අඳුරු තිර දැමූ දේවාලය සහ දෙයියන්නාන්සේ

ඉස්කෝලෙ පරිගණක ඒකකයක් තිබුන. ඒත් ඒක හරියට දේවාලෙ වගේ. හතරවටේටම ජනෙල් වහල ඇළුමිනියම් කොල අලවල සීල් කරල, කොළ පාට තිර රෙදි දාල. දොර ගාව පාපිසි දෙකක්ම තියල. තව සපත්තු රාක්ක හතරක් එලියෙ බිත්තිය අයිනෙ. අනිත් විෂයන් ඉගෙනගන්න අපි ගියපු නැ‍ටුම් කාමරය, චිත්‍ර කාමරය, ලී වැඩ කාමරය. යකඩ වැඩ කාමරය, පුස්තකාලය, ඔය හැම තනකටම වඩා මහේෂාක්‍ය ලීලාවෙන් තමයි පරිගණක ඒකකයක් තිබුනෙ.

ඒකෙ උගන්නපු ගුරුවරයත් ඇවිද්දෙ නහය කෙලින් බලාගෙන. පපුව පුම්බගෙන, අත් දිගට සුදු ෂර්ට් ඇඳල, මූණ බලන්න පුළුවන් තරම් තදේට සපත්තු පොලිෂ් කරල. එයා හිනා වෙන්නෙ බොහෝම අඩුවෙන්. ඒ හිනා උනෙත් හොඳ උස මහත, නීට් එකට අඳින පොෂ් කොල්ලො එක්ක විතරයි. මං වගේ හීනි කෙට්‍ටු උන් නොදැක්ක ගානට යනව. බුද්ධාගම උගන්නන ලියනගේ සර්, සිංහල උගන්නන සෙනෙහෙලතා මිස්, ගණිතය උගන්නන ආරියරත්න සර් එක්ක හිනා වෙලා කතාකරපු අපි කොම්පියුටර් සර් එනකොට එකත් පස්ව කාණුවට බැස්ස නොබැස්ස ගානයි.

කොම්පියුටර් පාඩමට ඒ කාමරේට ගියාම ඉස්සෙල්ලම ගෙවල්වල පරිගණක තියෙන, පරිගණක දැනුම තියෙනෙ ළමයි ටික එතන තියෙන පරිගණක ටික ඔක්කෝම අල්ලගන්නව. පෙර පරිගණක දැනුමක් නැති අපි බයෙන් වගේ පිටිපස්සෙ පේලියකට වෙලා බලං ඉන්නව අපේ පන්තියෙ දක්ෂ යාළුවො පරිගණකය පාවිච්චි කරන දිහා. එයාල සමහර දවස වලට ගෙදරින් ඩිස්කට් කියල කළු පාට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් සයිස් කො‍ටුවක් ගෙනැල්ල දානව පරිගණකයට. ඊට පස්සෙ ඒකෙ ඉඳල එක එක සෙල්ලං කරනව. අපිත් සමහර වෙලාවට උන්ගෙ කරවල් වලට උඩින් ඇඟිලි වලින් ඉස්සි ඉස්සි බලනව. සමහර පරිගණකවල කො‍ටු පිරෙවෙනව. තව ඒවයෙ වෙඩි තියනව. තවත් ඒවයෙ කාඩ් ගහනව. අපිට හරි සන්තෝසයි ඒව බලාගෙන හිටියම. පාවිච්චි කරන්න හම්බු නොවුනට දුකක් දැනුනෙ නෑ. අපි බයවුනා අපි ඕක නොදැන පාවිච්චි කරන්න ගිහිල්ල කැඩෙයි කියල. ඉතින් හම්බු නොවීම ගැන අණතුරකින් වැලකීමේ සතුටකින් හිත හදාගෙන තමයි මමයි අනිත් යාළුවොයි හිටියෙ.

කාලයක් යනකොට අපිට පිටිපස්සට වෙලා බලාගෙන ඉඳලම ඇතිවෙලා තිබුනෙ. එහෙමයි කියල පොරකාල කවදාවත් පරිගණකයක් අල්ලගන්න උවමනාවක් තිබුනෙ නෑ. ඒකෙ තිබුන ගුප්ත බවම අපිව ඒකෙන් අපිටත් නොදැනිම ඈත් කරල තිබුනෙ ඒ වෙනකොට. ඔය නිසාම අපි ඒ පරිගණක පීරියඩ් එකේ ඉස්කෝලෙ උඩපිට්ටනියට යන්න පුරුදු උනා. එතන හරිම නිදහස් තැනක්. එක පැත්තකින් හොස්ටල් එක අනිත් පැත්තෙ පල්ලමේ ඉස්කෝලෙ ගොඩනැගිලි. හැමතිස්සෙම වගේ ළමයි සෙල්ලම් කරකර උන්න නිසා කිසිම වෙලාවක අපි පීරියඩ් කට් කරල ඉන්නව කියල කාටවත් තේරුමක් තිබුනෙ නෑ. එතන ඉඳල අපි ගොඩක් වෙලාවට කලේ මැයි ගස්වල මල් පොහොට්‍ටු කඩල ඒකෙ කොක්ක වගේ තියෙන රේණු දෙකක් පටලවල අදින සෙල්ලම තමයි. නොකැඩී රේණුව ඉතුරුවෙන එකා දිනුම්.

ඔන්න ඔහොමයි අපේ පරිගණක පාඩම ගෙවිල ගියේ. ඒ එක්දාස් නමසීය අනූනමය දෙදාහ කලෙ වෙන්න ඕන.

ඊට කාලෙකට පස්සෙ රස්සාවක් හොයාගන්න පරිගණක දැනුම ඕන උනා. එහෙමයි කිව්වට අපි දැනගෙන උන්නෙ පරිගණකවලින් සෙල්ලම් කරන්න පුළුවන් කියල විතරයි. පත්තර බලනකොට ඒ කාලෙ වැඩිපුරම පරිගණක පාඨමාලා තිබුනෙ ඩෙස්ක් ටොප් පබ්ලිෂින් යටතේ තමයි. ඔයිට අමතරව පරිණක ක්‍රමලේඛණ පාඨමාලා තිබුනත් මට ඒව මෙලෝ දෙයක් තේරුනේ නෑ. ඒක නිසා ගියා ඩෙස්ක් ටොප් පබ්ලිෂින් ඉගෙනගන්න මාතර ඇබකස් එකට. පන්ති කාමරයටම එක පරිගණකයක් තිබුන. ඒකෙන් තමයි චූටි මිස් කෙනෙක් පාඩම ඉගැන්නුවෙ. අපි ඉතිං එයා කියල දෙන පාඩම ඔහේ පොතක ලියාගත්ත. ඊට සතියකට පස්සෙ තමයි එදා පාඩම ප්‍රැක්ටිකලි කරන්න වෙන්නෙ.

ප්‍රැක්ටිකල් වලට ගියා…… ඒක ඉස්කෝලෙ තරම් දේවාලයක් නෙමෙයි. සපත්තු නම් එකෙත් ගලවන්න වුනා. හැමෝටම එක ගානෙ පරිගණක තිබුන. මමත් අනිත් අය වගේ වාඩිවුනා පු‍ටුවෙ. පරිගණක තිරය කළු පාටයි. මවුස් එක හෙලුවට මුකුත් වෙන්නෙත් නෑ. මම හරිම අසරණයි. වටපිට බැළුව. අනිත් අයගෙ පරිගණක වැඩ. මගේ එක නෑ. අහන්න කිසිම කෙනෙක් නෑ. කිසිම කෙනෙකුට මාව පේන්නෙ නෑ.

ඔයා ඇයි ප්‍රැක්ටිකල් කරන්නෙ නැද්ද?

ඉන්ස්ට්‍රක්ටර් ගෑණුළමයෙක් ඇවිල්ල ඇහුව මගෙන්.

මේක වැඩ කරන්නෙ නෑති එකක්ද. මවුස් එක හෙල්ලුවට මුකුත් වෙන්නෙ නෑ නෙ.

හ්ම්… කෝ බලන්න..

මවුස් එක වැඩකරන්න කම්පියුටර් එක ඕන් කරල ඉන්න එපාය. ඔයා ඒකවත් දන්නෙ නැද්ද.

එහෙම කියල එයා පහලට නැවිල බොත්තමක් එබුව.

%d bloggers like this: