ම්ම්ම්… මේක හරි නෑ ජරාව. හ්ම්… මේකනං එල වගේ


මාසයක් නැහිල නැහිල අන්තිමට ගන්න සොච්චම් පඩිය අතට ගත්තම මතක් වෙන දාහක් දේවල් අස්සෙ අනිත් අවශ්‍යතා සේරම තල්ලුකරන් පෙරලන් ඉස්සරහටම එනව පොත්. මහම පෙරේතයි මං පොත් වලට. පොත් මතක්වෙනකොට කට කොනෙන් කෙළ බේරෙන සයිස්.

දැං ඉතිං කැමති කට්ටියට හිතේ මවාගන්න පුළුවන් එහෙන් මෙහෙන් එලියට ඇදිච්ච ෂර්ට් එක එක අතකින් කලිසමට යටකර කර අනිත් අතෙයි කිහිල්ලෙයි අළුත්ම අලුත් පොත් ගහං තනියම හිනාවෙවී යන පතුරක් සයිස් කෙට්‍ටු කොල්ලෙක් [කොල්ලෙක් කිව්වට කොළු තාත්තෙක් ;)]. එහෙම එකෙක් දැක්කොත් විපරම් කරල බලන්න, සමහර විට ඒ නවම් වෙන්න පුළුවන්. හූ කියන්නෙ එහෙම නෑ ඕං පිස්සෙක් කියල හිතල.

දැං පොත් අරං යන හැටි කිව්වට පොත් ගන්න හැටි කිව්වෙ නෑනෙ.

ගාල්ලෙ ඉන්න දවස් වල නං ආරියදාස මුදලාලිගෙ සාප්පුවෙ තමයි ඉස්සරම ගැවසුනේ. ඒ දවස් වල දැං වගේ තට්‍ටු බිල්ඩිම තිබුනෙ නෑ. තනි තට්‍ටුවෙ බිල්ඩිම. ඕන ඕන විදියට පොත් ‍තෝරන්න බෑ, රාක්ක වල දාල වහල තිබුනෙ. වැඩකරන අක්කකෙනෙක්ට කියල තමයි ඇරවගන්න ඕන.

ඊට පස්සෙ සේලක බිල්ඩිමේ ගාමිණී කුමාර විතාන මහත්තයගෙ ලහිරු පොත් සාප්පුවයි, විජිත යාපා සාප්පුවයි. ඒවයෙනං හිතේ හැටියට ‍තෝරගන්න තිබුනට ලොකු පොත් එකතුවක් තිබුනෙ නෑ. ඊටත් කාලෙකට පස්සෙ ගුණසේන මහත්තය පෙට්ටිගලවත්ත පැත්තෙ තට්‍ටු දෙකේ බිල්ඩිමකට ආව. අන්න පොත් සාප්පුව. යස අගේට පොත් වර්ග කරල නිදහසේ ‍තෝරගන්න පුළුවන්. ඇති තරං පොත්. ඔය කාලෙ මං ගාල්ලෙ ඉඳං මාතර ක්ලාස් ආවම වරද්දෙන්නෙ නෑ මාතර බෝධියට ඩිංගක් එහායින් තිබුන සරසවි සාප්පූවට යන්නත්. එතනත් යස අගේ ඇති තැන පොත් ගන්න.

ඔය කොච්චර සාප්පු තිබුනත් හැම වෙලාවකම වගේ උනේ ගිහිල්ල පොත් අතගාල හිස් අතින් එන ට්ක තමයි. මාසෙකට එක පොතකට මිසක් හිතේ තියෙන ආසාවට පොත් ගන්න තරං සල්ලි දෙනවට වඩා අම්මටයි තාත්තටයි ජීවත් වෙන්න අරගල කරන්න වෙලා තිබුනෙ. ඒත් අඩුම තරමෙ මාසෙකට අළුත් පොතක් වරදින්නෙ නෑ. සමහර කාලවලට රත්න පොත් ප්‍රකාශකයෝ, ගොඩගේ, ගුණසේන වගේ කට්ටිය පැවිලියන් එකේ පොත් සල්පිල් තියෙනකොට නම් ඩිස්කවුන්ට් පොත් තුනහතරක් හම්බුවෙනව. එදාට ඉතිං මට කන්නත් ඕනෙ නෑ.

ඔය පොත් ගන්න ආසාව [පිස්සුව?] තිබුනෙ ගාල්ලෙ පුස්තකාලෙ පහවසරෙ ඉඳල සාමාජිකයෙකුත් වෙලා ඉඳිද්දි තමයි. දැං තේරෙනවද මට තියෙන පිස්සුව කොහොම එකක්ද කියල

ඔයින් මෙයින් මීට අඩුරුදු පහකට විතර කලින් ගම රට අතෑරල කොළඹ ආව රස්සවකට. ඒ අර පිස්සුවත් එක්කමයි. බො‍රැල්ලෙ ඉඳපු දවස් වල මහ ලොකු සාප්පුවක් නොවෙච්ච සදීපා එකේ තුන්වෙනි තට්‍ටුවෙ මං අතනොගාපු පොතක් නැතුව ඇති. එතකොට මං මාසෙ අන්තිමට පඩියක් ගන්න රස්සාවක් කරපු හන්ද ගාල්ලෙදි වගේ පොත් අතගගා දුක් විඳින්න ඕන උනේ නෑ.හිතේ හැටියට පොත් ගත්ත. සමහර මාසවල මාසෙ මුල එකයි, මැද එකයි අන්තිමට තවත් එකයි. ඇඳුම් කබඩ් එකේ ඇඳුම් වලට වැඩිය පොත්, ඇඳුම් අස්සෙ පොත්ද පොත් අස්සෙ ඇඳුම්ද කියල හිතාගන්න බැරිවෙන්න.

ඊටත් ටික කාලෙකට පස්සෙ බො‍රැල්ල අතෑරල නුගේගොඩ පදිංචියට ආව. පාඩුවක් නෑ. සරසවිය තියෙන්නෙ මට.

ඉස්සරහින්ම තියෙන කළුපාට පඩි තුන නැග්ගම ඉබේ දෙපැත්තට ඇරෙන ඝනකම වීදුරු දොරෙන් ඇතුලට යනවත් එක්කම එන්නෙ මං ආසම පුසුඹ. ඩිලමයි කොළ, තීන්ත වල සුවඳ. ඒ තමයි අළුත්ම අළුත් පොත්වල සුවඳ.

ඉස්සෙල්ලම මට මුනගැහෙන්නෙ ඇතුල් වෙන තැනම තියෙන “අළුත් පොත්” රාක්කෙ. ඊයෙ පෙරේද ආපු ගොඩක් පොත් එක එක පේන්න තියල. ආසාවට අතගෑවට ගන්න මට හිතක් නෑ. මීට වැඩිය හොඳ පොත් ඇතුලෙ ඇති. මගෙ කිසිම දේකින් සෑහීමකට පත්වෙන්නෙ නැති කෑදර හිත කියනව. ඊට පස්සෙ පළවෙනි තට්‍ටුවෙ ඉංග්‍රීසි පොත් රාක්ක මැදින් ඇවිදන් ගිහිල්ල පිටිපස්සට වෙන්න තියෙන පිඩිපෙලෙන් දෙවෙනි තට්‍ටුවෙ ආපහු තියෙන ඉංග්‍රීසි පොත් පහුකරං තුන්වෙනි තට්‍ටුවටම යනව.

තුන්වෙනි තට්‍ටුවෙ පඩිපෙල ගාවම දකුණු පැත්තෙ මුලින්ම තියෙන පරිවර්තන රාක්කෙ ඉඳං ගාමිණී වියංගොඩ මට “අනුන්ගේ ලේ” දෙන්නද අහනව මං කාගෙන් හරි ඉල්ලං කියවන හැදුවත් පරිවර්තනය කරල තියෙන භාෂා විලාසයෙ වියලි කමටද මන්ද බාගයක් කියවන් යනකොට එපා උන හන්ද, මට ඔයා තේරෙන්නෙ නෑ කියල අඩියක් ඉස්සරහට තිව්ව.

ඊලඟ රාකෙත් පරිවර්තන. මෙන්න අපේ ටී. ආන්ද්‍රාදි මහත්තය ලියොන් ට්‍රොස්කිගෙ ජීවිතේ අතේ තියන් ඉන්නව. මං නොදැක්ක වගේ එතනිනුත් මාරු උනා

මෙන්න අභය හේවාවසම් අහනව “වෘකයාගෙ දවසයි” “තුතුන් කාමන්ගෙ අභිරහසයි” දෙන්නද කියල. එපා කියල බොහොම අමාරුවෙන් ඒ රාක්කෙන් පැනගන්නවත් එක්කම ඇහුන රාක්ක තුනකට විතර පිටිපස්සෙ ඉඳන් ආයෙමත් ගාමිණී අහනව “ඊවා ලූනා” දෙන්නද කියල. හපෝ ඒක කියෙව්වෙ මං ඉස්කෝලෙ යනකාලෙ කියල මං නෝන්ඩියට වගේ කිව්ව. එයා ඊටපස්සෙ තව මොන මොනවද කිව්වත් ඒ වෙනකොට ඊලඟ රාක්කෙට පැනගත්තු හන්ද හරියකට ඇහුනෙ නෑ.

එතන රාක්ක දෙකක් එකට පුරුද්දල එක එක කට්ටියගෙ කතා පුරවල.වැඩිය අහල පුරුදු නම් නොවුනත් එයාලටත් කියන්න මොකවහරි කතාවක් ඇති කියල හිතල පොතක් දෙකක් අරං පෙරළල බැලුව.

අනේ රත්තරං මට බයයි, මං මෙහෙම ගමනක් කවදාවත්ම ඇවිල්ල නැ. මට කරදරයක් කරන්නෙ නෑ නේද? අනේ එහෙම උනොත් අම්මගෙ මූණ බලන්නෙ කොහොමද මං..

චිහ් මේ මොන මළ ජරාවක්ද. මං එහෙම්මම වහල ආපහු තඩි පොත් දෙකක් අස්සට එබුව හිරවෙලා මැරියං කියල. ඒ රාක්කෙම කෙළවරක කරුනාසේන ජයලත් ගෑණුළමයි තියං උන්න. මං ඒ ළමයි ගැන දන්නෙ ඉස්කෝලෙ යනකාලෙ ඉඳල හන්ද ආයෙ එතන නැවතුනේ නෑ

ස්ස්.. මල්ලී අපි මෙහේ… කවුද මන්ද පිටිපස්සෙන් කතාකරනව. ආ.. බැලින්නං මේ අපේ සුජීව ප්‍රසන්නාඅරච්චි අයියනෙ. හො‍ටු ගොඩ…. මං නෑහුනා වහේ යන්න හදද්දි කියාපි,

මොකද මල්ලි අපිව නොදැක්ක වහේ යන්නෙ. මතක නැද්ද ඉස්සර ඔයා අම්මට හොරෙන් ඡායා නංගියි, වර්ශා නංගියි, සංසලායි ඇඳේ මෙට්ටෙ යට තියන් උන්න. දැං මං ගාව ඊට වඩා ආතල් නංගිල සෙට් එකක් ඉන්නව. ඉස්සර වගේ නෙවෙයි මෙවයි හො‍ටු, කබ, සෙම, කඳුළු සේරම අඩුවක් නැතුව තියෙනව. අනික අපි කන්නෙ අඟුන කොලයි, කිරිකොසුයි, කැකුළු හාලෙ බතුයිනෙ. බයිට් එකට වගේ මුකුත් ඕනෙමනං කූණිස්සො සම්බලක් හරි අළු යට දාල පුච්චපු කරෝල කෑල්ලක් හරි තමයි. ඉස්සර ඉඳං අපි දේශීය චින්තනේ.

මං විගහට වටපිට බැළුව කාටවත් ඇහුනද කියල.

මොකෝ වටපිට බලෙන්නෙ. ලැජ්ජ හිතුනයි. එලිපිට කියවන්න ලැජ්ජ උනාට ගොඩක් කට්ටිය මගෙ නංගිල සෙට් එක ගැනම දන්නව. ඔව්ව ඔහොම තමයි මල්ලී. අනික අච්චර සම්භාව්‍ය රූපවාහිණී මහගෙදරත් සංසලා නගාව පෙන්නන්නෙ. ඉතිං මල්ලි ලැජ්ජවෙන්නෙ අහවල් එහෙකටෙයි.කියල කියාපි.

මං විළි ලැජ්ජාවෙ බැරුව එහනිනුත් මාරු උනා.

මෙන්න බොලේ මන්ජුල වෙඩිවර්ධන උන්නැහේ “බත්තල ගුන්ඩුවක” නැගල කැත “කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂන වාර්ථාව” පෙන්නනව.

මල්ලී මොකෝ ඕනද?

මං ඌට කියන්න ගියේ නෑ ඔය දෙවෙනියට තියෙන පොත ඉස්සර ක්ලාස් යන දවස්වල ගෙදර අරං ගිහිල්ල අම්මට මාට්‍ටු වෙලා අම්බානෙක බැනුම් අහපු වග. අපේ අම්ම බය වෙන්න ඇති ඒකෙ ඉස්සරහ කවරෙ තිබුන මැදින් පලල ඇතුලෙ ගෙඩිය පේන්න තීරුවක් අහක් කරපු රඹුටන් ගෙඩිය දැක්කම. ඔය ඉතිං මගෙ හෙනහුරා ඉස්මුදුනටම ගහපු කාලෙ නෙව. අපි හරිම විප්ලව වාදියො ඒකාලෙ. [ආච්චිගෙ රෙද්ද]

ඔන්න ඊලඟ රාක්කෙ ඉන්නව සුනේත්‍රා රාජකරුණානායක එයාගෙ පොත් සෙට් එකත් තියාගෙන.

හා නවම්, කොහොමද ගියපාර අරං ගියපු පොදු පුරුෂයායි, විචිත්‍ර වීර්යයි කියෙව්ව නේද. ඔයා ගාව මගෙ ඔක්කොම වගේ පොත් තියෙන හන්ද අද නං ඉතිං දෙන්න දෙයක් නැ. මං ආපහු හිමාලෙ පැත්තෙ සංචාරයක් යන්නයි හිතං ඉන්නෙ. ගිහින් ඇවිල්ල තමයි අලුතෙන් මුකුත් ලියන්න හිතාගෙන ඉන්නෙ. වෙලාවක් තිබුනොත් අරුනාචල කන්දටත් යනව.

හ්ම්ම්.. එයාගෙනුත් අද වැඩක් නෑ එහෙනං.

අල්ලපු රාක්කෙ පැත්තෙන් ඇහෙනව “මං බාරගන්නෙත් නෑ හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ” කියනව. හ්ම්…… ඒ මොන හතර බීරි කතාවක්ද. මං බැළුව මොකාද ඒ කියල. අඩේ මේ “අපේ හිංගල පන්තියෙ” සන්නස්ගල උත්තමය නෙව. මං ඒත් බැළුව අර වහේ දෙකොන පූට්‍ටුවෙන කතාවක් කියන්න ඉන්නෙ මොන ජගතද කියල මුන්නැහේ ඇරුනම.

ඔන්න එයා රාක්කෙන් පැනල “නේත්‍රයි”, “මහේ කුළුඳුල් පෙම්වතියයි”, “අපේ ආදර කතාවයි” අරං “තුඹසක විලාපෙ” දීගෙන “සරසවි දියණිගෙ” අතිං අල්ලන් “සංගිලි පාලමේ” පැද්දි පැද්දී උගුර එහෙම පාදල මගෙත් එක්ක පශ්චාත් නූතන වාදී නවකතාව සමාජීය ප්‍රගමනයට කොච්චර ඉවහල් වෙනවද කියල වාදෙකට ලෑස්ති උනා.

දවල්ට තම්බන්න දෙල්කඳ පොලෙන් කොස් මදුළු රුපියල් සීයකයි පොල්සම්බලේට ලා පොල්ගෙඩියකුයි ගන්න හමුදා ලොරියෙ පෝලිමට සෙට් වෙන්න තියෙන හන්ද පරකු වෙන්න බෑ කියල ඩිංගක් එහාට පැනගත්ත.

ඔන්න නිකං ඇහැ කොනෙන් පේනව දන්න කියන කෙනෙක් පිටිපස්සෙ ඉන්නව වගේ. ඒත් මට සේරටම වැඩිය ලොකුයිනෙ පොත්. ආයෙම පොත් රක්කයක උඩම තට්‍ටුවට අත ගියා.

මොකද නවම් මල්ලි අඳුරන්න බැරිද ?

කවුද අපෙ අප්පේ මේ…… සුද්දෙකුත් අතිං එල්ලං. හ්ම්….. මට “නවම් මල්ලි” කියල කියන ටික දෙනා අතරෙ සුද්දෙක් එක්ක ඉන්නෙ කවුද……?

මේ අරුණි අක්ක නේද? ඔයා මොනවද මේ සරසවි එකේ කරන්නෙ.

මං ඉන්නෙ මේ අධ්‍යාපන මනෝවිද්‍යා රාක්කෙ. මේ තියෙන්නෙ මගෙ “තරඟ ජය”

කිව්වට මං අතට අරං බැළුව.වැඩි විච්චූරණ නැති සුදුපාට පොතක්. පුරුද්දට පොතේ පිටිපස්ස බැළුව. බුදු අම්මෝ අපි සලකනව මදියිනෙ ඔයාට. මහා පතරංගෙ වගේ විස්තරයක් !

බලං ගියාම ඔයාත් නොදන්න දෙයක්, නොකරපු දෙයක් නෑනෙ.

මුකුත් නොකිය අරුණි අක්ක හිනාවුනා.

පරක්කු වෙනව අක්කෙ මං වෙන වෙලාවක එන්නංකො තව ඩිංගක් විස්තර කතාකරන්න.

මල්ලි ආයෙම එනකොට මං මේ රාක්කෙ ඉඳීද දන්නෙ නෑ.

ඔයා රාක්කෙ නොහිටියට හැමදාම වගේ ජංජාලෙ ඉන්නවනෙ කියල මං තවත් රාක්කෙකට එබුන.

මැද තට්‍ටුවට වෙන්න වැඩිය සද්දයක් බද්දයක් නැතුව අපේ තිස්ස අබේසේකර උන්නැහේ “පිටගම් කාරයෝයි, ගම්පෙරළියෙ තිරපිටපතයි, අයාලේ ගියපු සිතක සටහනුයි තියං ඉන්නව දැක්ක.

මං දැං බොහෝම වෙලා මේ ළමය දිහා මෙතනට වෙලා බලාහෙන. මොකෝ තවම් හරි හමං පොතක් ‍තෝරගන්න බැරි උනැයි?.

ඔය ළමය හැමදාම ඔහොමයි නේද ?. පොතක් රාක්කෙකින් අදිනව. පි‍ටුවක් දෙකක් පෙරළනව. ඊට පස්සෙ පොතේ පිටිපස්ස බලල ඇස් දෙක නළලෙ තියාගන්නව.දබර ඇඟිල්ලෙන් හිස් මුදුන කසනව. ආයෙම ඒ පොත රාක්කෙට දානව. ඊලඟට අත් දෙක පිටිපස්සට කරල බැඳහෙන ඊලඟ රාක්කෙට යනව. ආයෙමත් අර සෙල්ලමම කරනව.මොකෝ මේ..?

හ්ම්… මට තේරෙනව. මෙච්චර පොත් ගොඩකින් අතේ තියෙන සොච්චමට හරියන්න, කියවන්න වටින පොතක් හොයාගන්න එක මාටින් වික්‍රමසිංහ උන්නැහේ කළුනික හෙව්වටත් වැඩිය අමාරුයි. අනිත් ඈයින්ගෙ පොත් ගැන කියන්න මං දන්නෙ නෑ. ඒත් ඔය ළමය කැමතිනං මගෙ “අයාලේ ගිය සිතක සටහන් අරං යනව හොඳයි.

උන්නැහේ එහෙම කිව්වම එපාය කියල ආපහු රාක්කෙම හිරකරන්න හිත් දුන්නෙ නෑ. අනික පොතක්  ‍තෝරගන්න බැරි වෙලා ඉඳපු මට ඒ තල්ලුව ඇති.

ඊලඟ සතියෙ නිවඩුවට කියවන්න ඕන කියල හිතාගෙන ඒකත් අරං දෙල්කඳ පොලේ ආමි ලොරියෙ පෝලිමේ පැය කාලක් විතර ඉඳල බඩුත් අරං පොල්සම්බලේට ආච්චිඅම්ම කෙනෙක්ගෙන් රුපියල් දහයක කොච්චි අහුරකුත් අර මදි පාඩුවට වේලිච්ච උගුර රුපියල් පාලොහේ තැඹිලිගෙඩියකින් තෙමාගෙන ගෙදර ආව !

Advertisements
%d bloggers like this: