සර්……. මම ගිහිල්ල විගහට එන්නම් – සිරකරුවෙකුගේ සමු ගැන්මක් නොවූ සමුගැනීම

සර්… සර්……

කවුද…..

මේ….. මම සර්….

හා….. මොකෝ මේ..

මම අද නිදහස් වෙලා යනව සර්.. කියල යන්නයි ආවෙ.

අවුරුදු විසිපහක තිහක විතර වයසෙ කොණ්ඩෙ කොටට කපාපු ගොරහැඬි පෙනුමක් තියන තරුණයෙක් දොරකඩට වෙලා බොහෝම බයාදු බැල්මකින් මාමා දිහා බලාගෙන ඉන්නව.

බොහොම හොඳයි.

ඒත් ඉතිං පුතා ආයෙම ලඟදිම අපිව බලන්න එනව නේද?

තරුණයා ලැජ්ජාවෙන් බිම බලාගෙන හිනා වෙනව.

ඒව කියන්න බෑ සර්. යන්නෙ නම් ආයෙ සර්ල ඉන්න පැත්ත බලාගෙන බත් කන්නෙ නෑ කියල. ඒත් කරුමෙ තිබුනොත් ආයෙම එන්න වෙයි සර්.

ඔව් ඔව්..මීට කලින් තුන්වතාවක් එහෙම කියලනෙ ගියේ නේද?

හ්ම්…

ආ….. ගෙදර යන්නත් සල්ලි නැතුව ඇතිනෙ. ඔහොම පොඩ්ඩක් ඉන්නකො

මාමා ගේ ඇතුලට ගිහිල්ල රුපියල් පණහක් ගෙනැත් අර තරුණයාට දුන්නා.

මම යන්නම් සර්, මම යන්නම් පොඩි සර්

ඔහු මටත් මාමාටත් කියල ගියා.

බන්ධනාගාර නිළ නිවාස අතරින් පහලට වැටිල තියෙන පාර දිගේ ඇවිදගෙන යන ඔහු දිහා බලාගෙන ඉඳපු මාමා “ඔය ගියේ වැඩි කාලෙකට නෙමෙයි, සීල් එක මැකෙන්න කලින් ආයෙම ආවත් පුදුමයක් නෑ” කියල ගේ ඇතුලට ගියා.

සීල් එක කියන්නෙ, නිදහස් වෙලායන සැම සිරකරුවෙක්ගෙම අතේ තීන්තෙන් තබනා සලකුණක්. ඒක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නෙ කුඩු උරන්නන්ට, එහෙමත් නැත්නම් සුළු හොරකම් සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන්ට. මොකද කුඩු උරන්නො එහෙම දැක්කම අඳුරගන්න පුළුවන් පොලීසියට. ගෙදර යන්නත් කලින් සැක පිට අතඩංගුවට පත් වුනොත් එහෙම සීල් එක පෙන්නල නිදහස් වෙලා යන්න පුළුවනි. හැබැයි ඒ වෙනකොට කුඩු පාවිච්චිකරල හරි පැකට් එකක් හරි තිබුනොත් සීල් එක වලංගු නැතිවෙනව.

මම ආයෙ බල බල ඉඳපු පත්තරේට ඔළුව ඔබාගත්ත. ඒත් කියවන්න හිතෙන්නෙ නෑ.අර තරුණයා පිළිබඳව උඩින් බැලුවම හිනා යන, ඒත් කල්පනා කරල බැලුවම ඔහු කුඩ්ඩෙක් වෙන්න බලපාපු එක හේතුවකුත් මගෙ හිතේ කැරකෙන්න පටන්ගත්ත.

ඉස්සෙල්ලම මම ඔහු දැක්කෙ දෙදහස් පහ වසරෙ අන්තිම කාර්තුවෙදි වෙන්න ඕනෙ. ඒ වෙනකොට මම කොළඹ ‍රැකියාවකට ඇවිල්ල නතරවෙලා උන්නෙ වැලිකඩ හිරගෙදර වැඩ කරන චූටි මාමගෙ නිළ නිවාසයේ. මේ කියන තරුණයා වැටිල හිටියෙ ගරාජ් පාටියට. මාමා යටතෙ තමයි ගැරේජ් පාටිය තිබුනෙ.

ගැරේජ් පාටිය කියන්නෙ වැලිකඩ හිරගෙදර තියෙන ගරාජ් එකේ වැඩ කරන්න ‍තෝරාගෙන ඉන්න මත්ද්‍රව්‍ය [කුඩු] වලට ඇබ්බැහි වුනු, සුළු සොරකම් සහ තවත් බරපතල ගනයේ ලා නොසැලකෙන වැරදිවලට දඬුවම් ලැබූ සුළු හෝ කාර්මික හැකියාවන් ඇති පිරිසකට.

ඔය ගැරේජ් පාටිය වගේම තවත් පාටි කිහිපයක් තියෙනව, කුස්සි පාටිය [කෑම උයන අය], කුණු පාටිය [හිරගෙදර හා නිළ නිවාසවලින් බැහැර කරන කුණු එකතුකරන අය], ලැට් පාටිය [නිතරම හිර වෙන මළාපවාහන පද්ධතිය පිරිසිඳුකරන අය], වඩු පාටිය…..

ඔය මම දන්න කිහිපයක් විතරයි, ඒ ඒ පාටි වලට කට්ටිය ‍තෝරාගන්නෙ විඳිනා දඬුවමේ බරපතල කමේ හැටියට තමයි. මොනව උනත් මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මහා පරිමාන මංකොල්ලාකෑම්, කප්පම්, මහා පරිමාන කුඩු වෙලඳාම්, වගේ දරුණු ගණයේ අපරාධ සඳහා දඬුවම් විඳිනා කිසිවෙක් මෙම පාටි වලට ඇතුල් කරන්නෙ නෑ.

ඔය පාටි අතරින් වැඩිපුරම නිදහසක් තියෙන්නෙ කුණු පාටියෙ අයට තමයි, උදේ වරුවෙම වගේ ඔවුන් කාලය ගත කරන්නෙ එලිමහනේ, නිළ නිවාසවල කුණු එකතුකරමින්. ඇතැම් වෙලාවට ඔවුන් නිළ නිවාස පරිශ්‍රයෙන් ලෙස්ලි රණගල මාවත [වනාත පාර] ට මුනුණලා ඇති ගේට්‍ටුවෙන් එලියට ගිහිල්ල නිළධාරීන්ට අවශ්‍ය දෑ එහෙමත් ගෙනැත් දෙනව.

එක දවසක මාමාට මිරිස් ඇට වගයක් කොහෙන්දෝ ලැබුන.

පාටී…. මාමා කතාකලා අර තරුණයාට

සර්……

මෙන්න මේ ඇට ටික තවාන් දාන්න ගෙයි පිටිපස්සෙ වතුර ටැංකිය ලඟ.

හා සර්.

විනාඩි දෙකක් ගියේ නෑ වැඩේ හරි කියල මිනිහ ගියා.

මේ මිනිහා මෙච්චර ඉක්මනට මේක තවාන් දැම්මෙ කොහොමද කියල මාමා ගියා ගේ පිටිපස්සට.

පුතා… මාමා ගේ පිටිපස්සෙ ඉඳලා මට කතාකලා.

මම යනකොට කුස්සියෙ පහලම පඩිය උඩ හිටගෙන අත් දෙකත් ඉනට ගහගෙන මාමා තනියම හිනාවෙනව.

මොකෝ මාමෙ?

ආං අර මනුස්සයා මිරිස් තවාන් දාපු හැටි, කියල මට අලුත පස් වහපු පොල්ක‍ටුවක් සයිස් වලක් පෙන්නුව.

ලඟට ගිහිල්ල බැලින්නම් අර මනුස්සයා එක උදලු පාරෙන් වලක් කපල ඇට සේරම ඒකට දාල පස් දාලා වහල.

ඔන්න පුතා ගොඩක් කුඩුකාරයො නිදහස් වෙලාගියාට ආයෙම අපිව බලන්න මෙහේ එන එක හේතුවක්?

මිරිස් ඇට?

ඔව්, ඔය මනුස්සයා කිරීබ්බන්ආරෙ. එහේ මිනිස්සු කරන්නෙම ගොවිතැන්. ඒත් මේ මනුස්සයා මිරිස් ඇට තවාන් දාන්න දන්නෙ නෑ. ගමම කරන මේ වගේ සරළ දෙයක් කරන්න දන්නෙ නැති මනුස්සයා ජීවත් වෙන්න හොරකම් කරන්නත්, ඊටපස්සෙ කුඩු ගහන්නත් පටන් අරන් මෙතන යාවජීව සාමාජිකයෙක් වෙන එක පුදුමයක් නෙවෙයිනෙ.

මෙහේ ඉන්න කුඩු කාරයන්ගෙන්, හොරුන්ගෙන් සීයට හැත්තෑපහක් මේ වගේ. රස්සාවක් කරන්න තරම් කිසිම දෙයක් ඉගෙනගෙන නෑ. ඒවගේම හුරු වෙච්ච ක්‍රමයෙන් මිදෙන්න උවමනාවකුත්, රාමුවෙන් පිට හිතන්න දැනුමකුත් නෑ. ඒත් නිදහස් වෙලා ගියාම උනුත් කන්න බොන්න ඕන. කන්න බොන්න හොයාගන්න උන් දන්නෙ එක ක්‍රමයයි.

ප/ලි :

වැලිකඩ ජීවත් වෙච්ච අවුරුදු තුනක කාලයේ සිරකරුවන් හා ලබපු අත්දැකීම් බොහෝමයි. මාමාගෙනුත් තවත් නිළධාරීන්ගෙනුත් ඇහිච්ච බොහෝමයක් අයගෙ කතා හිතට දුකක්, ඇහැට කඳුලක් නැ‍ඟෙන ඒවා. තවත් සමහර අයගෙ කතා හිතන්නත් බැරි තරම් දරුණු ඒවා. කොහොම උනත් සීයට අසූවක් විතර දෙනා ඒ වැරදි කරල තියෙන්නෙ විනෝදෙට නෙමෙයි. ඔබට මට දැනෙන, භීතිය, කුසගින්න, අනාරක්ෂිත භාවය, ලැජ්ජාව, වගේ ප්‍රාථමික හැඟීම් නිවැරදිව ගලපා ගන්න බැරුව.

හිරකරුවෝත් මනුෂ්‍යයෝය කියල වැලිකඩ බන්ධනාගාරයේ බේස්ලයින් තාප්පෙ ලියල තියෙන්නෙ ඒ ගැන දන්න කෙනෙක් වෙන්න ඇති.

%d bloggers like this: