මුකුත් නෑ…. මොනවද ඕයි එහෙනං අර මිරිකුවෙ ?

මචං.. උඹ මොකෝ බං ලඟකදි ඉඳල ප්‍රිෆෙක්ස්ට්ල දැක්කම හැංගෙන්නෙ, කොක්කක්වත් දාගත්තයි?

නෑ බං එහෙම මුකුත් නෑ…

නැතිවෙන්න බෑ බං. උඹ දැං බුද්ධිකය එනව දැකලත් ලයිබ්‍රරියට රිංගුවනෙ, මං බලාගෙන. ඌ වගේ පෙන්දෙක්ටත් බය වෙන්නෙ අහවල් දෙයක්ය උඹ කලේ ?

කියහං, කොක්කක් නං ආයෙ නෑ දෙමු ඌට උණ ගැනෙන්න.

නෑ නෑ එහෙම අවුලක් නෑ බං, එකපාරක් කිව්වම අහපන්කො.

හා හා කෑගහන්න එපා යකෝ මේක ලයිබ්‍රරිය. උඹට අවුලක් නැත්නං එච්චරයි.

ඔහොම කතා උනේ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ මාත් එක්ක ඒ.ලෙවල් කාලෙ එකටම වගේ උන්න රතු ජංගි ඒ.ජේ එක්ක. අර කිම්බ කතාවෙ උන්න සංකයත් ඔතන උන්න.

ඒ.ජේ කොච්චර නැහැයි කිව්වත් අපිට උගෙ මොකක්හරි වෙනසක් තේරිලා තිබුනෙ. වෙනද සිංහය වගේ ඉස්කෝලෙ පුරාම ඇවිදින එකා ටිකදවසක ඉඳල මීය වගේ. බුවාගෙ කෙල්ල උන්නෙ අපේ ඉස්කෝලෙට උඩහින් තියෙන නෝටි අක්ක උගන්නපු ඉස්කෝලෙ. හැමදාම කෙල්ල එනකං පාර අයිනෙ අපි දෙන්නවත් ඇදං කට්ට කාපු එකා ඉස්කෝලෙට ආපුගමන් පන්තියෙ මුල්ලට වෙලා ඉන්නව. අඩුම ගානෙ වෙන එකෙක්ගෙ බත් එකක් හොරාකන වෙලාවටවත් මූ නෙමෙයි එලියට එන්නෙ.

වෙනද වගේම ඒ.ජේයි මායි අපේ කම්පියුටර් පාඩම මගෑරල උඩ පිට්ටනියට යන්න හදනකොට අල්ලපු පන්තියෙ උන්නු සංකයත් සෙට් උනා. ඒ.ජේ නොදැන උන්නට මායි සංකයයි වේලපහම ප්ලෑන් කරගෙන හිටියෙ උගෙ අවුල මොකක්ද කියල හොයල බලන්න මේක වෙලාවක් කරගන්න. තුන්දෙනාම ඊ.එම්.කේ බිල්ඩිම පැත්තෙන් හොස්ටල් එක අයිනෙන් උඩපිට්ටනියෙ අපි හැමදාම වාඩිවෙන යෝධ මැයි ගහ යට තියෙන සිමෙන්ති බැම්මෙ වාඩි වුනා.

මචං ඒ.ජේ.. සංකය කතාව පටන්ගත්ත

මේ මේ උඹල මොකාටද එන්නෙ හදන්නෙ. තැරියොන්ගෙ අවුල නං කතා නොකලට කමක් නෑ [ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස්ලට කිව්වෙ තැරියො කියල]

ඔය ඔය.. උඹ කියන කලින් පනිනවනෙ බං. එහෙම රෙද්දක් හැන අහන්න නෙමෙයි බං.

එහනං?

උඹයි කෙල්ලෙයි මොකක්හරි අවුලක් දාගෙනද මේ දවස්වල?

මොකෝ එහෙම අහන්නෙ උඹල, ඒකි මොනවහරි කිව්වද උඹලට?

උඹට විකාරද, උඹ එදා අපිට ලෙඩේදැම්මට පස්සෙ ඉඳල උඹෙ කෙල්ල ඉන්න පැත්තවත් බලං බත් කන්නෙ නෑ. එහෙව් එකේ අපි යයිද කතාවට.

ලෙඩේ දැම්ම, කවුද යකෝ ලෙඩේ දැම්මෙ, තොපිල අංජනය බස් එකේදි ඒකිට හේත්තුව දානව දැකලත් මට ඇවිල්ල කිව්වෙ නෑ. ඒව බලු වැඩ නෙමෙයිද?

ඒ ඉතිං සිද්ධියෙ උගෙ වර්ශන් එකනෙ.  මෙන්න මේකයි ඇත්තටම එදා උනේ,

සංකයයි මායි බද්දෙගෙ කෙමෙස්ට්‍රි ක්ලාස් ඇරිල කොග්ගල කඩේ හන්දියෙන් ගාළු බස් එකකට නැග්ග. සෙනඟ කට කපල. බොහෝම අමාරුවෙන් කොන්දොස්තරගෙ කටේ බලේට අපි දෙන්න බස් එකේ ඉස්සරහට යනව. අපිට ඉස්සරහ හොඳ උසමහත කොල්ලෙක් බස් එකේ උඩ පොලුදෙකෙන්ම අල්ලගෙන අපිට පි‍ටුපාල බරස්කරගෙන ඉන්නව. එතනින් එහාට නෝ හෙල්ලුම්. අපිත් එතන නැවතිලා අමාරුවෙන් කෙල්ලො දෙන්නෙක් අස්සෙන් අත දාල සීට් එකක් අල්ලන් ඉන්නව.

මචං.. සංකය මගෙ කනට කොඳුරනව

මොකෝ…

හෙමීට ඔළුවදාල බලපන් ඔය ඔතන ඉන්න එකා මොකද කරන්නෙ කියල.

මාත් බොහෝම අමාරුවෙන් බෙල්ල සිග් සැග් කරල ඉස්සරහට දැම්ම..

අප්පටසිරි බුවා ඉස්සරහ ඉන්න කොට මොඩ්ල් කෙල්ලගෙ රෝදයක් ගාලවන්න හදනව. කෙල්ලට එතනින් අඩි දෙකක් එහාට ගියානං හරි පැත්ත හැරුනනං හරි සනීපෙට ඉන්න ඕනතරං ඉඩ. ඒත් ඒකි ඒකිට නෙමෙයි වගේ කොල්ලට පස්ස හරෝගෙන ඉන්නව. කෙල්ල දැකල පුරුදුයි වගේ.

බස් එක එකපාරටම බ්‍රේක් කලා.. කෙල්ල ඇඹරිලා ගියා.

අම්මටසිරි යකෝ මේ ඒ.ජේ හෙ පරම පිවිතුරු ප්‍රේමය නෙව කොහේද යන එකෙක්ට කියල රෝදයක් ගලවගන්න හදන්නෙ.

ඒ එක්කම වහේ ඒකි අපිව දැක්ක. ඒත් නොදැක්ක ගානට බස් එකේ ඉස්සරහට රිංගල ගිහිල්ල විද්‍යාලෝකෙ ගාවින් බැහැල ගියා.

ඕක අපි ඒ. ජේ ට කියන්න ගියේ නෑ. උගෙ කෙල්ලගැන ඔත්තු බලන්න අපි කවුද, අනික ඕව කියල පවුල් ප්‍රශ්ණ ඇතිවුනොත් අන්තිමට අපිටත් හොඳවැයින් අහගන්නයි වෙන්නෙ.

හැබැයි කෙල්ලෙගෙ හිතේ සැකේට ඒකි ඒ. ජේ ට විස්තරේ කියල. අපි දෙන්නත් දැක්ක. ඒත් අර කොල්ලගෙන් ඒකිව බේරගන්නෙ නැතුව බලාගෙන උන්න, බැරිම තැම ඒකි අතරමඟින් බැස්ස කියල.

ඔන්න ඕකට ඒ.ජේ දුම්මල වරම අරං අපු දෙන්නට පලු යන්න බැන්නෙ මීට මාසෙකට විතර උඩදි. ඒත් එදාත් බැනුං අහං උන්න මිසක් අපි නෙමෙයි කටක් හෙල්ලුවෙ. ඔය කෙල්ලන්ගෙ වැරදි කියන්න ගිහින් නරක මිනිස්සු වෙන්නෙ අපිම නෙ.

හරි හරි.. ඒක අමතක කරල දාහං. මීට පස්සෙ එහෙම දෙයක් දැක්කොත් අපි උඹට කියන්නම්කො.

අනේ පල යන්න…

ටාං ටාං ටාං ටාං……..

මචං කොම්පුටර් පීරියඩ් එක අහවරයි. යමල්ල පන්තියට දැං.

ආපු පාරෙන්ම යමං කියල ඒ.ජේ හැරුන.

ඔහෙන් කොහේද යන්නෙ බං. මෙන්න මෙහෙං යමං කියල අපි දෙන්න ඝාන්ඨාරෙ ගාවින් පහලට තියෙන පාර පැත්තට යනව.

මට බෑ ඔහෙන් යන්න, මෙහං යමල්ලකො?

ඇයි බොට මේ පාරෙන් යන්න බැරි ?

අතන තැරියො ඉන්නව පේන්නෙ නැද්ද බොලාට…

ඉතිං උන් හිටියට මොකෝ, වර යන්නෙ මෙහෙන් කියල අපි දෙන්න මුගෙ අත් දෙකෙනුයි බෙල්ලෙනුයි අල්ලහෙන ඇදගෙන යනව.

පොඩ්ඩක් ඉඳහං කියල සංකය නැවතුනා ප්‍රිෆෙක්ස්ට්ල ලඟ,

මචං බුද්ධික පොඩ්ඩක් වරෙන්කො කියල කතා කලා අපේ අල්ලපු පන්තියෙ එකාට.

මචං මොකෝ, උඹලගෙ මොකක්හරි අවුලක් තියනවද ඒ.ජේ එක්ක. ඌ උඹල ඉන්න පලාතකවත් ඉන්න බයයිනෙ.

ඇයි මූ උඹලට කිව්වෙ නැද්ද?

නෑ බං ඇහුවම මුකුත් නෑ කියනවනෙ, ඒ, ජේ රතුවෙලා දාඩියත් දාල හොඳටම.

මුකුත් නෑ කිව්ව, මුකුත් නැත්නං මූ අහවල් දෙයක්ද අර ස්ටේශන් රෝඩ් එකේ වැල් ගාලක් අස්සෙ දාගෙන කෙල්ලෙක්ගෙ මිරික මිරික උන්නෙ.

ඒ. ජේ මගේ අත එකපාරටම ගසල දාල ඈතට දුවල ගියා.

ඌට යන්න ඇරල අරූගෙන් තව විස්තර අහල බලද්දි තමයි සිද්ධිය තේරුනේ.

කොලේජ් ප්‍රයිස්ගිවින් එකට හෝල් එක ඩෙකරේට් කරන්න ඉරිද හැන්දෑවෙ ප්‍රිෆෙක්ට්ස්ල සෙට් වෙලා. ඔය ස්ටේශන් රෝඩ් එක පටන්ගන්නෙ හරිටම උන්ගෙ රූම් එක ඉස්සරහින් තියෙන තාප්පෙ මැදින් තියෙන පොඩි ගේට්‍ටුවෙන් . මොකක්හරි එකකට ජූනියර් එකෙක් ඔය තාප්පෙ ලඟට ගිහිල්ල ඌ දැකල මේ සීන් එක සීනියර්ස්ලට කියල, පස්සෙ උන් මුන් දෙන්නට හූ කියල එලවගෙන. හෙඩ් ප්‍රිෆෙක්ට් හොඳ එකා හන්ද සීන් එක පිටට ලීක් කරන්න එපා කියල එතන හිටපු එවුන්ට.

ප/ලි : අපි පන්තියට යනකොට මූ පොත් ටිකත් එක්කම ඉස්කෝලෙන් පැනල. ලැජ්ජාවටමද කොහේද පොරට දවස් හතරක් යනකං සහලෝල උණ. සෑහෙන කාලයක් ගියා අපි දෙන්නත් එක්ක ආපහු යාළු වෙන්න මූට. දැන් නං කොහේ ඉන්නවද දන්නෙ නැ.

ප/ප/ලි : මේ දවස් වල නහය ගාවට වැඩ. ඩ්‍රාෆ්ට් එකේ තියෙන පෝස්ට් එකක්වත් පබ්ලිෂ් කරගන්න වෙලාවක් නෑ. කමෙන්ට් එකකට රිප්ලයි කරනවත් පෝස්ට් කියවන්නවත් වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි. වැඩ ටිකක් අඩුවුනාම විගහට එන්නම් ඔයාල බලල යන්න.

Advertisements
%d bloggers like this: