ආදරණීය රිදුම – 02


තිළිණි ඇයි මට සමීප උනේ කියල මට තවම පැහැදිළි නෑ.

මෙන්න මේ හේතුවය කියල එකක් පෙන්නන්න හැදුවම තව වෙන හේතුවක් මතුවෙනව, ඒ වෙලාවට කලින් එක නෙමේය පස්සෙ මතුවෙච්ච එකය කියල පිළිගන්න හැදුවම මෙච්චර වෙලා නොතිබිච්ච තවත් හේතුවක් තුන්වෙනි එක විදියට මතුවෙනව, ඒකට පස්සෙන් හතර, පහ, හය විදියට එකක් පස්සෙ එකක් විදියට හේතු පෝලිමක්ම ඇවිල්ල මාව එහෙම්පිටින්ම අවුල් කරල දානව.

ඒවෙලාවට ආයෙම අර කලින් ආව වේදනාව මහා බරකුත් එක්ක ඇවිල්ල හිතේ වාඩිවෙනව. ඊට පස්සෙ ඒක පපුවෙ ඉඳල පටන් අරගෙන ටික ටික බෙල්ල පහුකරන් නිකට, කම්මුල්, කන් පහුකරන් ඔළුව ඇතුලට වැදිල තෙරපිලා තෙරපිලා සිතුවිළි ඔක්කොම හිස්කබලෙන් එලියට තල්ලුකරනව කෙස් ගහේ ඉඳල කකියන ඔලුවෙ කැක්කුමකුත් එක්ක.

කොච්චර වේදනාවක් දැනුනත් කිසිම විදියකින් ඒ සිතුවිළි මතුවෙන එක නවත්තන්න ක්‍රමයක් තිබුනෙ නෑ.

නවත්තන්න උවමනාවකුත් එන්නෙ නෑ. ඒක තමයි මම ජීවත්වෙනවා කියල දැනෙන එකම මොහොත. ඒක නිසා කොච්චර පීඩාවක් උනත් මමත් ආසයි ජීවත්වෙනවා කියල දැනෙනවට.

තිළිණි එහෙමටම හැඩ රුවක් තියන කෙල්ලෙක් නෙමෙයි හිත ඇදිල ගියාට, මගෙ ජීවිතේ ඊට වඩා හැඩ නැවතුම් පොළවල් කීයක් නම් පහුකරන් ආවද. අන්තිමට නැවතිච්ච අනුරාධා ඒ අතරෙන් කෙනෙක්.

තිළිණි අනුරාධා එක්ක හැරෙන්නවත් පුළුවන් කෙනෙක් නෙමෙයි, කොටින්ම අනුරාධා මහා කන්දක් නම් තිළිණි පොඩි තෙත පස් කැටියක්. ඒත් අනුරාධා රිදුමක් වෙලා හිටපු මට තිළිණිගෙ ඒ
පුංචිකම කොහොමත් ගැටළුවක් උනේ නෑ.

අල් ෆරිස් එකේ දොලොස්වෙනි තට්ටුවෙ අවුරුද්දක් තිස්සෙ හිරවෙලා හිටපු මට තිළිණි හම්බුවෙන්නෙ හරිම අහම්බයකින්.

වෙනදා වගේම ඩියුටි ඕෆ් වෙලා ටැක්සියක් එනකල් ලොබි එකේ ඉඳපු මම කනට හුරුපුරුදු වචන ඇහෙන දිහාව බැලුවෙ ඉබේටම වගේ. මට පිටුපාල තියන ෆෝන් බූත් එකේ ඇතුලෙන් ඒ හඬ ඇහෙන්නෙ. උවමනාවටත් වැඩියෙන් හයියෙන් කරන කතාව අහන් ඉන්න මම ඉඳපු තැනින් තවත් අඩි කීපයක් පස්සට උනා.

එතනටත් ටැක්සි නවත්තන තැන හොඳට පේනව. ඒක නිසා කමක් නෑ, ටක්සියක් ආවොත් ඉක්මනට යන්න පුළුවන්, අනික මම මේ අහන් ඉන්නෙ අපේ කෙනෙක්ගෙ කතාවක්නෙ, විදේශිකයො ගොඩක් මැද මගේ ඒ කැත කෑදර සන්වන්දීම එහෙම සාධාරණීයකරනය කරගත්ත.

විනාඩි පහකට විතර පස්සෙ බූත් එකේ දොර ඇරගෙන බොහොම සාමාන්‍ය පෙනුමක් තියන ගෑණු ළමයෙක් එළියට ආව.

ඈ ඇඳල හිටියෙ වැළි පාටට ලඟින් යන දුඹුරු පාට ලිනන් කලිසමක්, ඒකටම ගැලපෙන පර්ල් පාට දිග ටොප් එක දනිස්සට පොඩ්ඩක් විතර උඩට වෙනකල් වහගෙන. වම් උරේ එල්ලිලා ඉන්න අහිකුණ්ඨික මල්ලෙ බරට ඇඳුමෙ කර වැඩිපුරත් එක්ක පහලට ඇදිල.

මම විගහට ඇස් අහකට ගත්ත. නැත්නම් ඈ මම නරක මිනිහෙක් විදියට තීරණය කරන්න හොඳටෝම ඉඩ තිබුන

ඔයා ලංකාවෙද ?

කිසිසේත්ම නොහිතපු විදියට මගේ කට ඉස්සර උනා. එයා පුදුම වෙන්න කලින් මම ම මගේ වචන ගැන පුදුම උනා. තත්පර කීපයක් ගියා උනේ මොකක්ද කියල තේරුම් ගන්න.

ඔව් නෙ.. ඔයත් ලංකාවෙද ?

යාත්‍රිකව වගේ කියවිච්ච ඒ දෙබස්වලින් පස්සෙ තවත් පොඩ්ඩක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටපු අපි දෙන්නගෙ හිනාව එක සැරේම පුපුරල ගියේ ඒක කොච්චර මෝඩ සංවාදයක්ද කියල කියන්න වගේ.

ඊට විනාඩි පහලොවකට විතර පස්සෙ අපි දෙන්න හිටියෙ කොෆී බීන් එකේ රෙඩ් වෙල්වට් දෙකක් කකා.

මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් එකේ නැති ගොඩක් කේක් වර්ග වලින් පිරිච්ච කැබින් එකෙන් රෙඩ් වෙල්වට් තෝර ගන්න අපි දෙන්න ඔට්ටු ඇල්ලුවෙ හරියට අවුරුදු ගානක් දැන අඳුරගෙන හිටිය දෙන්නෙක් වගේ.

එදායින් පස්සෙ හැම සති අන්තයකම අපි දෙන්නගෙ සුපුරුදු මීටින් පොයින්ට් එක උනේ කොෆී බීන් එක. සමහර දවස් වල පැයක් හමාරකට පස්සෙ පරිසරය ඒකාකාරී උනාම අපි දෙන්න යනව කොෆී ෂොප් එකේ එලියෙ ස්මාරකයක් වගේ තියල තියන වොක්ස් වැගන් එකට එහා පැත්තෙ තියන සන් ෂේඩ් එක යටට.

එක දෙයක් කියල නෑ, අපිව පහුකරන් යන ගැහැණියකගෙ පර්ෆියුම් සුවඳෙ ඉඳල හඳ, තරු වෙනකල් කතා කරනව.

තිළිණි කියන්නෙ පුදුමයන් ගොඩකගෙන් පිරිච්ච කෙල්ලෙක්, නිතරම ප්‍රීතියෙන් උතුරන, කුතුහලය ඉහවහා ගියපු අපූරු ජීවිතයක්. ඈ ගේ ඒ ප්‍රීතිමත් කම නොනවතින උනන්දුව, නිතරම අවධානයෙන්, කුතුහලයෙන් ඉන්න ගතිය මම මීට කලින් දැකල තියෙන්නෙ ජර්මන් ශෙපර්ඩ්ස්ලගෙන් විතරයි කියල කිව්වොත් ඒක ඈට කරන අපහාසයක් වෙන එකක් නෑ කොහෙත්තම.

ගෙදර ඉන්න වෙලාවටත් මගේ ප්‍රියතම මොහොතවල් ගතවෙන්නෙ නිතරම කන් උස්සගෙන ප්‍රීතියෙන් ඉන්න ටෙඩී ලඟ. ඌට තියෙන්නෙ බොහොම තියුණු අවධානයක්, මං ඩිංගක් හයියෙන් හුස්මක් හෙලුවත් බිම තියාගෙන ඉන්න නිකට විගහට උස්සල තෙත ඇස්වලින් මගේ දිහා බලාගෙන ඉන්නෙ හරියට ඇයි කියල අහන්න වගේ.

සමහර වෙලාවට මම ඌත් එක්ක ඔහේ කතා කරනව.. එකම දේ කී සැරයක් කිව්වත් නොනැසෙන උනන්දුවකින් අහන් ඉන්න ඌට පුලුවන්. ලංකාව දාල එන්න කිට්ටුව කැටයම් කපාපු හීතල වීදුරුවට අමතරව මට ඇහුම්කන් දුන්න එකම ජීවියා ඌ.

තිළිණිත් ඒ වගේමයි ඈට ඕනෑම කම්මැලි මාතෘකාවක් හරි අපූරු උනන්දුවකින් හූ මිටි තිය තියා අහන් ඉන්න පුලුවන්.  ඒ හැකියාව හරිම සුන්දරයි. සමහර විටක ඒක මවාගත්තු උනන්දුවක්ද කියලත් නොහිතුනා නෙවෙයි, ඒත් ඒක ගැන අහල ඈට අපහාසයක් කරන්න මට කිසිම වෙලාවක හිතුනෙ නෑ.

මම ඒ මොහොත ආස්වදනය කලා ……….

Advertisements

එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය

එක්ස්ක්‍යුස් මී …

මට ඉස්සරහින් ග්‍රීන් ඇපල් ජූස් කඩේ පෝලිමේ ඉඳපු වියත් දෙකේ සාය කොටයක් ඇඳල ඉඳික‍ටු දෙකක් වගේ හීනි අඩි තියස සපත්තු දෙකක් දාපු එක්සෙකටිව් ලූක් එකක් තිබුන ගෑණු ළමයගෙ කනට කිට්‍ටු කරල කඩුවෙන්ම කෙ‍ටුවෙ මේ නවම් මාවතේ ඉන්න ගෑණුන්ගෙ හැටි දන්න නිසා.

ඔව් ඔව්.. මුන් මහ අමුතුම එව්වො ජාතියක්. ඕං නිකමට හිතමුකො මං ඔය වෙලාවෙ සිංහලෙන් කතා කලා කියල. [ඔය එක්ස්ක්‍යුස් මී කියන එකට සිංහලෙන් කියන්නෙ “මේ.. නංගී කියල නේද ?] එහෙමනං ඉතිං තත්වය ශෝචනීයයි ! නිකං ඔළුව ගස්සල හැරිල බලන්නෙ හිඟන්නෙක් මේ ජූස් බාර් එකක අහවල් දෙයක් කරනවද කියල වගේ. තව යාළුවොත් එක්ක හෙම උන්නොත් කට කපාපු නෝන්ඩි හිනාවක් ලැබෙන්නත්, වැරදිලාවත් කොල්ල ඒ අහල පහලක හිටියොත් දවා අළුවෙලා යන බැල්මක් වැටෙන්නත් බැරි නෑ.

ටිකක් විතර බර කරල කනටම කිට්‍ටුකරල කොටාපු කඩු පාරෙන් ඔලුව හරවල බලාපි පෝනිටේල් එකත් ලතාවකට ගස්සලම.

හරියට හරි.. මේ දුල්මිණී තමා.. ඔය තියෙන්නෙ දකුණු ඇහිබැමට උඩින් තියන පුංචි උපන්ලපෙත්.

යර්ස් … ?

මොකක්ද මංදා මහ අමුතු විදියට ඇස් දෙකත් පුංචි කරල ඒ මදිවට නළලත් ‍රැලි කරල මගෙන් අහපි.

ඔයාට මාව අඳුරන්න පුළුවන්ද ?  [හරි හරි.. කඩුවෙන් කොටල පොටක් පාදගත්තම හෙළුවෙන් වනාගෙන වනාගෙන යන්න ඇහැකි, අනික මේ මම දන්න කියන ළමයෙක්]

හ්ම්…. අමාරුයි !!!

හුටා ! දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද ?

ඔයා ගාල්ලෙ නේද ?

ඔව්…. ?

ඔයා ලියනගේ මිස් ගෙ ක්ලාස් ආව නේද ?

ඔව් ඔව්.. ඔයත් ආවද ?

මේකි කොටියම කාපිය….. ඇයි හත් ඉලව්වෙ මං මේකි හන්ද හොම්බ කට කඩා ගත්ත. වස විළිලැජ්ජා වින්ද.. ඒ සේරම අමතකයි එහෙනං ඈ…..

ම්ම් …….. ආනේ මේ නවම් නේද ?

අප්පා ඇති යාන්තං මතක් උනා…..

පොඩි මතකයක් තිබුන. හරියටම මතක් උනේ ලියනගේ මිස්ගෙ ක්ලාස් ආව කිව්වමනෙ. කොහොම අමතක වෙන්නද අප්පා ඔයා එදා බෙල්ල කඩාගන්න හදාපු හැටියට !!

ෂ්…… කෑගහන්න එපා මනුස්සයො !!! වටේ පිටේ මිනිස්සු ඉන්නව.

හි හී හී….

——————————————————————————————–

හරි හරි.. කෙළ හලාගෙන හිටියට එතනින් එහාට අපි දෙන්න අතරෙ වෙච්ච කතාවෙන් තමුන්ලට වැඩක් නෑ…. 😉 ඒක නිසා දැනගන්න ඕනෙම නම් අර බෙල්ල කඩාගත්ත සිද්ධිය කියන්නම්. අහගන්නවලා…

——————————————————————————————–

මේ කියන්නෙ ඉස්කෝලෙ එකොලහ වසරෙ තුන්වෙනි වාරෙ විතර.

ඔය කාලෙ කියන්නෙ මහ අමුතු ආසාවන් එන කාලයක්නෙ. මට තිබුනෙ බයිසිකල් උණක්. එහෙමයි කිව්වට සන්තකේටම තිබුනෙ ඊට අවුරුදු පහකට විතර ඉස්සෙල්ල අරගෙන දීපු ඊස්ටන් ස්පෝට් බයිසිකලේ විතරයි. ඕකට තමයි මම දාපු සෙල්ලං ඔක්කොම කලේ.

මාසෙකට සැරයක් විතර ඕක මස් කරල ග්‍රීස් තෙල් එහෙම ගාල බෝල මාරුකරන ඒව එහම කරල බ්‍රේක් කේබල් ඔයිල් කරල ෆුල් සර්විස් එකක් දීල ගන්නව. සමහර දවස් වලට ඇණ මුරිච්චි දෙක තුනක් වැඩිපුරත් ඉතිරුවෙනව. ඒව ඉතිං ඊලඟ සැරේ ගලවල හයි කරද්දි සමහර විට හයි කරගන්න තැන් අහුවෙනව. එහෙම නැත්නං මගෙ අඬු බඬු දාපු පෙට්ටියෙ මුල්ලකට වෙලා ඔහේ තියෙනව.

මේ ගලවල හයිකිරිල්ලට හරියටම ගැලපෙන ආයුධ නැති නිසා ගොඩක් වෙලවට ලොකු යතුරු අස්සට පැතලි ඉස්කුරුප්පු නියනෙ තලේ එහෙම ඔබල හරියන සයිස් එකට පොඩි පොඩි එහෙමෙහෙ කිරීම් කරල තමයි සමහර ඇණ ගලවන්නෙ. පැඩ්ල් එක බයිසිකලේට හයිවෙන තැන තියන ලොකු කප් එක ගලවන්න නං ඒකෙ තියන කට්ට වලට ඉස්කුරුප්පු නියනක් තියල මිට්යෙන් ගහන්නම ඕනෙ. නැත්නං ඒක ගලවන්න බෑ. ඒ දවස් වල හන්දියෙ බයිසිකල් සාප්පුවෙ පැටි අයිය වැඩ කරන දිහා බලාගෙන ඉඳල තමයි ඒක අල්ල අගත්තෙ.

කොහොම හරි මේ නියමිත ආයුධ නැතුව කරන බාස් වැඩෙන් සමහර ඇණ වල ඔළුව ගෙවිල ගිහිල්ල ගලව ගන්නත් කොහොමහරි කරල ගලවපුව ආයෙම හයි කරගන්නත් බැරිවෙන වෙලාවල් අනන්තයි. එහෙම උනාම අන්තිමට සරණෙට එන්නෙ මහ විසාල කටර් අඬුවක්. ඒකෙ මැද තියන කට්ට රවුමට දාල දෑත බදල කැරකෙව්වම හරි. ඒකත් මහ කාලයක් කරන්න බෑ. අටපට්ටං ඇණ ඔළුව රවුං වෙනවනෙ. වැරදිලාවත් පිට පොට ගියොත් එහෙම ඇනේ පොට කැපෙනවනෙ. ඊට පස්සෙ ඉතිං අම්මට නාහෙන් අඬල කීයක් හරි ඉල්ලගෙන අලුත් ඇණයක් මුරිච්චියක් දාගෙන තමයි වැඩේ අහවර වෙන්නෙ.

මෙච්චර විස්තරයක් කියාගෙන ආවෙ මට ඒ සංගෙදිය උනේ කොහොමද කියන්න.

ඔන්න ඒ සෝචනීය දවසට එළි උනා. අතුරු ආන්තරාවක් නැතුව ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර එහෙම ආව සනීපෙට. තුන හමාරට යන්න ඕනෙ කිතුලම්පිටියෙ ලියනගේ මිස්ලයි ගෙදරට, එහෙ තමයි අපෙ ඉංගිරිස් පන්තිය. ස්කූල් බස් එකේ ඉස්කෝලෙ ගියාට අපි කොල්ලො ඔක්කොමල වගේ පන්ති යන්නෙ බයිසිකලෙන්. ඒක හරි ජොලි ගනමන, අතර මඟදි බීම පැකට් බොන එක තමයි ජොලිම වැඩේ, ඩොංග වාරෙට ඉතිං ඒව. ඉඳල හිටල පන්ති ඇරිල එන ගමන් ගලගෙඩිය පැත්තෙන් ඇවිල්ල තම්බි කඩෙන් ආප්ප කන්නත් අමතක කරන්නෙ නෑ. ඒකට ඉතිං සතියක දෙකක පොකට් මනී ඉතුරු කරගන්න ඕන නිසා ඒ ගනම නම් ඉතිං මාසෙකට දෙපාරක් නැත්නං තුන් පාරක් තමයි.

මේ පන්ති යන ගමනට හිරිඹුර හන්දියෙන් මට එකතුවෙනව කරාපිටියෙ ඉඳල එන විරාජ්, ඊට පස්සෙ කහදූවවත්තෙ බ‍ටුවන්තුඩාව පාරෙන් ලසන්ත, රිචර්ඩ් පතිරණ මහත්තයෙගෙ ගෙවල් ලඟින් එනව පුබුදු, කිතුලම්පිටියෙ ඉස්කොලෙ ගාවින් අපේ කාණ්ඩෙට එකතුවෙනව පැතුම්.

ඔන්න අපි සැට් එකම දැන් පන්තිය බලා පාගනව.

මේ මචං, උඹ මොකෝ කියන්නෙ මං දුල්මිණීගෙන් අහන්නද නැත්නං උඹ අහනවද ?

අඩේ උඹ අහන්න එපා බං. මං අහන්නංකො

හරියෙන්නෙ නෑ නෙ බං. උඹ දැං කී දවසක ඉඳලද ඕකිගෙන් අහනව කියල කියන්නෙ. කෝ ඇහුවද ?

ඔව් බං.. මූ අහන්නෙ නෑ උඹට අහන්නත් නෑ.. අන්තිමට අර මහින්දෙ කළුව ඕකි දාගනියි.

පිස්සුද බං, මම අද අහනව ෂුවර්.

හරි.. උඹට අද විතරයි චාන්ස් එක දෙන්නෙ. අද ඇහුවෙ නැත්නං උඹට ආයෙ චාන්ස් නෑ හරි .. ?

ඒයි නවමා, ඔන්න ඒකි හැරෙන පාර ගාව ඉන්නව, අහනවනං දැං අහපං.

කිව්වත් වගේ මේ ඉන්නෙ දුල්මිණී ක්ලාස් එකට හැරෙන පාර ලඟ. මෙච්චර වෙලා නවං ආව කොන්දත් කෙලින් කරල හැන්ඩ්ල් එකට අත් දෙකේම බර දීල ගත්ත පුරුස ධෛර්යය. අද නම් අහන එක අහනවමයි !!!

ක්‍රාස්….ක්‍රාස්..

දහ්.. ක්ර්ර්ස්…

ජබුං.. ග්ල්බ් ග්ල්බ් ග්ල්බ්…

අඩෝ.. නවම්.. නැගිටහං මචං මඩ වලෙන්.

හ්ම්ම්ම් හ්.. ආහ්……

මචං මුගෙ මූනෙන් ලේ එනව නේද ?

අප්පට සිරි. නහයත් කැඩිලද කොහෙද.. ඒ මදිවට නිකටත් පැලිල නේද … ?

නිලංකාර වෙලා තිබ්බට වටේ පිටේ උන් කතා කරනව් ඇහෙනව…

මං ඇස් ඇරල බැළුව.

ඔළු ගොඩක් මාව වටකරගෙන. ඒ අස්සෙන් යාන්තමය අහස පේනව.

මචං මචං.. උඹට මොකෝ බං උනේ….

ඒයි බං මුගෙ බයිසිකලේ හැන්ඩ්ල් එකත් ගැලවිලා බං මේ බලහංකො.. මාර වැටිල්ලක් නෙ මූ වැ‍ටුනෙ..

හ්මෙ.. ම්ම්…..

මං පිටිපස්සට අත ගහල නැගිට්ට. ඈතින් තවමත් අර පන්තියට හැරෙන පාර ලඟ දුල්මිණී අනිත් ගෑණු ළමයි ගොඩත් එක්ක මං දිහා බලාගෙන ඉන්නව.

එච්චරයි මට මතක !!!

ආයෙම ඇස් ඇරෙනකොට මං හිටියෙ කලේගාන හන්දියෙ ඩිස්පැන්සරියෙ රෙක්සින් ඇඳ උඩ !!!!

හොඳම කොන්දොස්තර සමඟ මැණික, වස්තුව, පැටියා ඇතුළු තවත් කතා

මෙන්න අර කලින් පෝස්ට් එකේ අන්තිමටම කියනව කියාපු හොඳම කොන්දොස්තරගෙ කතාව

මම ඉස්සෙල්ල කිව්වනෙ අපි ගියා කියල අමන්දොළුව – බේස්ලයින් පාරෙ නීතක්කලගෙ බෝඩිමට. අන්න එදා ඉඳල හැමදාම උදේට අපි මේ අනර්ඝ මගී ප්‍රවාගන සේවයේ තමයි යන්නෙ එන්නෙ. අපි යන එන වෙලාවල් වෙන්නෙ උදේ හයයි තිහයි හතත් අතරෙයි ආයෙම හැන්දෑවෙ හතයි අටයි අතරෙ වගේ තමා. මතක හැටියට ඒ පාරෙ බස් වැඩ කලෙත් ඒ වගේ වෙලාවල් වල විතරයි වගේ. ඒ අතරෙ ඕන නම් පැයකට එකක් එහෙ මෙහෙ යන්න ඇති.

බස් විතරක් නෙමෙයි ඔය පාරෙ තියන කඩවලුත් ඇරෙන්නෙ ඔය ඩියුටි ඕෆ් වෙන වෙලාවල් වලට විතරයි. දවාලට ලෑලි දාල වහල තියෙන්නෙ. කොටින්ම දවල් කාලෙට ඔය පාර හරියට අර කව්බෝයි පිචෑර්වල තියන පාළුවට ගියපු දූවිලි පිරිච්ච ටවුමක පාරක් වගේ. ගිණි කාස්ටක අව්වෙ ඇවිස්සෙන දුවිලි හුළඟින් ඒ ගතිය තවත් වැඩි වෙනව.

හැබැයි උදේ හතට විතර හරි හැන්දෑවෙ හතරෙන් පස්සෙ හරි ගියානම් හිතාගන්න බැරිවෙනව මේ ඊයෙ දවාලෙ දැක්කෙ මේ පාර ද කියල ඒ තරමටම වෙනස්. ඇඳුම් කඩවල්, කෑම කඩවල් ඇරල කෙල්ලො කොල්ලො පිරිල. වැඩට යන ගමන් කොල්ලො එහෙම ඒ දුවනගිරි කඩවල් ඉස්සරහට වෙලා තේ යාර දානකල් බලාගෙන ඉන්නව.

තව තැනක කීපදෙනෙක් ප්ලේන්ටියයි සිගරට් එකයි අතේ තියාගෙන ලොකු කතාවක්. ඒ අස්සෙ ඉන්නව ලොකු ලොකු ජපන් බයිසිකල් තියාගත්තු ආම් කට් ඇඳපු අයියලත්. ඒ ඉන්නෙ ඉතිං තම තමන්ගෙ ගෑණු ළමයි මුනගැහිල එදා වේලට කීයක් හරි හොයාගන්න.

මොකක් ?

ඕව් එදාවේල හොයගන්න ! කොන්දොස්තරගෙ කතාව පැත්තක තියල ඒ ගැන කියල ඉන්නම්.

ඔය පැත්තෙ ඉන්නව සමහර එවුන් උපන්තේකට රස්සාවක් නොකරපු, ඒත් රස්සාවක් කරන උන්ටත් වඩා ජැන්ඩිපහට ජීවත් වෙන. උන්ගෙ ආදායම් මාර්ගය උන් යාළුවෙලා ඉන්න කෙල්ලො. කෙල්ලො කියල බහුවචනෙන් කිව්වෙ ඇත්තටම එතන “බහු” සීන් එකක් තියන නිසා. එක කොල්ලෙක්ට අඩුම තරමෙ කෙල්ලො තුන් දෙනෙක්වත් ඉන්නව. මුලින්ම අපි හිටපු ගෑණු බෝඩිමෙ අල්ලපු වැටෙත් හිටිය එහෙම එකෙක්.

මට හොඳටම මතකයි අපි මුලින්ම ගෑණු බෝඩිමට ගිහිල්ල සති දෙකකින් වගේ තමයි වැලන්ටයින්ස් ඩේ එක ආවෙ. ඒ සති දෙකට අල්ලපු වැටේ භෘංගය අපිත් එක්ක ‍ෆිට් උනේ දුං දාන්න උගෙන් ලයිටරේ ඉල්ලලමයි. ඌ බැළුවොත් ඇත්නං තඩි බයිසිකලේ අරං බෝඩිම ඉස්සරහ පාරෙ එහීට යනව මෙහාට යනව. අපි ලයිටරේ ඉල්ලන සුනංගුවෙන් මිනිහ ඒක දෙන්නෙ බෝඩිම ගාව බයිසිකලේ නවත්තන්න ඒක හොඳ හේතුවක් නිසා වෙන්න ඇති. [අහන්න එපා ඉතිං ඇයි අපිට ලයිටරයක් තියාගන්න බැරි උනේ කියල. මේක උනේ ඉඳල හිටල විතරයි, ඒ ටික දවසට තමයි මේකව ‍ෆිට් උනේ]

එක දවසක් උදේ අපි වැඩට යනකොට අපේ පස්සෙන් පන්නගෙන ආපු බුවා, මචංලා මෙන්න මේක උඹලට කියල දුන්නෙ නැද්ද විසාල චොක්ලට් පෙටියක්. ගාල්ලෙදි නං ඒ සයිස් පෙට්ටියක් දැකලම තිබුනෙ නෑ. අම්මේ ඒකෙ විසාල. ඒ මදිවට ප්ලාස්ටික් නැට්ට තියන රෙදි වලින් හදාපු රතු රෝසමලකුත්. ඒකෙ පෙති වල වතුර බින්දු වගේ මුතු ඇටද කොහේදත් අලවල තිබුන. [ඔය මල ගෑණු බෝඩිමේ කාමරේ දොරේ ගහල තිබුන කාලයක් යනකල්ම]

කොල්ලොන්ට කොල්ලෙක්ගෙන් චොකලට් !!!!

අපේ භිරන්ත වෙලා තිබිච්ච මූණු දැකලද කොහෙද බුවා කියාපි, ඕක මට දැන් හම්බු උනේ බං. උඹල ඕක කාපල්ල කියල.

එතකොට අයියට ?

හපොයි බං මට හවසට තව දෙකක් එන්න තියනව. ඔයාකාර චොකලට් කන්නෙ ඇකැක් කාටෙයි කියල බරාස් ගාල හරවං ගියා.

පස්සෙ දැනගත්තු විදියට ඒක මෙහේ සාමාන්‍ය දෙයක්.

ඔන්න ආයෙම කොන්දොස්තර කතාවට,

නීතක්කලගෙ බෝඩිමේ ඉඳල මුලින්ම වැඩට යන දවස. උදේ හය හමාරට විතර ගියා හන්දියට. එතනින් තමයි බස් ඇවරිවත්තට යන්න පටන්ගෙන්නෙ. උදේම හන්දද කොහෙද අපි යනකොට දෙතුන් දෙනයි හිටියෙ. ඒත් කෙල්ලො. අපි උන්ව පහුකරගෙන ගිහිල්ල පිටිපස්සෙම සීට් එකේ දොර පැත්තෙ මුල්ලෙ වාඩි උනා. එකා දෙන්න ඇවිල්ල බස් එක පිරෙනව. වැඩේ කියන්නෙ බස් එකේ සීට් ඔක්කොම වගේ පිරුනත් පිරිමි පරාණ දෙකකට කියල ඉන්නෙ නාලකයයි මායි ඉතරමයි. ඒ ඉන්නෙත් පෙම් මුළු දෙකෙන් එකක.

හිතාගන්නවලකො කෙල්ලො විතරක් පිරිච්ච බස් එකක පෙම් මුල්ලෙ ඉන්න කොල්ලො දෙන්නෙක්ගෙ ඛේදනීය තත්වය !!!

හොඳ වෙලාවට ඊලඟ විනාඩියෙ බස් එක යන්න පටන් ගත්තෙ. ජනේලෙ කපාගෙන එන හුලං පාරත් එක්ක අපේ ඛේදනීය තත්වයත් ගහගෙන ගියා වගේ.

තව පොඩ්ඩෙන් අමතක වෙනව කියන්න, මේ අර තනි දොරේ පාං බාග වගේ රෝසා බස්. මළකඩ ගොඩ. ඒවයෙ හැම තැනින්ම සද්ද එනව හෝන් එකෙන් ඇරෙන්න. සමහර ඒවයෙ ඇතුලට අව්වත් වැටෙනව වහලෙන්.

ඊලඟ හෝල්ට් එකෙන් දුවගෙන ඇවිල්ල දොරේ එල්ලිච්ච එකෙක් “හා හරේ යාං” කිව්ව. බැලින්නං ඒ අපේ කතානායක කොන්දොස්තර. බස් එක හෝල්ට් එකක්ම ඇවිල්ල තියෙන්නෙ කොන්දොස්තර නැතුව.

“හා කෝ බලන්න මගෙ චූටි පැටව් ටික සල්ලි ගන්න බලන්න”

තාලෙට ඇදල පැදල කියපු කොන්දොස්තර ඉස්සරහ ඉඳල සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ.

මූණ පුරාම තඩි කුරුලෑ වලව තියන කළුම කළු කොන්දොස්තර අර ගෑණු ළමයි ලඟට ගිහිල්ල එහෙම කියනකොට මගෙ නං බඩ දඟලන්න පටන්ගත්ත.

“අනේ මයෙ මැණිකෙ කෝ මාරු රුපියලක් දෙන්න රත්තරං”

අනේ ඉතිං අර කෙල්ලත් පර්ස් එක කූරු ගාල රුපියලක් කොහොමහරි හොයල දෙනව මුකුළු හිනාවකුත් එක්ක.

ඔන්න බස් එක නවත්තනව හෝල්ට් වල, ඒ හැම තැනකම ඇහෙන්නෙ මෙන්න මෙහෙම වචන තමයි,

“කෝ මයෙ වස්තුව ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න”

“මයෙ අම්ම පෝඩ්ඩක් අනිත් පැත්ත හැරුනොත් තව එක්කෙනෙක්ට ඇතුලට යන්න පුළුවන්”

“කෝ මේ ඔය මැද ඉන්න බට්ටි, පොඩ්ඩක් එහාට වෙන්න රං”

“අනේ සුදු මැණිකෙ ඔන්න ඔය පඩියත් උඩට නඟින්නකො, නැත්නං මං බිම”

හෙහ් කොහොමද වචන සැට් එක, ආයෙ මෙහෙම කිව්වම පස්සට වෙලා, හරස් වෙලා, පැත්ත පෙරෙළිලා, ඇඹරිලා, නැමිල ඉඩ දෙන්න හිතෙන්නෙ නැත්තෙ කාටද නේද ?

කොන්දොස්තරගෙ වචනෙ බලේ බලන්න ඕන නම් ඇවරිවත්තෙන් බස් එක නැවැත්තුවම බහින සෙනඟ කන්දරාව දකින්න ඕනෙ. 138 රූට් එකේ දොර දෙකේ බස් එකක ලෝඩ් කරන තරමටම සෙනඟ.

සැ.යු :
ඔය වෙලාවට ඔය බස් වලට නඟින්නේ වෙළඳ කලාපයේ වැඩකරනා අය පමණක්ය ඒ අයගෙනුත් සීයට හැත්තපහකටත් වඩා ගෑණු ළමයින් ය. එහෙයින් ජැක්සන්ලා මෙහි ඇත්තේම නැති ගානය. ඒත් කොන්දොස්තර අයියා නං හත් අට වංගියක්ම බස් එක ඇතුලේ එහාට මෙහාට යයි ය !!

සියඹලාපිටියේ භූතයා

පහුගිය දොහක ගියා ගමෙන් පිට පොඩි ගමනක් කෑගල්ලෙ සියඹලාපිටිය දිහාවෙ. එහේ නෙව අපේ ගුරු පුංචි ඉන්නෙ. හරිම අපූරු ගම. වෙල මැද්දෙන් හැතැප්ම බාගයක් විතර වංගු වංගු පාරකින් ගියාම තමයි ගෙවල් මණ්ඩිය තියෙන්නෙ.

ඔය පල්ලෙහා තියෙන්නෙ ඒ වෙල් යාය මැදින් යනකොට දැක්ක භූතයා

[ලොකුකරන්න ඕන නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න]

භූතයට කියල වී ලාහක කුඹුරුකෑල්ලක් කප්පවාගන්න යන්නෙ රුපියල් හත්සීය පනහයි

අත්තං දීල කුලී කරයො දාල දැං කාලෙ පිරිමහන්න බෑලු. ඔය කුඹුරු කෑල්ලෙ වී ලාස් දෙකක් විතර තිබිල තියෙන්නෙ.  භූතය ඉල්ලල තියෙන්නෙ රුපියල් එක්දාස් පන්සීයයි.

ඒ රුපියල් එක්දාස්පන්සීයට,

ගොයං කපල,
පාගල [ගොයමෙන් වී ඇට වෙන් කරල]
හුලං කරල [කා‍ටුව, පිදුරු, බොල් අයින්කරල]
ගෝනි වලටත් දාලම දෙනව.
වැඩේට යන්නෙ විනාඩි විස්සකටත් අඩුවෙන්.

කුලියට කැප්පෙව්වනං වරුවක්ම යනව කපන්න.
ඊලඟට කමතෙ ගොයංකොලේ ගහන්න ඕන,
ඊටපස්සෙ ගොයං පාගන්න ඕන [හරක් දාල එහෙම නැත්නං ගොයං පාගන මැසිමෙන්]
ඊලඟට ෆෑන් දාල හුලං කරන්න ඕන,
ඊට පස්සෙ වී මළුවලට දාන්න ඕන.
ඔය අතරෙ වැස්සොත් එහෙම තෙත ගොයම වේලෙනකන් ඉන්න ඕන පාගන්න එහෙම නැත්නං හුලං කරන්න.

හප්පේ වැඩ කෝටියයි !!

ඒ විතරක්නං මදෑ කුලිය දීල මදිපාඩුවට කසිප්පු දෙන්නත් එපැයි. ඒක නෙව කොරල පිරිමහන්න බැරි.

භූතයට ඔය මුකුත්ම නෑ, ආව, කැපුව, ගෝණියටම පැටෙව්ව ගාන ගත්ත ගියා….

ඔයිට වැඩිය ලොකු එකෙක් ඉන්නව අම්පාර අක්කරෙයිපත්තු දිහාවෙ මහා කුඹුරු යායවල් ඔල, ඒකට කියන්නෙ “සුනාමි” කියල. එදාවේල හම්බකරන් කන කුලීයට ගොයං කපන මිනිස්සුන්ටනං මේ ජාතියෙ හාවස්ටර්ස් “භූතයො”, “සුනාමි” ආව වගේ තමා]

ප.ලි :

ලාස් අටක් බුසල් එකයි ලොකු ගෝණියක බුසල් එකහමාරයි ලු.

එතකොට කුරුණි ? [දන්න කවුරුහරි ඔය සූත්තරේ කිව්වනම්]

එබුවෙ ගේ කතා – ඉකිරියා


ඔන්න තවත් දවසක් එබුවෙට ඕන උනා මූදේ නාන්න යන්න. මුගෙ මේ වැඩ වලට ඉතිං කවදත් අහුවෙන අපි හතර පස්දෙනා තමයි. මූදෙ නාන්න කිව්වම ඉතිං ගාල්ලෙ කොච්චර තැන් තියනවද.

ඕං ඉතිං පටං ගත්ත ජනමත විචාරණයක් නාන තැන තීරණය කරන්න.

ඒ මචං අපි යමං උණව‍ටුනෙ.

හපෝ බෑ බං ඔතන බිලිගන්නව. ඩිංගක් වතුරෙ එහාට ගියොත් බඩු හරි. එබුවෙ කියාපි !

එහෙනං යමං රූමස්සල.

පිස්සු කතා කරනවද බං, ඔය කැලේ යන්න බෑ මචං. අනික ඔතන වැල්ලෙ කපල්ස් පිරිල. එතෙන්ට ගියොත් නාන්න වෙන්නෙ නෑ. ඒත් එබුවෙ.

එහෙමං ඉතිං යමල්ල කො‍ටුවෙ සී බාත්.

අඩෝ…. අපේ මාම කච්චේරියෙනෙ බං. පොර දැක්කොත් අනිවා ගෙදරට කියනව. ඒපාර ඔබ්ජෙක්ෂන් එකත් එබුවෙ ගෙන්.

මේ… ! දැං නාන්න ඕනෙයි කිව්වෙත් බොට, ඒ එකෙ තැනකටවත් යන්න බෑ කියන්නෙත් උඹමයි. යන්න බැරිනං නිකා හි‍ටු.

අඩෝ අඩෝ එහෙම කරන්න එපා….. එහෙනං යමං සී බාත්, හැබැයි අළුත් කො‍ටු දොරකඩිං යමල්ල හරිය ?

හරි හරි ඕන උලව්වකින් යමල්ලකො කියල අපිත් දැං ඔන්න දා ගත්තු දවසෙ ආෆ්ටර් ස්කූල් කියල ගෙවල් වලටත් කෙප්පයක් කියල ඉස්කෝලෙ ඇරිල ඇඳුනුත් මාරු කරං හීන් සැරේ ගියා සී බාත්.

අප්පට සිරි ගියාට පස්සෙයි මතක් උනේ, ජොකා ඇරෙන්න වෙන ඇඳුමක් නෑ නෙව නාන්න. දෙනෝදාහක් ඉන්න තැනක ජොකා ඇඳං නාන්න.. අපෙ අප්පෝ ! ඊටත් ට්‍රිප් එකක් ආපු ගෑණු ඉස්කෝලයක් කො‍ටු තාප්පෙ උඩට එහාට මෙහාට ඇවිදිනව.

දැං මොකෝ කරන්නෙ. විනාඩි දහයක් බැලුව, පාලහක් බැලුව විස්සක්.. ම්හ්…  එකෙක්වත් හෙල්ලෙන පාටක් වත් නෑ.

ඕන පුකක් ! ජොකා පිටිං නාමු බං. ලැජ්ජාවක් තියනවනං උන් යන්නෙ නැතෑ.. එබුවෙ පෙරමුණ ගත්ත.

අපි එකා පිටිපස්සෙ එකා දැං බහිනව මූදට. එබුවෙ ඉස්සරහින්ම අපි ඌට පස්සෙන්. හරියට පැසන් සෝ එකක් වගේ.

හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…

මල හු*** අර කෙල්ලො අපිට හිනා වෙනව නේද ? පාත් වෙයල්ල යකුනේ වතුරට…. !!

එහෙම කියාපු අපේ වීර එබුවෙ දණක් විතර ගිලිල හිටපු වතුරෙ එකපාරටම වාඩි උනා ලැජ්ජාවෙන් බේරෙන්න.

වාඩි උන සුනංගුවට මෙන්න මූ බුදු අම්මෝ !!!!  කියාගෙන පස්ස පැත්ත අල්ලං නැඟිටපි !

ආයෙම

හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…

ඒ සද්දෙ ඇහිච්ච ගමං කෑගහං කෙලිං වෙච්ච එබුවෙ ආයෙම වතුරට පාත් උනා..

ඒ ගමන නැගිට්ටෙ &^$%;*#$##@!*$^&”:;)* %(#(@^)$ කියාගෙන.

නැගිට්ට ගමං දුවාපි වැල්ලෙ තියන ගස් ගොල්ලට.

ඔය ටික වෙන්න ගියේ නෑ එක තත්පර පහක්. කොටින්ම සිද්දිය වෙනකොට එකෙක්ගෙ වත් දණෙන් උඩට තෙමිල තිබුනෙ නෑ, ඒ මදිවට පෝලිමෙ අන්තිමට උන්න එකා තාම වතුර පාගලත් නෑ ඕං.

උනේ මොකක්ද කියල හිතාගන්න බැරිවෙච්ච අපි කට්ටියම එබුවෙ හොයාගෙන යනකොට මූ ඉන්නව ජොකාත් බාගෙට ගලෝගෙන නිකං මොනවද කාපු රිලව වගේ.

මොකෝ යකෝ තොට උනේ ?

අඩෝ කැ** ඉකිරියෙක් උඩ ද කොහෙද බං මං වාඩිවෙලා තියෙන්නෙ..

අනේ බලහල්ලකො මගෙ පුක තියනවද කියල ?

එබුවෙගෙ ඇඬිල්ලට අපේ උන්ට මැරෙන්න හිනා..

ඈ ඕයි පළවෙනි පාර වැරදිලැයි කියමු , මොන එහෙකටෙයි උඹ දෙවනි පාරත් ඌට පුක දෙන්න ගියේ ?

කවුද බං දෙවනිපාර දෙන්න ගියේ. දෙවෙනි පාර කෑගැස්සුනේ ලුණු වතුරට යකුනේ….

අනේ බං උඹවත් බලහංකො මේ හරක්ට තේරෙන්නෙ නෑ. උඹ ඉතිං සැං ජෝන් කරන එකානෙ. එබුවෙ මට කතාකරනව උගෙ හඩු පුක බලන්න…..

ෆස්ට්-ඒඩ් කලාට කොහෙද අපිට උගන්නල තියනවැයි ඉකිරියො ඇරපු උන්ට කොරන දේවල්.

ඒත් උගෙ වදේට ජොකා ගලෝල බැලින්නං ක‍ටු දෙකක් තට්ටමක් හිල් කරං ගිහිල්ල. තව ඩිංගක් හොඳින් බැලින්නං මේං කළුපාටට මොකක්ද එකක් ඇතුලෙ ‍රැඳිල.

මංචං එබුවෙ.. වැඩේ පොඩ්ඩක් සීරියස් වගේ !

අම්මට උඩු  …. ඒ කියන්නෙ මයෙ පුකට බඩුද?

මචං කට්ටක් හිරවෙලා ඇතුලෙ, ඉස්පිරිතාලෙ යන්න වෙයි වගේ……

අනේ බං ඉස්පිරිතාලෙ යන්නෙ කොහොමෙයි. ගෙදරට බඩු මාට්‍ටු වෙනවනෙ. ගොඩින් ශේප් කරන්න උඹට බැයිද?

පිස්සුද බං, අනික අහවල් දෙයක් දාලයි ඔය කට්ට ගන්නෙ අපි. බය නැතුව යමං ඉස්පිරිතාලෙ.

වේදනාව වැඩි කමටද කොගෙද අන්තිමට එබුවෙ කැමති උනා ඉස්පිරිතාලෙ යන්න. ඒත් මූ කොහොමෙයි බයිසිකලෙන් එක්කං යන්නෙ. මොකෝ වාඩිවෙන්න ඇහැක් එකක්ය.

අතේ තිබිච්ච සබ්බ සකලමනාවම එකතුකරල ත්‍රීවීල් එකක මුනිං අතට හාන්සි කරගෙන එක්කං ගියා කරාපිටියෙ මහ ඉස්පිරිතාලෙට.

ගිය ගමං මූ ඉමර්ජන්සි රූම් දාල පොඩි පහේ සර්ජරියකින් ක‍ටුව එලියට අරගෙන.

ඒත් දැං හැන්දෑ වෙලා හන්ද මූව ඩිස්චාජ් කරන්නෙ ආයෙ හෙට උදේ කියාපි.

දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද අපේ සෙන්ට් විජයසුන්දරට කියනව ඇරෙන්න.

එබුවෙ එපා කියද්දි ගත්ත කෝල් එකක් ඉස්පිරිතාලෙ කාසි පෙට්ටියෙන්, මොකෝ ඒකාලෙ අපිට හෑන්ඩ් ෆෝන් තිබුන එකක් යැ.

ඩිංග වෙලාවකින් උන්නැහෙත් ආපි. එබුවෙ ඒ වෙනකොට අමාරුවටත් එක්ක මුනිං අතට හැරිල නිදි.

පුතා පුතා…. ! මොකෝ කොල්ලො උනේ ?

නිදිමතේ වගේ ඔළුව විතරක් බාගෙට උස්සපු එබුවෙ කියාපි,

අනේ බලන්න තාත්තෙ බෙලිගහ හන්දියෙදි බයිසිකලෙන් ලිස්සල වැ‍ටුනනෙ මේ කොහෙද යන ඉකිරියෙක් උඩට.

ඈ… බෙලිගහ හන්දියෙ කොහෙද මිනිහො ඉකිරියො ?

ඒකනෙ තාත්තෙ කියන්නෙ. මගේම නරක වෙලාව. කොහෙන් ආවද මන්ද ඌ……

පිංතූරය ගත්තේ : http://tolweb.org/treehouses/?treehouse_id=4881

එබුවෙ ගේ කතා – අල්ලපු වත්තේ කුරුම්බා


මතකයි නේ ගිය සතියෙ අපි එබුවෙ ගෙ ගෙදර රෑ පාඩම් කරන්න නැවතිලා වෙච්ච දේවල්. තව ඩිංගෙන් උන්ගෙ අම්ම මහ රෑ කියල බලන්නෙ නැතුව අපි සේරෝම එලෝගන්නව.

දැං කතාව එතන ඉඳල….

ටොක් ටොක් ටොක්….

කවුරු හරි දොරට තට්‍ටුකරනව හීනෙං වගේ මට ඇහුන. ඇහැරිලා බැලින්නං වෙලාව එකොලහ හමාරයි. අනිත් එවුනුත් වැටිච්ච වැටිච්ච තැන්වල පොත් බදාගෙන කිරනව.

ඒයි නැගිටපල්ල බං, කවුද දොරට ගහනව ඇහෙන්නෙ නැද්ද. මං පයිං ඇනල එබුවෙ ඇහැරෙව්ව.

කවුද බං මේ මහ රෑ.. මළ කරදරේ…. කියාගෙන ඌ ගිහිල්ල දොර ඇරිය.

මොකද ඕයි ?

බාගෙට ඇරපු දොර පියනෙන් ඔළුව දාපු මිනිහ කාටද බනිනව.

එක පාරටම ඌව ආපස්සට තල්ලු උනා. ඊට පස්සෙ උණුවතුර බෝතලයක් දොර රෙද්ද අස්සෙන්.

ගන්නව මේක.

ආ මේකත් ගන්නව. තව ප්ලාස්ටික් කෝප්ප ටිකකුත් ඊලඟට දොර රෙද්ද අස්සෙන්.

මේක බීල ආයෙම කට්ටියත් එක්කම නිදාගන්නව. මෝඩයො !

එහෙම කියල එබුවෙගෙ අක්ක අපිටත් ගස්සං ගියා.

ගොයං කයියට ගියපු එවුන් වගේ අපි තේත් එහෙම බීල අහවර කරල ආයෙම පොතක් අතට ගත්ත ඊලඟ නිදිවඩිය එනකන්.

ගානක් දෙක් හදල, නොතේරෙන එවුන්ට තේරුනුත් කරල දීල තව පැයක් හමාරක් කරදරයක් නැතුව අපි උන්න.

මචං….

එබුවෙ මහ හයියෙන් කට ඇරිය.

මේ මචං, ඕනෙ මඟුලක් කියහං අම්මයි තාත්තයි ඇහැරවන්නෙ නැතුව. එහෙම උනොත් මේ මහ රෑ අපි කොහේ කියල යන්නෙයි. එබුවෙගෙ කටේ සද්දෙට බයවෙච්ච අනුෂ්කය කිව්ව.

බය වෙන්න එපා බං. දැං දොලහත් පහුවෙලා. ඒ දෙන්න නැගිටින්නෙ නෑ ආයෙ එලි වෙනකං.

යමංද කුරුම්බයක් බොන්න ?

අම්මප මේක හරක උනාට ඌටත් ඉඳල හිටල අපූරු දේවල් කල්පනාවට එන්නෙ. දොරකඩ කුන්දිරා ගස් දෙකේ වලු පිරිල තිබිච්ච හැටි අපි හවහ බලාගෙන උන්නෙ.

අඩේ නියම අයිඩියා එක. අර මිදුලෙ තියන කුන්දිරා නම් නියමෙට ඇති බං.

මොන කුන්දිරාද බං. ඕව කඩල තාත්තගෙන් හෙට උදේට ගුටි තමයි බොලාටයි මටයි.

එහෙනං කොහෙන්ද බං කුරුම්බා බොන්න යන්නෙ?

යමංකො කියන්න. අර උඩහ තියනව තව ගස් වගයක්.

අපි කට්ටියම හිමිහිට දොර ඇරගෙන මිදුලට බැස්ස. එබුවෙ කුස්සියෙන් මන්න පිහියත් අරං ආව.

හරි, දැං කට්ටියම මගේ පස්සෙන් සද්ද නොකර වරෙල්ල. කියල මිනිහ ඉස්සර උනා. අපි කට්ටියම දැං උගෙ පස්සෙන් ගෙයි කුස්සිය පැත්තෙ තියන සියඹලා ගහ ගාවින් තියන පස් කණ්ඩියත් නැඟල තනකොල බිස්සක් දිගේ ඇවිදං යනව.

ලාවට තියෙන හඳ එලියෙන් පේනව මහ විසාල පොල් වත්තක්.

මචං එබුවෙ, උඹලට පොල් වත්තක් තියනව කියල අපි දැනං උන්නෙ නෑ නෙ බං. උඹල හෙන සල්ලිකාරයො නේ.

කවුද කිව්වෙ මේක අපේ කියල. මේක අපේ නෙමෙයි බං අල්ලපු ගෙදර උන්ගෙ.

යකෝ… උඹ මාර බඩුවක්නෙ. ‍තෝ අපිව එක්කන් ආවෙ හොර කුරුම්බ කඩන්නද අච්චර හොඳ කුදිරා ගස් දෙක අතෑරල.

මං කිව්වනෙ බං බය වෙන්න දෙයක් නෑ කියල. අනික දොරකඩ ගහේ කුරුම්බ බිව්වනං තාත්තට අහුවෙනව බං.

මෙන්න මේ පිහිය අල්ලගනිං මං ගහට නඟින කං.

එහෙම කියල එබුවෙ සුරුස් ගාල නැග්ග. වලල්ලක්වත් නැතුව මිනිහ විනාඩියට කරටියෙ.

දග්…… දග්…. දග්… දග්…..

ඌ වගේ වගක් නැතුව කුරුම්බා කඩනව. අනුංගෙ නෙ. ඉතිං කොයින්ද අගයක්.

රෝල් වෙලා ගිහිල්ල අගල් වල වැටිල තිබිච්ච ගෙඩි ටික අහුලගෙන ගහක් මුලට වෙලා කපං බීල පලං ලොඳත් කෑව.

මංචං මේ කෝම්බ දාන්නෙ කොහාටෙයි?

ඔන්න ඔතන පොල් අගලට දාපං බං.

පිස්සුද බං, හෙට උදේට වත්ත අයිතිකාරයොන්ට අහු වෙයිනෙ.

අහුවෙන්න උන් මෙහේ ඉන්න එපැයි බං. උන් ඉන්නෙ මා ගාල්ලෙ. ආයෙම ඊලඟ පොල් මුරේට මිසක් ඊට මෙහා එන්නෙ නෑ. බය නැතුව ඔන ඔහේ දමල යමල්ල.

කුරුම්බා කෝම්බත් ගහ මුලම දාල ආපු අපි ආයෙම කාමරේට වෙලා සනීපෙට නිදාගත්ත.

හෙහ් හෙහ්… හොහ් හොහ් හා….

හිහ්…. හිහ්.. හී හී…..

මහා හිනා සැද්දෙකින් අපි කට්ටියම ඇහැරුනා. මේ එලිවෙන පාන්දර කවුද බොලේ මේ…

ඇහෙන්නෙ කුස්සිය පැත්තෙන්. අපි කට්ටියම විගහට ගියා බලන්න මෙච්චර හිනාවක් මොකද කියල.

අපි යනකොට එබුවෙගෙ තාත්තයි අක්කයි වත්ත උඩහට වෙලා හිනාවෙනව.

මොකෝ අංකල් මේ?

හා මේ ඇවිල්ල ඉන්නෙ කුරුම්බා හොරු. ඇයි මනුස්සයො මං කිව්වෙ ඕනෙ නං අර ඉස්සරහ කුන්දිරා පැලෙන් බොන්නෙයි කියල. මොන එහෙකටෙයි මේ නැඩ ගස් බඩගෑවෙ.

බඩු හරි. එබුවෙගෙ තාත්තට අතේ කෝට් ඊයෙ රෑ හොරකම. ඒත් ඉතිං මොකක්ද අර කුන්දිරා බොන්නෙයි කියාපු කතාව…..

අපි සේරම එබුවෙ දිහාට හැරුන.

හරි හරි මචං, උඹල අප්සැට් වෙන්න එපා. ඒ බීපුවත් අපේ තමා කියල.

මොකක්.. ?

එතකොට මොන උලව්වකටද බං අර නිදි කුම්බා ගාලෙ, අගල් වල වැටි වැටි මහ රෑ අපි එක්කගෙන ගියේ.

එතකොට එබුවෙ අහපි

හා දැං උඹලම කියාපං ගෙදර දොරකඩ කුන්දිරා බොන එකද එහෙමත් නැත්නං අල්ලපු වත්තෙ හොර කුරුම්බා බොන එකද වැඩිය ආතල් කියල ?

උපන්දින කේක් ගෙඩියේ විගඩම

ඇන්ටී අනේ තව කට්ලස් එකක්…..

ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එල්ලිලා.

ඇන්ටී පපඩං තියෙයි ? තා පරිප්පු ඩිංගක්….. අනේ මට මාළු කෑල්ලක්….

ඔය වගේ දේවල් අඩු වැඩි විදියට හැම අවුරුද්දකම ඇහෙන්න මගෙ උපන්දිනේ දවසෙ හැන්දෑවට ගාල්ලෙ ගුණරතන ළමා නිවාසෙදි.

උපන්දිනේකට කිසිම දවසක පාටි දාන්න පුරුද්දක් නොතිබිච්ච අම්මයි තාත්තයි මගෙ එකම එක උපන්දිනයකටවත් කේක් ගෙඩියක් කැපුවෙ නෑ. පන්තියෙ අනිත් ළමයි තම තමන්ගෙ උපන්දිනේ දවසෙ පන්තියටම කේක් ගේනකොට මං මගෙ උපන්දිනේ දවසෙ හිස් අතින් ඉස්කෝලෙ යන්නෙ කිසිම දුකකින් නෙවෙයි. ඊට පස්සෙ එළඹෙන හැන්දෑව ගැන මතක්වෙලා හිත පිරිච්ච සන්තෝසයකින්.

එදාට මම ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට අහල පහල ගෙවල්වල කීපදෙනෙක් එක්ක අපේ අම්ම රාජකාරි පටන් අරගෙන, මුළු කුස්සියම පුසුඹයි.

හැන්දෑවෙ පහට විතර පටන් ගන්න කෑම පාර්සල් බැඳිල්ල තුන් හතරදෙනෙකුගෙ උදව්වෙන් හවස හය විතර වෙනකොට යාන්තං අහවරයි. ඊට පස්සෙ කුස්සියෙ පෝරණුවට උඩින් තියන කොන්ක්‍රීට් කෑල්ලෙන් බාල සෝදල වේලෙන්න තියාපු ප්ලාස්ටික් භාජන වලට ආයෙම අඩුපාඩු බෙදන්න කියල එළවළු, මාළු, පපඩම්, කට්ලට් මහ ගොඩක් පුරෝගන්නව. ඕං එතනින් කුස්සියෙ රාජකාරි අහවරයි.

ඊට පස්සෙ තාත්ත හීන් සැරේ පරණ වැගන් කාර් එකට පෙට්ටිවල අඩුක් කරාපු කෑම පාර්සල්, ප්ලාස්ටික් බකට් එහෙම පටවගන්නව. මමයි කියල මහ වැඩක් නොකලත් හැම එකකටම සම්මාදං වෙන්නෙ හරිම සන්තෝසෙන්.

හැන්දෑවෙ හය හමාරට විතර අපි ඔන්න ළමා නිවාසෙට යනව. අපි යනකොට පුංචි පුංචි කොළුපැටව් තාප්පෙ ගාව ඉඳලම පෝලිං ගැහිල ඉන්නව හරිම සන්තෝස මූණු වලින්. වාහනේ උන් ටිකව පහුහරන් ඉස්සරහටම යනකොට එක පෝලිමට දුවගෙන එනව. ඊට පස්සෙ වාහනන් බාන කෑම ඔක්කෝම එයාල කෑම කන ශාලාවට අරගෙන යන්නත් උදව් වෙනව.

ඊට පස්සෙ අපිත් එක්කම ඒ පොඩි උන් රොත්ත එනව බුදුන් වඳින්න. උන් මහා හයියෙන් ගාථා කියනව අපි කියනවටත් වඩා හයියෙන්. ඊලඟට විනාඩි දෙකක් භාවනා කරන්න ඕනෙ. විහාරගෙයි මල් මල් ටයිල් උඩ එරමිනිය ගොතාගෙන වාඩිවෙන පොඩි උන්ට ඒ විනාඩි දෙක කල්පයක් වගේ. දාන ශාලාවෙ ඉඳල හුලඟ එක්කං එන පුසුඹ උන්ගෙ නැහැයවල් කොණිති ගහනව ඇති. බැරිම උනාම එකෙක් දෙන්නෙක් හොරාට ඇහැක් විතරක් ඇරලත් බලනව.

ඊටපස්සෙ හැමෝම යනව දාන ශාලාවට. අපිටත් කලිං දුවල ගියපු කොලු පැටව් ටික අපි එතනට යනකොට පිඟන් කෝප්ප එහෙම අරගෙන වාඩිවෙලා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්නව. උන්ට හරිම සන්තෝසයි. හිනා කටවල් ගොඩයි.

කෑම කාල බඩ පිරිච්ච සන්තෝසෙට ඒ පුංචි එවුන් ඊටපස්සෙ අපිට අහං ඉන්න සින්දු කියනව. ඒක හරිම ලස්සන, සංවේදී මොහොතක්.

මුලින්ම පොඩි උන් ටික කෑම කාපු ලොකු මේස බිත්තිය අයිනෙ එක පිට එක ගොඩගහනව වාඩෙවෙලා උන්න බංකු එහෙම්මම තියෙන්න ඇරල. ඊට පස්සෙ වාඩිවෙන බංකු එකකට එකක් හේත්තුවෙන විදියට ලොකු රවුමක් හැදෙන විදියට තියල රවුමෙ ඇතුල් පැත්තට කකුල් දාල හැමෝම වාඩිවෙනව. අපිත් ඒ අය අතරෙන් වාඩි උනාම රවුම ගානට හිර වෙලා.

ඊට පස්සෙ සින්දු කියන්න පුළුවන් පොඩිඋන් ඒ රවුමෙ මැදට ගිහිල්ල සින්දු කියනව, නටන්න පුළුවන් කොලු පැටව් නටනව. හරිම අපූරුයි. ඒත් පපුව කඩාවැටෙන තරං දුකයි. උන් එකෙක්වත් අඬන්නෙ නෑ. ඒත් උන් අසරණයි. ඒ අසරණ කම හංගං සින්දු කියල, නටල අත්පුඩි හගනකොට උන් තරමට අසරණ නැති අපි කිසිම කෙනෙක්ට නාඬා ඉන්න බෑ.

මට අද වගේ මතකයි එක කොලු පැටියෙක් වචන පටලව පටලව මෙන්න මේ සින්දුව කිව්ව.

අම්මාවරුනේ අම්මාවරුනේ
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.

මං බලාගෙන අපේ අම්ම මූණ හංගාගෙන අඬනව. ඒ සින්දුව කිව්ව පොඩි එකා ඒ වෙනකොටත් හිනාවෙච්ච ගමන් මයි.

ටික ටික රෑ වෙනව. දැං පොඩි පැටට් ටිකට නිදිමතයි. එකා දෙන්නට ඈනුම් යනව. ඒ කියන්න අපිට ආයෙම ලබන අවුරුද්ද වෙනකං උන් ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ල.

අපි යන්න නැගිට්ටම උන් එක පොදියට වැටිල අම්මටයි තාත්තටයි දණ ගහල වඳිනව. ඒ හරියට තමන්ගෙම ගෙදරක අම්ම තාත්තගෙ උණුසුම විඳල නොතිබුණු උන්ට පැය කීපයකට හරි අම්ම තාත්ත උනාට පිං කියන්න වගේ.

එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.

ප.ලි : අද මගේ උපන්දිනේ නෙවෙයි, ඒවගේම උපන්දිනේට පෝස්ට් එකක් ලියන්නත් හිතෙන එකක් නෑ. [කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ]

%d bloggers like this: