අමතකද මචං උඹට … ? [අමතක වීම වෙලාවකට හරිම කාලකණ්නි දෙයක්]
මැයි 22, 2014 ප්‍රතිචාර 35
ඉස්කෝලෙ පොඩි පන්තිවල අපිත් එක්කම ඉඳල ටිකෙන් ටික ලොකු පන්තිවලට යනකොට ඒ කාලෙ හිටපු යාළුවො ඉබේම මඟෑරෙන එක මහ අමුතු දෙයක් නෙවෙයි.
සමහර වෙලාවට එහෙම මඟෑරෙන්නෙ ඒ කාලෙ ඉඳපු බොහොම හොඳ යාළුවො වෙන්න පුළුවන්. අපි කිසිම දවසක දැන ගන්න එකෙක් නෑ ඒ අය කොච්චර දුරකට අනාගතේදි හොඳ යාළුවො වෙන්න පුළුවන් කමක් තිබුන අයද කියල.
ඒ දවස් වල අපේ හිත් ගොඩක් පොඩියි යාළුවො ගොඩක් රඳවාගන්න. ගොඩක් වෙලාවට අපේ යාළුවො පන්තියෙන් පන්තිය වෙනස් වෙනව. ගොඩක් වෙලාවට හොඳම යාළුව වෙන්නෙ අල්ලපු පුටුවෙ වාඩිවෙලා ඉන්න කෙනා. එහමත් නැත්නම් මගේ තරහ කාරයගෙ තරහ කාරයා. සමහර වෙලාවට සුවඳ ගහන මකන කැල්ලක්, එහෙමත් නැත්නම් තුඩවල් මාරුකරන පැන්සලක් තියන කෙනා හොඳම යාළුව වෙනව.
ඒ කාලෙ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙදි හතර පහ වසර වලදි හොඳම යාළුව වෙලා හිටිය කියල මතකයේ තියෙන්නෙ මධූක කියල කළු උස පොහොසත් කොල්ලෙක්.
මම යාළු උනේ මිනිහ ගේන හැම් පෙති මැදිකරපු සැන්ඩ්විච් කන්නයි දෙපැත්ත මාරු කරල ලියන්න පුළුවන් කළුපාට හතරැස් පෑනයි නිසාද කොහෙද. ආණ්ඩුවෙ මාස් පඩි ගත්ත අපේ අම්මටයි තාත්තටයි මට හැම් ගිල්ලන්න වත්කමක් කොයින්ද ?
තව උන්න බොහොම ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙකුගෙ පුතෙකුත් අපිත් එක්ක අසිත් කියල. ඒ නම් පහ වසර වෙනකල් විතරයි. ඊට පස්සෙ මිනිහ කොළඹ ඉස්කෝලෙකටද කොහෙද ගියා. අසිත් එක්ක යාළුවෙලා උන්නෙ උගෙ දනිහ ගාවටම දිග නිල්පාට කොට කලිසමේ තිබිච්ච අමුතු පෙනුමටද කොහද.
මේ මෑතක මධුකගෙන් නොම්මරේ ඉල්ලගෙන කතාකරන ගමන් ඔය කලිසමේ විස්තරේ කිව්වම ඌ කට කනේ තියාගෙන හිනාවුනා උඹ මොකටද මයෙ කලිසම පස්සෙ ආවෙ කියල.තව මොනවද මංද අළුගුත්තේරු කතා තුන හතරකුත් කිව්වට පස්සෙ මට බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනව ගෑණු පරාණයක් මහ හයියෙන් හිනාවෙනව. ඒ මොකක්ද කියල ඇහුවම ඌ කියාපි “මචං මම මේ වයිෆ් එක්ක ඩ්‍රයිව් කරනගමන් ස්පීකර් ෆෝන් දාල තියෙන්නෙ” කියල.
උන් දෙන්න වගේම පොඩිකාලෙ එකට ඉඳල අමතක වෙලා ගියපු තවත් අපූරු යාළුවෙක් ආයෙම මූණු පොත නිසා අවුරුදු දහයකට දොලහකට විතර පස්සෙ හොයාගත්ත. අනුෂ්කගෙ [අනුවර්ත නමක්] තිබිච්ච අමුතු වචන නිසා ඒ කාලෙ හරිම ජනප්‍රියයි. මට හොඳට මතකයි මිනිහට “ටොනික් පියන්” කියල කියන්න බෑ. කිව්වෙම “බීම පියන්” කියල.
කතා කරන්නෙත් හරිම අමුතු එකෝ එකෙකුත් එක්ක. මගෙ මතකෙ හැටියට මිනිහ උන්නෙ හොස්ටල් එකේ. හරිම හිත හොඳ, බොරු සෝබන නැති කොල්ලෙක් වෙච්ච ඌ එක්ක යාළුකමක් ගොඩ නැඟුනෙ උගෙ හොඳ හිත නිසා වෙන්න ඕනෙ [මට හරියට මතක නෑ]
ඉස්සර කොච්චර හොඳ යාළුවෙක් උනත් දැං කොහොමද දන්නෙ නැති නිසා මූණු පොතේ මුලින්ම චැට් කරන්න පටන්ගත්තෙ වැඩිය විශ්වාසයක් නැතිව. මොකද ඉස්සර වගේම තාමත් හිත හොඳ ඇති කියල කතාබහ කරපු තුන් හතර දෙනෙක්ම ඒ වෙනකොට බොහොම වෙනස් වෙලා උන්න නිසා මට මේක ගැනත් වැඩිය ෂුවර් එකක් තිබුනෙ නෑ. ඒත් වචනයක් දෙකක් චැට් කරනකොට තමයි තේරුනේ තවමත් ඉන්නෙ ඉස්සර එකාම තමයි කියල.
මූණු පොතේ චැට් එකෙන් පරණ විස්තර, අළුත් විස්තර එහෙම කතා කරල ආයෙම සෙට් වෙමු කියල ටෙලිෆෝන් නොම්මරත් මාරු කරගත්ත. ඊට දෙදොහකට පස්සෙ මට අනුෂ්කට කෝල් එකක් ගන්න හිතිල රිංග් කරල බැලුව. ම්හ්.. නෑ සද්දයක්. ආයෙම ට්‍රයි කලා, ඒත් නෑ රිංග්ස් යනව…… ආන්සර් කරන්නෙ නෑ. මොනවහරි හදිස්සි වැඩක් වෙන්න ඇති කියල පස්සෙ කෝල් කරනව කියල හිතාගෙන නිකා උන්න. ඊලඟ දවසෙත් මිනිහගෙන් නෑ උත්තරයක්.
මොන මඟුලක්ද, දැන් මට යකා නැඟල. මූ මූණු පොතේ චැට් එකෙන් නම් පන දෙන්න වගේ කතාව. ඒත් කෝල් කලාම ආන්සර් කරන්නෙ නෑ. බැරිම තැන මම දැම්ම ටෙක්ස්ට් මැසේජ් එකක් ඌට හොඳටම බැනල, “බීරි වෙලාද යකෝ කෝල් කලාම ආන්සර් කරන්න බැරි” කියල.
මෙන්න ඒ සැනින්ම රිප්ලයි එකෙක් උගෙන්.
“ඇයි මචං උඹට අමතක උනාද මගෙ කන් හරියට ඇහෙන්නෙ නෑනෙ” කියල.
මට මිනිහගෙ ටොනික් පියන් / බීම පියන් කතාව මතකයේ තිබුනට ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්න අකමැති නිසා බෑග් එකටම වෙලා හිටපු හියරින්-ඒඩ් එක අමතක වෙලා.
අමතක වීම් මිනිස්සුන්ගෙ හිත් කොච්චර රිදවනවද………………… මහ කාලකණ්ණි හැඟීමක් කාලයක් යනකන් මගෙ හිතේ තිබුන ඒ සිදුවීම නිසා.
ප.ලි : අද වෙනකොට අනුෂ්කත් මේ නවම් මාවතට එනව. පූර්ණ අනුමැතිය ඇතුව තමයි සටහන පල කලේ.