එක බඩවැල කඩං නාවට උඹ මගෙ සහෝදරය බං

එක බඩවැල කඩං නො ආවට උඹ මගෙ සහෝදරය බං.

කී දෙනක්ට ඔහොම කියන්න වරම් තියනවද මංද, ඒත් මුළු හිතිංම මට එහෙම කියන්න පුළුවං. ඒ වෙන කවුරුවත් හන්ද මෙමෙයි. උඹ හින්ද මචං.

මට මතක නෑ මට මුලින්ම මුනගැහෙන්නෙ කවදද කියල, ඒත් ඒ උඹ ශිෂත්වෙ පාස් වෙලා මම උන්නු ඉස්කෝලෙට ආපු අලුත කියල මතකයි. ඒ වෙනකොටත් උඹට අලුත් ඉස්කෝලෙ යාලුවො මහ ගොඩයි. ඉස්කෝලෙ එක වසරෙ ඉඳල උන්නු මටත් වඩා. ඒත් මට උඹ ගැන ඉරිසියා නොහිතුනේ එහෙම හිතන්න තරං මට තේරුමක් නොතිබුන හන්ද ද, එහෙම නැත්නං උඹත් මට දිරවපු නැති අනිත් උන්ගෙ ගොඩටම දාන්න හිතං උන්නු හින්ද ද එහෙමත් නැත්නං උඹෙ හොඳ වැඩි හිත හන්ද කියල මං දන්නෙ නැ.

ඩිංගක් ඉහල පන්තිවලට යනකොට උඹල අපිට ඔය ඉලෙක්ට්‍රොනික් උණක් හැදුන. මට බෝඋනෙත් උඹෙන්ද මන්ද. සෙනිත් පොත් ඉස්සර අපිට දෙයියො වගේ. ඕවයෙ තිබුනෙ පුංචි පුංචි ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන විදිය. ඕවයැං වැඩිය ජනප්‍රිය ඔය ට්‍රාන්ස්මීටර්, එක එක සෙන්සර් වර්ග, L.E.D වලින් වැඩ දාන හැටි නෙ. ඉස්සර මගෙ කාමරේ ඇඳයට කාඩ්බෝඩ් පෙට්ටියක P.C.B බෝර්ඩ්, ලෙඩ් කම්බි, සර්කිට් වයර් කෑලි පිරිල, අම්ම කාමරේ අතුගාන හැම පාරකම ඔය පෙට්ටියට කොස්සෙන් ඇනල මට බණිනව. ඉඳල හිටල ඔය අනින පාර සැර උනොත් එහෙමෙ කෑලි කාමරේ පුරාම. එතකොට බැණුනුත් වැඩිවෙනව.

උඹට මතකද මම උඹෙන් ඔය ට්‍රාන්ස්මීටර් සර්කිට් එකක ඩයග්‍රම් එකක් ඉල්ලං ගෙහිල්ල හදල වැරදිලා, ඒක ස්විච් ඕන් කලාම අහල පහල ටී.වී නොපෙනී ගියා.  ඔය කතාව අහපු ඉස්කෝලෙ උං දෙනෙක්  ඕක මගෙං ඉල්ලං ගෙහිල්ල අහල පහල උන්ට වද දුන්නද..

මම හදපු හැම සර්කිට් එකක්ම ඔහොම විනාසයක් අරං ආපු හන්ද මතකද මම උඹට කියල UM66 ක් දාල මියුසික් සර්කිට් එකක් හදවගත්ත. උඹ මට ඕක හදල දුන්නෙ P.C.B එකක නෙමයි, ෆෝමිකා කෑල්ලක. එහව් ලෝ බජට් විදියට හදලත් මගෙන් රුපියල් 60.00 ම ගත්තෙනෙ උඹ ලැජ්ජා නැතුව. ඔය කාලෙ වෙනකොට මම වැඩිය ගනං හිලව් නොදැනෙ උන්න හන්ද ගානක් උනේ නෑ. හැබයි පස්සෙ මට තේරුනා උඹ මාව ඇන්දුව කියල. මට වෙන එකෙක් එහෙම ඔහොම බලු වැඩක් කලානං ඌ මගෙ ආශ්‍රයෙන් අයින් කරන්නෙ එදා. මොන හේතුවකටද මංද මට උඹ කරපු වැඩේට හිනා ගියා, තවමත් ඉඳල හිටල මම උඹට ඔය ඔය UM66 කියන්නෙ මම ඒකෙ හිනාවක් දකින හන්ද.

තව පොඩ්ඩෙං අමතක වෙනව, උඹට මතකද අර උඹලගෙ ගෙදර තිබිච්ච දානෙට එන්න පාර ඈඳල දුන්න කොලේක.  [ඔය පහල තියෙන්නෙ මගෙ මතකයෙන් ආපහු ඇඳපු එක. උඹ ඇඳපු එක ඔයිට අප්සට්]

ඕක බලං ඇවිල්ල මමයි අම්මයි වැටිච්ච අමාරුව. උඹට අමතක වෙලා තිබුන ඔය එන පාරෙ තියනෙ තව අතුරු පාරවල්, හන්දි, වංගු මහ ගොඩක්. අන්තිමට ත්‍රීවීල් එකක ආපහු එන්න තරං පයිං ගියා. ඒත් බං අම්මටයි මටයි හිනා ආව මිසක් කේන්ති ආවෙ නෑ. දානෙ කොච්චර වැදුනද කියනවනං අම්ම යවල මම උඹලයි ගෙදර දවසක්ම හිටිය.

ඔය කාලෙ උඹ අපේ ගෙදර පදිංචියට ආව පාඩං කරන්නෙ. [අනේ උඹයි මමයි කරපු පාඩං] උඹනං අපේ අම්මගෙන් එක දමාගෙන පාඩං කලා. මං මළ කම්මැලිකමට නිදාගෙන ඉඳල විභාගෙට කෙළවගත්ත. මට එතකොටත් කේන්තියක්, ඉරිසියාවක් ආවෙ නෑ, උඹ පාස් උනාට සං‍තෝසයක් මිසක්

එතන ඉඳල උඹ අපේ ගෙදර එකෙක් වගේ උනා, මරණයක් උනත්, මගුලක් උනත් උඹ අපේ ගෙදර, උඹ අපේ නෑදෑයො අතරෙ හරිම ජනප්‍රියයි. ඇහුවොත් ඇත්නං උඹෙ හොඳක් මයි. මගෙ හොඳක් නොකියෙන නෑදෑ කටකිං උඹෙ හොඳක් කියවෙනකොට මට උඹ වගේ යාළුවෙක් ඉන්න එක ගැන ආඩම්බරයක් මිසක් මට උඹ ගැන තරහක් ඉරිසියාවක් නෙමයි ඇතිවුනේ.

මතකද විභාගෙ ඉවරවෙලා උඹ ෆ්ලෝර් පොලිෂර් එකක් හදනව කියල දහ අතේ දිවුරල උඹෙ කැමරාව ඔට්‍ටුවට අල්ල ගිවිසුමකුත් ගහල මෙට්ටෙ කවරෙ අස්සෙ දැම්ම. උඹ හදපු මගුලකුත් නෑ, පැරදුනාට ඔට්‍ටුව දුන්නෙත් නෑ. මං ඒකට තරහත් නෑ.

මෙට්ටෙ කිව්මයි මතක් උනේ, මතකද උඹ නිදාගනිපු ආර්පිකෝ ස්පොන්ච් මෙට්ටෙට උඹ කොච්චර ආසකලාද කියල, කොච්චරද කියනවනං උඹෙ නමේ මුල අකුරු කාබන් පෑනෙන් මෙට්ට කවරෙ ලියලත් තිබුන, මගෙන් ඉල්ලුවත් එක්ක. මම එතකොට කිව්ව උඹට “උඹ බඳින දවසට මම ඔතාගෙන එනව” කියල. දැං ඒ මෙට්ටෙ නිදාගෙනමද කොහෙද ස්පොන්ච් ගතිය අඩුවෙලා තුනී වෙලා. දැං ඒක දාල තියෙන්න චූටිමැණිහෙගෙයි මගෙයි පුතු පැටියගෙ ඇඳට හින්ද තැන තැන වේලිච්ච චූ පැල්ලං තියනව. ඒත් මචන් මම කොහොමද උඹෙ ආසාවට පයිං ගහන්නෙ. උඹ මොන ලෝකෙ උඹෙ වෙඩිම ගත්තත් ඔතං එනව මචං. මං තනි වචනෙ එකා කියල උඹ දන්නවනෙ. [ඕකමනෙ මට යාලුවො නැත්තෙ බං]

ගම රට අතෑරල ඇවිල්ල මෙහේ මුල් ඇද්දට පස්සෙ උඹත් රස්සවකට මෙහේ ආව. සතියකට සැරයක් අපේ ගෙදර එන උඹ පිලි ගන්න අපි සං‍තෝසෙන් බලං ඉන්නව. අම්ම, නංගි, මම, උඩිං නොපෙන්නුවට තාත්තත්. [ඒ අපේ තාත්තගෙ හැටි කියල උඹ දන්නව]

මං උඹේ ගෙදර ආවමත් ඔය ආදරණීය පිළිගැනීම එහෙමමයි, සමහර විට ඊටත් වඩා. උඹේ අම්ම, ලොකු අක්ක, චූටි අක්ක, සුදු අක්ක, නංගි මාව බාරගන්නෙ හරිය පවුලෙ එකෙක් වගේ. මගෙ පොඩි එකා බලන්න හැම එකෙක්ටම කලින්, උඹටත් කලිං උඹෙ ලොකු අක්කයි නංගියි බං ආවෙ. ඉතිං මං තව වෙන මොනව වත් කියන්න ඕනද මචං ?.

‍රැට කාල කාමරේට වදින අපි නිදිමත එනකං පරන දේවල් කිව කියව ඉන්නනෙ කොච්චර සං‍තෝසෙන්ද. මතකද චූ බට්ටයි උඹයි අර ස්පීකර් එකේ ඇදේ කෙලින් කරපු ටූල් එක [මෙතන ලියන්න බැනෙ බං] ලලලංකයි, බටෙයි, දුමිඳුවයි එක්ක කරපු විකාර, ත්‍රී කොයින් බියර් කෑන් අරං ‍රැන්පාට් එකේ සන්සෙට් එකට වෙලා බිව්ව හැටි.  ඊටපස්සෙ උඹ හිස් කෑන් දෙක අරන් ගෙදර යනව. මතකද දවසක් ගැට්ටට ඔය හිස් කෑන් වැඩේ මාට්‍ටුවෙලා කාලයක් යනකං නෝන්ඩි කලා. ඕක අපි දෙන්නගෙ නං දෙක එකතුකරල කුපාඩි කතාවක් හැදුව. උඹ හරි මම හරි තනියම ඉන්නකොට “කෝ බං අනිත් බාගෙ” කියල අහන තරමටම අපේ යාලුකම වටෙටම දැනිල තිබුනෙ. දැං උනත් පරන එකෙක් මුනගැහුනම විස්තර කතා කරල උඹ ගැනත් අහන්න අමතක කරන්නෙ නෑ බං.

මගෙ වෙඩිමට උඹ මහන්සි වෙච්ච තරං, පැණි හඳ බලන්න නවතින තැන් හොයන්න උඹෙ පරන මෝටර්සයිකල් ක‍ටුවෙ නැහල උඹත් එක්ක රවුං ගහපු හැටි… කාර් හොයන්න මහන්සි වෙච්ච හැටි අමතක නෑ බං. අන්තිමට මගුල් කාර් එකත් උඹෙ ගානෙ.  ඒ මදිවට හෝම් කමින් එකෙං පස්සෙ මගෙ නෑදෑයොත් එක්ක වැටිල ගෙදරත් ඇවිල්ල කාමර වල ඉඩ නැතුව මෙට්ටයක් බිම දාගෙනෙ නිදාගෙන තමයි උඹ පස්ස බැලුවෙ.

මතකයි නෙ මායි චූටි මැණිකෙයි පැණි හඳ බලන්න යන්න ඔන්න මෙන්න කියල අර රෙද්ද මට දෙන්නෙයි කියල උඹෙ අතට දීල, “ඕක අපේ එකාට දෙන්න, මිනිහ ඕක මොකකටද කියල දන්නවද දන්නෙ නෑ” කියල අපේ තාත්ත කිව්ව හැටි. උඹ එච්චරට අපිට සමීපයි බං, සමහර වෙලාවට නෑදෑයෙකුටත් වැඩිය. රෙද්දට වෙච්ච් දේ උඹ දන්නව නෙව, හිකිස්…..

මම උඹෙ ජීවිතේ සෑහෙන්න පෞද්ගලික දේවල් දන්නව වගේම මගෙ අම්ම තාත්ත නොදන්න දේවල් උඹ දන්නව. කවදාවත් උඹ ඒව දැනගෙන හිටිය කියල මට බයක් හරි ලැජ්ජාවක් හිතිල නෑ මචං. අදත් චූටිමැණික ඇරුනාම දෙපාරක් නොහිතා ඕනම දෙයක් කියන්න ඉන්න උඹ විතරයි කියල උඹ දන්නවද මංද. ඒත් ඇත්ත ඒකයි මචං.

මගෙ අවුරුදු විසිඅටක ජීවිත කාලෙට මම හම්බකරගනිපු වටිනාම දේ චූටිමැණිකෙයි, අපි දෙන්නගෙ පුතු පැටියයි, උඹයි. ඉතිං මං කොහොමයි කියන්නෙ උඹ මගේ සහෝදරය නෙවෙයි කියල !

Advertisements
%d bloggers like this: