මට මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ, මැනේජරයට දෙකක් අනින්නමයි හිත !

ඉතිං මල්ලි…. කොහොමද..

දිලීප් කතාව පටන්ගත්තෙ වෑන් එකේ පිටිපස්සෙ ඉඳල දෙවෙනි සීට් එකේ හරි බරි ගැහිල වාඩිවෙනගමන්. හැම අවුරුද්දකම වගේ සම වයසෙ නෑදෑ සහෝදරයො එක්ක යන ට්‍රිප් එක දෑවුරුද්දක්ම මඟ හැරුනත් මෙවර කොහොම හරි එන්න පුළුවන් වීමෙ සන්තෝසය ඒ වචන වල ගැබ්වෙලා තිබුන.

දන්නෙ නැද්ද අයියෙ.. ඔන්න ඔහේ ඉන්නව.

මොකෝ මල්ලි නිකං හුලං බැහැල වගේ…. මොකෝ ජානී එක්ක කොක්කක්වද්ද ? හෙහ් හෙහ්..

හපෝ නෑ අයියෙ, ඒව ගානට කරගෙන යනව. ඕං ලබන අවුරුද්දෙ මැයිමාසෙ දිහාට නිවාඩු එහෙම ගන්න බලාගෙන ඉන්න ඕනෙ හරිය..

අප්පද බොල… ඒකත් එහෙමයි එහෙනං… සන්තෝසයි බං…. හැබැයි පු‍තෝ අර ධම්මිකය කොලා වගේ ‍තෝ මට විතරක් එන්නෙයි කියලනං නං කාඩ් එකක් දෙන්නෙ නෑ හරිද… උඹෙ ලිස්ට් එකේ තුන්දෙනෙක්ට ඉඩ තියාගං…

හරි හරි අයියෙ.. උඹයි අක්කයි කොල්ලයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ.. හෙහ් හෙහ්…..

එතකොට මේ හුලං බැහැපු සීන් එක රස්සාවෙ ජල්බරියක් නේද..?

අඩේ.. දිලීප්පයියට දිවැස් තියනවද ?

හෙහ් හෙහ්.. ඕක තේරුං ගන්න දිවැස් මොටෝ බං, ආයෙ උඹල වගේ තනිකඩ කොල්ලන්ට ප්‍රශ්ණෙකට කියල තියෙන්නෙ රස්සාවයි පරස්තාවයි විතරක් වෙච්චිකොට.

දැං මොකෝ අවුල බං…. ?

අඩෝ දිලිප්… මොනාද යකෝ ඔය අනුරාධයත් එක්ක කොරන්නෙ ඈ … උඹට නිශා එක්කං එන්න බැරිවෙච්ච එකේ පාඩුව උගෙන් පිරිමහනනවද … ? පිටිපස්සෙ සීට් එකේ ඉන්න දමයන්ත කෑගහනව.

ඒකත් බැරි නෑ බං.. ඒත් මූ ඇඹරෙනවනෙ හෙට අනිද්ද බඳින්නයි ඉන්නෙ කියල හෙහ් හෙහ්………

හෙහ්.. එහෙමයි කියල උඹ පස්සගහයි.. අපි නොදන්නවැයි උඹෙ වැඩ.. ඉඳා මෙන්න මේක කාපන්… සෑන්ඩ්විච් පාං මල්ලක් ඔළුවට උඩින් අල්ලපු අමිල කිව්ව.

ඉතිං මල්ලි කියාපංකො මොකද කීයල ඔ‍ෆිස් එකේ අවුල ? මල්ලෙන් ගත්තු සීනිසම්බල් පාං පෙත්තක් අනුරාධට දික් කරන ගමන් දිලිප් ආයෙම කතාව පටන්ගත්ත.

මෙන්න මේකයි කියල හරියටම කියන්න දෙයක් නෑ අයියෙ. ඒත් මට නං දැන් එතන වැඩකරන එක එපා වෙලා තියෙන්නෙ. හෙන කැපිලි එතන තියෙන්නෙ.

කැපිලි කිව්වෙ මල්ලි?

ඩිපාට්මන්ට් මැනේජරයට පේන්නෙ මගේ වැරදිමයි. ඌට පොඩි වැ‍රැද්දක් ඇති මාව අල්ලගෙන දිගට හරහට ලෙඩ දානව. අනික උගෙ ෂෝ-කෝස් මේල්ස් වලට රිප්ලයි කරන්න ගියාම කොරවෙලා යනව. ඌ දාන්නෙම මාව හිරවෙලා යන පොයින්ට්ස්මයි.

තව ?

තව කියන්නෙ, දැං මම එතනට ගිහිල්ල අවුරුදු පහකටත් වැඩියි. අයිය දන්නවනෙ කම්පැනි එකක අවුරුදු පහක් කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයිනෙ. සීනියර් කියල සතපහක සැලකිල්ලක් නෑ.. මට පහල ඉන්න එකාටත් සලකන්නෙ මට වගේ. ඉතිං අයියෙ එපාවෙන්නෙ නැද්ද මං අහන්නෙ ?

අවුරුදු එක හමාරකින් ඉන්ක්‍රිමන්ට් එකක් ඇවිල්ල නෑ, ප්‍රමෝෂන් නෑ, ඊටත් මට තරම් පර්සනල් ඉෂූස් තියන එකක්වත් ඔතන වැඩ කරන්නෙ නෑ අයියෙ. අයියම දන්නවනෙ මට ගෙදර ගැන බලන්න ඕන, මල්ලිව ක්ලාස් යවන්න ඕන, අළුත් ගෙදර ෆවුන්ඩේෂන් එකෙන් එහාට යන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බැරි උනා. අනික මැනේජරය මේ දේවල් ගැන හොඳටම දැනගෙන තමයි මේ ලෙඩ ඔක්කොම දාන්නෙත්.

ඊලඟට අනිත් උන්ගෙ වැඩත් මං අදින්න ඕන, උන් එන්නෙම පරක්කුවෙලා.. ඒත් උන්ට කිසිම ඇක්ෂන් එකක් නෑ ඔන්න මං නිවාඩුවක් ගන්න ගියාම දාහක් දේවල් කියනව. ඉතිං අයියම හිතල බලන්න එපා වෙන්නෙ නැද්ද කියල එහෙම තැනක වැඩ කරන්න.

හරි මල්ලි. අපි හිතමුකො ඔය ඔක්කොම හරිය කියල. ඒත් මල්ලී කම්පැණි එකක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් කරන්න කලින් ගොඩක් දේවල් ටොප් මැනේජ්මන්ට් එකට හිතන්න වෙනව. ආයතනයේ ස්ථාවරත්වය, ඊලඟ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, රිස්ක් එක, අපේක්ෂිත වියදම…. ඔන්න ඔය වගේ මහා ගොඩක් දේවල්. හදිස්සි ඉන්ක්‍රිමන්ට් එකක් දීල ඊලඟ අවුරුද්දෙ බිස්නස් එක වහල දානවට වැඩිය නියමිත වෙලාවට ඒ දේවල් කරන්න තමයි ඕනම කම්පැණි එකක් කැමති.

අනික මල්ලි එක රුපියල් දාහක ඉන්ක්‍රිමන්ට් එකකින් උනත් අවුරුද්ද අන්තිම මහා විසාල බිලක් එකතුවෙනව ආයතනයට. මොකද උඹට විතරක් ඒක දුන්නොත් උඹත් එක්ක එක මට්ටමේ ඉන්න අනිත් උන් ඩිසපොයින්ට් වෙනව. එතකොට උන්ගෙ පර්ෆෝමන්ස් බහිනව. ඒක නිසා ගොඩක් වෙලාවට මුළු ආයතනයටම බලපාන පොදු සූත්‍රයක් යටතේ තමයි පඩි වැඩි කරන්නෙ. ඊට අමතරව ඒ ඉන්ක්‍රිමන්ට් එකට සමානුපාතිකව ඕ.ටී පැයකට ගෙවන ප්‍රමානය, ඊ.පී.එෆ්, බෝනස්…. ඔය වගේ දීමනා සේරම වැඩි වෙනව.

එතකොට අයිය කියන්නෙ අපි ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න එපා කියලද ?

පිස්සුද බං..? ඉන්ක්‍රිමන්ට් ඉල්ලපල්ල, හැබැයි ඒ ඉල්ලන දේ ඒ විදියටම නොවුනම මළ පන්නගෙන බෙරිහන්දෙන්න කලින් එහෙම වෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් තේරුම් ගන්නත් බලපන්. එහෙම නැත්නං කෙළවෙන්නෙත් උඹටමයි.

හෙහ් … උන් කොහෙද මට කෙළවන්නෙ, මේ මඟුලක් කට අස්සෙ තියාගෙන වෙන රස්සා හොයන්නත් බෑ. ගේමට ගේම ඉල්ලගෙන මාත් ඉන්නව. මොකෝ උන් මාව අස්කරන්නද ?

කම්පැණි එක්ක ගේම ඉල්ලන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලී.

ඒව කොහෙද මාත් එක්ක අයියෙ, අනික උන් දන්නව මම වැඩකාරය කියල, මම ඔතනින් නැවතුනොත් ඩිපාට්මන්ට් එකම කලැප්ස් වෙනව බලාගෙන ඉඳැද්දි. ඒක නිසා මං මොනව කලත් උන්ට බෑ මාව අස්කරල දාන්න.

ගේම ඉල්ලනව කියල මල්ලි මොනාද කරන්නෙ ?

මොනාද මට කරන්න බැරි අයියෙ.. මමනෙ එන ක්ලයන්ට්සලගෙ මේල්ස් වලට ඇක්ෂන් ගන්නෙ.. ඉස්සර දත කාගෙන නොකා නොබී ඒවට රිප්ලයි කලාට දැං මම මගේ පාඩුවෙ, නිවිහැනහිල්ලෙ තමයි කරන්නෙ, සමහර ඉෂූස් සෝල්ව් කරන්න දවස හමාර යනව. ඔහොම යනකොට ලොක්කන්ට තේරෙයි හොඳට. හෙහ් හෙහ්.

ඒ කියන්නෙ මල්ලිට එන කැපිලි කෙටිලි නිසා මල්ලි ඉස්සර වගේ වැඩ කරන්නෙ නෑ … එහෙමද ?

ඔව් අයියෙ, ආයෙ මට එපා උනොත් එපා උනාම තමයිනෙ. දන්නවනෙ මගෙ හැටි.

මම මල්ලිගෙන් දෙයක් අහන්නද ?

අහන්න අයියෙ ඕනෙ දෙයක්.

අපි දැන් හිතමු මල්ලිට මේ කම්පැනි එකෙන් ලොකු අසාධාරණයක් වෙනව කියල. මල්ලි බලාපොරොත්තුවෙන්නෙ මොනවගේ සාධාරණයක් ද මෙතනදි ?

සාදාරනයක් කියන්නේ අයියේ….. මේ… මේ.. මගෙ පස්සෙන් එලවන්නෙ නැතුව, මගෙ පාඩුවෙ වැඩක් කරගෙන යන්න දෙනවනං මට ඇති.

හරි, අපි මෙහෙම හිතමු. ඔන්න මල්ලි තමයි ඔය ඩිපාට්මන්ට් එකේ හෙඩ්. මල්ලිගෙ යටතෙ ඉන්නව වැඩ කරන්න උනන්දුවක් නැති, හැමතිස්සෙම ඇරගන්ට්, ඩල් කැ‍රැක්ටර් එකක් තියන මනුස්සයෙක්. එතකොට මල්ලිට මිනිහ ගැන මොකක් හිතෙයිද ?

දිලිප්පයියත් ඔය වටෙන් එන්නෙ මං වැරදියි කියල කියන්න නේද?

නෑ අනුරාධ මල්ලි.. මම හදන්නෙ ඔයාගෙ ප්‍රශ්ණෙ ඔයාටම තේරුම් කරවන්න, ඔයාව ඔය කියන ඩිපාට්මන්ට් හෙඩ්ගෙ සපත්තුදෙකට බැස්සම මෙතන තියන අවුල ලිහාගන්න පුළුවන් වෙයි.

ඉතිං කියන්නකො.. මල්ලි ඒ මිනිහට මොනව කරයිද ?

මංද අයියෙ..

හරි මං ලේසි කරන්නම්කො. ඔන්න ඒ මනුස්සය ප්‍රඩක්ෂන් ලයින් එකේ මොනා හරි අවුලක් කරනව, එතකොට මල්ලි මොනා කරයිද?

හ්ම්.. ඉන්ක්වයර් කරයි. ඩිසිප්ලිනරි ඇක්ෂන් ගනී.

හරි, ඊලන්ඟ දවසෙ මේ මනුස්සය ග්‍රම්පි මූඩ් එකෙකින් ඔ‍ෆිස් එකේ වැඩ ඔනවට එපාවට කරයි, එතකොට ඔයා මොනව කරයිද?

මුකුත් කරන එකක් නෑ.. ඒත් මිනිහ ගැන පොඩි අප්සට් ෆීලිං එකක් ඇතිවෙයි.

හ්ම්….

හැමදාම ඔය වගේ ඒ මනුස්සය මෙලෝ රහක් නැති විදියට ඔ‍ෆිස් එකේ ඉන්නකොට ඔයා මොනව කරයිද ? ඔයා ඇයි හිතන්නෙ මෙලෝ රහක් නැති මනුස්සයෙකුට පාඩුවෙ රස්සාව කරගෙන යන්න දීල, සැලරි ඉන්ක්‍රිමට්ස් ඒ මදිවට තව බෝනසුත් දෙන්න ඕනෙ කියල ?

මල්ලී ප්‍රයිවට් සෙක්ටර් එකේ තියන කම්පිටිෂන් එකත් එක්ක ඇරගන්ට් වෙලා බෑ, වැල යන අතට මැස්ස ගහන්න ඉගෙන ගන්න, එහෙම නැතුව සවයිව් වෙන්න බෑ. හැබැයි එතනදි අදහස් වෙන්නෙ නෑ රස්සාව ‍රැකගන්න ලොක්කට ගොට්ට අල්ලන්න ඕන කියල. හරියට ඔළුව කල්පනා කරනවනම් කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න ඕන තරම් ඉඩ තියනව.

ඒ උනාට අයියෙ මේ ම්නිහ මට කැපිල්ල දාන එකමනෙ වැඩේ. මට ඒ වෙලාවට හැටක් විතර අනින්න හිතෙනව ඌට.

මෝඩ වැඩ කරන්න එපා මල්ලි.. ඩිපාට්මන්ට් හෙඩ් එක්ක ඇරගන්නව කියන්නෙ ගොඩක් වෙලාවට කැරියර් එකට බැරියර් එකක් දාගන්නව වගේ වැඩක්, මනුස්සයෙක් එක්ක ඇරගන්න යන්නෙ නැතුව රස්සාව කරන එක වෙනමම කලාවක් බං. අනික මම හිතන්නෙ නෑ හොඳ මැනේජර් කෙනෙක් කිසිම වෙලාවක තමන්ගෙ කෝ-වර්කර්ස්ලට ඇණයක් වෙනව කියල හේතුවක් නැතුව. මොකද මිනිහ දන්නව හැමෝගෙම ඔප්ටිමම් කන්ට්‍රිබියුෂන් එක නැත්නම් දවස අන්තිමට ෆෙල් වෙන්න මිනිහමයි කියල.

තව එකක් මල්ලි, අමාරු සි‍ටුවේෂන් එකකදි ඔයා කොහොමද සවයිව් වෙන්නෙ කියන එකත් සෑහෙන්න වැදගත් විදියට නෝට් ඩවුන් වෙනව ඔයාගෙ හයිරාකි එකේ කොච්චර උඩට යනවද කියන එක තීරෙණය කරනකොට. ඒක නිසා මල්ලි දැනට වැඩ කරන කම්පැනි එකේ කැරියර් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තුවෙනව නම්, මැනේජ්මන්ට් එකත් එක්ක ලෝයල් විදියට වැඩකරන්න, ප්‍රශ්ණ එන වෙලාවට නෙගෝෂියේට් කරගෙන මැනේජ් කරගන්න පුරුදුවෙන්න වෙයි.

හැබැයි එහෙම වැඩ කරගෙන යන අතරෙත් මල්ලිට හිතෙනවනම් මේක හරියන කෙළියක් නෙමෙයි කියල කරන්න තියන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් කාලයක් හොඳින් වැඩ කරල හිත හොඳින් වෙන තැනකට යන එක.

මොන එකකටද අයියෙ වැඩ කරන්න බැරි නම් හොඳ හිතින් අයින් වෙන්නෙ, කෙළවෙලාම යන්න කියල අරූගෙ මූණට දෙකක් දීල වෙන එකකට යනව මිසක්.

ඔයා දන්නවද අලුතින් රස්සාවකට යනකොට අළුත් කම්පැණියෙ අය ඔයාගෙ එම්ප්ලොයිමන්ට් රෙකෝඩ් එකෙක් ඉල්ලගන්නව ඔයා අන්තිමට වැඩ කරපු කම්පැනි එකෙන්. රෙපියුටේෂන් එකක් තියන ස්ටෑන්ඩඩ් එකක් තියන කම්පැණි එකක ඉම්ප්ලයිඩ් රෙස්පොන්සිබිලිට්ය් එකක් තමයි නිවැරදි එම්ප්ලෝයී රෙකෝඩ් එකක් දෙන එක. හදිස්සියෙවත් ඔයා ප්‍රශ්ණයක් ඇතිකරගෙන නම් රිසයින් වෙලා තියෙන්නෙ, එහෙමත් නැත්නම් ඔයාගෙ සේවා කාලය සතු‍ටුදායක නෙවෙයි නම් ඔයාට අළුත් රස්සාව ලැබෙන්න තියන ඉඩකඩ බොහෝම අඩුයි.

ඒක නිසා මල්ලි නිවිහැනහිල්ලෙ හිතල බලන්න ඇයි හෙඩා ඔයා එක්ක වලිබර වෙලා තියෙන්නෙ කියල. කේන්තියෙන් නැතුව සාධාරණ ඇහැකින් බැළුවොත් ඔයාට ප්‍රශ්ණෙ තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ ප්‍රශ්ණෙන් එළියට එන්න ඕන ඔයා විසින්මයි. එහෙම නැතුව ඔයා දැනට කරගෙන යන විදියට දිගටම ගියොත් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් මඩ වලේ ගිලෙන එක මිසක් ගොඩ ඒමක් නම් නෙමෙයි අනුරාධ.

පින්තූරය ගත්තේ : huckguyett.com

Advertisements

ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ……….

මේ කතාව මට ලියන්න ලොකු උවමනාවක් තිබුනත් පහුගිය මාසෙක තිබුන වාර්ශික දානෙ උණුහුම පහවෙනකන් ඉවසාගෙන හිටිය. ඒ දවස් වලම ලිව්වනම් සමහර විට සමහර අයගෙ හිත් රිදවීම් වැඩි වෙන්න ඉඩ තිබුන.

නෑ නෑ.. මේ කතාව බ්ලොග් ලියන කිසිවෙක් හා සම්බන්ධ එකක් නෙමේ.

මේක අදින් අවුරුදු හතරකට විතර ඉස්සර මම සහ මගේ පාසැල් මිතුරන් හැමෝම වගේ කම්පනයට පත්කරපු සිද්ධියක්.

මේ චරිතයට අපි අන්වර්ථ නාමයක් දෙමු සාගර වීරංසිංහ කියල.

පාසැලේ අ.පො.ස සාමාන්‍ය පෙළ කරද්දි එකටම හිටියත් උසස් පෙළ කරද්දි වෙනස් විෂය ධාරාවන් ‍තෝරාගනිපු නිසා සාගරගෙයි මගෙයි ආශ්‍රය පොඩ්ඩක් විතර දුරස් උනා. ඒත් කොහේදි දැක්කත් “මචං” කියල කතාකරන්න අමතක කලේ නෑ.

උසස් පෙළින් පස්සෙ සාගර අගනුවර ප්‍රසිද්ධ සමාගමක මෙඩි රෙප් කෙනෙක් උනා. මගෙ මතකයෙ හැටියට ඔහු තමයි අපේ උසස් පෙළ කණ්ඩායමෙන් මුලින්ම ‍රැකියාවකට ගියේ. අපි විවිධ වෘතීය පාඨමාලා හදාරන අතරෙ සාගර බොහෝම ආඩම්බරයකින් සති අන්තයේ මෝටර් රථයකින් නිවාඩුවට ගෙදර එනව මට තවමත් මතකයි. සමහර විට ෆුට් බයිසිකල් වලින් ටවුන් එක පුරාම කරක් ගහන අපිට හෝන් නාදයකින් විතරක් ආචාර කරගෙන පියාඹලා ගියේ ඒ වෙනකොට ඔහු කලේ අපිට සාපේක්ෂව ලොකු ‍රැකියාවක් නිසා වෙන්න ඇති.

කාලයක් යනකොය ඉබේම අමතක වෙලා ගියපු සාගර, හදිස්සියේ විවාහවීමේ ආරංචියකුත් එක්ක ආයෙම අපේ මතකයට ආවා. ඒ වෙනකොටත් අපි සමහරක් ක්ලාස් යනව, සමහර අය කැම්පස් යනව. තවත් සමහර අය ක්ලාස් ඇරිල කෙල්ලො එනකන් බස් හෝල්ට් වල කට්ට කනව. කසාදයක් ගැන හීනෙන් මිසක් හිතල නෑ.

කොහොම හරි අපිට ආරංචි වෙනව සාගරගෙ ෆීල්ඩ් ඒරියා එක වෙච්ච නුවර පලාතෙ මිනිහා නැවතිලා ඉඳපු ගෙදර ගෑණු ළමය තමයි මේ විවාහකරගෙන තියෙන්නෙ කියල. තවත් කාලෙකට පස්සෙ ආරංචි වෙනව ඔහුට බලෙන්ම තමයි ගෑණු ළමයගෙ පැත්තෙන්න් මේ විවාහය කරල දීල තියෙන්නෙ කියලත්.

සාගරගෙ තාත්ත අපේ තාත්තත් එක්ක එකම ආයතනයේ ‍රැකියාව කරල පසුව ලෝයර් කෙනෙක් උන කෙනෙක්. ඔහු නගරයේ යම් තරමක ප්‍රසිද්ධ චරිතයක්. ඔහුට මේ සිද්ධිය ලොකු ගැස්මක් ඇතිකරපු දෙයක් නිසාත් ලැජ්ජාව හා කේන්තිය නිසාත් සාගරව පවුලෙන් ඈත්කරල තිබුනෙ. ඒත් සාගරට ඒක එච්චර දෙයක් නොවුනේ ඔහු ‍රැකියාව කලේ  අග නුවර නිසා. ඒත් හදිස්සියේම ඔහුට ආයතනයෙන් ‍රැකියා ස්ථාන මාරුවක් ලැබෙනව වෙනත් පළාතකට. ඒ වෙනකොට සාගර තාත්ත කෙනෙක් වෙන්න ඔන්න මෙන්න. මේ වෙලාවෙ දෙමාපියන් පිහිට නොවුනත් ඔහුගේ ජේෂ්ථ පාසැල් මිතුරෙක් ඉදිරිපත්වෙනව තම නිවසේ ඇනෙක්සියක් ඔවුන් දෙදෙනාට දෙන්න. අපි ඔහුට සමන්ත කියමු.

දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර එනකොට මම සාගර දකිනව අපේ හන්දියේ තියන වලං කඩේට වෙලා සිංහල අවුරුද්දට කිරිඋතුවරන්න හිල් නැති මුට්ටියක් ‍තෝරන්ව. ඊට පොඩ්ඩක් ඉස්සරහ නවත්තපු කාර් එකට හේත්තුවෙලා ඔහුගේ ගැබ්බර බිරිඳ බලාගෙන ඉන්නව. මම ඉස්සර පුරුද්දට “හා මචං කිරි උතුරවන්න වගේ” කියල ඇහැව්වා. මිනිහා මගේ දිහා දමපු අමුතු බැල්ම නතර උනේ මගේ අතේ තිබුන පොත් ටිකේ. ආපහු ඒ ඇස් නතර උනේ කාර් එකට හේත්තු වෙලා ඉඳපු බිරිඳ ලඟ. “

මම යන්නම් මචං…..

ඊට වඩා අඩුත් නෑ වැඩිත් නෑ. හරියටම ඒ වචන ටික ව්තරයි. වලඳත් කඩේම තියල සාගර බිරිඳත් එක්ක පිටත් උනා.. මම උනේ මොකද කියල හිතාගන්න බැරුව  ඈත යන කර් එක දිහා පොඩ්ඩක්වෙලා බලගන ඉඳල ගෙදර ආව.

මට උනා වගේ සිද්ධි කිහිපයක් තවත් යාළුවො කීපදෙනක්ටත් සිදුවෙච්ච සිද්ධි නිසා සාගර “මුල අමතක කරපු එකෙක්” කියල අපි මනුස්සයාව අමතක කරල දැම්ම.

ඔය වෙනකොට සාගර තාත්තා කෙනෙක් වෙලා හිටපු නිසා සාගරගෙ තාත්ත ඔවුන්ගේ නිවසටම තවත් කොටසක් එකතුකරල සාගරටයි බිරින්දටයි දරුවාටයි ඒකෙ ඉඩ දුන්න. ඒත් ඉස්සර තරම් ලෙංගතු කමක් නෑ. හරියට කුලියට ඉන්න වෙනම පවුලක් වගේ තමයි සාගරගෙ පවුල ඒ ගෙදර ජීවත් උනේ. තාත්තගෙන් නැති සොයා බැලීම්, උදව් පදව් සේරටම වගේම යාළුවටත් ලඟින් හිටියෙ මුලින්ම තමන්ගෙ ඇනෙක්ස් එක දීපු සමන්ත.

ඔහු ඒ වෙනකොට මේ පවුලේ ගොඩක් කිට්‍ටු සාමාජිකයෙක් වෙලා හිටියේ. කොච්චර කිට්‍ටුද කියතොත් දෙවෙනි ළමයා ලැබෙන්න ඉන්න බිරිඳට හදිස්සියක් උනොත් ‍රැකියාව කරන ප්‍රදේශයේ දුර බැහැර නිසාම නිතර ගෙදර එන්න වෙනෙ නැති සාගර ඒ රාජකාරියත් බාර දීල තිබුනෙත් සමන්තටමයි.

මේ කාලෙ වෙනකොට මම ‍රැකියාවකට කොළඹ ඇවිල්ල. ඒක නිසා සාගර ගැන අමතක වෙලා තිබුනෙ.

මචං… මට ගමේ යාළුවෙකුගෙන් කෝල් එකක්.

ඇයි මචං?

සාගර බෙල්ලෙ වැල දාගෙන මැරිල මචං.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සමන්ත සාගරගෙ බිරිඳ හොඳට බලාගන්න ලේසියි කියල මිනිහගෙ ගෙදර එක්කෙගන ගිහිල්ල.

හම්බුවෙන්න ඉන්න දෙවෙනි ළමය සාගරගෙ නෙමෙයි ලු.

තමන්ගෙ ජීවිතේ ප්‍රශ්ණ කතාකරන්න, හීතේ තියන ආවේග පිට කරගන්න අම්ම තාත්ත, යාළුවෙක්, නෑදෑයෙක් නැති සාගර උත්තර හොයාගෙන තිබුනෙ ගෙදර කුස්සියෙ බාල්කෙ ගැටගහපු තොණ්ඩුවකින්.

ප/ලි :

මචං සාගර අපි උඹව තනි කලේ නෑ බං. උඹයි අපි හැමෝගෙන්ම ඈත් වෙලා තනියම උඹෙ ලෝකෙ ගොඩනගාගන්න ගියේ. ඒකයි බං උඹේ ලෝකෙ කඩාගෙන වැ‍ටුන වෙලාවෙ උඹ අසරණ උනේ. උඹ කලින් රසාවක් හොයාගත්තු එක, කාර් එකක් ගත්තු එක, කසාදයක් බැන්ද එක, තාත්ත කෙනෙක් වෙච්ච එක නෙමෙයි බං උඹයි අපියි ඈත් කලේ. උඹේ හිතේ තිබිච්ච හීනමානෙ මචං. උඹ අපිත් එක්ක හිටියනං අදටත් අපිට හිනාවෙලා කතාකරන්න තිබුන, මයෙ පොඩි එකාට උඹෙ පොඩි එකා එක්ක සෙල්ලං කරන්න තිබුන. ජීවිතයේ සෑම දෙයකටම සුදුසු කාලයක් තියනව, ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ…..

මේක කියවන ඔයාල හැමෝටම ඇති කාලෙකින් කතා නොකරපු යාළුවො. එයාල කතා නොකලට කමක් නෑ ඉඩක් තියෙන වෙලාවක දුරකතන ඇමතුමක් දීල විස්තර කතාකරන්න.

සමහරවිට ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි !

සිරීපාද මුත්තාගේ ගාන්ඨාර ගැහිල්ල හා නඩේ ගුරා

ඔන්න ඉතිං අපි තුන්දෙනා හැටන් වලින් හැන්දෑවෙ කෝච්චියෙන් බැහැගත්ත. බුදු අම්මේ හීතල. මායි මගේ සහෝදර යාලුවයි මෙ සිරීපාදෙ යනවමයි. අනිකගෙ නං මේ හතරවෙනි ගමන හන්ද ඌ තමයි නිතර‍ඟෙයන්ම නඩේ ගුරා. තව එකෙක් අපිත් එක්ක එන්න ඉඳල නූලෙන් ඌට ගමන ගැස්සිල නිවාස අඩස්සියෙ වැ‍ටුන විත්තිය මං කලින් කතාවෙදි කිව්වනෙ.

කොහේටෙයි බං මෙතනිං? නඩේ ගුරාගෙං ඒ ඇහුවෙ.

ඔතන එහා පැත්තෙ නල්ලතන්නියට යන බස්  ඇති නැගහං.

ඕං කරදරයක් නැතුව අපි සී.ටී.බී බස් එකකින් නල්ලතන්නියට ආව.

හා දැං ඉතිං කරුණාකරමු. අප්පට සිරි අපේ නඩේ ගුරාගෙ කතාබහ තැන්පත් වෙලානෙව.

මචං බඩගිනී බං කාලම නගිමුද.

හා එහෙනං කාලම පටංගමු.

පුදනකොටම කාපි යකා කියල ඉස් ඉස්සෙල්ලම කන්ද මුලම ඉඳං පාං කාල ලොකු නඩයක් පිටිපස්සෙන් සෙට්වෙලා තුං සරනේ කිය කිය අපි සාම චෛත්‍ය හරියටම ආව. පට්ට හීතලයි, දැං ඔන්න මට ඉන්නන බෑ. කොළඹ ඉඳන් හිතං ආපු මළුවටම එකයි එකක් ඕනමයි.

මචං අරවයි එකක් ගම්මුකො බං.

හා හා ඕව හොඳ නෑ, බොලා දෙන්නම කිරිකෝඩුයි.

අනේ බං අම්බානෙකට හීතලයි.

බෑ බෑ. කීයටවත් උඹලට බොන්න දෙන්න බෑ. හීතලට අර දාං ආපු ස්වෙටර්ස් ඇඳහල්ල. ඕනෙමනං කරුණාකරල එමින් ගමං අරං බීපන්.

මූ අපේ තාත්තටත් වැඩිය අමාරු කාරයෙක්වගේ. මෙකට බැන බැන සාම චෛත්‍ය වටේ තියන බැම්මෙ වාඩිවෙලා හැටන් වලින් ගත්තු හීතල වෙලා තිබුන  බනිස් ගෙඩ්යක් ගිල්ල,  අම්මට උඩු, එලියෙන් විතරක් නෙමෙයි ඒ පාර ඇතුලෙනුත් ඇඟ හීතල වෙලා ගියා.

මචං ඉන්නම බෑ, දැං නං හීතලයි. ඒපාර අනික කෙඳිරිගානව.

අඩිය ඉක්මන් කරල යං, එතකොට ඔය හීතල ගතිය මග ඇරෙනව.

කිව්වත් වගේ ඕං ඉක්මං කරලයන කොට ඩිංගක් විතර හරි. ඉක්මං කරනව කිව්වට නගින බහින කට්ටිය අතරෙ ඉක්මන් කරලය එක ලේසි නෑ. පඩි පෙල් මඟ ඇරල පස් කඳු උඩිනුයි, පඳුරු උඩිනුයි පැන පැන බොහොම අමාරුවෙන් නැග්ග පැයක් එක හමාරක් විතර.

හා දැං මෙතනිං තේ ඩිංගක් බීලම යං. ඔහොම කියල නඩේ ගුරා හරියට අර කොළඹ මාතර බස් තේ බොන්න ඉඳුරුවෙ ගාලුසිරියෙ නවත්තනව වගේ ඇල්ලුව පොල් අතු කඩයක් ඇතුලට. අම්මේ ඉන්න සෙනඟ, සූ ගාල. බොහොම අමාරුවෙන් අපි තුන්දෙනා ගියා මුදලාලි හොයං. මොන, කට්ටිය වටකොරං මුදලාලිය වතුර උණුකරන ගිණිමැළේ ලඟට වෙලා රොටී පුච්චනව. කිට්‍ටුවෙන්න බෑ.

මෙහේ නෙමෙයි අන්න අරහෙන් බඩු ඉල්ලගන්න…..

මුදලාලි බෙරිහන්දෙනව. බලං ගියාම කට්ටිය එතනට වෙලා ඉඳල තියෙන්නෙ රොටී කන්න නෙමෙයි, අර වතුර උණුකරන ලිපේ රස්නෙට. ඔන්න අපි රොටී කවුළුවට  සෙට් වෙලා පෝලිමේ ඉඳල තඩි ලුණුමිරිස් තල්ලියක් එක්ක රොටී ජෝඩු දෙක දෙක අරං පැත්තකට වෙලා කනව. වෙනද අසාවටවත් රොටී නොකෑවට අමුර්තෙ වගේ එදා කාපු ලුණුත් නැති රොටිය.

ඒ.. බං ලුණුමිරිස සැර නෑනෙ.

නෑ මචං. හීතලට සැර දැනෙන්නෙ නෑ. ඒකයි. අපේ නඩේ ගුරා දන්න දේවල්…

උඹ ඉඳහං. මං ප්ලේන්ටි අරං එන්න කියල අනික ගිහිල්ල දුං දාන වීදුරු තුනක් වගේ වගක් නැතුව අතේ තියං ඇවිල්ල අපිට දුන්න.

මං පළවෙනි උගුර බිව්ව. යකෝ මේ නිවිච්ච ප්ලේන්ටිනෙ බං උඹ ගෙනැත් තියෙන්නෙ..

පිස්සුද බොට, ඔය එතකොට දුං දාන්නෙ අහවල් එකෙන්ද?

ඇත්ත නේන්නං. මං තව තඩි උගුරක් කටේ හලාගත්ත බලන්න.

මැරෙන්නද හදන්නෙ. හෙමිං බොනව, හීතලට රස්නෙ දැනෙන්නෙ නැත්තෙ. ඔහොම බ්ව්වොත් බඩේ දියපට්ට එයි. නඩේගුරා ඇස් උඩතියං බෙරිහන් දෙනව.

කොහොමෙන් හරි මිනිහගෙ පිහිටෙන් බඩේ දියපට්ට හදානොගෙන ප්ලේන්ටිත් බීල තවත් පැය දෙකක විතර දුෂ්කර ක්‍රියාවකින් පස්සෙ මහ පාන්දර දොලහ හමාරට විතර මහමළුවට ආව. පද්මෙත් වැඳල පහල මළුවට බැස්ස සනීපෙන්.

හා දැං යං ගාන්ඨාරෙ ගහන්න. එතන අර රොටී කඩේ පෝලිම වගේ. අපිත් පෝලිමට සෙට් වුනා. නඩේ ගුරා ඉස්සරහින්, මායි අනිකයි පිටිපස්සෙන්.
තම තමං සිරීපාදෙ කරුණාකරපු වාරගානට තමයි මේ ගාන්ඨාරෙ ගහන්න ඕන කියල අපේ නඩේ ගුරා පස් පාරක් ගාන්ඨාරෙ ගැහුව. ඊ ලඟට මාත් මහ හයියෙන් ගමේ පංසලේ ගහනව වගේ දිගටම ගාන්ඨාරෙ ගහන්න ආපු ආසාව බොහොම අමාරුවෙන් යටකරං එක පාරක් ගහල දොළොස්මහේ පහන පැත්තට ආව. හීතලේ ගැහෙ හැහී උන්න මට නිකං ගෙදර ආව වගේ පහනෙ රස්නෙ.

තවම වෙලාව පාන්දර එකයි. ඉර සේවෙ නොබල අපේ නඩේ ගුරාට නෙමෙයි බහින්න හිත. බලන බලන අත සෙනග. පැය තුනක් හතරක් ඉන්න තැනක් හොයාගන්න බෑ විශ්‍රාම ශාලා ඔක්කොම පිරිල. බැරිම තැන ඔය ගාන්ඨාරෙට පල්ලෙහායින්, දොළොස් මහේ පහනට උඩහින් තියන ගල් තලාවෙ වාඩි වුනා. මගෙ අම්මෝ පස්ස පැත්ත හීතලට පිචිචිලා ගියා වගේ. තුන් දෙනාම දැන් ගලේ ඇල වෙලා අම්ම එපා කියද්දි දුන්න ලොකු බෙඩ්ශීට් එකත් ඔළුවෙ ඉඳන් පෙරවං ඉන්නව. මොන ඉන්න බෑ. කකුල් දෙකේ ඉඳන් ඔළුවටයි ඔළුවෙ ඉඳං කකුල් දෙකටයි හි‍ටු කියල වෙවුලනව. දත් ඇඳි දෙක සට සට ගාල ගැහෙනව.

මචං ඉන්න බෑ හීතලේ. ඔන්න ඔහේ බහිමුද.

ඉර සේවෙ නොබල බහින්න බෑ. මේ හිටිය වගේ ඔය ඉතුරු පැය තුනත් ඉඳිමු.  අපෙ නඩේ ගුරා ලෙඩේ දානව.

හීතලේ ඔහොම ඉන්නකොට යාන්තං නින්දක් එනව එනව වගේ….

ටාං ටාං ටාං ටාං ටාං ටාං……….

කව්ද හු*****?

අපේ ස්‍රද්ධාවන්ත, කට පාලනය කරං, අපිටත් උපදෙස් දීගෙන උන්න අපේ සත්ගුණවත් නඩේ ගුරුතුමා බෙරිහන්දීගෙන අඩනින්දෙන් නැගිට්ට

වටේ පිටේ ඉඳපු සේරම ගල්තලාවෙ ඉන්න කලුපාට ගුලි තුන දිහා බලං ඉන්නව බය වෙලා වගේ. උඩ බැළුව. පහල මළුවෙ ගාන්ඨාරෙ ලඟ ඉඳපු කට්ටිය කොට තාප්පෙට උඩින් අර ගුලි තුන දිහා බලං ඉන්නව. ඒ අස්සෙ වයසක උන්දැ කෙනෙකුත් කට ඇරං බලං ඉන්නව.

අර ගල උඩ තිබුන කළුපාට ගුලි තුන සද්ද නැතුවම පල්ලං බැස්ස ඕං ඉර සේවෙත් නොබලම….

ප/ලි : මං හිතන්නෙ අර මුත්තට ආපු වාර ගානට ගාන්ඨාරෙ ගහගන්න බැරිවෙන්න ඇති අපේ නඩේ ගුරාගෙ සද්දෙට. ඕකට නින්දක් ගියොත් ඔහොම්මමයි. උන්හිටි තැන් මතක නෑ

 

 

වෙන්ඩ ලෝයර් ගේ තඩි බොරුව සහ ස්වයං නිවාස අඩස්සිය

මේක ලියල තියන්න ඕන කියල මතක් වුනේ අපේ ගෝල්ඩ් ‍ෆිෂ් ලියපු, උන්දැගෙ සිරීපාදෙ ගමනයි අකේලේ හම් අනුංගෙ කෙල්ලංගෙ අතින් අල්ලං නැග්ග කතාවයිගෙයි කියෙව්වට පස්සෙ. ගමනෙ විස්තර කියනව කිව්වට සේරම ලියන්න හිතක් නෑ. මොකෝ ඕක ට දවස් දෙකක්ම ගිය හන්ද සේරම ලියන්න ගියොත් මට වෙන වැඩක් නැතිවෙයි, කියවන්නත් එපාවෙයි.

අපිට වෙච්ච් ලොකුම අභග්ගයයි තව එක අතුරු කතාවකුයි ලියල දානව කියල බොහොම අමාරුවෙන් හිතත් එක්ක එකඟතාවයක් ඇතිකරගත්ත.

ඉස් ඉසෙල්ලම අතුරු කතාව ලියල ඉඳිමු, සෙස්ස පස්සට

මේ ගමන යන්න සෙට් උනේ මගෙ අතිජාත මිත්‍රයො දෙන්නෙක්. එක්කෙනෙක් මං අර කලින් පෝස්ට් එකකදි කියාපු සහෝදරය. ඇත්තටම මේ ගමන යන්න අපේ තව එකෙක් එන්න උන්නෙ. අන්තිම මොහොතෙ උගෙ ලෝ කොලේජ් එකේ යාලුවොත් එක්ක ඇනුවල් ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා ඌ ආවෙ නෑ. අපිනං කිව්ව ඔය ලෝයර්ස් ල එක්කයන ට්‍රිප් චාටර්, වර අපිත් එක්ක සිරීපාදෙ යන්න කියල, කව්ද මංද තව ජිඟිරි පාං ගෑණු ළමයෙකුත් යනව කියල මූ බෑම කිව්වනෙ පොලොවෙ හැපිල. මූ අති පංඩිතය හන්ද කෙල්ලො කැමතිම නෑ මේකට. අපි මූ ව සිරීපාදෙ එක්කං ගිහිල්ල යන්තං හරියාගෙන එන්න වගේ තිබුන මුගෙ වැඩේ ගැස්සිලා ගියොත් එහෙම මූටත් අර “මගේ පුංචි රෝසමලේ” සින්දුවෙ වීඩියෝ එකේ ඉන්න ලෝයර් වගේ තමයි ඉන්න වෙන්නෙ. අනික මරන්න ගෙනියන හරකෙක් වගේ අඬන එකෙක් එක්ක සිරීපාදෙ යන්න බැරිහන්ද අපි තුන්දනා විතරක් යනව කියල ඔන්න වෙසක් පෝයට දවස් තුනක් කලින් කො‍ටුවෙ ස්ටේශන් එකට ආව බදුලු කෝච්චියට. අපි ඉති අපායට ගියත් කලිං යන උන් නෙ, කෝච්චියට පැයක්ම තියෙනව වැඩිපුර. කම්මැලි කමටත් එක්ක අර අනිත් යාලුවට කතාකරල බලමු උගෙ ට්‍රිප් එක කොහොමද කියල හිතල ඔන්න ඌට කෝල් කලා.

මචං අපිනං දැං කො‍ටුවෙ ස්ටේශන් එකේ. උඹ කොහෙද මචන්?

මූ උත්තර දෙන්නෙ නෑ..

හෙලෝ හෙලෝ…… මචන් ඇයි, ඇහෙන්නෙ නැත්ද?

ඇහෙනව යකෝ.. මං කාමරේ.

යකෝ මෙච්චර විගහට බොලා නුවරගියාද, එල එල.

එල? රෙද්ද තමයි. මං ගෙදර ඕයි.

ගෙදර අහවල් දෙයක් කරනවද මූ…….

හොයල බැරින්නං, ඒ දවස් වල නුවර පැත්තෙ කඳු නාය යන හන්ද උන් ටික නුවර ගමන කැන්සල් කරල, උණව‍ටුනෙ යන්න තීරණය කරල. ගාල්ලෙ ඉන්න එකාට උණව‍ටුනට මොන ඇනුවල් ට්‍රිප් ද. මූගෙ මළ පැනිල්ල කොච්චර්ද කියනවනං මූ උන්ට කියල ඒ සැරේ උගෙ වෙන යාලුවො ටිකක් එක්ක සිරීපාදෙ යනව කියල. ඒ කියන්නෙ අපි නෙව. ලැජ්ජාවට අපිට කිව්වෙ නෑ නුවර ට්‍රිප් එක කැන්සල් කියල. අනික මූ දීපු පොර ටෝක් වලට ආපහු ඔය යකාට රෙද්දක් ඇඳන් කියන්න බෑ.

ඔන්න ඔහොමයි ඌට ට්‍රිප් දෙකම මිස් උනේ. හොඳම හරිය ඕක නෙමයි. ට්‍රිප් එක ආපු සෙට් එක නවතින්න ‍තෝරෙගෙන තියෙන්නෙ මුගෙ ගෙවල් හතර පහකට එහායින් තියෙන හොටෙල් එකක්

මූ අර උගෙ ලෝයස්ලට කිව්වෙ සිරීපාදෙ යනව කියලනෙ. ඉතිං වැරදිලාවත් මූ අහල පහල ඉන්නව දැක්කොත් උගෙ ඉදිරි වෘතීය ජිවිතේට හොඳ නෑ කියල අපි සිරීපාදෙ ගිහින් එනකන් ම මේක කාමරේට වෙලා දවස් දෙකක්ම හැංගිලා උන්න.

ඕං අපේ යාළු ලෝයර්ලගෙ වග. මුං කතාකරන ණඩු වලටත් බඩුම තමයි

ප/ලි : ඔය කිව්වෙ සිරීපාද ගමනෙ අතුරු කතාවනෙ. අනිත් කතාව තමයි ඕං ඊලඟ පෙට්ටියෙ එන්නෙ. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කියල තියෙනව නෙ.

එක බඩවැල කඩං නාවට උඹ මගෙ සහෝදරය බං

එක බඩවැල කඩං නො ආවට උඹ මගෙ සහෝදරය බං.

කී දෙනක්ට ඔහොම කියන්න වරම් තියනවද මංද, ඒත් මුළු හිතිංම මට එහෙම කියන්න පුළුවං. ඒ වෙන කවුරුවත් හන්ද මෙමෙයි. උඹ හින්ද මචං.

මට මතක නෑ මට මුලින්ම මුනගැහෙන්නෙ කවදද කියල, ඒත් ඒ උඹ ශිෂත්වෙ පාස් වෙලා මම උන්නු ඉස්කෝලෙට ආපු අලුත කියල මතකයි. ඒ වෙනකොටත් උඹට අලුත් ඉස්කෝලෙ යාලුවො මහ ගොඩයි. ඉස්කෝලෙ එක වසරෙ ඉඳල උන්නු මටත් වඩා. ඒත් මට උඹ ගැන ඉරිසියා නොහිතුනේ එහෙම හිතන්න තරං මට තේරුමක් නොතිබුන හන්ද ද, එහෙම නැත්නං උඹත් මට දිරවපු නැති අනිත් උන්ගෙ ගොඩටම දාන්න හිතං උන්නු හින්ද ද එහෙමත් නැත්නං උඹෙ හොඳ වැඩි හිත හන්ද කියල මං දන්නෙ නැ.

ඩිංගක් ඉහල පන්තිවලට යනකොට උඹල අපිට ඔය ඉලෙක්ට්‍රොනික් උණක් හැදුන. මට බෝඋනෙත් උඹෙන්ද මන්ද. සෙනිත් පොත් ඉස්සර අපිට දෙයියො වගේ. ඕවයෙ තිබුනෙ පුංචි පුංචි ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන විදිය. ඕවයැං වැඩිය ජනප්‍රිය ඔය ට්‍රාන්ස්මීටර්, එක එක සෙන්සර් වර්ග, L.E.D වලින් වැඩ දාන හැටි නෙ. ඉස්සර මගෙ කාමරේ ඇඳයට කාඩ්බෝඩ් පෙට්ටියක P.C.B බෝර්ඩ්, ලෙඩ් කම්බි, සර්කිට් වයර් කෑලි පිරිල, අම්ම කාමරේ අතුගාන හැම පාරකම ඔය පෙට්ටියට කොස්සෙන් ඇනල මට බණිනව. ඉඳල හිටල ඔය අනින පාර සැර උනොත් එහෙමෙ කෑලි කාමරේ පුරාම. එතකොට බැණුනුත් වැඩිවෙනව.

උඹට මතකද මම උඹෙන් ඔය ට්‍රාන්ස්මීටර් සර්කිට් එකක ඩයග්‍රම් එකක් ඉල්ලං ගෙහිල්ල හදල වැරදිලා, ඒක ස්විච් ඕන් කලාම අහල පහල ටී.වී නොපෙනී ගියා.  ඔය කතාව අහපු ඉස්කෝලෙ උං දෙනෙක්  ඕක මගෙං ඉල්ලං ගෙහිල්ල අහල පහල උන්ට වද දුන්නද..

මම හදපු හැම සර්කිට් එකක්ම ඔහොම විනාසයක් අරං ආපු හන්ද මතකද මම උඹට කියල UM66 ක් දාල මියුසික් සර්කිට් එකක් හදවගත්ත. උඹ මට ඕක හදල දුන්නෙ P.C.B එකක නෙමයි, ෆෝමිකා කෑල්ලක. එහව් ලෝ බජට් විදියට හදලත් මගෙන් රුපියල් 60.00 ම ගත්තෙනෙ උඹ ලැජ්ජා නැතුව. ඔය කාලෙ වෙනකොට මම වැඩිය ගනං හිලව් නොදැනෙ උන්න හන්ද ගානක් උනේ නෑ. හැබයි පස්සෙ මට තේරුනා උඹ මාව ඇන්දුව කියල. මට වෙන එකෙක් එහෙම ඔහොම බලු වැඩක් කලානං ඌ මගෙ ආශ්‍රයෙන් අයින් කරන්නෙ එදා. මොන හේතුවකටද මංද මට උඹ කරපු වැඩේට හිනා ගියා, තවමත් ඉඳල හිටල මම උඹට ඔය ඔය UM66 කියන්නෙ මම ඒකෙ හිනාවක් දකින හන්ද.

තව පොඩ්ඩෙං අමතක වෙනව, උඹට මතකද අර උඹලගෙ ගෙදර තිබිච්ච දානෙට එන්න පාර ඈඳල දුන්න කොලේක.  [ඔය පහල තියෙන්නෙ මගෙ මතකයෙන් ආපහු ඇඳපු එක. උඹ ඇඳපු එක ඔයිට අප්සට්]

ඕක බලං ඇවිල්ල මමයි අම්මයි වැටිච්ච අමාරුව. උඹට අමතක වෙලා තිබුන ඔය එන පාරෙ තියනෙ තව අතුරු පාරවල්, හන්දි, වංගු මහ ගොඩක්. අන්තිමට ත්‍රීවීල් එකක ආපහු එන්න තරං පයිං ගියා. ඒත් බං අම්මටයි මටයි හිනා ආව මිසක් කේන්ති ආවෙ නෑ. දානෙ කොච්චර වැදුනද කියනවනං අම්ම යවල මම උඹලයි ගෙදර දවසක්ම හිටිය.

ඔය කාලෙ උඹ අපේ ගෙදර පදිංචියට ආව පාඩං කරන්නෙ. [අනේ උඹයි මමයි කරපු පාඩං] උඹනං අපේ අම්මගෙන් එක දමාගෙන පාඩං කලා. මං මළ කම්මැලිකමට නිදාගෙන ඉඳල විභාගෙට කෙළවගත්ත. මට එතකොටත් කේන්තියක්, ඉරිසියාවක් ආවෙ නෑ, උඹ පාස් උනාට සං‍තෝසයක් මිසක්

එතන ඉඳල උඹ අපේ ගෙදර එකෙක් වගේ උනා, මරණයක් උනත්, මගුලක් උනත් උඹ අපේ ගෙදර, උඹ අපේ නෑදෑයො අතරෙ හරිම ජනප්‍රියයි. ඇහුවොත් ඇත්නං උඹෙ හොඳක් මයි. මගෙ හොඳක් නොකියෙන නෑදෑ කටකිං උඹෙ හොඳක් කියවෙනකොට මට උඹ වගේ යාළුවෙක් ඉන්න එක ගැන ආඩම්බරයක් මිසක් මට උඹ ගැන තරහක් ඉරිසියාවක් නෙමයි ඇතිවුනේ.

මතකද විභාගෙ ඉවරවෙලා උඹ ෆ්ලෝර් පොලිෂර් එකක් හදනව කියල දහ අතේ දිවුරල උඹෙ කැමරාව ඔට්‍ටුවට අල්ල ගිවිසුමකුත් ගහල මෙට්ටෙ කවරෙ අස්සෙ දැම්ම. උඹ හදපු මගුලකුත් නෑ, පැරදුනාට ඔට්‍ටුව දුන්නෙත් නෑ. මං ඒකට තරහත් නෑ.

මෙට්ටෙ කිව්මයි මතක් උනේ, මතකද උඹ නිදාගනිපු ආර්පිකෝ ස්පොන්ච් මෙට්ටෙට උඹ කොච්චර ආසකලාද කියල, කොච්චරද කියනවනං උඹෙ නමේ මුල අකුරු කාබන් පෑනෙන් මෙට්ට කවරෙ ලියලත් තිබුන, මගෙන් ඉල්ලුවත් එක්ක. මම එතකොට කිව්ව උඹට “උඹ බඳින දවසට මම ඔතාගෙන එනව” කියල. දැං ඒ මෙට්ටෙ නිදාගෙනමද කොහෙද ස්පොන්ච් ගතිය අඩුවෙලා තුනී වෙලා. දැං ඒක දාල තියෙන්න චූටිමැණිහෙගෙයි මගෙයි පුතු පැටියගෙ ඇඳට හින්ද තැන තැන වේලිච්ච චූ පැල්ලං තියනව. ඒත් මචන් මම කොහොමද උඹෙ ආසාවට පයිං ගහන්නෙ. උඹ මොන ලෝකෙ උඹෙ වෙඩිම ගත්තත් ඔතං එනව මචං. මං තනි වචනෙ එකා කියල උඹ දන්නවනෙ. [ඕකමනෙ මට යාලුවො නැත්තෙ බං]

ගම රට අතෑරල ඇවිල්ල මෙහේ මුල් ඇද්දට පස්සෙ උඹත් රස්සවකට මෙහේ ආව. සතියකට සැරයක් අපේ ගෙදර එන උඹ පිලි ගන්න අපි සං‍තෝසෙන් බලං ඉන්නව. අම්ම, නංගි, මම, උඩිං නොපෙන්නුවට තාත්තත්. [ඒ අපේ තාත්තගෙ හැටි කියල උඹ දන්නව]

මං උඹේ ගෙදර ආවමත් ඔය ආදරණීය පිළිගැනීම එහෙමමයි, සමහර විට ඊටත් වඩා. උඹේ අම්ම, ලොකු අක්ක, චූටි අක්ක, සුදු අක්ක, නංගි මාව බාරගන්නෙ හරිය පවුලෙ එකෙක් වගේ. මගෙ පොඩි එකා බලන්න හැම එකෙක්ටම කලින්, උඹටත් කලිං උඹෙ ලොකු අක්කයි නංගියි බං ආවෙ. ඉතිං මං තව වෙන මොනව වත් කියන්න ඕනද මචං ?.

‍රැට කාල කාමරේට වදින අපි නිදිමත එනකං පරන දේවල් කිව කියව ඉන්නනෙ කොච්චර සං‍තෝසෙන්ද. මතකද චූ බට්ටයි උඹයි අර ස්පීකර් එකේ ඇදේ කෙලින් කරපු ටූල් එක [මෙතන ලියන්න බැනෙ බං] ලලලංකයි, බටෙයි, දුමිඳුවයි එක්ක කරපු විකාර, ත්‍රී කොයින් බියර් කෑන් අරං ‍රැන්පාට් එකේ සන්සෙට් එකට වෙලා බිව්ව හැටි.  ඊටපස්සෙ උඹ හිස් කෑන් දෙක අරන් ගෙදර යනව. මතකද දවසක් ගැට්ටට ඔය හිස් කෑන් වැඩේ මාට්‍ටුවෙලා කාලයක් යනකං නෝන්ඩි කලා. ඕක අපි දෙන්නගෙ නං දෙක එකතුකරල කුපාඩි කතාවක් හැදුව. උඹ හරි මම හරි තනියම ඉන්නකොට “කෝ බං අනිත් බාගෙ” කියල අහන තරමටම අපේ යාලුකම වටෙටම දැනිල තිබුනෙ. දැං උනත් පරන එකෙක් මුනගැහුනම විස්තර කතා කරල උඹ ගැනත් අහන්න අමතක කරන්නෙ නෑ බං.

මගෙ වෙඩිමට උඹ මහන්සි වෙච්ච තරං, පැණි හඳ බලන්න නවතින තැන් හොයන්න උඹෙ පරන මෝටර්සයිකල් ක‍ටුවෙ නැහල උඹත් එක්ක රවුං ගහපු හැටි… කාර් හොයන්න මහන්සි වෙච්ච හැටි අමතක නෑ බං. අන්තිමට මගුල් කාර් එකත් උඹෙ ගානෙ.  ඒ මදිවට හෝම් කමින් එකෙං පස්සෙ මගෙ නෑදෑයොත් එක්ක වැටිල ගෙදරත් ඇවිල්ල කාමර වල ඉඩ නැතුව මෙට්ටයක් බිම දාගෙනෙ නිදාගෙන තමයි උඹ පස්ස බැලුවෙ.

මතකයි නෙ මායි චූටි මැණිකෙයි පැණි හඳ බලන්න යන්න ඔන්න මෙන්න කියල අර රෙද්ද මට දෙන්නෙයි කියල උඹෙ අතට දීල, “ඕක අපේ එකාට දෙන්න, මිනිහ ඕක මොකකටද කියල දන්නවද දන්නෙ නෑ” කියල අපේ තාත්ත කිව්ව හැටි. උඹ එච්චරට අපිට සමීපයි බං, සමහර වෙලාවට නෑදෑයෙකුටත් වැඩිය. රෙද්දට වෙච්ච් දේ උඹ දන්නව නෙව, හිකිස්…..

මම උඹෙ ජීවිතේ සෑහෙන්න පෞද්ගලික දේවල් දන්නව වගේම මගෙ අම්ම තාත්ත නොදන්න දේවල් උඹ දන්නව. කවදාවත් උඹ ඒව දැනගෙන හිටිය කියල මට බයක් හරි ලැජ්ජාවක් හිතිල නෑ මචං. අදත් චූටිමැණික ඇරුනාම දෙපාරක් නොහිතා ඕනම දෙයක් කියන්න ඉන්න උඹ විතරයි කියල උඹ දන්නවද මංද. ඒත් ඇත්ත ඒකයි මචං.

මගෙ අවුරුදු විසිඅටක ජීවිත කාලෙට මම හම්බකරගනිපු වටිනාම දේ චූටිමැණිකෙයි, අපි දෙන්නගෙ පුතු පැටියයි, උඹයි. ඉතිං මං කොහොමයි කියන්නෙ උඹ මගේ සහෝදරය නෙවෙයි කියල !

%d bloggers like this: