බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං…….


ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…

කාගෙද බං….

ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.

එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.

උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?

මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය

මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.

ඉතිං…. ?

එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.

ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?

ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.

එහෙනං… ?

කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.

ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?

උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.

නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.

ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.

ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.

සර්.. මොනවද ගේන්නෙ ?

අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.

අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.

එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?

ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.

ඒ කිව්වෙ ?

හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.

උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.

මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.

උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.

හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..

ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?

හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.

ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..

ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං

උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…

හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?

නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.

පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..

ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….

මචං.. උඹ බීෆ් කනව නේද ?

අවුලක් නෑ..

එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..

හරි සර්..

ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?

අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.

උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?

උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?

තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !!

පින්තූරෙ ගත්තේ : http://www.old-picture.com

මාළු කොඩිතුවක්කුයි කුරක්කන් තලපයි

සුදු අක්කේ රෑට තලප කනවැයි?

කියල සෑහෙන කාලෙකට පස්සෙ තිලේඅම්ම ඇහුවෙ වැඩ ඇරිල ගෙදර ආපු අපේ අම්මගෙන්.

ඒ වෙලාවෙ මට ගියපු සන්තෝසෙ. මං මහම පෙරේතයි තලප ගිලින්න. ඒ වග දැනං උන්නු තිලේ අම්ම කුස්සි ඉස්තෝපු කෑල්ලෙ සන්තෝසෙන් උඩපනින මාව අම්මට ඇහෙං පෙන්නුව.

මට මොකෝ තලප හම්බවෙනවනං ඕනෙ එකක් කියල ඒපාර වැල් ඇඳට පැනල උඩ පනිනව. මයෙ බරට ඇඳ වැල් කිරි කිරි ගානව. ඒකෙ සද්දෙට  ඉස්තෝපු කෑල්ලෙ මුල්ලෙ වී ගෝනි අස්සෙ පැටව් ගහපු කිරි පූසිත් එළියට ඇවිල්ල පුදුමෙන් වගේ මං දිහා බලං ඉන්නව. එයැයිට පැටව් අමතකයි වගේ මගෙ විගඩං වලට.

ඔය වගේම සන්තෝසයක් ආව මතකයි ඉස් ඉස්සෙල්ලම මෙහේ බලුබ් එකක් පත්තුවෙච්ච දොහේත්. එදත් මේ වැල් ඇඳ කැඩෙන්න උඩපැන්න.

ඔයි මොකෝ කරන්නෙ. කඩල දාන්න හදනවැයි ඇඳ?

ආච්චි උළුවස්සට හේතුවෙලා ඉඳං අහනව. එයැයිගෙ පිටිපස්සෙන් බහින ඉරේ එලියෙ තද කොමටද කොහෙද මූනෙ තියෙන්නෙ හිනාවක්ද කේන්තියක්ද  කියල බලාහන්න බෑ. කොහොම උනත් මං නැවැත්තුව. නැත්නං හීං ඉරට පාරක් වදිනවනෙව පස්සට.

මං විගඩං නවත්තපු හන්දද කොහේද කිරි පූසි මහ කම්මැලි ඈනුමක් ඇරල ආපහු ගෝනි ගොඩ පැත්තට හැරිල වී පුරෝපු පෝර උරේක නියපොතු මදින්න තියාගත්ත.

චිප් පූසි චිප්……

ආච්චි එයැයිට බැනල එලවගත්ත. හොඳ වැඩේ, අච්චර ගෝනි තියෙද්දි මක්කටෙයි පෝර උරේම නියපොතු මැද්දෙ. ඉරුන නම් මොකෝ අපි එපැයි අස්කරන්න. එයැයි පැත්ත පළාතෙ එනවැයි කියලය. ආවත් ඉතිං වී බොන්න ආපු මැස්සෙක් අල්ලන්න කුරුමාණං අල්ලනව විතරෙනෙ.

පුතේ, චූටිඅම්මත් එක්ක පීල්ලගහ වත්තෙ දෙණියට ගිහිං ගහල දළු ඩිංගිත්තක් කඩං එන්න.

ඔන්න තවත් මං ආසම වැඩක්. අනික යන්නෙත්  කිව්වෙ චූටිඅම්ම එක්ක. එයැයි හරිම ජොලි පුංචිඅම්ම. අනිත් ඈයො වාගේ නෙමෙයි. මං මක්ක කරත් ඇස් උඩ තියං කැගහන්නෙ නෑ, එයත් එනව මිසක් මගෙ නාඩගං වලට.

යං කියල චූටිඅම්ම මගේ අතිං අල්ලගන්නව. ඊට පස්සෙ පිළිකන්න පැත්තෙන් කරාබුගස් මණ්ඩිය දිගේ ගිහිල්ල බේබි ආච්චිලගෙ වත්තෙන් පාරට බහිනව. ඒක තමයි තියෙන ලඟම පාර. නැත්නං හරි දුර. බේබි ආච්චි දැක්කොත් “රුප්පෙ පුතේ කොහේද මේ යන්නෙ ?” කියල අහනවමයි. එයැයිටත් ඕන නැති කෙහෙල් ගෙඩියක් නෑ. ඒත් ඉතිං අද වැඩකට නෙව යන්නෙ, වෙනද වගේ කම්මැලි කමට ඔහේ ඇවිදිනව නෙවෙයිනෙ. ඇහුවොත් කියනව අද රෑට තලපෙයි කන්නෙ කියල.

ම්ම්ම්…… එයැයිටත් ඕන වෙයිද දන්නෙ නෑ. ඒත් ඉතිං කන වෙලාවට ආවොත් සීය මහසෝනට උනත් එන්නෙයි කියල බෙදල දෙනවනෙව. ඉතිං බෙබි ආච්චි ආවොත් එයැයිගෙ තලප ගුලිය දෙන්නෙයි කියනො.

පීල්ලගහ වත්ත වෙලේ, හින්නි මාමලගෙ ගෙවල් පැත්තෙ කණ්ඩිය පල්ලෙහා වතුර පාරෙ තමයි වෙල් ගහල ගාල තියෙන්නෙ. චූටි අම්මයි මායි වතුරෙ බැහැල තර‍ඟෙට ගහල ගොබ ගලවන්නෙ. රෑට තලප කන්න විගහට යන්න තියෙන හන්ද මිසක් වෙන දවසක නං ගහල ගොට්ටකට මාළුවෙක් අල්ලං ඇවිල්ල වෙලේ ලිඳට දානවමයි. ඒත් අද ඕව කරන්න ගිහිං ආනම හදන්න පරක්කු උනොත්…

හා රුප්පෙ පුතේ…. අද තලප හදන්න වගේ…..

ඒපාර කවුද? සද්දෙ ආපු දිහා බැළුව. හා හින්නි මාම නෙව.

ඕ…. අපි අද තලප හදනො. ඔහෙත් එනවැයි.

අනේ පුතේ අද පන්සලේ පිරිත්මණ්ඩප්පෙ ගහනවනෙව. මං මේ එහේ යන්නෙයි කියල.

අඩ්ඩඩ්ඩා… අන්න ඊලඟට මං ආසම වැඩේ. හින්නි මාම කපන මල්කොළ දිගාරින එක. එයැයි ගාව නියන් මිටියක්ම තියෙනව එක එක හැඩේ මල් කපන්න. එක සීරුවට කොල නවල කපනව එක එක අතට හිල්. දිගාරිනකං හිතාගන්න බෑ එයැයි කැපුවෙ මොන මෝස්තරේද කියල. හරිම හැඩයි. ගොඩක් වෙලාවට එයැයි කපන සේරෝම දිගාරින්න කලිං මට නින්දගිහිල්ල. ආපහු උදේ වෙනකොට මෙන්න මාලිගාවක් වගේ හැඩ මණ්ඩප්පයක් තියෙනව. ඊට පස්සෙ තවත් වරුවක් විතර යනො ඉතුරු සුකුරුත්තං වැඩ අහවර වෙන්න. රෑට වටේට පොල් තෙල් පහන් පත්තුකරල මැද පැට්ටෝල් මැස් එක තියල ගත්තම දිවියලෝකෙත් මේවගේ වෙන්න ඇති කියල හිතෙනො.

හා එහෙනං අපි හෙට එන්නං ඔහේගෙ මණ්ඩප්පෙ බලන්න. දැං අපි යනෝ. අම්ම බලං ඇති.

එහෙම කියල ආපහු ආපු පාරෙන්ම ගෙදර එනෝ. ඉර බැහැපු හන්ද කරාබුගස් මණ්ඩියෙන් විගහට යන්න ඕන, නැත්නං සූ ගාල ඉන්න මදුරුවො කනව.

මෙච්චර වෙලා පුතණ්ඩියයි පුංචිඅම්මයි මක්කයි කලේ. ගහල වැව්වයි දළු කඩං එන්න මෙච්චර වෙලා ගීයේ ?

ආච්චි ඔහොම්ම මයි. එයැයිට තේරෙන්න නැද්ද මංද. මග දිගට කී දෙනෙක් එක්ක කතාකරන්න වෙනවැයි.

අන්න හින්නි මාම හෙට පිරිත් අහන්න එන්නෙයි කිව්ව ඔහේට, කියාගෙන මං වෙල් ගහල දළු මිටියත් අරං රිංගනව කුස්සියට.

අම්මෝ පුසුඹ. දර ලිපේ ගොජ ගොජ ගගා පැහෙනව මාළු හොද්දක්. මට ඉන්නම බෑ. මං එබෙනව ලිපට. ඒපාර හුමාලෙ වදිනවව මූනටම. මාළු ඔලු හතරකුයි තව කෑලියි හුමාලෙ අස්සෙන් යන්තං පේනව.

තිලේඅම්මේ කොඩිතුවක්කුත් දැම්මයි මෙකට.

ඕව් හතරක්ම ඇති. සීය කියලම ඉල්ලං ඇවිල තිබුන අපේ ගෙදර කොඩිතුවක්කු කන්න පෙරේත කොල්ලෙක් ඉන්නවැයි කියල.

මං කොඩිතුවක්කු කියන්නෙ මාළුවගෙ පීකුදු වලට. ඒක හරියට කාලතුවක්කුවක් උඩ බලං ඉන්නව වගේ. මට ඒකට කියන්නෙ කොඩිතුවක්කුයි කියල කියල දුන්නෙ තිලේඅම්ම වෙන්න ඕන. එයැයිට හරි අපූරු දේවල් තමයි හිතෙන්නෙ.

මට ඇසුත් ඕනෙ… මගෙන් තවත් ඉල්ලීමක්. මාළුවගෙ කොඩිතුවක්කුව ඇරුනම ඇස් වලට තමයි මං ආසම. හයිය ඇස් වික වික ඉන්න ඇහැකි ගොඩක් වෙලා. මාළු කන හැමදාම මගෙ පිඟානෙ පැත්තක අන්තිමට කන්න ඉතුරුකරගන්නව කොඩිතුවක්කුයි ඇසුයි.

මං මාළු හොද්දට ඇහැ ගහං ඉන්න වෙලාවෙ අම්මයි ආච්ච්යි වෙල් ගහල දළු ආනමයි, තලපයි හදල එවරයි. ඔන්න ඇතුල්පොතක දුං දම දම තියෙනව තද දුඹුරුපාට තලප ගුලි. තවත් බලං ඉන්නෙ අහවල් දේකටෙයි.

එන්න කන්නෝ………. මං බෙරිහං දෙනව.

කාටෙයි ඔය ආවඩන්නෙ. දැං මුළු ගමම එයි මෙතන සද්දෙට. ආයෙමත් ආච්චි.  බයවෙලාද කොහෙද එයැයිගෙ තලප ගුලියත් දෙන්න වෙයි කියල.

අඩියෙ සපත්තු මල් තියෙන බොකු‍ටු එනැමල් පිඟානට මං දාගන්නව දුං දම දම තියෙන තලප ගුලියකුයි මාළු බොර හොද්දයි. ආනම බෙදන්නෙ අම්ම තමයි. මොකෝ මං ආස නෑ ඒකට වැඩිය. ඒත් ඉතිං අම්මගෙන් බේරෙන්න ඇහැකිය. පුංචියට කඩාගෙන ගුලි කරගත්තු තලප ගුලියක් අස්සෙ ගහල මාළු හොද්දෙ දවටගත්තම ගත්තම ගහල දළු ආනමත් ගිලගන්න ඇහැකි. ඔය තලපෙ විකන්න එහෙම ඔට්‍ටු නෑ. විකුවොත් කට පුරාම ඇලිල මහ විනාසයක් තමයි වෙන්නෙ. ඔන්න ඔහොම  ගුලි කරකර අර ලොකු ගුලියකට මං වැඩේ දෙනව බුරිය උල් වෙනකන්ම. ඊලඟට නැහැමින් බෙදාගත්තු මාළු හොද්දෙ දියවෙලා තියෙන තලපත් එක සුරුස් ගාල එක උගුරට ඇදල දානව. ආයෙ ඉතිං ඇඟිල්ලක්වත් ගහන්න නෑ මගෙ බඩේ ඉඩක්.

මේක කියවලනං තලප හදන්න බෑ, මං මාළු හොද්දෙ අරුමෙ බල බල ඉන්න සුනංගුවට අම්ම තලප හදල අහවරයි නෙව. ඕනෙ නං මේ විදියට කන්න ඇහැකි. හදාගන්න කැමතිකෙනෙක් ඉන්නවනං මේන්න මේ කමු බොමු එකෙනුයි අරුණි අක්කගෙනුයි අහල බලන්නකො.

%d bloggers like this: