මට පියාඹන්න කුරුළු පිහා‍ටුවක් දෙන්න

නවම්ට තාත්ත ගැන ඉස් ඉස්සෙල්ලම මතකයෙ තියන විදියට තාත්ත හුල‍ඟේ පාවෙන වී කා‍ටු ගොඩක් අස්සෙන් දුඹුරු පාට හං බෑග් එකක් එක උරේක දාං ඉස්සරහට එනව. මට එදා දැක්ක මූණ මතක නැතත් ඒකාලෙ පින්තූර බලනකොටනං යාන්තං චායාවක් වගේ මැවිල පේනව. ඒ සමහර විට දැං තාත්තගෙ රූපෙයි, අර ඉස්සර ගත්තු පින්තූර වල ඉන්න තාත්තගෙ රූපෙයි එකට කවලං වෙලා මගේ හිතේ ඇඳිච්ච වෙනමම රූපයක් වෙන්න ඇති.

මං ඉපදිලා ඩිංග දවසකින් තාත්ත ආණ්ඩුවෙ රස්සවෙන් නිවාඩු අරගෙන සවුදි අරාබියෙ ගිණි නිවන හමුදාවෙ රස්සාවකට ගියාලු.  ඒ  “මට දැං පුතෙක් ඉන්නව, ගෙයක් දොරක් හදාගන්න ඕනෙ”  කියල. ලංකාවෙදි තිබුන කෙටිකාලීන හමුදා අත්දැකීම් ඒකට ලොකු උදව්වක් වෙන්න ඇති. අනික ඒ වෙනකොට කොළඹ ගිණිනිවන ඒකකයේ වැඩකරල පළපුරුද්දකුත් තාත්තට තිබිල තියෙනව.

ඉතිං මට අවුරුදු තුනක් වෙනකං තාත්තව දැක්කෙ “මගෙ සුදු පුතාට ආදරෙන්” කියල පිටිපස්සෙ ලියල එවන ලස්සන රූප තියෙන පෝස්ට් කාර්ඩ් එක්ක එවන තාත්තගෙ පින්තූරෙකින් විතරයි. එක දවසක් තාත්ත එවපු පින්තූරවල තාත්ත ෂර්ට් එකක් වත් නැතුව කාන්තාරෙ වැලිගොඩක් උඩ වාඩි වෙලා ඉන්න එකක් තිබුන. චූටිපුංචි ඒක දැකල “හා මෙන්න තාත්තට කාන්තාරෙදි හොරු අල්ලං ගහල ෂර්ට් එකත් ගලවං ගිහිල්ල” කියාපි. ඔන්න ඉතිං හැබැහින් දැක්ක කියල මතකයක් නැති තාත්ත ගැන මට දුක හිතිල පුංචිල සේරමලත් එක්ක රණ්ඩු උනාලු. තවත් දවසක් ඇඳේ යකඩ විට්ටමේ කූරු අස්සෙන් තාත්ත බලං ඉන්න පින්තූරයකට “තාත්ත ඔන්න අරාබියෙ හිරේ දාල කියල” ගෙදර හෙන ජල්ලියක් ඇල්ලුවලු.

ඔන්න ඔය අරාබි රස්සවෙන් පස්සෙ ඉස් ඉස්සෙල්ම හක්මන ආච්චිලගෙ ගෙදරට ආපු  තාත්ත තමයි අර වී කා‍ටු ගොඩක් අස්සෙන් දැක්කෙ. ඒ වෙලාවෙ කොහෙන්ද ගෙනාපු අතිං කරකවන යෝධ ෆෑන් එකකින් හුලං ගගහා මිදුලෙ වී හුලං කරනව. එදා දවසට තාත්ත එනකං මගේ ලෝකෙ ලොකුම දේ වෙලා තිබුනෙ අර වී හුලං ගහපු ෆෑන් එක. එදා ඔච්චරයි මට තාත්ත මතක. ආයෙමත් තාත්ත මතක් වෙන්න ගමන් මහන්සියට ඇතුලෙ කාමරේක නිදියගෙනව දැකල අම්ම ගාවට ගිහිං “අම්මේ… තාත්තගෙ ලොකු, යෝධයෙක් වගේ අන්න ඇඳේ නිදි” කියල කියාපු වෙලාවෙ.

ඊට පස්සෙ තාත්ත ගෙනාපු ටින් කරපු පළතුරු, චීස්, විස්කෝතු කනකොටයි, නූලකින් උඩ එල්ලල බැටරි දාල අතෑරියාම නූලෙ දිගට වටේට කැරකෙන ප්ලේන් එකයි, හැප්පුනාම පස්සෙන් පස්සට ඇවිල්ල ආයෙමත් පාර හොයාගෙන යන රතුපාට කාර් එකයි, මිදුලෙ වැලි තල්ලුකරන් යන කහපාට බුල්ඩොසර් එකයි එක්ක සෙල්ලං කරපු වෙලාවෙත් තාත්ත මගේ පස්සෙන් උන්න කියල මතකයි යාන්තං.

ඊට පස්සෙ තාත්තයි අම්මයි මාව ආච්චියි, සීයයයි, පුංචිඅම්මල රොත්තයි එක්ක ගමේ දාල ගාලු ආවලු රස්සාවට. ඒ වෙනකොට අම්මත් ආණ්ඩුවෙ රස්සවක් කරපු නිසයි, තාත්තගෙ රට යන්න ගත්තු නිවාඩුයි අහවර වෙච්ච නිසයි මාව තියල යන්න උනාලු. අද වෙනකොට මට ඒ කිසිම දෙයක් මතක නෑ, යන්තං එළිවෙච්ච වෙලාවෙ ඉඳන් ගොම්මන් වැ‍ටුනම ගෙට එන්න කියල ආච්චි කතාකරනකන් පුංචි අම්මලත් එක්ක නටපු විගඩං ඇරෙන්න.

ඔතනින් පස්සෙ ආපහු තාත්ත ගැන මතකයක් තියෙන්නෙ මාව සී.ඩී125 එකේ ටැංකියෙ උඩ තියං ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට එක්ක යනව. ඊට පස්සෙ ආපහු කාලයක් යනකං මතක නෑ. ආපහු මතක තියෙන්නෙ හයවසරෙදි ඊස්ටර්න් ස්පොර්ට් බයිසිකලයක් අරන් දෙන්න ගාල්ලෙ ඩේවිඩ් එකට ගියපු ගමන තමයි. එදා ඉඳං පුංචි පුංචි හිස් තැන් එක්ක තාත්තව මතකයි. අද උදෙත් වගේම ඒ හැම උදේකමත් තාත්ත දැක්කට මගේ මතකයේ තාත්ත ඉන්නෙ සමහරක් දවස් වල විතරයි, හරියට කඩ ඉරක් වගේ.

ඒ සමහර විට මට තාත්තව එකදිගටම මතක තියාගන්න ඕනෑ උනේ නැති නිසා වෙන්න ඇති. තාත්ත මට ආදරේ කලා හොඳටම වැඩී. අත මානයෙන් එහාට යන්න දුන්නෙ නෑ කොයිම වෙලාවකවත්. ගහකට නගින්න, බයිසිකලයක් අරන් දුන්නත් ඒක පැදන් පාරට යන්න, ගිං ග‍ඟෙන් වට වෙලා තිබුන තාත්තගෙ ගමට ගියාම ගඟට බහින්න, බාප්පලගෙ ළමයි එක්ක ඒ ග‍ඟේ පාරු පදින්න, ඉස්කෝලෙ ළමයි එක්ක ට්‍රිප් එකක් යන්න, අඩුම තරමෙ ඉස්කෝලෙ බාහිර වැඩකට යන්න ඉඩක් නොදුන්න ගානයි. ඉඳල හිටල බැරිම උනොත් අඬල පොළොවෙ හැප්පුනාට පස්සෙ එකක් දෙකක් කරන්න ඉඩක් දුන්නත් හැම වෙලාවකම ඒක මට මදි උනා. මම එදා වගේම අදත් අනිත් තාත්තලත් එක්ක අපේ තාත්තව සංසන්දනය කරනව. මම වැරදි ඇති. ඒත් මේ මට හිතෙන හැටි.

උපන් දා ඉඳල අවුරුදු දහ අටක් වෙනකන් මට සෙනසුරු අපලෙ තිබුනලු. තාත්ත බය වෙන්න ඇති මම මොකක් හරි අණතුරක් කරගනී කියල ඔය දේවල් කලාම. ඒත් එපා කියන්න කියන්න මට ඒ දේවල් මයි කරන්න ඕන උනේ. තාත්ත නැති වෙලාවට ගෙදර ඉස්සරහ අඹ ගහේ නැගල දිමියො කකා අත්තක පැද්දී ඉන්න එක මට මහ මෙරක් වගේ උනා. තාත්ත ගෙදර ඉන්න වෙලාවට ගේ වටේ විතරක් බයිසිකල් පැදපු මම තාත්ත ගෙදර නැතිවෙනකොට හොරෙන් පාරට ගියා. කොටින්ම තාත්ත එපා කියපු හැම දෙයක්ම  තාත්ත නැති වෙලාවට කලා. ඒකෙන් මම තෘප්තියක් ලැබුව. එහෙම හොරෙන් කරපු වැඩක් ඉඳ හිට වෙලාවක තාත්තට අහු වෙලා බැනුම් ඇහුවත් කිසිම ගානක් තිබුනෙ නෑ මට. ඒකාලෙ මං තාත්තට නරක පුතෙක් වෙන්න ඇති. ඒත් මං උන්නෙ හරිම සන්තෝසෙන්.

ඒ ආදරේ මට වදයක් වෙන තරමට මාව හිරකරගෙන උන්නෙ. නිදහසේ කුරුල්ලක් වගේ පියාඹන්න බලං උන්න මට තාත්ත පෙනුනෙ හිරකාරයෙක් ආරක්ෂා කරන ජේලර් කෙනෙක් වගේ, මගේ ඉස්සරහ තියෙන මහා පවුරක් වගේ එලිය බලන්න බැරි තරං උස. මට එහෙම තාත්තව පෙනුනට තාත්තට මාව පේන්න ඇත්තෙ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට.

අද මං පුදුම තරං නිදහසක් විඳිනව. එදා වගේම අදත් තාත්ත පැත්තක ඉඳං මම දිහා බලාගෙන ඉන්නෙ. ඒත් තාත්තට තේරිලා ඇති මට දැන් නිදහස දෙන්න කාලෙ හරි කියල. ඒත් මේ නිදහස මීට ටික කාලෙකටහරි කලින් හම්බු උනානම් මට මීට වඩා සන්තෝස වෙන්න තිබුන කියල නොහිතෙනවත් නෙමෙයි. සමහර වෙලාවට මට එහෙම නිදහසක් දුන්නනම් ඒක මගේ විනාසෙටත් මුල වෙන්න තිබුන.

මගේ මතකයේ තාත්ත කඩ ඉරක් වගේ උනාට එදා ඉඳන් අද වෙනකං තාත්තට මගේ ජීවිතයේ හැම දවසක්ම අඩුවක් නැතුව මතක ඇති හරියට මාස හයක් වෙච්ච පුතු පැටියගෙ හැම දවසක්ම මට මතක තියෙනව වගේ.

කොහොම උනත් මම අද තාත්ත ගැන හිතන විදියට මගේ පුතු පැටිය මම ගැන නොහිතයි කියල මම හිතනව. ඒ මම ඒකව කොයිම වෙලාවකවත් අනවශ්‍ය විදියට හිර කරන්න බලන් ඉන්නෙ නැති නිසා. මගේ තාත්ත නොදැන කරපු දේ දැන දැනත් මං කොහොමද කරන්නෙ. ඌ අත්ත‍ටු නැති කුරුල්ලක් නම් මම ඌට අත් ත‍ටු දෙකක්වෙනව ඌත් එක්ක එක රෑනට පියාඹන්න. ඌ වරල් නැති මාළුවෙක් නං මම උගෙ වරල් දෙක වෙනව ඌත් එක්ක එකට පීනන්න. හුලං නැති දවසක ක‍ටු රොදකට පාත් වෙච්ච වරා මලක් නම් හුලං ‍රැල්ලක් වෙනව පැළ වෙන්න තරම් සරු පොළොවක් හොයාගෙන පාවෙලා යන්න.

ඒ තමයි මගේ ආදරේ !

Advertisements
%d bloggers like this: