ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ……….
ජූලි 4, 2011 ප්‍රතිචාර 38
මේ කතාව මට ලියන්න ලොකු උවමනාවක් තිබුනත් පහුගිය මාසෙක තිබුන වාර්ශික දානෙ උණුහුම පහවෙනකන් ඉවසාගෙන හිටිය. ඒ දවස් වලම ලිව්වනම් සමහර විට සමහර අයගෙ හිත් රිදවීම් වැඩි වෙන්න ඉඩ තිබුන.
නෑ නෑ.. මේ කතාව බ්ලොග් ලියන කිසිවෙක් හා සම්බන්ධ එකක් නෙමේ.
මේක අදින් අවුරුදු හතරකට විතර ඉස්සර මම සහ මගේ පාසැල් මිතුරන් හැමෝම වගේ කම්පනයට පත්කරපු සිද්ධියක්.
මේ චරිතයට අපි අන්වර්ථ නාමයක් දෙමු සාගර වීරංසිංහ කියල.
පාසැලේ අ.පො.ස සාමාන්‍ය පෙළ කරද්දි එකටම හිටියත් උසස් පෙළ කරද්දි වෙනස් විෂය ධාරාවන් තෝරාගනිපු නිසා සාගරගෙයි මගෙයි ආශ්‍රය පොඩ්ඩක් විතර දුරස් උනා. ඒත් කොහේදි දැක්කත් “මචං” කියල කතාකරන්න අමතක කලේ නෑ.
උසස් පෙළින් පස්සෙ සාගර අගනුවර ප්‍රසිද්ධ සමාගමක මෙඩි රෙප් කෙනෙක් උනා. මගෙ මතකයෙ හැටියට ඔහු තමයි අපේ උසස් පෙළ කණ්ඩායමෙන් මුලින්ම රැකියාවකට ගියේ. අපි විවිධ වෘතීය පාඨමාලා හදාරන අතරෙ සාගර බොහෝම ආඩම්බරයකින් සති අන්තයේ මෝටර් රථයකින් නිවාඩුවට ගෙදර එනව මට තවමත් මතකයි. සමහර විට ෆුට් බයිසිකල් වලින් ටවුන් එක පුරාම කරක් ගහන අපිට හෝන් නාදයකින් විතරක් ආචාර කරගෙන පියාඹලා ගියේ ඒ වෙනකොට ඔහු කලේ අපිට සාපේක්ෂව ලොකු රැකියාවක් නිසා වෙන්න ඇති.
කාලයක් යනකොය ඉබේම අමතක වෙලා ගියපු සාගර, හදිස්සියේ විවාහවීමේ ආරංචියකුත් එක්ක ආයෙම අපේ මතකයට ආවා. ඒ වෙනකොටත් අපි සමහරක් ක්ලාස් යනව, සමහර අය කැම්පස් යනව. තවත් සමහර අය ක්ලාස් ඇරිල කෙල්ලො එනකන් බස් හෝල්ට් වල කට්ට කනව. කසාදයක් ගැන හීනෙන් මිසක් හිතල නෑ.
කොහොම හරි අපිට ආරංචි වෙනව සාගරගෙ ෆීල්ඩ් ඒරියා එක වෙච්ච නුවර පලාතෙ මිනිහා නැවතිලා ඉඳපු ගෙදර ගෑණු ළමය තමයි මේ විවාහකරගෙන තියෙන්නෙ කියල. තවත් කාලෙකට පස්සෙ ආරංචි වෙනව ඔහුට බලෙන්ම තමයි ගෑණු ළමයගෙ පැත්තෙන්න් මේ විවාහය කරල දීල තියෙන්නෙ කියලත්.
සාගරගෙ තාත්ත අපේ තාත්තත් එක්ක එකම ආයතනයේ රැකියාව කරල පසුව ලෝයර් කෙනෙක් උන කෙනෙක්. ඔහු නගරයේ යම් තරමක ප්‍රසිද්ධ චරිතයක්. ඔහුට මේ සිද්ධිය ලොකු ගැස්මක් ඇතිකරපු දෙයක් නිසාත් ලැජ්ජාව හා කේන්තිය නිසාත් සාගරව පවුලෙන් ඈත්කරල තිබුනෙ. ඒත් සාගරට ඒක එච්චර දෙයක් නොවුනේ ඔහු රැකියාව කලේ අග නුවර නිසා. ඒත් හදිස්සියේම ඔහුට ආයතනයෙන් රැකියා ස්ථාන මාරුවක් ලැබෙනව වෙනත් පළාතකට. ඒ වෙනකොට සාගර තාත්ත කෙනෙක් වෙන්න ඔන්න මෙන්න. මේ වෙලාවෙ දෙමාපියන් පිහිට නොවුනත් ඔහුගේ ජේෂ්ථ පාසැල් මිතුරෙක් ඉදිරිපත්වෙනව තම නිවසේ ඇනෙක්සියක් ඔවුන් දෙදෙනාට දෙන්න. අපි ඔහුට සමන්ත කියමු.
දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර එනකොට මම සාගර දකිනව අපේ හන්දියේ තියන වලං කඩේට වෙලා සිංහල අවුරුද්දට කිරිඋතුවරන්න හිල් නැති මුට්ටියක් තෝරන්ව. ඊට පොඩ්ඩක් ඉස්සරහ නවත්තපු කාර් එකට හේත්තුවෙලා ඔහුගේ ගැබ්බර බිරිඳ බලාගෙන ඉන්නව. මම ඉස්සර පුරුද්දට “හා මචං කිරි උතුරවන්න වගේ” කියල ඇහැව්වා. මිනිහා මගේ දිහා දමපු අමුතු බැල්ම නතර උනේ මගේ අතේ තිබුන පොත් ටිකේ. ආපහු ඒ ඇස් නතර උනේ කාර් එකට හේත්තු වෙලා ඉඳපු බිරිඳ ලඟ. “
මම යන්නම් මචං…..
ඊට වඩා අඩුත් නෑ වැඩිත් නෑ. හරියටම ඒ වචන ටික ව්තරයි. වලඳත් කඩේම තියල සාගර බිරිඳත් එක්ක පිටත් උනා.. මම උනේ මොකද කියල හිතාගන්න බැරුව ඈත යන කර් එක දිහා පොඩ්ඩක්වෙලා බලගන ඉඳල ගෙදර ආව.
මට උනා වගේ සිද්ධි කිහිපයක් තවත් යාළුවො කීපදෙනක්ටත් සිදුවෙච්ච සිද්ධි නිසා සාගර “මුල අමතක කරපු එකෙක්” කියල අපි මනුස්සයාව අමතක කරල දැම්ම.
ඔය වෙනකොට සාගර තාත්තා කෙනෙක් වෙලා හිටපු නිසා සාගරගෙ තාත්ත ඔවුන්ගේ නිවසටම තවත් කොටසක් එකතුකරල සාගරටයි බිරින්දටයි දරුවාටයි ඒකෙ ඉඩ දුන්න. ඒත් ඉස්සර තරම් ලෙංගතු කමක් නෑ. හරියට කුලියට ඉන්න වෙනම පවුලක් වගේ තමයි සාගරගෙ පවුල ඒ ගෙදර ජීවත් උනේ. තාත්තගෙන් නැති සොයා බැලීම්, උදව් පදව් සේරටම වගේම යාළුවටත් ලඟින් හිටියෙ මුලින්ම තමන්ගෙ ඇනෙක්ස් එක දීපු සමන්ත.
ඔහු ඒ වෙනකොට මේ පවුලේ ගොඩක් කිට්ටු සාමාජිකයෙක් වෙලා හිටියේ. කොච්චර කිට්ටුද කියතොත් දෙවෙනි ළමයා ලැබෙන්න ඉන්න බිරිඳට හදිස්සියක් උනොත් රැකියාව කරන ප්‍රදේශයේ දුර බැහැර නිසාම නිතර ගෙදර එන්න වෙනෙ නැති සාගර ඒ රාජකාරියත් බාර දීල තිබුනෙත් සමන්තටමයි.
මේ කාලෙ වෙනකොට මම රැකියාවකට කොළඹ ඇවිල්ල. ඒක නිසා සාගර ගැන අමතක වෙලා තිබුනෙ.
මචං… මට ගමේ යාළුවෙකුගෙන් කෝල් එකක්.
ඇයි මචං?
සාගර බෙල්ලෙ වැල දාගෙන මැරිල මචං.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
සමන්ත සාගරගෙ බිරිඳ හොඳට බලාගන්න ලේසියි කියල මිනිහගෙ ගෙදර එක්කෙගන ගිහිල්ල.
හම්බුවෙන්න ඉන්න දෙවෙනි ළමය සාගරගෙ නෙමෙයි ලු.
තමන්ගෙ ජීවිතේ ප්‍රශ්ණ කතාකරන්න, හීතේ තියන ආවේග පිට කරගන්න අම්ම තාත්ත, යාළුවෙක්, නෑදෑයෙක් නැති සාගර උත්තර හොයාගෙන තිබුනෙ ගෙදර කුස්සියෙ බාල්කෙ ගැටගහපු තොණ්ඩුවකින්.
ප/ලි :
මචං සාගර අපි උඹව තනි කලේ නෑ බං. උඹයි අපි හැමෝගෙන්ම ඈත් වෙලා තනියම උඹෙ ලෝකෙ ගොඩනගාගන්න ගියේ. ඒකයි බං උඹේ ලෝකෙ කඩාගෙන වැටුන වෙලාවෙ උඹ අසරණ උනේ. උඹ කලින් රසාවක් හොයාගත්තු එක, කාර් එකක් ගත්තු එක, කසාදයක් බැන්ද එක, තාත්ත කෙනෙක් වෙච්ච එක නෙමෙයි බං උඹයි අපියි ඈත් කලේ. උඹේ හිතේ තිබිච්ච හීනමානෙ මචං. උඹ අපිත් එක්ක හිටියනං අදටත් අපිට හිනාවෙලා කතාකරන්න තිබුන, මයෙ පොඩි එකාට උඹෙ පොඩි එකා එක්ක සෙල්ලං කරන්න තිබුන. ජීවිතයේ සෑම දෙයකටම සුදුසු කාලයක් තියනව, ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ…..
මේක කියවන ඔයාල හැමෝටම ඇති කාලෙකින් කතා නොකරපු යාළුවො. එයාල කතා නොකලට කමක් නෑ ඉඩක් තියෙන වෙලාවක දුරකතන ඇමතුමක් දීල විස්තර කතාකරන්න.
සමහරවිට ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි !