දැං අවුරුදු දෙකයි – උන්න හැටියට මලා මදැයි චූටිමැණිකෙ.

හැතැප්ම දෙකකට වැඩිය දුර නැති ඉස්කෝල දෙකක අවුරුදු දහතුනක්ම ඉඳල, ඒ මදිවට බද්දෙගෙ, ටිල්නියගෙ, ඩකා ගෙ පන්තිවල නූලෙ වාඩිවෙලා ඉරට්ටෙ ලිය ලිය අවුරුදු දෙකක්ම කට්ට කාල, තවත් අවුරුදු දෙකක් ඇන්.ටී. ඇස් එකේ තාප්පෙ එහා පැත්තෙයි මෙහා පැත්තෙයි ඉඳල, මදි පාඩුවට තවත් අවුරුදු දෙකක් එක ලඟ තියෙන නෝනාවාට්‍ටුවෙයි වැලිකඩයිත් ඉඳල අන්තිමට පත්තර පි‍ටුවක් හන්ද නෙව අපි දෙන්න එක වහලක් යටට උනේ.

කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක චූටිමැණිකෙ නේද?

අම්මප එක අතකට ඒ කාලෙ හම්බ උනානං මෙච්චර දුරක් නේන්නත් තිබුන නේද? ඒ කාලෙ මොනව කියල තේරෙන වයසක් ද. අනික අර ඔහෙගෙයි මගෙයි ඕ-ලෙවල් කාලෙ ගත්තු අයි.ඩී පින්තූර දෙකේ හැටියට කීයටවත් ලඟින් තියන්න ඇහැක් දෙන්නෙක්ය.

ඊටත් ඉතිං වැරදිලාවත් මයෙ හිත ගිහිල්ල පස්සෙං ආවනං ඔයැයිගෙ ඉස්සර කොල්ල මට අම්බානක ගහල මදි පාඩුවට ගෙදර ගිහිල්ලත් කන්න ඔතල දෙයි නෙව. එහම හිතෙන කොටනං මගෙ පූරුවෙ පිනකට තමයි ඇහැ ගැහුනෙ නැත්තෙ. වැරදිලාවත් එහෙම උනානං බලන්න තිබුන ර‍ඟේ.

යකාගෙ හැටියටයි විමානෙ කිව්ව වගේ අපි දෙන්න තකට තක, මට ඩෝං යන තරමට ඔහේ කට පියං ඉන්න එක නං පූරුවෙ වාසනාවක්ම තමයි, නැත්නං අපි දෙන්න කා කොටාගෙන කොහෙං අහවර වෙයිද කියල දෙයියො තමයි දන්නෙ.

කට කෑවත් කියන්න තියනදේ කියන්න එපැයි. ඔහෙගෙ ගොඩ හොද්ද මේ අවුරුදු දෙකට ලුණු මිරිස්, ඇඹුල් එහෙම ගානට වැටිල පදං වෙලා ආපු හැටියට තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ. එදාට අපි දාමු පාටියක් හොඳේ.

තාම ඇවිල්ල තියෙන්නෙ යාන්තං අවුරුදු දෙකයි. තව කොච්චාර යන්න තියනවද කියල මතක් වෙනකොටත් සරුවාංගෙම හීතල වෙලා යනව සන්තෝසෙට.

ඔහෙට හිතාගන්න ඇහැක චූටි මැණිකෙ තව අවුරුදු තිස් පහක් හතලිහක් ගියාම අපි දෙන්න කොහොම ඉඳියිද කියල. මට නං හිතෙන්න අපේ කොළු පැටිය රට ගියාම අපි දෙන්න තනිවෙයි ය කියල. පැන්සොං ගියපු නර්ස් නෝන කෙනෙකුයි මැනේජර් මහත්තයෙකුයි ඉස්තෝප්පුව කෙලවරේ යකඩ බංකුවෙ වාඩිවෙලා ලැප්-ටොප් එකත් පැත්තකින් තියාගෙන ඉස්කයිප්පුවෙන් කොල්ලත් එක්ක දොඩන රූපයක් මයෙ හිතට ආව මේක ලියන වෙලාවෙ.

සමහර වෙලාවට අපෙ කොළුව අපිදෙන්නත් අරං යයි නේද? අපි ඌව බලාගත්තු විදියට ඌ අපිවත් බලාගනියි නේද ? කවුරු කාට කියන්න ඇහැක්ද ඕව, ඒත් ඉතිං කවුරු ආව ගියත් ඔහේ මාත් එක්ක නොවැ ඒ මදෑ.

ඒ වෙනකොට මයෙ තට්ටෙ පෑදිලා තියෙයි, දතුත් හැලිල තියෙයි, අතපයත් වලංගු නැතිවෙලා ඇසුත් නොපෙනී යයිද මංද, ඒත් මොනව වෙනස් උනත් අද වගේම එදාටත් මේ පීනස් ලෙඩේනං අඩුවක් නැතුව තියෙයි නේ. කරුමේ කරුමේ !

මොකෝ හිනාවෙන්නෙ, ඔහේටත් ඒ ආනිසංසෙම තමයි, මොකෝ වයසට යන්නෙ මං විතරෙයි. ඔහෙගෙත් දත් හැලිල හම ‍රැලි වැටිල මයෙ ගානටම එයි. ඊටත් වැඩි වෙයිද කියන්න බෑ. ඒක හන්ද දැන්ම ඉඳල එක එක කිරීං ජාති උලල පරිස්සං වෙන්ට හොඳා, එහෙම හැඩට උන්නොත් කාටෙයි ආඩම්බර. තට්ට නාකියෙක් ලමිස්සියෙක් බැඳල කියල මයෙ නාකි යාළුවොයි අහල පහල ඉන්න එවුනුයි ඉරිසියාවෙ පැලෙයි නේද එතකොට. උන්ට හොඳම වැඩේ. ඉරිසියාකාර හැත්ත.

ඒ මොනව උනත් තාමත් ඉස්සර වගේම බැරි උනත් ඉඳල හිටල ඔයි උකුලෙ තියං ඔළුව අතගාන එකනං අමතක වෙන එකක් නෑ නෙව. හැබැයි අතගාල අහවර වෙලා නාකි කෝලං කියල මයෙ තට්ටෙට ටොක්කක් අනිනව එහෙම නෙවෙයි හොඳේ….. නාකි උනත් මං ඔහේ එක්ක නැතුව වෙන කවුරු එක්ක කෝලං කරන්නෙයි චූටිමැණිකෙ.

Advertisements

මාර නැකතකට බත් කෑ පුතු පැටියා….

ගෙදර කුස්සිය පැත්තෙ බැල්කනියෙ ගෑවෙන නොගෑවෙන තරමට තාප්පෙ අයිනෙ හැදිල තියෙන අඹ ගහේ ගේ පැත්තට නැමිල තියෙන අත්තෙ කූවුවක් හදාපු නම දන්නෙ නැති කුරුළු ජෝඩුව අපි මේ ගෙදරට එනකොටත් බොහෝම කලබලයෙන් තමයි උන්නෙ. මුලින්ම අපි හිතුවෙ කාලයක් වහල තිබුන මේ උඩ තට්‍ටුවට අපි ආවට බයවෙලා කියල. බැල්කනියෙ කොට තාප්පෙ පලින් පල තිබුන කුරුළු වසුරු පැල්ලම් කිව්වෙකිව්වෙත් ඒ කුරුළු ජෝඩුව එතනට වෙලා හැන්දෑවෙ ඈතින් පේන අවිසාවේල්ල පාරට උඩහින් බහින ඉරේ හැඩ බල බල ඉන්න ඇති කියල.

ඒත් සතියක් විතර ගිහිල්ලත් ඒ දෙන්නගෙ කලබලේ අඩු උනේ නෑ.. කුරුල්ල කොයිවෙලාවකවත් එක තැනක ඉන්න නෑ. ඒ අත්තෙන් මේ අත්තට පැන පැන අඹ ගහේ දිරච්ච පොතු අස්සෙ ඉන්න වේයො අල්ලන එකමයි වැඩේ. ඊට දවස් දෙක තුනකට පස්සෙ උනන්දුවෙන් බලනකොටයි දැක්කෙ ඉඳල හිටල රවුම් කූඩුවෙ පුංචි දොරෙන් පුංචි කුරුළු පැටව් දෙන්නෙක් එබිකම් කරනව.

කුරුලු තාත්තා අච්චර කලබලෙන් අත්තෙන් අත්තට පැන පැන වේයො ඇල්ලුවෙ ඇයි කියල ඒ වෙලාවෙ තමයි මට තේරුනේ.

දැං අපේ පැටියටත් කෑම කවන්න වෙලාවක් බලවගත්තොත් හොඳයි නේද ?

මෙච්චර වෙලා මටත් හොරෙන් කුරුල්ලො බල බල උන්න මගෙ පිටිපස්සෙන් හිටපු චූටිමැණිකෙ ඇහුවා…

හ්ම්….

අනේ.. ඉතිං ඕකට නැකතක්ම ඕනෙයි, ඊටත් අපි පොඩි එකාට බත් තලපෙ කවන්නෙ, අනික ඊයෙ දවාලෙ මම බත් කනකොට සුදු බත් ඇට හතරක් පහක් කැව්වෙ..

ඒ ඩිංග මම හිතුව මිසක් කිව්වෙ නෑ. කිව්වනං ඕං වැහි වලාවක් පාත්වෙන්න හොඳටෝම ඉඩ තිබුන එතනට.

දැං ඉතිං නැකැත් හදවන්නෙ කොහොමෙයි..

අපේ අම්මට බොහෝම විස්වාසවන්ත කේන්දර බලන ගුරුන්නාන්සෙ කෙනක් ඉන්නව උනත් දැං කාලෙක ඉඳල උන්දැට කියල මට නැකැත් හදවන එක නවත්තල දාල ඉන්නෙ මගෙ මොකක්හරි අලුගුත්තේරු කතාවකට. ඉතිං එහෙව් එකේ ආයෙ ඕක අම්මට කියන්න බෑ නෙව.

දැං මොකද කරන්නේ… ඒ…..

ඔහොම කල්පනා කරකර අමාරුවෙ වැටිල ඉන්නකොට අපේ කේන්දර ගුරුන්නාන්සෙ තමයි නෑ බැ නොකියා ඒ උදව්ව කරල දුන්නේ.

ආයිත් මට දෙපාරක් මතක් කරන්න උනේ නෑ හැරෙන තැපෑලෙන් උත්තර ලැබුනා.

ඕං ඒ සුභ නැකතට මගෙයි චූටිමැණිකෙගෙයි පුතු පැටියා බත් කාපු පිංතූර ටිකක්.

ඕං මගෙ හිත ඉස්සෙල්ලම ගියේ පැන්සලට

ඕං මගෙ හිතයි අතයි ඉස්සෙල්ලම ගියේ පැන්සලට.

දෙයියන්ගෙ මල්ලිලු නෙ මේ.

ආච්චි අම්මගෙ කිරිබත් නේද මේ.....

සීයගෙන් තමයි මුල්ම කිරිබත් කට.

අම්මයි තාත්තයි සීයයි ආච්ච්යි මායි

නැන්දයි සීයයි ආච්චියි මායි.

ප/ලි :

මං අද තමයි ඉස් ඉස්සෙල්ලම තාත්තගෙ බ්ලොග් එක කියවන මාමල නැන්දල සීයල ආච්චිල බලන්න ආවෙ.

පේනවනෙ, අච්චර රහ කෑම තියෙද්දි මං මුලින්ම අතට ගත්තෙ පැන්සලක් !

කවදහරි මාත් තාත්ත වගේ බ්ලොග් එකක් ලියනකොට මගෙ අම්මයි තාත්තයි මට කොච්චර ආදරේද කියල ලියල තියන්නම්. එදාට නැන්දල මාමල හැමෝම එන්න ඕන කියවල යන්න.

මීට,
අම්මගෙයි තාත්තගෙයි පුතු පැටියා [ලීනු]

ඉබාගාතේ ඇවිද අවසානයේ පාර සොයාගතිමි.


දෙදහස් එක මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. ඒ මා මාගේ වසර දහතුනක පාසැල් අධ්‍යාපනයෙන් සමුගත් වසරය. අ.පො.ස.උ.පෙ මට වැරදුණි. සාමාන්‍ය පෙළ මැද හරියෙන් ගොඩගිය මට ඉන් අනතුරුව කුමක් කරම්දැයි අවබෝධයක් නොතිබිණි. පහල පන්ති වලදී කිසිවෙකු මා ලොකු වී කුමක් කරන්නේදැයි ඇසූකල දොස්තරකෙනෙක්, ඉන්ජිනේරුවෙක් වෙනවා යැයි කටපාඩම් කල ගිරවෙකු මෙන් කී කතා නැවතත් ආවර්ජනය විය. දොස්තරෙක් වීමට මාගේ කිසිම අකමැත්තක් නොතිබූ මුත් බයෝ සයන්ස් කරනාවුන්ට නොසෑහෙන්න පාඩම් කරන්නට ඇතිවග අසා දොස්තර සිහිනය අළුයම ලූ කෙළ පිඬක් මෙන් බැහැර කලෙමි. එයින් මතු මා අත ඉතිරිවූ ඉන්ජිනේරු කජ්ජෙන් දෑවුරුද්දක්ම වලකජු ගැසුවෙමි. කරුමයක මහත. දිනන්නට තරං අවැසි කජු වලට දමාගත නොහැකිවූ මා කජ්ජ ගොඩ තිබෙද්දී වලට වැ‍ටුනි. එහෙත් ඉන් මට රිදුනේ නැත, ඇතැම් විට දෑවුරුදු ප්‍රයත්නය මාගේ සංවේදනා මොට කර ලන්නට ඇත.

එවකට මට කවි ලිවීමට අවැසි වී තිබිණි, නිසඳැස් ලිවීමට අවැසි වී තිබිණි, චිත්‍ර අඳින්නට බැරිමුත් නරඹන්නට ආසාවක් තිබිනි, කතා ලියන්නට ආසාවක් තිබිණි, නාට්‍ය නරඹන්න ආසාවක් තිබුණි, ඔහේ ඇවිදින්නට ආසාවක් තිබුණි. ඒ සියල්ල කැලිපරයට, ස්ලිංකියට, දෛශිකයනට, බැරෝමීටරයට ආදේශ කරන්නට මා නොසෑහෙන උත්සාහ කලෙමි. ඊට දැරූ ප්‍රයත්නයන් සියල්ලම ව්‍යාර්ථ වී ගියේ සියළුම ආසාවන් මොටකරමිනි. ඉන් පසු මට හැඟීම් දැනීම් යනු ආගන්තුක දේවල් විය. ඔහේ උපන්නාට වැනීමි.

කන්නට බොන්නට කිසිම ආසාවක් නොතිබිණි, උයා මේසෙට ඇරිපසු ගොස් කමි, නැවතත් ගුහාවට රිංගාගමි. නැවතත් ඊලඟ වේල සඳහා හෝ වැසිකිළියට යාමට හෝ පුස්තකාලෙන් ගෙනා පොත් දෙක කියවා අහවර වූ විට තවත් දෙකක් ගෙන ඒමට ඉන් එලියට එමි. මිතුරන් සියල්ලන්ගෙන්ම ඈත් වීමි. උන්ගේ සමාගමය මට නොරිස්සන්නක්ම විය. උන් මුනගැසුනවිට සී-බාත් යන්න අඬගසයි, රෑන්පාට් ගොස් බොන්නට අඬගසයි එහෙමත් නැත්නං කාගේ හෝ ලව් එකකට උදව් කරන්නට යන්නට අඬගසයි. ඒ කිසිවකට මගේ ආසාවක් නොතිබිණි, මට අද මෙන් එදාද බොන්නට බැරිය. ටික කලෙකින් ඔවුන්ගේ ඉල්ලීම් වලට මාගේ ප්‍රතිචාර නොලැබෙනාවග තේරුම්ගත් පසු ඔවුහු මා හැරගියහ. ඉන්පසු මා වටා ඇතිවූ ශූන්‍යතාවයට, නිහඬ බවට, ඇතිවූ හුදෙකලාවට මා ඉමහත් ප්‍රියතාවටක් දැක්වීමි.

එහෙත් ඉන් කලෙකට පසු තවදුරටත් නිවස මට ප්‍රිය තැනක් නොවීය. මා ඉන් එළියට ආමි, මා නිවසටම වී ගතකල කාලය තුල මට බොහෝ දෑ අහිමි වී ඇත. මිතුරන් සී සීකඩ ගොසින්ය. මාගේ ඇස සොරාගත් යෙහෙළියන් නව මිතුරන් සොයාගොස් උන් හා අත්වැල් පටලාගෙන මල් පාරවල් වල ඇවිදී. බස් නැවතුමේ වල බැහැපු උන් වීසිවී අළුත් මූණු පැලපදියම් වී ඇත. මා දැන උන් පරිසරයේම මා අගන්තුකයෙක් වී ඇත. හුදෙකලා වීම ම අරමුණ වූ මට එය ආශීර්වාදයක් ම මිස දුකක් නොවීය.

හුදෙකලාවීම ප්‍රමාණවත් වූවද එයද එපා වෙන කලක් එනබව මට වැටහිනි. එහෙයින් මා කුමක් හෝ කල යුතුය. එතැන් සිට, මා ගෙදර සිටිනා විට කිහිප වරක් ස්ප්‍රේ කෑන් වලින් පේන්ට් කල ඊස්ටන් ස්පෝර්ට්ස් බයිසිකලය මකුළු දැල් කඩා බ්‍රේක් පළු දමා, අළුත් බල්ලන් දමා මඩුවෙන් එලියට ගතිමි. මට යාමට කියා තැනක් නැත. එහත් මම යමි. ඔහේ පාරවල් දිගේ බයිසිකලය පැදගෙන යමි. මහ පාරවල් වලට වඩා වතු මැදින්, ඇළවල් අයිනෙන්, සෙනඟ නොමැති පාළු පාරවල් වල බයිසිකල් පැදීමෙන් මා සතු‍ටු වීමි. ඇතැම් විටක ඔහේ පැදි පාරවල් දන්නා කියන හන්දියකින් කෙළවර විය, ඇතැම් විටෙක දන්නා කියන මහපාරකට වැටිනි. ඒ සෑම විටෙකම නව රටක් සොයා ගැනීමේ කොලොම්බස් ප්‍රීතිය මම වින්දෙමි. එම ශුද්ධවූ ප්‍රීතිය අදටද අතීතාවර්ජයනයෙන් මෙම ලිපිය ලියනා මට දැනේ. දැනුදු ඉබාගාතේ යන්නට අසාවක් දැනේ. එහෙත් දැන් වගකීම් වලින් මා අත පය බැඳ දමා අවසානය.

ඇතැම් විටෙක ගාළු කො‍ටුව දිහාවට බයිසිකලයේ රෝද කැරකේ. ඒ හැම විටෙකම මා කො‍ටුවට ඇතුළු වූයේ මූද අයින දිගේ වැටී ඇති පාර දිගේ ගොස් පරණ කො‍ටු දොරකඩිනි. එය නව දොරකඩට වඩා සෑම විටම අඳුරෙන් වැසීගත්, දිය සෙවෙල බැඳුනු බිත්ති වලින් යුක්ත වූවකි. නව දොරකඩ මෙන් කාෂ්ඨක නොවූවකි. එහි තිබූ විසල් ඇණ, අසව්, සොයිබ ඇල්ලූ කළුපාට ඝනකම් ලී දොර සෑම විටම මා ගුප්ත ලොවකට ඇතුළුවන්නේය යන හැඟීම ඇතිකරයි. ඉන් ඔබ්බෙහි ඇත්තේ මායා රාජධාණියක්ය. එතැන් සිට රාක්ෂයන්, ඔළු තුනේ මකරුන් බලාපොරොත්තුවෙන් ඉදිරියට යමි. ඊලඟ මොහොතේ මා ඉදිරියෙන් ඇදෙන වාහනක දුම අස්සෙන් පෙන්නේ උසාවිය ය. මායා කාරයන් නැතත්, මකරුන් නැතත් මම දිගටම බයිසිකලේ පදිමි ප්‍රදීපාගාර වීදිය දිගේ කෙළවරටම.

බයිසිකලය තාප්පෙට හේත්තු කර ලොක් එකත් දමා  නඟිමි කො‍ටුතාප්පෙ පඩිපෙල ලයිට් හවුස් එක ලඟට යන්නට. කෙළවරටම, ප්‍රදීපාගාරය යටටම පැමිණි පසු මුහුදට මූණලා තැනූ කොන්ක්‍රීට් බංකු ලෑලි දෙකක් මම දකිමි. ඒවා බංකුම නොවූවත් වාඩිවී සිටීමට ඉන් කිසිදු බාදාවක් නැත. අඩි විස්සක් විතර පහලින් සී බාත් එක පෙනේ. ඈතින් ඉර බැහැගෙන යයි. තවත් පැය බාගයකින් ඉර දාහය නිවාගන්න වතුරට බහිනු ඇත. ගිලෙන ඉරට මූදෙ වතුරෙ රත්වෙයි කියල බයෙන් මෙන් මූදෙ නාපු අය එකා දෙන්නා ගොඩට ඇදෙනු ඇත. නමුත් මට හිතෙනා ලෙසට එයම තමයි මූදට බැසීමට යෝග්‍යම කාලය. මටත් වතුරට පැනීමය සිතක් පහලවූවත් එතනින් එහාට එම සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැත.

ඉන් අනතුරුව මට දුම් වැටියක් අවැසි විය. මින් පෙර කිසිදාක මා දුම් වැටියක් උරා නොමැත. එනෙමුදු පෙර ඇබ්බැහි වී සිටියෙකුට මෙන් දැඩි අවශ්‍යතාවයක් ඇතිවිය. වටපිට කඩයක් නැතිහෙයින් ඊට මඳක් ඈතට වන්නට ඇති කඩය වෙත බයිසිකල් පදිමි. ගෝල්ඩ් ලීෆ් හතරක් සහ ගිණිපෙට්ටියක් මිළදීගෙන නැවතත් කො‍ටු බැමට නඟිමි. මූදෙන් හමනා දැඩි සුලඟට එරෙහිව ගිණිකූරු දැල්වීම පහසු කාරියක් නොවේ. එහෙත් මා සුලඟට පැරදීමට සූදානම් නැත. සුලඟට පි‍ටුපා වාඩිවී නැවතත් ගිණිකූරු හතරක් එකට තබා පෙට්ටියේ උලා සිගරට්‍ටුව දල්වාගනිමි. මට තනියම සිනහ නැ‍ඟේ. මා සුලඟ පරාද කර ඇත. නැවතත් ජයග්‍රාහී ලෙස මූද පැත්තට හැරී සිත් සේ දුම් වැටිය උරමි. තද තැඹිලි පාටින් ලුණු වතුරේ ගිලෙනා ඉර එලියේ අන්තිම ඩිංග මහේ මූණ තැඹිලි පහැ කරන්නට ඇත. මට ඈතක සිට මා දිහා බලා හිඳින්නට සිතේ.

සුළ‍ඟේ සැරට පළමු දුම් වැටිය පිළිස්සී අහවර වෙන්නට ලඟය. ඉන් දෙවැන්න දල්වා පළමු කොටය මූදට වීසිකලෙමි. එහෙත් සැඩ සුලඟ එය උඩ දමා මා හිසට ඉහලින් පි‍ටුපසට වීසිකර දැම්මේය. එකක් ඉවර වෙන්න එකක් ලෙස හතරම අහවර විය. මට කිසිවක් නොදැනුනි. පොඩි එකා කාලයේ ආච්චිලාගේ ගෙදරදී ලිපේ දැමූ පුළුං බඩයක් තිබූ කෝ‍ටුවක් බ්වූ දවසේ අඩුම තරමේ කට හාරන රහක් සමඟ ගුරුලේත්තුව කටට හලාගන්නකන් නොනැවතුනු කැස්සක්වත් ඇතිවිය.

ඉන් කලෙකට පසු මාගේ ඉබාගාතේ ඇවිදීම ඉබේම අඩුවී ගියේය, ඒ මට ආයෙමත් යන්නට පාරක් හමු වූ බැවිනි. ඒ පාරේ අනන්තවත් බොරු වලවල් තිබුනි. නමුත් මා දිගටම නොනැවතී ඉදිරියට ගියෙමි, ඇතැම් විටෙක මා ඇවිද තිබුනේ කළල් මඩ ගොහොරුවක් වෙතටය. ඇතැම් විටෙක ප්‍රපාතයක් දෙසටය. එනමුත් ඒ සෑම විටකම ආපසු හැරී විත් නිවැරදි පාරට වැටෙන්නට තරම් තරම් හයියක් මාගෙ පා සතුවිය. මා මුලින්ම නිවැරදි ම‍ඟේ ගමන් ගත්තේනම් බොහෝ දුරක් ගොසිනි. එහෙත් කණගා‍ටුවක්, පසුතැවීමක් මාහට නොමැත. තවත් බොහෝ දුරක් මාහට යාමට ඇතිවග දනිමි. ඒ සඳහා වාරු දෙන්නට ආදරය පිරුණු දෑස් දල්වා චූටිමැණිකේ පුතුපැටියා සමඟ මගේ පසෙකින් ඉඳී.

ඉතින් මා ඔවුන් සමඟ නවම් මාවතේ ඇවිදිමි !

ඝනකම් ලී

බඳින්න කලිං දා…..

එදා තමයි දවස !  පැයෙන් පැයට චූ බර හැදෙනව. කොහේ තියෙන ඒවද මංද එච්චර.  වතුර බිව්වෙත් වෙනද බොන ගානම තමයි. ගෙදර කට්ටියටනං එච්චර සිහියක් නෑ ඕක දකින්න තරං සේරමල ඒ වෙලාවෙ ගජරාමෙට වැඩ. වැරදිලාවත් කවුරුහරි දැක්කනං එහෙම කල්ප කාලාන්තරේකට හරියන්න කතා අහගන්න තිබුන. මොකෝ කව්ද හිතන්නෙ පැයෙන් පැයට ඔය අමාරුව හැදෙනො කියල, අහල තියෙන්නෙ බය උනාම අනිත් අමාරුව හැදෙනව කියල නෙ.

කොහොමින් කොහොම හරි එදා හැන්දෑ වෙනකොට ඔය අමාරුව අඩුවෙලා ගියාට, යටිබඩ දිහාවෙන් ඔන්න එනව අමුතු හිරියකුත් එක්ක දැවිල්ලක්. ඕක මට සීගිරි නැගල පහල බලද්දිත් ඇවිල්ල තියෙනව. ඉස්සර පොඩි කාලෙ අඹ ගහේ මුදුනෙ අත්තටම නැග්ගමත් එනව. හැබැයි වැඩි අමාරුවක් නං නෑ. පොඩි ජොලි ගතියකුත් දැනෙනව. රෑ වෙන්න රෑ වෙන්න වැඩියි වගේ. ඒත් ඉතිං මේ හෙට උදේ පාන්දර බඳින්න්න ඉන්න කොල්ලෙක්ට කාටවත් කියන්න පුළුවන් දෙයක් යැ මේ වෙන්නෙ.

ඉවසං ඉඳල කොහොම හරි අමාරුවෙන් නිදාගන්න ඇඳට ගියා. මොන……. නින්ද එන්නෙ නෑ…. නින්ද පලකො. හෙට නැත්නං පෝරුවෙ කිරන්න තමයි වෙන්නෙ. ඉතිං කිව්වම අහල නින්ද පල……

ග්ර්ර්ර්.. zzzzzzz……. ග්ර්ර්ර්ර්……… zzzzzzzz…..

හ්ම්ම්ම්… මේ මොකක්ද මගේ ඔළුව උඩින් පා වෙන්නෙ ?

කළු පාටට ගුලියක් වගේ…….. යකෙක් ද?

ඔව් ඔව් යකෙක් තමයි, මේ තියෙන්නෙ මගෙ ඔළුවට උඩින් උගෙ කළු පාට කකුල් දෙක, ඊට උඩින් තඩි බඩ, දිලිහෙන බුරි තුනක්ම තියෙනෙව මූට. ඊටත් උඩින් දිහම දිග අත් දෙක. ඔළුවක් නං පේන්න නෑ. මූ ඔළුව නැති යකෙක් නේද?……. මහ සෝනත් අර වලස් ඔළුව හයිකරන්න කලිං මෙහෙම තමයි ඉන්න ඇත්තෙ.

ඕයි නැගිටහං……

අප්පටසිරි යකා නේද මේ කතාකරන්නෙ.

නැගිටහං බං. වගේ වගක් නැතුව දපල ඉන්න හැටි, උඹද මං ද අද බඳින්නෙ..?

යකා දන්නෙ කොහොමෙයි මං බඳින්න ඉන්න වග. අපේ තාත්ත වැරදිලා මූටත් මගුල් කිව්වවද්ද?

හැබෑමයි, මට ඈහුන මඟුල් කියන්න ලයිස්තුව හදනකොට තාත්ත, ඔය යක්කුන්ට නොකිය පස්සෙ මූණවත් බලන්නෙ කොහොමෙයි කියල අම්මත් එක්ක කතා වෙනව. ෂුවර් එකටම මේ තාත්ත ඉන්වයිට් කරපු යකෙක්….

උඹෙ සරම ඉනේ නේද? මං ලයිට් එක දාන්න හදන්නෙ..

මං අහල තියෙන යක්කු කරන්නෙ අත දිගෑරල පිටට ගහනව, කෑ ගහං ඇඟට පනිනව, බො‍ටුව කඩං රීරි බොනව කියල විතරයි. ඒත් මේ යකා අහන දේවල් වලිං නං හිතාගන්න ඇහැකි මූ මොන යකෙක්ද කියල. මූ නං වල් යකෙක් වගේ. දැං මට වෙන්න යන දේ හිතාගන්න ඇහැකි… බුදු අම්මෝ…… !!!!

මං බිත්තිය පැත්තට හැරුන බයටම. එක පාරටම ලයිට් එක දැම්ම. වහං ඉන්න ඇහිපිය රතුපාට උනා එලියට.

නැගිටහං බං, දැං පාන්දර පහයි කියල හීතල අතකින් යකා මගෙ උරේ අල්ලල පැත්ත පෙරලුව…

මං ඒත් ඇස් පියාගෙන..

ඇරපං යකෝ ඇහැ..

අඩේ මෙන්න යකාත් මට යකා කියනව. මට කේන්ති ගිහිල්ලත් නෙමෙයිනෙ ඉන්නෙ. ඉතිං මං යකා වෙන්නෙ කොහොමෙයි.

කෝකටත් කියල එක ඇහැක් විතරක් ඇරල බැළුව.

අප්පටසිරි අනිත් ඇහැත් ඇරල බැලින්නං මේ මගෙ එහා පැත්තෙ ඇඳේ බුදියගත්තු බෙස්ට්මන් නෙව.

එතකොට කෝ අර යකා….

මං උඩ බැලුව ඇඳේ හාන්සි වෙලා ඉඳංම. යකෙක් නං නෑ,

මගෙ මගුල් කෝට් එකනං කලිසමත් එක්ක එල්ලී එල්ලී ඉන්නව ඉහට උඩිං සිවිලිමේ අමුනපු නෙට් කොක්කෙ.

maha soenath ara walas oLuwa hayikaranna kalix mehema thamayi inna aeththe

චූටිමැණිකෙ නෑ ගම් ගොහින් [අද පුතුපැටියගෙයි මගෙයි දවස]

ඔහෑ ඔහෑ ඌ…… හික් කෑං ඈ…… ඔහෑ ඔහෑ…

හ්ම්…. මම අමාරුවෙන් ඇහැක් ඇරල ඇඳට වම්පැත්තෙ බිත්තියෙ එල්ලපු ඔරලෝසුව බැළුව.

වෙලාව උදේ පහයි

චූටි මැණිකෙ දෙහිවලින් ගාල්ල ඉන්ටර්සිටි බස් එකකට දාල ඇවිල්ල පැය බාගෙකට වැඩිය බුදියගන්න වෙලා නෑ. ඉහ ඉද්දර තියෙන වොට් පහේ බල්බ් එකේ ලාමක කහ පාට එළිය හන්ද එකපාරටම අනිත් ඇහැත් අරින්න අමාරුවක් උනේ නෑ.

ඇයි චූටි පැටියො.. බඩගිනිද මගෙ මැණිකට ආ…

වෙනද මේ වෙලාවට චූටිමැණිකෙගෙන් පුතු පැටිය කුක්කු බොනව. ඒත් අද හදිස්සියෙම ගමේ යන්න උන හන්ද අන්තිමටම කිරි පෙව්වෙ උදේ හතරට විතර. පොඩ්ඩට වැඩිපුර බඩගිණි වෙනවනෙ එලිවෙන ජාමෙට.

ඉන්න මගෙ පැටියො, අම්ම කුක්කු තියල ගියේ.

එහෙම කියල ඇඳ පැත්තක තියාපු ස්ටූල් එක උඩ වතුර භාජනේක තියල තිබුන බෝතලෙන් ෆීඩින් කප් එකට කිරි වක්කරගත්ත. කලබලේ වැඩිකමට සරමෙත් හැළුන ඩිංගිත්තක්. අපරාදෙ.

ඔහෑ ඔහෑ…………  ආයෙමත් පැටිය අඬනව.

හා දැන් හරි වස්තුවෙ. එන්න අපි කුක්කු බොමු….

මම එහෙම්මම ඇ‍ඳෙන් බහින්නෙ නැතුව පැටිය ඉන්න පැත්තට ඇදුන. කලබලේ වැඩිකමට පෙරවන රෙද්දෙ පැටලිලා සරමෙ ගැටෙත් බුරුල් උනා.

බොන්න පැටියො. හා.. මම හැන්දෙන් පොඩ්ඩ පොඩ්ඩ පොවනව. පුතුපැටිය සූප්පුවෙන් කිරි බොන්න හරිම අකමැතියි. සමහර විට සූප්පුවෙන් කිරි එනව වේගෙ මදි ඇති. එහෙමයි කියල සූප්පුවෙ සිදුර ලොකු කරන්න හොඳ නෑ කියල අම්ම කිව්ව. එහෙම උනොත් කිරි නිකන්ම ගලාගන එන හන්ද චූටිමැණිකෙගෙන් කිරි උරන එකක් නෑලු.

එක විදියකට ඉන්නෙ නෑ. අත් දෙකයි කකුල් දෙකයි හයියෙන් ගහනව හරියට වයින් කරල වගේ.

ඔහොම කලොත් නං කිරි බොන්න වෙනෙ නෑ පැටියො. කෝ ඉතිං මට පොවන්න දෙනෙ නෑනෙ ඔයා.

හී.. ආ. ර්ර්ර්…….

ලඟකදි ඉඳල අපි කතාකරනකොට පුතුපැටියත් අපිත් එක්ක කතා කරනව එයාගෙම වචන වලින්. බලාගෙන ඉන්න ආසයි !

කොහොම හරි විනාඩි පහලවක් විතර පොඩ්ඩත් එක්ක හරඹ කරල කිරි අවුන්ස දෙකකට කිට්‍ටු වෙන්න පොවාගත්ත, තවත් අවුන්ස බාගයක් විතර පැටියගෙ ඇඟ පුරාමයි මගෙ සරමෙයි, ඇඳ රෙද්දෙයි.

දැන් ඉතිං බඩ පිරුනනෙ. ආයෙමත් වටයක් නිදාගන්න වෙලාව හරි. තවම ඉතිං කුක්කු බොනවයි නිදාගන්නවයි තමයි දවසෙ වැඩි හරියක්ම.

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
නුඹෙ අම්මා ඇතින්නියා……
ගලෙන් ගලට පනින්නියා…….

ඔහෑ ඔහෑ……. ඕ……….

මොන, නිදාගන්න ගියාම එක විකාරයයි. මගෙ බඩට චූටි පතුල් දෙක ගහල දුන්නක් වගේ නැමිල පිටිපස්සට පනිනව. ඒක හන්දාම මම පුතුපැටිය නිදිකරවන්නෙම ඇඳ උඩට වෙල කකුල් දෙක උඩ කොට්ටයක් තියල.

හා හා.. මගෙ පැටිය දොයියනකෝ….

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
හ්ම්….. හ්ම්…….

මට කවි මතක් වෙන්නෙම නෑ. කොහොම හරි තවත් විනාඩි විස්සක්විතර පෙරළි කරල පැටිය නිදි උකුලෙම. ඇ‍ඳෙන් තියන්න ඕන වැඩිය ගැස්සෙන්නෙ නැතුව. පොඩ්ඩක් හරි වැඩිපුර ගැස්සුනොත් ආපහු ඇහැරිලා අඬනව.

යාන්තං හෙල්ලෙන්නෙ නැතුව තිව්ව. ඊට පස්සෙ වටේට කොට්ට හයක් තියල නෙට් එකෙන් වැහුව.

හම්මෝ නිවන් ගියා වගේ…….. !

ආයෙම නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුව. අම්මෝ වෙලාව හතයි. පැය දෙකක්ම ගිහිල්ල දන්නෙම නැතුව.

දැං ඉතිං ඊලඟ ඩියුටිය.. පොඩ්ඩාගේ චූ රෙදි සේදීම.

ගත්ත ඇඳ පාමුල තිබ්බ රෙදි කූඩෙ අත් දෙකෙන්ම උස්සල. අම්මේ මේකෙ බර. බර නැතුව තියෙයියැ. කලින් දවසෙ හැන්දෑවෙ ඉඳල තෙමපු රෙදිනේ. නැප්කින්, චූටි කලිසම්, කොට් ශීට්, බෙඩ් ශීට්, කොට්ට උර මහ ගොඩයි. පුතුපැටියටත් ඉතිං තෙමන්න ගියාම දිගක් පළලක් නෑ. පළාතම වනසනවනෙ.

ආයෙ ඉතිං මේ රෙදි ටැප් වතුරෙන් හෝදන්නය කියලය. මාසෙ අන්තිමට එන බිල දැක්කම ලේ කෝප වෙනවනෙ. යුනිට් විස්සට මෙහායින් බේරගත්තොත් ශේප්. වැරදිලාවත් විස්ස පැන්නොත් හෙන බිලක් එනව. ඒක ගෙවන්නනං ඉතිං සතියක් වත් ලෙල්ලටම කොස්ට් කටින් කරන්න වෙනව. ඉතිං පර්ස් එක ගැන හිතල අදිනව අඩි විසිපහක් විතර ගැඹුර ලි‍ඳෙන් වතුර. බැරිම උනොත් ඇඟටත් හොඳයිනේ කියල හිතල සැනසෙනව.  එහෙම හිත හදාගෙන කොනක ඉඳන් රෙදිටික හෝදල ගෙදර පිටිපස්සෙ වැලේ ක්ලිප් ගහල එල්ලනව. බැරි හරියක් ඉස්සරහ වැලෙත් එල්ලනව. එතනට අව්ව තදටම වැටෙන නිසා පැය තුනකින් විතර කරවෙන්න වේලිලා.

ඔය ටික කරල ඉවර වෙනකොට ඉසවගන්න බැරි බඩගින්නක් එනව. ඒත් එක්කම මතක් උනා උදේ තේ එක තවම බෝතලේ කියල. කුස්සියට ගිහින් බැලින්නං චූටිමැණිකෙට උණුවතුර බෝතලේ මූඩිය තදකරන්න අමතක වෙලා තේ එක නිවිල ඇල්වතුර ගානටම.

ඔහෑ ඔහෑ.. ඔහෑ……….

අන්න ආයෙමත් පුතුපැටිය ඇහැරිලා. තාත්ත එනවෝ…… නාඬ ඉන්න මගෙ පුතා…..

තේ බොතලේ සින්ක් එකට හලල බෝතලෙත් හෝදල ආයෙමත් දුවනව කාමරේට. මෙන්න කොල්ල නැඟිටල නෙට් එකෙනුත් බාගයක් විතර ඔළුවත් එක්ක ඇඟ එලියට දාගෙන ඇඬිල්ලත් නවත්තල වටපිට බල බල ඉන්නව.

කවුද මේ චන්ඩියා… ඒ…. කෝ බලන්න චන්ඩියා.. කියල මම ඔළුව වන වන නටාගෙන ඇඳ ගාවට යනව.

ඕ….. ආ….. හී….. පුතුපැටියට මාව දැකල සන්තෝසයි.

මගෙ මැණික ඔහොමම ඉන්න, තාත්ත කෑම කාල එනකං.. එහම කියල වටේ විසිරිලා තිබුන කොට්ට බලකො‍ටුව ආපහු පිලිවෙලට හදල තවත් ‍රැට්ල්ස් දෙක තුනකුත් ලඟින් තියල ටක්ගාල දුවල ගියා කෑම කන්න. ආයෙ මගේ කෑම හරිම ඉක්මන්නෙ. පාන් පෙති පහයි පරිප්පුයි පොල්සම්බෝලෙටයි විනාඩි පහයි.

ඔන්න මූලික වැඩටික අහවරයි. දැන් නිදහස්. නිදහස් කිව්වට නිදහස්ම නෑ. පොඩ්ඩව පේන තැනක ඉන්න එපැයි. ආයිත් මම කාමරේ. ඉරිද පත්තරේ බලනත් බැරි උනානෙ. ඒකත් අරං ඇඳට ගියා. පොඩ්ඩ එයාගෙ පාඩුවෙ තනියම සද්ද කරකර සෙල්ලම් බඩුවක් බඩ උඩ තියාගෙන ඉන්නව. මෙන්න මම ඉන්නව දැක්ක විතරයි පැත්ත පෙරලිලා කෙඳිරි ගාන්න පටන්ගත්ත. දැං ඉතිං මොන පත්තරද. පැටිය එක්ක සෙල්ලං කරන්න වෙනව ඒ සේරම පැත්තකින් තියල.

ඩිංග වෙලාවක් යනකොට මෙන්න පැටිය මගේ ඇඟට යටවෙලා තිබුන පත්තරේ අදිනව. එයාටත් බලන්න ඕන වෙලා වගේ. වැඩිය කියවන්න දෙයක් නැති පත්තර පි‍ටුවක් පොඩ්ඩත් දුන්න. බලන්න එපැයි මහ ලොක්කෙක් වගේ සද්ද දදා පත්තරේ බලන අපූරුව. හැබැයි වැඩේ කියන්නෙ උඩ යට මාරුකරන් තමයි කියවන්නෙ.

පොඩ්ඩක් වෙලා යනකොට ඒකත් එපාවෙලා පත්තරේ තීරුවක් ඉරල දැම්ම. එනපොට හරියන්නෙ නැති හන්ද වැඩිය නොතේරෙන්න පත්තරේ අතෙන් ගත්ත.

දැන් වෙලාව දහය හමාරයි. ඒකියන්නෙ පොඩ්ඩ කෙසෙල් කන වෙලාව. ඇඳ උඩ පැටිය එහෙම්මම ඉන්න ඇරල කුස්සියට ගියා කෙසෙල් ගෙඩියක් ගේන්න. කෙසෙල් නම් හරි ඒත් කෝ ෆීඩින් කප් එක කෙසෙල්ගෙඩිය දාල පොඩිකරන්න. හැම තැනම හෙව්ව.

ම්හ්… ! පේන්න නෑ. මම උදේ කිරි පොවල කොහේද තිව්වේ…. ම්……

ආ.. මතක් උනා. කාමරේ ස්ටූල් එක උඩ. ගිහිල්ල බැලින්නං මහ විනාසයයි. ඉතුරු වෙච්ච කිරිවලට කූඹි වැලක් එනව ස්ටූල් කකුල දිගේ. එක ඩිංගක් අමතක උනොත් පළාතක් ඉවරයි.
ඒ සැරේ ඒක උණුවතුර දාල සෝදල කෙසෙල් ගෙඩියත් ඒකට පොඩිකරන් ඇවිල්ල කැව්ව. පුතුපැටිය කෙසෙල්වලට හරිම ආසයි. උදේ කීරි බිව්ව වගේ නෙමෙයි කිසිම කරදරයක් නැතුව කෑව.

ඊටපස්සෙ වඩාහෙන එලියෙ රවුමක් එක්කන් යන්න ඕන. වට පිට ගැන හරි විපරම. කටත් ඇරන් විස්තර හොයන්නෙ.

ඔන්න ටික වෙලාවකින් දඟලන්න කෙඳිරිගාන්න පටන් ගත්ත. ඇසුත් නිකං මැලවෙලා. ආයෙමත් නිදිමත වෙලාද කොහෙද. කාමරේට ගිහිල්ල පැටියව නිදි කරවල, නා ගන්න කියල මම බාත් රූම් එකට රිංගුව. හ්ම්ම්…. ටයිල් ටික ටිකක් හැඩිවෙලා. වෙනදනම් ඒවත් සෝදල එහම තමයි නාන්නෙ. ඒත් අද ඒ සෙල්ලං කරන්න වෙලාවක් නෑනෙ. ටක් ගාල ෂවර් එකට ඔළුව යන්තං තෙමාගෙන සබං ගෑව විතරයි

ඔහෑ ඔහෑ..ඔහෑ…..

මොකෝ මෙහෙම්මම දුවන්නයැ. ඇඟ සේරම සබන් නෙ.

හා හා පුතා, තාත්ත දැන් එනවා…ආ… නාඬා ඉන්න මගේ පැටියා.. ඕ ඕ….. බාත් රූම් එකේ ඉඳන් නානගමන්ම කතා කරල නලවගත්ත යාන්තං.

මං එනකොට මෙන්න කොට්ටෙනුත් පැත්තකට පැනල මුනින් අතට ආයෙමත් නිදි. ඇහැරුනොත් ආයෙමත් නිදි කරන්න තියෙන අමාරුව දන්න හන්ද වැඩි සෙල්ලං නොදා විසිරිලා තිබුන කොට්ට ටික විතරක් හදල එහාට උනා.

ඊටපස්සෙ ජාලෙ පැත්තෙ රවුමක් දාල ඔ‍ෆිස් එකේ තත්වෙ එහෙම බලාගෙන අහවර වෙනකොට ඔන්න මටත් එනව දවල් බඩගින්න. ආයෙ බලන් ඉන්නෙ මොකටද කියල ඒකත් අහවර කරල ආයෙමත් උදේ බලන්න බැරිවෙච්ච පත්තරේ එහම බලල හීණියට දමාපු නින්ද කැඩුනෙ ආපහු පොඩ්ඩගෙ ඇඬිල්ලට.

දැන් නම් ඉතිං ආයෙම නිදිකරවනව බොරු, දැන් ඉතිං එයා එක්ක සෙල්ලම් කරන්න, උඩදාන්න, කිතිකවන්න ඕන. ඒ වෙලාවට බලන්න ඕන තියෙන සන්තෝසෙ. කෙළ බේර බේර හිනා වෙන්න. පුතුපැටිය හරිම ආසයි එයාගෙ බඩට අපි මූණ තියල සද්ද ඇහෙන්න පිඹිනවට. තව  ආසම දෙයක් තමයි මගේ බඩ උඩ මුනින් අතට හාන්සි වෙලා ඉන්න. ඔය සේරම දේවල් කරල පැට්ටට ඇති වුනාම ආයමත් වඩාහෙන ඇවිදින්න ඕන. දැං ඉතිං හැන්දැ වෙලා නිසා එලියට එක්කන් යන්න බැ. මදුරුවො පිරිල එලියෙ.

චූටිමැණිකෙ ඉක්මනට එනවනම් දැන් හොඳයි. පුතුපැටිය නාවන්නත් බැරිඋන නිසා ඇඟවත් සෝදවන්න. නැත්නං ඉතිං ‍රැට නිදිකරවනව බොරු, හරි දාඩිය මේ දවස්වල.

කෝල් එකක්වත් දීල බලන්න ඕන කොයි හරියෙද දැන් ඉන්නෙ කියල. සමහරවිට දැන් නුගේගොඩට කිට්‍ටුකරල ඇත්තෙ.

දෙකකට

චූටි මැණිකෙට ආදරෙන්……

තාත්තා උනත් මා බත සරි කරන….
අම්මා නුඹයි මගෙ දරු දරියන් රකින….

අමරදේව මාස්ටර්ගෙ මේ සින්දුව ඇහෙන ඇහෙන වාරයක් පාසා මට මතක් වෙන්නෙ අපේ අම්මයි තාත්තයි. අපිට නොපෙන්නුවට අනන්තවත් දහ දුක් විඳින්න ඇති අපිව හදන්න. ආණ්ඩුවෙ කන්තෝරුවල ලිපිකාරයො වෙච්ච ඒ දෙන්නට හතරමහා නිධානය පහලවෙලා නොතිබුනාට මට  අපි දුක් වින්ද කියල මතකයක් නෑ. මං හිතන්නෙ හැම දුකක්ම ඒ දෙන්න විඳ දරාගෙන අපිට හිනාවෙන්න ඉඩක් හදල දෙන්න ඇති.

දැනට අවුරුද්දක විතර ඉඳල ඒ හැඟීමට තවත් අමුත්තියක් එකතුවෙලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි.

මෙච්චර කල් තනියම නිදාගත්තු ඇඳ බෙදාගන්න, තනියම අඬපු මාත් එක්ක හවුලේ අඬන්න, හවුලේ හිනාවෙන්න, මගෙ ගොං කමකට රවන්න, මට නීති දාන්න, රණ්ඩු වෙන්න, කොටින්ම මගෙ ජීවිතේ බෙදාගන්න ආපු චූටි මැණිකෙ.

මං මේ බ්ලොග් එක ලියන්න පටන්ගත්තෙ උඹ ගැන ලියනව කියල හිතාගෙන. ඒත් ඊට කලිං වෙන අනං මනං නොදැනීම කුරු‍ටු ගෑවුණාට උඹේ හිතේ අමනාපයක් නැතුව ඇති. එහෙම උනේ මට උඹ ගැන ලියන්න කොහොම පටන්ගන්නද කියල හිතාගන්න බැරුව උන්න හන්ද. එහෙමයි කිව්වට මම දන්නෙ නෑ අදත් මට උඹ ගැන හිතේ තියන හැඟීම් සේරම ඒ විදියටම ලියල තියන්න පුළුවන්  වේවිද කියල. මගෙ වචන එච්චරටම පොහොසත් නෑ. ඒක හන්ද මේ ලියවෙන්නෙ මගේ හිතේ උඹ ගැන තියෙන ආදරෙන් අංශු මාත්‍රයක් විතරමයි.

මට තවම මතකයි අපේ අම්ම ලංකාදීප ලහිපිටේ උඹව හොයන්න වෙච්ච මහන්සියක්. හැම සති අන්තයකම අම්ම කො‍ටු ඇඳල, බෝල ඇඳල තියෙන ගෑණු ළමයි අස්සෙ උඹ ඉන්නවද කියල මං අම්මට හොරෙන් බලනව. ඒ වෙනකොට මං හතර සැරයක්ම අසාර්ථක වෙච්ච, හතර සැරයක්ම පපුව පුච්චගත්තු ආදරවන්තයෙක් හන්ද උඹ ගැන උනත් මහා බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.

අනික මගෙ කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ ප්‍රපෝස්ඩ් මැරේජ් ගැන. ආදරේ කරලත් තේරුම් ගන්න බැරි වුනාම ම්ට එහෙම හිතුන එක වැරදි නෑ. අනික උඹ කොයි වගේද කියල දන්නෙත් නෑ නෙ. මහත, මිටි, කලු, කකුල් පැලිච්ච, වපර ගෑණු ළමයි මගෙ හිතේ කැරකෙන්න පටන් ගෙන හිටියෙ ඒ වෙනකොටත්. ඒත් එල්.ආර්.එච් ක්වාටර්ස් වලදි උඹව දැක්කට පස්සෙ ඒ හිත වෙනස් උනා. මං දැකල තියෙන ලස්සනම ගෑණු ළමය නොවුනට උඹ හරි ලස්සනයි. මූන බැලුවෙ නෑ ඔළුව උස්සල අතේ බැඳල තිබුන ඕරලෝසුවත් එක්ක සෙල්ලං කර කර අහපු දේවල් වලට උත්තර දුන්න මිසක්.

එතනින් පස්සෙ වෙච්ච දේවල් උඹයි මමයි දන්න හන්ද ආපහු මෙතන ලියන්න යන්නෙ නෑ. ඒත් මගෙ හිතේ තියෙන දේවල්………

පෝරුවෙන් බහිද්දි උඹෙ හීතල වෙලා තිබුන චූටි අතින් අල්ලගත්තෙ දෙයියනේ දැන් මේ මගේ ගෑණි නේද කියල හිත පුරවන්. එදා ඉඳං අද වෙනකන් උඹෙ හිතෙන් වාන් දමන ආදරෙන් මං හැමදාම පෙඟිල තෙතබරියං වෙලා. වෙලාවකට උඹේ ඒ ආදර්ට අලගු තියන්නවත් මගෙ ආදරේ මදිද මන්ද. එහෙමයි කියල උඹ කවදාවත් කණු කුණු නොගෑවට හැමදාම මහෙ හිතේ මහා බරක් තියෙනව මං ඇතිවෙන්න ආදරේ දෙන්නෙ නෑ කියල. උඹට වැරදිලාවත් එහෙම හිතෙනවනම් මට සමාවෙයං. මෙගෙ පපු සොරොව්ව පුංචි වැඩි ඇති හිරවෙලා තියෙන ආදරේ එකපාරටම එලියට නො එන්නෙ. ඒත් මැරෙනකන් ගලන්න තරම් ආදරයක් මේ පපුව ඇතුලෙ හිරවෙලා තියෙනව.

මට මතකයි ඉස්සර දවසක ඔ‍ෆිස් එකේ බැඳපු එකෙක්ගෙන් විහිලුවකට වගේ ඇහුවම “උඹට ආපහු බඳින්න චාන්ස් එකක් දුන්නොත් බඳිනවද” කියල. ඌ මට මොකක්ද හිනා යන කතාවක් කිව්වට මං දැං දන්නව ආපහු උඹවම බඳින්න මගෙ හිත කොච්චර ලේස්තිද කියල. එච්චරටම උඹ මගේ වෙලා.

ඉස්සර මං වැඩ ඇරිල ගෙදර එන්නෙ උඹෙ ඔය උණහුම් උකුලෙ ඔළුව තියං ඉන්න බලාගෙන. පණ හිහිල්ල ගෙදර එන මට ඒක මහා සැනසීමක්. උඹේ හීනි ඇඟිල තුඩු කෙස් අතරින් දුවනකොට කියාගන්න බැරි සනීපයක් දැනෙනව. එහෙම ඉඳල ඩිංග වෙලාවකින් හෙල්මට් එකේ රස්නෙට දාඩිය දාල ගඳ ගහන ඔළුව ආදරෙන් ඉඹිනකොට මට උඹ ගැන හිතෙන ආදරේ කියාගන්න තේරෙන්නෙ නෑ බං චූටි මැණිකෙ. ඊට පස්සෙ තව තවත් තුරුළු වෙන්නමයි හිත. “යනව යනව ගිහිල්ල ඇඟ සෝදගන්නව හොරා”… කියල හිනාවෙලා තල්ලු කරල මාව එලවගන්නෙ නැත්නං එහමම නිදාගන්නමයි හිත බඩගින්නෙම.

ඒත් දැං මං ගෙදර එනකොට ඒ උකුළෙ ගොඩක් වෙලාවට අපි දෙන්නගෙ පුතු පැටිය හරි සනීපෙට දොයියනව. ඒ වෙලාවටනං ඉතිං ඩිංගක් විතර දුක හිතෙනව ඉස්සර උඹේ උකුලෙ උණුහුම මතක් වෙලා. ඒත් අර බෙල්ල ඇල කරල ඇස් පුංචි වෙන පරණ පුරුදු හිනාවට ඔක්කොම මහන්සිය කොහේ යනවද මන්ද. මොන මගුල කරත් උඹත් එක්ක තරහ වෙන්න බැරිත් ඔන්න ඔය හිනාවටම තමයි. උඹ මොන ගොන් වැඩේ කලත් ඒ හිනාව දැක්කම මට ආපු කේන්තිය එතනින්ම ඉවරයි.

මං දැකල නෑ උඹ මේ අවුරුදු එක හමාරටම බුම්මගෙන නහයෙන් අඬ අඬා ඉඳපු දවසක්. හැම තිස්සෙම ඉන්නෙ මේ දැං අවුරුදු ලැබුව වගේ. එහෙම වෙන්නෙ කිසිම කහටක් නො‍රැ‍ඳෙන උඹේ අහිංසක හිත හන්ද වෙන්න ඇති. පුංචි දරුවෙක් සන්තෝස කරනව වගේ උඹව සන්තෝස කරන්න හරිම ලේසියි. රටකජු ගොට්ටකට, තෙල් දාපු කඩල මුලකට, එහමත් නැත්නං රුපියල් දෙකේ වඩේ අහුරකට උඹෙ හිත පිරෙනව. ඒ තරමට උඹේ බලාපොරොත්තු සරළයි, අහිංසකයි.

අතට කීයක් හරි හම්බුවෙලා “යං අපි ඇඳුමක් ගන්න” කිව්වම “ඔව් අපි ඔයාට ඔ‍ෆිස් ඇඳන් යන්න ලස්සන ෂර්ට් එකක් ගනිමු” කියල උඩ පැනගෙන ලැස්තිවෙනව. ඊලඟට මං කඩේ ඇතුලෙදි “මට නෙමෙයි ඕයි තමුසෙ මොනව හරි ගන්නව” කියල කොච්චර උඹත් එක්ක ඔට්‍ටු වෙනවද. අන්තිමේදි කියන දේ නාහන උඹට හොඳවැයින් පොල් ටොක්කක් ඇනල බලෙන් අරන් නොදුන්නොත් එහෙම උඹ හැම තිස්සෙම හදන්නෙ මට මොනවහරි අරන් දීල උඹ හිස් අතින් ගෙදර එන්න. මං උඹ වගේ පරිත්‍යාගශීලී ගෑණියෙන් තවම දැකල නෑ චූටි මැණිකෙ මගෙ අම්ම ඇරුනම.

උඹ මට මගෙ ජීවිතේ මුනගැහිච්ච හොඳම යාළුව. මට හිතෙන ඕනම විකාර අදහසක් උඹට දෙපාරක් නොහිතා කියන්න පුළුවන්. උඹ නොවෙන්න වෙන ගෑණියෙක්නං මං ලක්මි ගැනයි අනූ ගැනයි කියවනකොට මට පිස්සු කියල දමල ගහල ගිහිල්ල මෙලහකටත්. මොනව කිව්වත් ඉරිසියාවෙන් පැලෙන්නෙ නැතුව හිනාවෙලා “තමුසෙට පිස්සු ඕයි” කියල හිනාවෙලා ඉන්න හැම ගෑණියෙක්ටම බෑ බං උඹ වගේ. අනික හිත පිරුවටයක් වගේ නැත්නං කවදාවත් ගෑණියෙක්ට කියන්න බෑ තමන්ගෙ මිනිහගෙ කලින් ආදරය බලල එන්න වෙලාවක යං කියල. උඹ එහෙම කිව්වම මං පුදුම වෙලා ගියා මේ ගෑණිගෙ හදවත මෙච්චරටම ලොකුයිද කියල.

ඉතිං මට කියාපන් අම්ම තාත්ත වගේ මට ආදරේ කරන උඹ හන්ද මේ ජීවිතේ ලස්සන නැද්ද, සරළ නැද්ද කියල.

මට උඹ ගැන ආඩම්බර නැද්ද කියල.

ප/ලි: මේ ලියපු දේවල් කියවනකොට බොළඳ කතා කියලත් හිතෙනව. ඒත් මහප්‍රාණ විදියට ආදරේ කරන්න නොදන්න මං උඹ ගැන වෙන මොනව ලියන්නද මගෙ චූටි මැණිකෙ?

වරා මලයි කුමාරයයි [අළු යට ගිණි පුපුරු නොනැසී- පසුවදනක්]

මං දැනං උන්න කවදහරි උඹට මාව පුච්චල දාන්න ඇහැක්වෙයි කියල. ඒත් මෙච්චර……

අපිට අයිති නොවෙච්ච, අපිට වෙනස් කරන්න බැරි වෙච්ච හේතු හන්ද දෙපැත්තකට යන්න උන දා මං කීයටවත් හිතුවෙ නෑ උඹ නොහෙල්ලී එතනම ඉඳියි කියල කොච්චර කිව්වත්.

ඒත් සෑහෙන්න දුරක් ගිහිල්ල නිකමට වගේ හැරිල බලද්දි ඈතම ඈත පුංචි තිතක් වගේ වගේ නොහෙල්ලී මං දාල ආපු තැනමයි උඹ.

එදා මගෙ පපුව පිච්චෙද්දිත් ඇහිපිල්ලමක් යට කඳුල හංගන් තවත් ඉස්සරහටම හියේ උඹව නොපෙනී යාවි කියල හිතල. අනික මං හිතුව වරා මලකට හුලං හමන අතට නොපාවී ගොඩක් කල් ඉන්න බැරි වේවි කියල.

මට පස්සෙ හමාපු හුලං වලට උඹ ඩිංගක් විතර සැරින් සැරේ හෙල්ලෙනකොට මං සතු‍ටු වුනා ඒ හුලං එක්ක පාවෙලා යයි කියල. එහෙම උනානං මගෙ හිතට සැහැල්ලුවක් දැනේවි. ඒත් ඒ එක හුලඟකටවත් උඹව ගොඩක් දුර ගෙනියන්න බැරි වුණා කියල දැනගත්තම මම ආපහු පිච්චුණා.

ඉස්සර උඹේ සුවඳට ඇදෙන වෙන සමනල්ලු ගැන උඹ ඇවිල්ල නියපොත්තෙන් මගෙ අත කොනිතිගගහ කියනකොට මට දැනිච්ච ඉරිසියාව කොච්චරද කියල මට තවම අමතක නෑ. මං දැනං උන්න උඹ අමුතුම මලක් කියල. එහෙම නැත්නං උඹ මේ ත‍ටු කැඩිල හම ගියපු සමනලයට විතරක්ම මෙච්චර ආදරේ වෙන්නෙ කොහොමද. මං හරිම ආඩම්බරයෙන් උන්නෙ ඒ හන්ද. ඒත් ඒකටම කවද හරි දවසක මාව පුච්චල දාන්න පුළුවන් වෙයි කියල හීනෙන්වත් හිතුනෙ නෑ මට.

අද මං ගොඩක් දුර ගිහින් කූඩුවකුත් හදල. ආදරෙන් මාව බලාගන්න කිරිල්ලියෙකුයි පුංචිම පුචිම කුරුළු පැටියෙකුයි ඉන්න ඒක හරිම උණුහුම් කූඩුවක්, ඒත් උඹ තවමත් උඹ පුංචි තිතක් වගේ මං දාල ආපු තැනම. හරියට අර  නපුරු මන්තරකාරිගෙ සාපයෙන් ගල් ගැහුන කුමාරි තමන් සාපයෙන් බේරගන්න කුමාරය එනකං බලං ඉන්න වගේ. ඒත් කුමාරය එන්න බැරි තරං ඈතක ඉන්නෙ කියල කිව්වට කන්‍යාරාමයක් ඇතුලෙ ගල් වෙච්ච කුමාරිට ඇහෙන්නෙ නෑ.

මේ ආරංචිය අහපු චූටිමැණිකෙ නං හරියට දුක් වෙලා කිව්ව පුතු පැටිය ඩිංගක් විතර එලියට පහලියට ගෙනියන්න තරං ලොකු උනාම ගිහිල්ල බලල එමු කියල. ඒත් මට මාවම ෂුවර් නැති හන්ද මොකවත්  නොකිය උන්න.

අළු යට තියෙන ගිණිපුපුරු වලට හුලං පිඹින්න මං බයයි. වැරදිලාවත් ගිණිපුපුරක් වීසිවෙලා ආවොත් පරඬැල් කූඩුව ඇහිපිල්ලං ගහන්න කලිං ගිණිගනියි.

ප/ලි : අළු යට ගිණි පුපුරු නොනැසී…. වලට ලියන පලවෙනි සහ අන්තිම පසුවදන මේක වෙනවනං මං කැමතියි. ඒත් …… මංද…

%d bloggers like this: