මාර නැකතකට බත් කෑ පුතු පැටියා….

ගෙදර කුස්සිය පැත්තෙ බැල්කනියෙ ගෑවෙන නොගෑවෙන තරමට තාප්පෙ අයිනෙ හැදිල තියෙන අඹ ගහේ ගේ පැත්තට නැමිල තියෙන අත්තෙ කූවුවක් හදාපු නම දන්නෙ නැති කුරුළු ජෝඩුව අපි මේ ගෙදරට එනකොටත් බොහෝම කලබලයෙන් තමයි උන්නෙ. මුලින්ම අපි හිතුවෙ කාලයක් වහල තිබුන මේ උඩ තට්‍ටුවට අපි ආවට බයවෙලා කියල. බැල්කනියෙ කොට තාප්පෙ පලින් පල තිබුන කුරුළු වසුරු පැල්ලම් කිව්වෙකිව්වෙත් ඒ කුරුළු ජෝඩුව එතනට වෙලා හැන්දෑවෙ ඈතින් පේන අවිසාවේල්ල පාරට උඩහින් බහින ඉරේ හැඩ බල බල ඉන්න ඇති කියල.

ඒත් සතියක් විතර ගිහිල්ලත් ඒ දෙන්නගෙ කලබලේ අඩු උනේ නෑ.. කුරුල්ල කොයිවෙලාවකවත් එක තැනක ඉන්න නෑ. ඒ අත්තෙන් මේ අත්තට පැන පැන අඹ ගහේ දිරච්ච පොතු අස්සෙ ඉන්න වේයො අල්ලන එකමයි වැඩේ. ඊට දවස් දෙක තුනකට පස්සෙ උනන්දුවෙන් බලනකොටයි දැක්කෙ ඉඳල හිටල රවුම් කූඩුවෙ පුංචි දොරෙන් පුංචි කුරුළු පැටව් දෙන්නෙක් එබිකම් කරනව.

කුරුලු තාත්තා අච්චර කලබලෙන් අත්තෙන් අත්තට පැන පැන වේයො ඇල්ලුවෙ ඇයි කියල ඒ වෙලාවෙ තමයි මට තේරුනේ.

දැං අපේ පැටියටත් කෑම කවන්න වෙලාවක් බලවගත්තොත් හොඳයි නේද ?

මෙච්චර වෙලා මටත් හොරෙන් කුරුල්ලො බල බල උන්න මගෙ පිටිපස්සෙන් හිටපු චූටිමැණිකෙ ඇහුවා…

හ්ම්….

අනේ.. ඉතිං ඕකට නැකතක්ම ඕනෙයි, ඊටත් අපි පොඩි එකාට බත් තලපෙ කවන්නෙ, අනික ඊයෙ දවාලෙ මම බත් කනකොට සුදු බත් ඇට හතරක් පහක් කැව්වෙ..

ඒ ඩිංග මම හිතුව මිසක් කිව්වෙ නෑ. කිව්වනං ඕං වැහි වලාවක් පාත්වෙන්න හොඳටෝම ඉඩ තිබුන එතනට.

දැං ඉතිං නැකැත් හදවන්නෙ කොහොමෙයි..

අපේ අම්මට බොහෝම විස්වාසවන්ත කේන්දර බලන ගුරුන්නාන්සෙ කෙනක් ඉන්නව උනත් දැං කාලෙක ඉඳල උන්දැට කියල මට නැකැත් හදවන එක නවත්තල දාල ඉන්නෙ මගෙ මොකක්හරි අලුගුත්තේරු කතාවකට. ඉතිං එහෙව් එකේ ආයෙ ඕක අම්මට කියන්න බෑ නෙව.

දැං මොකද කරන්නේ… ඒ…..

ඔහොම කල්පනා කරකර අමාරුවෙ වැටිල ඉන්නකොට අපේ කේන්දර ගුරුන්නාන්සෙ තමයි නෑ බැ නොකියා ඒ උදව්ව කරල දුන්නේ.

ආයිත් මට දෙපාරක් මතක් කරන්න උනේ නෑ හැරෙන තැපෑලෙන් උත්තර ලැබුනා.

ඕං ඒ සුභ නැකතට මගෙයි චූටිමැණිකෙගෙයි පුතු පැටියා බත් කාපු පිංතූර ටිකක්.

ඕං මගෙ හිත ඉස්සෙල්ලම ගියේ පැන්සලට

ඕං මගෙ හිතයි අතයි ඉස්සෙල්ලම ගියේ පැන්සලට.

දෙයියන්ගෙ මල්ලිලු නෙ මේ.

ආච්චි අම්මගෙ කිරිබත් නේද මේ.....

සීයගෙන් තමයි මුල්ම කිරිබත් කට.

අම්මයි තාත්තයි සීයයි ආච්ච්යි මායි

නැන්දයි සීයයි ආච්චියි මායි.

ප/ලි :

මං අද තමයි ඉස් ඉස්සෙල්ලම තාත්තගෙ බ්ලොග් එක කියවන මාමල නැන්දල සීයල ආච්චිල බලන්න ආවෙ.

පේනවනෙ, අච්චර රහ කෑම තියෙද්දි මං මුලින්ම අතට ගත්තෙ පැන්සලක් !

කවදහරි මාත් තාත්ත වගේ බ්ලොග් එකක් ලියනකොට මගෙ අම්මයි තාත්තයි මට කොච්චර ආදරේද කියල ලියල තියන්නම්. එදාට නැන්දල මාමල හැමෝම එන්න ඕන කියවල යන්න.

මීට,
අම්මගෙයි තාත්තගෙයි පුතු පැටියා [ලීනු]

Advertisements
%d bloggers like this: