ලොවි සම්බෝල සහ පුංච් අම්මලා


ඔන්න  අර මගෙ කලින් ලියපු ජූල් පෝස්ට් එක ලියද්දි වගේම කෙළ උනන්න පටංගත්ත මෙක ලියන්න පටන්ගන්නත් කලින් ම. ලොවි කියන්නෙ සෑහෙන්න ඇඹුල් පළතුරක් නෙ.

ඉස්සර අපේ අච්ච්ලගෙ ගෙදර, දැං නං අපි කියන්නෙ තිලේ අම්මලගෙ ගෙදර කියල.  තිලේ අම්ම කියන්නෙ ඔය මං කලින් කියල තියෙන පොලිස් පුංචිටම තමයි. එයැයිගෙ ඇත්ත නම ඒක නෙමෙයි ගෙදරට කිව්ව නම, ඒ උනාට දැං හැමෝම කතාකරනෙ තිලේ කියල. මං ඉස්සර ඉඳලම අම්මගෙ නංගිලට කතා කලේ එයාලට අනිත් අය කියන නමේ අගට අම්ම කියන කෑල්ලත් එකතුකරල. තිලේ අම්ම, කාන්ති අම්ම, චූටි අම්ම තමයි ඔය කට්ටිය. අම්මගෙ ලොකුම නංගිට විතරමයි මම පුංචි කිව්වෙ. ඒකත් කිව්වෙ “ලොකු පුංචි” කියල. ඉස්සර එහෙම කියල කියන හැම වෙලාවකම මට මැවිල පෙනුනෙ ස්ප්‍රීන් එකක් ඇදිල ලොකුවෙලා ආපහු පුංචි වෙනව.

කතාවෙන් කතාව මාතෘකාවෙන් පිට පැන්න. ඕන්න ආපහු ලොවි ගහේ මං.

ඔය ලොවි ගහේ ගෙඩි හැදුනම බලන්න හැඩයි, හරියට රතුපාට, ලා රෝස පාට පුංචි බල්බ් දාල වගේ. මං නම් කන්න ආස තද රතු පාට ගෙඩිවලට වැඩිය කුණුලේ පාට [මෙරූන්] ගෙඩි තමයි. ඒ වගෙ ඇඹුල අඩුයි. මෙලෙකයි. මං නම් ලුණු කැටයක් එක්ක මිසක් ලොවි කාල නෑ ලුණු කැටයක් හොයාගන්නම නැති වෙලාවක ඇරෙන්න. අවුරුදු විස්සකට විතර කලින් ලුණු කුඩු තිබුනෙ නෑ මගෙ හිතේ. තිබුනත් අපි උන්න හක්මන දිහාවෙනං තිබුනෙ නෑ.

ආච්චි ඔය ලුණු කැට දාල තිබුනෙ කළුම කළුපාට ලොකු පොල් කට්ටක වතුරත් එක්ක, වැඩිපුර ලුණු ටික තිබුනෙ දුම උඩ දුං වැදිච්ච මුට්ටියක. ඒක වහල තිබුනෙත් දුං ගැහිලම කලු වෙච්ච පොල් කට්ටකින්. අත ලඟම ඇඹුරුංගල කිට්‍ටුවෙන් තිබුන පොල්කට්ටෙ ලුණු මට හරිගියේම නෑ. මං නං ලොවි කන්න ගත්තෙම අර දුමේ තිබුන මුට්ටියෙන්. පොල් කට්ටෙ තිබුන ලුණු කැට වතුරට හේදිලාම හැම වෙලාවෙම තිබුනෙ රවුං වෙලා. මගේ ලොවි කෑමේ මෙහෙයුමට ඕනෙ කලේ තියුණු උල් තියෙන ලුණු කැටමයි.

මොකටද දන්නවද මට අර උල් තියෙනෙ ලුණුම ඕන උනේ. මං හරියට ආස කලා අර කුණුලේ පාට ලොවි එක අතක අල්ලෙ තියල අනිත් අතේ අල්ලෙන් බොහොම යාන්තමින් රෝල් කරල මෘදු කරල ලුණු කැටේ උල පැත්තෙන් ඇතුලට යනකන්ම අනින්න. එහෙම ඇනල ඩින්ගක් වෙලා තියල තිව්වම ලොවි ගෙඩිය ඇතුලෙ අර ලුණු කැටෙ රහ විහිදෙනව යන්තමින්. ඊටපස්සෙ හක්කෙ තියල එකපාරටම හපනව අර ලුණු කැටේත් එක්කම ලොවි ගෙඩිය. එතකොට වැඩිය ඇඹුල් රහ දැනෙන්නෙ නෑ.

දැන් තමයි මාතෘකාවට  එන්නෙ. – ලොවි සම්බෝල සෑදීම. මෙන්නෙ මේව තමයි ඕන කරන්නෙ.

01. අර කලින් කිව්ව වගේ මෙරූන් පාට ලොවි ගන්න පුලුවන් නම් මරු.
02. ඊලහඟට ගම්මිරිස් ඇට ටිකක් [ජූල් සම්බල් හදදි වගේ කොච්චි නං ගන්න එපා]
03. ලුණු [සම්බෝලෙටනං කැට උනත් කුඩු උනත් එකයි]
04. ඇඹුරුං ගලක්
05. මැටි, වීදුරු හරි ප්ලාස්ටික් භාජනයක් [ලෝහ භාජන ගන්න එපා ඇඹුල් වලට ලෝහ ඛාදනය වෙනව කියල අපේ ඇල්කෙමිය කියයි]

ලොවි ගෙඩි ටික හොඳට හෝදල නැටි එහෙම අයින් කරල තෙත බේරගන්න, ඊටපස්සෙ ගම්මිරිසුයි, ලුණුයි හොඳට අඹරගන්න ගලේ දාල. දැන් ඒ ටික අර මැටි හරි වීදුරු හරි ප්ලාස්ටික් හරි භාජනයට දාක පැත්තකින් තියන්න. ඊටත් පස්සෙ ලොවි ගෙඩි දෙක දෙක වගේ ගල උඩින් තියල මහ හයියෙන් නැතුව දෙතුන් පාරක් අත්ගලෙන් හෙමින් තලාගන්න. මතක තියාගන්න ලොවි අර ජූල් සම්බල් හැදුව වගේ අඹරනව එහෙම නෙමෙයි.  ගෙඩි දෙක දෙක වගේ දාන්න කිව්වෙ ගොඩක් දෑම්මොත් සමහර විට තලන්නත් කලින් ගලෙන් බිමට රෝල් වෙන්න පුළුවන්. අනික ලොවි තලන කොට එලියට එන ඉස්මගතිය අහක යන්න බැරිනෑ. අමතක නොකර ඒකත් අර භාජනයට දාගන්න. දැන් ඔක්කොම තලල ඉවරනං, ගලේ තියෙන සුන් බුන් ඔක්කොමත් අර භාජනයට දාගෙන ඇඟිලි වලින් අතගාන්න හොඳට ලුනු ගම්මිරිස් ලොවිත් එක්ක සීසන් වෙන්න.

ඔන්න දැං කන වෙලාව. මෙ වෙනකොට ලොවි සම්බෝල හදල විනඩි දහයක් විතර ගිහිල්ල හින්ද ඉස්ම ටිකක් වැඩිපුර එකතුවෙලා. ඕක හදනකොට නං ගොඩක් වෙලාවට කුස්සියෙ ඉන්නෙ මමයි චූටි අම්මයි විතරයි, මෙන්නෙ ඒකටත් එක්ක කනකොට තිලේ අම්මත් කොහේහරි ඉඳල එනව. කාන්ති අම්මනං වැඩිය මේව කන්න ආවෙ නෑ මගෙ මතකෙ හැටියට.එයාගෙ ඉතිං හරි ඉස්ටැයිල් ඒ දවස් වල ඉඳලම, ඒ අනික් කට්ටියට වැඩිය එයා සුදු හන්ද වෙන්න ඇති කියල තමයි මං හිතං උන්නෙ.

අපි තුන්දෙනා ගෙදර ඉස්සරහ ලොකු උස පඩියෙ වාඩි වෙලා ඉස්සරහ මිදුලට කකුල් දාල එහෙම හරි බරි ගැහෙනව. භාජනේ ගොඩක් වෙලාවට තියෙන්නෙ චූටි අම්මගෙ ලඟ. අපි ඉතින් දෙපැත්තෙන් ඉඳං අත දම දම කනව. රහ වැඩිවෙන්න අර ඉස්ම වල පොඟවගන්නත් අමතක කරන්නෙ නෑ. කතාවක් බහක් නෑ අපි තුන්දෙනා. මෝල වගේ කාගෙන කාගෙන යනව. කන එක නැවැත්තුවොත් තමයි කටදැවිල්ල දැනෙන්නෙ. ඉතිං අපි පලවෙනි අදියර නවත්තන්නෙ අන්තිම රොඩ්ඩත් බඩට ගියාට පස්සෙ තමයි.

ඊට පස්සෙ තමයි ජොලිම වැඩේ තියෙන්නෙ. මං කලිං කිව්වනෙ අර ලොවි සම්බෝලෙ ඉස්ම හැදෙනව කියල. ඕක රතුපාරයි, කලුපාට ගම්මිරිස් කෑලි පාවෙනව. අඩියෙ ඉඳල හිටල අතට අහු නොවිච්ච ලොවි රොඩුයි ලොවි ඇටයි තියෙනව. ඔන්න ඔය අමා පානයත් බෙදා හදාගෙන බීල තමයි ලොවි සම්බෝල කෑම හරියටම අහවර කරන්නෙ.

හෙනම හෙන සැරයි ඕක ගම්මිරිස් වැඩි වෙච්ච දවස් වලට. මං නං කට දැවිල්ල උහුලගන්නම බැරි උනොත් ගේ වටෙත් දුවනව. ඩිංග වෙල්ලාවකින් කට දැවිල්ල අඩු උනාට පහු වෙනකොට එනව අපූරු බඩ දැවිල්ලක්. ගම්මිරිස් මිසක් කොච්චි දාන්න එපා කියල ඉස්සෙල්ලම කිව්වෙ ඒකයි.

හැබැයි මක්ක උනත් ලොවි සම්බෝලෙ අමෘතෙ පරාදයි !

%d bloggers like this: