අපි දෙන්නයි සාත්තර ගුරුන්නාන්සෙයි දෙයියන්නාන්සෙයි

මගෙ හරිහමං විදියට කෙරිච්ච ප්‍රථම ආදරේ දාහක් බාදක දුක් කම්කටොළු, ගිරිදුර්ග පහුකරං ඇවිල්ල අවුරුද්දකට පස්සෙ කන්දක හැප්පිලා මර්ගයා. තැඹිලි පාට කළුපෙට්ටියවත් හොයාගන්න බැරිවිදියටම සුන්නද්ධූලි වෙලා ගියා. මේ කියන්නෙ “කබී අල් විදානා කෙහෙනා ලක්මි” වත් “අළු යට ගිණි පුපුරු” වත් ගැන නෙමෙයි. ඔය සේරම කතා වලට කලිං ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවෙ [ඉස්කෝලෙ කාලෙ] සාංවත්සරික කඳවුරකදි ගැටගගත්තු කරත්තයක් ගැන.

මං ඔය හරිහමං විදියට කෙරිච්ච කියල කිව්වෙ, මගෙ සීයට පනහෙ කතා කීපයක්ම තිබිච්ච හන්ද. දැං ඔය ටී වී එකේ මූන දාං ඉන්න ගෑණු ළමයෙක්ටත් මගෙ සීයට පනහම දීල තිබුනෙ ඉස්කෝලෙ කාලෙ. ඉස්සර ඉතිං අපිත් එක්ක ටියුෂන් පන්තිවල ඉරෙට්ටෙ වාඩි වෙලා නූලෙ ලියනකොට [ඉස්සර ඔය මෑස් ක්ලාස් වල ඩෙස්ක් බංකු ඒ තරමටම හීනියි, දැනුත් එහෙමද මංද] කව්ද හිතුවෙ කෙල්ල ඔච්චර ජනප්‍රිය වෙයි කියල. මේ ලඟදි ඔය ළමය කක්කුස්සියෙ තුවක්කු හංගල මහ විනාසයක් කරගත්ත කියල ආරංචි උනාම නං මගෙ පනහ විතරක්ම වෙච්ච එක පූරුවෙ පිනක් කියලත් හිතුන. [මිදි ඇඹුලයි කියල නරියෙකුත් කිව්වලු]

ආපහු ඔන්න අර කලිං කියන් ආව ප්‍රථම ආදරේ විස්තරේ ආපහු.

ඉස්සර ඉතිං අපිටය කියල ලව් කොරන්න හරි හමං තැනක් තිබුන එකක්යැ. ගාලු කො‍ටුවට යන්න බෑ පොලීසි යන්න වෙනවනෙ ඒ විතරක් නං මදෑ, ගෙදරිං එක්කං ඇව්ල්ල බාරදනව කියල කතාවකුත් තිබුන. පාක් යන්න බෑ දන්න කියන උන් පඳුරක් පඳුරක් ගානෙ. බස් වල උඩහට පල්ලෙහාට යන එකමයි වැඩි හරියක්ම කලේ. ඒකත් ඉතිං එපාවෙන දවසක් ආව අන්තිමටම.

දැන් දෙන්න දහ අතේ කල්පනා කාරනව කොහේද යන්නෙ කියල. පැය පහ හයකට වැඩිය නැති හන්ද ගොඩක් දුර යන්නත් බෑ. ‍ෆිල්ම් බලන්න යන්නත් බෑ. මාත් එක්ක ගියාම ඇඳුම් පොඩිවෙනවලු. අපි පුංචි උන් හන්ද රූම්ස් නං අරහං නෙ. අඳුරන උන් හන්ද ගම් පලාතෙ ඉන්නත් බෑ. බොහොම අමාරුවෙන් තීරණය කලා මාතර දිහාවෙ යමු කියල. උඩින් යන්න බැරි හන්ද මේකටත් කොච්චර එපා උනත් බස් සරණං තමයි. පිටි පස්සෙ සීට් එකේ යන්නත් මේ ප්‍රථමාදරේගෙ වැඩි කැමැත්තක් නැති හන්ද බස් එකේ මැද හරියෙන් වාඩිවෙලා හොඳ ළමයි දෙන්න වගේ බෑග් එකට අල්ලං ඉන්න අත් දෙක මුවාකරං හරිම නිවිහැනහිල්ලෙ මාතරටම ආව. ඇවිල්ල දැං බිච් එකදිහාවට ඇවිදන් යනව වාඩි වෙන්න තැනක් හොයන්.

මේ ඉතිං මාතරම හෝදං ගියපු සුනාමියට කලින් හන්ද යන්තං වැටකේ පඳුරු දෙක තුනක් තිබුන. ඔය කළුතර කැලිඩෝ බීච් වගේ ගල්කිස්ස පැත්තෙ වගේ මාතර වෙරළෙ ඔව්ව වැඩිය වැවිල තිබුනෙ නෑ. තිබිච්ච ඒවයෙත් කට්ටිය වේලපහින්ම කූඩුවෙලා. යන එනමං නැතුව එහාට මෙහාට ඇවිදල බොහොම අමාරුවෙන් රාවනා ‍රැවුල් ගාලක් ලඟින් වාඩිවෙලා කුඩ හරඹෙකුත් කරං ඉන්නකොට,

“මල්ලි ඔයල දෙන්න හරිම වාසනාවන්තයි” කියල කවුද කියාපි.

කව්ද යකෝ මේ. වහං ඉන්න කුඩේ හන්ද පේන්නෙත් නෑ. එකපාරටම කුඩ අකුලන්නත් බෑ

පොලීසියෙන්ද? එහෙම නං ඉතිං බඩුම තමා. ඒත් එහෙමනං මෙහෙම ආදරෙන් කරුණාවෙන් කතාකරයියැ. යන්තං කුඩේ උස්සල යටින් බැළුව.

නිල් පාට කො‍ටු කො‍ටු සරමක්…..

සරං අඳින පොලිසියක් අහල නැති හන්දත්, සරං අඳින අයියල මට නැතිහන්දත් ඔන්න යන්තං පපුව කූල් වුනා.

අපි මහජන දැක්මට සූදානම් කියල පිලිවෙලක් වෙලා කුඩේ උස්සල බැළුව.

බුලත් කහට පාට වෙච්ච දත්ටික විරිත්තගෙන ඉන්නව මෙන්න සාත්තර කාරයෙක් තඩි ඔලොගුවකුත් කරේ දාගෙන. මේක මට මල්ලි කිව්වට පේන විදියට වලපයයි ගොඩ පයයි වගේ.

දැන් නෙ මූනු පොඩි දෙක දැක්කෙ. හරිම වාසනාවන්ත දෙන්නෙක් කියල මං කලින් කිව්වෙ මේ පුංචි නෝනගෙ කකුල් දෙක දැකල විතරයි. මූණ දැක්කම නං තව සෑහෙන්න දේවල් කියන්න ඇහැකි.

යකෝ මූ කකුල්දෙක දැක්කද, මං මේකිට කිව්ව කොට සායකෑලි අඳින්න එපා කියල, කියන එක අහන එකියෙක් නං මක්ක වෙයිද. දනිහටත් උඩට ඇඳපු සාය කොටෙන් මූ තව මොනව හරි දැක්කවත් ද?  මට දැන් සාස්තර කාරය එක්ක නෙමෙයි මේකි එක්කයි මළ.

දැං පොර අපි දෙන්න ඉස්සරහ ඇණ තියං කරේ දමං උන්න ඔලෝගුවත් පැත්තෙකට කරං බලං ඉන්නව.

පුංචි නෝනගෙ අත දෙන්නකො ඉස්සෙල්ලම.

මෙන්න මූ අත ඉල්ලනව. කෙල්ල අදිමදි කරනව.

දෙන්න නෝන. වරදක් වෙන්නෙ නෑ. අනාගතේ බලං උන්නවගේ කියන්නං.

මූ අත ඉල්ලුවට බලං ඉන්නෙ කෙල්ලගෙ කකුල්දෙක දිහාමයි. මට මේකි එක්ක එන කේන්තියක් අම්මප.

හා එහෙනං පුංචි නෝන අකමැති නං පුංචි මහත්තයවත් අත දෙන්නකො

මොන රෙද්දක්ද, මුගෙන් තියෙන වදේ. ඇයි යකෝ අපිටයි කියල වැඩ නැත්ද කරගන්න. ඉක්මනට කියන මගුලක් කියල පල කියල මං අත දුන්න. දැං මිනිහ අත කරකව කරකව රවුං කරකර බලනව. ඉඳල හිටල ඇස් නළල උඩ තියාගන්නව, සූ.. ගානව. එක කෙලියයි. වචනයක් වත් කියන්නෙ නෑ.

අනිත් අතවත් දෙන්න පුංචි මහත්තය.

ඇයි යකෝ මේ අතේ ඇති වැ‍රැද්ද මොකෝ. දැන් නං ගෑණු ළමයගෙ මූණ ඩිංගක් විතර අප්සෙට්.

ඕන රෙද්දක් කියල අනිත් අතත් දුන්න. මේක ඒ අතත් කලින් අත වගේම සුලැඟිල්ලෙ නියපොත්තෙ ඉඳන් රවුං කරකර බලනව විතරයි වචනයක් වත් කියන්නෙ නෑ. අන්තිමට හයියෙන් හුස්මක් පිටකරල, මෙහෙමවත් කරල බලමු කියල ම්නිහ අර පැත්තක තියාපු ඔලොගුවට අත දාල ගත්ත අතටම කිළු‍ටු වෙලා සුරුන්ඩි වෙලා ගියපු පොතක්. ඒකෙත් පි‍ටු දෙක තුනක් එහාට මෙහාට පෙරළල කියාපි,

ඔය අත බලල සුභ දෙයක් කියන්න නං මට බෑ. මේ පුංචි නෝනෙගෙ ලස්සන මූණු පොඩ්ඩ දිහා බලං අතේ කියවෙන දේ ගැන කියන්නත් බෑ.

අම්මටසිරි මූ මේ මොකටද එන්නෙ ඒ පාර. කෙල්ල මගෙ අත කොනිත්තනව බය වෙලා. දාඩියත් දාල.

මට පුංචි මහත්තයටයි පුංචි නෝනටයි මෙහෙම උදව්වක් කරන්න කරන්නං. ලබන සතියෙ අපි යනව කෝණේශ්වරම්. එහේට භාරයක් උනොත්නං ඩිංගක් හරි සහනයක් තියෙයි. මං පුංචි මහත්තයයි පුංචි නෝනයි වෙනුවෙන් දෙය්යන්ට යාදින්නං. එච්චරයි මට කරන්න පුළුවන්. හැබැයි පොඩි පරහකට තියෙන්නෙ ඒකට තියන්න පඬුරු මං ලඟ නෑ. පඬුරු හම්බුනොත් මං යාදින්නං. වැඩේ කිරිගහට ඇන්න වගේ තමයි. මේ වෙරළෙ කී දෙනෙක්ට මං මේ වගේ උදව් කරල තියෙනවද.

චන්ඩිය වගේ උන්නට දැං නං මටත් ඩිංගක්විතර බයයි, ඇයි මෙ ඔක්කොම කිව්වෙ මගෙ අත බලලනෙ.  කීයක් හරි දෙන්න කියල මේ කෙල්ලගෙනුත් වදේ.

ඇරල බැළුව පර්ස් එක. අපි දෙන්නට ආපහු ගෙදර එන්න සල්ලි ඉතුරුකරගත්තම තියෙන්නෙ රුපියල් එකසීය පණහයි. ඒ වගේද ජීවිතේ කියල රුපියල් පණහක් දීල දැම්ම.

චෑ චෑ පුංචි මහත්තය බෝම මදී මේ ගානනං. තව කීයක් හරි දෙන්න.

යකෝ තව තියෙන්නෙ රුපියල් සීයයි. ඒක දීල කොහොමද. හදිස්සියට දුමක් වත් දාන්න තියෙන්නෙ ඔච්චරයි නෙ.

නෑ නෑ. ඔය ඇති. ඔය ගානෙන් කරන්න පුලුවන් පූජාවක් කරන්න.

එහනං මං යන්නං පුංචි නෝන. ඔන්න මට එහෙම පස්සෙ වරදක් කියන්න එපා. මං කිව්වෙ මං මේ පුංචි මහත්තයගෙ අතේ දැක්ක දේ. පුංචි නෝනත් මේවයෙ බලපෑමක් නැතිය කියන්න බෑනෙ.

මගෙන් තව කඩාගන්න බැරි බව හරි, අතේ ඊට වඩා සල්ලි නැති විත්තිය හරි දැනගෙන මිනිහ ගෑණු ළමයව බයකරනව. කොහොම උනත් ඔය වයසෙදි කොල්ලන්ගෙ අතට වැඩිය කෙල්ලන්ගෙ අතේ සල්ලි තියනවග ඔය මිනිස්සු දන්නව ඇතිනෙ.

මිනිහගෙ ගැටේ හරිගියා. මෙන්න මේ කෙල්ල බය වෙච්ච පාර ඇවිස්සුව රෝසපාට බෑග් එක, ගත්ත පුංචි වූල් වලින් මහපු මං කවදාවත් දැල්කල නැති මල්ලක්. රුපියල් පන්සීයක්ම ඇදල අරං දුන්නෙ නැද්ද අරූට. යකෝ මං ඉල්ලුවම තමයි මේකිට නැත්තෙ.

අන්න පුංචි නෝනට තේරුණා වැදගත් කම, මේකෙ බරපතල කම. පුංචි මහත්තය නෝනට වැඩිය ආදරේ නැති උනාට නෝන මහත්තයට හරිම ආදරෙයි. හරි වාසනාවන්තය මහත්තය.

සති දෙකකට පස්සෙ මෙතනටම එන්න මං ජපකරපු නූල් දෙක ගෙනත් දෙන්නම්, වෙන කාටවත් නොපෙනෙන තැනක බැඳගත්තම ඔය ඔක්කොම අපල, කරදර අහරවයි.

ඊට දවස් දෙකට පස්සෙ ගෙවල් වලට මාට්‍ටු වෙලා අම්බානෙකම කෑව.සති දෙකකට පස්සෙ අර නූල ගන්න අපි හිටියෙ නෑ.

01. අර සාත්තර කාරය අපි දෙන්න තවත් නෑ කියල නොදැන කෝණේශ්වරම් යන්න ඇති නේද?

02. ගිහිල්ල මගේ රුපියල් පණහයි, ගෑණු ළමයගෙන් ගත්තු රුපියල් පන්සීයයි දෙයියන්ට දෙන්න ඇති නේද?

03. ජපකරපු නූලත් අරං මාතර මූදුවෙරළෙ සති දෙකකට පස්සෙ අපි දෙන්න එනකං රස්තියාදු වෙන්න ඇති නේද?

අකුලන්නත් බෑ
%d bloggers like this: