පඩි වැඩි කරන්නෙ. ඊට අමතරව ඒ ඉන්ක්‍රිමන්ට් එකට සමානුපාතිකව ඕ.ටී පැයකට ගෙවන ප්‍රමානය, ඊ.පී.එෆ්, බෝනස්…. ඔය වගේ දීමනා සේරම වැඩි වෙනව.

එතකොට අයිය කියන්නෙ අපි ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න එපා කියලද ?

පිස්සුද බං..? ඉන්ක්‍රිමන්ට් ඉල්ලපල්ල, හැබැයි ඒ ඉල්ලන දේ ඒ විදියටම නොවුනම මළ පන්නගෙන බෙරිහන්දෙන්න කලින් එහෙම වෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් තේරුම් ගන්නත් බලපන්. එහෙම නැත්නං කෙළවෙන්නෙත් උඹටමයි.

හෙහ් … උන් කොහෙද මට කෙළවන්නෙ, මේ මඟුලක් කට අස්සෙ තියාගෙන වෙන රස්සා හොයන්නත් බෑ. ගේමට ගේම ඉල්ලගෙන මාත් ඉන්නව. මොකෝ උන් මාව අස්කරන්නද ?

කම්පැණි එක්ක ගේම ඉල්ලන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලී.

ඒව කොහෙද මාත් එක්ක අයියෙ, අනික උන් දන්නව මම වැඩකාරය කියල, මම ඔතනින් නැවතුනොත් ඩිපාට්මන්ට් එකම කලැප්ස් වෙනව බලාගෙන ඉඳැද්දි. ඒක නිසා මං මොනව කලත් උන්ට බෑ මාව අස්කරල දාන්න.

ගේම ඉල්ලනව කියල මල්ලි මොනාද කරන්නෙ ?

මොනාද මට කරන්න බැරි අයියෙ.. මමනෙ එන ක්ලයන්ට්සලගෙ මේල්ස් වලට ඇක්ෂන් ගන්නෙ.. ඉස්සර දත කාගෙන නොකා නොබී ඒවට රිප්ලයි කලාට දැං මම මගේ පාඩුවෙ, නිවිහැනහිල්ලෙ තමයි කරන්නෙ, සමහර ඉෂූස් සෝල්ව් කරන්න දවස හමාර යනව. ඔහොම යනකොට ලොක්කන්ට තේරෙයි හොඳට. හෙහ් හෙහ්.

ඒ කියන්නෙ මල්ලිට එන කැපිලි කෙටිලි නිසා මල්ලි ඉස්සර වගේ වැඩ කරන්නෙ නෑ … එහෙමද ?

ඔව් අයියෙ, ආයෙ මට එපා උනොත් එපා උනාම තමයිනෙ. දන්නවනෙ මගෙ හැටි.

මම මල්ලිගෙන් දෙයක් අහන්නද ?

අහන්න අයියෙ ඕනෙ දෙයක්.

අපි දැන් හිතමු මල්ලිට මේ කම්පැනි එකෙන් ලොකු අසාධාරණයක් වෙනව කියල. මල්ලි බලාපොරොත්තුවෙන්නෙ මොනවගේ සාධාරණයක් ද මෙතනදි ?

සාදාරනයක් කියන්නේ අයියේ….. මේ… මේ.. මගෙ පස්සෙන් එලවන්නෙ නැතුව, මගෙ පාඩුවෙ වැඩක් කරගෙන යන්න දෙනවනං මට ඇති.

හරි, අපි මෙහෙම හිතමු. ඔන්න මල්ලි තමයි ඔය ඩිපාට්මන්ට් එකේ හෙඩ්. මල්ලිගෙ යටතෙ ඉන්නව වැඩ කරන්න උනන්දුවක් නැති, හැමතිස්සෙම ඇරගන්ට්, ඩල් කැ‍රැක්ටර් එකක් තියන මනුස්සයෙක්. එතකොට මල්ලිට මිනිහ ගැන මොකක් හිතෙයිද ?

දිලිප්පයියත් ඔය වටෙන් එන්නෙ මං වැරදියි කියල කියන්න නේද?

නෑ අනුරාධ මල්ලි.. මම හදන්නෙ ඔයාගෙ ප්‍රශ්ණෙ ඔයාටම තේරුම් කරවන්න, ඔයාව ඔය කියන ඩිපාට්මන්ට් හෙඩ්ගෙ සපත්තුදෙකට බැස්සම මෙතන තියන අවුල ලිහාගන්න පුළුවන් වෙයි.

ඉතිං කියන්නකො.. මල්ලි ඒ මිනිහට මොනව කරයිද ?

මංද අයියෙ..

හරි මං ලේසි කරන්නම්කො. ඔන්න ඒ මනුස්සය ප්‍රඩක්ෂන් ලයින් එකේ මොනා හරි අවුලක් කරනව, එතකොට මල්ලි මොනා කරයිද?

හ්ම්.. ඉන්ක්වයර් කරයි. ඩිසිප්ලිනරි ඇක්ෂන් ගනී.

හරි, ඊලන්ඟ දවසෙ මේ මනුස්සය ග්‍රම්පි මූඩ් එකෙකින් ඔ‍ෆිස් එකේ වැඩ ඔනවට එපාවට කරයි, එතකොට ඔයා මොනව කරයිද?

මුකුත් කරන එකක් නෑ.. ඒත් මිනිහ ගැන පොඩි අප්සට් ෆීලිං එකක් ඇතිවෙයි.

හ්ම්….

හැමදාම ඔය වගේ ඒ මනුස්සය මෙලෝ රහක් නැති විදියට ඔ‍ෆිස් එකේ ඉන්නකොට ඔයා මොනව කරයිද ? ඔයා ඇයි හිතන්නෙ මෙලෝ රහක් නැති මනුස්සයෙකුට පාඩුවෙ රස්සාව කරගෙන යන්න දීල, සැලරි ඉන්ක්‍රිමට්ස් ඒ මදිවට තව බෝනසුත් දෙන්න ඕනෙ කියල ?

මල්ලී ප්‍රයිවට් සෙක්ටර් එකේ තියන කම්පිටිෂන් එකත් එක්ක ඇරගන්ට් වෙලා බෑ, වැල යන අතට මැස්ස ගහන්න ඉගෙන ගන්න, එහෙම නැතුව සවයිව් වෙන්න බෑ. හැබැයි එතනදි අදහස් වෙන්නෙ නෑ රස්සාව ‍රැකගන්න ලොක්කට ගොට්ට අල්ලන්න ඕන කියල. හරියට ඔළුව කල්පනා කරනවනම් කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න ඕන තරම් ඉඩ තියනව.

ඒ උනාට අයියෙ මේ ම්නිහ මට කැපිල්ල දාන එකමනෙ වැඩේ. මට ඒ වෙලාවට හැටක් විතර අනින්න හිතෙනව ඌට.

මෝඩ වැඩ කරන්න එපා මල්ලි.. ඩිපාට්මන්ට් හෙඩ් එක්ක ඇරගන්නව කියන්නෙ ගොඩක් වෙලාවට කැරියර් එකට බැරියර් එකක් දාගන්නව වගේ වැඩක්, මනුස්සයෙක් එක්ක ඇරගන්න යන්නෙ නැතුව රස්සාව කරන එක වෙනමම කලාවක් බං. අනික මම හිතන්නෙ නෑ හොඳ මැනේජර් කෙනෙක් කිසිම වෙලාවක තමන්ගෙ කෝ-වර්කර්ස්ලට ඇණයක් වෙනව කියල හේතුවක් නැතුව. මොකද මිනිහ දන්නව හැමෝගෙම ඔප්ටිමම් කන්ට්‍රිබියුෂන් එක නැත්නම් දවස අන්තිමට ෆෙල් වෙන්න මිනිහමයි කියල.

තව එකක් මල්ලි, අමාරු සි‍ටුවේෂන් එකකදි ඔයා කොහොමද සවයිව් වෙන්නෙ කියන එකත් සෑහෙන්න වැදගත් විදියට නෝට් ඩවුන් වෙනව ඔයාගෙ හයිරාකි එකේ කොච්චර උඩට යනවද කියන එක තීරෙණය කරනකොට. ඒක නිසා මල්ලි දැනට වැඩ කරන කම්පැනි එකේ කැරියර් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තුවෙනව නම්, මැනේජ්මන්ට් එකත් එක්ක ලෝයල් විදියට වැඩකරන්න, ප්‍රශ්ණ එන වෙලාවට නෙගෝෂියේට් කරගෙන මැනේජ් කරගන්න පුරුදුවෙන්න වෙයි.

හැබැයි එහෙම වැඩ කරගෙන යන අතරෙත් මල්ලිට හිතෙනවනම් මේක හරියන කෙළියක් නෙමෙයි කියල කරන්න තියන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් කාලයක් හොඳින් වැඩ කරල හිත හොඳින් වෙන තැනකට යන එක.

මොන එකකටද අයියෙ වැඩ කරන්න බැරි නම් හොඳ හිතින් අයින් වෙන්නෙ, කෙළවෙලාම යන්න කියල අරූගෙ මූණට දෙකක් දීල වෙන එකකට යනව මිසක්.

ඔයා දන්නවද අලුතින් රස්සාවකට යනකොට අළුත් කම්පැණියෙ අය ඔයාගෙ එම්ප්ලොයිමන්ට් රෙකෝඩ් එකෙක් ඉල්ලගන්නව ඔයා අන්තිමට වැඩ කරපු කම්පැනි එකෙන්. රෙපියුටේෂන් එකක් තියන ස්ටෑන්ඩඩ් එකක් තියන කම්පැණි එකක ඉම්ප්ලයිඩ් රෙස්පොන්සිබිලිට්ය් එකක් තමයි නිවැරදි එම්ප්ලෝයී රෙකෝඩ් එකක් දෙන එක. හදිස්සියෙවත් ඔයා ප්‍රශ්ණයක් ඇතිකරගෙන නම් රිසයින් වෙලා තියෙන්නෙ, එහෙමත් නැත්නම් ඔයාගෙ සේවා කාලය සතු‍ටුදායක නෙවෙයි නම් ඔයාට අළුත් රස්සාව ලැබෙන්න තියන ඉඩකඩ බොහෝම අඩුයි.

ඒක නිසා මල්ලි නිවිහැනහිල්ලෙ හිතල බලන්න ඇයි හෙඩා ඔයා එක්ක වලිබර වෙලා තියෙන්නෙ කියල. කේන්තියෙන් නැතුව සාධාරණ ඇහැකින් බැළුවොත් ඔයාට ප්‍රශ්ණෙ තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ ප්‍රශ්ණෙන් එළියට එන්න ඕන ඔයා විසින්මයි. එහෙම නැතුව ඔයා දැනට කරගෙන යන විදියට දිගටම ගියොත් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් මඩ වලේ ගිලෙන එක මිසක් ගොඩ ඒමක් නම් නෙමෙයි අනුරාධ.

පින්තූරය ගත්තේ : huckguyett.com

Advertisements

මම පරමාදර්ශී “පොර” චරිතයක් සොයමි.

ඉස්සර ඉඳලම මට පොරක් වෙන්න ඕනෙ වෙලා තිබුනෙ. මුලදි යාන්තං තිබුන මේ අමාරුව පහු පහු වෙනකොට දරුණු තත්වයකට පත් උනා. ඔය කියන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල අහවර වෙච්ච අළුතමයි. පොරක් වෙන්න ඕනෙ කියල හිතුනට කිසිම පරමාදර්ශී චරිතයක් මට තිබුනෙ නෑ ඒ කාලෙ.

ඉස්කෝලෙ ඉන්නකොට පොරක් කියල හිතාන උන්නු, ඉස්කෝලෙ ගේට්‍ටුව ඉස්සරහ පාට පාට ස්ටිකර් විකුන්න ස්ටිකර් කඩේ අංකල් පන්තියෙන් පන්තිය ඉහලට හිය මට තව දුරටත් පොරක් උනේ නෑ. ඉස්කෝලෙ ලොකු පන්තිවල උන්නු මදාවියො කාලයක් මගෙ පොරවල් වෙලා උන්න. උනුත් බිග් මැච් දවස් වල එක එකාගෙන් ගුටි කාල ඔළු පලාහෙන පාරවල් අයිනෙ කාණුවල වැටිල ඉන්නා දැක්කම උනුත් එපා වෙලා ගියා.

ඔය කාලෙ ආව ගිය පොඩි පොඩි පොර චරිත අතරෙ හිටපු ලොකු චරිතයක් වෙච්ච සන්නස්ගල මට පොරක් උනා මේ කියන්නෙ සන්නස්ගල වැලන්ටයින් කාලෙ ආදරණීය වස්සානය නැවත මුද්‍රණයක් එලිදක්වපු අළුත. ලව් කෝච්චියෙන් නුවර ගියපු කාලෙ. මිනිහත් පොරක් වෙන්නෙ බිස්නස් වැඩිකර ගන්න කියල තේරෙනකොට ඒ පොරත් හෙමීට දියවෙලා ගියා. හැබැයි මම තවමත් මිනිහ ලියන කතා වලට ආසයි. [ඒ කියන්නෙ තාම සන්නස්ගල මට පොරක් – ඒත් මහ ලොකුවට නෙමෙයි]

ආයෙමත් පොරක් නැතුව නූල කැඩුන සරුංගලේ වගේ ඔහේ හුලං අතට පාවෙවී  ඔහේ තටම තටම උන්න මොකක් හරි පොටක් පෑදෙයි කියල. ඔය කාලෙ තමයි ගාල්ලෙ මහජන පුස්තකාලෙට ඇබ්බැහි උනේ දරුණු විදියට. ඒත් මට ඒකෙ තියන නවකතා එකක්වත් කියවන්න හිතුනෙ නෑ. මොකද මම හිතේ මවාගෙන හිටිය “මම පොර” ඔය බොලඳ දේවල් බැහැර කරපු කෙනෙක්. ඒක නිසා පුස්තකාලෙ බැහැරදෙන අංශයේ තිබිච්ච ලොකුම පොත වෙච්ච “කරමසෝ සහෝදරයෝ” අරගෙන ආව ගෙදර. පි‍ටු පනහකට හැටකට වඩා කියෙව්වෙ නෑ. ගොඩක් වෙලා කියවගෙන යනකොට පපුව හිරවෙනව වගේ දැනෙන්න පටන් ගත්ත. ඒ වෙන දෙයක් හන්ද නෙමෙයි පොතේ බරට, මම පොත් කියවන්නෙ ඇඳේ විට්ටමට කොට්ටයක් තියල හාන්සිවෙලා පොත පපුව උඩ තියාගෙන හන්දා ඒ කියවිල්ල එහෙම්මම නැවතුනා. පොත ගෙනැල්ල දවස් දෙකෙන් ආයෙ මාරුකරන්න යන්නත් ලැජ්ජයි. ඒක හන්ද සතියක්ම මේසෙ උඩ ඔහේ තියෙන්න ඇරල තමයි පුස්තකාලෙ පැත්තෙ ආයෙ ගියේ.

ඊට පස්සෙ පුස්තකාලෙ විමර්ශණ අංශයට මාරු උනා ඒකෙ තිබිච්ච බයිබලේ දැකල. කාලයක් උදේ පාන්දර ගිහිල්ල හැන්දෑ වෙනකං ඒකෙ පි‍ටු අතරෙ හිරවෙලා ආගම් වාදෙකට කවුරුහරි ආවොත් දෙන්නං බැටේ කියල සමහර දේවල් සටහනුත් කරගත්ත. ඊටත් පස්සෙ අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය තේරුම් ගන්න කාලයක් ආයෙම පොත් එක්ක වලි කෑව. ඒත් උන්නැහේගෙ බොහෝම ප්‍රසිද්ධ සූත්‍රය කටපාඩම් කරගන්නවට වඩා කිසිම දෙයක් කරගන්න බැරි උනා. ඒත් ඒ නොතේරෙන දේවල් හරිම ආසාවෙන් කියෙව්වෙ. ඊට පස්සෙ බ්ලැක් හෝල්ස්, වර්ම් හෝල්ස්, ටයිම් ට්‍රැවලින් එක්ක තව මහා අනං මනං ගොඩක පැටලිලා හිටියෙ. ඔය කාලෙ පුස්තකාලෙට හැමදාම වගේ පාඩම් කරන්න එන ගෑණුළමයෙකුත් මාත් එක්ක කතාකරන්න උනන්දුවක් පෙන්නුව. ඒත් මගේ “පොර ආසාව” ඒවට නෙමෙයි ඉඩක් දුන්නෙ. මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිවෙනකොට ආයෙම ඒ ළමය ගොළුබෙලික‍ටුවට රිංග ගත්ත.

ඊට කාලෙකට පස්සෙ දීප්ති කුමාර ගුණරත්න එයාගෙ නඩය ඩෙරීඩත් එක්ක ඇවිත් මගේ හිතේ පදිංචි වෙනව. මට උන් කියන කිසිම දෙයක් නොතේරුනත් හරි වැදගත් මනුස්සයෙක් මයෙ ගෙදර ඉන්නව කියල හරි සන්තෝසෙන් ආඩම්බරෙන් තමයි උන්නෙ. ඒ දවස් වල මම හරිම විප්ලව කාරය. ගෙදර මම තමයි ඔක්කෝම දන්නෙ, පාරට බැස්සත් රෑම්පාට් එකේ සෙට් එකත් එක්ක බියර් එකක් ගැහුවත් මම තමයි පොර. ඇයි මම කියවන්නෙ ලන්ඩන් නෙ. හැබැයි ඔහොම කාලයක් ඉන්නකොට දීප්තිවත් එපාවෙලා යන තැනටම ආව.  ලන්ඩන් වල කුණු කානු උතුරල දෝරෙගලනකොට මං ඉබාගාතේ ඇවිදින්න පටන්ගත්තා විතරයි. ඒක නිසා වැඩිය ගඳක් දැනුනෙ නෑ මට.

ඊටපස්සෙ මට මුනගැහුනෙ ඕෂෝ. ජෝ සෙනවිරත්න තමයි පාර කිව්වෙ. හරිම සරළයි, හැම දෙයක්ම පිළිගන්නව. ගැ‍ටුමක් ඇත්තෙම නෑ. දෙමළිචිචෙක්ගෙ යටිබඩෙන් ගැලවිලා හුළ‍ඟේ පාවෙන තුනී පිහා‍ටුවක් වගේ සැහැල්ලුවක් මම ඕෂෝගෙන් දැක්කෙ. “ජීවිතයට ඉඩ දෙන්න” “ගැහැණු මනුස්සයා” මම ආසම කරපු ලියමන්. ඕෂෝ ගැන මොන තරම් විවේචන තිබුනත් ඕෂෝ තවමත් මට පොරක්. ඒ සරළ කම ඇතුලෙ තියන ගැඹුරු බව මට හුල‍ඟේ යන්න නොදී රඳවාගෙන.

ඕෂෝට පස්සෙ මගෙ ජීවිතේ පොරක් වෙමින් පවතින අජාන් බ්‍රහ්මවංසෝ [සිනාසෙන සුදු හාමුදුරුවෝ] හාමුදුරුවන්ගෙ දේශනා, දේශනා ඇසුරෙන් ලියවුණු ලිපි ආයෙම මගේ පොරක් සෙවීමේ ආසව සංතෘප්ත කරමින් ඉන්නෙ. උන් වහන්සේත් බොහොම සැහැල්ලුයි. සරළයි, අපේ අග්ගමහා, ධර්ම චක්‍රවර්තී, අධිකරණ සංඝනායක වගේ මහා නම්බු නාම තියන උන්නාන්සේලාට වඩා පැහැදිලි, සරළව හිතට දැනෙනෙ ජීවිතේ හදාගන්න උදව් දෙන බොහෝමයක් කාරණා කියනව. උන්නාන්සෙට අනිත් අයට වගේ චීවරය බරක් නෙමේ වගේ. හරිම සැහැල්ලුවෙන් !

ඒත් මට තවමත් උපරිම සෑහීමකට සෑහීමකට පත්වෙන්න බැරි උනා.. මම තාමත් පොරක් හොයනව.. කවදා මට පොරක් මුනගැහේවිද රෙද්ද උස්සල බැළුවම ඕජස් ගලන ශරීරයක් නොමැති,  පපඩමක් වගේ ඇතුල හිස් නැති, වැල ගෙඩියක් වගේ බිමට වැටිච්ච ගමන් සී සී කඩ ඇට මදුළු නොවිසිරෙන ?????

නවම් මාවත ලියන එකා අවංක නැත. කොලේ වසා ගසයි !

මා කිසිවිටෙකත් ඔබට අවංක භාවයක් පෙන්වා නොමැත. මා එසේ වර්තමානයේ නොකලත් අනාගතයේදී හෝ එසේ ඔබ කෙරෙහි අවංක වේ යැයි සිතන්නේනම් ඔබ ඔබවම රවටා ගැනීමකි. සමාවෙන්න මා කෙදිනක හෝ කිසිවෙකුටවත් පූර්ණ ලෙස අවංක නොවෙමි. මා පමණක් නොව අන් කිසිවෙකුත් තවෙකෙකුට පූර්ණ අවංක භාවයක් පලකරන්නේ යැයි මම නොසිතමි. මාගේ කළු සුදු  ජීවිත අන්තයන් අතර බොහෝ විසල් කලාපයක් අළු පැහැයෙන් පිරී ඇත. මේ බාහිරෙන් පෙනෙන රූපය ඇතුලේ සිටින සාන්තුවරයෙකු හෝ යක්ෂයෙකු නොවන මා කිසිම විටෙක කිසිවෙකුට පූර්ණ ලෙස විවෘත නොවෙමි.  කිසිවෙකුට මා පූර්ණ ලෙස වටහා ගැනීමට සුළු හෝ ඉඩක් නොතබමි. වැරදීමකින් හෝ කිසිවෙකුට මාගේ සිතුවිළි කියවන්නට හෝ ඇතුලාන්තය දකින්නට හැකි වූයේනම් මා හිරගෙවල් හතක සිරකර දමනු ඇත්තේම ය. එහෙයින් මා පැලඳ සිටිනා වෙස් මූණෙන් සැබෑව සඟවා සිටිමි. දොරගුළු තදකරමි. එය මා උවමනාවෙන්ම කරන්නෙකි. එය මාගේ පැවැත්ම සඳහාමය. කිසිවෙකු ‍රැවටීමට ඉන් මා අදහස් නොකරමි.

මා සුන්දර මනුස්සයෙකු ලෙසම පමණක් ඔබ දකින්නේනම් රුචි වෙමි. කැරළි ගසන විප්ලව වාදියා කිසි වෙටෙකත් ඔබට හෙලි නොකිරීමට පරිස්සම් වෙමි. නිතොරින් මන්දස්මිතියක් ම පෙන්වමි. ඒ පණු කෝම්බ වූ දත් ඔබ කෙරෙන් වසන් කිරීමටය. දරාගත නොහැකි වේදනාවක් පැමිනිකල්හි අඳුරු ගුහාවට වැදී හඬමි. නැවතත් ඔබ දකින්නට පැමිනෙන්නේ කඳුලු වියැකුනු පසුව මිස ඊට පෙර නම් නොවේ. මා දුර්වලයෙකු බව පෙන්වීමට අකමැත්තෙමි. මිනිස් වනාන්තරයේ දුර්වලයන්ට පැවැත්මක් නැති වග මා අත්දැකීමෙන් උගෙන ඇත. ප්‍රත්‍යක්ෂකොට ඇත්තෙමි. එහෙයින් සැබෑ දුර්වලයෙකු වූ මා ඔබ සැම ඉදිරියේ “පොර” මැට්ටෙන් ශරීරය වසා ශක්තිවන්තයෙකු ලෙස නැඟී හිඳිමි. ශරීරයේ ඉහඳ පණුවන් නළියන වණ කැලැල් නොපෙනෙන්නට අඳිමි, පලඳිමි. ඉන් හමනා නහය හාරන දුගඳ නැසීමට සුවඳ ගල්වමි. කුණු වී ඕජස් ගලන ආධ්‍යාත්මය සුදු පිරුවටයකින් වසාගෙන ශාන්තු වරයෙකු ලෙසින් ඔබ ඉදිරියට පැමිනෙමි. ඒ සියල්ලම ඔබ සියල්ලන් අතර මාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහාමය.

ජීවිතයේ අනේක විධ කටයුතු රාජකාරි මැද, ඇතැම් විට ඒවා මඟහැර මම බ්ලොග් ලියමි. එහි සටහන් කරන්නේ මාගේ ජීවිතයේ සිදුවීම් ය. මතක තබා හැනීමට අවැසි සිදුවීම් ය. චණ්ඩිකම් ය. වැඩිපුර ලැජ්ජාවක් නොහිතෙනා පාරාජයන් ය, අහිමි වීම්ය. කොළුකම් ය. කිසිම විටෙක කළුවරේ දොර වහගෙන කරන දේවල් නොලියමි, අඳුරේ සැඟවා තැබීමට පරිස්සම් වූ කිසිවක් නොලියමි. කොටින්ම මාගේ ජීවිතයේ සිදුවූ, රෙද්දක් ඇඳන් කියන්නට බැරිවූ කිසිවක් මෙහි සටහන් කර නොතැබීමට පරිස්සම් වෙමි. ලියන්නේම මාගේ ප්‍රතිරූපය වර්ධයනය කෙරෙනා දේවල්මය. හාණි වන කිසිවෙක් ලියවෙන්නේම නැත. ඇතැම් විටෙක ආන්දෝලනාත්මක පෙලඹවීමක් ඇතිකරනා යමක් ඉඳ හිටෙක ලියවෙන්නට ඉඩක් නැත්තේ නැත. එයද මතුපිටින් බැලූ කල්හි සෘජු ලෙසම නොපෙනෙන, එනමුත් සැඟවූ යටි අරුතයකින් ප්‍රතිරූප වර්ධනය කරන්නන්මය. මාගේ සමාජීය ප්‍රතිරූපය එක අඟලකින් හෝ ඉහල නංවාගැනීමට මට නොදැනුවත්වම මා ක්‍රියාත්මක වෙමි. එය දලඹුවෙකුගේ ශරීරය පුරා ඇති විෂ ‍රැඳුනු සියුම් කෙඳි ‍රැස ඌ ආරක්ෂා කරනවා මෙන් මා ගොදුරු කර ගැනීමට බලා ඉන්නාවුන් ගෙන් ආරක්ෂා කරයි.

ඇතැම් විටෙක යමෙකුගේ විප්ලවකාරී අදහස් ඇති හෝ මට එකඟවිය නොහැකි කරුණු ඇති ලිපියක් කියෙවා හිතට නැ‍ඟෙන අවංකම හැඟීම ඊට යටින් සටහන් නොකරන්නෙමි. විටෙක සැර හොඳටම බාල කර හෝ සීනි දැවටූ පෙරුංකායං ගුලියක් වන් සටහනක් තබමි. ඒ කිසිවෙකුගේ හිත තැලීම මට තරම් නොවන්නේයැයි සිතෙනා බැවිනි. කිසිවෙකුගේ හරි වැරදි භාවය තීරණය කිරීමට මට අයිතියක් නැත. මට සමාජය හැදීමේ භාරදූර වගකීමක් නැත. එවන්, මට පාලනය කරගත නොහැකි වගකීමක් ගැනීමටද කිසිම අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නැත. මම මගේ දරුවා හදාගනිමි. ඌ උගේ දරුවන් හදනු ඇත. මගේ සමාජ ශෝධනය එතනින් අහවරය. එනමුදු හිතුකොත් එකෙකු ඉඳහිට කොනිත්තමි, ඒ ඌ ආපසු හැරී මාව කොනිත්තන්නේ නැතැයි සිතුනොත් පමණි. ටොක්කක් ඇන්නත් පසුව හිස අතගාමි. එහෙත් යම් ලිපියකට තබනා සටහන පූර්ණ අවංක සටහනක් නොවෙන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ හැම විටෙකම ඒවා කඩු, කිණිසි නොවේ, හුදෙක් මල්, කඳුළු සහ සිනහවකි. එයින් ඔවුන්ට සතුටක් අත් වේනම් එයම මාගේ සතුටට හේතුවකි. මා එවන් ප්‍රතිසටහනක් මාගේ ලිපියක් යටින් සටහන් වී ඇතිබව දැකීම මට සතුටක් වන්නාසේම ඔබ ගේ සටහනකට යටින් ඔබගේ මතය හෝ ස්ථාවරය තහවුරු වන ප්‍රතිසටහනක් දැකීම ඔබටද සතුටක් වන බව දනිමි.

මම හිට්ස් වලට කෑදරය, කමෙන්ට්ස් වලය පණ ඇරලාය. මා මේ සියල්ල ලියන්නේ මා වෙනුවෙන් කියන්න ආසා මුත් ලැජ්ජාය. ඒ එම කතාවේ මා නොකියන දෙයක් ගැබ් වී ඇති බැවිනි. මෙය සත්‍ය වශයෙන්ම ලියන්නේ මා වෙනුවෙන්ම නම් මාගේ පෞද්ගලික මුද්‍රිත දිනපොතක ලියනු විනා මෙසේ අන්තර්ජාලීය සටහන් තබන්නේ නැත. එසේ තැබුවද එය පෞද්ගලික ලෙස තබාගන්නවා විනා සියල්ලන්ටම කියවීමට, සෙවුම්යන්ත්‍ර වලට හසුවීමට ඉඩ නොතබන්නෙමි. කමෙන්ට්ස් දැමිමට ඉඩක් නොතබමි, දිනකට වරක් හෝ බ්ලොග් ස්ටේටස් නොබලමි. වැරදිලා කවුරුන් හෝ තැබූ කමෙන්‍ටුවකට “ස්තූතියි” කියා හෝ ප්‍රතිචාරයක් තබන්නේ නැත. ලිපියක් ලිවීමේදී අනුන්ගේ පොස්ට් වලට ලින්ක්ස් දමන්නේ නැත. බ්ලොග් රෝල් දමන්නේ නැත. සින්ඩි වලට ඇතුලත් කරන්නේද නැත. බ්ලොග් එකට හිට් කවුන්ටර් දමන්නේ නැත. ප්‍රොෆයිල හදන්නේ නැත, ෆලෝවර්ස් ලා තියාගන්නේ නැත. එහෙයින් මා මෙය ලියන්නේ මා වෙනුවෙන්ම නොවේ. කියවනා සුළු හෝ පාඨකයන් උදෙසාද ඉන් කොටසක් වෙන්කෙරේ. තව තවත් පාඨකයක් පිරිසක් ඇතිකර ගැනීමය ආකර්ෂණීය පෝස්ට් ටොපික්ස් දමමි. වැඩි දෙනෙක් කියවන්නට රුචි වර්ගයේ ලිපි පල කරමි, එනමුත් ඉඳ හිටෙක කිසිවෙකු නොකියවනු ඇතැයි, කිසිම ප්‍රතිචාරයක් නොවැටෙනු ඇතැයි සිතුනත් මට යමක් ප්‍රකාශ කිරීමට තදින්ම අවැසි වූවොත් එවන් සටහනක් ද පලකිරීමට පසුබට නොවෙමි. කෙසේ වුවද මාස තුනක්වත් වයස නැති මගේ බ්ලොග් ඉතිහාසයේ එවන් අවශ්‍යතාවයක් තවමත් පැනනැඟී නොමැත.

මා මුදල් හම්බකරගෙන නැත, එමෙන්ම මිනිසුන්ද හම්බකරගෙන නැත. මා සමාජශීලී සත්වයෙක් නොවේ. මුළුගැන්වී සිටීමට කැමැත්තෙමි. ලෙහෙසියෙන් කෙනෙකු හා මිත්‍ර නොවෙමි. මම බොහෝ විට මා ආරක්ෂාකාරීය යන්න තහවුරු වී නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට යාමට අකමැතිය. එසේ නමුදු දන්නා අඳුනන මිනිසුන් බොහෝමයක් ඇත. මා ඔවුන් මිතුරන් ලෙස හැඳින්වීමට අකමැත්තෙමි. ඒ මිතුරා යන්නට මාගේ අර්ථකතනය වෙනස් බැවිනි. දන්නා කියනවුන් හා මිතුරන් අතර මා වෙනසක් දකිමි. බොහෝ කලකකට පෙර දන්නා කියන උන් වී සිට පසුව මිතුරු වී මා හා එක පළලේ ලගින්නට ඉඩ දුන් කිහිප දෙනෙක් මට ඇත. නමුත් ඇතැම් විටෙක උනට මා අවැසි විටෙක මා උන් අහලකවත් නැත. එය උන් මාගෙන් බිඳවීමට තරම් හේතුවක් නොවන බව, මට උන් අවැසි සෑම විටෙකම මා අසල හිඳීමෙන් ඔප්පු කර ඇත.

මෙය මාගේ වර්තමානයේ ඔබ ඉදිරියේ විවෘත වියහැකි උපරිමය ය. මින් එහාට මා වටා ඇති කෝශයේ එකදු සිවියක්වත් නොගලවමි. එසේ වුවහොත් මා පිළිස්සී යනු ඇත.

කොටින්ම මා පෘතුග්ජනය !

බට කිරිල්ල තුවක්කුව

මම මේ මෑතක් වෙනකං හිතාගෙන හිටියෙ මට ඔය ගොඩක් දෙනා කියනව වගේ ලස්සන ළමා කාලයක් තිබුනෙ නෑ කියල. ඒත් අර මගෙ කලින් ජූල් සම්බෝල පෝස්ට් එක ලියනකොට පුංචි පුංචි ෆ්ලෑෂ්බැක් වගයක් ආව. ඩිංගක් විතර හාර අවුස්සනකොට පරන අලගිය මුල ගිය තැන් මතක් උනා. අමතක වෙන්න කලිං ලියන්න තියන්න ඕන කියලත් හිතුන….

ඔය පල්ලෙහා තියෙන්නෙ ඒවයින් එකක්. ……………………………………..

මගෙ මතකෙ හැටියට ඔය වෙනකොට මගෙ වයස අවුරුදු පහකට අඩු වෙන්න ඕන. මොකද මම ආච්චිලගෙ ගෙදර හිටියෙ මොන්ටිසෝරි යන්න කලින්. සමහර වෙලාවට ඔය මම ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ගිය දවසක වෙන්නත් පුළුවං. මොකද මං පුංචි පන්ති වල ඉන්නකොට හැම ඉස්කෝලෙ නිවාඩුකාලෙටම සතියක් දෙකක් ගමේ යනවමයි.

මොන එකකටද මංද මම ගමේ හරිම ජනප්‍රියයි, ඒ සමහර විට මම රුප්පෙ රාළහාමිගෙ මුණුපුරා හන්ද වෙන්න ඇති. එහෙමත් නැත්නං මගෙ තිබිච්ච කුතුහලයට කිසිම බයක් හැකක් නැතුව හැම කෙනාම එක්ක කතා කරපු හන්ද වෙන්න ඇති. ඔය ජනප්‍රියකම හන්ද මට ගොඩක්ම හිටියෙ මට වැඩිය වැඩිමල් යාළුවො. හින්නි මාම, හීං මාම, රොට්ටි සීය, එගොඩහවත්තෙ ලොකු සීය. වඩනම්බි මාම. ඔය මගෙ මතකයෙ තියන නං කීපයක් විතරයි. ඔය කට්ටිට අතරන් වඩනම්බි මාම තමයි මගෙ හොඳම යාලුව. එයත් එක්ක තමයි මම කරපු වික්‍රම කරපු තරමක් කලේ

මට මතකයි දවසක් මට අපේ පුංච් අම්ම කෙනෙක් ගෙනැවිත් දුන්න පුංචි දවුලක්. ඒ චූටි පුංචි හරි පොලිස් පුංචි හරි වෙන්න ඇති, සමහට වෙලාවට වෙනකෙනෙක්ද දන්නෙ නෑ.  ඕක ගෙනැත් දෙන්න හේතු උනේ පෝයට පංසල් ගියාම මම හැම තිස්සෙම හේවිසි කාම්රේට දුවන හන්ද. ගියාම ඉතිං මම නෙවෙයි දවුල හරි තම්මැට්ටම නොගහ ආපහු එළියට එන්නෙ.

ඔය ගෙනැවිත් දුන්න පුංචි දවුල ගහන්න ඇත්ත දවුලට පාවිචිචි කරනව වගේ බොකු ගැහිච්ච කඩිප්පුවක් ඕන උනා. මගෙ අම්මේ….. වඩනම්බි මාමයි මමයි ඇවිදපු තරමක් මගෙ හිතට හරියන කෝ‍ටුවක් හොයන්න. පුංචි කාලෙ එහෙමයි නෙ. හිතට හරියන එක නැත්නං අම්මෙ මුත්තෙ කිව්වත් හරියන්නෙ නෑ නෙ.

ඔය කාලෙ වඩනම්බි මාම මට හරි ජාති බඩුවක් හදල දුන්න, බට කිරිල්ල  තුවක්කුවක්. මෙන්න මෙහෙමයි හදන්නෙ.

ඉස්සෙල්ලම හොයාගන්න ඕන ඔය පහල තියන පින්තූරෙ වගේ අඩියක විතර දිග අඟල් 1 1/2 ත් 2ත් අතරෙ  විෂ්කම්භය තියන උණ බටයක්. ඕකෙ සිදුර පැන්සලක ප්‍රමානය විතර වෙන්න ඕන. මෝරපු කහ උණගහක අග්ගිස්ස ගන්න පුළුවන් නම් හරියටම හරි.

මතක තියාගන්න, හොයාගන්න  ඕන පුරුක් දෙකක් අතරෙ බටයක්, අඩුම තරමෙ එක පැත්තකවත් පුරුකක් තියෙන්නෙ ඕන [ඔය පින්තූරෙ හොඳට බැලුවොත් පෙනෙයි උඩම තියන අංක එක ගහපු බටේ දකුණු පැත්තට වෙන්න ඔය කියාපු පුරුක තියෙනව]

ඊලඟට ඔය උණ බටේ දිගට අඟල් බාගයක් කොට, හයිය හොඳ කෙළින් තියන හයිය කෝ‍ටුවක් හොයාගන්න ඕන. වඩනම්බි මාම නං කලේ පුවක් ලී පටියක් එයාගෙ හොඳට කැපෙන පිහියෙන් හීනියට පැන්සලක් වගේ රවුං කරල ගනිපු එක. ඒක නං මරු ගාන. මතක තියාගන්න ඔය කෝ‍ටුවෙ හරි පුවක් කූරෙ හරි එක පැත්තක් ඩිංගක් විතර මහත් උනොත් හොඳයි, අනිත් පැත්ත උණ බටේ සිදුර තුලින් ලේසියෙන් එහා මෙහා යවන්න පුලුවන් වෙන්න ඕන.

ඔය ඔක්කොම ජාති හොයාගත්තට පස්සෙ ඔන්න දැං අපි මේක හදනව.

ඉස්සෙල්ලම උණ බටේ පුරුක පැත්තෙ ඉඳල අඟල් තුනහමාරක් විතර මෙහායින් කපාගන්න [හරියටම උඩම තියෙන අංක එක ගහපු බටේ ඊතලේ ලඟින්]. ඕකට මොකක් පාවිචිචි කලාද මංද, දැං තියන ඔය යකඩ කපන කියත් පටියක් නං නියමෙට ගැලපෙනව, මොකෝ සමහර වෙලාවට පිහියෙන් කැපුවොත් උණ බටේ පැලෙන්නෙ පුළුවන්. අනික කැපුම කැත වෙන්නත් හොඳටම ඉඩ තියෙනව.

ඊලඟට අර කෝ‍ටුව හරි හීනි කරගත්තු පුවක් ලී කෑල්ල අරං අර මහත පැත්ත අර කලින් කපා ගනිපු උණ බටේ පුරුක තියන පැත්තට තියල තද කරන්න. මහත වැඩිනං පිහියෙන් හූරගන්න, හීනි වැඩිනං තව ලීපතුරක් හරි දාලහරි, ඇද්දම නොගැලවෙනන තද කරන්න. [දැං ඕක හරියට උඩ පිංතූරෙ තියන අංක හතර වගේ වෙන්න ඕන]

ඊටත් පස්සෙ ඉතුරු උණබට කෑල්ල අරං ඒකෙ සිදුරට අර කලිං හදාගත්තු ගැජට් එක බස්සන්න [හරියට අංක පහ වගේ]

ඕං හදල අහවරයි !.

මෙ මොකක්ද, තුවක්කුවක් නං වෙඩි තියන්න එපැයි. මේකෙං කොහොමෙයි වෙඩි තියන්නෙ ?.

ආ ඒකට තව පොඩි බඩුවක් ඕන, කිරිල්ල ගෙඩි. ඔය කිරිල්ල කියන්නෙ පෙනුමෙන් හරියට තද කොළපාට පුංචි තිබ්බ‍ටු ගෙඩි වගේ. හැදෙන්නෙත් ඒ වගේ පොකුරු, හැබයි හයියයි. කටේ දාල විකනකොට  සෙවෙල ගතියකුත් එක්ක පොඩි ඇඹුලක් එනව, අන්තිමට ඉතුරු වෙන්නෙ කොස්සක් වගේ රොඩ්ඩක්.ඔය ගෙඩි පැන්සලක විෂ්කම්භය තියන උන බටේට ගානට.

ඉස්සෙල්ලම එක ගෙඩියක් අරන් සිදුර තියෙන බටේ එක පැත්තෙකින් තියල තද කරන්න ඕන. වටේ තියන පොත්තයි සෙවෙල ගතියයි හන්ද එයාර් ටයිට් විදියට හිරවෙනව. ඊට පස්සෙ අර කූර හයිකරපු බටේ අරං කූරෙන් තද කරන්න අර කිරිල්ල ගෙඩිය හරියටම බටෙන් බාගයක් දුරට යනකන්. ඊට පස්සෙ තව කිරිල්ල ගෙඩියක් අරං අර පලවෙනි ගෙඩිය වගේම  අඟලක් දෙකක් විතර බටේ ඇතුලට දාගන්න.

ඊටත් පස්සෙ අර දිග බටේ කෙලවර අහසට එල්ලකරල අර කූර හයිකරපු බටෙන් අන්තිමටම දාපු කිරිල්ල ගෙඩිය එක පාරටම හයියෙන් ඉස්සරහට තල්ලු කරන්න.

ඒත් එක්කම පටාං ගාල පොඩි ලා දුමකුත් එක්ක අර ඉස්සෙල්ලම දාපු කිරිල්ල ගෙඩිය අහසට විදිනව. [ඔය පහල තියෙන්නෙ බලාගන්නකො]

ඔය කිරිල්ල හොයාගන්න නැති මේ කොළඹ පදිංචියට ආවට පස්සෙත් මම ඔය බට කිරිල්ල තුවක්කුව හැදුව. පාවිචිචි කරේ නං කටිං විකල පොඟවල හදා ගත්තු පත්තර කොල බෝල . පරණ බෙහෙත් තුවක්කුවකුවකට වගේ කොළ බෝලෙ දාල කොටන්න ඕන. විදිනකොට කිරිල්ල තරං සද්දෙකුයි දුමකුයි නැති උනාට ඒකට මාව ආපහු පුංචි කාලෙට ගෙනියන්න පුළුවං උනා.

ප /ලි :

කැමති අය ඉන්නවනං  තම තමංගෙ පොඩි උනුත් එකතුකරං හදල දෙන එකයි ඇත්තෙ. කඩෙං ගෙනැවිත් දෙන ප්ලාස්ටික් සෙල්ලං බඩුවකට වැඩිය මටනං ඕක සෑහෙන්නෙ වටින දෙයක් වුනා. මොකද මමත් සහභාගි උනා නෙව ඕක හදන්න.

ඒ දවස්වල මට, උණ බටේක හැඩේ, ඒක කපන විදිය, උණ බටේ ඈතුළෙ සුඹුල් තියන බව, තියුණු උණ පතුරකට අත කැපෙන විත්තිය, පුවක් පටියෙ කීරි තියෙන විත්තිය, පරිස්සං උනේ නැත්නං අතේ ඇනෙන බව, කිරිල්ල ගෙඩිය හැදෙන්නෙ පොකුරු විදිය බව, ඇඹුල බව තේරුනා.

පස්සෙ කාලෙ ලොකු උනාම, ඕකෙ මිකැනිසම් එක පාදක වෙල්ලා තියෙන්නෙ සරල පිස්ටන ක්‍රියාකාරීත්වය මත බව, කිරිල්ල ගෙඩියෙ තියන සෙවෙල ගතිය උණ බටෙයි, ගෙඩියයි අතරෙ ලිහිසි මාධ්‍යයක් විදියට ක්‍රියාකරන බව, ගෙඩියෙ කොළපාට පොත්තට යටින් තියෙන කෙඳි ලේයර් එක උණ බටයයි කිරිල්ල ගෙඩියයි අතරෙ වායු රෝධකයක් විදියට වැඩ කරනන බව, අර ඉස්සෙල්ලම ඇතුල් කරපු ගෙඩිය අනෙක් කෙළවරෙන් වේගයෙන් පිටවෙන්නෙ, දෙවෙනියට දාපු ගෙඩිය අර පුවක් කූරෙන් ඉස්සරහට තල්ලු කරනකොට ඇතිකරන වායු පීඩනයෙන් කියලත් තේරුණා.

ඊට ටිකදවසකට පස්සෙ ආච්චිත් එක්ක දෙවුන්දර දේවාලෙ පෙරහැර බලන්න ගිහිල්ල අරං දුන්නු නලාවෙන් ඔය තරං සංවේදනයක් ඇති උනේ නෑ මට.

oex hadhala ahawarayi !.
me mokakdha, thuwakkuwak nax wedi thiyanna epaeyi. meikex kohomeyi wedi thiyanne ?.aa eikata thawa podi baduwak oena, kirilla gedi. oya kirilla kiyanne penumen hariyata thadha koLapaata puxchi thibbatu gedi wagei. haedhenneth ei wagei pokuru, haebayi hayiyayi. katei dhaala wikanakota podi aeMulak enawa, anthimata ithuru wenne kossak wagei roddak.
%d bloggers like this: