ආටිචෝක්
නොවැම්බර් 14, 2011 ප්රතිචාර 48
හපෝ මේකගෙ ලඟින් එන ගස් ගඳ….. කොහේ රිංගනවද මංද දවස පුරාම. බැලුවොත් ඇත්නං ගේ හරියක නෑ නෙව.
ඕං අදත් ආච්චි පටන්ගත්ත අඬෝවැඩියාව….
අනේ ඉතිං ඔහේ කියන්නෙ මට ගෙයි ගෙම්බි වගේ ගෙටම වෙලා ඉන්නෙයි කියලැයි… ඒ අච්චියෙ?
මට මේකව ආං බාං කරන්න බෑ.. තාත්තණ්ඩියට විගහට ඇවිල්ල එක්කං යන්නෙයි කියනො..
ආච්චි හැමදාම වගේ ඇදල ගන්න ආයුදේ අදත් ගත්ත. හපෝ… මට බෑ තාත්තත් එක්ක අර කාන්තාරෙට යන්න. අනික ඒකෙ හොරුත් ඉන්නවලු.
මං හිමීට ආච්චි වාඩිවෙලා උන්නු දිග ඇඳි බංකුව අනිත් පැත්තෙ කෙළවරෙන් වාඩිවෙලා බිම උන්නු පූසිගෙ වලිගෙ පයිං පාගන්න හැදුව. එයැයි නිදාගෙන උන්නට වලිගෙ ඇහැරිලා…
ඔයි මොකෝ ඒපාර කරනෙ,
දොරකොඩ මහා රඹුටං ගහෙන් පෙරිල එන ඉර එලියෙ පැත්තට කරං කියවන බණ පොත උඩින් බලල මගෙන් ඇහැව්වා.
හපෝ එයැයිට හතරවටේටම ඇස්. පෙරේද කහල ගොඩට වැටිච්ච පොල් ගෙඩියක් අරන් යන නීයවත්තෙ ආච්චි දැකල ඒකත් තිලේඅම්මට කිව්වනෙ. කොහොම පේනවද මංද ඒ හැම දෙයක්ම. වෙලාවකට මට හිතෙන්නෙම එයැයිට දිවැස් තියනවැයි කියල.
මං ආයෙ හෙමීට නැගිටල ගියා තිලේඅම්ම මොකෝ කරන්නෙ කියල බලන්න. වෙලාවෙ හැටියට නං එයා පිළිකන්නෙ පඩියට වෙලා පොතක් හරි පත්තරයක් හරි බලනව වෙන්න ඕන.
කුස්සිය පැත්තෙන් හරිම හොඳ පුසුඹක් එනව.
ඒ ගමන තිලේඅම්ම හොයන එක පැත්තක තියල බෝතල් රාක්කෙ ගාවින් වමට හැරිල බිත්තිය අයිනෙ මිටි ගහල තියන වී ගෝණියකටත් පයිං ගහගෙන මං කුස්සියට ගියා.
කුස්සියෙ වම් පැත්තෙ මුල්ලට වෙන්න බැඳපු මැටි ලිප ලඟ ඇණතියාගෙන චූටිඅම්ම මක්කද තම්බනව…
චූටි අම්මේ මක්කයි ඔයි තම්බන්නේ..?
එයැයි කතාවක් නැතුවම හැන්ද මුට්ටියට දාලා සුදුපාට බෝලයක් මයෙ දිහාවට උඩින් වීසිකරා.
නරක වෙලාව ! ඒක මගෙ අතේ වැදිල රෝල් වෙලා ගියා දොර මුල්ලට..
මං රිංගල ගිහිං උණු උණුවේ දුං දාන බෝලෙ අරං බැලුව.
අම්මේ… ආටිචෝක් !
හුලං කීරිය ගාවට මං ආසම ආටිචෝක්.
ඒක තමයි එහෙනං චූටි අම්ම අද උදේ මටත් හොරා ජම්බු ගහ දිහාවට යනව දැක්කෙ. එයැයි හිතුවට මං ඒක නොදැක්කයි කියල මං දැක්ක. ඒත් වෙනද වගේ පස්සෙං දුවං නොගියෙ වඩනම්බි මාම කපල දුන්න කෝපි කෝටුව සුද්ද කර කර උන හන්ද. හෙට උදේට තැන්නෙ අයියත් එක්ක පෙර හැරක් යන්නනෙව හිතාන ඉන්නෙ. ඉතිං ඊට කලිං මේ කෝටුව සුද්ද කරල අර වෙලේ බණ්ඩා මාමගෙ දවුලෙ කඩිප්පුව වගේ රවුං කරගන එපැයි. නැත්තං සක්කරයටවත් ඇහැක මං චූටි අම්මගෙ වල්ගෙ වෙන එක නවත්තන්න.
ඒ චූටි අම්මෙ, ඔහේ ජම්බු ගහ පල්ලෙ තිබිච්ච ආටිචෝක් පඳුරු සේරොම ගැලෙව්වැයි ?
දුං දාන මුට්ටියට එබෙනගමං මං ඇහුවෙ ගලෝපු ඔක්කොම තැම්බුවද කියල සැකයක් ආපු නිසා. ඕසෙට හැදිල තිබිච්ච පඳුරු සේරෝම ගැලෙව්වනං එතන මුට්ටි දෙකක් විතර තම්බන්න තිබුන. ඒත් මෙතන තියෙන්නෙ එක මුට්ටියයි නෙවෙ.
ඕ… ආයෙ දෙතුන් පාර ගලවන්න යන්න බෑ ඔය කූඩැල්ලො විමානෙ, සේරොම ගැලෙව්ව.
එතකොට අනික්වට මොකෝ කොලේ? මෙතන ඩිංගිත්තයිනෙ තියෙන්නෙ.
මට දැං ලොකු ප්රස්නයක් !
ආං ඇඹුරුංගල ලඟ බිම ගෝණියෙං වහල.
සැකේට මං ඇරලත් බැලුව. මේං තියනව ලාවට මඩත් එක්ක සුදු පාට ආටිචෝක් අල.
එහෙනං කමක් නෑ. මං හිතුවෙ ඔහේ තැන්නෙ ගෙදරටත් දුන්නයි කියල. ඔන්න මක්ක දුන්නත් මේව දෙන්නෙ නෑ හොඳේ.
හා හා පෙරේත කම පැත්තක තියල මේං මේක කනවකො, චූටි අම්ම මගෙ බිම දාලම පතුරු ගියපු එනැමල් පිඟානට ආටිචෝක් පුරවල දුන්න.
පසු සටහන:
ආටිචෝක් අන්තිමට කෑවෙ මම හිතන්නෙ මීට අවුරුදු විස්සකට විතර උඩදි. පස්සෙන් පහු වල් ඌරො පෙරලල දාල ආටිචෝක් ගාලම විනාස වෙලා ගියා. ඇරත් හක්මනින් ගාල්ලට ආවයිං පස්සෙ ආටිචෝක් අමතක වෙලාම ගියා. නැත්න ඊට පස්සෙත් ඉඳල හිටල නිවාඩුවකට ගමේ ගිය වෙලාවක කාට හරි කිව්වනං පඳුරක් දෙකක් උගුල්ලල ගෙනැත් දෙයි. දැනට ආටිචෝක් වල තියන ලාවට මුල් කෑලි තියන විනිවිද පේන පොත්තයි ඒකෙ තියන කිරි රහයි විතරමයි මතක.
ලාවට තිබිච්ච ඒ මතකයෙන් ආසන්න කී වර්ඩ්ස් ඔක්කොම දාලත් ආටිචෝක් අලයක පින්තූරයක්නම් හොයාගන්න බැරි උනා. ඒත් මෙන්න මෙතන පොඩි සටහනක් නම් තියනව ඒ ගැන.