නවම් මාවත ලියන එකා අවංක නැත. කොලේ වසා ගසයි !

මා කිසිවිටෙකත් ඔබට අවංක භාවයක් පෙන්වා නොමැත. මා එසේ වර්තමානයේ නොකලත් අනාගතයේදී හෝ එසේ ඔබ කෙරෙහි අවංක වේ යැයි සිතන්නේනම් ඔබ ඔබවම රවටා ගැනීමකි. සමාවෙන්න මා කෙදිනක හෝ කිසිවෙකුටවත් පූර්ණ ලෙස අවංක නොවෙමි. මා පමණක් නොව අන් කිසිවෙකුත් තවෙකෙකුට පූර්ණ අවංක භාවයක් පලකරන්නේ යැයි මම නොසිතමි. මාගේ කළු සුදු  ජීවිත අන්තයන් අතර බොහෝ විසල් කලාපයක් අළු පැහැයෙන් පිරී ඇත. මේ බාහිරෙන් පෙනෙන රූපය ඇතුලේ සිටින සාන්තුවරයෙකු හෝ යක්ෂයෙකු නොවන මා කිසිම විටෙක කිසිවෙකුට පූර්ණ ලෙස විවෘත නොවෙමි.  කිසිවෙකුට මා පූර්ණ ලෙස වටහා ගැනීමට සුළු හෝ ඉඩක් නොතබමි. වැරදීමකින් හෝ කිසිවෙකුට මාගේ සිතුවිළි කියවන්නට හෝ ඇතුලාන්තය දකින්නට හැකි වූයේනම් මා හිරගෙවල් හතක සිරකර දමනු ඇත්තේම ය. එහෙයින් මා පැලඳ සිටිනා වෙස් මූණෙන් සැබෑව සඟවා සිටිමි. දොරගුළු තදකරමි. එය මා උවමනාවෙන්ම කරන්නෙකි. එය මාගේ පැවැත්ම සඳහාමය. කිසිවෙකු ‍රැවටීමට ඉන් මා අදහස් නොකරමි.

මා සුන්දර මනුස්සයෙකු ලෙසම පමණක් ඔබ දකින්නේනම් රුචි වෙමි. කැරළි ගසන විප්ලව වාදියා කිසි වෙටෙකත් ඔබට හෙලි නොකිරීමට පරිස්සම් වෙමි. නිතොරින් මන්දස්මිතියක් ම පෙන්වමි. ඒ පණු කෝම්බ වූ දත් ඔබ කෙරෙන් වසන් කිරීමටය. දරාගත නොහැකි වේදනාවක් පැමිනිකල්හි අඳුරු ගුහාවට වැදී හඬමි. නැවතත් ඔබ දකින්නට පැමිනෙන්නේ කඳුලු වියැකුනු පසුව මිස ඊට පෙර නම් නොවේ. මා දුර්වලයෙකු බව පෙන්වීමට අකමැත්තෙමි. මිනිස් වනාන්තරයේ දුර්වලයන්ට පැවැත්මක් නැති වග මා අත්දැකීමෙන් උගෙන ඇත. ප්‍රත්‍යක්ෂකොට ඇත්තෙමි. එහෙයින් සැබෑ දුර්වලයෙකු වූ මා ඔබ සැම ඉදිරියේ “පොර” මැට්ටෙන් ශරීරය වසා ශක්තිවන්තයෙකු ලෙස නැඟී හිඳිමි. ශරීරයේ ඉහඳ පණුවන් නළියන වණ කැලැල් නොපෙනෙන්නට අඳිමි, පලඳිමි. ඉන් හමනා නහය හාරන දුගඳ නැසීමට සුවඳ ගල්වමි. කුණු වී ඕජස් ගලන ආධ්‍යාත්මය සුදු පිරුවටයකින් වසාගෙන ශාන්තු වරයෙකු ලෙසින් ඔබ ඉදිරියට පැමිනෙමි. ඒ සියල්ලම ඔබ සියල්ලන් අතර මාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහාමය.

ජීවිතයේ අනේක විධ කටයුතු රාජකාරි මැද, ඇතැම් විට ඒවා මඟහැර මම බ්ලොග් ලියමි. එහි සටහන් කරන්නේ මාගේ ජීවිතයේ සිදුවීම් ය. මතක තබා හැනීමට අවැසි සිදුවීම් ය. චණ්ඩිකම් ය. වැඩිපුර ලැජ්ජාවක් නොහිතෙනා පාරාජයන් ය, අහිමි වීම්ය. කොළුකම් ය. කිසිම විටෙක කළුවරේ දොර වහගෙන කරන දේවල් නොලියමි, අඳුරේ සැඟවා තැබීමට පරිස්සම් වූ කිසිවක් නොලියමි. කොටින්ම මාගේ ජීවිතයේ සිදුවූ, රෙද්දක් ඇඳන් කියන්නට බැරිවූ කිසිවක් මෙහි සටහන් කර නොතැබීමට පරිස්සම් වෙමි. ලියන්නේම මාගේ ප්‍රතිරූපය වර්ධයනය කෙරෙනා දේවල්මය. හාණි වන කිසිවෙක් ලියවෙන්නේම නැත. ඇතැම් විටෙක ආන්දෝලනාත්මක පෙලඹවීමක් ඇතිකරනා යමක් ඉඳ හිටෙක ලියවෙන්නට ඉඩක් නැත්තේ නැත. එයද මතුපිටින් බැලූ කල්හි සෘජු ලෙසම නොපෙනෙන, එනමුත් සැඟවූ යටි අරුතයකින් ප්‍රතිරූප වර්ධනය කරන්නන්මය. මාගේ සමාජීය ප්‍රතිරූපය එක අඟලකින් හෝ ඉහල නංවාගැනීමට මට නොදැනුවත්වම මා ක්‍රියාත්මක වෙමි. එය දලඹුවෙකුගේ ශරීරය පුරා ඇති විෂ ‍රැඳුනු සියුම් කෙඳි ‍රැස ඌ ආරක්ෂා කරනවා මෙන් මා ගොදුරු කර ගැනීමට බලා ඉන්නාවුන් ගෙන් ආරක්ෂා කරයි.

ඇතැම් විටෙක යමෙකුගේ විප්ලවකාරී අදහස් ඇති හෝ මට එකඟවිය නොහැකි කරුණු ඇති ලිපියක් කියෙවා හිතට නැ‍ඟෙන අවංකම හැඟීම ඊට යටින් සටහන් නොකරන්නෙමි. විටෙක සැර හොඳටම බාල කර හෝ සීනි දැවටූ පෙරුංකායං ගුලියක් වන් සටහනක් තබමි. ඒ කිසිවෙකුගේ හිත තැලීම මට තරම් නොවන්නේයැයි සිතෙනා බැවිනි. කිසිවෙකුගේ හරි වැරදි භාවය තීරණය කිරීමට මට අයිතියක් නැත. මට සමාජය හැදීමේ භාරදූර වගකීමක් නැත. එවන්, මට පාලනය කරගත නොහැකි වගකීමක් ගැනීමටද කිසිම අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නැත. මම මගේ දරුවා හදාගනිමි. ඌ උගේ දරුවන් හදනු ඇත. මගේ සමාජ ශෝධනය එතනින් අහවරය. එනමුදු හිතුකොත් එකෙකු ඉඳහිට කොනිත්තමි, ඒ ඌ ආපසු හැරී මාව කොනිත්තන්නේ නැතැයි සිතුනොත් පමණි. ටොක්කක් ඇන්නත් පසුව හිස අතගාමි. එහෙත් යම් ලිපියකට තබනා සටහන පූර්ණ අවංක සටහනක් නොවෙන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ හැම විටෙකම ඒවා කඩු, කිණිසි නොවේ, හුදෙක් මල්, කඳුළු සහ සිනහවකි. එයින් ඔවුන්ට සතුටක් අත් වේනම් එයම මාගේ සතුටට හේතුවකි. මා එවන් ප්‍රතිසටහනක් මාගේ ලිපියක් යටින් සටහන් වී ඇතිබව දැකීම මට සතුටක් වන්නාසේම ඔබ ගේ සටහනකට යටින් ඔබගේ මතය හෝ ස්ථාවරය තහවුරු වන ප්‍රතිසටහනක් දැකීම ඔබටද සතුටක් වන බව දනිමි.

මම හිට්ස් වලට කෑදරය, කමෙන්ට්ස් වලය පණ ඇරලාය. මා මේ සියල්ල ලියන්නේ මා වෙනුවෙන් කියන්න ආසා මුත් ලැජ්ජාය. ඒ එම කතාවේ මා නොකියන දෙයක් ගැබ් වී ඇති බැවිනි. මෙය සත්‍ය වශයෙන්ම ලියන්නේ මා වෙනුවෙන්ම නම් මාගේ පෞද්ගලික මුද්‍රිත දිනපොතක ලියනු විනා මෙසේ අන්තර්ජාලීය සටහන් තබන්නේ නැත. එසේ තැබුවද එය පෞද්ගලික ලෙස තබාගන්නවා විනා සියල්ලන්ටම කියවීමට, සෙවුම්යන්ත්‍ර වලට හසුවීමට ඉඩ නොතබන්නෙමි. කමෙන්ට්ස් දැමිමට ඉඩක් නොතබමි, දිනකට වරක් හෝ බ්ලොග් ස්ටේටස් නොබලමි. වැරදිලා කවුරුන් හෝ තැබූ කමෙන්‍ටුවකට “ස්තූතියි” කියා හෝ ප්‍රතිචාරයක් තබන්නේ නැත. ලිපියක් ලිවීමේදී අනුන්ගේ පොස්ට් වලට ලින්ක්ස් දමන්නේ නැත. බ්ලොග් රෝල් දමන්නේ නැත. සින්ඩි වලට ඇතුලත් කරන්නේද නැත. බ්ලොග් එකට හිට් කවුන්ටර් දමන්නේ නැත. ප්‍රොෆයිල හදන්නේ නැත, ෆලෝවර්ස් ලා තියාගන්නේ නැත. එහෙයින් මා මෙය ලියන්නේ මා වෙනුවෙන්ම නොවේ. කියවනා සුළු හෝ පාඨකයන් උදෙසාද ඉන් කොටසක් වෙන්කෙරේ. තව තවත් පාඨකයක් පිරිසක් ඇතිකර ගැනීමය ආකර්ෂණීය පෝස්ට් ටොපික්ස් දමමි. වැඩි දෙනෙක් කියවන්නට රුචි වර්ගයේ ලිපි පල කරමි, එනමුත් ඉඳ හිටෙක කිසිවෙකු නොකියවනු ඇතැයි, කිසිම ප්‍රතිචාරයක් නොවැටෙනු ඇතැයි සිතුනත් මට යමක් ප්‍රකාශ කිරීමට තදින්ම අවැසි වූවොත් එවන් සටහනක් ද පලකිරීමට පසුබට නොවෙමි. කෙසේ වුවද මාස තුනක්වත් වයස නැති මගේ බ්ලොග් ඉතිහාසයේ එවන් අවශ්‍යතාවයක් තවමත් පැනනැඟී නොමැත.

මා මුදල් හම්බකරගෙන නැත, එමෙන්ම මිනිසුන්ද හම්බකරගෙන නැත. මා සමාජශීලී සත්වයෙක් නොවේ. මුළුගැන්වී සිටීමට කැමැත්තෙමි. ලෙහෙසියෙන් කෙනෙකු හා මිත්‍ර නොවෙමි. මම බොහෝ විට මා ආරක්ෂාකාරීය යන්න තහවුරු වී නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට යාමට අකමැතිය. එසේ නමුදු දන්නා අඳුනන මිනිසුන් බොහෝමයක් ඇත. මා ඔවුන් මිතුරන් ලෙස හැඳින්වීමට අකමැත්තෙමි. ඒ මිතුරා යන්නට මාගේ අර්ථකතනය වෙනස් බැවිනි. දන්නා කියනවුන් හා මිතුරන් අතර මා වෙනසක් දකිමි. බොහෝ කලකකට පෙර දන්නා කියන උන් වී සිට පසුව මිතුරු වී මා හා එක පළලේ ලගින්නට ඉඩ දුන් කිහිප දෙනෙක් මට ඇත. නමුත් ඇතැම් විටෙක උනට මා අවැසි විටෙක මා උන් අහලකවත් නැත. එය උන් මාගෙන් බිඳවීමට තරම් හේතුවක් නොවන බව, මට උන් අවැසි සෑම විටෙකම මා අසල හිඳීමෙන් ඔප්පු කර ඇත.

මෙය මාගේ වර්තමානයේ ඔබ ඉදිරියේ විවෘත වියහැකි උපරිමය ය. මින් එහාට මා වටා ඇති කෝශයේ එකදු සිවියක්වත් නොගලවමි. එසේ වුවහොත් මා පිළිස්සී යනු ඇත.

කොටින්ම මා පෘතුග්ජනය !

චූටිමැණිකෙ නෑ ගම් ගොහින් [අද පුතුපැටියගෙයි මගෙයි දවස]

ඔහෑ ඔහෑ ඌ…… හික් කෑං ඈ…… ඔහෑ ඔහෑ…

හ්ම්…. මම අමාරුවෙන් ඇහැක් ඇරල ඇඳට වම්පැත්තෙ බිත්තියෙ එල්ලපු ඔරලෝසුව බැළුව.

වෙලාව උදේ පහයි

චූටි මැණිකෙ දෙහිවලින් ගාල්ල ඉන්ටර්සිටි බස් එකකට දාල ඇවිල්ල පැය බාගෙකට වැඩිය බුදියගන්න වෙලා නෑ. ඉහ ඉද්දර තියෙන වොට් පහේ බල්බ් එකේ ලාමක කහ පාට එළිය හන්ද එකපාරටම අනිත් ඇහැත් අරින්න අමාරුවක් උනේ නෑ.

ඇයි චූටි පැටියො.. බඩගිනිද මගෙ මැණිකට ආ…

වෙනද මේ වෙලාවට චූටිමැණිකෙගෙන් පුතු පැටිය කුක්කු බොනව. ඒත් අද හදිස්සියෙම ගමේ යන්න උන හන්ද අන්තිමටම කිරි පෙව්වෙ උදේ හතරට විතර. පොඩ්ඩට වැඩිපුර බඩගිණි වෙනවනෙ එලිවෙන ජාමෙට.

ඉන්න මගෙ පැටියො, අම්ම කුක්කු තියල ගියේ.

එහෙම කියල ඇඳ පැත්තක තියාපු ස්ටූල් එක උඩ වතුර භාජනේක තියල තිබුන බෝතලෙන් ෆීඩින් කප් එකට කිරි වක්කරගත්ත. කලබලේ වැඩිකමට සරමෙත් හැළුන ඩිංගිත්තක්. අපරාදෙ.

ඔහෑ ඔහෑ…………  ආයෙමත් පැටිය අඬනව.

හා දැන් හරි වස්තුවෙ. එන්න අපි කුක්කු බොමු….

මම එහෙම්මම ඇ‍ඳෙන් බහින්නෙ නැතුව පැටිය ඉන්න පැත්තට ඇදුන. කලබලේ වැඩිකමට පෙරවන රෙද්දෙ පැටලිලා සරමෙ ගැටෙත් බුරුල් උනා.

බොන්න පැටියො. හා.. මම හැන්දෙන් පොඩ්ඩ පොඩ්ඩ පොවනව. පුතුපැටිය සූප්පුවෙන් කිරි බොන්න හරිම අකමැතියි. සමහර විට සූප්පුවෙන් කිරි එනව වේගෙ මදි ඇති. එහෙමයි කියල සූප්පුවෙ සිදුර ලොකු කරන්න හොඳ නෑ කියල අම්ම කිව්ව. එහෙම උනොත් කිරි නිකන්ම ගලාගන එන හන්ද චූටිමැණිකෙගෙන් කිරි උරන එකක් නෑලු.

එක විදියකට ඉන්නෙ නෑ. අත් දෙකයි කකුල් දෙකයි හයියෙන් ගහනව හරියට වයින් කරල වගේ.

ඔහොම කලොත් නං කිරි බොන්න වෙනෙ නෑ පැටියො. කෝ ඉතිං මට පොවන්න දෙනෙ නෑනෙ ඔයා.

හී.. ආ. ර්ර්ර්…….

ලඟකදි ඉඳල අපි කතාකරනකොට පුතුපැටියත් අපිත් එක්ක කතා කරනව එයාගෙම වචන වලින්. බලාගෙන ඉන්න ආසයි !

කොහොම හරි විනාඩි පහලවක් විතර පොඩ්ඩත් එක්ක හරඹ කරල කිරි අවුන්ස දෙකකට කිට්‍ටු වෙන්න පොවාගත්ත, තවත් අවුන්ස බාගයක් විතර පැටියගෙ ඇඟ පුරාමයි මගෙ සරමෙයි, ඇඳ රෙද්දෙයි.

දැන් ඉතිං බඩ පිරුනනෙ. ආයෙමත් වටයක් නිදාගන්න වෙලාව හරි. තවම ඉතිං කුක්කු බොනවයි නිදාගන්නවයි තමයි දවසෙ වැඩි හරියක්ම.

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
නුඹෙ අම්මා ඇතින්නියා……
ගලෙන් ගලට පනින්නියා…….

ඔහෑ ඔහෑ……. ඕ……….

මොන, නිදාගන්න ගියාම එක විකාරයයි. මගෙ බඩට චූටි පතුල් දෙක ගහල දුන්නක් වගේ නැමිල පිටිපස්සට පනිනව. ඒක හන්දාම මම පුතුපැටිය නිදිකරවන්නෙම ඇඳ උඩට වෙල කකුල් දෙක උඩ කොට්ටයක් තියල.

හා හා.. මගෙ පැටිය දොයියනකෝ….

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
හ්ම්….. හ්ම්…….

මට කවි මතක් වෙන්නෙම නෑ. කොහොම හරි තවත් විනාඩි විස්සක්විතර පෙරළි කරල පැටිය නිදි උකුලෙම. ඇ‍ඳෙන් තියන්න ඕන වැඩිය ගැස්සෙන්නෙ නැතුව. පොඩ්ඩක් හරි වැඩිපුර ගැස්සුනොත් ආපහු ඇහැරිලා අඬනව.

යාන්තං හෙල්ලෙන්නෙ නැතුව තිව්ව. ඊට පස්සෙ වටේට කොට්ට හයක් තියල නෙට් එකෙන් වැහුව.

හම්මෝ නිවන් ගියා වගේ…….. !

ආයෙම නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුව. අම්මෝ වෙලාව හතයි. පැය දෙකක්ම ගිහිල්ල දන්නෙම නැතුව.

දැං ඉතිං ඊලඟ ඩියුටිය.. පොඩ්ඩාගේ චූ රෙදි සේදීම.

ගත්ත ඇඳ පාමුල තිබ්බ රෙදි කූඩෙ අත් දෙකෙන්ම උස්සල. අම්මේ මේකෙ බර. බර නැතුව තියෙයියැ. කලින් දවසෙ හැන්දෑවෙ ඉඳල තෙමපු රෙදිනේ. නැප්කින්, චූටි කලිසම්, කොට් ශීට්, බෙඩ් ශීට්, කොට්ට උර මහ ගොඩයි. පුතුපැටියටත් ඉතිං තෙමන්න ගියාම දිගක් පළලක් නෑ. පළාතම වනසනවනෙ.

ආයෙ ඉතිං මේ රෙදි ටැප් වතුරෙන් හෝදන්නය කියලය. මාසෙ අන්තිමට එන බිල දැක්කම ලේ කෝප වෙනවනෙ. යුනිට් විස්සට මෙහායින් බේරගත්තොත් ශේප්. වැරදිලාවත් විස්ස පැන්නොත් හෙන බිලක් එනව. ඒක ගෙවන්නනං ඉතිං සතියක් වත් ලෙල්ලටම කොස්ට් කටින් කරන්න වෙනව. ඉතිං පර්ස් එක ගැන හිතල අදිනව අඩි විසිපහක් විතර ගැඹුර ලි‍ඳෙන් වතුර. බැරිම උනොත් ඇඟටත් හොඳයිනේ කියල හිතල සැනසෙනව.  එහෙම හිත හදාගෙන කොනක ඉඳන් රෙදිටික හෝදල ගෙදර පිටිපස්සෙ වැලේ ක්ලිප් ගහල එල්ලනව. බැරි හරියක් ඉස්සරහ වැලෙත් එල්ලනව. එතනට අව්ව තදටම වැටෙන නිසා පැය තුනකින් විතර කරවෙන්න වේලිලා.

ඔය ටික කරල ඉවර වෙනකොට ඉසවගන්න බැරි බඩගින්නක් එනව. ඒත් එක්කම මතක් උනා උදේ තේ එක තවම බෝතලේ කියල. කුස්සියට ගිහින් බැලින්නං චූටිමැණිකෙට උණුවතුර බෝතලේ මූඩිය තදකරන්න අමතක වෙලා තේ එක නිවිල ඇල්වතුර ගානටම.

ඔහෑ ඔහෑ.. ඔහෑ……….

අන්න ආයෙමත් පුතුපැටිය ඇහැරිලා. තාත්ත එනවෝ…… නාඬ ඉන්න මගෙ පුතා…..

තේ බොතලේ සින්ක් එකට හලල බෝතලෙත් හෝදල ආයෙමත් දුවනව කාමරේට. මෙන්න කොල්ල නැඟිටල නෙට් එකෙනුත් බාගයක් විතර ඔළුවත් එක්ක ඇඟ එලියට දාගෙන ඇඬිල්ලත් නවත්තල වටපිට බල බල ඉන්නව.

කවුද මේ චන්ඩියා… ඒ…. කෝ බලන්න චන්ඩියා.. කියල මම ඔළුව වන වන නටාගෙන ඇඳ ගාවට යනව.

ඕ….. ආ….. හී….. පුතුපැටියට මාව දැකල සන්තෝසයි.

මගෙ මැණික ඔහොමම ඉන්න, තාත්ත කෑම කාල එනකං.. එහම කියල වටේ විසිරිලා තිබුන කොට්ට බලකො‍ටුව ආපහු පිලිවෙලට හදල තවත් ‍රැට්ල්ස් දෙක තුනකුත් ලඟින් තියල ටක්ගාල දුවල ගියා කෑම කන්න. ආයෙ මගේ කෑම හරිම ඉක්මන්නෙ. පාන් පෙති පහයි පරිප්පුයි පොල්සම්බෝලෙටයි විනාඩි පහයි.

ඔන්න මූලික වැඩටික අහවරයි. දැන් නිදහස්. නිදහස් කිව්වට නිදහස්ම නෑ. පොඩ්ඩව පේන තැනක ඉන්න එපැයි. ආයිත් මම කාමරේ. ඉරිද පත්තරේ බලනත් බැරි උනානෙ. ඒකත් අරං ඇඳට ගියා. පොඩ්ඩ එයාගෙ පාඩුවෙ තනියම සද්ද කරකර සෙල්ලම් බඩුවක් බඩ උඩ තියාගෙන ඉන්නව. මෙන්න මම ඉන්නව දැක්ක විතරයි පැත්ත පෙරලිලා කෙඳිරි ගාන්න පටන්ගත්ත. දැං ඉතිං මොන පත්තරද. පැටිය එක්ක සෙල්ලං කරන්න වෙනව ඒ සේරම පැත්තකින් තියල.

ඩිංග වෙලාවක් යනකොට මෙන්න පැටිය මගේ ඇඟට යටවෙලා තිබුන පත්තරේ අදිනව. එයාටත් බලන්න ඕන වෙලා වගේ. වැඩිය කියවන්න දෙයක් නැති පත්තර පි‍ටුවක් පොඩ්ඩත් දුන්න. බලන්න එපැයි මහ ලොක්කෙක් වගේ සද්ද දදා පත්තරේ බලන අපූරුව. හැබැයි වැඩේ කියන්නෙ උඩ යට මාරුකරන් තමයි කියවන්නෙ.

පොඩ්ඩක් වෙලා යනකොට ඒකත් එපාවෙලා පත්තරේ තීරුවක් ඉරල දැම්ම. එනපොට හරියන්නෙ නැති හන්ද වැඩිය නොතේරෙන්න පත්තරේ අතෙන් ගත්ත.

දැන් වෙලාව දහය හමාරයි. ඒකියන්නෙ පොඩ්ඩ කෙසෙල් කන වෙලාව. ඇඳ උඩ පැටිය එහෙම්මම ඉන්න ඇරල කුස්සියට ගියා කෙසෙල් ගෙඩියක් ගේන්න. කෙසෙල් නම් හරි ඒත් කෝ ෆීඩින් කප් එක කෙසෙල්ගෙඩිය දාල පොඩිකරන්න. හැම තැනම හෙව්ව.

ම්හ්… ! පේන්න නෑ. මම උදේ කිරි පොවල කොහේද තිව්වේ…. ම්……

ආ.. මතක් උනා. කාමරේ ස්ටූල් එක උඩ. ගිහිල්ල බැලින්නං මහ විනාසයයි. ඉතුරු වෙච්ච කිරිවලට කූඹි වැලක් එනව ස්ටූල් කකුල දිගේ. එක ඩිංගක් අමතක උනොත් පළාතක් ඉවරයි.
ඒ සැරේ ඒක උණුවතුර දාල සෝදල කෙසෙල් ගෙඩියත් ඒකට පොඩිකරන් ඇවිල්ල කැව්ව. පුතුපැටිය කෙසෙල්වලට හරිම ආසයි. උදේ කීරි බිව්ව වගේ නෙමෙයි කිසිම කරදරයක් නැතුව කෑව.

ඊටපස්සෙ වඩාහෙන එලියෙ රවුමක් එක්කන් යන්න ඕන. වට පිට ගැන හරි විපරම. කටත් ඇරන් විස්තර හොයන්නෙ.

ඔන්න ටික වෙලාවකින් දඟලන්න කෙඳිරිගාන්න පටන් ගත්ත. ඇසුත් නිකං මැලවෙලා. ආයෙමත් නිදිමත වෙලාද කොහෙද. කාමරේට ගිහිල්ල පැටියව නිදි කරවල, නා ගන්න කියල මම බාත් රූම් එකට රිංගුව. හ්ම්ම්…. ටයිල් ටික ටිකක් හැඩිවෙලා. වෙනදනම් ඒවත් සෝදල එහම තමයි නාන්නෙ. ඒත් අද ඒ සෙල්ලං කරන්න වෙලාවක් නෑනෙ. ටක් ගාල ෂවර් එකට ඔළුව යන්තං තෙමාගෙන සබං ගෑව විතරයි

ඔහෑ ඔහෑ..ඔහෑ…..

මොකෝ මෙහෙම්මම දුවන්නයැ. ඇඟ සේරම සබන් නෙ.

හා හා පුතා, තාත්ත දැන් එනවා…ආ… නාඬා ඉන්න මගේ පැටියා.. ඕ ඕ….. බාත් රූම් එකේ ඉඳන් නානගමන්ම කතා කරල නලවගත්ත යාන්තං.

මං එනකොට මෙන්න කොට්ටෙනුත් පැත්තකට පැනල මුනින් අතට ආයෙමත් නිදි. ඇහැරුනොත් ආයෙමත් නිදි කරන්න තියෙන අමාරුව දන්න හන්ද වැඩි සෙල්ලං නොදා විසිරිලා තිබුන කොට්ට ටික විතරක් හදල එහාට උනා.

ඊටපස්සෙ ජාලෙ පැත්තෙ රවුමක් දාල ඔ‍ෆිස් එකේ තත්වෙ එහෙම බලාගෙන අහවර වෙනකොට ඔන්න මටත් එනව දවල් බඩගින්න. ආයෙ බලන් ඉන්නෙ මොකටද කියල ඒකත් අහවර කරල ආයෙමත් උදේ බලන්න බැරිවෙච්ච පත්තරේ එහම බලල හීණියට දමාපු නින්ද කැඩුනෙ ආපහු පොඩ්ඩගෙ ඇඬිල්ලට.

දැන් නම් ඉතිං ආයෙම නිදිකරවනව බොරු, දැන් ඉතිං එයා එක්ක සෙල්ලම් කරන්න, උඩදාන්න, කිතිකවන්න ඕන. ඒ වෙලාවට බලන්න ඕන තියෙන සන්තෝසෙ. කෙළ බේර බේර හිනා වෙන්න. පුතුපැටිය හරිම ආසයි එයාගෙ බඩට අපි මූණ තියල සද්ද ඇහෙන්න පිඹිනවට. තව  ආසම දෙයක් තමයි මගේ බඩ උඩ මුනින් අතට හාන්සි වෙලා ඉන්න. ඔය සේරම දේවල් කරල පැට්ටට ඇති වුනාම ආයමත් වඩාහෙන ඇවිදින්න ඕන. දැං ඉතිං හැන්දැ වෙලා නිසා එලියට එක්කන් යන්න බැ. මදුරුවො පිරිල එලියෙ.

චූටිමැණිකෙ ඉක්මනට එනවනම් දැන් හොඳයි. පුතුපැටිය නාවන්නත් බැරිඋන නිසා ඇඟවත් සෝදවන්න. නැත්නං ඉතිං ‍රැට නිදිකරවනව බොරු, හරි දාඩිය මේ දවස්වල.

කෝල් එකක්වත් දීල බලන්න ඕන කොයි හරියෙද දැන් ඉන්නෙ කියල. සමහරවිට දැන් නුගේගොඩට කිට්‍ටුකරල ඇත්තෙ.

දෙකකට

මම මැරෙනව යකෝ…

ඔන්න ඔහොම කියල අදටත් යහතින් ජීවත්වෙන කී දෙනක් ඉන්නවද….?

වැඩිය ඕනෙ නෑ. මමත් කී පාරක් ඔහොම කියල තියෙනවද, එහෙම කියපු දෙතුන් පාරට වඩා කී පාරක් නං හිතිල තියෙනවද. මං නං මළේ නෑ. යස අගේට පවුලකුත් කාගෙන බ්ලොග් එකකුත් කොරං ඉන්නව. ඔය හිතට එන කේන්තියට ඔහොම කිව්වට මැරෙන්නෙ මොන හිතකින්ද. දාල යන්න බැරි දේවල් කීයක් නං තියෙනවද අපි වටේ එතිල.

කියන්නං වාලෙ එහෙම කිව්වට මට හිතෙන විදියටනං  ඔය දාල යන්න බැරි කිසිම දෙයක් අපි ලං කරං නෑ. ජිවත් වීමේ ආසාව හන්ද අපිට නොදැනෙන්න යටි හිත අපිව මොනව හරි දෙයකට ඇලීමක් ඇතිකරනව. එතකොට හිතෙනව මම මැරිල කොහොමද කියල.

මැරෙන්න හිතෙන අවස්ථා වලකන පොදු හේතු කාරනා විදියට,

මම මැරුණොත් ගෑණි / මනුස්සය කන්නෙ බොන්නෙ කොහොමද?
දරුවොන්ට යන කලදවසක් තියෙයිද?
වයසක අම්ම / තාත්ත බලාගන්නෙ කව්ද?

ඔය වගේ අතිශය සංවේදී හේතු වල ඉඳල

ඉඩං කඩං වල වැඩට දුවපනින්න මං නැතුව කවුද ඉන්නෙ?
පංසලට දානෙ ඩිංග ගෙනියන්නෙ කව්ද?
ගෑණුළමය / පිරිමි ළමය තනි වේවි නේද?
බල්ලට කන්න දෙන්නෙ කව්ද?

වගේ එච්චර බලපෑමක් නොකරන කාරනා වෙනකන් හේතුත් ඊට අදාල අනෙකුත් අතුරු කරුණු කාරණාත් මතක් වෙනව ඒ වෙලාවට. ඔන්න එතකොට ආපහු මැරෙන්න යන එකාට ජීවිත ආසාව පහල වෙනව.

වැඩිය ඕනෙ නෑ, හය වසරෙදි විතර මටත් මැරෙන්න හිතුන.

මගෙ අම්මෝ… මැරෙන්න….. ඕව් ඕව් මැරෙන්න තමයි.

කෝච්චියට බෙල්ල තියන්න, වාහනේකට පනින්න, කො‍ටු තාප්පෙ උසම කෙළවරෙන් මූදට පනින්න, වස බොන්න, බෙල්ල වැල දාගන්න ඔය මොන ක්‍රමයකින් හරි  මැරෙන්න මයි මට ඕන උනේ එදානං. ඔය ත්‍රස්ත චේතනාවෙන් ඩිංගක් වෙලා ඉන්නකොට මට එකපාරටම මතක් උනා තාත්ත හවසට පූස් පැටියෙක් ගේනව කියල. ඔන්න ඩිංගක් විතර අර මැරෙන්න ආපු හිත වෙනස් වෙන්න පටන් ගත්ත. මම මැරුනොත් අර පූස් පැටිය බලාගන්නෙ කව්ද, ඌත් එක්ක සෙල්ලං කරන්නෙ කව්ද, නාවන්නෙ කව්ද [පූසො නාවන්නෙ නෑ නේද?] ඔන්න ඔය වගේ දේවල් හන්ද ආපහු මම ජීවත් වෙන්න තීරණය කලා. හොඳ වෙලාවට තාත්ත මට කලින් ම කියල තිබුනෙ හවසට පූස් පැටියෙක් ගේනව කියල. නැත්නං ඉතිං බලාගන්න තිබුන කාට කාටත් මට කේන්ති ආවම වෙන්නෙ මොකක්ද කියල.

අනික බොහෝමයක් දෙනා මැරෙන්නෙ තව කෙනක්ට පාඩමක් උගන්නන්න හිතාගෙන. ගොඩක් වෙලාවට ගෑණු ළමය හරි පිරිමි ළමය හරි තරහ  වුනාම මැරෙන්නෙම ඒ හේතුව හින්ද. මහේ මරණෙට වග කියන්න ඕන ඔයා කියන එක තවත් තහවුරු කරන්න සමහර වෙලාවට සටහනකුත් ලියලම යන්න අමතක කරන්නෙ නෑ සමහරු. ඔතනදි අර පූස ගැන මතක් කරල මාව බේරගත්තු යටි හිතත් සමහර විට දුර්වල වෙනව ඇති ඒ වෙලාවෙ වියෝ දුකේ තියන ආවේගයට. හැබැයි ජීවත් වෙන්න පුංචි වාසනාවක් හරි තිබිල ඉස්පිරිතාලෙකට ගෙනිච්චොත් සීයට අනූ නමයක් ම කියන්නෙ “මොනව හරි කරල මාව බේරගන්න කියල” ඒ අර ආවේගය පහ වෙලා ආපහු ජීවිත ආසාව මතුවෙන්න තරං කාලයක් ගතවෙච්ච හන්ද.

හිතේ ආවේගෙට මැරෙන්නෙ කියල විවිධ උපක්‍රම පාවිච්චි කරනව, ගොඩක් වෙලාවට තමන්ට ඉක්මනින්ම ලංකරගන්න පුළුවන් උපාය තමයි යොදාගන්නෙ, ඔය ඉක්මන් වීම හන්දම ඒක මැරෙන්න තියන ක්‍රමයක් නොවෙන්නත් පුලුවන්. මැරෙන්න හදනකොට මොන නැකැත්ද නේද. මම දන්න ගෑණුළමයෙක් සාමන්‍ය පෙළ ප්‍රතිඵල මදියි කියල තාත්ත දොස් කිව්වට අර ටොයිලට් සුද්ධකරන්න පාවිචිචි කරන හාපික් බිව්ව. අනේ කරුමෙ කියන්නෙ මැරෙන්න බැරි වුනා. හැබැයි හාපික් වලට පිච්චුන බඩවැල් කපල අයින් කලා, දැන් ඒ ළමයට එක පාර කෑම ගොඩක් කන්න බෑ, පොඩි පොඩි කෑම වේල් වැඩි ගනනක් තමයි කන්නෙ. ඒ මදිවට හාපික් බබා කියල කාඩ් එකකුත් වැදිල තිබුන. තව ඔය භූමිතෙල් බීපු අය, මී පාසනම් කාපු අය, පෙට්‍රල් බීපු අය [ගිණි කූරකුත් ඕන වැඩේ හරියටම වෙන්න] ජීවිතේ බේරගත්තු කතා පත්තරව අනන්තවත් තිබුන පහු ගිය දවස්වල.

දැන් නං ඒව දකින්න නැත්තෙ පත්තර වල ලියල ලියලම උන්ට එපා වෙලාද එහෙම නැත්නං පණ නහගන්න එක අඩුවෙලාද මන්ද. කොහොමිං කොහොම හරි පණ නහගන්න උන් අඩුවෙනවනං මේ නවම් වගේම අනිත් හැම දෙනාම සතු‍ටුවෙනව නෙ. ඔය වගේ පණ නහගන්න කෙනෙක් ගෙ ජීවිතය බේරගන්න පුළුවන් නම්. පින් පව් පැත්තක තියල හිතුවත් සැහෙන්න වටින දෙයක්. හ්ම්ම්.. කොහොමද අපි එහෙම කරන්නෙ….. තම තමන්ගෙ වටපිටාව ගැන සැලකිලිමත් වෙනවනං, තව කෙනෙක් ගැන හොයල බලනවනං, අනුනනට ඇහුම්කන් දෙනවනං, තවත් කෙනෙක්ගෙ හදිසි වෙනස් වීමකට සංවේදී වෙනවනං ඔය සියදිවි හාණි කරගන්න පාදක වෙන හේතු ගොඩක් වලක්වාගන්න පුළුවන්.

මිනිස් හිත කියන්නෙ ගොඩක් දරුණුවෙන්න වගේම හිතාගන්න බැරිතරම් මෘදු, සංවේදී වෙන්න පුළුවන් දෙයක්. එහෙම මෘදු වෙච්ච වෙලාවක ඇල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් දුක හිතෙන්න පුළුවන්. ඒක නිසා ජීවිතේ කොයිම මොහොතකවත් ඇහුම් කන් දෙන්න තියෙන අවස්ථාවන් මගහරින්න එපා. සමහර වෙලාවට ඒ ඔයාගෙ ආදරණීය බිරිඳ, අම්ම, තාත්ත, නංගි, මල්ලි, දුව, පුතා, අසල්වැසිය, වෙන්න පුළුවන්. දුකින් ඉන්නව දැක්කොත් හොයල බලන්න අමතක කරන්න එපා. අනුකම්පාවෙන්, ආදරෙයන් කතාකරන වචනයකට, පුංචි හරි බලාපොරොත්තුවකට, හිනාවකට නැතිවෙන්න යන ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි.

වෙන්න ඕන මොකෝ ඔය පෙට්‍රෝලියම් බේස් එක නැතුව ක්‍රීම් හදන්නෙ අමාරුයි.
%d bloggers like this: