කැඩුණු පු‍ටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස

මේ දවස්වල මෙලෝ සංසාරයක් ලියන්න හිතෙන්නෙ නෑ. හිතෙන ඒවත් මෙලෝ රහක් නැති ජුජුබ්ස් ටොපික්ස්. බාගදා ඒව ලියල ගුටි කන්නත් බැරිනැති හන්ද එහෙන් මෙහෙන් මතක තියන ෂෝට් ඊට්ස් වගේ ඒව දෙක තුනක් ලියනව.

මේ කියන කතා ටික සිද්ධ උනේ කාලෙකට කලින් ක‍ටුනායක ඉන්න කාලෙ. මතකයිනෙ මම එහේ වෙච්ච කතා තුන හතරක් ලිව්ව. කියවල නැත්නං මෙන්න ඒව.

1. ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස

2. .ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස

3. ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

4.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [හිත රිදවූ සමු ගැනීම] – අවසාන කොටස

5. අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

 

හරි දැං මෙන්න අලුත් කතා ටික,

ඔය අන්තිම සිද්ධියට පස්සෙ අපිට ඒ ගැණු බෝඩිමේ ඉන්න එක එපාවෙලා ගිහිල්ල නැවතුනේ සීදූවෙ මිෂන් හවුස් රෝඩ් එකේ නීතා අක්කලයි ගෙදර කාමරේක. නීත අක්කයි කිව්වට අපි අඳුරන්නෙ එයාගෙ හබිය ඇන්ටන් අයියව. ඒත් ඉතිං ගෘහමූලිකයගෙ නමින් නෙව ලංකාවෙ ගෙවල් අඳුන්වන්නෙ. ඉතිං ඒක හන්ද ඇන්ටන් අයියගෙ ගෙදරට ඒ ගමේ කට්ටිය කිව්වෙ නීතලයි ගෙදර කියල. ආයෙ අපිට ඇහැක ඕක වෙනස් කරන්න.

 නීතා අක්කා අපිට දෙන්න හැදුවෙ ගෙයි ඉස්සරහම කාමරේ. ඒකට දොරවල් දෙකක් තිබුන. එකක් එලියෙන් ඇතුලට එන දොර. අනික ඒ කාමරෙන් ගෙදර සාලෙට ඇරෙන දොර. මගෙ අනිත් සගය වෙච්ච නාලක නං බොහොම කැමති උනා ඒ කාමරේට. ඒත් මං ටිකක් පස්සගැහුව වැඩේට. මොකද කලින් බෝඩිමත් එපා උනේ ගෑණු හුටපටයක් නිසානෙ. අනික නීතා අක්ක ඇහැට කනට පේන ගෑණි වෙච්චි ! මිනිස්සුන්ගෙ හිත් කොයිවෙලේද දන්නෙ නෑ නෙ.

අපි ඉස්සරහ කාමරේ ගන්න ටිකක් අදිමදි කරනව වගේ දැනිච්ච හන්ද ඇන්ටන් අයිය අපිට ගෙයි පැත්තෙන් ඇතුල් වෙන්න තියන කාමරේ පෙන්නන්න එක්ක ගියා. ඒක නම් වරදක් නැති පාට නිසා ඇඩ්වාන්ස් එහෙම දීල ඇවිල්ල දවස් දෙකකට පස්සෙ ගෑණුබෝඩිමේ ඉඳල ත්‍රීවීලර් එකක බඩු ටිකත් පටවගෙන නාලකයි මමයි නීතා අක්කලයි ගෙදර පදිංචියට ආව.

හා දැං කට්ටිය දත කට මැදං ඇති මෙතන අපි දෙන්නගෙන් එකෙක් නීත අක්කත් එක්ක මොකක් හරි හුටපටයක් ඇතිකරගන්න ඇතිය කියල නේ. බොරු කියන්නෙ මොකටෙයි මාත් හිතං හිටියෙ මං නැතත් නාලකය පටලැවිල්ලක් හදාගනීවිය කියල. මොකෝ මං ඒ වෙනකොට එස්.පී.බී.ආර් වෙලා හිටියට නාලක අස්සය මැරිච්ච කව්බෝයි වගේ හිටියෙ. [මගෙ හැම එකක්ම ඉතිං එස්.පී.බී.ආර්. එල් තමා හික් ! ]

 ඒත් එදා රෑ සිද්ධ වුනේ හීනෙන්වත් නොහිතපු දෙයක්.

වෙනදා වගේම හැන්දෑවෙ හතට ඩියුටි ඕෆ් වෙලා ක‍ටුනායට වෙළඳ කළාපෙ “ඒ” [A ?]ගේට් එකෙන් එලියට බැස්සෙ බෝඩිමට යන්න.

භයානක විදියට පටන්ගත්තට අතර මඟදි මුකුත් උනේ නෑ. වෙනද වගේම මිෂන් හවුස් හන්දියෙ කඩෙන් මාළු හොදියි ආප්පයි කාල දුමකුත් දාගෙන නිවීහැනහිල්ලෙ බෝඩිමට ආව. ඒ එනකොට රෑ අට හමාර විතර වෙලා. පුරුදූ විදියට කෙහෙල් පඳුරු වලට මුවාවෙලා තියන ශවර් එකෙන් ජොකා පිටින් නාල කරල එහෙම පිටි තේ දෙකකුත් හදාගෙන බීල ඇඳ උඩට වෙලා කයියක් ගහනෙන ඉන්නව.

වෙන මොනව කරන්නද. මොකෝ ෆේස් බුක්, බ්ලොග් එහෙම තිබුනය ඒ කාලෙ. ඒ තිබුනත් කෝ ලැප්ටොප්. ඒව රෑ දෙගොඩ හරියෙ දැකපු හීනෙකවත් තිබුනෙ නැද්ද කොහෙද. හෙහ් හෙහ්….

“මම තොට #&$^*% . යකෝ ඩිංගක් එහා මෙහා වෙන්න බෑනෙ එක එක #^*^&!(@& රිංගනව මේක අස්සෙ. මේ *&^%*$ ඕන එකෙක්ට &^@)(&$ “

අපි දෙන්න ඇ‍ඳෙන් බිමට නොවැ‍ටුනා විතරයි ඒ සද්දෙට. නීතා අක්කලයි ගෙදර මීට කලින් කිසිම පිරිමි සද්දයක් ඇහිල නෑ. ඒකටත් එක්ක ගෑණු සද්ද. ඇයි ඉතිං දවසක් නෑර දවසක් ඇන්ටට හම්බුවෙනව නෙව සබ්බුව.

ඒත් හද්දෙයියනේ අද මේ මොකක්ද… ?

“මල්ලි හුල්ලි කියාගෙන ඉන්නකොට මට යාන්තමට හිතුන.. පර #%*&(% “

වරෙන් යන්න මොකද අවුල බලන්න.. නාලයක සරම කඩල ආයෙම ගැටගහන ගමන් කතාකලා.

බොට පිස්සුද..මෙන්න මෙහෙට වෙලා හිටින් නිකං අහක යන පොලුපාරක් නොකා.

අඩෝ ඇන්ට නීතව මරනවද දන්නෙ නෑ. යමං බලන්න.

එක වංගියක් කිව්වනේද මෙහෙට වෙලා හි‍ටු කියල. මරණවනං දැං මරල ඇති. ආයෙ බලන්න දෙයක් ඉතුරුවෙලා නෑ. ඕනම නං උදේට බලාගං.

“ඒයි මචං.. නීතක්ක නේද අඬනව ඇහෙනෙ”, නාලක රහසෙන් වගේ ඇහැව්වට පස්සෙ තමයි මටත් හීනියට ගෑණු ඇඬුම් සද්දයක් ඇහුනෙ.

ෂුවර් එකටම නීතක්ක ඇස් කරකවල බලල පස්ස අඹරවල ඇවිදින ඇවිදිල්ලට අහුවෙච්ච එකෙක් ඇන්ටගෙ අතටම අහුවෙලා වෙන්න ඇති.

පහුවදා උදේ මොකක් වෙන්න ඇති කියලද කට්ටිය හිතන්නෙ…….

අපේ බලාපොරොත්තු සුං ! මෙලෝ විනාසයක් නැ. අපි හිතුවෙ මල්ටිබැරල් ගහපු තල් යාය වගේ ඇතිය කියල. ඇන්ට වෙනද වගේම බාජ්ජු කලිසම ඇඳගෙන ෂර්ට් එකකුත් නැතුව මිදුල අතුගානව. නීතක්ක හැමදාම වගේ කුස්සියෙ පෙරළි කරනව ඇහෙනව. පොඩි වෙනසකට වගේ තිබුනෙ හැමදාම තියන පොල්කුඩුයි තව සුං බුං දාපු ෂොපින් බෑග් එකට අමතරව අන්ඩක් කැඩිච්ච නිල්කමල් ප්ලාස්ටික් පු‍ටුවක් කුණුටැට්ටරේ එනකං වැට අයිනෙ තිබිච්ච එක විතරමයි.

මුකුත් නොවුන ගානට අපි දෙන්නත් ලේස්තිවෙලා වැඩට යන්න මිෂන්හවුස් හන්දියට ගියා. ඔන්න එතනදි තමයි සීන් එක හරියටම තේරුනේ. මෙන්න අපිට පස්සෙ අර ඉස්සරහ කාමරේ බෝඩිං වෙච්ච සිකුරුටිගාඩ් මහත්තය ඉන්නව කොට්ට පැදුරු අකුලගෙන බස් එකක් එනකන්ද කොහෙද අපි දැකලත් නොදැක්ක වගේ අහක බලාගෙන.

සමහර වෙලාවට පොඩ්ඩ එහෙමෙහ උනා නම් එතන ඉන්නෙ නාලක හරි මම හරි අපි දෙන්නම හරිත් වෙන්න බැරි නෑ.

ප.ලි : ආරලු බූරුළු එක්ක කතා ලියන්න ගියාම ඔහොම තමයි. අනිත් පොඩි පොඩි කතා ටිකත් ටිකක් වැඩිපුර අතිනුත් දාල පෝස්ට් දෙක තුනකටම ලියල දානව.

ප.ප.ලි : ගැටගහ ගන්න පුළුවන උනොත් ඊලඟට එන්නෙ ලංකාවෙ හොඳම කොන්දොස්තරල ගැන. ඒකත් ක‍ටුණායකම තමා

පින්තූරය ගත්තේ :http://www.illiteraryfiction.com

සියළුම සිංහල බ්ලොග් කරුවන් ගේ බිරින්දැවරුන් වෙත ලියමි.

දැන් කීප දොහක ඉඳං මයෙ මිනිහ නිස්කාරනේ මත් එක්ක කේන්ති ගන්නව නෙව. මයෙ මොන වැ‍රැද්දකටද කිය ඇහුවට කියන්නෙත් නෑ. කතා බහත් බොහෝම අඩු වෙලා මේ දවස් ටිකට. කිසිම මනුස්සයෙක් පෙන්නන්න බෑ. අහවල් දෙයක් හන්දද කියල මට නං හිතාගන්න බෑ.

කල්පනා කරලමද කොහෙද දවස් දෙක තුනට ඇදිල ගිහිල්ල සුදු මැලි වෙලා හරියට අර හුඹගෙන් ඇදල ගත්තු නයා වගේ. අපෙ අප්පෝ බැලුවම දුකේ බෑ. කොහොමට හිටපු මිනිහෙක්ද? [මාව බැඳගන්න කලින්]

මං නිකං සැකේට වගේ මනුස්සය කක්කුස්සියට ගිය වෙලේ ලැප් ටොප් එක ඇදල අරං නිදිවරං, මගෙන් රටක කතා අහං බොහෝම කැපවීමෙන් දරුවටයි මටයි වත් නැති ආදරෙන් ආරස්සා කොරන බ්ලොග් රාජයා බැලුව.

අනේ දෙයියනේ බලන්න දුකයි.පටංගන්න කොට දවසට පෝස්ට් දෙකක් විතර දාපු මනුස්සයා ටික කාලෙකින් සතියකට දෙකක් ඊටත් පස්සෙ සතියකට එකක් දාන තරං නිර්මාණ බංකොලොත් භාවයකට පත්වෙලා. ස්ටේටස් පේජ් එක බලන බැරි තරමට කඩාගෙන වැටීල නොවැ.

ඒත් පෝස්ට් අඩු උනාට දාන එක දෙක හරි බලන්න හාර පන්සීයක් සතියකට එනව. ඉතිං මේ මනුස්සයට හිත හදාගන්න ඒකවත් මදියිද මංද.

එක අතකට ඒක අහන්න දෙයකුත් නෙමෙයි. මේ මිනිහ කිසිම දෙයක් ඇති කියන ජාතියෙ නෙමෙයි නෙව.

මං ඒත් කිව්ව ලියන්න තරං වැදගත් දෙයක් නැත්නං ගෙදර ඉස්සරහ මැටි ගඩොල් කපන වලේ මැටි පාගන මී හරක් දෙන්න ගැන හරි, අල්ලපු ගෙදර කෙල්ල ලිඳගාව නානකොට අර අනිත් පිස්සව ආදර්ශයට අරං පොතක් අරගෙන බැල්කනියට වෙලා ඉඳල මගෙන් කාපු කොහු පාර ගැන හරි, බැල්කනියෙ වනල තිබිච්ච අන්ඩවෙයාර් එක හුලඟට ගිහිල්ල ලෑන්ඩ් ලෝඩ්ගෙ වයිෆ්ගෙ පෑන්ටි වැලේ පැටලිච්ච එක ගැන හරි ලියන්නෙයි කියල.

කොහේද මේ මිනිහ කිව්වෙ “ඈ ඕයි ගෑණියෙ, ඕව ලියල රෙද්දක් ඇඳං පාරෙ යන්න ඇහැක්ද ?” කියල.

අනේ මේ මිනිහගෙ මං නොදන්න බොරු සදාචාරෙ පැත්තක තියල අර මාළුව වගේ විලිසංගෙ නැති කතා ටිකක් ලිව්වනං ආයෙ කාලයක් යනකං ගොඩ. එහෙමත් නැත්නං මොකක්හරි ඇනෝනිමස් ආතල් එකක් ගත්තනං ඇ‍ඟේ ලේ ටිකත් රත් කරගනෙ කොකු දෙක තුනක් පටලවාගෙන සන්තෝසෙන් ඉන්න ඇහැකි.

කවද්ද ඉතිං මේ මනුස්සය මං කියන දෙයක් ඇහැව්වෙ. ඒත් කීව නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියල අතෑරල දාන්න ඇහැක. මොකක් උනත් මේ මයෙ අම්මල බෑ බෑ කියද්දි ජෝඩු කරපු මඟුලනෙව.

ඔය මං උඩින් කියාගෙන ආවෙ මට කියන්න ඕන දේට පොටක් පාදගන්න.

මේං මට කියාගන්න ඕන දේ…….

මයෙ මනුස්සයගෙ ගෙදර ගෙනැල්ල කරන රාජකාරි වැඩ කටයුතු අහවර උනාම ඉඳල හිටල ලැප් ටොප් එක ඉල්ලං කියවන බ්ලොග් කීපයෙනුත් දෙක තුනක්ම කිසිම පෝස්ට් එකක් නැතුව පාළු වෙලා ගිහිල්ල. බලන්න දුකේ බෑ.

අනේ මං වගේ තම තමංගෙ මිනිස්සුන්ට ඔයාලත් පුළුවන් විදියට වතුර පාරක් ගහල , හති කුඩු පැකට් එකක් එහෙම දීල පොඩි උදව්වක් කරන්න ඔය බ්ලොග් පංඩංගුව ඇදගෙන යන්න. මොකද එහම නැත්නං කාලයක් යනකොට සිංහල බ්ලොග් ලියන්න ඉතුරුවෙන්න කසාද නොබැඳපු හිච්චි කොළු කෙළි රොත්තකුයි, රස්සා එහෙම කොරල ලොකු මහත් වෙච්ච දරුවො දීගතල දීල එහම අහවර වෙච්ච වයසක රොත්තකුයි තමයි. මයෙ මිනිහ වගේ හැඩි දැඩි විවාහක පිරිමි බ්ලොග් අවකාශයෙන් අතුගෑවිලා යයි.

මනුස්සයා උදේ පාන්දරම ඇහැරවන්න, හොඳ කිරි තේ එකක් එහෙම ගිහිල්ල දීල ආදරෙන් ඔළුව ඉඹල එහෙම වැඩ පටගන්න කියල කොම්පියුටරේ ගාවට එක්කං යන්න.

ආයෙම හැන්දෑවට ගෙදර ආවමත් කම්පියුටර් එක බදාගෙන ඉන්න එකට මුකුත් කියනව එහෙම නෙවෙයි.

ඉවසන්න… වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි සිංහල බ්ලොග්කරුවන්ගේ අනාගතය වෙනුවෙන්.

ගෙදර උයන්න පිහන්න එළවලු මාළු එහෙම නැත්නං වැරදිලාවත් සති අන්තයේ ගෙදරට වෙලා සනීපෙට බ්ලොග් ලියන මනුස්සයවනම් ඒක නවත්තල කඩේ යවන්න එහෙම එපා. ඔයාම මල්ලක් අරන් හන්දියට පයින් යන්න. ඒක ඇඟටත් බොහොම හොඳයි.

තව පොල් ගාන, පිටි කොටන, පිටි හලන වැඩ වලට එහෙමත් හවුල් කරගන්න එපා. ඒකත් තමාම කරන එක අනාගතයේ ඔය ආරන තෙල් බඩවල් වලට එහෙම බොහොම හොඳයි.

ඊලඟට ඔය උකුලෙ දාල නිදි කරවන ළමයි එහෙම ඉන්නවනම් ඒ අය නිදි කරවන එකත් ඔයාලම කරන්න මතක තියාගන්න ඕන. මතක තියාගන්න ඒකත් බොහෝම හොඳ ව්‍යායාමයක්. අමතක කරන්න එපා.. රිය සක වන් පුළුලුකුළ !! සිහිනිඟ ගත හැක මිටින !!!

තව ඩිංගෙන් වැදගත්ම දේ අමතක වෙනවනෙව. ඔය ඉඳල හිටල බ්ලොග් ලියන පුරුස පක්සෙ කඩන බෝතල් වලට බර බරේ දානව එහෙම නෙවෙයි. ඒවයෙදි සිද්ධවෙන අත් වැරදීම්, කට වැරදීම්, අකලකංචි එහෙම බොහෝම වැදගත් ඔය බ්ලොග් කලාවෙ තවත් පැති කඩක් වෙච්ච මඩ පෝස්ට් වලට එහෙම. මඩ කියන්නෙ සිංහල බ්ලොක් කලාවේ ජීවනාලිය කිව්වොත් හරියටම හරි. සමහර ඌරන්ට මඩ කිව්වොත් දවල්ට බතුත් ඕනෙ නෑ. [මේකෙත් එනව නේද යාන්තං මඩ පුවක් ගඳ ?]

මීට,
සදා බ්ලොග් ලැදි,
චූටි මැණිකේ.

නවම් මාවත ලියන එකා අවංක නැත. කොලේ වසා ගසයි !

මා කිසිවිටෙකත් ඔබට අවංක භාවයක් පෙන්වා නොමැත. මා එසේ වර්තමානයේ නොකලත් අනාගතයේදී හෝ එසේ ඔබ කෙරෙහි අවංක වේ යැයි සිතන්නේනම් ඔබ ඔබවම රවටා ගැනීමකි. සමාවෙන්න මා කෙදිනක හෝ කිසිවෙකුටවත් පූර්ණ ලෙස අවංක නොවෙමි. මා පමණක් නොව අන් කිසිවෙකුත් තවෙකෙකුට පූර්ණ අවංක භාවයක් පලකරන්නේ යැයි මම නොසිතමි. මාගේ කළු සුදු  ජීවිත අන්තයන් අතර බොහෝ විසල් කලාපයක් අළු පැහැයෙන් පිරී ඇත. මේ බාහිරෙන් පෙනෙන රූපය ඇතුලේ සිටින සාන්තුවරයෙකු හෝ යක්ෂයෙකු නොවන මා කිසිම විටෙක කිසිවෙකුට පූර්ණ ලෙස විවෘත නොවෙමි.  කිසිවෙකුට මා පූර්ණ ලෙස වටහා ගැනීමට සුළු හෝ ඉඩක් නොතබමි. වැරදීමකින් හෝ කිසිවෙකුට මාගේ සිතුවිළි කියවන්නට හෝ ඇතුලාන්තය දකින්නට හැකි වූයේනම් මා හිරගෙවල් හතක සිරකර දමනු ඇත්තේම ය. එහෙයින් මා පැලඳ සිටිනා වෙස් මූණෙන් සැබෑව සඟවා සිටිමි. දොරගුළු තදකරමි. එය මා උවමනාවෙන්ම කරන්නෙකි. එය මාගේ පැවැත්ම සඳහාමය. කිසිවෙකු ‍රැවටීමට ඉන් මා අදහස් නොකරමි.

මා සුන්දර මනුස්සයෙකු ලෙසම පමණක් ඔබ දකින්නේනම් රුචි වෙමි. කැරළි ගසන විප්ලව වාදියා කිසි වෙටෙකත් ඔබට හෙලි නොකිරීමට පරිස්සම් වෙමි. නිතොරින් මන්දස්මිතියක් ම පෙන්වමි. ඒ පණු කෝම්බ වූ දත් ඔබ කෙරෙන් වසන් කිරීමටය. දරාගත නොහැකි වේදනාවක් පැමිනිකල්හි අඳුරු ගුහාවට වැදී හඬමි. නැවතත් ඔබ දකින්නට පැමිනෙන්නේ කඳුලු වියැකුනු පසුව මිස ඊට පෙර නම් නොවේ. මා දුර්වලයෙකු බව පෙන්වීමට අකමැත්තෙමි. මිනිස් වනාන්තරයේ දුර්වලයන්ට පැවැත්මක් නැති වග මා අත්දැකීමෙන් උගෙන ඇත. ප්‍රත්‍යක්ෂකොට ඇත්තෙමි. එහෙයින් සැබෑ දුර්වලයෙකු වූ මා ඔබ සැම ඉදිරියේ “පොර” මැට්ටෙන් ශරීරය වසා ශක්තිවන්තයෙකු ලෙස නැඟී හිඳිමි. ශරීරයේ ඉහඳ පණුවන් නළියන වණ කැලැල් නොපෙනෙන්නට අඳිමි, පලඳිමි. ඉන් හමනා නහය හාරන දුගඳ නැසීමට සුවඳ ගල්වමි. කුණු වී ඕජස් ගලන ආධ්‍යාත්මය සුදු පිරුවටයකින් වසාගෙන ශාන්තු වරයෙකු ලෙසින් ඔබ ඉදිරියට පැමිනෙමි. ඒ සියල්ලම ඔබ සියල්ලන් අතර මාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහාමය.

ජීවිතයේ අනේක විධ කටයුතු රාජකාරි මැද, ඇතැම් විට ඒවා මඟහැර මම බ්ලොග් ලියමි. එහි සටහන් කරන්නේ මාගේ ජීවිතයේ සිදුවීම් ය. මතක තබා හැනීමට අවැසි සිදුවීම් ය. චණ්ඩිකම් ය. වැඩිපුර ලැජ්ජාවක් නොහිතෙනා පාරාජයන් ය, අහිමි වීම්ය. කොළුකම් ය. කිසිම විටෙක කළුවරේ දොර වහගෙන කරන දේවල් නොලියමි, අඳුරේ සැඟවා තැබීමට පරිස්සම් වූ කිසිවක් නොලියමි. කොටින්ම මාගේ ජීවිතයේ සිදුවූ, රෙද්දක් ඇඳන් කියන්නට බැරිවූ කිසිවක් මෙහි සටහන් කර නොතැබීමට පරිස්සම් වෙමි. ලියන්නේම මාගේ ප්‍රතිරූපය වර්ධයනය කෙරෙනා දේවල්මය. හාණි වන කිසිවෙක් ලියවෙන්නේම නැත. ඇතැම් විටෙක ආන්දෝලනාත්මක පෙලඹවීමක් ඇතිකරනා යමක් ඉඳ හිටෙක ලියවෙන්නට ඉඩක් නැත්තේ නැත. එයද මතුපිටින් බැලූ කල්හි සෘජු ලෙසම නොපෙනෙන, එනමුත් සැඟවූ යටි අරුතයකින් ප්‍රතිරූප වර්ධනය කරන්නන්මය. මාගේ සමාජීය ප්‍රතිරූපය එක අඟලකින් හෝ ඉහල නංවාගැනීමට මට නොදැනුවත්වම මා ක්‍රියාත්මක වෙමි. එය දලඹුවෙකුගේ ශරීරය පුරා ඇති විෂ ‍රැඳුනු සියුම් කෙඳි ‍රැස ඌ ආරක්ෂා කරනවා මෙන් මා ගොදුරු කර ගැනීමට බලා ඉන්නාවුන් ගෙන් ආරක්ෂා කරයි.

ඇතැම් විටෙක යමෙකුගේ විප්ලවකාරී අදහස් ඇති හෝ මට එකඟවිය නොහැකි කරුණු ඇති ලිපියක් කියෙවා හිතට නැ‍ඟෙන අවංකම හැඟීම ඊට යටින් සටහන් නොකරන්නෙමි. විටෙක සැර හොඳටම බාල කර හෝ සීනි දැවටූ පෙරුංකායං ගුලියක් වන් සටහනක් තබමි. ඒ කිසිවෙකුගේ හිත තැලීම මට තරම් නොවන්නේයැයි සිතෙනා බැවිනි. කිසිවෙකුගේ හරි වැරදි භාවය තීරණය කිරීමට මට අයිතියක් නැත. මට සමාජය හැදීමේ භාරදූර වගකීමක් නැත. එවන්, මට පාලනය කරගත නොහැකි වගකීමක් ගැනීමටද කිසිම අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නැත. මම මගේ දරුවා හදාගනිමි. ඌ උගේ දරුවන් හදනු ඇත. මගේ සමාජ ශෝධනය එතනින් අහවරය. එනමුදු හිතුකොත් එකෙකු ඉඳහිට කොනිත්තමි, ඒ ඌ ආපසු හැරී මාව කොනිත්තන්නේ නැතැයි සිතුනොත් පමණි. ටොක්කක් ඇන්නත් පසුව හිස අතගාමි. එහෙත් යම් ලිපියකට තබනා සටහන පූර්ණ අවංක සටහනක් නොවෙන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ හැම විටෙකම ඒවා කඩු, කිණිසි නොවේ, හුදෙක් මල්, කඳුළු සහ සිනහවකි. එයින් ඔවුන්ට සතුටක් අත් වේනම් එයම මාගේ සතුටට හේතුවකි. මා එවන් ප්‍රතිසටහනක් මාගේ ලිපියක් යටින් සටහන් වී ඇතිබව දැකීම මට සතුටක් වන්නාසේම ඔබ ගේ සටහනකට යටින් ඔබගේ මතය හෝ ස්ථාවරය තහවුරු වන ප්‍රතිසටහනක් දැකීම ඔබටද සතුටක් වන බව දනිමි.

මම හිට්ස් වලට කෑදරය, කමෙන්ට්ස් වලය පණ ඇරලාය. මා මේ සියල්ල ලියන්නේ මා වෙනුවෙන් කියන්න ආසා මුත් ලැජ්ජාය. ඒ එම කතාවේ මා නොකියන දෙයක් ගැබ් වී ඇති බැවිනි. මෙය සත්‍ය වශයෙන්ම ලියන්නේ මා වෙනුවෙන්ම නම් මාගේ පෞද්ගලික මුද්‍රිත දිනපොතක ලියනු විනා මෙසේ අන්තර්ජාලීය සටහන් තබන්නේ නැත. එසේ තැබුවද එය පෞද්ගලික ලෙස තබාගන්නවා විනා සියල්ලන්ටම කියවීමට, සෙවුම්යන්ත්‍ර වලට හසුවීමට ඉඩ නොතබන්නෙමි. කමෙන්ට්ස් දැමිමට ඉඩක් නොතබමි, දිනකට වරක් හෝ බ්ලොග් ස්ටේටස් නොබලමි. වැරදිලා කවුරුන් හෝ තැබූ කමෙන්‍ටුවකට “ස්තූතියි” කියා හෝ ප්‍රතිචාරයක් තබන්නේ නැත. ලිපියක් ලිවීමේදී අනුන්ගේ පොස්ට් වලට ලින්ක්ස් දමන්නේ නැත. බ්ලොග් රෝල් දමන්නේ නැත. සින්ඩි වලට ඇතුලත් කරන්නේද නැත. බ්ලොග් එකට හිට් කවුන්ටර් දමන්නේ නැත. ප්‍රොෆයිල හදන්නේ නැත, ෆලෝවර්ස් ලා තියාගන්නේ නැත. එහෙයින් මා මෙය ලියන්නේ මා වෙනුවෙන්ම නොවේ. කියවනා සුළු හෝ පාඨකයන් උදෙසාද ඉන් කොටසක් වෙන්කෙරේ. තව තවත් පාඨකයක් පිරිසක් ඇතිකර ගැනීමය ආකර්ෂණීය පෝස්ට් ටොපික්ස් දමමි. වැඩි දෙනෙක් කියවන්නට රුචි වර්ගයේ ලිපි පල කරමි, එනමුත් ඉඳ හිටෙක කිසිවෙකු නොකියවනු ඇතැයි, කිසිම ප්‍රතිචාරයක් නොවැටෙනු ඇතැයි සිතුනත් මට යමක් ප්‍රකාශ කිරීමට තදින්ම අවැසි වූවොත් එවන් සටහනක් ද පලකිරීමට පසුබට නොවෙමි. කෙසේ වුවද මාස තුනක්වත් වයස නැති මගේ බ්ලොග් ඉතිහාසයේ එවන් අවශ්‍යතාවයක් තවමත් පැනනැඟී නොමැත.

මා මුදල් හම්බකරගෙන නැත, එමෙන්ම මිනිසුන්ද හම්බකරගෙන නැත. මා සමාජශීලී සත්වයෙක් නොවේ. මුළුගැන්වී සිටීමට කැමැත්තෙමි. ලෙහෙසියෙන් කෙනෙකු හා මිත්‍ර නොවෙමි. මම බොහෝ විට මා ආරක්ෂාකාරීය යන්න තහවුරු වී නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට යාමට අකමැතිය. එසේ නමුදු දන්නා අඳුනන මිනිසුන් බොහෝමයක් ඇත. මා ඔවුන් මිතුරන් ලෙස හැඳින්වීමට අකමැත්තෙමි. ඒ මිතුරා යන්නට මාගේ අර්ථකතනය වෙනස් බැවිනි. දන්නා කියනවුන් හා මිතුරන් අතර මා වෙනසක් දකිමි. බොහෝ කලකකට පෙර දන්නා කියන උන් වී සිට පසුව මිතුරු වී මා හා එක පළලේ ලගින්නට ඉඩ දුන් කිහිප දෙනෙක් මට ඇත. නමුත් ඇතැම් විටෙක උනට මා අවැසි විටෙක මා උන් අහලකවත් නැත. එය උන් මාගෙන් බිඳවීමට තරම් හේතුවක් නොවන බව, මට උන් අවැසි සෑම විටෙකම මා අසල හිඳීමෙන් ඔප්පු කර ඇත.

මෙය මාගේ වර්තමානයේ ඔබ ඉදිරියේ විවෘත වියහැකි උපරිමය ය. මින් එහාට මා වටා ඇති කෝශයේ එකදු සිවියක්වත් නොගලවමි. එසේ වුවහොත් මා පිළිස්සී යනු ඇත.

කොටින්ම මා පෘතුග්ජනය !

මම මැරෙනව යකෝ…

ඔන්න ඔහොම කියල අදටත් යහතින් ජීවත්වෙන කී දෙනක් ඉන්නවද….?

වැඩිය ඕනෙ නෑ. මමත් කී පාරක් ඔහොම කියල තියෙනවද, එහෙම කියපු දෙතුන් පාරට වඩා කී පාරක් නං හිතිල තියෙනවද. මං නං මළේ නෑ. යස අගේට පවුලකුත් කාගෙන බ්ලොග් එකකුත් කොරං ඉන්නව. ඔය හිතට එන කේන්තියට ඔහොම කිව්වට මැරෙන්නෙ මොන හිතකින්ද. දාල යන්න බැරි දේවල් කීයක් නං තියෙනවද අපි වටේ එතිල.

කියන්නං වාලෙ එහෙම කිව්වට මට හිතෙන විදියටනං  ඔය දාල යන්න බැරි කිසිම දෙයක් අපි ලං කරං නෑ. ජිවත් වීමේ ආසාව හන්ද අපිට නොදැනෙන්න යටි හිත අපිව මොනව හරි දෙයකට ඇලීමක් ඇතිකරනව. එතකොට හිතෙනව මම මැරිල කොහොමද කියල.

මැරෙන්න හිතෙන අවස්ථා වලකන පොදු හේතු කාරනා විදියට,

මම මැරුණොත් ගෑණි / මනුස්සය කන්නෙ බොන්නෙ කොහොමද?
දරුවොන්ට යන කලදවසක් තියෙයිද?
වයසක අම්ම / තාත්ත බලාගන්නෙ කව්ද?

ඔය වගේ අතිශය සංවේදී හේතු වල ඉඳල

ඉඩං කඩං වල වැඩට දුවපනින්න මං නැතුව කවුද ඉන්නෙ?
පංසලට දානෙ ඩිංග ගෙනියන්නෙ කව්ද?
ගෑණුළමය / පිරිමි ළමය තනි වේවි නේද?
බල්ලට කන්න දෙන්නෙ කව්ද?

වගේ එච්චර බලපෑමක් නොකරන කාරනා වෙනකන් හේතුත් ඊට අදාල අනෙකුත් අතුරු කරුණු කාරණාත් මතක් වෙනව ඒ වෙලාවට. ඔන්න එතකොට ආපහු මැරෙන්න යන එකාට ජීවිත ආසාව පහල වෙනව.

වැඩිය ඕනෙ නෑ, හය වසරෙදි විතර මටත් මැරෙන්න හිතුන.

මගෙ අම්මෝ… මැරෙන්න….. ඕව් ඕව් මැරෙන්න තමයි.

කෝච්චියට බෙල්ල තියන්න, වාහනේකට පනින්න, කො‍ටු තාප්පෙ උසම කෙළවරෙන් මූදට පනින්න, වස බොන්න, බෙල්ල වැල දාගන්න ඔය මොන ක්‍රමයකින් හරි  මැරෙන්න මයි මට ඕන උනේ එදානං. ඔය ත්‍රස්ත චේතනාවෙන් ඩිංගක් වෙලා ඉන්නකොට මට එකපාරටම මතක් උනා තාත්ත හවසට පූස් පැටියෙක් ගේනව කියල. ඔන්න ඩිංගක් විතර අර මැරෙන්න ආපු හිත වෙනස් වෙන්න පටන් ගත්ත. මම මැරුනොත් අර පූස් පැටිය බලාගන්නෙ කව්ද, ඌත් එක්ක සෙල්ලං කරන්නෙ කව්ද, නාවන්නෙ කව්ද [පූසො නාවන්නෙ නෑ නේද?] ඔන්න ඔය වගේ දේවල් හන්ද ආපහු මම ජීවත් වෙන්න තීරණය කලා. හොඳ වෙලාවට තාත්ත මට කලින් ම කියල තිබුනෙ හවසට පූස් පැටියෙක් ගේනව කියල. නැත්නං ඉතිං බලාගන්න තිබුන කාට කාටත් මට කේන්ති ආවම වෙන්නෙ මොකක්ද කියල.

අනික බොහෝමයක් දෙනා මැරෙන්නෙ තව කෙනක්ට පාඩමක් උගන්නන්න හිතාගෙන. ගොඩක් වෙලාවට ගෑණු ළමය හරි පිරිමි ළමය හරි තරහ  වුනාම මැරෙන්නෙම ඒ හේතුව හින්ද. මහේ මරණෙට වග කියන්න ඕන ඔයා කියන එක තවත් තහවුරු කරන්න සමහර වෙලාවට සටහනකුත් ලියලම යන්න අමතක කරන්නෙ නෑ සමහරු. ඔතනදි අර පූස ගැන මතක් කරල මාව බේරගත්තු යටි හිතත් සමහර විට දුර්වල වෙනව ඇති ඒ වෙලාවෙ වියෝ දුකේ තියන ආවේගයට. හැබැයි ජීවත් වෙන්න පුංචි වාසනාවක් හරි තිබිල ඉස්පිරිතාලෙකට ගෙනිච්චොත් සීයට අනූ නමයක් ම කියන්නෙ “මොනව හරි කරල මාව බේරගන්න කියල” ඒ අර ආවේගය පහ වෙලා ආපහු ජීවිත ආසාව මතුවෙන්න තරං කාලයක් ගතවෙච්ච හන්ද.

හිතේ ආවේගෙට මැරෙන්නෙ කියල විවිධ උපක්‍රම පාවිච්චි කරනව, ගොඩක් වෙලාවට තමන්ට ඉක්මනින්ම ලංකරගන්න පුළුවන් උපාය තමයි යොදාගන්නෙ, ඔය ඉක්මන් වීම හන්දම ඒක මැරෙන්න තියන ක්‍රමයක් නොවෙන්නත් පුලුවන්. මැරෙන්න හදනකොට මොන නැකැත්ද නේද. මම දන්න ගෑණුළමයෙක් සාමන්‍ය පෙළ ප්‍රතිඵල මදියි කියල තාත්ත දොස් කිව්වට අර ටොයිලට් සුද්ධකරන්න පාවිචිචි කරන හාපික් බිව්ව. අනේ කරුමෙ කියන්නෙ මැරෙන්න බැරි වුනා. හැබැයි හාපික් වලට පිච්චුන බඩවැල් කපල අයින් කලා, දැන් ඒ ළමයට එක පාර කෑම ගොඩක් කන්න බෑ, පොඩි පොඩි කෑම වේල් වැඩි ගනනක් තමයි කන්නෙ. ඒ මදිවට හාපික් බබා කියල කාඩ් එකකුත් වැදිල තිබුන. තව ඔය භූමිතෙල් බීපු අය, මී පාසනම් කාපු අය, පෙට්‍රල් බීපු අය [ගිණි කූරකුත් ඕන වැඩේ හරියටම වෙන්න] ජීවිතේ බේරගත්තු කතා පත්තරව අනන්තවත් තිබුන පහු ගිය දවස්වල.

දැන් නං ඒව දකින්න නැත්තෙ පත්තර වල ලියල ලියලම උන්ට එපා වෙලාද එහෙම නැත්නං පණ නහගන්න එක අඩුවෙලාද මන්ද. කොහොමිං කොහොම හරි පණ නහගන්න උන් අඩුවෙනවනං මේ නවම් වගේම අනිත් හැම දෙනාම සතු‍ටුවෙනව නෙ. ඔය වගේ පණ නහගන්න කෙනෙක් ගෙ ජීවිතය බේරගන්න පුළුවන් නම්. පින් පව් පැත්තක තියල හිතුවත් සැහෙන්න වටින දෙයක්. හ්ම්ම්.. කොහොමද අපි එහෙම කරන්නෙ….. තම තමන්ගෙ වටපිටාව ගැන සැලකිලිමත් වෙනවනං, තව කෙනෙක් ගැන හොයල බලනවනං, අනුනනට ඇහුම්කන් දෙනවනං, තවත් කෙනෙක්ගෙ හදිසි වෙනස් වීමකට සංවේදී වෙනවනං ඔය සියදිවි හාණි කරගන්න පාදක වෙන හේතු ගොඩක් වලක්වාගන්න පුළුවන්.

මිනිස් හිත කියන්නෙ ගොඩක් දරුණුවෙන්න වගේම හිතාගන්න බැරිතරම් මෘදු, සංවේදී වෙන්න පුළුවන් දෙයක්. එහෙම මෘදු වෙච්ච වෙලාවක ඇල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් දුක හිතෙන්න පුළුවන්. ඒක නිසා ජීවිතේ කොයිම මොහොතකවත් ඇහුම් කන් දෙන්න තියෙන අවස්ථාවන් මගහරින්න එපා. සමහර වෙලාවට ඒ ඔයාගෙ ආදරණීය බිරිඳ, අම්ම, තාත්ත, නංගි, මල්ලි, දුව, පුතා, අසල්වැසිය, වෙන්න පුළුවන්. දුකින් ඉන්නව දැක්කොත් හොයල බලන්න අමතක කරන්න එපා. අනුකම්පාවෙන්, ආදරෙයන් කතාකරන වචනයකට, පුංචි හරි බලාපොරොත්තුවකට, හිනාවකට නැතිවෙන්න යන ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි.

වෙන්න ඕන මොකෝ ඔය පෙට්‍රෝලියම් බේස් එක නැතුව ක්‍රීම් හදන්නෙ අමාරුයි.
%d bloggers like this: