චූටිමැණිකෙ නෑ ගම් ගොහින් [අද පුතුපැටියගෙයි මගෙයි දවස]

ඔහෑ ඔහෑ ඌ…… හික් කෑං ඈ…… ඔහෑ ඔහෑ…

හ්ම්…. මම අමාරුවෙන් ඇහැක් ඇරල ඇඳට වම්පැත්තෙ බිත්තියෙ එල්ලපු ඔරලෝසුව බැළුව.

වෙලාව උදේ පහයි

චූටි මැණිකෙ දෙහිවලින් ගාල්ල ඉන්ටර්සිටි බස් එකකට දාල ඇවිල්ල පැය බාගෙකට වැඩිය බුදියගන්න වෙලා නෑ. ඉහ ඉද්දර තියෙන වොට් පහේ බල්බ් එකේ ලාමක කහ පාට එළිය හන්ද එකපාරටම අනිත් ඇහැත් අරින්න අමාරුවක් උනේ නෑ.

ඇයි චූටි පැටියො.. බඩගිනිද මගෙ මැණිකට ආ…

වෙනද මේ වෙලාවට චූටිමැණිකෙගෙන් පුතු පැටිය කුක්කු බොනව. ඒත් අද හදිස්සියෙම ගමේ යන්න උන හන්ද අන්තිමටම කිරි පෙව්වෙ උදේ හතරට විතර. පොඩ්ඩට වැඩිපුර බඩගිණි වෙනවනෙ එලිවෙන ජාමෙට.

ඉන්න මගෙ පැටියො, අම්ම කුක්කු තියල ගියේ.

එහෙම කියල ඇඳ පැත්තක තියාපු ස්ටූල් එක උඩ වතුර භාජනේක තියල තිබුන බෝතලෙන් ෆීඩින් කප් එකට කිරි වක්කරගත්ත. කලබලේ වැඩිකමට සරමෙත් හැළුන ඩිංගිත්තක්. අපරාදෙ.

ඔහෑ ඔහෑ…………  ආයෙමත් පැටිය අඬනව.

හා දැන් හරි වස්තුවෙ. එන්න අපි කුක්කු බොමු….

මම එහෙම්මම ඇ‍ඳෙන් බහින්නෙ නැතුව පැටිය ඉන්න පැත්තට ඇදුන. කලබලේ වැඩිකමට පෙරවන රෙද්දෙ පැටලිලා සරමෙ ගැටෙත් බුරුල් උනා.

බොන්න පැටියො. හා.. මම හැන්දෙන් පොඩ්ඩ පොඩ්ඩ පොවනව. පුතුපැටිය සූප්පුවෙන් කිරි බොන්න හරිම අකමැතියි. සමහර විට සූප්පුවෙන් කිරි එනව වේගෙ මදි ඇති. එහෙමයි කියල සූප්පුවෙ සිදුර ලොකු කරන්න හොඳ නෑ කියල අම්ම කිව්ව. එහෙම උනොත් කිරි නිකන්ම ගලාගන එන හන්ද චූටිමැණිකෙගෙන් කිරි උරන එකක් නෑලු.

එක විදියකට ඉන්නෙ නෑ. අත් දෙකයි කකුල් දෙකයි හයියෙන් ගහනව හරියට වයින් කරල වගේ.

ඔහොම කලොත් නං කිරි බොන්න වෙනෙ නෑ පැටියො. කෝ ඉතිං මට පොවන්න දෙනෙ නෑනෙ ඔයා.

හී.. ආ. ර්ර්ර්…….

ලඟකදි ඉඳල අපි කතාකරනකොට පුතුපැටියත් අපිත් එක්ක කතා කරනව එයාගෙම වචන වලින්. බලාගෙන ඉන්න ආසයි !

කොහොම හරි විනාඩි පහලවක් විතර පොඩ්ඩත් එක්ක හරඹ කරල කිරි අවුන්ස දෙකකට කිට්‍ටු වෙන්න පොවාගත්ත, තවත් අවුන්ස බාගයක් විතර පැටියගෙ ඇඟ පුරාමයි මගෙ සරමෙයි, ඇඳ රෙද්දෙයි.

දැන් ඉතිං බඩ පිරුනනෙ. ආයෙමත් වටයක් නිදාගන්න වෙලාව හරි. තවම ඉතිං කුක්කු බොනවයි නිදාගන්නවයි තමයි දවසෙ වැඩි හරියක්ම.

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
නුඹෙ අම්මා ඇතින්නියා……
ගලෙන් ගලට පනින්නියා…….

ඔහෑ ඔහෑ……. ඕ……….

මොන, නිදාගන්න ගියාම එක විකාරයයි. මගෙ බඩට චූටි පතුල් දෙක ගහල දුන්නක් වගේ නැමිල පිටිපස්සට පනිනව. ඒක හන්දාම මම පුතුපැටිය නිදිකරවන්නෙම ඇඳ උඩට වෙල කකුල් දෙක උඩ කොට්ටයක් තියල.

හා හා.. මගෙ පැටිය දොයියනකෝ….

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
හ්ම්….. හ්ම්…….

මට කවි මතක් වෙන්නෙම නෑ. කොහොම හරි තවත් විනාඩි විස්සක්විතර පෙරළි කරල පැටිය නිදි උකුලෙම. ඇ‍ඳෙන් තියන්න ඕන වැඩිය ගැස්සෙන්නෙ නැතුව. පොඩ්ඩක් හරි වැඩිපුර ගැස්සුනොත් ආපහු ඇහැරිලා අඬනව.

යාන්තං හෙල්ලෙන්නෙ නැතුව තිව්ව. ඊට පස්සෙ වටේට කොට්ට හයක් තියල නෙට් එකෙන් වැහුව.

හම්මෝ නිවන් ගියා වගේ…….. !

ආයෙම නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුව. අම්මෝ වෙලාව හතයි. පැය දෙකක්ම ගිහිල්ල දන්නෙම නැතුව.

දැං ඉතිං ඊලඟ ඩියුටිය.. පොඩ්ඩාගේ චූ රෙදි සේදීම.

ගත්ත ඇඳ පාමුල තිබ්බ රෙදි කූඩෙ අත් දෙකෙන්ම උස්සල. අම්මේ මේකෙ බර. බර නැතුව තියෙයියැ. කලින් දවසෙ හැන්දෑවෙ ඉඳල තෙමපු රෙදිනේ. නැප්කින්, චූටි කලිසම්, කොට් ශීට්, බෙඩ් ශීට්, කොට්ට උර මහ ගොඩයි. පුතුපැටියටත් ඉතිං තෙමන්න ගියාම දිගක් පළලක් නෑ. පළාතම වනසනවනෙ.

ආයෙ ඉතිං මේ රෙදි ටැප් වතුරෙන් හෝදන්නය කියලය. මාසෙ අන්තිමට එන බිල දැක්කම ලේ කෝප වෙනවනෙ. යුනිට් විස්සට මෙහායින් බේරගත්තොත් ශේප්. වැරදිලාවත් විස්ස පැන්නොත් හෙන බිලක් එනව. ඒක ගෙවන්නනං ඉතිං සතියක් වත් ලෙල්ලටම කොස්ට් කටින් කරන්න වෙනව. ඉතිං පර්ස් එක ගැන හිතල අදිනව අඩි විසිපහක් විතර ගැඹුර ලි‍ඳෙන් වතුර. බැරිම උනොත් ඇඟටත් හොඳයිනේ කියල හිතල සැනසෙනව.  එහෙම හිත හදාගෙන කොනක ඉඳන් රෙදිටික හෝදල ගෙදර පිටිපස්සෙ වැලේ ක්ලිප් ගහල එල්ලනව. බැරි හරියක් ඉස්සරහ වැලෙත් එල්ලනව. එතනට අව්ව තදටම වැටෙන නිසා පැය තුනකින් විතර කරවෙන්න වේලිලා.

ඔය ටික කරල ඉවර වෙනකොට ඉසවගන්න බැරි බඩගින්නක් එනව. ඒත් එක්කම මතක් උනා උදේ තේ එක තවම බෝතලේ කියල. කුස්සියට ගිහින් බැලින්නං චූටිමැණිකෙට උණුවතුර බෝතලේ මූඩිය තදකරන්න අමතක වෙලා තේ එක නිවිල ඇල්වතුර ගානටම.

ඔහෑ ඔහෑ.. ඔහෑ……….

අන්න ආයෙමත් පුතුපැටිය ඇහැරිලා. තාත්ත එනවෝ…… නාඬ ඉන්න මගෙ පුතා…..

තේ බොතලේ සින්ක් එකට හලල බෝතලෙත් හෝදල ආයෙමත් දුවනව කාමරේට. මෙන්න කොල්ල නැඟිටල නෙට් එකෙනුත් බාගයක් විතර ඔළුවත් එක්ක ඇඟ එලියට දාගෙන ඇඬිල්ලත් නවත්තල වටපිට බල බල ඉන්නව.

කවුද මේ චන්ඩියා… ඒ…. කෝ බලන්න චන්ඩියා.. කියල මම ඔළුව වන වන නටාගෙන ඇඳ ගාවට යනව.

ඕ….. ආ….. හී….. පුතුපැටියට මාව දැකල සන්තෝසයි.

මගෙ මැණික ඔහොමම ඉන්න, තාත්ත කෑම කාල එනකං.. එහම කියල වටේ විසිරිලා තිබුන කොට්ට බලකො‍ටුව ආපහු පිලිවෙලට හදල තවත් ‍රැට්ල්ස් දෙක තුනකුත් ලඟින් තියල ටක්ගාල දුවල ගියා කෑම කන්න. ආයෙ මගේ කෑම හරිම ඉක්මන්නෙ. පාන් පෙති පහයි පරිප්පුයි පොල්සම්බෝලෙටයි විනාඩි පහයි.

ඔන්න මූලික වැඩටික අහවරයි. දැන් නිදහස්. නිදහස් කිව්වට නිදහස්ම නෑ. පොඩ්ඩව පේන තැනක ඉන්න එපැයි. ආයිත් මම කාමරේ. ඉරිද පත්තරේ බලනත් බැරි උනානෙ. ඒකත් අරං ඇඳට ගියා. පොඩ්ඩ එයාගෙ පාඩුවෙ තනියම සද්ද කරකර සෙල්ලම් බඩුවක් බඩ උඩ තියාගෙන ඉන්නව. මෙන්න මම ඉන්නව දැක්ක විතරයි පැත්ත පෙරලිලා කෙඳිරි ගාන්න පටන්ගත්ත. දැං ඉතිං මොන පත්තරද. පැටිය එක්ක සෙල්ලං කරන්න වෙනව ඒ සේරම පැත්තකින් තියල.

ඩිංග වෙලාවක් යනකොට මෙන්න පැටිය මගේ ඇඟට යටවෙලා තිබුන පත්තරේ අදිනව. එයාටත් බලන්න ඕන වෙලා වගේ. වැඩිය කියවන්න දෙයක් නැති පත්තර පි‍ටුවක් පොඩ්ඩත් දුන්න. බලන්න එපැයි මහ ලොක්කෙක් වගේ සද්ද දදා පත්තරේ බලන අපූරුව. හැබැයි වැඩේ කියන්නෙ උඩ යට මාරුකරන් තමයි කියවන්නෙ.

පොඩ්ඩක් වෙලා යනකොට ඒකත් එපාවෙලා පත්තරේ තීරුවක් ඉරල දැම්ම. එනපොට හරියන්නෙ නැති හන්ද වැඩිය නොතේරෙන්න පත්තරේ අතෙන් ගත්ත.

දැන් වෙලාව දහය හමාරයි. ඒකියන්නෙ පොඩ්ඩ කෙසෙල් කන වෙලාව. ඇඳ උඩ පැටිය එහෙම්මම ඉන්න ඇරල කුස්සියට ගියා කෙසෙල් ගෙඩියක් ගේන්න. කෙසෙල් නම් හරි ඒත් කෝ ෆීඩින් කප් එක කෙසෙල්ගෙඩිය දාල පොඩිකරන්න. හැම තැනම හෙව්ව.

ම්හ්… ! පේන්න නෑ. මම උදේ කිරි පොවල කොහේද තිව්වේ…. ම්……

ආ.. මතක් උනා. කාමරේ ස්ටූල් එක උඩ. ගිහිල්ල බැලින්නං මහ විනාසයයි. ඉතුරු වෙච්ච කිරිවලට කූඹි වැලක් එනව ස්ටූල් කකුල දිගේ. එක ඩිංගක් අමතක උනොත් පළාතක් ඉවරයි.
ඒ සැරේ ඒක උණුවතුර දාල සෝදල කෙසෙල් ගෙඩියත් ඒකට පොඩිකරන් ඇවිල්ල කැව්ව. පුතුපැටිය කෙසෙල්වලට හරිම ආසයි. උදේ කීරි බිව්ව වගේ නෙමෙයි කිසිම කරදරයක් නැතුව කෑව.

ඊටපස්සෙ වඩාහෙන එලියෙ රවුමක් එක්කන් යන්න ඕන. වට පිට ගැන හරි විපරම. කටත් ඇරන් විස්තර හොයන්නෙ.

ඔන්න ටික වෙලාවකින් දඟලන්න කෙඳිරිගාන්න පටන් ගත්ත. ඇසුත් නිකං මැලවෙලා. ආයෙමත් නිදිමත වෙලාද කොහෙද. කාමරේට ගිහිල්ල පැටියව නිදි කරවල, නා ගන්න කියල මම බාත් රූම් එකට රිංගුව. හ්ම්ම්…. ටයිල් ටික ටිකක් හැඩිවෙලා. වෙනදනම් ඒවත් සෝදල එහම තමයි නාන්නෙ. ඒත් අද ඒ සෙල්ලං කරන්න වෙලාවක් නෑනෙ. ටක් ගාල ෂවර් එකට ඔළුව යන්තං තෙමාගෙන සබං ගෑව විතරයි

ඔහෑ ඔහෑ..ඔහෑ…..

මොකෝ මෙහෙම්මම දුවන්නයැ. ඇඟ සේරම සබන් නෙ.

හා හා පුතා, තාත්ත දැන් එනවා…ආ… නාඬා ඉන්න මගේ පැටියා.. ඕ ඕ….. බාත් රූම් එකේ ඉඳන් නානගමන්ම කතා කරල නලවගත්ත යාන්තං.

මං එනකොට මෙන්න කොට්ටෙනුත් පැත්තකට පැනල මුනින් අතට ආයෙමත් නිදි. ඇහැරුනොත් ආයෙමත් නිදි කරන්න තියෙන අමාරුව දන්න හන්ද වැඩි සෙල්ලං නොදා විසිරිලා තිබුන කොට්ට ටික විතරක් හදල එහාට උනා.

ඊටපස්සෙ ජාලෙ පැත්තෙ රවුමක් දාල ඔ‍ෆිස් එකේ තත්වෙ එහෙම බලාගෙන අහවර වෙනකොට ඔන්න මටත් එනව දවල් බඩගින්න. ආයෙ බලන් ඉන්නෙ මොකටද කියල ඒකත් අහවර කරල ආයෙමත් උදේ බලන්න බැරිවෙච්ච පත්තරේ එහම බලල හීණියට දමාපු නින්ද කැඩුනෙ ආපහු පොඩ්ඩගෙ ඇඬිල්ලට.

දැන් නම් ඉතිං ආයෙම නිදිකරවනව බොරු, දැන් ඉතිං එයා එක්ක සෙල්ලම් කරන්න, උඩදාන්න, කිතිකවන්න ඕන. ඒ වෙලාවට බලන්න ඕන තියෙන සන්තෝසෙ. කෙළ බේර බේර හිනා වෙන්න. පුතුපැටිය හරිම ආසයි එයාගෙ බඩට අපි මූණ තියල සද්ද ඇහෙන්න පිඹිනවට. තව  ආසම දෙයක් තමයි මගේ බඩ උඩ මුනින් අතට හාන්සි වෙලා ඉන්න. ඔය සේරම දේවල් කරල පැට්ටට ඇති වුනාම ආයමත් වඩාහෙන ඇවිදින්න ඕන. දැං ඉතිං හැන්දැ වෙලා නිසා එලියට එක්කන් යන්න බැ. මදුරුවො පිරිල එලියෙ.

චූටිමැණිකෙ ඉක්මනට එනවනම් දැන් හොඳයි. පුතුපැටිය නාවන්නත් බැරිඋන නිසා ඇඟවත් සෝදවන්න. නැත්නං ඉතිං ‍රැට නිදිකරවනව බොරු, හරි දාඩිය මේ දවස්වල.

කෝල් එකක්වත් දීල බලන්න ඕන කොයි හරියෙද දැන් ඉන්නෙ කියල. සමහරවිට දැන් නුගේගොඩට කිට්‍ටුකරල ඇත්තෙ.

දෙකකට
Advertisements
%d bloggers like this: