සිරීපාද මුත්තාගේ ගාන්ඨාර ගැහිල්ල හා නඩේ ගුරා

ඔන්න ඉතිං අපි තුන්දෙනා හැටන් වලින් හැන්දෑවෙ කෝච්චියෙන් බැහැගත්ත. බුදු අම්මේ හීතල. මායි මගේ සහෝදර යාලුවයි මෙ සිරීපාදෙ යනවමයි. අනිකගෙ නං මේ හතරවෙනි ගමන හන්ද ඌ තමයි නිතර‍ඟෙයන්ම නඩේ ගුරා. තව එකෙක් අපිත් එක්ක එන්න ඉඳල නූලෙන් ඌට ගමන ගැස්සිල නිවාස අඩස්සියෙ වැ‍ටුන විත්තිය මං කලින් කතාවෙදි කිව්වනෙ.

කොහේටෙයි බං මෙතනිං? නඩේ ගුරාගෙං ඒ ඇහුවෙ.

ඔතන එහා පැත්තෙ නල්ලතන්නියට යන බස්  ඇති නැගහං.

ඕං කරදරයක් නැතුව අපි සී.ටී.බී බස් එකකින් නල්ලතන්නියට ආව.

හා දැං ඉතිං කරුණාකරමු. අප්පට සිරි අපේ නඩේ ගුරාගෙ කතාබහ තැන්පත් වෙලානෙව.

මචං බඩගිනී බං කාලම නගිමුද.

හා එහෙනං කාලම පටංගමු.

පුදනකොටම කාපි යකා කියල ඉස් ඉස්සෙල්ලම කන්ද මුලම ඉඳං පාං කාල ලොකු නඩයක් පිටිපස්සෙන් සෙට්වෙලා තුං සරනේ කිය කිය අපි සාම චෛත්‍ය හරියටම ආව. පට්ට හීතලයි, දැං ඔන්න මට ඉන්නන බෑ. කොළඹ ඉඳන් හිතං ආපු මළුවටම එකයි එකක් ඕනමයි.

මචං අරවයි එකක් ගම්මුකො බං.

හා හා ඕව හොඳ නෑ, බොලා දෙන්නම කිරිකෝඩුයි.

අනේ බං අම්බානෙකට හීතලයි.

බෑ බෑ. කීයටවත් උඹලට බොන්න දෙන්න බෑ. හීතලට අර දාං ආපු ස්වෙටර්ස් ඇඳහල්ල. ඕනෙමනං කරුණාකරල එමින් ගමං අරං බීපන්.

මූ අපේ තාත්තටත් වැඩිය අමාරු කාරයෙක්වගේ. මෙකට බැන බැන සාම චෛත්‍ය වටේ තියන බැම්මෙ වාඩිවෙලා හැටන් වලින් ගත්තු හීතල වෙලා තිබුන  බනිස් ගෙඩ්යක් ගිල්ල,  අම්මට උඩු, එලියෙන් විතරක් නෙමෙයි ඒ පාර ඇතුලෙනුත් ඇඟ හීතල වෙලා ගියා.

මචං ඉන්නම බෑ, දැං නං හීතලයි. ඒපාර අනික කෙඳිරිගානව.

අඩිය ඉක්මන් කරල යං, එතකොට ඔය හීතල ගතිය මග ඇරෙනව.

කිව්වත් වගේ ඕං ඉක්මං කරලයන කොට ඩිංගක් විතර හරි. ඉක්මං කරනව කිව්වට නගින බහින කට්ටිය අතරෙ ඉක්මන් කරලය එක ලේසි නෑ. පඩි පෙල් මඟ ඇරල පස් කඳු උඩිනුයි, පඳුරු උඩිනුයි පැන පැන බොහොම අමාරුවෙන් නැග්ග පැයක් එක හමාරක් විතර.

හා දැං මෙතනිං තේ ඩිංගක් බීලම යං. ඔහොම කියල නඩේ ගුරා හරියට අර කොළඹ මාතර බස් තේ බොන්න ඉඳුරුවෙ ගාලුසිරියෙ නවත්තනව වගේ ඇල්ලුව පොල් අතු කඩයක් ඇතුලට. අම්මේ ඉන්න සෙනඟ, සූ ගාල. බොහොම අමාරුවෙන් අපි තුන්දෙනා ගියා මුදලාලි හොයං. මොන, කට්ටිය වටකොරං මුදලාලිය වතුර උණුකරන ගිණිමැළේ ලඟට වෙලා රොටී පුච්චනව. කිට්‍ටුවෙන්න බෑ.

මෙහේ නෙමෙයි අන්න අරහෙන් බඩු ඉල්ලගන්න…..

මුදලාලි බෙරිහන්දෙනව. බලං ගියාම කට්ටිය එතනට වෙලා ඉඳල තියෙන්නෙ රොටී කන්න නෙමෙයි, අර වතුර උණුකරන ලිපේ රස්නෙට. ඔන්න අපි රොටී කවුළුවට  සෙට් වෙලා පෝලිමේ ඉඳල තඩි ලුණුමිරිස් තල්ලියක් එක්ක රොටී ජෝඩු දෙක දෙක අරං පැත්තකට වෙලා කනව. වෙනද අසාවටවත් රොටී නොකෑවට අමුර්තෙ වගේ එදා කාපු ලුණුත් නැති රොටිය.

ඒ.. බං ලුණුමිරිස සැර නෑනෙ.

නෑ මචං. හීතලට සැර දැනෙන්නෙ නෑ. ඒකයි. අපේ නඩේ ගුරා දන්න දේවල්…

උඹ ඉඳහං. මං ප්ලේන්ටි අරං එන්න කියල අනික ගිහිල්ල දුං දාන වීදුරු තුනක් වගේ වගක් නැතුව අතේ තියං ඇවිල්ල අපිට දුන්න.

මං පළවෙනි උගුර බිව්ව. යකෝ මේ නිවිච්ච ප්ලේන්ටිනෙ බං උඹ ගෙනැත් තියෙන්නෙ..

පිස්සුද බොට, ඔය එතකොට දුං දාන්නෙ අහවල් එකෙන්ද?

ඇත්ත නේන්නං. මං තව තඩි උගුරක් කටේ හලාගත්ත බලන්න.

මැරෙන්නද හදන්නෙ. හෙමිං බොනව, හීතලට රස්නෙ දැනෙන්නෙ නැත්තෙ. ඔහොම බ්ව්වොත් බඩේ දියපට්ට එයි. නඩේගුරා ඇස් උඩතියං බෙරිහන් දෙනව.

කොහොමෙන් හරි මිනිහගෙ පිහිටෙන් බඩේ දියපට්ට හදානොගෙන ප්ලේන්ටිත් බීල තවත් පැය දෙකක විතර දුෂ්කර ක්‍රියාවකින් පස්සෙ මහ පාන්දර දොලහ හමාරට විතර මහමළුවට ආව. පද්මෙත් වැඳල පහල මළුවට බැස්ස සනීපෙන්.

හා දැං යං ගාන්ඨාරෙ ගහන්න. එතන අර රොටී කඩේ පෝලිම වගේ. අපිත් පෝලිමට සෙට් වුනා. නඩේ ගුරා ඉස්සරහින්, මායි අනිකයි පිටිපස්සෙන්.
තම තමං සිරීපාදෙ කරුණාකරපු වාරගානට තමයි මේ ගාන්ඨාරෙ ගහන්න ඕන කියල අපේ නඩේ ගුරා පස් පාරක් ගාන්ඨාරෙ ගැහුව. ඊ ලඟට මාත් මහ හයියෙන් ගමේ පංසලේ ගහනව වගේ දිගටම ගාන්ඨාරෙ ගහන්න ආපු ආසාව බොහොම අමාරුවෙන් යටකරං එක පාරක් ගහල දොළොස්මහේ පහන පැත්තට ආව. හීතලේ ගැහෙ හැහී උන්න මට නිකං ගෙදර ආව වගේ පහනෙ රස්නෙ.

තවම වෙලාව පාන්දර එකයි. ඉර සේවෙ නොබල අපේ නඩේ ගුරාට නෙමෙයි බහින්න හිත. බලන බලන අත සෙනග. පැය තුනක් හතරක් ඉන්න තැනක් හොයාගන්න බෑ විශ්‍රාම ශාලා ඔක්කොම පිරිල. බැරිම තැන ඔය ගාන්ඨාරෙට පල්ලෙහායින්, දොළොස් මහේ පහනට උඩහින් තියන ගල් තලාවෙ වාඩි වුනා. මගෙ අම්මෝ පස්ස පැත්ත හීතලට පිචිචිලා ගියා වගේ. තුන් දෙනාම දැන් ගලේ ඇල වෙලා අම්ම එපා කියද්දි දුන්න ලොකු බෙඩ්ශීට් එකත් ඔළුවෙ ඉඳන් පෙරවං ඉන්නව. මොන ඉන්න බෑ. කකුල් දෙකේ ඉඳන් ඔළුවටයි ඔළුවෙ ඉඳං කකුල් දෙකටයි හි‍ටු කියල වෙවුලනව. දත් ඇඳි දෙක සට සට ගාල ගැහෙනව.

මචං ඉන්න බෑ හීතලේ. ඔන්න ඔහේ බහිමුද.

ඉර සේවෙ නොබල බහින්න බෑ. මේ හිටිය වගේ ඔය ඉතුරු පැය තුනත් ඉඳිමු.  අපෙ නඩේ ගුරා ලෙඩේ දානව.

හීතලේ ඔහොම ඉන්නකොට යාන්තං නින්දක් එනව එනව වගේ….

ටාං ටාං ටාං ටාං ටාං ටාං……….

කව්ද හු*****?

අපේ ස්‍රද්ධාවන්ත, කට පාලනය කරං, අපිටත් උපදෙස් දීගෙන උන්න අපේ සත්ගුණවත් නඩේ ගුරුතුමා බෙරිහන්දීගෙන අඩනින්දෙන් නැගිට්ට

වටේ පිටේ ඉඳපු සේරම ගල්තලාවෙ ඉන්න කලුපාට ගුලි තුන දිහා බලං ඉන්නව බය වෙලා වගේ. උඩ බැළුව. පහල මළුවෙ ගාන්ඨාරෙ ලඟ ඉඳපු කට්ටිය කොට තාප්පෙට උඩින් අර ගුලි තුන දිහා බලං ඉන්නව. ඒ අස්සෙ වයසක උන්දැ කෙනෙකුත් කට ඇරං බලං ඉන්නව.

අර ගල උඩ තිබුන කළුපාට ගුලි තුන සද්ද නැතුවම පල්ලං බැස්ස ඕං ඉර සේවෙත් නොබලම….

ප/ලි : මං හිතන්නෙ අර මුත්තට ආපු වාර ගානට ගාන්ඨාරෙ ගහගන්න බැරිවෙන්න ඇති අපේ නඩේ ගුරාගෙ සද්දෙට. ඕකට නින්දක් ගියොත් ඔහොම්මමයි. උන්හිටි තැන් මතක නෑ

 

 

Advertisements
%d bloggers like this: